යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමනීය පවුල් විධිවිධානය
“මේ හේතුව නිසා, ස්වර්ගවල ද පොළොවෙහි ද සියලු පවුල්වල ද ප්රභවය වන, පියාණන් වහන්සේ ඉදිරියෙහි මම දණින් වැටී යාච්ඤා කරමි.”–එපීස 3:14, 15, නව අනුවාදය.
1, 2. (අ) යෙහෝවඃ වහන්සේ පවුල් ඒකකය සෑදුවේ කුමන අරමුණක් උදෙසා ද? (ආ) යෙහෝවඃ වහන්සේගේ විධිවිධානය තුළ වත්මන් පවුලට තිබිය යුත්තේ කිනම් කොටසක් ද?
යෙහෝවඃ වහන්සේ පවුල් ඒකකය සෑදූ සේක. සහයකත්වය, සහයෝගය, හෝ සමීප සබඳතාවය සඳහා ඇති මිනිස් අවශ්‍යතාවය සපුරාලීමට වඩා වැඩි යමක්, උන් වහන්සේ ඒ මගින් කළ සේක. (උත්පත්ති 2:18) පොළොව පිරවීමට වූ දෙවියන් වහන්සේගේ තේජවත් අරමුණ ඉටු කර ගැනීමට මාර්ගය වූයේ පවුලයි. උන් වහන්සේ පළමු විවාහක යුවළට මෙසේ වදාළ සේක: “නුඹලා බෝවී වැඩිවෙමින් පොළොව පූර්ණකොට ඒක යටත්කරගනිව්.” (උත්පත්ති 1:28) පවුලේ උණුසුම් හා පෝෂණය කරවන සුලු වාතාවරණය, ආදම් සහ ඒවට ද එමෙන් ම ඔවුන්ගෙන් පැවතෙන්නන්ට දාව ඉපදෙන අසංඛ්‍යාත දරුවන්ට ද ප්‍රයෝජනදායක බවට ඔප්පු වනවා ඇත.
2 කෙසේ වුවද, පළමු යුවළ තෝරා ගත්තේ අකීකරුකමේ ක්‍රියා මාර්ගයයි—ඉන් ඔවුන්ටත් ඔවුන්ගේ ජනිතයන්ටත් විනාශකාරී ප්‍රතිඵල ඇති විණි. (රෝම 5:12) මේ අයුරින් වත්මන් පවුල් ජීවිතය, දෙවියන් වහන්සේට වුවමනා වූ දෙයෙහි විකෘතියකි. එහෙත්, ක්‍රිස්තියානි සමාජයේ මූලික ඒකකය ලෙස ක්‍රියා කරමින් තිබෙන පවුලට, යෙහෝවඃ වහන්සේගේ විධිවිධානයේ දිගට ම වැදගත් ස්ථානයක් තිබේ. මෙය පවසන්නේ, අප අතර සිටින බොහෝ අවිවාහක ක්‍රිස්තියානින් විසින් සිදු කෙරෙන මාහැඟි වැඩ උදෙසා අගය කිරීමේ යම් ඌනතාවයක් හේතුවෙන් නොවේ. ඒ වෙනුවට, සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි සංවිධානයේ ආත්මික සෞඛ්‍යයට පවුල් විසින් ද කෙරෙන විශාල දායකත්වය අපි පිළිගන්නෙමු. ශක්තිමත් පවුල් ශක්තිමත් සභාවන් සඳහා මඟ පාදති. එනමුත්, වත්මන් පීඩන හමුවේ ඔබගේ පවුලට සඵල විය හැක්කේ කෙසේ ද? පිළිතුර ලබා ගැනීම සඳහා, පවුල් විධිවිධානය සම්බන්ධ ව බයිබලයට පැවසීමට ඇති දෙය ගැන අපි පරීක්ෂා කර බලමු.
බයිබල් කාලවල පවුල
3. ආදිපිතෘවරුන්ගේ පවුල්වල ස්වාමිපුරුෂයා සහ භාර්යාව ඉටු කළේ කිනම් කාර්ය භාරයන් ද?
3 ආදම් සහ ඒව යන දෙදෙනා ම, මූලිකත්වය පිළිබඳ දෙවියන් වහන්සේගේ විධිවිධානයට පයින් ගැසුවෝ ය. එහෙත්, නෝවා, ආබ්‍රහම්, ඊසාක්, යාකොබ් සහ යෝබ් වැනි ඇදහිල්ලේ පුරුෂයෝ, පවුල් මූලිකයන් වශයෙන් හරි ලෙස තමන්ගේ තැන ගත්හ. (හෙබ්‍රෙව් 7:4) පියා ආගමික නායකයා, උපදේශකයා සහ විනිශ්චයකරුවා වශයෙන් ක්‍රියා කළ, ආදිපිතෘවරුන්ගේ පවුල හරියට කුඩා ආණ්ඩුවක් මෙන් විණි. (උත්පත්ති 8:20; 18:19) භාර්යාවන් හට ද වැදගත් කාර්ය භාරයක් තිබූ අතර, ඔවුන් සේවය කළේ වහලියන් ලෙස නොව නමුත් සහකාර නිවාස කළමනාකාරවරියන් හැටියට ය.
4. මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ පවුල් ජීවිතය වෙනස් වූයේ කෙසේ ද, නමුත් දෙමාපියන් දිගට ම ඉටු කළේ කිනම් කාර්ය භාරයන් ද?
4 පොදු යුගයට පෙර 1513 දී ඊශ්‍රායෙල්, ජාතියක් බවට පත්වූ විට, පවුල් නීතිය, මෝසෙස් තුළින් දෙන ලද ජාතික ව්‍යවස්ථාවට යටත් විණි. (නික්මයාම 24:3-8) ජීවිතය හා මරණය අතර කාරණා ඇතුළු, තීරණය කිරීමේ අධිකාරිත්වය දෙනු ලැබුවේ පත් කරන ලද විනිශ්චයකරුවන්ට ය. (නික්මයාම 18:13-26) ලෙවීය පූජකයෝ නමස්කාරයේ පූජා කටයුතු සම්බන්ධ අංගය භාර ගත්තෝ ය. (ලෙවී කථාව 1:2-5) එසේ නමුත්, පියා දිගට ම වැදගත් කාර්ය භාරයක් ඉසිලී ය. මෝසෙස් පියවරුන්ට මෙසේ අනුශාසනා කළේ ය: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ NW ] තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.” (ද්විතීය කථාව 6:6, 7) මව්වරුන්ට සැලකිය යුතු බලපෑමක් තිබුණි. හිතෝපදේශ 1:8 යෞවනයන් හට මෙසේ ආඥා කළේ ය: “මාගේ පුත්‍රය, නුඹේ පියාගේ ගුරුකම අසාපන්න, නුඹේ මවුගේ උපදෙස්ද අත් නොහරින්න.” එසේ ය, සිය ස්වාමිපුරුෂයාගේ අධිකාරිත්වයේ විධිවිධානය ඇතුළත, පවුල තුළ නීති ඇති කොට ඒවා ක්‍රියාත්මක කරවීමට හෙබ්‍රෙව් ස්ත්‍රියට හැකි විණි. ඈ වයසට ගොස් මහලු වූවායින් පසු ව පවා, ඇගේ දරුවන් විසින් ඈට ගෞරව කළ යුතු ව තිබුණි.—හිතෝපදේශ 23:22.
5. මෝසෙස්ගේ ව්‍යවස්ථාව, පවුල් විධිවිධානය තුළ දරුවන්ගේ ස්ථානය නියම කළේ කෙසේ ද?.
5 දරුවන්ගේ ස්ථානය ද දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව මගින් පැහැදිලි ව නිශ්චය කොට තිබුණි. ද්විතීය කථාව 5:16 මෙසේ පැවසුවේ ය: “නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් බොහෝ වන පිණිසද නුඹට ශුභසිත්ටධවන පිණිසද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹට අණකළ ලෙස නුඹේ පියාටද මවුටද ගෞරව කරව.” යමෙකුගේ දෙමාපියන්ට අගෞරව කිරීම මෝසෙස්ගේ ව්‍යවස්ථාව යටතේ ඉතා බරපතළ වරදක් විණි. (නික්මයාම 21:15, 17) “පියාට හෝ මෑණියන්ට හෝ දෙස් කියන කවරෙක් නුමුත් සැබවින් මරනු ලැබිය යුතුය” යයි ව්‍යවස්ථාවේ සඳහන් විණි. (ලෙවී කථාව 20:9) යමෙකුගේ දෙමාපියන්ට එරෙහි ව කැරලි ගැසීම, දෙවියන් වහන්සේට ම විරුද්ධ ව කරන ලද කැරැල්ලක් හා සමාන විය.
ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයන්ගේ කාර්ය භාරය
6, 7. එපීස 5:23-29 හි සඳහන් පාවුල්ගේ වචන, පළමු සියවසේ ඔහුගේ පාඨකයන් හට විප්ලවකාරී යමක් ලෙස පෙනුනේ මන්ද?
6 විශේෂයෙන් ම ස්වාමිපුරුෂයාගේ කාර්ය භාරය සම්බන්ධයෙන්, ක්‍රිස්තියානි ධර්මය පවුල් විධිවිධානය පිළිබඳ ව වඩාත් තොරතුරු සැපයුවේ ය. ක්‍රිස්තියානි සභාවෙන් පිටත, පළමු සියවසේ ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට කර්කශ, පීඩාකාරී අයුරකින් සැලකීම පොදු දෙයක් විණි. ස්ත්රීන්ගේ මූලික අයිතිවාසිකම් හා ගෞරවයන් හෙලා දකිනු ලැබිණි. දි එක්ස්පොසිටර්’ස් බයිබල් මෙසේ පවසයි: “උගත් ග්‍රීකයෙක් භාර්යාවක පාවා ගත්තේ, දරුවන් බිහිකිරීම සඳහා ය. ඇගේ අයිතිවාසිකම් ඔහුගේ ලිංගික ආශාවන්ට තහංචි දැමුවේ නැත. විවාහ ගිවිසුම තුළ ප්‍රේමය නොවී ය. . . . වහල් ස්ත්‍රියකට කිසිදු අයිතිවාසිකමක් තිබුණේ නැත. ඇගේ සිරුරේ අයිතිය තිබුණේ ඇගේ අයිතිකරුවාට ය.”
7 පාවුල් එපීස 5:23-29 [NW ] හි වදන් ලියුවේ එවන් වාතාවරණයක් තුළ ය: “ක්‍රිස්තුස් වහන්සේ සභාවේ හිස ව සිටින්නාක් මෙන්, ස්වාමිපුරුෂයා ඔහුගේ භාර්යාවගේ හිස ව සිටී, උන් වහන්සේ මෙම ශරීරයේ ගැලවුම්කරුවාණන් වන සේක. . . . ක්‍රිස්තුස් වහන්සේ ද සභාවට ප්‍රේම කොට, ඒ උදෙසා තමන් ව ම දුන්නාක් මෙන්, ස්වාමිපුරුෂයෙනි, ඔබගේ භාර්යාවන්ට නොකඩවා ප්‍රේම කරන්න. . . . ස්වාමිපුරුෂයන් තමන්ගේ භාර්යාවන්ට තමන්ගේ ශරීරවලට මෙන් ප්‍රේම කළ යුතු ය. තමාගේ භාර්යාවට ප්‍රේම කරන්නා තමාට ම ප්‍රේම කර ගනී. මන්දයත්, කිසිවෙක් තමාගේ මාංසයට කිසිකළෙකත් වෛර කළේ නැත; නමුත් ඔහු එය පෝෂණය කොට ආදරයෙන් රැකබලා ගනී.” පළමු සියවසේ පාඨකයන් හට, මෙම වචන විප්ලවකාරී ඒවා මෙන් විය. දි එක්ස්පොසිටර්’ස් බයිබල් මෙසේ පවසයි: “එම කාලයේ පැවති සල්ලාල අනාචාරය සමඟ සසඳන කල, විවාහය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය තරම් වඩාත් නවීන පන්නයේ හා වඩාත් දැඩි කිසිවක් ක්‍රිස්තියානි ධර්මය තුළ දක්නට තිබුණේ නැත. . . . [එය] මිනිස් වර්ගයා උදෙසා නව යුගයක් උදා කළේ ය.”
8, 9. අද දින ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයන් අතර තිබෙන්නේ කුමන අයහපත් ආකල්පයන් ද, එවැනි දෘෂ්ටි කෝණ ක්‍රිස්තියානි පුරුෂයන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම වැදගත් වන්නේ ඇයි?
8 ස්වාමිපුරුෂයන් සඳහා බයිබලයේ උපදෙස්, අද දින ද විප්ලවකාරිත්වයෙන් කිසිදු අඩුවක් නැත. කාන්තා විමුක්තිය ගැන කථා කොතරම් තිබුණ ද, බොහෝ පුරුෂයන් විසින් ස්ත්‍රීන් දෙස බලනු ලබන්නේ හුදෙක් ලිංගික වින්දනයේ භාණ්ඩ ලෙස ය. ස්ත්‍රීන් කෙරෙහි අධිපතිකම් කරනු ලැබීමෙන්, පාලනය කරනු ලැබීමෙන් හෝ හිරිහැර කරනු ලැබීමෙන් ඔවුන් ඇත්තට ම සතුටු වෙනවා ය යන මිථ්‍යාව විශ්වාස කරමින්, බොහෝ පුරුෂයෝ තමන්ගේ භාර්යාවන් ව ශාරීරික ව හා චිත්ත වේගීය ව වැරදි ලෙස සලකති. ක්‍රිස්තියානි පුරුෂයෙක් ලෞකික සිතිවිලි මගින් ගසා ගෙන ගොස්, තමාගේ භාර්යාවට වැරදි සහගත ලෙස සැලකීම මොනතරම් නින්දා සහගත දෙයක් වනු ඇත් ද! “මගේ ස්වාමිපුරුෂයා උපස්ථායක සේවකයෙක්, ඔහු ප්‍රසිද්ධ කථා දුන්නා,” යයි එක් ක්‍රිස්තියානි ස්ත්‍රියක් පවසන්නී ය. එහෙත්, “මම පහර දෙනු ලැබූ භාර්යාවක් ව සිටියා” යයි ඇය හෙළි කළා ය. පැහැදිලි ව ම, එවැනි ක්‍රියාවන් දෙවියන් වහන්සේගේ විධිවිධානයට මුළුමනින් ම පටහැනි විය. එම මිනිසා කලාතුරකින් දක්නට ලැබෙන දුර්ලභ ගණයේ අයෙකි. දෙවියන් වහන්සේගේ අනුමැතිය ලබා ගැනීමට ඔහු බලාපොරොත්තු වී සිටී නම්, තම අධික කෝපය සමඟ සාර්ථක ලෙස කටයුතු කිරීමට උපකාර සෙවීමට ඔහුට අවශ්‍ය වනු ඇත.—ගලාති 5:19-21.
9 තම භාර්යාවන්ට තමන්ගේ ම ශරීරවලට මෙන් ප්‍රේම කරන ලෙස ස්වාමිපුරුෂයන් හට දෙවියන් වහන්සේ විසින් ආඥා කරනු ලැබ තිබේ. එසේ කිරීමට ප්‍රතික්ෂේප කිරීම දෙවියන් වහන්සේගේ විධිවිධානයට ම එරෙහි ව කැරලි ගැසීමක් වන අතර, දෙවියන් වහන්සේ සමඟ යමෙකුගේ තිබෙන සම්බන්ධතාවය අඩපණ කරවිය හැක. ප්‍රේරිත පේතෘස්ගේ වදන් පැහැදිලි ය: “ස්වාමිපුරුෂයෙනි, ඔබගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, . . . දුර්වල භාජනයක් බඳු ඔවුන්ට [ඔබගේ භාර්යාවන්ට] ගෞරව දෙමින්, දැනුමට අනුව ඒ අයුරින් ඔවුන් සමඟ දිගට ම වාසය කරන්න.” (1 පේතෘස් 3:7, NW) යමෙකුගේ භාර්යාවට කර්කශ ලෙස සැලකීම, ඇගේ ආත්මිකත්වයට ද තම ජනිතයන්ගේ ආත්මිකත්වයට ද විනාශකාරී බලපෑමක් ඇති කළ හැකි ය.
10. ස්වාමිපුරුෂයන්ට ක්‍රිස්තුස් වහන්සේට සමාන ආකාරයෙන් තම මූලිකත්වය ක්‍රියාවට නැංවිය හැකි ඇතැම් ආකාරයන් මොනවා ද?
10 ස්වාමිපුරුෂයෙනි, ඔබ ඔබගේ මූලිකත්වය ක්‍රිස්තුස් වහන්සේ හා සමාන ආකාරයට ක්‍රියාවට නංවන්නේ නම්, එය යටතේ ඔබගේ පවුල සමෘද්ධිමත් වනු ඇත. ක්‍රිස්තුස් වහන්සේ කිසිවිටෙකත් කර්කශ වූයේවත් නින්දාසහගත ලෙස කථා කළේවත් ක්‍රියා කළේවත් නැත. ඊට පටහැනි ව, මෙසේ කීමට උන් වහන්සේට හැකි විණි: “මාගෙන් ඉගෙන ගන්න, මන්දයත් මම හදවතින් මොළොක් ගතියෙන් යුතු ව නිහතමානී ව සිටිමි, එමෙන් ම ඔබ ඔබගේ ආත්මවලට නැවුම්බවක් ලබා ගන්නවා ඇත.” (මතෙව්. 11:29, NW) ඔබගේ පවුලට ඔබ ගැන එසේ කිව හැකි ද? තම ගෝලයන් ව මිතුරන් සේ සැලකූ ක්‍රිස්තුස් වහන්සේ, ඔවුන් කෙරෙහි විශ්වාසය තැබූ සේක. (යොහන් 15:15) ඔබ, ඔබගේ භාර්යාවට එම ගෞරවය ම දෙන්නෙහි ද? බයිබලය “දක්ෂ භාර්යාව” ගැන පැවසුවේ: “ඇගේ පුරුෂයාගේ සිත ඇය කෙරෙහි විශ්වාසකරයි” යනුවෙනි. (හිතෝපදේශ 31:10, 11, NW) ඉන් අදහස් කරන්නේ, අසාධාරණ තහංචි දමා ඇය ව සිරකර තබන්නේ නැති ව, යම් ප්‍රමාණයක නිදහසකට සහ තෝරා ගැනීමේ නිදහසකට ඇයට ඉඩ හැරීමයි. එපමණක් නොව, තම හැඟීම් සහ මත ඉදිරිපත් කිරීමට යේසුස් වහන්සේ සිය ගෝලයන් ව දිරිගැන්වූ සේක. (මතෙව් 9:28; 16:13-15) ඔබගේ භාර්යාව සම්බන්ධයෙන් ඔබ එසේ ම කරනවා ද? එසේ නැතහොත්, ඈ අවංක ව ඔබ සමඟ එකඟ නොවන විට, ඔබ ඒ දෙස බලන්නේ ඔබේ අධිකාරිත්වයට අභියෝගයක් ලෙස ද? ඔබගේ භාර්යාවගේ හැඟීම් නොසලකා හරිනවාට වඩා, ඒවා ගැන සැලකිල්ල දැක්වීමෙන්, ඔබ සැබවින් ම ඇගේ ගෞරවය හා ඔබගේ මූලිකත්වය ගොඩ නංවන්නෙහි ය.
11. (අ) තම දරුවන්ගේ ආත්මික අවශ්‍යතා බලා කියා ගැනීමට පියවරුන්ට හැක්කේ කෙසේ ද? (ආ) තම පවුල් ගැන සැලකිලිමත්වීමේ ලා වැඩිමහල්ලන් සහ උපස්ථායක සේවකයන් හොඳ ආදර්ශයක් තැබිය යුත්තේ මන්ද?
11 ඔබ පියෙක් නම්, ඔබගේ දරුවන්ගේ ආත්මික, චිත්ත වේගීය, හා ශාරීරික අවශ්‍යතා ගැන බලා කියා ගැනීමේ ලා මූලිකත්වය ගැනීම ද ඔබගෙන් අපේක්ෂා කරනු ලැබේ. ඔබගේ පවුල සඳහා හොඳ ආත්මික වැඩසටහනක් තබා ගැනීම මීට ඇතුළත් ය: එනම්, ඔවුන් සමඟ ක්ෂේත්‍ර සේවයේ වැඩ කිරීම, නිවාස බයිබල් පාඩමක් පැවැත්වීම, හා දින පදය සාකච්ඡා කිරීම යනාදිය ය. වැඩිමහල්ලෙක් හෝ උපස්ථායක සේවකයෙක් “කදිම ආකාරයකින් තමන්ගේ ම ගෙවැසියන් කෙරෙහි මූලිකත්වය දරන කෙනෙකු” විය යුතු යයි බයිබලය පෙන්වා තිබීම, උනන්දුමත් කරුණකි. මේ අයුරින්, මෙම තත්ත්වයන්හි සේවය කරන පුරුෂයන් හට ආදර්ශවත් පවුල් මූලිකයන් විය හැකි ය. සභා වගකීම්වල විශාල බරක් ඔවුන් විසින් රැගෙන යනවා විය හැකි අතරේ දී, ඔවුන් තමන්ගේ ම පවුල්වලට ද මූලිකත්වය දිය යුතු ය. ඊට හේතුව පාවුල් පෙන්වී ය: “ඇත්තෙන් ම, යම් මිනිසෙක්, තමාගේ ම ගෙවැසියන් කෙරෙහි මූලිකත්වය දරන ආකාරය දන්නේ නැත්නම්, ඔහු දෙවියන් වහන්සේගේ සභාව බලා කියා ගනු ඇත්තේ කෙසේ ද?”—1 තිමෝති 3:4, 5, 12, NW.
සහයෝගිශීලී ක්‍රිස්තියානි භාර්යාවන්
12. ක්‍රිස්තියානි විධිවිධානය තුළ භාර්යාවක් ඉටු කරන කොටස කුමක් ද?
12 ඔබ ක්‍රිස්තියානි භාර්යාවක් ද? එසේ නම්, ඔබ ද පවුල් විධිවිධානය තුළ අතිශයින් වැදගත් කොටසක් ඉටු කළ යුතු ය. “තමන්ගේ ස්වාමිපුරුෂයන්ට ප්‍රේම කිරීමට, තමන්ගේ දරුවන්ට ප්‍රේම කිරීමට, සිහි බුද්ධිය ඇතුව සිටීමට, පිරිසිදු ව, ගෙදරදොරේ වැඩකටයුතු කරන, යහපත්, තමන්ගේ ස්වාමිපුරුෂයන්ට යටත් වන්නා” වූ අය ලෙස ක්‍රියා කිරීමට ක්‍රිස්තියානි භාර්යාවන්ට අනුශාසනා කොට තිබේ. (තීතස් 2:4, 5, NW) මේ අයුරින්, ඔබගේ පවුල උදෙසා පිරිසිදු ප්‍රසන්න නිවසක් පවත්වා ගනිමින්, ආදර්ශවත් භාර්යාවක් වීමට ඔබ දැඩි ප්රයත්නයක් දැරිය යුතු ය. ඇතැම් විට, ගෙදර දොරේ වැඩකටයුතු කිරීම වෙහෙසකාරී විය හැකි ය, නමුත් එය නිග්‍රහාත්මක දෙයක්වත්, සුළු කොට සැලකිය හැකි දෙයක් වත් නොවේ. භාර්යාවක් වශයෙන්, ඔබ “ගෙවැසියන් ව කළමනාකරණය” කරන අතර, මේ සම්බන්ධයෙන් තෝරා ගැනීමේ සැලකිය යුතු නිදහසක් ඔබ භුක්ති විඳිනවා විය හැක. (1 තිමෝති 5:14, NW) නිදසුනක් වශයෙන්, “දක්ෂ භාර්යාව” [NW ] ගෙදර දොරට අවශ්‍ය දේවල් මිල දී ගත්තා ය, වතුපිටි මිල දී ගත්තා ය, එමෙන් ම, කුඩා ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සුළු ආදායමක් ද ඉපදෙව්වා ය. ඈ ඇගේ ස්වාමිපුරුෂයාගේ ප්‍රශංසාව දිනාගත් බවට පුදුම වෙන්නට දෙයක් නැත! (හිතෝපදේශ 31 පරිච්ඡේදය) ස්වභාවයෙන් ම, එවැනි මුලපිරීම් සකස්කරන ලද්දේ තම හිස වශයෙන් ඇගේ ස්වාමිපුරුෂයා විසින් දෙන ලද මඟ පෙන්වීම් ඇතුළත ය.
13. (අ) ඇතැම් ස්ත්රීන්ට යටත්වීම දුෂ්කර දෙයක් විය හැක්කේ මන්ද? (ආ) තමන්ගේ ස්වාමිපුරුෂයන් හට යටත්වීම ක්‍රිස්තියානි ස්ත්රීන්ට ප්‍රයෝජනදායක වන්නේ මන්ද?
13 කෙසේ වෙතත්, ඔබගේ ස්වාමිපුරුෂයාට ඔබ ව යටත් කර ගැනීම සෑම විට ම පහසු නොවිය හැක. සියලු පුරුෂයන් ගෞරව ලබා ගැනීමට වටින තත්ත්වයක සිට එය ලබා ගන්නවා නොවේ. එමෙන් ම, මුදල් පරිපාලනය, සැලසුම් කිරීම, හෝ සංවිධානය කිරීම සම්බන්ධයෙන් ඔබ තරමක් දක්ෂ ව සිටිනවා විය හැක. ඔබට බාහිර රැකියාවක් තිබිය හැකි අතර, ඔබ පවුලේ ආදායමට සැලකිය යුතු ප්‍රමාණයකින් දායක වනවා විය හැකි ය. නොඑසේ නම්, අතීතයේ දී යම් ආකාරයක පුරුෂ ආධිපත්‍යයකින් ඔබ පීඩා විඳ තිබීමෙන්, පුරුෂයෙකුට යටත්වීම ඔබට දුෂ්කර විය හැකි ය. ඒ කෙසේ වෙතත්, ඔබගේ ස්වාමිපුරුෂයාට “ගැඹුරු ගෞරවයක්” හෝ “භයක්” පෙන්වීමෙන්, ඔබ නිරූපනය කරන්නේ දෙවියන් වහන්සේගේ මූලිකත්වය සඳහා ඇති ගෞරවයයි. (එපීස 5:33, කිංඩම් ඉන්ටර්ලීනියර්; 1 කොරින්ති 11:3) යටත්වීම ඔබේ පවුලේ සාර්ථකත්වයට ද තීරණාත්මක එකක් වෙයි; එය ඔබගේ විවාහය අනවශ්‍ය වෙහෙසකාරී දේවලට හා පීඩාවන්ට යට කර ගැනීමෙන් වැළකීමට ඔබට උපකාරවත් වෙයි.
14. තම ස්වාමිපුරුෂයා විසින් ගන්නා ලද තීරණයකට තමන් එකඟ නොවන විට, භාර්යාවකට කුමක් කළ හැකි ද?
14 එනමුත්, ඔබගේ පවුලේ සුභසාධනයට එරෙහි ව ඔබගේ ස්වාමිපුරුෂයා විසින් යම් තීරණයක් ගනු ලබන විට, ඔබ නිශ්ශබ්ද ව සිටිය යුතු බවක් මින් අදහස් කරයි ද? අනිවාර්යයෙන් ම එසේ නොවේ. තම පුත්‍රයා වූ ඊසාක්ගේ සුභසාධනයට තර්ජනයක් ඇති බව ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා විසින් අවබෝධ කර ගත් විට, ඈ නිහඬ ව සිටියේ නැත. (උත්පත්ති 21:8-10) මේ හා සමාන ව, යම් අවස්ථාවන්හි දී, ඔබගේ හැඟීම් පළ කිරීමට ඔබට වගකීමක් තිබේ යයි හැඟී යනවා වෙන්නට පුළුවන. මෙය, “හරි වේලාවට” ගෞරවනීය ආකාරයකින් කරනු ලැබේ නම්, දේව භක්තික ක්‍රිස්තියානි පුරුෂයෙක් ඊට සවන් දෙනු ඇත. (හිතෝපදේශ 25:11, NW) එහෙත්, ඔබ යෝජනා කරන දේ ක්‍රියාත්මක කරනු නොලැබේ නම්, බයිබල් ප්‍රතිපත්තියක් බරපතළ ලෙස උල්ලංඝනය නොවේ නම්, ඔබගේ ස්වාමිපුරුෂයාගේ කැමැත්තට එරෙහි ව යාම ඔබ ව ම පරාජය කර ගැනීමක් නොවේ ද? “ඤාණවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය; එහෙත් අඥාන තැනැත්තී තමාගේම අත්වලින් ඒක කඩාදමන” බව මතක තබා ගන්න. (හිතෝපදේශ 14:1) ඔබගේ නිවස ගොඩනැගීමේ එක් ක්‍රමයක් නම්, ඔබගේ ස්වාමිපුරුෂයා අතින් අත්වැරදි සිදු වන විට කලබල නොවී ඒවා සමඟ කටයුතු කරන අතරේ දී, ඔහුගේ ඉටු කරගැනීම් ප්‍රශංසාවට ලක් කරවමින්, ඔහුගේ මූලිකත්වයට අනුබල දීමයි.
15. තම දරුවන් හික්මවීමේ හා පුහුණු කිරීමේ ලා භාර්යාවකට කුමන විධිවලින් හවුල් විය හැකි ද?
15 ඔබගේ නිවස ගොඩනැගීමට තිබෙන තවත් ක්‍රමයක් නම්, ඔබගේ දරුවන් ව හික්මවීමේ හා පුහුණු කිරීමේ ලා හවුල්වීමයි. නිදසුනක් වශයෙන්, පවුලේ බයිබල් පාඩම නිති පතා පවත්වා ගෙන යාමට සහ එය වර්ධනාත්මක එකක් කරවීමට ඔබට ඔබගේ කොටස කරන්නට පුළුවන. එමෙන් ම, ගමන් කරන විට දී හෝ වේවා, ඔබගේ දරුවන් සමඟ කඩසාප්පු යන විට හෝ වේවා, සෑම ප්‍රස්තාවක දී ම ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ සත්‍යතාවයන් බෙදා ගැනීම සම්බන්ධයෙන්, “නුඹේ අත නවත්වා නොගනින්න.” (දේශනාකාරයා 11:6) රැස්වීම් සඳහා ද දිව්‍යාණ්ඩු සේවා පාසලේ ඔවුන්ගේ කොටස් සඳහා ද ඔවුන් සූදානම් වීමේ දී ඔවුන්ට උදව් කරන්න. ඔවුන්ගේ ආශ්‍රිතයන් ගැන ඇසක් තබා ගෙන සිටින්න. (1 කොරින්ති 15:33) දිව්‍ය ප්රමිතීන් හා හික්මවීම සම්බන්ධ කාරණා ඉස්මතු වන විට, ඔබ සහ ඔබගේ ස්වාමිපුරුෂයා එක්සත් ව සිටින බව ඔබගේ දරුවන්ට දැනගැනීමට සලස්වන්න. ඔබවත් ඔබගේ ස්වාමිපුරුෂයාවත් ආරවුලකට පටලවා, තමන්ට වුවමනා දේ ලබා ගැනීමට ඔබගේ දරුවන්ට ඉඩ නොදෙන්න.
16. (අ) තනි දෙමාපියන් හා නොඇදහිලිකාරයන් සමඟ විවාහ වී සිටින අය ව දිරිගැන්වීමට ඇත්තේ කිනම් බයිබල් ආදර්ශය ද? (ආ) එවන් අයට උපකාර කිරීමට සභාවේ සිටින අනෙක් අයට හැක්කේ කෙසේ ද?
16 ඔබ තනි දෙමාපියෙකු නම්, නැතහොත් ඔබට නොඇදහිලිකාර කලත්‍රයෙකු සිටී නම්, ආත්මික දෙයෙහි පෙරමුණ ගැනීමට ඔබට සිදු වෙනවා ඇත. මෙය දුෂ්කර එකක් විය හැක, ඇතැම් විට අධෛර්ය කරවන සුලු එකක් පවා විය හැක. එහෙත්, කිසිදා අත් නොහරින්න. තමා නොඇදහිලිකාරයෙකු සමඟ විවාහ වී සිටියත්, තිමෝතිගේ මව වූ එවුනීකි, “ළදරු අවදියේ” පටන් ඔහුට ශුද්ධ ලියවිලි ඉගැන්වීමේ ලා සාර්ථක වූවා ය. (2 තිමෝති 1:5; 3:15, NW) එමෙන් ම, අප අතරේ සිටින බොහෝ දෙනෙක් ඒ හා සමාන සාර්ථකත්වයන් භුක්ති විඳිමින් සිටිත්. මේ සම්බන්ධ ව ඔබට යම් සහයෝගයක් අවශ්‍ය නම්, ඔබගේ අවශ්‍යතාවයන් ගැන වැඩිමහල්ලන්ට දැනගැනීමට සැලැස්විය හැක. රැස්වීම්වලට පැමිණීම සඳහා සහ ක්ෂේත්‍ර සේවයට සහභාගි වීම සඳහා ඔබට උපකාර කිරීමට යමෙකු ව සූදානම් කිරීමට ඔවුන්ට හැකි වන්නට පුළුවන. විනෝද ගමන් හා එකට එකතුවීම්වලට ඔබගේ පවුලටත් ආරාධනා කරන ලෙස අන්‍යයන්ට දිරිගැන්වීමට ඔවුන්ට හැකි විය හැක. එසේ නැත්නම්, පවුල් බයිබල් පාඩමක් පටන් ගැනීම සඳහා අත්දැකීම් ලත් ප්‍රචාරකයෙකු ව සූදානම් කිරීමට ඔවුන් කටයුතු පිළියෙළ කරනවා විය හැක.
අගය කරන සුලු දරුවෝ
17. (අ) පවුලේ සුභසාධනයට දායක වීමට යෞවනයන්ට හැක්කේ කෙසේ ද? (ආ) මේ සම්බන්ධයෙන් යේසුස් වහන්සේ තැබුවේ කිනම් ආදර්ශය ද?
17 එපීස 6:1-3 හි සඳහන් උපදෙස අනුගමනය කිරීමෙන් පවුලේ සුභසාධනයට දායක වන්නට ක්‍රිස්තියානි යෞවනයන්ට හැකියි: “දරුවෙනි, නුඹලාගේ දෙමවුපියන්ට ස්වාමීන්වහන්සේ තුළ කීකරුවෙයල්ලා, මක්නිසාද එසේ කරන්ට යුතුය. නුඹට වැඩසිද්ධවන පිණිසද නුඹ පොළොවෙහි බොහෝ කල් ජීවත්වන පිණිසද, නුඹේ පියාටත් මවුටත් ගෞරවකරපන්න. එය පොරොන්දුවක් ඇති පළමුවෙනි ආඥාවය.” ඔබගේ දෙමාපියන්ට සහයෝගය දැක්වීම මගින්, යෙහෝවඃ වහන්සේ උදෙසා ඇති ඔබගේ ගෞරවය ඔබ විදහා පාන්නෙහි ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරිපූර්ණ වූ අතර, අසම්පූර්ණ දෙමාපියන්ට යටත්වීම තමාගේ ගෞරවයට මදි පුංචිකමක් කියා පහසුවෙන් තර්ක කිරීමට උන් වහන්සේට හැකිකම තිබිණි. එහෙත්, “උන්වහන්සේ . . . ඔවුන්ට යටත්ව සිටි සේක. . . . යේසුස්වහන්සේ ප්‍රඥාවෙන් හා උසමහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්‍යයන්ගෙත් කරුණාවෙහිද වැඩුණු සේක.”—ලූක් 2:51, 52.
18, 19. (අ) යමෙකුගේ දෙමාපියන්ට ගෞරව කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? (ආ) නිවස නැවුම්බවේ ස්ථානයක් විය හැක්කේ කෙසේ ද?
18 ඒ හා සමාන ව ඔබත් ඔබගේ දෙමාපියන්ට ගෞරව කළ යුතු නොවේ ද? මෙහි “ගෞරව කරන්න” යන්නෙන් අදහස් කරන්නේ, යුතු ලෙස ප්‍රතිෂ්ඨාපනය කොට ඇති අධිකාරිත්වය පිළිගැනීමයි. (1 පේතෘස් 2:17 සසඳන්න.) යමෙකුගේ දෙමාපියන් නොඇදහිලිකාරයන් වුවත්, නොඑසේ නම්, හොඳ ආදර්ශයක් තැබීමට අසමත් ව සිටියත්, බොහෝ තත්ත්වයන්හි දී, එවන් ගෞරවයක් දීම යුතු ය. ඔබගේ දෙමාපියන් ආදර්ශවත් ක්‍රිස්තියානින් නම්, ඔබ ඔවුන්ට ඊට වඩා බොහෝ සෙයින් ගෞරව කළ යුතු ය. ඔබගේ දෙමාපියන් විසින් දෙනු ලබන හික්මවීම සහ මඟ පෙන්වීම අරමුණු කොට ඇත්තේ ඔබට නුසුදුසු ලෙස තහංචි දැමීමට නොවන බවත් මතක තබා ගන්න. එසේ නොව, ඒ වෙනුවට, ඒවා දෙනු ලබන්නේ, “ඔබට දිගට ම ජීවත් විය” හැකි වන පිණිස ඔබ ව ආරක්ෂා කිරීමට ය.—හිතෝපදේශ 7:1, 2.
19 එසේ නම්, පවුල මොනතරම් ප්‍රේමනීය විධිවිධානයක් ද! ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, සහ දරුවන් සියල්ලන් ම පවුල් ජීවිතය සඳහා දෙවියන් වහන්සේ දී තිබෙන නීති පිළිපදින විට, නිවස ක්ෂේම භූමියක් හෙවත් නැවුම්බවේ ස්ථානයක් වනු ඇත. එසේ වුවද, අදහස් හුවමාරුව සහ දරුවන් පුහුණු කිරීම සම්බන්ධ ගැටලු පැන නගින්නට පුළුවන. මෙම ගැටලුවලින් සමහරක් විසඳිය හැකි ආකාරය අපගේ ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනු ඇත. w92 10/15
“එම කාලයේ පැවති සල්ලාල අනාචාරය සමඟ සසඳන කල, විවාහය පිළිබඳ ක්‍රිස්තියානි දෘෂ්ටිය තරම් වඩාත් නවීන පන්නයේ හා වඩාත් දැඩි කිසිවක් ක්‍රිස්තියානි ධර්මය තුළ දක්නට තිබුණේ නැත. . . . [එය] මිනිස් වර්ගයා උදෙසා නව යුගයක් උදා කළේ ය”
තම භාර්යාවන්ගේ හැඟීම් සැලකිල්ලට ගන්නා ක්‍රිස්තියානි ස්වාමිපුරුෂයෝ, එම හැඟීම් ප්‍රකාශ කිරීමට ඔවුන් ව දිරිගන්වති
ඔබට මතක ද?
◻ බයිබල් කාලවල දී, දේව භයැති ස්වාමිපුරුෂයන්, භාර්යාවන්, සහ දරුවන් විසින් තබා ඇති රටාව කුමක් ද?
◻ ස්වාමිපුරුෂයෙකුගේ කාර්ය භාරය කෙරෙහි ක්‍රිස්තියානි ධර්මය සවිස්තරාත්මක ව ඉදිරිපත් කළ තොරතුරු මොනවා ද?
◻ ක්‍රිස්තියානි පවුල තුළ භාර්යාව ඉටු කළ යුතු කාර්ය භාරය කුමක් ද?
◻ පවුලේ සුභසාධනයට දායක වීමට ක්‍රිස්තියානි යෞවනයන්ට හැක්කේ කෙසේ ද?