ඔබට සුවිශේෂයෙන් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද?
බයිබලයේ සාහිත්‍යමය වටිනාකම නිසා—ඇතැම් අදේව වාදීන් විසින් පවා—එය උසස් කොට සලකනු ලැබ තිබේ. එනමුත්, සැබවින් ම, එය පවසන දෙය අදාළ කර ගැනීමේ අරමුණෙන් එය කියවන්නේ ස්වල්ප දෙනෙක් පමණි. ඇරත්, එහි අඩංගු ශුභාරංචිය වසර දෙදහසකට වඩා පැරණි බැවින්, එය නවීකරණය කළ යුතු යයි, එය අලුත් කළ යුතු යයි බොහෝ දෙනෙක් විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. සුවිශේෂය පෞරාණික ද නැතහොත් යල් පැන තිබේ ද? කොහෙත් ම නැත.
බයිබලය මිල කළ නොහැකි උපකාරය සපයන උල්පතක් බව දන්නා, ගැහැණු පිරිමි, බාල මහලු මිලියන සංඛ්‍යාවක් සිටිති. එය ටුඩේ’ස් ඉංග්ලිෂ් වර්ෂන් බයිබලයේ සංඥාපනය මෙසේ පවසන්නාක් මෙනි: “බයිබලය වනාහි ප්‍රශංසා හා අතිශයින් ගරුත්වය ලැබිය යුතු යම් ශ්‍රේෂ්ඨ සාහිත්‍යමය කෘතියක් පමණක් ම නොවේ; එය සෑම තැනක ම වසන සියල්ලන්ට ම ශුභාරංචියකි—දෛනික ජීවිතයේ තේරුම් ගත යුතු හා අදාළ කර ගත යුතු පණිවුඩයකි.”
සුවිශේෂයෙන් ඔබට කුමක් අදහස් කරන්නේ ද? ඔබ එය ඔබගේ එදිනෙදා ජීවිතයේ මඟ පෙන්වන්නෙකු ලෙස පාවිච්චි කරන්නෙහි ද? පළමු සියවසේ දී ශුභාරංචියට සවන් දුන් සමහරෙකුට එය ප්‍රයෝජනවත් වූ ආකාරයත්, අපගේ කාලයේ ඇතැමෙක් ඉන් ප්‍රයෝජන ලබා ඇති ආකාරයත් සලකා බලන්න.
සුවිශේෂයෙන් උපකාරය ලත් අය
යේසුස් වහන්සේගේ දවසේ වෙහෙස මහන්සි වී වැඩ කළ මසුන් මරන්නන් හා ගෘහනියන් වැනි අය ශුභාරංචියට ආකර්ෂණය වී, මිනිසා සඳහා වූ දෙවියන් වහන්සේගේ අරමුණ සම්බන්ධ සත්‍යය ඉගෙන ගත්හ. දැඩි සේ ඔවුන්ගේ ජීවිත වෙනස් කළා වූ ශුභාරංචිය, බොහෝ විට ඔවුන්ට මහත් සහනයක් ලබා දුණි. උදාහරණයක් වශයෙන්, මග්දලේනා නම් මරියා යක්ෂාවේශ ව සිටීමෙන් සුව කරනු ලැබුවා ය. කලින් ප්‍රධාන සුංගම් අයකරන්නෙක් ව සිටි සාකෙවුස්, සිය ගිජු ජීවිත ක්‍රමය අත් හළේ ය. (ලූක් 8:2; 19:1-10) ශුභාරංචිය දේශනා කරමින් සිටි යේසුස් වහන්සේ වෙතට අන්ධයන් සහ කුෂ්ඨ රෝගීන් පැමිණි කල, ඔවුන්ට උපකාර කරනු ලැබිණි. (ලූක් 17:11-19; යොහන් 9:1-7) යේසුස් වහන්සේට නිවැරදි ව මෙසේ පැවසිය හැකි විය: “අන්ධයෝ පෙනීම ලබති, කොරු ඇවිදිති, කුෂ්ඨ රෝගීහු පවිත්‍ර කරනු ලබති, බිහිරන්ට ඇසෙයි, මළාහු නැගුටුවනු ලබති, දිළිඳුන්ට ශුභාරංචිය ප්‍රකාශකරනු ලැබේ.”—මතෙව් 11:5.
එනමුත්, සුව කිරීමට වඩා වැදගත් වනුයේ, අසරණ තත්ත්වයක සිටි බොහෝ දෙනෙකු ව පුද්ගලයන් හැටියට ශුභාරංචිය මගින් වෙනස් කළ ආකාරයයි. අවංක හෘද ඇති අය, අනාගතය සඳහා බලාපොරොත්තුවෙන් පූර්ණ වූහ. ඔවුහු තම විශ්වාසය තැබුවේ, යම් සමාජීය සුවිශේෂයකට වඩා හොඳ වූ යමක ය, එනම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය මත ය. (මතෙව් 4:23) යේසුස් වහන්සේගේ මරණයෙන් ඔවුන්ගේ බලාපොරොත්තුව නිෂ්ඵල වූයේ නැත. එම සිද්ධියෙන් පසු සිදුවීම් විස්තර කරමින්, උන් වහන්සේගේ ගෝලයන් සම්බන්ධයෙන් ක්‍රියා 5:42 හි මෙසේ පැවසෙයි: “දවස්පතාම දේවමාළිගාවේදීත් ගෙදරදීත් ඉගැන්වීමෙන්ද යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේයයි දේශනාකිරීමෙන්ද නොනැවතුණෝය.” පළමු ශතවර්ෂයේ බොහෝ දේශයන්හි ජීවත් වූ ජනයා එවන් දේශනා කිරීම්වලට ප්‍රතිචාරය දැක් වූ බැවින්, ආත්මික උපකාරය ලැබූහ.
ඒ කාලයේ දී, පුවත් අතරින් හොඳ ම පුවත වූයේ රාජ්‍යය ය. රාජ්‍යය පණිවුඩය තවමත් ශුභාරංචිය ව තිබේ ද?
ශුභාරංචිය අද දින කුමක් අදහස් කරයි ද?
ඔබ සාමකාමී, සුරක්ෂිත ලෝකයක ජීවත්වීමට මහත් ආශාවක් ඇති ව සිටින්නේ නම්, රාජ්‍යය පිළිබඳ පුවත ස්ථිර ව ම ශුභදායී එකකි. ඇත්ත වශයෙන් ම, මන්දපෝෂණයෙන් හා සාගින්නෙන් පෙළෙන මිලියන සිය ගණන් ජනයා වෙසෙන ලෝකයක, භයානක රෝග සෑම කෙනෙකුට ම තර්ජනය කරමින් තිබිය දී, අපරාධවල තියුණු වර්ධනයක් තිබිය දී, තව ද ව්‍යාප්ත වන්නා වූ දේශපාලන අස්ථාවරත්වයක් තිබිය දී, එය වනාහි ඇති එක ම සැබෑ හා කල් පවතින ශුභාරංචිය වේ. සැබෑ දියුණුව පිළිබඳ එක ම බලාපොරොත්තුව ඉන් ඉදිරිපත් වෙයි.
යේසුස් වහන්සේ අපගේ කාලය සම්බන්ධයෙන් මෙසේ පුරෝකථනය කළේ ඒ නිසා ය: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව [ජනාවාස පොළොවේ NW ] මුළුල්ලේ ප්‍රකාශකරනු ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක ශුභාරංචිය දේශනා කරත් ම, මෙම වදන් කැපී පෙනෙන අයුරින් ඉටු වෙමින් තිබේ. නොවා ඉවැන්සෙලිසාසාඕ 2000 නම් කතෝලික ප්රකාශනය, මෙසේ පවසමින්, මේ සඳහා සාක්ෂිකරුවන් ව ප්‍රශංසාවට ලක් කරයි: “අපට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව සොයා ගත හැක්කේ කොතැන ද? ගෙවල්වල දොරකඩදී ය. තව ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් වන්නට නම්, යෙහෝවඃ වහන්සේට අයත් වීමට අමතර ව, කෙනෙකුට සාක්ෂිකරුවෙක් ද වන්නට සිදු වේ. එනිසා, තමන් අත්දැක ඇති දෙය ඔවුන් ක්‍රියාවට නගනවා, ප්‍රචාරය කරනවා, ඉදිරිපත් කරනවා අපට දක්නට ලැබේ.”
කෙසේ වෙතත්, කිසිවෙක් ශුභාරංචියෙන් ඉබේ ම ප්‍රයෝජන අත්කර ගන්නේ නැත. එය උපකාරවත් වනු ඇත්තේ එයට සවන් දී කීකරු වන්නන්ට පමණකි. මෙම කාරණය නිරූපනය කිරීම සඳහා, යේසුස් වහන්සේ බීජ වපුරන්නට පිටත් ව ගිය මිනිසා පිළිබඳ උපමාව ඉදිරිපත් කළ සේක. බීජය වැටුණු විවිධාකාර වූ පස් වර්ග, ශුභාරංචිය අසන අය විසින් පෙන්නුම් කරන විවිධාකාර හෘද තත්ත්වයන් නිදර්ශනය කරයි. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “යමෙක් රාජ්‍යයේ වචනය අසා තේරුම් නොගන්නේද, ඔහුගේ සිතේ [හෘදයේ NW ] වපුළ දේ නපුරා ඇවිත් උදුරාගන්නේය. . . . සරු බිමෙහි වපුරනලද්දේ නම්, වචනය අසා තේරුම්ගෙන, ඵලද දරන තැනැත්තාය; එක්කෙනෙක් සියයක්ද එක්කෙනෙක් සැටක්ද එක්කෙනෙක් තිහක්ද බැගින් ඵල දෙන්නේය.”—මතෙව් 13:18-23.
පළමුවන ශතවර්ෂයේ දී මෙන්, අද දවසේ ජීවත් වන බොහෝ දෙනෙක් ශුභාරංචිය තේරුම් ගැනීමට දරන්නේ මද වෑයමකි. ඔවුහු එහි අදහස තේරුම් නොගන්නා අතර, එමනිසා ප්‍රයෝජන අත්කර ගැනීමට ද අසමත් වෙති. වෙනත් අය ශුභාරංචියට අගය කිරීම පෙන්වා, දේව කැමැත්තට එකඟ ව තමන්ගේ ජීවිතය අනුකූල කර ගත යුතු ආකාරය ඉගෙන ගනිති. මෙයාකාරයෙන් ඔවුහු ආශීර්වාද ලබති. ඔබ අයත් වන්නේ කුමන කණ්ඩායමට ද?
අද දින සුවිශේෂය සතු බලය
“බලාපොරොත්තුවක් නැතුව, දෙවියන්වහන්සේත් නැතුව සිටිය” අයට ශුභාරංචිය තේරුම් ගැනීම උපකාරවත් වන බව අත්දැකීම් තහවුරු කරයි. (එපීස 2:12; 4:22-24) රියෝ ඩි ජෙනෙයිරෝ හි රොබෙර්ටෝට උපකාරය අවශ්‍ය විය. ඔහුගේ යෞවන කාලයේ පටන්, ඔහු මත් ද්‍රව්‍ය, දුරාචාරය හා සොරකමට සම්බන්ධ වූ, සල්ලාල ජීවිත ක්‍රමයක් ගත කර තිබුණි. අවසානයේ ඔහු සිරගත කරනු ලැබිණි. එහි සිටිය දී රොබෙර්ටෝ එහි පැමිණි සාක්ෂිකරුවෙකු සමඟ බයිබලය පාඩම් කළේ ය. ඔහු ආත්මික වශයෙන් කොතරම් ප්‍රගතියක් දැක්වූයේදයත්, ඔහුගේ සිරගත කරන ලද කාල සීමාව බොහෝ සේ අඩු කරන ලදි.
නිදහස් කරනු ලැබීමෙන් පසු, වරක් තමා විසින් තුවක්කුවක් අතැති ව සොරකම් කිරීමේ චේතනාවෙන් පහර දී තර්ජනය කරනු ලැබූ යෞවනියක් රොබෙර්ටෝට හමු විය. ඇය ද යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය පාඩම් කරමින් සිටියා ය. සිදු වූයේ කුමක් ද? පහත දැක්වෙන්නේ සිද්ධිය විස්තර කළ ලිපියක කොටසකි: “එම පහර දීමෙන් පසු පළමු වතාවට ඔවුහු රාජ්‍යය ශාලාවේ දී එකිනෙකා මුණ ගැසුණහ. එම හමුවීම හද දනවන්නක් විය. දෙදෙනා ම චිත්ත වේගයන් දරා ගත නොහැකි ව කදුළු සලා, සහෝදර සහෝදරියන් හැටියට එකිනෙකා වැළඳ ගත්හ. කලින් සොරෙක් වූ ද ඔහුට ගොදුරු වූ තැනැත්තිය ද යන මේ දෙදෙනා ම දැන් යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරති.”
ඉසබෙල් නම් තවත් තැනැත්තියකට ද උපකාරය අවශ්‍ය විය. ඇය ඉක්මනින් ම කෝප වන බව කවුරුත් දැන සිටියහ. ඇය බොහෝ සේ භූතාත්මීය හා හදි හූනියම් කටයුතුවල නියැලී සිටි අතර භූතයන් වෙතින් වධ හිංසා ද ලැබුවා ය. ඇය යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගනිත් ම, ශුභාරංචිය ඇත්තෙන් ම උපකාරවත් වූ බව සොයා ගත්තා ය. යම් කලකට පසු, ඇය භූතයන්ගේ බලපෑම්වලින් මිදී, තමාගේ පුද්ගලිකත්වය—අවසානයේ තමාගේ කෝපාවිෂ්ට ස්වභාවය පාලනය කර ගැනීමට ඉගෙන ගනිමින්—වෙනස් කර ගත්තා ය. දැන් ඇය, අන්‍යයන් සමඟ කටයුතු කිරීමේ දී කාරුණික ව ක්‍රියා කරන, ඇදහිලිවන්ත ක්‍රිස්තියානිකාරියක් ව සිටින්නී ය.
එසේ ය, ශුභාරංචිය හුදෙක් න්‍යායක් නොවේ. ජීවිත වෙනස් කරලීමට සැබෑ බලයක් එයට තිබේ. ( 1 කොරින්ති 6:9-11) එය ඊට වඩා වැඩි යමක් ද ඉටු කරයි. එය අනාගතික ආශීර්වාදයන් කෙරෙහි ද යොමු දක්වයි.
ඉදිරියේ ඇති ආශීර්වාද
දේව වචනයට අනුව, අනාගතය සඳහා විස්මජනක අපේක්ෂාවන් තිබේ. දේව රාජ්‍යය පැමිණෙන ලෙසටත් උන් වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේ සිදු වන ලෙසටත්, කළ යේසුස් වහන්සේගේ යාච්ඤාවේ ඉෂ්ට වීම අප දකිනු ඇත. (මතෙව් 6:10) කෙටි කලකින්, වත්මන් දේවල පිළිවෙළ එහි කලකිරවන සුලු දූෂණයන් හා ප්‍රචණ්ඩතාවයන් සමඟ ඉවත් කරනු ලබන අතර, දෙවියන් වහන්සේගේ ස්වර්ගීය ආණ්ඩුව වන, උන් වහන්සේගේ රාජ්‍යය, ශුභාරංචියට සවන් දී, ඊට කීකරු වන්නට කැමැත්තෙන් සිටි හරි හෘදයක් ඇති අය ව පාලනය කරනු ඇත.—දානියෙල් 2:44, 45.
මොළොක් ගුණැති අය සදාකාලයට ම ජීවත් වනු ඇති පාරාදීසයක් බවට පොළොව පරිවර්තනය කිරීමට ඇදහිලිවන්ත මනුෂ්‍යයන්ට මඟ පෙන්වනු ලබත් ම හොඳ අතට විශාල වෙනස්කම් සිදු කෙරෙනු ඇත. (ගීතාවලිය 37:11, 29) නිසැක ව ම, අපරාධ, රෝග, සාගින්න, පරිසර දූෂණය, හා යුද්ධ සදාකාලයට ම නැති වීම ශුභාරංචියකි! ඔබත්, ඔබගේ පවුලත් එම නව ලෝකයේ සාමයෙන් හා පරිපූර්ණ සෞඛ්‍ය තත්ත්වයන් සහිත ව රෝග හෝ මරණය කෙරෙහි බියක් නොමැති ව ජීවත්වීම ඔබට සිතේ මවා ගත හැකි ද?—එළිදරව් 21:4.
එවන් ශුභාරංචි බරපතළ කාරණා සැහැල්ලු කොට දැක්වීමක් හැටියට හෝ මනඃකල්පිතයක් හැටියට හෝ බොහෝ දෙනෙකු විසින් සලකන බව සැබෑවකි. එහෙත් ඔවුන් වැරදි සහගත ය. ශුභාරංචිය වඩාත් ම ස්ථිර සාක්ෂි මත පදනම් ව ඇති අතර, එය දැනටමත් ජීවිත මිලියන සංඛ්‍යාවක් වෙනස් කර තිබේ. එමනිසා, වෙනත් අය විශ්වාස නොකරනවා නම් කිසිවිටෙකත් භය නොවන්න.
සිය ආයෝජනයෙන් ලාභ ලැබීමේ බලාපොරොත්තුවෙන්, සංවර්ධනය වන ප්‍රදේශයක ඉඩමක් මිල දී ගන්නා දූරදර්ශී පුද්ගලයෙක් ගැන සිතා බලන්න. මෙයාකාරයෙන් සිය මුදල් ආයෝජනය කිරීම වෙනුවෙන් කවරෙක් හෝ ඔහුට දොස් නගනු ඇත් ද? නැත. ඔහු ඥානවන්ත ව ක්‍රියා කරන්නේ යයි ජනයා කියනු ඇත. එසේ නම්, රාජ්‍යය සම්බන්ධයෙන් පෙර දක්නා නුවණින් ක්‍රියා කර, ශුභාරංචිය උදෙසා ආයෝජනය නොකරන්නේ මන්ද? ශුභාරංචිය පිළිගැනීම ගැලවීම අදහස් කරන බැවින්, වෙනත් කිසිදු ආයෝජනයක් මීට වඩා වැඩි ලාභ ගෙන එන්නේ නැත.—රෝම 1:16.
ඔබට ශුභාරංචිය තුළ ආයෝජනය කළ හැක්කේ කෙසේ ද? පළමු කොට, දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබනවාට කැමති වන්න. අනතුරුව ඔබ ඉගෙන ගන්නා දෙයට එකඟ ව ක්‍රියා කරන්න. පුරාතන හෙබ්‍රෙව් අනාගතවක්තෘවරයා විසින් පවසන ලද, මූලික අවශ්‍යතාවයන් අනුගමනය කරන්න: “ධර්මිෂ්ඨකම් කිරීමත් [යුක්තිය ක්‍රියාවට නැංවීමත් NW ] කරුණාවට ප්‍රේමවීමත් නුඹේ දෙවියන්වහන්සේ වෙත යටහත්ලෙස [විනීත ව NW ] හැසිරීමත් මිස ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද?” (මීකා 6:8) දෙවියන් වහන්සේ සමඟ ඇවිදීමට ඉගෙන ගැනීම සඳහා කාලය හා වෑයම අවශ්‍ය කෙරේ. කෙසේ වෙතත්, රොබෙර්ටෝට හා ඉසබෙල්ට උපකාර කළ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්—තවත් මිලියන සංඛ්‍යාවන්ට පසුගිය වසර ගණනාවක් පුරා උපකාර කර ඇති අයුරින් ම—මේ සම්බන්ධයෙන් ඔබටත් උපකාර කිරීමට සතුටු වෙනවා ඇත.
දෙවියන් වහන්සේගේ පොරොන්දුවල ඉෂ්ටවීම බලා සිටින අතර ම ශුභාරංචියට එකඟ ව ජීවත්වීමෙන් ද, මනසේ සාමය භුක්ති විඳීමෙන් හා දෙවියන් වහන්සේ සමඟ වඩාත් කිට්ටු සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමෙන් ද ඔබගේ ආයෝජනය පෝෂණය කරන්න. ඔබගේ ආයෝජනය ආරක්ෂාකාරී ව තිබෙනු ඇත—කිසිදු ආර්ථික පරිහානියක් හෝ දේශපාලන උද්ඝෝෂණයක් ඊට තර්ජනය නොකරනු ඇත. එමෙන් ම අවසානයේ එය ඔබට පුදුම සහගත ලාභ ද අත්කර දෙනු ඇත. එම ලාභය කුමක් වනු ඇත් ද? ප්‍රේරිත යොහන් එය මෙසේ ලියා දැක්වී ය: “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහවයන්නේය. නුමුත් දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නා සදාකාලයටම පවතින්නේය.”—1 යොහන් 2:17.
ශුභාරංචියේ බීජ විවිධාකාර පස්වල වැටෙයි
Garo Nalbandian