යහපත නපුරට එරෙහි වීම—බොහෝ කලක සිට සිදුවන සටනකි
පැරණි චිත්‍රපටවල, “යහපත් තැනැත්තා” නිතර ම නපුරු බලවේග පරාජයට පත් කළේ ය. එහෙත් යථාර්ථය කිසිසේත් ඒ තරම් ම පහසු වී නැත. බොහෝ විට, සැබෑ ලෝකය තුළ, නපුර බලපවත්වන බවක් පෙනෙන්නට ඇත.
නපුරු ක්‍රියා පිළිබඳ බිය දනවන වාර්තා, රාත්‍රි ප්රවෘත්ති විකාශනයෙහි නිරන්තර විශේෂාංගයක් වේ. එක්සත් ජනපදයේ උතුරුකරයේ, මිල්වෝකි ජනපදයට අයත් මනුෂ්‍යයෙක් මිනිසුන් 11 දෙනෙකු ඝාතනය කර, ඔවුන්ගේ කැබලිවලට කපන ලද ශරීර කොටස් තම ශීතකරණයේ රැස්කොට තබයි. ඉන් ඈත පිහිටි දකුණේ, අමුත්තෙක් ටෙක්සස් නගරයේ පිහිටි ස්වයං සේවා භෝජනාගාරයක් තුළට කඩා වැදී, තමා ද ඇතුළු ව 23 දෙනෙකු මරණයට පත් කරමින්, ඉවක් බවක් නොමැති ව විනාඩි දහයක් පුරා අර්ධ ස්වයංක්‍රීය පිස්තෝලයකින් වෙඩි තබයි. කොරියාවේ මහත් අමනාපයට පත් විරුද්ධකාරයෙක්, නමස්කාරකයන් 14 දෙනෙකු මරණයට පත් කරමින් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රාජ්‍යය ශාලාවකට ගිනි තබයි.
මෙසේ තැනින් තැන නපුරුකම්වලින් යුත් අවුල් සහගත තත්ත්වයන් ඇති වෙනවා පමණක් නොව, ලෝකයට බලපාන තවත් ත්‍රාසජනක නපුරක් ද, එනම් වර්ග ඝාතනය ද සිදු වේ. මෙම ශතවර්ෂය තුළ පමණක්, ආමේනියන්වරුන් මිලියනයක් ද, යුදෙව්වන් මිලියන හයක් ද, කාම්බෝඩියානුවන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් ද ජාතිවාදී හා දේශපාලනික විශෝධනයන් හේතුවෙන් සහමුලින් ම විනාශ කරන ලද බව ගණන් බලා ඇත. ජාතිවාදී පවිත්‍රීකරණය කිරීම යනුවෙන් හඳුන්වනු ලබන දෙය, කලින් යුගෝස්ලාවියාව වශයෙන් පැවති රටේ බොහෝ දෙනෙකුට පීඩා පමුණුවා ඇත. මෙහිලා ලොව වටා අහිංසක ජනතාව කොතරම් මිලියන සංඛ්‍යාවක් අමානුෂික ලෙස වධ කරනු ලැබුවේදැයි, කිසිවෙක් නොදනිති.
මෙවන් ඛේදවාචකයන්, අප ව අකැමැත්තෙන් වුවද, මතු සඳහන් කැලඹිල්ල ඇති කරවන ප්‍රශ්නයට මුහුණ දීමට අපට සලස්වයි: ජනයා මෙයාකාරයෙන් ක්‍රියා කරනුයේ මන්ද? මෙම දාමරික ක්‍රියා විකෘති වූ මනස් සහිත කිහිප දෙනෙකුගෙන් ඇති වූ ප්‍රතිඵලයක් යයි කියමින් අපට ඒවා ඉවතලිය නොහැකි ය. අපගේ ම ශතවර්ෂයේ කරන ලද නපුරු ක්‍රියාවල තරම මෙවන් පැහැදිලි කිරීමක් නිෂ්ප්රභා කරයි.
නපුරු ක්‍රියාවක් වනාහි සදාචාරමය වශයෙන් වැරදි සහගත වූ එකක් හැටියට අර්ථ දක්වා ඇත. එය යහපත කිරීම හා නපුර කිරීම අතර තේරීමක් කරන්නා වූ යමෙක් විසින් කරනු ලබන වැරදි සහගත ක්‍රියාවකි. කෙසේ හෝ යහපත හා නපුර පිළිබඳ ඔහුගේ විනිශ්චයන් විකෘති වී නපුර ජයග්‍රහණය කරයි. එහෙත් මෙය සිදු වන්නේ මන්ද එමෙන් ම කෙසේ ද?
නපුර පිළිබඳ ආගමික අර්ථ දැක්වීම් බොහෝ දුරට තෘප්තියක් ගෙන නොදෙයි. කතෝලික දර්ශනවේදී තෝමස් ඇක්වයිනස් කියා සිටියේ, “දෙවියන් වහන්සේ කිසි නපුරක් පවතින්නට අවසර නොදුන් සේක් නම් හොඳ යයි කිව හැකි බොහෝ දේවල් තිබිය නොහැකි” බව ය. රෙපරමාදු දර්ශනවේදීහු බොහෝ දෙනෙක් ද සමානාකාර මත දරති. උදාහරණයක් වශයෙන්, එන්සයික්ලෝපීඩියා බ්‍රිටැනිකා ග්‍රන්ථයේ දක්වා ඇති පරිදි, ගොට්ෆ්‍රයිඩ් ලිප්නිට්ස් නම් තැනැත්තා, නපුර සැලකුවේ “ලෝකයේ තිබෙන යහපතට හිලව්වක් හැටියට ය. ඇරත් එහි වෙනස සැසඳූ කල නපුර වැඩි” බව ය. වෙනත් වචනවලින් කියතොත්, අපට යහපත අගය කළ හැකි වනු පිණිස නපුර අවශ්‍ය යයි ඔහු විශ්වාස කළේ ය. එවන් තර්ක කිරීමක් හරියට වෙනත් කෙනෙකු සැබවින් ම සප්රාණික ව හා සුවෙන් සිටින බව ඇඟවීමට පිළිකා රෝගියෙකුට තම අසනීපය ඕනෑ බව කීම හා සමාන ය.
නපුරු චේතනා යම්කිසි තැනකින් පැමිණිය යුතු ය. වක්‍ර ආකාරයෙන් වරද තැබිය යුත්තේ දෙවියන් වහන්සේට ද? බයිබලය මෙසේ පිළිතුරු දෙයි: “යමෙක් පරීක්ෂාකරනු ලබන කල: මම දෙවියන්වහන්සේගෙන් පරීක්ෂාකරනු ලබමියි නොකියාවා. මක්නිසාද දෙවියන්වහන්සේ නපුරෙන් පරීක්ෂාකරනු ලබන්ට නුපුළුවන, උන්වහන්සේම කිසිවෙකු පරීක්ෂා නොකරනසේක.” දෙවියන් වහන්සේ වගකිව යුතු නොවන්නේ නම්, වගකිව යුත්තේ කවරෙක් ද? ඊළඟ වගන්තිය පිළිතුර සපයයි: “එක එක මනුෂ්‍යයා තම තමාගේ තෘෂ්ණාවෙන් අදිනු ලබන කල්හිද පොලඹවනු ලබන කල්හිද පරීක්ෂාකරනු ලබයි. එවිට තෘෂ්ණාව පිළිසිඳගත් කල්හි පාපය වදන්නීය.” (යාකොබ් 1:13-15) මෙසේ නපුරු තෘෂ්ණාවක් ප්‍රතික්ෂේප කරනු වෙනුවට, පෝෂ්‍ය කරනු ලබන කල, නරක ක්‍රියාවක් උත්පාදනය වේ. ඒ කෙසේ වෙතත්, ඊට වැඩි යමක් මීට සම්බන්ධ ව පවතී.
මනුෂ්‍ය ප්‍රජාවට මූලික දෝෂයක් එනම්—උරුම කරගත් අසම්පූර්ණත්වය—ඇති බැවින් නපුරු තෘෂ්ණා පැන නගින බව ශුද්ධ ලියවිලි පැහැදිලි කරයි. “එක් මනුෂ්‍යයෙක් කරණකොටගෙන පාපයත් පාපය කරණකොටගෙන මරණයත් ලෝකයට ඇතුල්වුණාක්මෙන්, සියලු මනුෂ්‍යයන් පව්කළ බැවින් සියල්ලන් කෙරෙහි මරණයද පැමුණුණේය” යයි ප්‍රේරිත පාවුල් ලීවේ ය. (රෝම 5:12) උරුම කර ගත් පාපය නිසා, ආත්මාර්ථය ඇතැම් විට අපගේ කල්පනාවෙහි කරුණාව යටපත් කරන්ටත් කෲර භාවය අනුකම්පාව මැඩ පවත්වන්නටත් පුළුවන.
ඇත්ත වශයෙන් ම, ඇතැම් ආකාරයන්හි හැසිරීම වැරදි සහගත බව බොහෝ දෙනා සහජයෙන් ම දනිති. ඔවුන්ගේ හෘදය සාක්ෂිය—නැතහොත් පාවුල් දක්වන ආකාරයට ‘ඔවුන්ගේ හෘදයන්හි ම ලියන ලද ව්‍යවස්ථාව’—නපුරු ක්‍රියාවක් කිරීමෙන් ඔවුන් ව වළක්වයි. (රෝම 2:15) කෙසේ වෙතත්, කෲර පරිසරයක් එවන් හැඟීම් යටපත් කළ හැකි අතර නොකඩවා හෘදය සාක්ෂිය නොසලකා හරිනු ලැබුවේ නම් එය මළ තත්ත්වයකට පත් විය හැකි ය.a—1 තිමෝති 4:2 සසඳන්න.
අපගේ කාලයේ සිදුවන පුළුල් පරිමාණයේ නපුරුකම් මනුෂ්‍ය අසම්පූර්ණත්වය නිසා ම සිදුවේ යයි කිව හැකි ද? ඉතිහාසඥ ජෙෆ්රි බර්ටන් රසල් මෙලෙස නිරීක්ෂණය කළේ ය: “අප සෑම කෙනෙක් තුළ ම නපුරුකම් තිබෙන බව සැබෑවකි, එසේ වුවද පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් තුළ තිබෙන නපුරුකම් සමස්තයක් වශයෙන් එකට ගත්ත ද, ඖෂ්විට්ස් නම් පෝලන්ත නාට්සි කඳවුරේ සිදු වූ නපුරුකම් සෑහිම ගෙන දෙන අයුරින් පහදන්නේ නැත. . . . මෙම පරිමාණයෙන් බැලූ විට නපුරුකම් ගුණාත්මක භාවයෙන් මෙන් ම ප්‍රමාණයෙන් ද වෙනස් බව පෙනේ.” ගුණාත්මක වශයෙන් නපුරුකමේ මෙම වෙනස් ප්රභවය නිශ්චිත වශයෙන් පෙන්වා දුන්නේ, අන් කවරෙකුවත් නොව යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය.
තමන් ව මරන්නට සැලසුම් කරමින් සිටි අය, සහමුලින් ම තමන්ගේ චේතනාව අනුව ක්‍රියා කරමින් නොසිටි බව, යේසුස් වහන්සේ සිය මරණයට ටික කලකට පෙර පැහැදිලි කළ සේක. අදෘශ්‍යමාන බලවේගයක් ඔවුන්ට මඟ පෙන්වී ය. යේසුස් වහන්සේ ඔවුන්ට මෙසේ වදාළ සේක: “නුඹලා නුඹලාගේ පියවූ යක්ෂයාගෙන්ය, නුඹලා නුඹලාගේ පියාගේ තෘෂ්ණවන් ඉෂ්ටකරන්ට කැමතිය. ඔහු පටන් ගැන්මේ සිට මිනීමරන්නෙක්ය, ඔහු තුළ සැබෑකම නැති හෙයින් ඔහු සැබෑවෙහි නොපැවතුණේය.” (යොහන් 8:44) යේසුස් වහන්සේ විසින් “මේ ලෝකයේ අධිපතියා” ලෙස හඳුන්වනු ලැබූ යක්ෂයාට, නපුරුකම් පෙලඹ වීමෙහි ලා, පැහැදිලි ව ම ප්රමුඛ කාර්ය භාරයක් ඇත.—යොහන් 16:11; 1 යොහන් 5:19.
මනුෂ්‍ය අසම්පූර්ණත්වයත් සාතන්ගේ බලපෑමත් යන දෙක ම වසර දහස් සංඛ්‍යාවක් පුරා පැවති මහත් වේදනාවන් සඳහා හේතුකාරකය වී ඇත. තව ද මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ඒවායේ ග්‍රහණය අඩු වන බවක් පෙනෙන්නට නැත. නපුරුකම සැමදාම පවතිනු ඇද්ද? නොඑසේ නම් යහපත පසුපස ඇති බලවේගයන් අවසානයේ නපුරුකම සහමුලින් ම උදුරා දමනු ඇද්ද?
[පාදසටහන්වල]
a පර්යේෂකයන් මෑත කාලයේ රූපවාහිනිය මත පෙන්වන සවිස්තර ප්‍රචණ්ඩතාවය හා බාල අපරාධ අතර සම්බන්ධතාවයක් දැක ඇත. අපරාධ ඉහළ ව පවතින ප්‍රදේශ හා භේද වූ පවුල් ද සමාජ විරෝධී හැසිරීම සඳහා සාධක වන්නේ ය. නාට්සි ජර්මනියේ නිරන්තරයෙන් දියත් කළ වාර්ගික ප්‍රචාරයන්, ඇතැම් අය ව යුදෙව් හා ස්ලාවික් ජාතිකයන්ට විරුද්ධ ව කරන ලද දරුණු ක්‍රියා යුක්ති සහගත යයි පැවසීමට—අතිශයින් වර්ණනා කිරීමට පවා—පෙලඹවී ය.
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Cover: U.S. Army photo
[3වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
U.S. Army photo