“දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළු
යෙහෝවඃ වහන්සේ විසින් උගන්වනු ලැබීමට ආශා කරන සියලු ම අය, “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළු කෙරෙහි මහත් උනන්දුවකින් බලා සිටිති. දින හතරකින් යුත් මෙම වැඩසටහන, වැඩිවෙමින් තිබෙන්නා වූ පුද්ගලික ගැටලු හා ලෝක ආරවුල් සහිත මෙම කාලවල දී ක්‍රිස්තියානින් ව ආරක්ෂා කරන ශුද්ධ ලියවිලිමය ඉගැන්වීම්වල සුවිශේෂී අංගයන් කැපී පෙනෙන්ට සලස්වනු ඇත. “සාරවූ ඉගැන්වීමට විරුද්ධ වූ වෙන කිසිවක් ඇද්ද” එයට එරෙහි ව ස්ථිර ව නැගී සිටීමට මෙම වැඩසටහන උපකාරවත් වනවා ඇත. (1 තිමෝති 1:11) පැමිණෙන සියලු ම අයට දේව වචනයේ වඩාත් හොඳ ගුරුවරුන් බවට පත් වීමට ද එය දිරිගන්වනවා ඇත.
අපට අනුකරණය කිරීමට තිබෙන්නේ මොනතරම් කදිම ආදර්ශයන් ද! ශ්‍රේෂ්ඨතම ගුරුවරයාණන් නම් වෙන කිසිවෙකු නොව යෙහෝවඃ දෙවියන් වහන්සේ ම ය! මෙසේ, යෙහෝවඃ වහන්සේ, “පොළොවේ මෘගයන්ට වඩා අපට උගන්වන්නාවූ, ආකාශයේ පක්ෂීන්ට වඩා අප ප්‍රඥාවන්ත කරන්නාවූ” තැනැන් වහන්සේ බව එලීහු යුක්ති සහගත ලෙස යෝබ් හට පැවසී ය. “උන්වහන්සේට සමාන ගුරුවරයා කවුද?” යනුවෙන් ද ඔහු යෙහෝවඃ වහන්සේ සම්බන්ධ ව ඇසුවේ ය. (යෝබ් 35:10; 36:22) යෙසායා 30:22 හි [NW] දෙවියන් වහන්සේ ව “උත්තරීතර උපදේශකයාණන්” ලෙස ද සඳහන් කොට තිබේ.
ගුරුවරයෙක් වශයෙන් යෙහෝවඃ වහන්සේට පමණක් දෙවෙනි වන්නේ උන් වහන්සේගේ පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය. උන් වහන්සේ ප්‍රසිද්ධ වී සිටියේ, “ආචාරීන්වහන්ස [ගුරුවරයාණන් NW]” සහ “ස්වාමියා [උපදේශකයාණන් NW]” වශයෙන් වූ අතර, සුවිශේෂයේ 50ස් වාරයක් පමණ එවැන්නෙකු වශයෙන් සඳහන් කොට තිබේ. පුදුම සහගත සුවකිරීම් හා වෙනත් ප්රාතිහාර්යයන් බොහොමයක් කර තිබුණ ද, යේසුස් වහන්සේ ප්‍රසිද්ධ වී සිටියේ වෛද්‍යවරයෙකු ලෙස නොව, නමුත් ගුරුවරයෙකු, උපදේශකවරයෙකු ලෙස ය.—මතෙව් 8:19; ලූක් 5:5; යොහන් 13:13.
යේසුස් වහන්සේ සිය ගෝලයන්ට හා ප්‍රේරිතයන්ට තමන් වහන්සේ මෙන් ගුරුවරුන් වීමට ඉගැන්වීම බොහෝ සෙයින් ගැළපෙන්නකි. මතෙව් 10:5 සිට 11:1 දක්වා සහ ලූක් 10:1-11න් මෙය අපට දැකිය හැකියි. සිය ස්වර්ගාරෝහණයට සුළු කලකට පෙර, මතෙව් 28:19, 20 හි වාර්තා වී ඇති සුප්‍රසිද්ධ ඉගැන්වීමේ බල පැවරුම යේසුස් වහන්සේ සිය ගෝලයන්ට දුන් සේක: “එබැවින් නුඹලා ගොස්, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයේත් NW] නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා.” ක්‍රියා පොත මෙන් ම එයට පසු ව ලියන ලද ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිලිවල දේවානුභාවය ලත් ලිපි, යේසුස් වහන්සේගේ මුල් අනුගාමිකයන් මෙම ඉගැන්වීමේ බල පැවරුම කොතරම් ජ්වලිත ලෙස, දක්ෂ ලෙස, සහ විශ්වාසනීය ව කළා ද යන්න විස්තර කරයි.
මෙම ඉගැන්වීමේ සේවය වෙන කවරදාකටත් වඩා අද හදිසි දෙයක් වී තිබේ. අප ජීවත් ව සිටින්නේ මේ දේවල පිළිවෙළේ අවසාන දවස්වල ය, ඒ නිසා, මීට ජීවිත සම්බන්ධ ය. ජනයා මහා බබිලෝනියේ පාපවලට හවුල් නොවී, ඇගේ පීඩාවන්ගේ කොටස නොලැබීමට නම්, ඔවුන්ට උගන්වනු ලැබිය යුතු අතර, බබිලෝනියෙන් පිටතට ඇවිත්, යෙහෝවඃ වහන්සේ සහ උන් වහන්සේගේ රාජ්‍යයට තම ස්ථාවරය ගැනීමට උපකාර කළ යුතු ය.—එළිදරව් 18:4.
තම ඉගැන්වීමේ බල පැවරුම කර ගෙන යාමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දරන ප්රයත්නයේ දී ඔවුන් සියල්ලන් හට ආධාර කිරීම සඳහා, යෙහෝවඃ වහන්සේ ස්වකීය සංවිධානය තුළින් “දිව්‍ය ඉගැන්වීම” දිස්ත්‍රික්ක සමුළු සපයා ඇත. උතුරු අර්ධගෝලය තුළ මෙම දින හතරේ සමුළු ආරම්භ වන්නේ, 1993 ග්‍රීෂ්ම ඍතුවේ මුල් අවදියේ ය. අඩු තරමින් මෙම සමුළුවලින් එකකටවත් පැමිණ, බ්‍රහස්පතින්දා දහවල් ආරම්භක ගීතිකාවේ සිට ඉරිදා දහවල් අවසාන යාච්ඤාව දක්වා අවධානයෙන් සිටින බවට යෙහෝවඃ වහන්සේට කැප වූ සේවකයන්ගෙන් සෑම කෙනෙක් ම සහතික වේවා.