ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w93 4/1 4-7 පි.
  • ඔබ බව්තීස්ම විය යුතු ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ බව්තීස්ම විය යුතු ද?
  • 1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • කොයි ආකාරයෙන් ද?
  • කිනම් අරමුණක් සඳහා ද?
  • ඔබ කරන්නට යන්නේ කුමක් ද?
  • බව්තීස්ම විය යුත්තේ මන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය කියන්නේ මොකක්ද?
    බයිබලයෙන් උත්තර
  • බව්තීස්ම වීම සඳහා සුදුසුකම් අත් කරගැනීම
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බව්තීස්මය අපි ගන්නම ඕන පියවරක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w93 4/1 4-7 පි.

ඔබ බව්තීස්ම විය යුතු ද?

පසුගිය වසර තුන ඇතුළත යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් මිලියනයකට ආසන්න ජන සංඛ්‍යාවක් බව්තීස්ම කරනු ලැබූහ. මෙය දිනකට 824 දෙනෙකුගේ සාමාන්‍යයක්, එසේත් නැතහොත් සෑම විනාඩි 7කට ම 4 දෙනෙකුගේ බව්තීස්ම වීමක් අදහස් කරයි. මෙයත්, 15වන හා 16වන ශතවර්ෂවල දක්නට තිබූ ආගමික උමතුවේ යම් ආකාරයක ආකෘතියක් ද?

නැත, මේ අය ව බව්තීස්ම කරනු ලැබුවේ පුළුල් පරිමාණයේ ආගම වෙනස් කිරීමක කොටසක් හැටියට, බල කිරීමකින් හෝ, යම් ආගමික වූ ව්‍යක්ත දේශකයෙකු විසින් කරන ලද චිත්ත වේගී අභියාචනයක ප්‍රතිඵලයක් හැටියට හෝ නොවේ ය. මොවුන් ව බව්තීස්ම කරනු ලැබුවේ ක්‍රිස්තියානින්ගේ ස්වාමියාණෝ හා නායකයාණෝ වන, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, මෙය කරන ලෙස අණ කළ නිසා ය. ඔවුන් යේසුස් වහන්සේ ගෙනහැර දැක්වූ, එමෙන් ම උන් වහන්සේ ම තෝරා පුහුණු කළ ප්‍රේරිතයන් විසින් ක්‍රියාවට නංවන ලද පියවර හා පටිපාටිය අනුගමනය කර තිබුණි.

යේසුස් වහන්සේ ව නැවත නැගිටුවනු ලැබීමෙන් පසු, ස්වර්ගාරෝහණය වන්නට පෙරාතුව, උන් වහන්සේ සිය අනුගාමිකයන්ට මෙම සමුගැනීමේ නියමය දුන් සේක: “නුඹලා ගොස්, සියලු ජාතීන් [ජාතීන් අතර වෙසෙන සියලු ජාතීන්ට අයත් ජනයා ව NW] ගෝලයන් කරපල්ලා, පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයේත් NW] නාමයට ඔවුන් බව්තීස්මකරපල්ලා. මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වාපල්ලා. මමද ලෝකාන්තිමය [දේවල පිළිවෙළේ සමාප්තිය NW] දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි.” (මතෙව් 28:19, 20) එවක් පටන්, දෙවියන් වහන්සේගේ අනුමැතිය ලත් එක ම වතුර බව්තීස්මය මෙය විය.

ඒ අනුව, ක්‍රිස්තුස් වහන්සේගේ එම මුල් අනුගාමිකයන් “යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද . . . [යේසුස් වහන්සේගේ] සාක්ෂිකාරයෝ” බවට පත් වූ බව බයිබලය අපට පවසයි. (ක්‍රියා 1:8) යේසුස් වහන්සේ පුරෝකථනය කර තිබූ ආකාරයට, ඔවුන්ගේ දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ ප්‍රතිඵලයක් වශයෙන්, ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් බවට පත් වනු ඇති ඇදහිලිවන්තයන්ගේ බව්තීස්මය කිරීමක් සිදු වනු ඇත.

මෙහි පළමු වාර්තාගත ආදර්ශය, පො.යු. 33 පෙන්තකොස්ත දින යෙරුසලමේ සිදු විය. ඒ අවස්ථාවෙහි ප්‍රේරිත පේතෘස් “එකොළොස්දෙනා සමග නැගිට” සිට මෙසියස් වන යේසුස් වහන්සේ ගැන රැස් ව සිටි සමූහයාට කථා කළේ ය. ඔහුගේ එම කථාව ඇසීමෙන්, ‘අනිනලද හදවත් ඇතුව’ තමන් කුමක් කරන්ට ඕනෑ දැයි ඔවුන් ඇසූ බව වාර්තාව අපට පවසයි. “පසුතැවිලිව, පව්කමාව පිණිස යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්මය ලබාපල්ලා” යයි පේතෘස් පැවසී ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්මකරනු ලැබුවෝය. ඒ දවසේදී තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ ඔවුන්ට එකතුකරනලද්දෝය.” (ක්‍රියා 2:14-41) පසු කාලීන වාර්තාවන් මගින් සහතික වන්නේ, ගෝලයන් ව බව්තීස්ම කිරීමට පෙරාතුව ඔවුන් විසින් ක්‍රිස්තියානි පණිවුඩය ඇසීම, ශුභාරංචිය විශ්වාස කිරීම හා, පසුතැවිලි වීම සිදු වූ බව ය.—ක්‍රියා 8:12, 13, 34-38; 10:34-48; 16:30-34; 18:5, 8; 19:1-5.

කොයි ආකාරයෙන් ද?

එහෙත් මෙම අලුත් ගෝලයන් ව වතුරෙන් බව්තීස්ම කළ යුතු ව තිබුණේ කෙසේ ද? එය කළ යුතු වූයේ වතුර ඉසීමෙන් ද, හිස මත වතුර වත් කිරීමෙන් ද, එසේත් නැතහොත් සම්පූර්ණයෙන් ම වතුරේ ගිල්වීමෙන් ද? මෙහිලා බයිබල් වාර්තාව කුමක් පෙන්වයි ද? යේසුස් වහන්සේ අප “උන්වහන්සේගේ අඩි පාරේ යන පිණිස” අපට ආදර්ශයක් දී ගිය බැවින්, උන් වහන්සේ ව බව්තීස්ම කරනු ලැබුවේ කොයි ආකාරයට ද?—1 පේතෘස් 2:21.

සෑහෙන තරම් විශාල ගඟක් වන යොර්දාන් ගඟේ යේසුස් වහන්සේ ව බව්තීස්ම කරනු ලැබූ බව බයිබලය පෙන්වයි. බව්තීස්ම කරනු ලැබීමෙන් පසු, උන් වහන්සේ “දියෙන් ගොඩනැගුණු” සේක. (මාර්ක් 1:10; මතෙව් 3:13, 16) එනිසා ඇත්ත වශයෙන් ම යේසුස් වහන්සේ ව යොර්දාන් ගඟේ ගිල්වනු ලැබී ය. උන් වහන්සේ ව බව්තීස්ම කරනු ලැබුවේ යොහන් විසින් ය. මොහු ද, බව්තීස්ම කිරීමට යෝග්‍ය තැනක් සොයා යාමේ දී, “බොහෝ වතුර තිබුණු බැවින්” යොර්දාන් නිම්නයේ සාලිම් අසල ස්ථානයක් සොයා ගත්තේ ය. (යොහන් 3:23) ඇත්ත වශයෙන් ම, වතුරේ සම්පූර්ණයෙන් ම ගිල්වීම යේසුස් වහන්සේගේ අනුගාමිකයන් අතර සම්මත බව්තීස්ම ක්‍රියා මාර්ගයක් ව තිබූ බව, එතියෝපීය නපුංසකයාගේ වදන්වලින් දැකිය හැක. පිලිප්ගේ ඉගැන්වීම්වලට අනුකූලතාව දක්වමින්, ඔහු මෙසේ උද්‍යෝගී ව පැවසී ය: “මෙන්න, වතුර තිබේ; බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද?” අනතුරුව “දෙදෙනම වතුරට” බැස්ස බවත්, ඉන් පසු ව “වතුරෙන් ගොඩනැගුණු” බවත් අපට දැකිය හැක.—ක්‍රියා 8:36-39.

ක්‍රිස්තියානින් අතර ගිල්වීමෙන් බව්තීස්ම කිරීමේ ක්‍රියා මාර්ගයක් තිබූ බව ලෞකික ඉතිහාසයත් සඳහන් කරයි ද? ඇත්තෙන් ම එය එසේ කරයි. තව ද රටවල් ගණනාවක, ගිල්වීම සඳහා යෝග්‍ය විශාල බව්තීස්ම බේසම් ගණනාවක් තවමත් පවතින බව සටහන් කර ගැනීම වටී. “පළමු ශතවර්ෂ දහයේ සිට දාහතර ඇතුළත බව්තීස්ම කිරීමේ සාමාන්‍ය ක්‍රමය සම්පූර්ණයෙන් ම ගිල්වීම ව පැවති බව පුරාවිද්‍යාත්මක සාක්ෂි පමණ ඉක්මවා තහවුරු කරයි” යනුවෙන් මිනිස්ට්‍රි නම් සඟරාව පවසයි. එය වැඩිදුරටත් මෙසේ පවසයි: “මුල් ක්‍රිස්තියානි ඉදිකිරීම්වල නටඹුන් අතරත්, එමෙන් ම තවදුරටත් පාවිච්චියේ පවතින පුරාතන පල්ලිවලත්, ක්‍රිස්තියානි බව්තීස්මයේ ඉතිහාසය සොයා ගත හැකි ය. මිනී ගුහාවලත් පල්ලිවලත් සිතුවම්, ගෙබිම්, බිත්ති හා සීලිම්වල මෙසෙයික චිත්‍ර, මූර්ති ශිල්පීය උන්නත, මෙන් ම පුරාතන නව ගිවිසුමේ අත්ලියවිලිවල චිත්‍ර මෙම ඉතිහාසයට අමතර විස්තර ලබා දෙයි. . . . මෙය, වතුරේ ගිල්වීම මුල් සභාවේ බව්තීස්ම කිරීමේ සාමාන්‍ය ක්‍රමය වූ බවට, පල්ලි පියවරුන්ගේ ලිපි පුරා දැකිය හැකි සාක්ෂීන්ට අමතර යමක් වේ.”

“මුල් සභාවේ බව්තීස්මය, වතුරේ සම්පූර්ණයෙන් ගිල්වීමෙන් සිදු වූ බව පැහැදිලි” යයි න කැතොලික් එන්සයික්ලෝපීඩියා පිළිගනී. එනිසා, “කතෝලික භක්තිකයන් වතුරේ ගිල්වා බව්තීස්ම කිරීම යළි පටන් ගනිත්” (දි එඩ්මන්ටන් ජර්නල්, කැනඩාව, 1983 සැප්තැම්බර් 24), “වතුරේ ගිල්වා බව්තීස්ම කිරීම මෙහි වෙසෙන කතෝලිකයන් අතර ජනප්‍රිය වෙමින් පවතී” (සෙන්ට් ලුවි පෝස්ට්-ඩිස්පැච්, 1985 අප්‍රියෙල් 7), “කතෝලිකයන් බොහෝ දෙනෙක් ගිල්වීමෙන් බව්තීස්මය ලැබීම තෝරා ගනිත්” (ද න යෝක් ටයිම්ස්, 1989 මාර්තු 25), හා “ගිල්වීමෙන් බව්තීස්මය ලැබීමට නව පණක් ලැබේ.” (ද හ්‍යූස්ටන් ක්‍රොනිකල්, 1991 අගෝස්තු 24) යනාදී පුවත් පත් සිරස්තල අපට දැකීමට ලැබීම පුදුමයක් නොවේ.

කිනම් අරමුණක් සඳහා ද?

තමන්ගේ අනුගාමිකයන් බව්තීස්ම විය යුතු යයි යේසුස් වහන්සේ නියම කළේ මක්නිසා ද? සැබවින් ම, එය දෙවියන් වහන්සේට වූ ඔවුන්ගේ හෘද පූර්ණ කැපවීමේ උචිත සංකේතයක් වූ බැවිනි. “ශුභාරංචිය” ලොව මුළුල්ලේ දේශනා කළ යුතු ව තිබූ අතර උන් වහන්සේගේ ගෝලයන් ‘සියලු ජාතීන්ට’ අයත් ජනයාගෙන් සෑදිය යුතු ව තිබුණි. (මතෙව් 24:14; 28:19) උත්පත්තියේ සිට ම කැප වූ ජන පිරිසක් වන, යුදෙව් ජාතිය සමඟ උන් වහන්සේ විශේෂාකාරයකින් තවදුරටත් ක්‍රියා කරමින් නොසිටි බව මෙය අදහස් කළේ ය. කොර්නේලියස් හා ඔහුගේ පවුල, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ සත්‍යය පිළිගෙන, බව්තීස්මය ලැබූ පළමු අන්‍යජාතිකයන් නැතහොත් යුදෙව් නොවන්නන් වූහ.

වතුරේ සහමුලින් ම ගිල්වනු ලැබීමෙන් පෙන්වූයේ, බව්තීස්මය ලබන්නන්, තමන් වටා මෙතෙක් කේන්ද්‍රගත ව පැවති ජීවිත ක්‍රමයට තමන් මිය ගොස් ඇති බවයි. ඔවුන් ව ජලයෙන් ඉහළට ඔසවනු ලැබීම, යේසුස් වහන්සේ කර තිබූ ආකාරයට, තමන් දැන් දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමට ජීවනය ලබා සිටින බවත්, තමන්ගේ ජීවිතයේ එය පළමු තැනට තබන බවත් සංකේතවත් කළේ ය. (මතෙව් 16:24) “පියාණන්ගෙත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් [ශුද්ධාත්මයෙත් NW] නාමයට” බව්තීස්ම ලැබී, තමන් මේ එක් එක්කෙනා පිළිබඳ සත්‍යය ඉගෙන ගෙන, ඒවා පිළිගෙන තිබූ බවත්, මොවුන්ට හිමි ස්ථානයේ තබා මොවුන් ව සලකන බවත් ඇඟවී ය. (මතෙව් 28:19 සසඳන්න ක්‍රියා 13:48.) බව්තීස්මය සරල ව ගත් කල දෙවියන් වහන්සේට කීකරු වීමේ හා උන් වහන්සේගේ කැමැත්තට යටත්වීමේ මුල් පියවරක් විය.

බව්තීස්මය සක්‍රමේන්තුවක් බවට, එනම් කුසල් බවට—අනුග්‍රහය, ශුද්ධත්වය, හෝ ආත්මික ප්‍රයෝජන—පිරිනමන ආගමික උත්සවයක් බවට බොහෝ දෙනෙකු දරන ආගමික මතයට ශුද්ධ ලියවිල්ල අනුබල දෙන්නේ නැත. උදාහරණයක් වශයෙන්, මුල් ලිපියේ උපුටා දක්වන ලද IVවන ඉයූජිනියස් පාප්ගේ නියෝග පත්‍රය, බව්තීස්මය පිළිබඳ මෙසේ ද පවසන්නට යෙදුණි: “මෙම සක්‍රමේන්තුවෙන් සිද්ධ වන්නේ, මුල් හා සැබෑ යන සියලු ම පාපවලට සමාව දීම ය; සමානාකාරයෙන් පාප සඳහා ලැබිය යුතු සියලු දඬුවම්වලට ද සමාව ලැබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, බව්තීස්මය ලබන්නන් කෙරෙහි කලින් කළ පාප සඳහා කිසිදු වන්දියක් ගෙවන්නට සිදු වන්නේ නැත; තව ද ඔවුන් යම් පාපයක් කරන්නට පෙර මිය ගියොත්, ඔවුහු වහා ම දේව රාජ්‍යය හා දෙවියන් වහන්සේ ව දැකීම ලබත්.”

කෙසේ වෙතත්, යේසුස් වහන්සේ “කිසි පාපයක් නොකළ” ද බව්තීස්ම කරනු ලැබී ය. (1 පේතෘස් 2:22) එපමණක් නොව, ශුද්ධ ලියවිල්ලට අනුව, පව් සඳහා සමාවක් ලැබෙන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය කරණ කොට ගෙන පමණකි. “නැගිට [යේසුස් වහන්සේගේ] නාමයට යාච්ඤාකරමින්, බව්තීස්මය ලැබ, නුඹේ පව් සෝදාදමාපන්න” යයි අනනියස් තාර්සස් හි සාවුල්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ ය. (ක්‍රියා 22:12-16) එසේ ය, ගැලවීම ලැබිය හැක්කේ යේසුස් වහන්සේ වැගිර වූ රුධිරය මගින් හා “උන්වහන්සේගේ නාමයට යාච්ඤා” කිරීමෙන් පමණකි.—හෙබ්‍රෙව් 9:22; 1 යොහන් 1:7.

එසේ නම්, 1 පේතෘස් 3:21 හි පේතෘස්ගේ වදන් ගැන කුමක් කිව හැකි ද? එහි දී ඔහු මෙසේ පවසයි: “ඊට සමානව තිබෙන බව්තීස්මයේ වතුරෙන් එනම් මාංසයේ කිලිටුකම පහකිරීමෙන් නොව, යහපත් හෘදයසාක්ෂියකින් දෙවියන්වහන්සේ සෙවීමෙන් දැන් නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මළවුන්ගෙන් නැගිටීම කරණකොටගෙන ගැළවෙන්නහුය.” මෙහි දී පේතෘස්, බව්තීස්මය, ජල ගැල්මේ ජලය තුළින් ගමන් කිරීමේ දී නෝවා ලද අත්දැකීම සමඟ සසඳමින් සිටියේ ය. (විසිවන වගන්තිය) දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ ඇදහිල්ලක් පෙන්වමින්, නෝවා, තමාගේ පවුලේ ආරක්ෂාව සඳහා නැවක් සෑදුවේ ය. (හෙබ්‍රෙව් 11:7) සමානාකාරයෙන්, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි හා ගැලවීම සඳහා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළින් වූ ස්වකීය සැපයුම කෙරෙහි ඇදහිල්ල දැක්වීමෙන්, අද දවසේ ජීවත් වන ජනයාට මෙම දුෂ්ට ලෝකයෙන් ගැලවෙන්නට පුළුවන. ඔවුන් එම ඇදහිල්ලෙහි පිහිටා ඒ අනුව ක්‍රියා කළ යුතු ය. පව් සඳහා පසුතැවිලි වීමෙනුත්, වැරදි ක්‍රියා මාර්ගයකින් ආපසු හැරීමෙනුත්, යාච්ඤාවෙන් යෙහෝවඃ වහන්සේට කොන්දේසි විරහිත කැපවීමක් කිරීමෙනුත්, හොඳ හෘදය සාක්ෂියක් සඳහා දෙවියන් වහන්සේ වෙත ඉල්ලීමක් ඉදිරිපත් කෙරේ. එහෙත් පව් සඳහා සමාවත්, ගැලවීමත් ලැබිය හැක්කේ, යේසුස් වහන්සේගේ පූජාවේත්, ස්වර්ගයේ දී දෙවියන් වහන්සේට එම පූජාවේ වටිනාකම ඉදිරිපත් කිරීමට මං සැලසූ උන් වහන්සේගේ නැවත නැගිටීමේත් පදනම මත ය.—1 පේතෘස් 3:22.

ඔබ කරන්නට යන්නේ කුමක් ද?

ඔබ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ යම් කලකට ඇසුරු කර ඇති කෙනෙක් ද? ඇතැම් විට ඔබ බයිබලයේ ප්‍රතිපත්තිවලට එකඟ ව ඔබගේ ජීවිතයේ කළ යුතු වෙනස්කම් දැනටමත් කර තිබිය හැකි වුවත්, ඔබ කැපවීම හා බව්තීස්මය සඳහා පියවර ගෙන නැතුවා විය හැකි ය. ඔබට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට අවශ්‍ය ව තිබිය හැකි වුවත් බව්තීස්මය කොන්දේසියකට ඔබ ව යටත් කරනු ඇතැයි භය වන්නට පුළුවන. ඒ හේතුවෙන්, යම් කලකට එවන් වගකීම් හා ගණන් දීමෙන් වැළකී සිටින්නට ඔබ වැඩි කැමැත්තක් දක්වන්නට පුළුවන. මිලියන 11.5කට ආසන්න පිරිසක් පසුගිය වසරේ ස්වාමීන් වහන්සේගේ සන්ධ්‍යා භෝජන උත්සවයට පැමිණියහ. කෙසේ වෙතත්, එම වසර පුරා ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයේ හවුල් වූ උපරිම සංඛ්‍යාව මිලියන 4.5කටත් අඩු ය. මින් අදහස් කරන්නේ, මිලියන හතක ජන පිරිසක්, තමන් යෙහෝවඃ වහන්සේගේ බව්තීස්ම ලත් සාක්ෂිකරුවන් නොවූවත්, දෙවියන් වහන්සේගේ සත්‍යයට යම් අගැයීමක් පෙන්වන බව ය. ඇත්ත වශයෙන් ම, මොවුන්ගෙන් සමහරෙක් බාල දරුවන් හා අලුතෙන් උනන්දුවක් දක්වන අය වෙති. එහෙත් දේශනා සේවයේ හවුල් වන සමහරෙක් ද තවමත් බව්තීස්මය ලබා නැත. බයිබලයේ ඒකාන්ත දැනගැන්මක් ලබා ඇති නමුත් බව්තීස්මය ලැබීමෙන් ගැලවීම සඳහා වූ දෙවියන් වහන්සේගේ සැපයුමෙන් පූර්ණ ප්‍රයෝජන ලබා නොමැති බොහෝ දෙනෙක් සිටිති.

මෙහිලා මතකයේ තබා ගත යුතු වැදගත් කරුණක් නම්, දෙවියන් වහන්සේ ඔබගෙන් ඉල්ලා සිටින දෙය පිළිබඳ දැනුම ගණන් දීමකට ඔබ ව යටත් කරන බව ය. “යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම්, ඔහුට ඒක පාපයය” කියා යාකොබ් 4:17 පවසයි. දෙවියන් වහන්සේගේ ආඥා හා උපදෙස් ඇසූ තැනැත්තෙක් ඒවා ක්‍රියාත්මක කිරීමට වගකිව යුතු බව එසකියෙල් 33:7-9 හි පෙන්වයි. එනිසා ප්‍රශ්නය වන්නේ, යමෙකුට දෙවියන් වහන්සේ සඳහා අවංක ප්‍රේමයක් හා උන් වහන්සේ ව සතුටු කිරීම සඳහා සැබෑ ආශාවක් තිබේ ද යන්න ය. එවන් ප්‍රේමයක් ඇති හා යෙහෝවඃ දෙවියන් වහන්සේ සමඟ සුවිශේෂී සම්බන්ධතාවයක් ඕනෑ කරන පුද්ගලයෙක්, කොන්දේසි විරහිත ව තමන්ගේ ජීවිතය උන් වහන්සේට කැප කිරීමෙන් වළක්වන්නට යන්නේ නැත. බව්තීස්මය හුදු එම කැපවීමේ බාහිර සංකේතයක් පමණි. එය ගැලවීම කරා අවශ්‍යයෙන් ම ගත යුතු පියවරක් වන්නේ ය. අව්‍යාජ ඇදහිලිවන්තයෝ බව්තීස්මය ලබති.—ක්‍රියා 8:12.

දෙවියන් වහන්සේගේ පැමිණෙන්නා වූ නව ලෝකයේ දී ඇදහිලිවන්ත, කැප වූ පුද්ගලයන් සඳහා ඉදිරිපත් කරන මහත් අපේක්ෂාවන්, මෙම දුෂ්ට වූ පැරණි දේවල පිළිවෙළ ඉදිරිපත් කරන බව පෙනෙන්නට තිබෙන ඕනෑ ම තාවකාලික වාසි ප්‍රයෝජනවලට වඩා අතිශයින් වැඩි ය. අප දෙවියන් වහන්සේගේ බලවත් හස්තය ගැන සැලකීමේ දී, සෙසු මනුෂ්‍යයන් පිළිබඳ භය අතුරුදහන් වේ. (1 කොරින්ති 10:22; 1 පේතෘස් 5:6, 7) සැබවින් ම, එතියෝපීය නපුංසකයා පිලිප්ගෙන් ඇසූ ලෙසින්, “බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද”? යන පැනය ඔබගෙන් ම ඇසීමට කාලය මෙයයි.

[7වන පිටුවේ පින්තූරය]

එතියෝපීය නපුංසකයා මෙන්, ඔබ ඔබගෙන් ම මෙසේ අසනවා ද: “බව්තීස්මකරනු ලබන්ට මට කවර බාධාවක් තිබේද”?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න