ආගමික පින්තූරවල නිසි හා අනිසි භාවිතය
ස්ථානය රුසියාවේ, සෙන්ට් පීටර්ස්බර්ග් ය. දිනය 1914 අගෝස්තු 2 ය. ජනයා ප්‍රතිමා වනමින් සාර්ගේ [රජුගේ] මාලිගාවේ එක්රොක් වී ඇත්තාහ. විශාල ශාලාවක් මැද පූජාසනයක් ගොඩනගා ඇත. කාන්තාවක් සිය අතේ දරුවෙකු හොවා ගත් චිත්‍රයක් පූජාසනය මත සිටුවා ඇත. මෙම ප්‍රතිමාවට “වලැඩිමිර් හි දේව මෑණියෝ” යයි නම් තබා ඇත. සමූහයෝ එය රුසියාවේ ඇති වඩාත් ම පරිශුද්ධ වස්තුව යයි කල්පනා කරති.
ඇත්ත වශයෙන් ම, එම ප්‍රතිමාව ප්රාතිහාර්යයන් කරන්නේ යයි විශ්වාස කෙරේ. වර්ෂ 1812 දී, රුසියානු හමුදා, නැපෝලියන්ට විරුද්ධ ව නැගී සිටි අවස්ථාවෙහි, ජෙනරාල් කුටුසොව් එය ඉදිරියේ යාච්ඤා කළේ ය. මේ අවස්ථාව වන විට, IIවන නිකොලස් සාර් ඒ ඉදිරියේ සිටින්නේ සිය රට යුද්ධයට යොමු කිරීමෙන් පසු ව ය, තමාගේ දකුණත ඔසවා ගෙන ඔහු මෙවන් දිවුරුමක් කරයි: “රුසියානු භූමිය මත එක ම සතුරෙක්වත් සිටින තෙක් මම සමාදානයට එකඟ නොවන බව ගාම්භීර පූර්වක ව දිවුරමි.”
ඉන් සති දෙකකට පසු එම සාර්, සිය හමුදාවන්ට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය ලබනු පිණිස මොස්කෝවට වන්දනා ගමනක් යයි. ස්වර්ගාරෝහණය නම් ආසන දේව මන්දිරයේ දී, ඔහු මැණික් හා රත්රන් හෙබ වූ විශාල පිළිම තිරය—එනම් යේසුස් වහන්සේ, මරියා, දේව දූතයන්, හා “සාන්තුවරයන්” යනාදීන්ගේ චිත්‍ර ඇත්තා වූ දර්ශන තිරයක්— ඉදිරියේ දණින් වැටී යාච්ඤා කරයි.
මෙම ආගමික ක්‍රියාවන්ට විනාශයක් වැළැක්විය නොහැකි විය. වසර හතරකට වඩා අඩු කලක් තුළ, රුසියානු හමුදාවේ මිලියන හයකට වඩා වැඩි පිරිසක් අනතුරට ගොදුරු වූ අතර ඔවුන්ගේ විශාල ප්‍රදේශයක් ඔවුන්ට අහිමි විය. මීට අමතර ව, එම සාර්, ඔහුගේ අගරැජින, හා ඔවුන්ගේ දරුවන් පස් දෙනා අමානුෂික ලෙස ඝාතනය කරනු ලැබූහ. ශතවර්ෂ ගණනාවක් පැරණි රාජාණ්ඩු ක්‍රමය වෙනුවට, එම රට ආගමට විරුද්ධ වූ විප්ලවකාරී ආණ්ඩුවක් විසින් පාලනය වන්නට පටන් ගති. පිළිම කෙරෙහි වූ නිකොලස් සාර්ගේ විශ්වාසය නිෂ්ඵල බව තහවුරු විය.
එහෙත්, අද දවස දක්වා රුසියාවේ මෙන් ම වෙනත් රටවලත්, මිලියන සංඛ්‍යාත අය ප්රතිමාවලට ගරු බුහුමන් දක්වති. මෙය වැදගත් ප්‍රශ්න මතු කරයි. මෙවන් චිත්‍ර ඉදිරියේ සිදු කරන භක්තිමත් ක්‍රියා දෙවියන් වහන්සේ කෙසේ සලකන සේක් ද? එමෙන් ම ඒවා නිවෙස්වල බිත්ති මත එල්ලීමේ චාරිත්‍රය ගැන කුමක් කිව හැකි ද?
බයිබලය කුමක් පවසයි ද?
යේසුස් වහන්සේ පොළොව මත සිටිය දී, උන් වහන්සේ මෝසෙස් තුළින් දුන් දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වූ සේක. දස පනත යනුවෙන් හඳුන්වනු ලබන ආඥාවන්හි දෙවැන්න ද මීට ඇතුළත් විය. එහි මෙසේ පැවසේ: “කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්ටයක් හෝ තට සාදානොගනුව. ඊට නමස්කාර නොකරව, සේවය නොකරව, මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] වන මම අන්‍ය භක්ති” නොඉවසමි. (තනි භක්තිය නියම කරමි NW)—නික්මයාම 20:4, 5.
ඒ අනුව, යේසුස් වහන්සේ මනුෂ්‍ය අත්වලින් සෑදූ චිත්‍ර හෝ ප්රතිමාවල උපකාරය ඇති ව දෙවියන් වහන්සේට නමස්කාර නොකළ සේක. ඒ වෙනුවට, උන් වහන්සේගේ නමස්කාරය සිය පියාණන්ගේ ප්‍රකාශයට එකඟ ව තිබුණි: “මම ස්වාමීන්වහන්සේය [යෙහෝවඃ වහන්සේ ය NW ]; මාගේ නාමය ඒකය. මාගේ ගෞරවය අන් කෙනෙකුටවත් මාගේ ප්‍රශංසාව රූපවලටවත් නොදෙන්නෙමි.”—යෙසායා 42:8.
මීට අමතර ව, ද්‍රව්‍යමය වස්තුවල උපකාරය නොමැති ව දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතු වීමට හේතුව ද යේසුස් වහන්සේ පහදා දුන් සේක. “සැබෑ නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද පියාණන්වහන්සේට නමස්කාරකරන කාලය පැමිණෙන්නේය, . . . මක්නිසාද පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳුවූවන් සොයනසේක. දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුය” යයි උන් වහන්සේ වදාළ සේක.—යොහන් 4:23, 24.
යේසුස් වහන්සේ මෙන්, උන් වහන්සේගේ සැබෑ ගෝලයෝ ද නමස්කාර කිරීමට හරි ක්‍රමය අන්‍යයන්ට ඉගැන්වූහ. උදාහරණයක් වශයෙන්, අදෘශ්‍යමාන දෙවිවරුන්ට නමස්කාර කිරීමට ප්‍රතිමා භාවිතා කළ, ග්‍රීක් දර්ශන වාදීන් සමූහයකට ප්‍රේරිත පාවුල් වරක් කථා කළේ ය. ඔහු මිනිසාගේ මැවුම්කරුවාණන් ගැන ඔවුන්ට පවසා, මෙසේ ද කීවේ ය: “දේවත්ටය වනාහි මනුෂ්‍ය ශිල්පයෙන් හා සමර්ථකමින් කැපූ රනටවත් රිදීයටවත් ගලටවත් සමානයයි [අප NW ] නොසිතිය යුතුය.” පසු අවස්ථාවක, එම ප්‍රේරිතවරයා ම ක්‍රිස්තියානින් “හැසිරෙන්නේ [ගමන් කරන්නේ NW ] පෙනීමෙන් නොව ඇදහීමෙන්” බවත්, ක්‍රිස්තියානින් “රූප ඇදහීම කෙරෙන් පලා” දිවිය යුතු බවත් පැහැදිලි කළේ ය.—ක්‍රියා 17:16-31; 2 කොරින්ති 5:7; 1 කොරින්ති 10:14.
ප්‍රේරිත පේතෘස්ගේ ජීවිත අත්දැකීමක් රූප නමස්කාරයට මඟ පෙන්විය හැකි ඕනෑ ම ක්‍රියාවක් හරිගැස්වීමට ඉක්මනින් ක්‍රියා කළ බව පෙන්වයි. රෝමානු හේවා මුලාදෑනියෙක් වූ කොර්නේලියස් ඔහුගේ පාමුල වැටුණු කල, පේතෘස් ඊට විරුද්ධත්වය පළ කළේ ය. ඔහු, “නැගිටින්න, මමත් මනුෂ්‍යයෙකැයි කියා” කොර්නේලියස් ව නැගිටෙව්වේ ය.—ක්‍රියා 10:26.
ප්‍රේරිත යොහන් ගත් කල, ඔහු දිව්‍ය දර්ශනයකින් කොතරම් ගරුබියට පත් වූයේදයත්, ඔහු දේව දූතයෙකුගේ පාමුල වැටුණේ ය. එවිට දේව දූතයා මෙසේ උපදෙස් දුන්නේ ය: “එසේ නොකරන්ට බලාගනින්න. මම නුඹේද නුඹේ සහෝදරවූ ප්රොපේතරුවන්ගේද මේ පොතේ වචන රක්ෂාකරන්නන්ගේද හවුල් මෙහෙකරුවෙක්ය. දෙවියන්වහන්සේට නමස්කාරකරපන්න.” (එළිදරව් 22:8, 9) ප්‍රේරිතවරයා එම උපදේශය අගය කළේ ය. ප්‍රේමනීය ආකාරයකට, ඔහු එම සිද්ධිය අපගේ ප්‍රයෝජනය පිණිස වාර්තා කර තැබී ය.
එහෙත් ඉහත අත්දැකීම් ආගමික චිත්‍ර භාවිතය හා සම්බන්ධ වන්නේ කෙසේ ද? හොඳයි, කොර්නේලියස්ට ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතවරුන්ගෙන් කෙනෙක් පාමුල වැටීම වැරදි සහගත වූයේ නම්, “සාන්තුවරුන්ගේ” පණ නැති චිත්රවලට ගරුබුහුමන් දැක්වීම ගැන කුමක් කිව හැකි ද? එමෙන් ම ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතවරුන්ගෙන් කෙනෙකුට ක්‍රියාකාරී දේව දූතයෙකුගේ පාමුල වැටීම වැරදි සහගත වූයේ නම්, දේව දූතයන්ගේ පණ නැති චිත්රවලට ගරු බුහුමන් දැක්වීම ගැන කුමක් කිව හැකි ද? නිසැක ව ම, එවන් ක්‍රියා, “මාගේ ප්‍රිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටපල්ලා” යන යොහන්ගේ අනතුරු ඇඟවීමට පටහැනි වන්නේ ය.—1 යොහන් 5:21.
ආධාරක හැටියට අලංකාරවත් ඉගැන්වීම්
බයිබලයේ සඳහන් යම් දර්ශනයක චිත්‍රයක් තබා ගැනීම රූප නමස්කාරයක් බව මෙය අදහස් කරන්නේ නැත. මෙම සඟරාව ඉගැන්වීම් ආධාරක හැටියට බයිබලයේ සිද්ධීන්වල චිත්‍රය හොඳින් උපයෝගි කර ගනී. තව ද, බයිබල් සිද්ධීන්වල දර්ශනයන්, නිවෙස්වල හා ගොඩනැගිලිවල බිත්ති සැරසීමට යොදාගත හැකි ය. එහෙත්, සැබෑ ක්‍රිස්තියානියෙක්, අන්‍යයන් විසින් ගරුබුහුමන් දක්වන බවට ප්‍රකට වී ඇති චිත්‍රයක් ප්‍රදර්ශනය කරන්නේ හෝ බයිබලය වැරදි සහගත ලෙස නියෝජනය කරන චිත්‍ර තමාගේ බිත්තිය මත ඔහු එල්ලන්නේ හෝ නැත.—රෝම 14:13.
ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රතිමා වැඩි ප්‍රමාණයක් යේසුස් වහන්සේගේ, මරියාගේ, දේව දූතයන්ගේ, හා “සාන්තුවරයන්ගේ” හිස් වටා ආලෝක වළල්ලක් සිතුවම් කරයි. මෙය රැස් වළල්ල ලෙස හඳුන්වනු ලැබේ. මෙම රැස් වළල්ල මුලින් ම හට ගත්තේ කොතැන ද? “එහි මූලාරම්භය ක්‍රිස්තියානි නොවන්නේ ය. මන්දයත් විවිධ දෙවි දේවතාවන්ගේ මහත් මහිමය හා බලය සංකේතවත් ආකාරයකට නිරූපනය කිරීමට මිථ්‍යා දෘෂ්ටික චිත්රවේදීන් හා ප්‍රතිමා සාදන්නන් විසින් එය යොදා ගනු ලැබුවේ ය” යයි ද කැතොලික් එන්සයික්ලෝපීඩියා (1987 සංස්කරණය) පිළිගන්නා බැවිනි. මීට අමතර ව, බම්බර් ගැස්කොයින් විසින් ලියන ලද ද ක්‍රිස්ටියන්ස් නම් පොතේ රෝමයේ, කැපිටොලයින් කෞතුකාගාරයෙන් ලබා ගත් රැස් වළල්ලකින් යුත් ඉරු දෙවියාගේ චිත්‍රයක් අඩංගු වේ. මෙම දෙවියන් ව මිථ්‍යා දෘෂ්ටික රෝමවරුන් විසින් නමස්කාර කරනු ලැබී ය. යථා කාලයේ දී, “ඉරුගේ රැස් වළල්ල ක්‍රිස්තු ධර්මය විසින් ඈඳා ගනු ලැබුවේ” යයි ගැස්කොයින් පැහැදිලි කරයි. එසේ ය, රැස් වළල්ල මිථ්‍යා දෘෂ්ටික ඉරු නමස්කාරයත් සමඟ සම්බන්ධ වී ඇත.
මිථ්‍යා දෘෂ්ටික රූප නමස්කාරයේ සංකේත හා මිශ්‍රිත බයිබලයේ සිද්ධීන්ගේ චිත්‍ර ක්‍රිස්තියානි නිවසක බිත්තියේ එල්ලීම සුදුසු ද? නැත. බයිබලයේ උපදේශය මෙයයි: “දේවතා රූප සමග දෙවියන්වහන්සේගේ මාළිගාවට ඇති එකඟකම මොකද? . . . එබැවින්, නුඹලා ඔවුන් අතරෙන් පිටතට ඇවිත්, වෙන්ව සිටපල්ලා, අපවිත්‍ර දෙයකට අත නොගසා සිටපල්ලායයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] කියනසේක. එවිට මම නුඹලා” පිළිගන්නෙමි.—2 කොරින්ති 6:16, 17.
කාලය ගෙවී යත් ම, තමන් ක්‍රිස්තියානින් යයි කියා සිටි අය එවන් උපදෙස් නොසලකා හරින්නට පටන් ගත්හ. යේසුස් වහන්සේ හා උන් වහන්සේගේ ප්‍රේරිතවරුන් විසින් පුරෝකථනය කර තිබූ ආකාරයට ඇදහිල්ල අත්හැර යාමක් වර්ධනය විය. (මතෙව් 24:24; ක්‍රියා 20:29, 30; 2 පේතෘස් 2:1) පොදු යුගයේ හතරවන ශතවර්ෂයේ මුල් භාගයේ, රෝමානු අධිරාජ්‍යයා වූ කොන්ස්ටන්ටයින් ඇදහිල්ල අත්හළ ක්‍රිස්තියානි ධර්මය රාජ්‍යය ආගම බවට පත් කළේ ය. මිථ්‍යා දෘෂ්ටිකයන් රැසක් තමන් “ක්‍රිස්තියානින්” යයි කියා ගන්නට පටන් ගත්හ. අධිරාජ්‍යයාගේ ප්‍රතිමාවන්ට නමස්කාර කිරීම ඔවුන් අතර සාමාන්‍ය පුරුද්දක් ව තිබුණි. ඔවුන් තමන්ගේ මුතුන් මිත්තන්ගේ හා වෙනත් සුප්‍රකට අයගේ චිත්‍ර එල්ලා තබන්නට ද පුරුදු වී සිටියහ. “අධිරාජ්‍යයාගේ ඇදහිල්ලට එකඟ ව, ජනයා හණ රෙදි හා ලී මත පින්තාරු කරන ලද ඔහුගේ ඡායාරූපවලට නමස්කාර කළ අතර එම නමස්කාරයේ සිට ප්‍රතිමාවන්ට ගරුබුහුමන් දැක්වීම කරා තිබුණේ සුළු පියවරකි” යයි ජෝන් ටෙයිලර් අයිකන් පේන්ටිං නම් සිය පොතේ පැහැදිලි කරයි. මෙසේ, චිත්රවල මිථ්‍යා දෘෂ්ටික නමස්කාරය යේසුස් වහන්සේගේ, මරියාගේ, දේව දූතයන්ගේ හා “සාන්තුවරයින්ගේ” චිත්රවලට ගරුබුහුමන් දැක්වීමෙන් අනුයුක්ත කරනු ලැබී ය.
පල්ලිවල නායකයන් මෙය යුක්ති සහගත යයි කීවේ කෙසේ ද?
එන්සයික්ලෝපීඩියා ඔෆ් රිලිජන් නමැති ග්රන්ථයට අනුව, පල්ලි නායකයෝ මිථ්‍යා දෘෂ්ටික දර්ශනවාදීන් පාවිච්චි කළ පැරණි තර්කයන් ම නැවත නැවතත් පාවිච්චි කළහ. ප්ලූටාඛ් ඩියෝ ක්‍රිසොස්ටොම්, තීර්හි මැක්සිම්, සෙල්සස් පොර්ෆරි, හා ජූලියන් වැනි අය ප්‍රතිමා අප්‍රාණික බව පිළිගත්හ. එහෙත් මෙම මිථ්‍යා දෘෂ්ටිකයන්, මේවා තමන්ගේ අදෘශ්‍යමාන දෙවිවරුන්ට නමස්කාර කිරීමෙහි ආධාරකයන් බව තර්ක කරමින් ප්‍රතිමා භාවිතය යුක්ති සහගත යයි කියා සිටියහ. රුසියානු ප්‍රතිමා අධ්‍යයන කරන්නෙකු වන ලියොනිඩ් ඌස්පෙන්ස්කේ ද මීනිං ඔෆ් අයකන්ස් නම් පොතේ මෙසේ පිළිගනී: “පල්ලියේ පියවරුන් ග්‍රීක් දර්ශනයේ වැටහීම හා භාෂාව ක්‍රිස්තියානි දේව ධර්ම ශාස්ත්‍රයට ආදේශ කර ගනිමින්, එය උපකරණයක් හැටියට පාවිච්චි කළේ ය.”—කොලොස්සි 2:8 සසඳන්න.
ප්‍රතිමාවන්ට ගරුබුහුමන් දැක්වීම සඳහා දේව ධර්මයෙන් දෙන ලද නිදහසට කරුණු තේරුම් ගත නොහැකි බව බොහෝ දෙනෙකුට පෙනී ගියේ ය. “ප්‍රතිමාවක්, එය නියෝජනය කරන දෙය වෙනුවෙන් ඊට නමස්කාර කිරීම, නැතහොත් ප්‍රතිමාවක් නිසා ඊට නමස්කාර කිරීම අතර වෙනස . . . උසස් අධ්‍යාපනයක් ලැබූවන් හැරුණු කොට වෙනත් යමෙක් විසින් පෙන්වීමට ඉතා සියුම් ව තිබිණ” යයි අයිකන් පේන්ටිං නම් පොතේ ජෝන් ටෙයිලර් දක්වයි.
අනෙක් අතට, බයිබලය ආගමික ප්‍රතිමා ගැන පවසන දෙය පහසුවෙන් තේරුම් ගත හැකි ය. දකුණු අප්‍රිකාවේ, ජොහන්නාස්බර්ග් හි ජීවත් වන එමීලියා සලකා බලන්න. ඇය භක්තිමත් කතෝලිකයෙක් ව සිටි අතර චිත්‍ර ඉදිරියේ දණින් වැටී යාච්ඤා කරන්නට පුරුදු ව සිටියා ය. අනතුරුව, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් ඇයගේ දොරට තට්ටු කළා ය. දෙවියන් වහන්සේට යෙහෝවඃ නම් නාමයක් ඇති බව පෘතුගීසි බයිබලයෙන් දැකීමෙන් ඇය මහත් සේ ප්‍රීතියට පත් වූවා ය. (ගීතාවලිය 83:18, ඇල්මෙයිඩා) ඇය සමඟ පවත්වන ලද බයිබල් පාඩම් මාලාව තුළ ඇය “යෙහෝවඃ වහන්සේ ව අසතුටට පත් නොකරන්නට මා කුමක් කළ යුතු ද?” යයි ඇසුවා ය. සාක්ෂිකාරිය ඇයගේ බිත්තියේ එල්ලෙමින් තිබූ චිත්‍ර ඇයට පෙන්වා, ගීතාවලිය 115:4-8 කියවන්නැයි ඇයට කිව්වා ය. එම රාත්‍රියේ එමීලියාගේ ස්වාමිපුරුෂයා නිවසට පැමිණි විට, ඇයට තමාගේ ආගමික චිත්‍ර ඉවත් කිරීමට වුවමනාවක් ඇතැයි ඇය ඔහුට කිව්වා ය. ඔහු එකඟ විය. ඊළඟ දවසේ ඇය තමාගේ පුත්‍රයන් දෙදෙනා වන ටෝනි හා මැනුවෙල් ව එම චිත්‍ර කඩා පුලුස්සන්ට යොදා ගත්තා ය. අද දවසේ, අවුරුදු 25කට පමණ පසු, එමීලියා මේ ගැන කිසිසේත් පසුතැවිලි වන්නී ද? නැත. ඇත්ත වශයෙන් ම, ඇය සිය පවුලත් සමඟ තමාගේ අසල්වැසියන් බොහෝ දෙනෙකුට යෙහෝවඃ වහන්සේගේ සන්තෝෂවත් නමස්කාරකයන් වන්නට උපකාර කර ඇත.
සමානාකාර අත්දැකීම් බොහෝවර ප්‍රකාශයට පත් ව ඇත. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක ව්‍යාප්ත ගෝලයන් සෑදීමේ සේවයේ ප්‍රතිඵලයක් හැටියට, මිලියන සංඛ්‍යාත අය දෙවියන් වහන්සේට “ආත්මයෙන්ද සැබෑකමෙන්ද” නමස්කාර කරන්නට ඉගෙන ගනිමින් සිටිති. “පියාණන්වහන්සේ තමන්ට නමස්කාරකරන්නන් වන පිණිස එබඳු වූවන් සොයන සේක” යයි යේසුස් වහන්සේ වදාළ බැවින්, ඔබටත් නමස්කාර කිරීමේ මෙම උත්තරීතර ක්‍රමයෙන් ආශීර්වාද අත්දකින්නට පුළුවන.—යොහන් 4:23, 24.
[26වන පිටුවේ පින්තූරය]
සිය හමුදාවන්ට ප්‍රතිමාවකින් ආශීර්වාද කරන IIවන නිකොලස් සාර්
[හිමිකම් විස්තර]
Photo by C. N.