ඔබ ඔබගේ උපරිමය කරමින් සිටින්නෙහි ද?
“මට පුළුවන් තරම් කරන්නම්.” මෙම වදන්වලට පසු “නමුත්” යන වචනය එකතු වී, එම පුද්ගලයා විසින් ඒ සඳහා දැඩි ප්රයත්නයක් නොදැරීම පිණිස නිදහසට කරුණුවල කොතරම් දිගු ලැයිස්තුවක් දිගහැරේ ද! යෙහෝවඃ වහන්සේට වූ අපගේ කැප වීම ගැන කුමක් කිව හැකි ද? උන් වහන්සේට උපරිමය කිරීමට වූ අපගේ පොරොන්දුව අප ඉෂ්ට කරමින් සිටිනවා ද?
කැප වීමක් කිරීම යනු ‘දිව්‍යමය කෙනෙකුට හෝ පරිශුද්ධ සේවය සඳහා අන් සියල්ලෙන් බැහැර සේවයට හෝ නමස්කාරයට තමා ව යෙදවීම ය.’ යේසුස් වහන්සේ “යමෙක් මා පස්සේ එන්ට කැමති නම් ඔහු තමාම නොසලකා, තමාගේ කුරුසිය [වධ කණුව NW] රැගෙන, මා අනුව [දිගට ම NW] ඒවා” යයි පැවසීමෙන්, යෙහෝවඃ වහන්සේට කැප වීම හා සම්බන්ධ වන දේ පෙන්වීමට මහත් දෑ කළ සේක. (මතෙව් 16:24) තමා ව දෙවියන් වහන්සේට කැප කර ඇති කෙනෙක්, තමා ම නොසලකා දිව්‍ය කැමැත්ත කිරීම ඔහුගේ ජීවිතයේ වඩාත් ම වැදගත් ලුහුබැඳීම කර ගනී.
කැප වූ සෙනඟක් හැටියට, අප අපගේ කැප වීමට එකඟ ව ජීවත් වන්නේ දැයි බැලීමට අප ව ම පරීක්ෂා කර බැලිය යුතු ය. පේතෘස් ආලේප ලත් ක්‍රිස්තියානින්ට මෙසේ දිරිගැන්වූ විට, අප ව පරීක්ෂා කළ යුතු වීමට හේතුව ඇඟවී ය: “නුඹලාගේ කැඳවීමද තෝරාගැනීමද ස්ථිර කරගන්න පිණිස වඩා කඩිසරව ක්රියාකරපල්ලා [උපරිමය කරපල්ලා NW]. මක්නිසාද නුඹලා මේ දේ කරනවා නම් කිසි කලකත් පැකිලෙන්නේ නැත.” (2 පේතෘස් 1:10) එසේ ය, අප අපගේ උපරිමය කරන්නේ නම්, අප අවසානයේ දී ආත්මික වශයෙන් අසමර්ථ වූවන් බවට පත් නොවනු ඇත.
අපගේ උපරිමය වැඩි දියුණු කළ හැක
පුළුල් අර්ථයකින් ගත් කල, යෙහෝවඃ වහන්සේ ව ප්‍රසන්න කරන්නට සිය උපරිමය නැතහොත් හැකි සෑම දෙයක් ම කිරීම, දෙවියන් වහන්සේගේ සියලු කැප වූ සේවකයන්ගෙන් අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, දෙවියන් වහන්සේගේ කැමැත්ත කිරීමෙහි ලා අපගේ උපරිමය වර්ධනය විය හැකි ය. අවුරුදු තුනක් වයසැති දරුවෙකුට, ගෙදර දොර කටයුත්තක් කිරීම සිය මවට උපකාර කිරීමට ඔහුට කළ හැකි උපරිම දෙය විය හැකිමුත්, ඔහු වයසින් වැඩෙත් ම ඔහුට වැඩි යමක් කරන්නට පුළුවන් වනු ඇත. ඒ හා සමාන ව, අපගේ ආත්මික වර්ධනය සමඟින්—කලින් අපගේ උපරිමය ව පැවති ප්‍රමාණය තවදුරටත් එයාකාර නොවනු ඇත. අප තවත් වැඩියෙන් යෙහෝවඃ වහන්සේට කරන්නට පෙලඹෙනු ඇත.
යෙහෝවඃ වහන්සේ කෙරෙහි වැඩි වන්නා වූ අපගේ ඇගැයීම තවත් වැඩියෙන් කිරීමට වූ අපගේ කැමැත්තට අනුබල දෙයි. උන් වහන්සේගේ වචනය වන බයිබලය, පුද්ගලික ව අධ්‍යයනය කිරීමෙන් උන් වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ සඳහා ඇගැයීම ශක්තිමත් කෙරේ. උදාහරණයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ව මනුෂ්‍ය වර්ගයා ව පාපයෙන් මුදවා ගැනීම සඳහා තම ජීවිතය පාවා දීමට එවූ ආකාරය අප සැලකිලිමත් ව විමර්ශනය කර එය මෙනෙහි කරත් ම, එම මිදීමේ මිලයේ විධිවිධානයට මුලපිරූ තැනන් වහන්සේට සේවය කිරීමට අපි පෙලඹෙන්නෙමු. (යොහන් 3:16, 17; 1 යොහන් 4:9-11) “ස්වාමීන් [යෙහෝවඃ NW] යහපත් බව රස බලා දැන” ගැනීම වැඩිවන පමණට, උන් වහන්සේට සේවය කිරීමට අපගේ හෘදයන් පෙලඹේ.—ගීතාවලිය 34:8.
ජෙටර් නම් පූර්ණ කාලීන සේවිකාවක් මෙය තේරුම් ගත්තා ය. තමා ඉගෙන ගනිමින් සිටි දෙය ගැඹුරට සෝදිසි කිරීම පිණිස, ඇය තමාගේ නිවසේ කුඩා කාමරයක් එම අරමුණ සඳහා වෙන් කළා ය. පර්යේෂණ කරන අතර ඇයට හොඳින් සිත එක්තැන් කොට තබාගත හැකි ලෙසින් එය සකස් කළා ය. අතේ දුරින් වූ පොත් රාක්කයේ, වොච් ටවර් පබ්ලිකේෂන් ඉන්ඩෙක්ස් මෙන් ම මුරටැඹ හා පිබිදෙව්! සඟරාවල බැඳි වෙළුම් ඇයට ඇත. “මා පර්යේෂණ කර උනන්දුව දනවන තොරතුරු සොයා ගත් විට, ඒවා අන්‍යයන් සමඟ බෙදා ගන්නා තෙක් මට ඉවසුම් නැත” යයි ඇය කියන්නී ය.
කෙසේ වෙතත්, ඉඳ හිට අනගි ආහාර වේලක් අනුභව කිරීම, ක්රමානුකූල ආහාර ගැනීමට ඇති දින පතා අවශ්‍යතාවයෙන් පුද්ගලයෙක් ව නිදහස් නොකරන්නා සේ, බයිබලය තුළට ගැඹුරින් එහෙත් එක් වතාවත් පමණක් කරන පර්යේෂණයක්, ආත්මික ආහාර ගැනීමට ඇති දෛනික අවශ්‍යතාවය නිෂ්ප්රභා කරන්නට යන්නේ නැත. රූත් මෙම අවශ්‍යතාව අගය කරන්නී ය, මන්දයත් ඇයට මතක ඇති කාලයක සිට, ඇයගේ පවුල කෑම ගැනීමෙන් පසු සෑම උදෑසනක ම හා සෑම සන්ධ්‍යාවක ම බයිබලය කියවා ඇති බැවිනි. දැන්, වයස අවුරුදු 81ක් ඉක්මවා, එමෙන් ම අවුරුදු 60කට අධික කාලයක් පූර්ණ කාලීන සේවයේ ගත කර ඇති අවධියකදීත්, ඇය උදෑසන 6.00ට අවදි වීමෙන් පසු තවදුරටත් විධිමත් ලෙස බයිබලය කියවන්නී ය. ඇය මුරටැඹ හා පිබිදෙව්! සඟරා ලද විගස, ඒවා කියවන්නට කාලය වෙන් කරන්නී ය. එය සභාවේ අධ්‍යයනය කරන්නට පෙර, රූත් සෑම ලිපියක් ම අඩු තරමින් තුන් හතර වතාවක්වත් සෝදිසි කරන්නී ය. “ඇදහිල්ලේ ශක්තිමත් ව සිටීමට ඔබ කළ යුත්තේ දේව වචනය ඉගෙන ගැනීම” යයි ඇය කියන්නී ය. එය වසර ගණනාවක් මිෂනාරි සේවයේ නිරත ව සිටීමටත් ඇයට උපකාර කර ඇත.
අන්‍යයන්ට උපකාර කිරීමේලා අපගේ උපරිමය කිරීම
දේව වචනය පිළිබඳ ගැඹුරු හා ක්රමානුකූල පාඩමකින් දෙවියන් වහන්සේට සේවය කිරීමට වූ අපගේ උනන්දුව වැඩි වන අතර අප තුළෙහි පවතින යමක් වඩ වඩා ක්‍රියාකාරී වීමට අප ව පොලඹවයි. (යෙරෙමියා 20:9 සසඳන්න.) මෙවන් උනන්දුවක් සිය සේවය සම්පූර්ණ ලෙස ඉෂ්ට කිරීමට හිරෝෂියා ව පෙලඹවී ය. (2 තිමෝති 4:5) ඔහු තනි වූ මවත් සමඟ විසූ බාල සහෝදර සහෝදරියන් හතර දෙනෙක් සමඟ එක ම නිවසේ ජීවත් විය. ඔහු නව යොවුන් වියේ සිටිය දී, පුවත් පත් බෙදා දීම සඳහා උදෑසන තුනට අවදි වීමෙන් සිය පවුලට මූල්‍යාධාර සැපයී ය. හිරෝෂියාට යෙහෝවඃ වහන්සේ ගැන අන්‍යයන්ට කීමෙහි වැඩි යමක් කරන්නට වුවමනා වූ බැවින් ඔහු, යෙහෝවඃ වහන්සේගේ පූර්ණ කාලීන සේවය හඳුන්වනු ලබන ආකාරයට, පුරෝගාමි සේවය සඳහා අයදුම් කළේ ය. එවකට යෞවන ව සිටි ඔහු, යෙහෝවඃ වහන්සේට ප්‍රශංසා කරනු පිණිස තමන්ගේ උපරිමය කිරීමෙහි, ඔහු හා එක් වන්නට අන්‍යයන්ට උපකාර කරමින් ප්‍රීතිය භුක්ති වින්ඳේ ය.
අපගේ සේවයේ ක්‍රියාශීලී වීමට, අන්‍යයන්ට උපකාර කරනු පිණිස අපට හැකි සෑම දෙයක් ම කිරීම අයත් වේ. යේසුස් වහන්සේ වරක් සිය ගෝලයන් ව මෙසේ දිරිගැන් වූ සේක: “ඉඳින් මේ දේවල් දන්නාවූ නුඹලා ඒවා කරනවා නම් නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂලද්දෝ ය NW].” (යොහන් 13:17) අපගේ සේවය වැඩි දියුණු කිරීමට යෙහෝවඃ වහන්සේගේ සංවිධානයෙන් දෙන යෝජනා ක්‍රියාවට නැගීමෙහි ලා නයෝමි හොඳ ආදර්ශයක් වන්නී ය. ගෙයින් ගෙට යාමේ දී අමුත්තන්ට කථා කිරීමෙහි ඇයට දුෂ්කරත්වයක් තිබූ අතර බොහෝවර ගෙයි දොරකඩ සිටගෙන සිටිය දී කිව යුත්තේ කුමක් දැයි කල්පනා කළ නොහැකි තත්ත්වයක සිටියා ය. සභාවේ වැඩිමහල්ලෝ රීසනිං ෆ්‍රොම් ද ස්ක්‍රිප්චර්ස් පොතේ, “ක්ෂේත්‍ර සේවයේ භාවිතය සඳහා හැඳින්වීම්”a නම් කොටසේ යෝජනා අදාළ කර ගන්නා ලෙස ඇයගෙන් උදක් ම ඉල්ලා සිටියෝ ය. ඇය “පවුල⁄දරුවන්” යන ශීර්ෂය යටතේ ඇති හැඳින්වීම් කටපාඩම් කර ඒවා වාර ගණනක් පෙරහුරු කළා ය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වයස 30 ගණන්වල ගෘහනියක් සමඟ ඇයට සංවාදයක් පැවැත්විය හැකි විය. නයෝමි නැවත බැලීමක් කරන්නට කලින් පවා, මෙම කාන්තාව රාජ්‍යය ශාලාවට පැමිණියා ය. බයිබල් පාඩමක් සූදානම් කරනු ලැබී ය. මෙම ගෘහනිය හා ඇයගේ ස්වාමිපුරුෂයා, දැන් තමන්ගේ දරුවන් සමඟ සන්තෝෂවත් පවුල් ජීවිතයක් භුක්ති විඳින්නා වූ, බව්තීස්ම ලත් ක්‍රිස්තියානින් ය.
පුද්ගලික උනන්දුව පෙන්වීමෙහිලා අපගේ උපරිමය කිරීම
“[මම NW] ශුභාරංචියේ පංගුකාරයෙක් වෙන පිණිස ශුභාරංචිය උදෙසා සියල්ල කරමි” යයි පැවසූ, ප්‍රේරිත පාවුල් ව ද අපට අනුකරණය කරන්නට පුළුවන.—1 කොරින්ති 9:22, 23.
හට්සුමි මෙම ආකල්පය පිළිබිඹු කරන්නී ය. හට්සුම් ප්‍රසිද්ධ සේවයේ යෙදී සිටි විට එක් කාන්තාවක්, අන්තර් පණිවුඩ හුවමාරු යන්ත්‍රයකින් ඉතා කාරුණික ව කථා කරමින්, තමා කථා කරන්නට වේලාවක් නැති පමණට කාර්ය බහුල ව සිටින බව පැවසුවා ය. එම ගෙවැසියාගේ කට හඬේ ස්වරය මෘදු ව තිබූ බැවින්, හට්සුමි දිගට ම ඇය ව බලන්නට ගියා ය. එම ගෙවැසියා හට්සුමි ව හමු වන්නට ඒ කිසි ම අවස්ථාවක පිටතට නොපැමිණි අතර නිතර ම පිළිතුරු දුන්නේ එම යන්ත්‍රය මගින් පමණකි. මෙය වසර දෙකහමාරක් දිගට ම සිදු විය.
දිනක් හට්සුමි ඇය ව බලන්නට යන වේලාව වෙනස් කරමින්, දිවා භාගය සෑහෙන පමණ ගෙවී යාමෙන් පසු එහි ගියා ය. කෙසේ හෝ, හට්සුමි ඉවත් ව යන්නට සැරසෙද්දී, ඇය පසුපසින් ඇයට හුරු පුරුදු කට හඬක්, “ඔබ කවුද?” කියා ඇයගෙන් ඇසී ය. ඒ අවස්ථාවේ දී එම කාන්තාව ගමනක් ගොස් තමාගේ නිවසට එමින් සිටියා ය. හට්සුමිගේ නාමය ඇසීමෙන් පසු, ඇය එකවර ම මෙසේ කිව්වා ය: “ආ, මා ව හමුවන්නට දිගට ම එමින් සිටියේ ඔබයි. ස්තුතියි මා ගැන නිතර සැලකිල්ලක් දැක්වීම ගැන.” එම කාන්තාව තවත් ස්ථානයක යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ පැවැත් වූ තමාගේ පාඩම නවතා තිබූ බැවින්, ඇය හට්සුමිට දොර අරින්නට ලජ්ජාශීලී ව සිට තිබිණි. අලුතින් බයිබල් පාඩමක් පටන් ගන්නා ලද අතර එම ගෙවැසියා ඉතා හොඳ ප්‍රගතියක් ලබමින් සිටින්නී ය. ගෙයින් ගෙට සේවයේ දී අපට හමු වන අය ගැන අපත් එයාකාර සැලකිල්ලක් දක්වනවා ද?
ඔබගේ උපරිමය කරන්න
උපරිම ලෙස තමන්ට සේවය කරන්නට වූ අපගේ වෑයම් යෙහෝවඃ වහන්සේ අගය කරන සේක. උන් වහන්සේ වනාහි, තම පුත්‍රයා තෑගි රැගෙන තමා වෙතට එන පියෙක් හා සමාන ය. ගතවන කාලය අනුව, පුත්‍රයාගේ වයස හා හැකියාව මත පදනම් ව ගෙනෙන තෑගි වෙනස් වන්නට පුළුවන. තමාගේ පුත්‍රයා තමාට දෙන ඕනෑ ම හෘදයාංගම තෑග්ගක් ලබන්නට පියා ප්‍රීති වන්නා සේ, අපගේ ආත්මික වර්ධනයට එකඟ වූ අපගේ හෘද පූර්ණ සේවය යෙහෝවඃ වහන්සේ කෙළින් ම පිළිගන්නා සේක.
ඇත්ත වශයෙන් ම, අපගේ උපරිමය අන්‍යයන්ගේ උපරිමයත් සමඟ සැසඳීමෙහි ඵලක් නැත. පාවුල් කියන්නාක් මෙන්, අප සම්බන්ධයෙන් ප්‍රීතියට පත්වීමට අපට හේතු ඇති වන්නේ “අනෙක් තැනැත්තා සමඟ සැසඳීමෙන් නොවේ ය.” (ගලාති 6:4, NW) අප දිගට ම, “උන්වහන්සේ ඉදිරියෙහි කැලැල් රහිතව, නිදොස්ව, සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහකරපල්ලා [උපරිමය කරන්න NW]” යන ප්‍රේරිත පේතෘස්ගේ අවවාදයට එකඟ ව කටයුතු කරමු.—2 පේතෘස් 3:14.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., විසින් ප්‍රකාශිතයි.
[29වන පිටුවේ පින්තූරය]
ඔබ ක්ෂේත්‍ර සේවය සඳහා දෙන යෝජනා උපයෝගි කර ගනිමින් ඔබට හැකි සෑම දෙයක් ම කරමින් සිටින්නෙහි ද?