බයිබලය—නූතන මිනිසාට ප්‍රායෝගික මඟ පෙන්වීමකි
“මුළු ශුද්ධ ලියවිල්ල දෙවියන් වහන්සේගේ අනුභාවයෙනි, . . . තව ද මිනිසුන්ගේ ජීවිතවලට මඟ පෙන්වීම සඳහා . . . ප්‍රයෝජනවත් ලෙස උපයෝගි කළ හැකි ය.”—2 තිමෝති 3:16, “ද ජෙරුසලම් බයිබල්.”
මෙම ශුද්ධ ලියවිලි පදය, බයිබලය අපගේ දවස සඳහා ප්‍රායෝගික වීමට මූලික හේතුව පැහැදිලි කරයි. එය වනාහි දේවානුභාවයෙන් ලද්දකි. දෙවියන් වහන්සේ අප ව මවා වදාළ බැවින්, උන් වහන්සේ දන්නා තරම් අපගේ ශරීර, මනස්, හැඟීම්, හා අවශ්‍යතා ගැන කවරෙක්වත් දන්නේ නැත. ඊශ්‍රායෙලිත දාවිත් රජ වරක් යෙහෝවඃ දෙවියන් වහන්සේ ගැන මෙසේ පැවසුවේ ය: “ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය.” (ගීතාවලිය 139:16) අපගේ මැවුම්කරුවාණන් අප ගැන මෙතරම් අවබෝධයකින් යුක්ත ව සිටින්නේ නම්, අප ජීවිතයේ සන්තෝෂවත් ව සිටිය හැකි හා සාර්ථක විය හැකි ආකාරය පිළිබඳ උන් වහන්සේගේ උපදෙස් හා අවවාද නිසැක ව ම පරීක්ෂා කර බැලීම වටිනා යමක් වන බව තර්කානුකූල ය.
බයිබල් ප්‍රතිපත්ති අපගේ දවස සඳහා ප්‍රායෝගික මෙන් ම යථාර්ථානුරූපී බව අත්දැකීමෙන් පෙනේ. ඒවා නිශ්චිතාකාර ද වන්නේ ය. බයිබලයේ දෛනික ප්‍රායෝගිකත්වය නිදර්ශනය කරන්නා වූ උදාහරණ හතරක් මෙතැන් සිට දැක්වේ.
මිනිස් සබඳතා හා පුද්ගලික හැසිරීම: අන්‍යයන් සමඟ සුවදායී හා සඵල සම්බන්ධකමක් ගොඩනැගීමට මඟ පෙන්වන හොඳ පුද්ගලික සාරධර්ම මාලාවක් බයිබලය දිරිගන්වයි. උදාහරණයක් වශයෙන්, “පළිගන්නේවත් නුඹේ සෙනගගේ පුත්‍රයන්ට විරුත්ටධව කිසි වෛරයක් [අමනාපයක් NW] පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න” යයි ඉශ්රායෙල් ජාතියට අණ කර තිබුණි. (ලෙවී කථාව 19:18) අප ඉශ්රායෙල් නීතියට යටත් ව නොසිටිය ද, එහි අඩංගු බයිබල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම අපගේ අසල් වැසියන් සමඟ සාමයෙන් සිටීමට අපට උපකාරවත් විය හැකි ය. උදාහරණයක් වශයෙන්, ගලාති 5:22, 23 හි දක්නට ලැබෙන ආත්මික ගුණාංග වර්ධනය කර ගැනීමට සෑම කෙනෙක් ම වෑයම් කළා නම්, කොතරම් ගැටලු විසඳා ගත හැකි දැයි කල්පනා කර බලන්න: “ආත්මයාණන්වහන්සේගේ [ආත්මයේ NW] ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල NW], මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම [ආත්ම දමනය NW] යන මේවාය. මෙබඳු දේට විරුද්ධව ව්‍යවස්ථාවක් නැත.”—රෝම 8:5, 6 සසඳන්න.
අභාග්‍යයකට මෙන්, ජීවිතයේ පීඩන වැඩි වන විට, බොහෝ අවස්ථාවන්හි නොඉවසුම් ගතිය හා ගැටීම් ඇති වේ. මෙවන් අවස්ථාවන්හි, හිතෝපදේශ 29:11 හි දක්නට ලැබෙන වදන් උපයෝගි කර ගැනීම අප ව බොහෝ කරදරවලින් ආරක්ෂා කරනු ඇත. “අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වා ගනියි [අවසානය දක්වා සන්සුන් ව සිටී NW]” යන අවවාදාත්මක වදන් උපයෝගි කර ගැනීම, බොහෝ විපත්වලින් අප ව ආරක්ෂා කරනු ඇත.—සසඳන්න හිතෝපදේශ 15:1; මතෙව් 7:12; කොලොස්සි 3:12-14.
හොඳ අවවාද—එහෙත් සැබෑ ජීවිතයේ මේවා ක්‍රියාවට නැගිය හැකි ද? තමාගේ කෝපාවිෂ්ට ස්වභාවය සම්බන්ධයෙන් මහත් ගැටලුවකට මුහුණ දී සිටි ප්‍රංශයේ විසූ මනුෂ්‍යයෙකුගේ සිද්ධිය සැලකිල්ලට ගන්න. සණ්ඩුවලට පැටලීම හේතුවෙන් බොහෝ වාර ගණනක් ඔහු කරදරවල පැටලී, ඇතැම් විට සිරගෙයට පවා යාමට සිදු විය. ඔහු බොක්සිං ශූරයෙක් ව සිටීම තත්ත්වය වඩාත් නරක අතට හැරවී ය. වරක් මෙම මිනිසා හා ඔහුගේ පියා අතර දබරයක් ඇති විය. තත්ත්වය අවබෝධ කර ගන්නටත් කලින්, ඔහු පහරක් ගසා පියා ව බිම හෙලා තිබුණේ ය. එහි ප්‍රතිඵලය වූයේ, ඔවුන්ගේ සම්බන්ධතාවයේ විශාල විභේදයක් ඇති වීම ය.
මේ අතර, මෙම මනුෂ්‍යයාට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හමු වූ අතර බයිබල් ප්‍රතිපත්ති ඉගෙන ගන්නට පටන් ගත්තේ ය. මෙය අන්‍යයන් කෙරෙහි තමාගේ කල් ක්‍රියාව දෙස තීක්ෂ්ණ බැල්මක් හෙළන්නට ඔහු ව පෙළඹවී ය. බලවත් උත්සාහයක් දැරීමෙන් පසු ඔහුගේ පුද්ගලික හැසිරීම වෙනස් වන්නට පටන් ගත් අතර ඔහු වඩාත් සාමකාමී විය. අනතුරුව, දිනක් පියා සමඟ සමාදාන වීමට ඔහු පියා ව බලන්නට ගියේ ය. සිය පුතා කර තිබූ වෙනස්කම් ගැන කොතරම් පියාගේ සිත් ගත්තේ ද කියතොත්, ඔවුන්ගේ සම්බන්ධකම් පෙර තිබූ තත්ත්වයට ම යළි ප්‍රාණවත් විය.
මෙය, ප්‍රේරිත පාවුල්ගේ මතු සඳහන් වදන්වල සත්‍යතාවට සාක්ෂි දරන උදාහරණ බොහොමය අතරින් එකකි: “මක්නිසාද දෙවියන්වහන්සේගේ වචනය ජීවමානය, බලවත්ය, කොයිම දෙමුහත් කඩුවකටවත් වඩා තියුණුය, . . . සිතේ [හෘදයේ NW] සිතිවිලිද අදහස්ද [චේතනා ද NW] විමසන්නේය.”—හෙබ්‍රෙව් 4:12.
පවුල් ජීවිතය: ඔබගේ පවුල් ජීවිතය සන්තෝෂදායක ද? පවුල් බොහොමයක් එවන් තත්ත්වයක නොපවතී. “ආයතනයක් හැටියට පවුල් ජීවිතය තර්ජනයට ලක් ව ඇති බවට වූ කාරණය දැන් නිසැක ය” යයි අදහස් දක්වන දකුණු අප්‍රිකානු පුවත් පතක් වන, ද නටාල් විට්නස්, වැඩිදුරටත් මෙසේ ද පවසයි: “අද දවසේ දරුවන් සමාජ විප්ලවයක් තුළට ඉපදෙමින් සිටී.”
කෙසේ වුවත්, ගැටලු පැන නගින විට පවා සාර්ථක වීමට පවුල්වලට උපකාර කිරීමට නිර්මාණය කළ ප්‍රායෝගික අවවාදවලින් බයිබලය සපිරි ය. උදාහරණයක් හැටියට, ස්වාමිපුරුෂයාගේ කාර්ය භාරය සම්බන්ධයෙන් බයිබලය පවසන්නේ, “පුරුෂයන් විසින්ද තමුන්ගේ භාර්ය්යාවන්ට තමුන්ගේම ශරීරවලට මෙන් ප්රේමකටයුතු” බව ය. ස්වාමිපුරුෂයා මෙම අවශ්‍යතාව සපුරාලන විට, “පුරුෂයාට භයපක්ෂව [ගැඹුරු ගෞරවයකින් NW]” සිටීමෙන් අන්‍යෝන්‍ය සැලකිල්ලක් දැක්වීම ඔහුගේ භාර්යාවට ප්‍රීතියකි. (එපීස 5:25-29, 33) දෙමව්පියන් හා දරුවන් අතර සම්බන්ධතාව එපීස 6:4 හි මෙසේ විස්තර කර ඇත: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන් ද NW] ඔවුන් ඇතිකරපල්ලා.” මෙමගින් පිළිවෙළින්, තමන්ගේ දෙමව්පියන්ට කීකරු වීමට වූ බයිබලයේ ආඥාව අනුගමනය කිරීමට දරුවන්ට පහසු කරවන පවුල් වාතාවරණයක් උදා වෙයි.—එපීස 6:1.
ඉහත සඳහන් වූයේ පවුල් ජීවිතය ගැන බයිබලය පවසා ඇති බොහොමයක් දේ අතුරින් කුඩා ආදර්ශයක් පමණි. දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමට ප්‍රතිචාරය දැක්වීමෙන්, බොහෝ දෙනෙක් සාර්ථකත්වයක් ලබා ඇති අතර නිවසේ දී සන්තෝෂය සොයා ගෙන ඇත. දෙදරු පියෙක් වන, එඩ්වර්ඩ්, බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගැනීමෙන් තමා භුක්ති විඳි ප්‍රයෝජන පැහැදිලි කරයි: “මගේ විවාහය දෙපලු වෙමින් තිබුණා” යයි ඔහු සිහිපත් කරයි. “මගේ දරුවන් සමඟ අර්ථවත් සම්බන්ධතාවයක් පැවැත්වීමට මට වේලාවක් තිබුණේ නෑ. අප ව එක් කළ එක ම දෙය වූයේ, පවුල් ජීවිතය ගැන බයිබලයට කියන්නට තිබූ දෙය අප විසින් අදාළ කර ගැනීමයි.”—හිතෝපදේශ 13:24; 24:3; කොලොස්සි 3:18-21; 1 පේතෘස් 3:1-7.
මානසික, කායික, හා චිත්ත වේගී සුවය: පුද්ගලයෙකුගේ කායික සුවය, යම්තාක් දුරට ඔහුගේ මානසික හා චිත්ත වේගී සුවයේ තත්ත්වය හා සම්බන්ධ වී ඇති බව පර්යේෂණවලින් එළිදරව් වී ඇත. “පමණ ඉක්මවා හද ගැස්ම, අධි රුධිර පීඩනය, පේශී ආතතිය, මානසික අසහනය, හා සිත ඒකාග්ර ව තැබීමට නොහැකියාව යනාදී සියල්ල අධික ලෙස වෙහෙසට පත් ව සිටීමේ සාමාන්‍ය ලකුණු වන්නේ ය” යයි ද වර්ල්ඩ් බුක් එන්සයික්ලෝපීඩියා පවසයි. කෙසේ වෙතත්, ප්රචණ්ඩ ක්‍රියා මවා පෑමක් අධික ලෙස වෙහෙසට පත් ව සිටීමේ ස්වභාවය සැහැල්ලු කර ගැනීමට ක්‍රමයක් යයි සමහරෙක් විශ්වාස කරති. “බොක්සිං අධික ලෙස වෙහෙස පැරද වීමට බොහෝ සෙයින් දායක වන්නක් විය හැකි ය” යයි ද ස්ටාර් නම් දකුණු අප්‍රිකානු පුවත් පත ප්‍රකාශ කරයි. මෙහිදී ශරීර යෝග්‍යතා පිළිබඳ උපදේශිකා ජෙනි ක්ලාසන්ස්ගේ වදන් එය මෙසේ උපුටා දක්වයි: “කාන්තාවක් සිය අපේක්ෂා භංග වීමට බොහෝ සෙයින් තුඩු දුන් දවසකට මුහුණ දුන්නා නම්, වැලි කොට්ටයකට ගැසීමෙන් ඇයට තමාගේ ආතතිය නැති කර ගත හැකි ය.”
කෙසේ නමුත්, අපේක්ෂා භංගත්වයේ මූලික හේතුව සමඟ කටයුතු කිරීමට ඉගෙන ගැනීම වඩා යහපත් නොවනු ඇද්ද? ස්ට්‍රෙස්—ද මොඩර්න් ස්කර්ජ් නම් සඟරාව වෛද්‍ය මයිකල් ස්ලුට්ස්කින් පවසන පරිදි, “එහි හේතු සාධක බොහොමයක් හරි ගැස්සවිය හැකි තත්ත්වයක පවතින බැවින්, . . . අධික ලෙස වෙහෙසට පත්වීම හඳුනා ගැනීම . . . වැදගත් වේ.” ඔහු තවදුරටත් පවසන පරිදි, “අධික ලෙස වෙහෙසට පත්වීම පාලනය කර ගැනීම . . . විවිධාකාර තත්ත්වයන් යටතේ සුව කිරීමේ ක්‍රියා මාර්ගයට පවා අනුබල දෙන්නක් විය හැකි ය.”
අධික ලෙස වෙහෙසට පත්වීම පාලනය කළ හැකි ඉතා බලපෑමෙන් යුත් ක්‍රමයක් බයිබලය පැහැදිලි කරයි: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී . . . නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා. එවිට කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද [හෘදයන් ද NW] සිතිවිලිද [මානසික ක්‍රියාකාරිත්වය ද NW] ආරක්ෂාකරනවා ඇත.” (පිලිප්පි 4:6, 7) මෙයාකාරයෙන් අධික වෙහෙස පාලනය කර ගැනීමෙහි—කායික වශයෙන් පවා—බොහෝ වාසි ඇත. එක්තරා බයිබල් හිතෝපදේශයක් එය මෙයාකාරයෙන් ඉදිරිපත් කරයි: “මාංසයේ සනීපය නම් නිශ්චල සිතක්ය [හදවතක් ය NW].” (හිතෝපදේශ 14:30) තවත් හිතෝපදේශයක් පවසනුයේ: “තුෂ්ටිමත් සිත [හදවතක් NW] හොඳ ඖෂධයකි; නුමුත් බිඳුණු ආත්මය ඇට වියළවයි.”—හිතෝපදේශ 17:22.
අධික වෙහෙසෙන් හා පීඩනයෙන් මිදීමට වෑයමක් වශයෙන්, බොහෝ දෙනෙක් දුම්කොළ, මත්පැන්, මත් ද්‍රව්‍ය මත රඳා සිටිති. මෙවන් දෑවලට ඇබ්බැහි වීමෙන් ඇති වන හානි හොඳින් ලේඛන ගත වී ඇත. එහෙත් “මාංසයේ සෑම දූෂ්යකමකින් ම” පවිත්‍ර ව සිටින ලෙස නිතර බයිබලය උපදෙස් දී ඇත. (2 කොරින්ති 7:1, NW; සසඳන්න හිතෝපදේශ 23:29-35) නිසැක ව ම, එවන් හානිදායක පුරුදුවලින් වැළකී සිටීම අද දවසට අයත් ලෝකයේ ප්‍රායෝගික ආරක්ෂාවක් වන්නේ ය.
වැඩ කිරීම, මුදල්, හා අවංකකම: අලසකමෙන් කිසි ප්‍රයෝජනයක් නැත. “අලසයා ශීත කාලය නිසා හාන්නේ නැත. එහෙයින් ඔහු ගොයම් කපන කාලයේ හිඟමින් කිසිත් නැතුව සිටියි” යයි හිතෝපදේශ 20:4 පවසයි. අනෙක් අතට, කඩිසර ව වැඩ කිරීම ඇත්තෙන් ම ප්‍රයෝජනවත් වේ. “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා” යයි එපීස 4:28 පවසයි. “හිඟ අයට දෙන්ට පුළුවන්වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්‍ය්‍ය [කිරීම] [වෙහෙසා වැඩ කිරීම NW]” බොහෝ සෙයින් වඩාත් හොඳ බව මෙම ශුද්ධ ලියවිලි පදය තවදුරටත් පවසයි.—හිතෝපදේශ 13:4 සසඳන්න.
බයිබල් ප්‍රතිපත්ති සේවා ස්ථානයේ සම්බන්ධකම්වලට පවා අදාළ කර ගත හැකි බව ඔබ දන්නවා ද? බයිබල් කාලවල සිටි ‘දාසයන්’ මෙන්, සේවකයන්, “මාංසාකාරයෙන් [තමන්ගේ] ස්වාමිවරුන්ව සිටින්නන්ට සියල්ලෙහිදී කීකරු” විය යුතු ය. අනෙක් අතට, ප්‍රධානින්, නැතහොත් “ස්වාමිවරුන්,” සිය සේවකයන්ට “ධර්මිෂ්ඨවූ සාධාරණවූ දේ” කරමින් සිටිය යුතු ය.—කොලොස්සි 3:22-24; 4:1; සසඳන්න 1 පේතෘස් 2:18-20.
අවංක වූ ව්‍යාපාරික පුරුදු ගැන බයිබලයේ බොහෝ දේ පවසා ඇත. අවංකකම අද දවසේ දක්නට නොලැබීම කනගාටුවට කරුණක් වුවත්, නිතර ප්‍රශංසනීය ගුණාංගයක් හැටියට පිළිගෙන අගය කරනු ලැබ ඇත. බයිබලය අවධාරණය කරන්නේ මෙයයි. යේසුස් වහන්සේ වරක් මෙසේ වදාළ සේක: “ස්වල්පයක් ගැන විශ්වාසව සිටින්නා බොහෝ දේ ගැනත් විශ්වාසව සිටියි. ස්වල්පයක් ගැන අධර්මිෂ්ඨව සිටින්නා බොහෝ දේ ගැනත් අධර්මිෂ්ඨව සිටියි.”—ලූක් 16:10; සසඳන්න හිතෝපදේශ 20:10; 22:22, 23; ලූක් 6:31.
එක් අප්‍රිකානු රටක, දියමන්ති කර්මාන්තයේ බොහෝ සොරකම් හා දූෂණයන් සිදු වෙමින් තිබුණි. එය භාර ව කටයුතු කිරීම පිණිස වෙනත් කෙනෙක් පත් කරන්නට තීරණයක් ගනු ලැබී ය. එම තනතුර සඳහා සුදුසු යයි තමන් සිතූ අයගේ නම් ඉදිරිපත් කරන ලෙස රජයේ ඇමතිවරුන්ට කියනු ලැබී ය. තීරණය කරනු පිණිස කැබිනට් මණ්ඩලය එක්රැස් වූ විට, එම නාම මූලික ව, දූෂිත කටයුතු හා සම්බන්ධ වී තිබූ නිසා එකිනෙක ඉවත් කරනු ලැබී ය. අවසානයේ, එම ලැයිස්තුවේ අවසාන නාමය—එනම් ජනාධිපති යෝජනා කළ තැනැත්තා ගැන සැලකිල්ලට භාජනය කරන ලදී.
“එහෙත් ඔහු පක්ෂයේ සාමාජිකයෙක් නොවේ!” යයි එක් ඇමතිවරයෙක් විරුද්ධත්වය පළ කළේ ය.
මෙය දේශපාලන තනතුරක් නොවන බව ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ ය.
“ඔහු යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක්” යයි තවත් කෙනෙක් සඳහන් කළේ ය.
“ඔහුට රැකියාව ලැබෙන්නේ ඒ නිසයි” කියා ජනාධිපතිවරයා පැවසී ය. ඔහු තවදුරටත් කථා කරමින්, “ඔවුන් අවංක බව අපි දන්නවා, ඇරත් අපට අවශ්‍ය ව ඇත්තේ එයාකාර තැනැත්තෙක්. ඔහු ව විශ්වාස කළ හැකි බව අපි දන්නවා” යයි කීවේ ය.
එසේ ය, බයිබල් ප්‍රතිපත්ති අදාළ කර ගන්නා අය, අද දවසේ පවතින ලෝකයේ ඔවුන්ගේ ම වාසියට එය දායක වන බව බොහෝ විට සොයා ගනිති.
ප්‍රායෝගික ප්‍රඥාව රැස්කර තබන්න
අප මෙතෙක් සලකා බලා ඇත්තේ ‘දෙවියන් වහන්සේ හැඳින ගැනීමට පැමිණීම’ යන්නෙන් අදහස් කරන දෙයෙහි ප්‍රයෝජන අංශු මාත්‍රයක් පමණකි. (හිතෝපදේශ 2:1-9) අදාළ, ප්‍රායෝගික අවවාද බොහොමයක් බයිබලයේ දක්නට ඇත. පවිත්රත්වය, කාර්යශීලී භාවය, අදහස් හුවමාරුව, ලිංගික කාරණා, දික්කසාදය, බදු ගෙවීම, පුද්ගලිකත්ව අතර ගැටුම් සමඟ ක්‍රියා කිරීම, හා දිළිඳුකම සමඟ කටයුතු කිරීම යනාදියට සම්බන්ධ ප්‍රතිපත්ති, බයිබලයෙන් සලකා බලනු ලබන ජීවිතයේ පාර්ශ්වයන් සමහරක් පමණි. තමන් ලබා ඇති සාර්ථකත්වයේ හා අසාර්ථකත්වයේ ප්‍රමාණය තමන් බයිබලයේ ප්‍රතිපත්ති අදාළ කර ගත් ප්‍රමාණය අනුව වෙනස් වන බවට මිලියන සංඛ්‍යාත අය සාක්ෂි දරනු ඇත.
බයිබලයේ විගස අත්දැකිය හැකි ප්‍රායෝගිකත්වය සහතික ව ම විශ්වාස කළ හැකි අතර බයිබලය දීර්ඝ කාලීන ප්‍රයෝජන බොහොමයක් ද ඉදිරිපත් කරයි. උදාහරණයක් වශයෙන්, බයිබලය අද දවසේ ලෝකයේ පවතින වේදනාවන් හා පීඩාවන් සඳහා මූලික හේතු සාධකය ඉක්මනින් ම දිව්‍ය මැදිහත්වීමකින් නිවැරදි කරනු ලබන බව පොරොන්දු වෙයි.—දානියෙල් 2:44, 45; 2 පේතෘස් 3:11-13; එළිදරව් 21:1-5.
එනිසා, හැකි පමණ බයිබලය ගැන ඉගෙන ගන්නා ලෙස අපි ඔබට දිරිගන්වන්නෙමු. ඔබට එහි පිටපතක් නැත්නම්, පිටපතක් ලබා ගැනීමට සහතික වන්න. මෙම සඟරාව ප්‍රකාශ කරන්නන් කැමැත්තෙන් ම ඔබට සහය වනු ඇත. බොහෝ දෙනෙක් බයිබලයේ ප්‍රායෝගික යෝජනා අදාළ කර ගැනීමෙන් ප්‍රයෝජන ලබා ඇත්තා සේ, දේව වචනයේ වටිනාකම දැනුත් අනාගතයේදීත් අගය කිරීමට ඔබටත් උපකාර ලැබිය හැකි ය.
[7වන පිටුවේ පින්තූරය]
බයිබලය, පවුල් ජීවිතය සන්තෝෂවත් කරගැනීම සඳහා ප්‍රායෝගික මඟ පෙන්වීමකි