දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි කැමැත්තෙන් ම එඬේරකම් කරන්න
“ඔබ භාරයේ සිටින දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි බලකිරීමක් නිසා නොව, නමුත් කැමැත්තෙන් ම එඬේරකම් කරන්න.”—1 පේතෘස් 5:2, NW.
1. ‘දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි කැමැත්තෙන් ම එඬේරකම් කිරීම’ අප ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගෙන් අපේක්ෂා කළ යුත්තේ මන්ද?
යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා කෙරෙහි කැමැත්තෙන් ම එඬේරකම් කරන සේක. (ගීතාවලිය 23:1-4) “මාහැඟි එඬේරා” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, බැටළු ගුණැති ජනයා උදෙසා සිය පරිපූර්ණ මිනිස් ජීවිතය කැමැත්තෙන් ම දුන් සේක. (යොහන් 10:11-15) මෙබැවින්, ‘දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි කැමැත්තෙන් ම එඬේරකම් කරන’ මෙන් ප්‍රේරිත පේතෘස් ක්‍රිස්තියානි වැඩිමහල්ලන් හට අනුශාසනා කළේ ය.—1 පේතෘස් 5:2.
2. ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ගේ එඬේර වැඩකටයුතු සම්බන්ධයෙන් කුමන ප්‍රශ්න සලකා බැලීම වටී ද?
2 කැමැත්තෙන් ම කරන සුලු බව දෙවියන් වහන්සේගේ සේවකයන්ගේ ලකුණකි. (ගීතාවලිය 110:3) එහෙත්, අවේක්ෂකයෙක්, හෙවත් උප එඬේරෙක් වශයෙන් පත් කරනු ලැබීම සඳහා ක්‍රිස්තියානි පුරුෂයෙකුට කැමැත්තට වඩා වැඩි යමක් අවශ්‍ය කරවයි. එවන් එඬේරුන් බවට පත්වීමට සුදුසුකම් ලබන්නේ කවුරුන් ද? ඔවුන්ගේ එඬේරකම් කිරීමේ කාර්යයට ඇතුළත් වන්නේ මොනවා ද? එය වඩාත් හොඳින් ඉටු කළ හැක්කේ කෙසේ ද?
ගෙවැසියන් ව හසුරුවා ගැනීම
3. ක්‍රිස්තියානි පුරුෂයෙකු තම පවුල ගැන සැලකිල්ල දක්වන ආකාරය, සභාවේ එඬේරකම් කිරීමට සුදුසුකම් ලැබීමට බලපාන බව පැවසීමට හැක්කේ මන්ද?
3 යම් පුරුෂයෙකු ව ‘අවේක්ෂකයෙකුගේ නිලයකට’ පත් කරනු ලැබීමට හැකි වීමට පෙරාතුව, ඔහු ශුද්ධ ලියවිලිමය අවශ්‍යතාවයන් සපුරාලිය යුතු ය. (1 තිමෝති 3:1-7; තීතස් 1:5-9) එක් දෙයක් නම්, ප්‍රේරිත පාවුල් පැවසුවේ අවේක්ෂකයෙක් වනාහි “තමාගේම පවුල හොඳින් හසුරුවාගනිමින්, සියලු ආකාර සන්සුන්කම ඇතුව ස්වකීය දරුවන් හික්මවාගන්නාවූ තැනැත්තෙක්” විය යුතු බව ය. මේ සඳහා හොඳ හේතු තිබේ, මන්දයත් පාවුල් මෙසේ පැවසී ය: “යමෙක් තමාගේම පවුල හසුරුවාගන්ට නොදන්නේ නම් ඔහු දෙවියන්වහන්සේගේ සභාව ප්‍රවේසම්කරන්නේ කෙසේද?” (1 තිමෝති 3:4, 5) ක්‍රීතය නම් දූපතේ සභාවන්හි වැඩිමහල්ලන් ව පත් කරන විට, “නිදොස්ව [චෝදනාවලින් නිදහස් NW] එක භාර්‍ය්‍යාවකට පුරුෂයාව, අවකල් ක්‍රියාව ගැන දෝෂාරෝපණය නොලත් කීකරුවූ ඇදහිලිවන්ත දරුවන් ඇතුව සිටින” අය ව සොයන ලෙස තීතස් හට පවසන ලදි. (තීතස් 1:6) එසේ ය, යම් ක්‍රිස්තියානි පුරුෂයෙකු සභාවේ එඬේරකම් කිරීමේ වඩාත් බරපතළ වූ වගකීමට උර දෙන්නට සුදුසුකම් ලැබෙනවා ද කියා තීරණය කිරීමේ දී, ඔහු තම පවුල රැකබලා ගන්නා ආකාරය ගැන සැලකිල්ලට ගත යුතු ය.
4. නිති පතා ක්‍රමයකට බයිබල් පාඩමක් හා යාච්ඤාව ඇතුව සිටිනවාට අමතර ව, තම පවුල් උදෙසා ප්‍රේමය පෙන්වන්නට ක්‍රිස්තියානි දෙමාපියන්ට හැක්කේ කෙසේ ද?
4 තම ගෙවැසියන් ව මනා අයුරකින් හසුරුවන පුරුෂයෝ, තම පවුල් සමඟ නිති පතා ක්‍රමයකට යාච්ඤා කරනවාට හා පාඩම් කරනවාට වඩා වැඩි යමක් කරති. ඔවුහු සෑම විට ම තම ප්‍රේමනීයයන්ට උපකාර කිරීමට සූදානමින් සිටිත්. දෙමාපියන් බවට පත් වන අය හට, මෙය ආරම්භ වන්නේ, දරුවෙකු උපදින දවසේ දී ය. තමන් දිව්‍ය භක්තික රටාවකට වඩාත් සමීප ව ඇලී සිටිනවාත් සමඟ ම, තම දරුවන් වඩාත් ඉක්මනින් ම එදිනෙදා ජීවිතයේ ක්‍රිස්තියානි ක්‍රියාකාරකම් සම්බන්ධ සටහනට සකස් වනු ඇති බව ක්‍රිස්තියානි දෙමාපියෝ දනිති. මෙම තත්ත්වයන් තුළ ක්‍රිස්තියානි පියෙක් කොතරම් හොඳින් තම ගෙවැසියන් ව හසුරුවා ගන්නවා ද යන්න, වැඩිමහල්ලෙකු වශයෙන් ඔහුගේ සුදුසුකම් මත පිළිබිඹු වෙයි.—එපීස 5:15, 16; පිලිප්පි 3:16.
5. ක්‍රිස්තියානි පියෙකුට තම දරුවන් ව ‘යෙහෝවඃ වහන්සේගේ හික්මවීමෙන් හා මානසික ශික්ෂණයෙන්’ ඇති දැඩි කළ හැක්කේ කෙසේ ද?
5 තම ගෙවැසියන් ව හසුරුවා ගැනීමේ දී, තම යුතුකම් නොපිරිහෙලා ඉටු කරන ක්‍රිස්තියානි පියවරු, පාවුල්ගේ උපදෙසට අවනත වෙති: “නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද [මානසික ශික්ෂණයෙන් ද NW] අවවාදයෙන්ද ඔවුන් ඇති කරපල්ලා.” (එපීස 6:4) පවුලේ භාර්යාව සහ දරුවන් යන දෙපාර්ශ්වය ම සමඟ කරන නිති පතා බයිබල් පාඩම, ප්‍රේමනීය උපදෙස් ලබා දීම සඳහා කදිම ප්‍රස්තාවන් උදා කරයි. මෙසේ, දරුවෝ “හික්මවීම” හෙවත් හරිගස්වන්නා වූ උපදෙස් ලබා ගනිති. ඒ අවස්ථාවල දී සිදු වන “මානසික ශික්ෂණය,” යෙහෝවඃ වහන්සේ කාරණා දෙස බලන ආකාරය දැනගැනීමට එක් එක් දරුවාට උපකාරවත් වෙයි. (ද්විතීය කථාව 4:9; 6:6, 7; හිතෝපදේශ 3:11; 22:6) ආත්මික වශයෙන් එකට එකතු වී සිටින මෙම සන්සුන් වාතාවරණය තුළ, සැලකිල්ල දක්වන පියවරු, තම දරුවන් කථා කරන විට ප්‍රවේසමෙන් සවන් දෙති. ඔවුන් සැලකිල්ල දක්වන සහ ආශා කරන දේවල් සහ ඔවුන්ගේ ආකල්ප ගැන ඔවුන්ගේ අවංක අදහස් දැනගැනීමට කාරුණික ව අදහස් විමසන ප්‍රශ්න යොදා ගනු ලැබේ. ඔවුන්ගේ යෞවන මනස්වල තිබෙන දේ ගැන තමන් සියල්ල ම දන්නවා යයි පියා නිගමනය කරන්නේ නැත. ඇත්ත වශයෙන් ම, “අසන්ට පළමුවෙන් යමෙක් උත්තර දෙන්නේ නම්, එය ඔහුට මෝඩකමක්ව ලජ්ජාවක්ව තිබේ” යයි හිතෝපදේශ 18:13 පවසයි. තමන් යෞවන ව සිටි කල අත්දුටුවා වූ තත්ත්වයන්ට වඩා තමන්ගේ දරුවන් මුහුණ දෙන තත්ත්වයන් බොහෝ සෙයින් වෙනස් බව අද දින බොහෝ දෙමාපියන්ට වැටහෙයි. මේ හේතුවෙන්, පියෙක්, යම් ගැටලුවක් සමඟ කටයුතු කරන ආකාරය පැවසීමට පෙර, එම ගැටලුවේ පසුබිම සහ විස්තර ගැන දැනගැනීමට මහත් වෑයමක් දරනවා ඇත.—යාකොබ් 1:19 සසඳන්න.
6. තම පවුලට උපකාර කරන විට ක්‍රිස්තියානි පියෙක් දේව වචනයෙන් තොරතුරු හා උපදෙස් විමසා බැලිය යුත්තේ මන්ද?
6 යමෙක් තම දරුවන්ගේ ගැටලු, කාන්සාවන්, සහ ආකල්ප ගැන දැන ගත්තාට පසු කුමක් සිදු වේ ද? තම ගෙවැසියන් ව මනා අයුරකින් හසුරුවා ගන්නාවූ පියා, “ඉගැන්වීමට, තරවටු කිරීමට, දේවල් හරි ගැස්වීමට, ධර්මිෂ්ඨකමින් හික්මවීමට ප්‍රයෝජනවත් වන්නා වූ” ශුද්ධ ලියවිලිවලින් උපදෙස් සහ තොරතුරු විමසා බලයි. බයිබලයේ ආනුභාවය ලත් මඟ පෙන්වීම් අදාළ කර ගන්නා ආකාරය හේ තම දරුවන්ට උගන්වයි. මේ අයුරින්, යෞවන අවදියේ සිටින අය, “මුළුමනින් ම සමර්ථ, සෑම යහපත් වැඩකට සම්පූර්ණයෙන් ම සන්නාහ සන්නද්ධ වී සිටින” අය බවට පත් වෙති.—2 තිමෝති 3:16, 17, NW; ගීතාවලිය 78:1-4.
7. යාච්ඤාව සම්බන්ධයෙන් ක්‍රිස්තියානි පියවරුන් විසින් තැබිය යුතු ආදර්ශය කුමක් ද?
7 දේව භක්තික යෞවනයෝ, තම පාසලේ ලෞකික සිසුන් සම්බන්ධයෙන් අසීරු අවස්ථාවන් හට මුහුණ දෙති. තම දරුවන්ගේ භය සංසිඳුවාලීමට ක්‍රිස්තියානි පියවරුන්ට හැක්කේ කෙසේ ද? එක් ක්‍රමයක් නම්, ඔවුන් සමඟ හා ඔවුන් උදෙසා නිති පතා යාච්ඤා කිරීමෙනි. මෙම යෞවන අය පරීක්ෂාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන විට, බොහෝ දුරට ඔවුන් ද තම දෙමාපියන් දෙවියන් වහන්සේ කෙරෙහි දක්වන රඳා පැවැත්ම අනුකරණය කරනවා ඇත. එක් 13 හැවිරිදි ගැහැණු ළමයෙක්, දෙවියන් වහන්සේට වූ ඇයගේ කැප වීම බව්තීස්මයෙන් සංකේත කිරීමට පෙර සම්මුඛ සාකච්ඡාවකට භාජනය කරනු ලැබූ විට, ඈ තම පාසලේ සිසුවියන්ගේ සරදමට හා පීඩාවට ගොදුරු වූ බව හෙළි කළා ය. රුධිරයේ පරිශුද්ධතාවය සම්බන්ධයෙන්, බයිබලය මත පදනම් වූ ඇගේ ඇදහිල්ලට පක්ෂ ව ඈ හේතු පෙන් වූ විට, අනෙක් ගැහැණු ළමෝ ඈට පහර දී ඈට කෙළ ගැසුවෝ ය. (ක්‍රියා 15:28, 29) ඈ පළිගත්තා ද? නැත. “සන්සුන් ව සිටීමට මට උපකාර කරන ලෙස මා යෙහෝවඃ වහන්සේට දිගට ම යාච්ඤා කළා,” යයි ඈ පැහැදිලි කළා ය. “නපුර යටතේ දී අප අප ව ම සංයමෙන් යුතු ව තබා ගැනීමේ ඇති අවශ්‍යතාවය ගැන මගේ දෙමාපියන් අපගේ පවුලේ පාඩමේ දී මට උගන්වා තිබුණා වූ දේ ඒ අවස්ථාවේ දී මට මතක් වුණා.”—2 තිමෝති 2:24.
8. දරුවන් නොසිටින වැඩිමහල්ලෙකුට තමාගේ නිවසේ වෙසෙන අය මනා අයුරිකින් හසුරුවා ගත හැක්කේ කෙසේ ද?
8 දරුවන් නොමැති වැඩිමහල්ලෙකුට ද තම ගෙවැසියන් ව සිටින අය හට ප්‍රමාණවත් ආත්මික හා ද්‍රව්‍යමය සැපයුම් කිරීමට පුළුවන. ඔහුගේ විවාහක කලත්‍රයා සහ සමහරවිට තමාගේ නිවසේ ජීවත්වන, තමන්ගෙන් යැපෙන පවුලේ ක්‍රිස්තියානි සාමාජිකයන් මීට ඇතුළත් වෙයි. (1 තිමෝති 5:8) මෙසේ, මනා අයුරකින් තම ගෙවැසියන් ව හසුරුවා ගැනීම, සභා වැඩිමහල්ලෙකු වශයෙන් වගකීම්වලට උර දෙන පත් කරන ලද පුරුෂයෙකු විසින් සපුරාලිය යුතු අවශ්‍යතාවයන්ගෙන් එකක් වෙයි. එසේ නම්, පත් කරන ලද වැඩිමහල්ලන් සභාවේ තමන් සතු වරප්‍රසාද ලත් වගකීම් දෙස බැලිය යුත්තේ කෙසේ ද?
‘සැබෑ උනන්දුවකින්’ හසුරුවා ගැනීම
9. තමන්ගේ සේවා පැවරුම් සම්බන්ධයෙන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට තිබිය යුතු ආකල්පය කුමක් ද?
9 අපගේ පොදු යුගයේ පළමු සියවසේ දී, ප්‍රේරිත පාවුල්, දෙවියන් වහන්සේගේ ගෘහයේ, එනම්, ක්‍රිස්තුස් වහන්සේගේ නායකත්වය යටතේ වූ ක්‍රිස්තියානි සභාවේ ගබඩාකාරයෙකු ලෙස සේවය කළේ ය. (එපීස 3:2, 7; 4:15) ඒ හේතුවෙන්, රෝමයේ විසූ සිය සෙසු ඇදහිලිවන්තයන් හට පාවුල් මෙසේ අනුශාසනා කළේ ය: “අපට දෙනලද අනුග්‍රහය ලෙස වෙන වෙන දීමනා ඇත්තාවූ අපට ලැබුණේ අනාගත කීම නම්, අපේ ඇදහිල්ලේ ප්‍රමාණයට අනාගත වචන කියමු. සේවය නම් අපගේ සේවයෙහි යෙදී සිටිමු. උගන්වන්නා තමාගේ ඉගැන්වීමටත්, උපදේස දෙන්නා තමාගේ උපදේශ දීමටත් භාරවේවා. දෙන තැනැත්තේ ත්‍යාගවන්තකමෙන්ද ආණ්ඩුකරන තැනැත්තේ උනන්දුකමෙන්ද [මුලසුන දරන්නා සැබෑ උනන්දුවකින් ද NW] කරුණව පෙන්වන තැනැත්තේ ප්‍රසන්න ලීලාවෙන්ද එසේ කෙරේවා.”—රෝම 12:6-8.
10. දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීමේ දී, පාවුල් අද දින වැඩිමහල්ලන් සඳහා තැබූ ආදර්ශය කුමක් ද?
10 පාවුල් තෙසලෝනිකවරුන්ට මෙසේ සිහිගැන්වී ය: “තමන්වහන්සේගේ රාජ්‍යයටත් මහිමයටත් නුඹලා කැඳවන දෙවියන්වහන්සේට ඔබිනලෙස නුඹලා හැසිරෙන හැටියට, පියෙකු තමාගේ දරුවන්ට මෙන්, අප විසින් නුඹලාට අවවාදකරමින්, ධෛර්ය්යදෙමින්, අණ දෙමින්,” සිටින ලදි. (1 තෙසලෝනික 1:1; 2:11, 12) මෙම අනුශාසනාව කොතරම් මුදු මොළොක්, ප්‍රේමනීය ආකාරයකින් දී ඇත් ද කිවහොත්, මෙසේ ලිවීමට පාවුල්ට හැකි විණි: “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණයකරන්නාක්මෙන්, නුඹලා අතරෙහි අපි මොළොක් ගුණයෙන් සිටියෙමුව. එලෙස අපි නුඹලාට ප්‍රේමාන්විත ඇලුම්කමකින් යුක්තව සිටිය බැවින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නොව නුඹලා අපට ඉතා ප්‍රියවූ නිසා අපේම ප්‍රාණත් නුඹලාට දෙන්ට සතුටුව සිටියෙමුව.” (1 තෙසලෝනික 2:7, 8) පාවුල්ගේ පියෙකු බඳු ආදර්ශයට අනුකූල වන පක්ෂපාත වැඩිමහල්ලන්ට සභාවේ සියල්ලන් උදෙසා ම ගැඹුරු සැලකිල්ලක් තිබේ.
11. පත් කරන ලද වැඩිමහල්ලන්ට වඩාත් ඕනෑකම පෙන්වීමට හැක්කේ කෙසේ ද?
11 දැඩි ඕනෑකම මුසු වූ මුදු මොළොක් බව, අපගේ ක්‍රිස්තියානි එඬේරුන් විසින් ක්‍රියාත්මක කෙරෙන ප්‍රේමනීය අධීක්ෂණය තුළ ප්‍රධාන ලක්ෂණයක් විය යුතු ය. ඔවුන් හැසිරෙන විලාශය බොහෝ දේ හෙළි කරයි. ‘බල කිරීම නිසාවත්,’ ‘වංක වාසියට ඇති ලොල් බව නිසාවත්’ දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි එඬේරකම් නොකරන මෙන් පේතෘස් වැඩිමහල්ලන් හට උපදෙස් දෙයි. (1 පේතෘස් 5:2) මේ කරුණ සම්බන්ධයෙන්, විශාරද විලියම් බාක්ලේ, අවවාදාත්මක සටහනක් පළ කළේ මෙසේ ය: “යම් නිලයක්, සැර පරුෂ හා අප්‍රසන්න රාජකාරියක් සේ, වෙහෙසකාරී එකක් සේ, නුරුස්සන සුලු බරක් සේ සලකා එය භාර ගෙන ඉටු කිරීමේ ක්‍රමයක් තිබේ. යමක් කරන ලෙස යම් මිනිසෙකුට පැවසීම සිදු විය හැක්කකි, ඔහු එය කරතත්, එවන් අකාරුණික අන්දමකින් එය කරන විට මුළු ක්‍රියාව ම කෙළෙසී යයි. . . . නමුත් [පේතෘස්] මෙහි දී ඇත්තට ම පවසන්නේ, සෑම ක්රිස්තියානිවරයෙකු ම තමාට කළ හැකි සේවය පිරිනැමීමට තමා කොතරම් නොවටින්නේ ද යන බව හොඳින් දැන ගෙන සිටිය ද, එවන් සේවයක් වෙවුලන සුලු දැඩි උනන්දුවෙන් කළ යුතු බව ය.”
කැමැත්තෙන් ම සේවය කරන එඬේරු
12. කැමැත්තෙන් ම සේවය කරන බව විදහා පෑමට ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේ ද?
12 “ඔබ භාරයේ සිටින දෙවියන් වහන්සේගේ රැළ කෙරෙහි . . . කැමැත්තෙන් ම එඬේරකම් කරන්න” යනුවෙන් ද පේතෘස් උදක් ම ඉල්ලා සිටියි. බැටළුවන් කෙරෙහි සැලකිල්ල දක්වන්නා වූ ක්‍රිස්තියානි අවේක්ෂකයෙක්, මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ සිය නිදහස් කැමැත්තෙන් ම එසේ කරයි. කැමැත්තෙන් ම සේවය කිරීම යන්නට, ක්‍රිස්තියානි එඬේරෙක්, ‘අපගේ ආත්මවල එඬේරාණන් සහ අවේක්ෂකයාණන්’ වන යෙහෝවඃ වහන්සේගේ අධිකාරිත්වයට යටත්වීම ද අදහස් කරයි. (1 පේතෘස් 2:25, NW) ක්‍රිස්තියානි උප එඬේරෙකු දිව්‍යාණ්ඩු විධිවිධානය කෙරෙහි ගෞරවය විදහා දක්වන්නේ සිය කැමැත්තෙන් ම ය. ඔහු එසේ කරන්නේ අවවාද සොයන අය ව ඔහු දේව වචනය වන බයිබලය වෙතට යොමු කරන විට ය. වැඩිමහල්ලෙකුගේ අත්දැකීම්, බයිබලය මත පදනම් වූ උපදෙස් සම්භාරයක් ගොඩනංවා ගැනීමට ඔහුට උපකාරවත් වුවද, මින් අදහස් කරන්නේ, සෑම ගැටලුවකට ම ශුද්ධ ලියවිලිමය විසඳුම් ඔහුගේ අත ළඟ ම ක්ෂණික ව තිබෙනවා යන්න නොවේ. යම් ප්‍රශ්නයකට පිළිතුර ඔහු දැන සිටිය ද, විමසන්නා සමඟ වොච්ටවර් පබ්ලිකේෂන්ස් ඉන්ඩෙක්ස් හෝ වෙනත් සුචිවලින් තොරතුරු හා උපදෙස් විමසා බැලීම ඥානවන්ත බව ඔහු වටහා ගන්නවා විය හැක. මෙසේ ඔහු ආකාර දෙකකින් උගන්වයි: ඔහු උපකාරවත් වන තොරතුරු සොයා ගන්නා ආකාරය නිරූපනය කරයි, එමෙන් ම දෙවියන් වහන්සේගේ සංවිධානය විසින් පළ කර ඇති දෙයට අවධානය යොමු කරවමින්, යටහත් පහත් ලෙස යෙහෝවඃ වහන්සේ උදෙසා ගෞරවය පෙන්වයි.
13. හරි අවවාද දීමට උපකාරවත් වීම සඳහා වැඩිමහල්ලන්ට ගත හැකි පියවරවල් මොනවා ද?
13 සැනෙකින් උද්ගත වී ඇති යම් සුවිශේෂී ගැටලුවක් සම්බන්ධයෙන් සමිතියේ ප්රකාශනවල කිසිවක් පළ කොට නොමැති නම්, වැඩිමහල්ලෙකුට කුමක් කළ හැකි ද? තීක්ෂ්ණ බුද්ධිය උදෙසා යාච්ඤා කරන හේ, එම කාරණය සම්බන්ධ වන යම් බයිබල් ප්‍රතිපත්ති සොයා බැලීමට උත්සුක වන බවට කිසිදු සැකයක් නැත. යේසුස් වහන්සේගේ ආදර්ශය සලකා බලන මෙන්, උපකාර පතන පුද්ගලයාට යෝජනා කිරීම ද ප්‍රයෝජනදායක බව ඔහු වටහා ගන්නවා විය හැක. වැඩිමහල්ලාට මෙසේ ඇසිය හැක: “උතුම් ගුරුවරයා වන යේසුස් වහන්සේ, ඔබගේ තත්ත්වයේ සිටියා නම්, ඔබ සිතන හැටියට උන් වහන්සේ කුමක් කරාවි ද?” (1 කොරින්ති 2:16) එවන් විමර්ශනයක්, විමසන්නෙකුට ඥානවන්ත තීරණයක් ගැනීමට උපකාරවත් විය හැකි ය. එහෙත්, නිවැරදි ශුද්ධ ලියවිලි අවවාදයක් සේ සිතා යම් පුද්ගලික මතයක් ඉදිරිපත් කිරීම වැඩිමහල්ලෙකුට මොනතරම් අඥාන දෙයක් ද! ඒ වෙනුවට, අසීරු ගැටලු වැඩිමහල්ලන් එකිනෙකා අතර සාකච්ඡා කිරීමට ද ඔවුන්ට හැක. ඔවුන් විසින් වැදගත් කාරණා වැඩිමහල්ලන්ගේ මණ්ඩලයේ රැස්වීම්වල සාකච්ඡා කිරීමට ද ඇතුළත් කරන්නට පුළුවන. (හිතෝපදේශ 11:14) ප්‍රතිඵල කරවන තීරණය, සියල්ලන්ට ම එකඟතාවයෙන් යුතු ව කථා කිරීමට හැකි කරවනවා ඇත.—1 කොරින්ති 1:10.
මොළොක්කම අත්‍යවශ්‍ය ය
14, 15. ‘යම් වැරදි පියවරක් ගැන දැනගන්නට පෙර එම පියවර ගත්තා වූ’ ක්‍රිස්තියානියෙකු ව යළි සකස් කිරීමේ දී වැඩිමහල්ලන්ගෙන් අවශ්‍ය කරවන්නේ කුමක් ද?
14 අන්‍යයන්ට උගන්වන විට, විශේෂයෙන් ඔවුන්ට උපදෙස් දෙන විට, ක්‍රිස්තියානි වැඩිමහල්ලෙකු මෙළොක්කම විදහා පෑම අවශ්‍ය ය. පාවුල් මෙසේ උපදෙස් දෙයි: “සහෝදරයෙනි, යම් මනුෂ්‍යයෙක්, යම් වැරදි පියවරක් ගැන දැනගන්නට පෙර, ඔහු එම පියවර ගතහොත්, ආත්මික සුදුසුකම් ඇති ඔබ, එවන් මනුෂ්‍යයෙකු ව මොළොක් ස්වභාවයකින් යුතු ව යළි සකස් කිරීමට උත්සාහ දරන්න.” (ගලාති 6:1, NW) මෙහි “යළි සකස් කිරීම” යනුවෙන් පරිවර්තනය කොට ඇති ග්‍රීක් වචනය, දිගු කාලීන ආබාධයක් වළක්වා ගැනීම සඳහා සිරුරේ අස්ථියක් සකස් කිරීම විස්තර කිරීමට යොදා ගන්නා ලද ශල්‍ය වෛද්‍යමය යෙදුමකට සම්බන්ධ වී තිබීම උනන්දුමත් කරුණකි. ශබ්දකෝෂ කර්තෘ ඩබ්. ඊ. වයින්, මෙය, “ආත්මික ශරීරයෙන් විසන්ධි වූ සාමාජිකයෙක් හෙවත් අවයවයක් මෙන්, පාපයට ගොදුරු වූ පුද්ගලයෙකු ව ආත්මික සුදුසුකම් ලත් අය විසින්” යළි පිහිටුවනු ලැබීමට සම්බන්ධ කරයි. මෙය වෙනත් ආකාරයකින් ගෙන හැර දක්වන්නේ නම්, “නිසි තත්ත්වයට යළි පිහිටුවීම; නිසි පෙළට ගෙන ඒම” වන්නේ ය.
15 යමෙකුට තම කල්පනා රටාවන් යළි සකස් කර ගැනීම පහසු දෙයක් නොවේ, එමෙන් ම, වැරදි කරන පුද්ගලයෙකුගේ සිතුවිලි නිසි පෙළකට ගෙන ඒම ඉතා දුෂ්කර වන්නට පිළිවන. එහෙත් මොළොක් ස්වභාවයකින් ඉදිරිපත් කරන උපකාරය, පෙනෙන විදිහට කෘතඥ පූර්වක ව භාර ගනු ලැබේ. මේ හේතුවෙන්, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් පාවුල්ගේ උපදෙසට අවනත විය යුතු ය: “දයානුකම්පාවේ මුදු මොළොක් ස්නේහයන්ගෙන්, කරුණාවන්තකමින්, මනසේ නිහතමානිකමින්, මොළොක්කමින්, සහ බොහෝ ඉවසීමෙන් ඔබ ව පැළඳ ගන්න.” (කොලොස්සි 3:12, NW) යළි සකස් කිරීමක් අවශ්‍ය කරන පුද්ගලයෙකුට නරක ආකල්පයක් තිබෙන අවස්ථාවල, වැඩිමහල්ලන් කුමක් කළ යුතු ද? ඔවුන්, “මොළොක් ගතිය . . . ලුහු බැඳිය” යුතුයි.—1 තිමෝති 6:11, NW.
සුපරීක්ෂාවෙන් යුතු ව එඬේරකම් කිරීම
16, 17. අන්‍යයන් හට උපදෙස් දීමේ දී, වැඩිමහල්ලන් කුමන අන්තරායන්ට එරෙහි ව ආරක්ෂා විය යුතු ද?
16 ගලාති 6:1 [NW] හි පාවුල්ගේ උපදෙසට තවත් යමක් ඇතුළත් වෙයි. ආත්මික සුදුසුකම් ලත් පුරුෂයන්ගෙන් ඔහු මෙසේ උදක් ම ඉල්ලා සිටී: “[වරද කළ තැනැත්තාව] මොළොක් ස්වභාවයකින් යුතු ව යළි සකස් කිරීමට උත්සාහ දරන්න, ඔබවත් පරීක්ෂාවට ලක් වේ ය යන භයින් යුක්ත ව, ඔබ ඔබ ගැනමත් ඇසක් තබා ගන්න.” එවැනි අවවාදයකට අවනන නොවේ නම්, මොනතරම් බරපතළ ඵල විපාක ඇති විය හැකි ද! එංගලන්ත සභාවේ පූජකයෙක්, මීසමේ දෙදෙනෙකු සමඟ කාමමිථ්‍යාචාරය කිරීමේ වරදට අසුවීම පිළිබඳ පුවතකින් පොලඹවනු ලැබූ ලන්ඩන් නුවරේ ද ටයිම්ස් පුවත් පත, එය “අනාදිමත් කලක සිට පැවත ඇති තත්ත්වයකි; උපදෙස් දීමක්, පියෙකු මෙන් හෝ සහෝදරයෙකු මෙන් විශ්වාසී ව සිටින උපදෙස් දෙන මිනිසා, එම විශ්වාසය නිසා වැරදි කිරීමේ පරීක්ෂාවට ගොදුරු වෙයි” යනුවෙන් පැවසී ය. “රෝගීන් හා ඔවුන්ගේ පිරිමි උපදේශකවරුන්—එනම්, වෛද්‍යවරුන්, නීතිඥයන්, පූජකයන්, සහ ස්වාමිවරුන්—අතර පවත්නා අයුතු ප්‍රයෝජන ගැනෙන සුලු සබඳතා, අපගේ ලිංගික වශයෙන් නිදහස් වූ සමාජයේ, නොපිළිගත්, හානිකර, හා අශික්ෂිත වසංගතයක් බවට පත් වී තිබේ” යයි ආචාර්ය පීටර් රූටර් ව යොමු දක්වමින් පුවත් පත් තීරු ලේඛිකාව ඊළඟට කියා සිටියා ය.
17 යෙහෝවඃ වහන්සේගේ ජනයා එවන් පරීක්ෂාවන්ට ගොදුරු නොවන බව අප නොසිතිය යුතු ය. වසර ගණනාවක් පුරා ඇදහිලිවන්ත ලෙස සේවය කර සිටි එක් ගෞරවය ලත් වැඩිමහල්ලෙක්, එඬේර බැහැදැකීම් සඳහා එක් විවාහක සහෝදරියක් තනි ව සිටින විට ගිය නිසා, දුරාචාරයට අසු වූයේ ය. පසුතැවිලි වුවද, මෙම සහෝදරයා තමාගේ සියලු සේවා වරප්‍රසාද අහිමි කර ගත්තේ ය. (1 කොරින්ති 10:12) එසේ නම්, තමන් පරීක්ෂාවන්ට ඇද නොවැටෙන ආකාරයකට එඬේර බැහැදැකීම් කිරීමට පත් කරන ලද වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේ ද? යම් තරමකට පුද්ගලික බවක් සඳහා, යාච්ඤාව සඳහා, සහ දේව වචනයෙන් සහ ක්‍රිස්තියානි ප්‍රකාශනවලින් උපදෙස් හා තොරතුරු විමසා බැලීමට ප්‍රස්තාවක් ඇති කර ගැනීම සඳහා වැඩිමහල්ලන්ට තම කටයුතු පිළියෙළ කර ගත හැක්කේ කෙසේ ද?
18. (අ) අපකීර්තියට ලක් වන තත්ත්වයන්ගෙන් වැළකී සිටීම සඳහා, මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය අදාළ කිරීම වැඩිමහල්ලන් හට උපකාරවත් විය හැක්කේ කෙසේ ද? (ආ) සහෝදරියක වෙත එඬේර බැහැකීමක් කිරීමේ දී, කිනම් විධිවිධානයන් යෙදිය හැකි ද?
18 වැඩිමහල්ලන්ට මෙහි දී සලකා බැලීමට තිබෙන එක් සාධකයක් නම්, මූලිකත්වය දැරීම හා සම්බන්ධ ප්‍රතිපත්තිය ය. (1 කොරින්ති 11:3) යෞවනයෙක් මඟ පෙන්වීම සොයන්නේ නම්, සුදුසු අවස්ථාවල දී ඔහුගේ දෙමාපියන් ව ද එම සාකච්ඡාවට ඇතුළත් කර ගැනීමට වෑයම් කරන්න. විවාහක සහෝදරියක් ආත්මික උපකාරය ඉල්ලා සිටින විට, එම බැහැදැකීමේ දී ඇගේ ස්වාමිපුරුෂයා ද එහි සිටින පරිදි කටයුතු පිළියෙළ කර ගැනීමට ඔබට හැකි ද? එය කළ නොහැකි දෙයක් නම් තත්ත්වය කුමක් ද, නැතහොත් ඔහු යම් ආකාරයකින් ඈට හිරිහැර කරමින් සිටින නොඇදහිලිකාරයෙක් නම් කුමක් ද? එසේ නම්, ඔබ විසින් අවිවාහක සහෝදරියක් සඳහා එඬේර බැහැදැකීමක් කරන විට යොදන විධිවිධානය ම යොදා ගන්න. ආත්මික ලෙස සුදුසුකම් ලත් සහෝදරයන් දෙදෙනෙක් එක් ව සහෝදරිය ව බැහැදැකීමට යාම ඥානවන්ත වනු ඇත. එය සුදුසු නොවේ නම්, සමහරවිට, ඈ සමඟ රාජ්‍යය ශාලාවේ දී සාකච්ඡාවක් කිරීම සඳහා එම සහෝදරයන් දෙදෙනාට සුදුසු වේලාවක් තෝරා ගත හැකියි, විශේෂයෙන් ම පුද්ගලික භාවයකට ඉඩ සලසන රාජ්‍යය ශාලාවේ කාමරයක එය සිදු වේ නම් වඩාත් හොඳ ය. වෙනත් සහෝදර සහෝදරියන් රාජ්‍යය ශාලාවේ සිටින හෙයින්, සාකච්ඡාව දැකීමට හා ඇසීමට නොහැකි තත්ත්වයක සිටිය ද, එවන් අවස්ථාවක දී පැකිළීමට යම් හේතුවකින් වැළකී සිටීමට ඇති ඉඩ කඩ වැඩි ය.—පිලිප්පි 1:9, 10.
19. දෙවියන් වහන්සේගේ රැළ කැමැත්තෙන් ම රැකබලා ගැනීමෙන් පැමිණෙන යහපත් ප්‍රතිඵල මොනවා ද, තව ද කැමැත්තෙන් සේවය කරන එඬේරුන් සැපයීම සම්බන්ධයෙන් අප කෘතඥතාවය පළ කළ යුත්තේ කාට ද?
19 දෙවියන් වහන්සේගේ බැටළුවන් ව කැමැත්තෙන් ම රැකබලා ගැනීම හොඳ ප්‍රතිඵල ගෙන දෙයි—එනම්, ආත්මික ව ශක්තිමත් හොඳින් මඟ පෙන්වනූ ලැබූ රැළක් ය. ප්‍රේරිත පාවුල් මෙන්, වත්මන් ක්‍රිස්තියානි වැඩිමහල්ලන්ට තම සෙසු ඇදහිලිවන්තයන් කෙරෙහි ගැඹුරු සැලකිල්ලක් තිබේ. (2 කොරින්ති 11:28) විශේෂයෙන් ම, මෙම අර්බුදකාරී කාලවල දී දෙවියන් වහන්සේගේ ජනයා ව රැකබලා ගැනීම බරපතළ වගකීමකි. එමනිසා, වැඩිමහල්ලන් වශයෙන් සේවය කරන අපගේ සහෝදරයන් විසින් කරනු ලබන යහපත් වැඩය උදෙසා අපි සැබවින් ම කෘතඥ වන්නෙමු. (1 තිමෝති 5:17) කැමැත්තෙන් ම එඬේරකම් කරන “මනුෂ්‍යයන් තුළ දීමනා” සමඟින් අපට ආශීර්වාද කිරීම උදෙසා, ‘සෑම යහපත් දීමේ ද සෑම සම්පූර්ණ දීමනාවේ ද’ දායකයාණන් වන අපගේ ප්‍රේමනීය ස්වර්ගික එඬේරාණන් වන යෙහෝවඃ වහන්සේට අපි ප්‍රශංසා පිරිනමන්නෙමු.—එපීස 4:8; යාකොබ් 1:17.
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේ ද?
◻ පුරුෂයෙකුට තම ගෙවැසියන් ව මනා අයුරකින් හසුරුවා ගත හැක්කේ කෙසේ ද?
◻ ක්‍රිස්තියානි වැඩිමහල්ලන් කරන අධීක්ෂණයේ දී කිනම් ගුණාංග ප්‍රධාන ලක්ෂණ විය යුතු ද?
◻ උපදෙස් දීමේ දී යටහත් පහත්කම හා මොළොක්කම පෙන්වීමට වැඩිමහල්ලන්ට කෙසේ හැකි වේ ද?
◻ ආත්මික ව යළි සකස් කිරීම බලපෑමෙන් යුක්තව කිරීමට කුමක් උපකාරවත් වේ ද?
◻ රැළ කෙරෙහි එඬේරකම් කරන විට අපකීර්තියට ලක් වන තත්ත්වයන්ගෙන් වැළකීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේ ද?
[18වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි වැඩිමහල්ලෙක් තම ගෙවැසියන් ව මනා අයුරකින් හසුරුවා ගත යුතු ය
[21වන පිටුවේ පින්තූරය]
ක්‍රිස්තියානි එඬේරකම් කළ යුත්තේ මොළොක්කමින් යුතු ව සහ හොඳ විනිශ්චයක් සමඟිනි