ඇදහිල්ල ක්‍රියාවට නැංවීමෙන් දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට ප්‍රතිචාර දක්වන්න
“උන්වහන්සේ [යෙහෝවඃ දෙවියන් වහන්සේ] තමන් අනර්ඝවූ ඉතා උතුම්වූ පොරොන්දු අපට දී තිබේ.”—2 පේතෘස් 1:4.
1. සැබෑ ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට අපට හැකි කරවන්නේ කුමක් ද?
යෙහෝවඃ වහන්සේට, අප විසින් ස්වකීය පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවීම වුවමනා කෙරේ. එහෙත්, “ඇදහිල්ල වනාහි සියල්ලන්ට ම අයත් දෙයක් නොවේ.” (2 තෙසලෝනික 3:2, NW) මෙම ගුණාංගය, දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මයේ හෙවත් ක්‍රියාකාරික බලයේ ඵලයකි. (ගලාති 5:22, 23) මෙබැවින්, ඇදහිල්ල ක්‍රියාවට නැංවිය හැක්කේ යෙහෝවඃ වහන්සේගේ ආත්මය මගින් මඟ පෙන්වනු ලබන අයට පමණි.
2. ප්‍රේරිත පාවුල් “ඇදහිල්ල” නිර්වචනය කරන්නේ කෙසේ ද?
2 එහෙත්, ඇදහිල්ල යනු කුමක් ද? එය, “දකින්නට නොහැකි වුවත්, යථාර්ථයන්හි පැහැදිලි නිරූපනය” යයි ප්‍රේරිත පාවුල් විසින් හැඳින්වූවේ ය. මෙම නොපෙනන යථාර්ථයන්හි සාක්ෂි කොතරම් ප්‍රබල ද කිවහොත් එය ඇදහිල්ල සමඟ සම කොට තිබේ. තව ද, ඇදහිල්ල යනු “බලාපොරොත්තු වන දේ ගැන සහතික ලත් අපේක්ෂාව” බවට ද කියැවේ, මන්දයත්, මෙම ගුණය සතු කර ගෙන සිටින අයට, යෙහෝවඃ දෙවියන් වහන්සේ විසින් පොරොන්දු කර ඇති සියල්ල ම කොතරම් ස්ථිර ද යත් ඒවා ඉෂ්ට වුණා හා සමාන බවක් පෙනෙන්ට තිබෙන නිසා ය.—හෙබ්‍රෙව් 11:1, NW.
ඇදහිල්ල සහ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු
3. ආලේප ලත් ක්‍රිස්තියානින් ඇදහිල්ල ක්‍රියාවට නංවනවා නම් ඔවුන් අත්දකින්නේ කුමක් ද?
3 යෙහෝවඃ වහන්සේ ව සතුටු කිරීමට නම්, අප උන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැඟිය යුතු ය. ප්‍රේරිත පේතෘස්, පො.යු. 64 දී පමණ ලියන ලද දේවානුභාව ලත් තම දෙවෙනි ලිපියේ මෙම කාරණය පෙන්වී ය. තම සෙසු ආලේප ලත් ක්‍රිස්තියානින් ඇදහිල්ල ක්‍රියාවට නැඟුවා නම්, ඔවුන් දෙවියන් වහන්සේගේ ‘අනර්ඝ වූ ඉතා උතුම් වූ පොරොන්දුවල’ ඉෂ්ට වීම දකිනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේ ය. ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන් ස්වර්ගික රාජ්‍යයේ දී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ හවුල් උරුමක්කාරයන් වශයෙන්, “දේව ස්වභාවයට පංගුකාරයන්” වනු ඇත. ඇදහිල්ල සහ යෙහෝවඃ දෙවියන් වහන්සේගේ උපකාරය සමඟින්, ඔවුහු මෙම ලෝකයේ දූෂිත පුරුදු හා සිරිත් විරිත්වල බන්ධනයට හසුවීමෙන් බේරී සිටියහ. (2 පේතෘස් 1:2-4) මොහොතකට නැවතී සිතා බලන්න! සැබෑ ඇදහිල්ල ක්‍රියාවට නංවන අය, මිල කළ නොහැකි එම නිදහස ම අද දින භුක්ති විඳිති.
4. අප අපගේ ඇදහිල්ලට කුමන ගුණාංග සපයා ගත යුතු ද?
4 යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල සහ දෙවියන් වහන්සේ විසින් අපට දී ඇති නිදහස සඳහා වූ අපගේ කෘතඥතාවය, ආදර්ශවත් ක්‍රිස්තියානින් වීම සඳහා අපගේ උපරිමය කිරීමට අප ව පෙලඹිය යුතුයි. පේතෘස් මෙසේ පැවසුවේ ය: “මේ කාරණය නිසාම මුළු උත්සාහයෙන් නුඹලාගේ ඇදහිල්ල සමග ගුණයද, ගුණය සමග දැනගැන්මද, දැනගැන්ම සමග පමණ දැන ක්‍රියා කිරීමද [ආත්ම දමනය ද NW], පමණ දැන ක්‍රියාකිරීම [ආත්ම දමනය NW] සමග ඉවසිල්ලද [විඳදරා ගැනීම NW], ඉවසිල්ල [විඳදරා ගැනීම NW] සමග දේවභක්තියද, දේවභක්තිය සමග සහෝදර ස්නේහයද, සහෝදර ස්නේහයද සමග ප්‍රේමයද සපයාගනිල්ලා.” (2 පේතෘස් 1:5-7) මෙසේ, අප විසින් මතකයේ රඳවා ගැනීමට වටිනා ලැයිස්තුවක් පේතෘස් ඉදිරිපත් කරයි. මෙම ගුණාංග වෙතට අපි දැන් සමීප බැල්මක් හෙලමු.
ඇදහිල්ලේ අති වැදගත් මූලිකාංග
5, 6. ගුණය යනු කුමක් ද, එමෙන් ම අපට එය අපගේ ඇදහිල්ලට සපයා ගත හැක්කේ කෙසේ ද?
5 ගුණය, දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය සහ ප්‍රේමය එකිනෙකාට සහ අපගේ ඇදහිල්ලට සැපයීමට තිබෙන බව පේතෘස් පැවසී ය. අප මෙම ගුණාංග අපගේ ඇදහිල්ලේ අති වැදගත් මූලිකාංග කර ගැනීමට වෙහෙස වී ක්‍රියා කළ යුතු ය. නිදසුනක් වශයෙන්, ගුණය යනු, ඇදහිල්ලෙන් බැහැර ව විදහාපානු ලබන ගුණාංගයක් නොවේ. දෙවෙනි පේතෘස් 1:5 හි “ගුණය, ඇදහිල්ල ක්‍රියාවට නැංවීමේ දී සම්මිශ්‍රණය වන අති වැදගත් ගුණාංගයකි” යයි ඩබ්. ඊ. වයින් පැහැදිලි කරයි. පේතෘස් සඳහන් කළ අනෙක් සෑම ගුණාංගයක් ම ද අපගේ ඇදහිල්ලේ අංගයක් විය යුතුයි.
6 පළමු ව, අප අපගේ ඇදහිල්ලට ගුණය සපයා ගත යුතුය. ගුණවත්වීම කීමෙන් අදහස් කරන්නේ, දෙවියන් වහන්සේගේ ඇස් හමුවේ යහපත් දේ කිරීම ය. මෙහි, “ගුණය” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයට, ඇතැම් අනුවාදවල යොදා ඇත්තේ “යහපත්කම” යනුවෙන් ය. (න ඉන්ටර්නැෂනල් වර්ෂන්; ද ජෙරූසලම් බයිබල්; ටුඩේස් ඉංග්ලිෂ් වර්ෂන්) ගුණය, නරක දේවල් කිරීමෙන් වැළකීමට හෝ සෙසු මිනිසුන් හට හානි දායක දේවල් කිරීමෙන් වැළකීමට අප ව පොලඹවයි. (ගීතාවලිය 97:10) එමෙන් ම, එය, වෙනත් අයගේ ආත්මික, කායික සහ චිත්ත වේගීය ප්‍රයෝජන සඳහා යහපත් දේවල් කිරීමේලා ධෛර්යය සම්පන්න ක්‍රියාවන් කිරීමට ද පොලඹවයි.
7. අප අපගේ ඇදහිල්ලට සහ ගුණයට දැනුම සපයා ගත යුත්තේ මන්ද?
7 අපගේ ඇදහිල්ලට සහ ගුණයට දැනුම සපයන ලෙස පේතෘස් අපගෙන් උදක් ම ඉල්ලා සිටින්නේ මන්ද? ඇත්තෙන් ම, අප අපගේ ඇදහිල්ල කෙරෙහි නව අභියෝගයන්ට මුහුණ දෙනවාත් සමඟ ම, හරි දේ වැරදි දෙයින් තෝරා බේරා ගැනීමට නම් අපට දැනුම අවශ්‍ය ය. (හෙබ්‍රෙව් 5:14) බයිබල් අධ්‍යයනයෙන්, දේව වචනය අදාළ කර ගැනීමෙන් සහ එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගික ප්‍රඥාව ක්‍රියාවට නැංවීමෙන්, අපි දැනුමට අමතර රුකුලක් දෙන්නෙමු. අනෙක් අතට, අපගේ ඇදහිල්ල පවත්වා ගැනීමටත්, අප පරීක්ෂාවන් යටතේ සිටින විට, ගුණවත් දේ කරමින් සිටීමටත්, මෙය අපට මං සලසයි.—හිතෝපදේශ 2:6-8; යාකොබ් 1:5-8.
8. ආත්ම දමනය යනු කුමක් ද, තව ද එය විඳදරා ගැනීම සමඟ බැඳී තිබෙන්නේ කෙසේ ද?
8 ඇදහිල්ලෙන් යුතු ව පරීක්ෂාවන්ට මුහුණ දීමට අපට උපකාර කිරීම සඳහා, අපගේ දැනුමට ආත්ම දමනය සැපයීම අපට අවශ්‍ය ය. “ආත්ම දමනය” යන්න ගෙන හැර දක්වා ඇති ග්‍රීක් වචනයෙන් අඟවන්නේ, අප ව ම හොඳින් පාලනය කර ගැනීමට අපට ඇති හැකියාවට ය. දෙවියන් වහන්සේගේ ආත්මයේ මෙම ඵලය, අපගේ සිතුවිලිවල, වචනවල සහ හැසිරීමේ දී සංයමය දැක්වීමට අපට උපකාර කරයි. නොකඩවා ආත්ම දමනය ක්‍රියාවට නැංවීම මගින්, අපි එයට විඳදරා ගැනීම සපයන්නෙමු. “විඳදරා ගැනීම” යන්න සඳහා වූ ග්‍රීක් යෙදුමෙන් අඟවන්නේ, ගැලවී යා නොහැකි අසීරුතාවයන්හි දී, දුක්මුසු මුහුණින් යුතු ව ඊට යටත්වීම නොව, නමුත් ධෛර්යය සම්පන්න ස්ථිර භාවයයි. යේසුස් වහන්සේ වධ කණුව දරා ගත්තේ, උන් වහන්සේ ඉදිරියේ තබා තිබූ ප්‍රීතිය නිසා ය. (හෙබ්‍රෙව් 12:2) දෙවියන් වහන්සේ විසින් දානය කරන ලද ශක්තිය හා බැඳුණු විඳදරා ගැනීම, අපගේ ඇදහිල්ලට රුකුලක් දෙන අතර, පීඩාවන්හිදී ප්‍රීතිමත් වීමටත්, පරීක්ෂාවන්ට එරෙහි ව සිටීමටත්, පීඩා කරනු ලබන විට ඇදහිල්ල පාවා දීමෙන් වැළකීමටත් අපට උපකාරවත් කරයි.—පිලිප්පි 4:13.
9. (අ) දේව භක්තිය යනු කුමක් ද? (ආ) අප අපගේ දේව භක්තියට සහෝදර ස්නේහය සපයා ගත යුත්තේ ඇයි? (ඇ) අපගේ සහෝදර ස්නේහයට ප්‍රේමය සපයා ගැනීමට අපට හැක්කේ කෙසේ ද?
9 අපගේ ඇදහිල්ල වර්ධනය වන්නේ, අප විසින් දේව භක්තිය ක්‍රියාවට නැංවීමත්, යෙහෝවඃ වහන්සේ ස්වකීය සෙනඟ සමඟ කටයුතු කරන අයුරු දැකීමත් තුළිනි. අප දේව භක්තිය ක්‍රියාවට නංවා, යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයා සමඟ ක්‍රියා කරන ආකාරය දකිනවාත් සමඟ ම අපගේ ඇදහිල්ල වර්ධනය වේ. එහෙත්, දේව ශ්‍රද්ධාව විදහා පෑමට, අපට සහෝදර ස්නේහය අවශ්‍ය ය. මන්දයත්, “දෙවියන්වහන්සේට ප්‍රේම කරමියි කියා තමාගේ සහෝදරයාට වෛරකෙරේ නම්, ඔහු බොරුකාරයෙක්ය, මක්නිසාද තමා දුටු සහෝදරයාට ප්‍රේම නොකරනවා නම්, තමා නුදුටු දෙවියන්වහන්සේට ප්‍රේමකරන්ට ඔහුට නුපුළුවන.” (1 යොහන් 4:20) යෙහෝවඃ වහන්සේගේ වෙනත් සේවකයන් හට සැබෑ ස්නේහය පෙන්වීමටත් සෑම අවස්ථාවක දී ම ඔවුන්ගේ සුභ සාධනය සෙවීමටත් අපගේ හෘදයන් අප ව පෙලඹිය යුතු ය. (යාකොබ් 2:14-17) එහෙත්, අපගේ සහෝදර ස්නේහයට ප්‍රේමය සපයා ගැනීමට අපට පවසනු ලැබ ඇත්තේ මන්ද? පෙනෙන විදිහට පේතෘස් අදහස් කළේ, අප හුදෙක් අපගේ සහෝදරයන්ට පමණක් නොව, සියලු මිනිස් වර්ගයාට ම ප්‍රේමය පෙන්විය යුතු බව ය. විශේෂයෙන් ම මෙම ප්‍රේමය පෙන්වනු ලබන්නේ, ශුභාරංචිය දේශනා කිරීමෙන් සහ ජනයා හට ආත්මික ව උපකාර කිරීමෙනි.—මතෙව් 24:14; 28:19, 20.
එකිනෙකට වෙනස් බලපෑම්
10. (අ) අප අපගේ ඇදහිල්ලට ගුණය, දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය, ප්‍රේමය සපයා ගත්තොත් අප කෙසේ ක්‍රියා කරනු ඇත් ද? (ආ) ක්‍රිස්තියානි යයි කියා ගන්නා වූ කෙනෙක් මෙම ගුණාංගවලින් ඌන ව සිටී නම් කුමක් සිදු වේ ද?
10 අපි අපගේ ඇදහිල්ලට, ගුණය, දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය, සහ ප්‍රේමය සපයා ගන්නෙමු නම්, අපි දෙවියන් වහන්සේ අනුමත කරන ආකාරයට, සිතන්නෙමු, කථා කරන්නෙමු සහ ක්‍රියා කරන්නෙමු. ඊට වෙනස් ව, ක්‍රිස්තියානි යයි කියා ගන්නා වූ කෙනෙක්, මෙම ගුණාංග විදහා පෑමට අසමත් වන්නේ නම්, ඔහු ආත්මික ව අන්ධ බවට පත් වෙයි. ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණෙන ‘ආලෝකයට තම නෙත් වසා ගන්නා’ අතර, තම අතීත පව්වලින් තමා ව පිරිසිදු කරනු ලැබ තිබෙන බව අමතක කරයි. (2 පේතෘස් 1:8-10; 2 පේතෘස් 2:20-22) අපි ඒ අයුරින්, කිසිවිටෙකත් අසමත් නොවී, එනයින් දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි අපගේ ඇදහිල්ල නැති කර නොගනිමු.
11. පක්ෂපාත ආලේප ලත් අයගෙන් යුක්ති සහගත ලෙස අපට කුමක් අපේක්ෂා කළ හැකි ද?
11 පක්ෂපාත ආලේප ලත් ක්‍රිස්තියානින්ට යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ඇති අතර, උන් වහන්සේ විසින් ඔවුන් ව කැඳවනු ලැබීම සහ ඔවුන් ව තෝරා ගනු ලැබීම ස්ථිර කිරීමට දැඩි පරිශ්‍රමයක් දරනු ඇත. ඔවුන්ගේ මාවතේ ඇති පැකිළීමේ ගල් අභිමුවේ, දිව්‍ය ගුණාංග විදහා පානු ලැබීම ඔවුන්ගෙන් අපට අපේක්ෂා කළ හැක. ඇදහිලිවන්ත ආලේප ලත් අය සඳහා, ස්වර්ගයේ ආත්ම ජීවිතයකට නැවත නැගිටුවනු ලැබීම තුළින්, ‘යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සදාකාලික රාජ්‍යයට ඇතුල්වීම බොහෝ සෙයින් සපයනු ලැබේ.’—2 පේතෘස් 1:11.
12. දෙවෙනි පේතෘස් 1:12-15 හි වචන අප කෙසේ තේරුම් ගත යුතු ද?
12 තමා ඉක්මනින් මිය යන බව පේතෘස් වටහා ගත් අතර, අවසානයේ දී ස්වර්ගික ජීවිතයකට නැවත නැගිටුවනු ලැබීම හේ අපේක්ෂා කළේ ය. එහෙත්, ඔහු “මේ කූඩාරමේ”—එනම් තම මිනිස් ශරීරයේ—ජීවත් වූ තාක්කල්, ඔහු තම සෙසු ඇදහිලිවන්තයන්ගේ ඇදහිල්ල ගොඩනැගීමට වෙර දැරූ අතර, දිව්‍ය අනුමැතිය සඳහා අවශ්‍ය දේවල් ඔවුන්ට සිහි ගැන්වීම මගින්, ඔවුන් ව උනන්දු කළේ ය. පේතෘස්ගේ මරණයෙන් පිටත් ව යාමෙන් පසු, ඔහුගේ වදන් සිහි කිරීමෙන් තම ඇදහිල්ලට රුකුල් දීමට ඔහුගේ ආත්මික සහෝදර සහෝදරියන්ට හැකි විණි.—2 පේතෘස් 1:12-15.
අනාවැකිමය වචනය කෙරෙහි ඇදහිල්ල තැබීම
13. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම සමිබන්ධ ව දෙවියන් වහන්සේ ඇදහිල්ල ශක්තිමත් කරවන සාක්ෂි ඉදිරිපත් කළේ කෙසේ ද?
13 “බලයෙන්ද මහත් තේජසින්ද” යේසුස් වහන්සේගේ පැමිණ සිටීමේ සහතිකය ගැන දෙවියන් වහන්සේ ම ඇදහිල්ල ශක්තිමත් කරවන සාක්ෂි දුන් සේක. (මතෙව් 24:30; 2 පේතෘස් 1:16-18) තම දෙවිවරුන් ගැන මිථ්‍යා දෘෂ්ටික පූජකයන් සාක්ෂිවලින් ඌන ව බොරු පුරසාරම් දෙඩූ අතරතුර, පේතෘස්, යාකොබ් සහ යොහන්, ක්‍රිස්තුස් වහන්සේගේ අන්‍යරූප විලාශ වීමේ මහානුභාව සම්පන්න භාවය ගැන ඇසින් දුටු සාක්ෂිකරුවන් වූහ. (මතෙව් 17:1-5) උන් වහන්සේ තේජස්ශ්‍රීයෙන් බැබලෙනවා දුටු ඔවුහු, යේසුස් වහන්සේ වනාහි ස්වකීය ප්‍රේමනීය පුත්‍රයාණන් බවට පිළිගනිමින් නිකුත් වූ දෙවියන් වහන්සේගේ කට හඬේ ශබ්දය ඇසූහ. මෙම පිළිගැනීම සහ කාන්තිමත් පෙනුම ක්‍රිස්තුස් වහන්සේ හට ගෞරවයක් සහ තේජසක් පවරා දීමක් විණි. මෙම දිව්‍ය එළිදරව් කිරීම හේතුවෙන් පේතෘස් මෙම ස්ථානය, පෙනෙන හැටියට හර්මොන් කන්දේ මුදුන් වැටිය, “ශුද්ධ කන්ද” ලෙස හැඳින්වී ය.—නික්මයාම 3:4, 5 සසඳන්න.
14. යේසුස් වහන්සේගේ අන්‍යරූප විලාශ වීම මගින් අපගේ ඇදහිල්ල බලපෑමට ලක් විය යුත්තේ කෙසේ ද?
14 යේසුස් වහන්සේගේ අන්‍යරූප විලාශ වීම අපගේ ඇදහිල්ලට බලපෑ යුත්තේ කෙසේ ද? පේතෘස් මෙසේ පැවසී ය: “ඊට වඩා ස්ථිරකරනලද්දාවූ අනාගතවාක්‍යය අපට තිබේ. . . . අලුයම පැමිණ පහන් තාරකාව නුඹලාගේ සිත් [හෘදයන් NW] තුළෙහි පායන තුරු අඳුරු තැනක බබළන පහනක් මෙන් එය සලකන්නහු නම් යහපත්ය.” (2 පේතෘස් 1:18, 20) පෙනෙන හැටියට, මෙම “අනාගත වාක්‍යයට,” මෙසියස් වහන්සේ ගැන හෙබ්‍රෙව් ශුද්ධ ලියවිලිමය අනාවැකි පමණක් නොව නමුත් “බලයෙන්ද මහත් තේජසින්ද” පැමිණෙන බවට වූ යේසුස් වහන්සේගේ ප්රකාශනය ද ඇතුළත් විය. මෙම වචනය අන්‍යරූප විලාශ වීමෙන් ‘වඩාත් ස්ථිර කරන ලද්දේ’ කෙසේ ද? ක්‍රිස්තුස් වහන්සේ රාජ්‍යය බලයෙන් යුක්ත ව තේජසින් පැමිණ සිටීම පිළිබඳ අනාවැකිමය වචනය මෙම සිද්ධියෙන් තහවුරු විණි.
15. අනාවැකිමය වචනයට අවධානය යොමු කිරීමට ඇතුළත් වන්නේ කුමක් ද?
15 අපගේ ඇදහිල්ල ශක්තිමත් කිරීම සඳහා, අප අනාවැකිමය වචනයට අවධානය යොමු කළ යුතු ය. එම වචනය අධ්‍යයනය කිරීම, එය ක්‍රිස්තියානි රැස්වීම්වල දී සාකච්ඡා කිරීම සහ එහි උපදෙස් අදාළ කර ගැනීම ඊට ඇතුළත් වෙයි. (යාකොබ් 1:22-27) අප එය අපගේ හෘදයන් ආලෝකවත් කරවන, ‘අඳුරු තැනක දිදුලන ආලෝකයක්’ වීමට සැලැස්විය යුතු ය. (එපීස 1:18) “දිවාතරුව” හෙවත් “දීපිතමත් පහන් තාරකාව” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය තේජසින් යුතු ව එළිදරව් වන තෙක් එය අපට මඟ පෙන්වනු ඇත්තේ එවිට පමණි. (එළිදරව් 22:16) එම එළිදරව් වීම ඇදහිල්ල නැති අය සඳහා විනාශයත්, ඇදහිල්ල ක්‍රියාවට නංවන අය සඳහා ආශීර්වාදත් අදහස් කරනු ඇත.—2 තෙසලෝනික 1:6-10.
16. දෙවියන් වහන්සේගේ වචනයේ සඳහන් සියලු අනාවැකිමය පොරොන්දු ඉටු වන බවට අපට ඇදහිල්ල තැබිය හැක්කේ මන්ද?
16 දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් වනාහි ප්‍රඥාවන්ත අනාවැකි පැවසූ නිපුණ මනුෂ්‍යයන් වූවා පමණක් නොවේ, මන්දයත් පේතෘස් පැවසුවේ මෙසේයි: “ලියවිල්ලේ කිසි අනාගතවාක්‍යයක් යමෙකුගේ අභිප්රායෙන්ම හට [නොගනි.] . . . මක්නිසාද කිසි අනාගතවාක්‍යයක් මනුෂ්‍ය කැමැත්තෙන් [පුද්ගලික අර්ථකථනයෙන් NW] කිසි කලක නොපැමිණියේය. නුමුත් මනුෂ්‍යයෝ ශුද්ධාත්මයාණන් [ශුද්ධාත්මය NW] විසින් පොලඹවනු ලැබ, දෙවියන්වහන්සේගෙන් ලැබූ ලෙස කථාකළෝය.” (2 පේතෘස් 1:19, 21) නිදසුනක් වශයෙන්, දාවිත් මෙසේ පැවසී ය: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] ආත්මය මා ලවා කථාකෙරෙවූසේක.” (2 සාමුවෙල් 23:1, 2) තව ද පාවුල් මෙසේ ලිවී ය: “මුළු ශුද්ධ ලියවිල්ල ම දෙවියන් වහන්සේගේ ආනුභාවයෙන් ය.” (2 තිමෝති 3:16, NW) දෙවියන් වහන්සේගේ අනාගතවක්තෘවරුන් ව උන් වහන්සේගේ ආත්මය මගින් ආනුභාව ලත් නිසා, උන් වහන්සේගේ වචනයේ සඳහන් සියලු පොරොන්දු ඉටු වන බවට ඇදහිල්ලක් අපට තබා ගත හැකියි.
ඔවුන්ට දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තිබිණි
17. ආබෙල්ගේ ඇදහිල්ලට පදනම වූයේ කුමන පොරොන්දුව ද?
17 යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු, උන් වහන්සේගේ පූර්ව ක්‍රිස්තියානි සාක්ෂිකරුවන්ගේ ‘මහත් සේනාවේ’ ඇදහිල්ල සඳහා පදනමක් විය. (හෙබ්‍රෙව් 11:1–12:1) නිදසුනක් වශයෙන්, “සර්පයාගේ” හිස පොඩි කරනු ඇති “වංශයක්” පිළිබඳ දෙවියන් වහන්සේගේ පොරොන්දුව කෙරෙහි ආබෙල්ට ඇදහිල්ල තිබිණි. ආබෙල්ගේ දෙමාපියන් කෙරෙහි දෙවියන් වහන්සේ පැන වූ දඬුවම ඉෂ්ට වීම සම්බන්ධ ව සාක්ෂි තිබිණි. ඒදන් උයනෙන් පිටත, ශාප ලත් භූමියේ කටු සහ ගොකටු හට ගත් නිසා, ආදම් සහ ඔහුගේ පවුල ඔවුන්ගේ මුහුණේ ඩහදියෙන් යුක්ත ව ආහාර අනුභව කළෝ ය. ඒවගේ දැඩි ආශාව තම ස්වාමිපුරුෂයා කෙරෙහි බවත්, ආදම් ඈ කෙරෙහි අධිපතිකම් කළ බවත් ආබෙල් දුටුවා විය හැකි ය. ස්ථිර වශයෙන් ම, ඒව ඇගේ වදන වේදනාව ගැන කථා කරන්නට ඇත. එමෙන් ම, ඒදන් උයනට ඇතුල් වෙන ස්ථානය කෙරුබ්වරුන්ගෙන් සහ ගිනිමය කඩුවක් මගින් ආරක්ෂා කරන ලදි. (උත්පත්ති 3:14-19, 24) පොරොන්දු වූ වංශය තුළින් ගැලවීම පැමිණෙනු ඇති බවට ආබෙල් හට සහතික කරමින්, මේ සියල්ලෙන්, “පැහැදිලි නිරූපනයක්” සකස් විය. ඇදහිල්ලෙන් ක්‍රියා කළ ආබෙල්, දෙවියන් වහන්සේට පූජාවක් ඔප්පු කළ අතර, එය කායින්ගේ පූජාවට වඩා වටිනා එකක් බවට ඔප්පු විණි.—හෙබ්‍රෙව් 11:1, 4.
18, 19. ආබ්‍රහම් සහ සාරා ඇදහිල්ල ක්‍රියාවට නැංවූයේ කුමන මාර්ගවලින් ද?
18 ආබ්‍රහම්, ඊසාක් සහ යාකොබ් යන ආදි පිතෘන්ට ද යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ලක් තිබිණි. පොළොවේ සියලු ම පවුල් තමාගේ මාර්ගයෙන් ඔවුන්ට ම ආශීර්වාද කර ගනු ඇති බවටත්, ඔහුගේ වංශයට දේශයක් දෙනු ඇති බවටත් වූ දෙවියන් වහන්සේගේ පෙරොන්දුව කෙරෙහි ඔහු ඇදහිල්ල පැවැත්වී ය. (උත්පත්ති 12:1-9; 15:18-21) ඔහුගේ පුත්‍ර ඊසාක් සහ මුණුපුරු යාකොබ් ද ‘එම පොරොන්දුවට ඔහු සමඟ උරුමක්කාරයෝ’ වූහ. ආබ්‍රහම් ඇදහිල්ල කරණ කොට ගෙන, “අන් දේශයක මෙන් පොරොන්දුවේ දේශයෙහි පොරොත්තුවී,” “අත්තිවාරම් ඇත්තාවූ, දෙවියන්වහන්සේ විසින් යෝජනාකර සෑදුවාවූ නුවර ගැන,” එනම්, දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන බලා සිටි අතර, ඒ යටතේ ඔහු පොළොව මත ජීවිතයකට නැවත නැගිටිනවා ඇත. (හෙබ්‍රෙව් 11:8-10) ඔබට ඒ හා සමාන ඇදහිල්ලක් තිබේ ද?
19 ආබ්‍රහම්ගේ භාර්යාව වූ සාරා, වයස අවුරුදු 90ක් පමණ වූ අතර, ඈ දෙවියන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තැබූ අවස්ථාවේ දරුවන් වදන වයස පසු කොට සිටි අතර, “ගර්භිණීවෙන්ට බලය ලැබ” ඊසාක් ව ප්‍රසූත කළා ය. මෙසේ, දරුවන් බිහි කිරීම සම්බන්ධයෙන් “මළ කෙනෙකු වැනි” අවුරුදු 100ක් වයසැති ආබ්‍රහම් වෙතින්, අවසානයේ දී, “ගණනින් අහසේ තාරකා මෙන් . . . වූ සමූහයක් හටගත්තේය.”—හෙබ්‍රෙව් 11:11, 12; උත්පත්ති 17:15-17; 18:11; 21:1-7.
20. ආදි පිතෘවරුන් දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වූ දේවල්හි සම්පූර්ණ ඉෂ්ට වීම නුදුටුවත්, ඔවුන් කළේ කුමක් ද?
20 මෙම ඇදහිලිවන්ත ආදි පිතෘවරු දෙවියන් වහන්සේ ඔවුන්ට පොරොන්දු වුණා වූ දේවල සම්පූර්ණ ඉෂ්ට වීම නොදැක මිය ගියහ. එහෙත්, “මොවුන් සියල්ලෝ පොරොන්දු නොලැබ, දුරදී ඒවා [පොරොන්දු වූ දේවල්] දැක ප්‍රසන්නවී, පොළොවේ තමන් විදේශීන්ද ආගත්රැකයන්ද බව [ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝ ය NW].” ආබ්‍රහම්ගෙන් පැවතෙන්නන් විසින් පොරොන්දු දේශය අත්පත් කර ගැනීමට පෙර, පරම්පරා ගණනාවක් පසු විණි. කෙසේ වුවද, ආදි පිතෘවරු තමන්ගේ ජීවිත කාලය පුරා, යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල ක්‍රියාවට නැංවූහ. ඔවුන් කිසිවිටෙකත් තම ඇදහිල්ල නැති කර නොගත් නිසා, දෙවියන් වහන්සේ විසින් ඔවුන් සඳහා සූදානම් කළ “නුවර” වන මෙසියානු රාජ්‍යයේ භූමික විෂයේ ඔවුන් ඉතා ඉක්මනින් නැවත නැගිටවනු ලබනවා ඇත. (හෙබ්‍රෙව් 11:13-16) ඒ හා සමාන අයුරින්, යෙහෝවඃ වහන්සේගේ පුදුමාකාර පොරොන්දුවල ක්ෂණික ඉටුවීමක් අප විසින් නොදුටුවත්, අප ව යෙහෝවඃ වහන්සේට පක්ෂපාත ව තබා ගැනීමට ඇදහිල්ලට හැක. ආබ්‍රහම් කළාක් මෙන්, දෙවියන් වහන්සේට කීකරු වීමට අපගේ ඇදහිල්ල අප ව පොලඹවනවා ඇත. තව ද, ඔහු තමාගේ ජනිතයන්ට ආත්මික උරුමයක් ලබා දුන්නාක් මෙන්, යෙහෝවඃ වහන්සේගේ අනර්ඝ පොරොන්දු කෙරෙහි ඇදහිල්ල තැබීමට අපගේ දරුවන්ට උපකාර කිරීමට අපට හැක.—හෙබ්‍රෙව් 11:17-21.
ඇදහිල්ල ක්‍රිස්තියානින් හට අති වැදගත් ය
21. අද දින දෙවියන් වහන්සේට පිළිගත හැකි වීමට නම්, අප විසින් ඇදහිල්ල ක්‍රියාවට නැංවීමට කුමක් ඇතුළත් විය යුතු ද?
21 ඇත්ත වශයෙන් ම, යෙහෝවඃ වහන්සේගේ පොරොන්දුවල ඉෂ්ට වීම කෙරෙහි නිසැකකම ඇතුව සිටිනවාට වඩා වැඩි යමක් ඇදහිල්ලට ඇතුළත් වෙයි. මිනිස් ඉතිහාසය පුරා, අප උන් වහන්සේගේ අනුමැතිය භුක්ති විඳීමට නම්, විවිධ ආකාරවලින් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීම අවශ්‍ය දෙයක් වී තිබේ. “ඇදහිල්ල නැතුව [යෙහෝවඃ දෙවියන් වහන්සේ ව] ප්‍රසන්නකරන්ට නුපුළුවන. මක්නිසාද දෙවියන්වහන්සේ වෙතට ළඟාවෙන්නා විසින් උන්වහන්සේ විද්‍යමාන බවත්, උන්වහන්සේ සොයන්නන්ට විපාකදෙන කෙනෙකු බවත් විශවාසකරන්ට ඕනෑය” යයි පාවුල් පැහැදිලි කළේ ය. (හෙබ්‍රෙව් 11:6) අද දින යෙහෝවඃ වහන්සේ හට පිළිගත හැකි වීමට නම්, යම් පුද්ගලයෙක්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහිත්, උන් වහන්සේ මගින් දෙවියන් වහන්සේ සපයා ඇති මිදීමේ මිල පූජාව කෙරෙහිත් ඇදහිල්ල ක්‍රියාවට නැඟිය යුතු ය. (රෝම 5:8; ගලාති 2:15, 16) එය හරියට යේසුස් වහන්සේ ම පැවසුවාක් මෙනි: “මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙනතරම් [මිනිස් වර්ගයාගෙන් සමන්විත] ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑමදෙනම විනාශනොවී සදාකාල ජීවනය ලබන පිණිසය. පුත්‍රයාණන් කෙරෙහි අදහගන්නාට සදාකාල ජීවනය ඇත; නුමුත් පුත්‍රයාණන්ට කීකරු නොවන්නා ජීවනය නොදක්නේය, දෙවියන්වහන්සේගේ උදහස ඔහු කෙරෙහි පවතියි.”—යොහන් 3:16, 36.
22. මෙසියානු රාජ්‍යය ඉෂ්ට කරනු ඇත්තේ කිනම් පොරොන්දුව ද?
22 ක්‍රිස්තියානින් යාච්ඤා කරන රාජ්‍යය පිළිබඳ ව දෙවියන් වහන්සේගේ පොරොන්දුවල ඉෂ්ට වීම සම්බන්ධයෙන් යේසුස් වහන්සේ අති වැදගත් කාර්ය භාරයක් ඉටු කරන සේක. (යෙසායා 9:6, 7; දානියෙල් 7:13, 14; මතෙව් 6:9, 10) පේතෘස් පෙන්නුම් කළාක් මෙන්, අන්‍යරූප විලාශ වීම, යේසුස් වහන්සේ රාජ්‍යය බලයෙන් හා තේජසින් යුතු ව පැමිණීම පිළිබඳ අනාවැකිමය වචනය සනාථ කළේ ය. මෙම මෙසියානු රාජ්‍යය දෙවියන් වහන්සේගේ තවත් පොරොන්දුවක් ඉෂ්ට කරනවා ඇත, මක්නිසා ද පේතෘස් මෙසේ ලීවේ ය: “ධර්මිෂ්ඨකම වාසයකරන අලුත් අහසක්ද අලුත් පොළොවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමුව.” (2 පේතෘස් 3:13) පොදු යුගයට පෙර 537 දී, සෙරුබ්බාබෙල් ආණ්ඩුකාරයා වශයෙන් සහ යෝෂුවා උත්තම පූජකයා වශයෙන් එම ආණ්ඩුව යටතේ, බබිලෝනියේ වහලුන් ව සිටි යුදෙව්වන් තමන්ගේ මව්බිම කරා යවනු ලැබූ විට ඒ හා සමාන අනාවැකියක් ඉටු විණි. (යෙසායා 65:17) එහෙත්, පේතෘස් පැහැදිලි කළේ, “අලුත් අහසක්”—එනම් ස්වර්ගික මෙසියානු ආණ්ඩුව—මෙම පොළොව පුරා ජීවත් වන ධර්මිෂ්ඨ මිනිස් සමාජයක් හෙවත් “අලුත් පොළොවක්” පුරා පාලනය කරනු ඇති අනාගත කාලයක් ගැන ය.—ගීතාවලිය 96:1 සසඳන්න.
23. අප ඊළඟට සාකච්ඡා කරනවා ඇත්තේ ගුණය සම්බන්ධ කිනම් ප්‍රශ්න ද?
23 යෙහෝවඃ වහන්සේගේ පක්ෂපාත සේවකයන් වශයෙන් සහ උන් වහන්සේගේ ප්‍රිය පුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන්, අපි දෙවියන් වහන්සේගේ පොරොන්දු කරන ලද නව ලෝකය ඉතා ආශාවෙන් බලා සිටින්නෙමු. එය ළඟ බව අපි දනිමු, තව ද යෙහෝවඃ වහන්සේගේ අනර්ඝ පොරොන්දු සියල්ල ම ඉටු වනු ඇති බවට අපට ඇදහිල්ලක් තිබේ. අපගේ දෙවියන් වහන්සේ ඉදිරියේ පිළිගත හැකි ලෙස ගමන් කිරීමට නම්, අප අපගේ ඇදහිල්ලට, ගුණය, දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය, සහ ප්‍රේමය සපයමින් ඇදහිල්ල ශක්තිමත් කළ යුතු ය.a මේ අවස්ථාවේ දී, අපට ගුණය විදහා පෑ හැක්කේ කෙසේ දැයි ඇසිය හැක. අප ගුණවත්වීම අපටත් අන්‍යයන්ටත්, විශේෂයෙන් ම, ඇදහිල්ල ක්‍රියාවට නැංවීම මගින් දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට ප්‍රතිචාර දක්වා ඇති අපගේ ක්‍රිස්තියානි ආශ්‍රිතයන්ටත් ප්‍රයෝජන ලැබිය හැක්කේ කෙසේ ද?
[පාදසටහන්වල]
a ඇදහිල්ල සහ ගුණය මෙම මුරටැඹ කලාපයේ සාකච්ඡා කෙරේ. දැනුම, ආත්ම දමනය, විඳදරා ගැනීම, දේව භක්තිය, සහෝදර ස්නේහය සහ ප්‍රේමය ඉදිරි කලාපවල වඩාත් පූර්ණ අයුරින් සාකච්ඡා කරනු ලබනවා ඇත.
ඔබගේ පිළිතුරු මොනවා ද?
◻ “ඇදහිල්ල” කෙසේ නිර්වචනය කළ හැකි ද?
◻ දෙවෙනි පේතෘස් 1:5-7ට අනුව, අපගේ ඇදහිල්ලට කිනම් ගුණාංග සපයා ගත යුතු ද?
◻ යේසුස් වහන්සේගේ අන්‍යරූප විලාශ වීම අපගේ ඇදහිල්ලට කුමන බලපෑමක් ඇති කළ යුතු ද?
◻ ආබෙල්, ආබ්‍රහම්, සාරා සහ මුල් කාලවල සිටි වෙනත් අය විසින් ඇදහිල්ලේ කුමන ආදර්ශ සපයන ලද්දේ ද?
[15වන පිටුවේ පින්තූරය]
යේසුස් වහන්සේගේ අන්‍යරූප විලාශ වීම පුද්ගලයෙකුගේ ඇදහිල්ලට බලපෑ හැකි ආකාරය ඔබ දන්නෙහි ද?