පොරොන්දු දේශයෙන් දර්ශන
ගිලියද්—නිර්භීත ජනයා සඳහා වූ දේශය
ඊශ්‍රායෙල්වරු යොර්දාන් ගඟ හරහා ගොස් පොරොන්දු දේශයට ඇතුල් වන්නට මඳ කලකට පෙර, මෝසෙස් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලා සිටියේ: “ශක්තිමත්ව ධෛර්ය්යවත්ව සිටපල්ලා, . . . නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම [යෙහෝවඃ වහන්සේ ම NW] නුඹ සමග යනසේක” යනුවෙනි.—ද්විතීය කථාව 31:6.
රූබෙන් හා ගාද් නමැති ගෝත්‍ර ද, මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද මෝසෙස්ගේ අනුශාසනාවට ඇතුළත් කර තිබුණි. ‘ගිලියද් දේශය සිව්පාවුන්ට සුදුසු ස්ථානයක් බව’ ඔවුන් දුටු බැවින්, ගිලියද් දේශයේ වාසය කරන්නට තමන් හට පවරන ලෙස ඔවුන් ඉල්ලා තිබුණි.—ගණන් කථාව 32:1-40.
ගිලියද් පිහිටා තිබුණේ, යොර්දානයට අනෙක් පැත්තේ, එනම් නැගෙනහිර පැත්තේ ය. එය මළ මුහුදේ උතුරු කොනෙන් පටන්ගෙන ගලීල මුහුද දක්වා, සම්පූර්ණයෙන් ම නැගෙනහිර දිසාව විය. මෙම දේශය යොර්දාන් නිම්නයෙන් පටන්ගෙන හොඳ ජල සැපයුමක් තිබූ උස් සානු හා රවුම් හැඩයෙන් යුත් කඳු දක්වා විහිදී ගියේ ය. එබැවින් ගිලියද් ධාන්‍ය වැවීමටත් සිව්පාවුන්ට තණ කැවීමටත් ඉතා අනර්ඝ දේශයක් විය. ගිලියද් හි කොටසක් කෙබඳු ආකාරයේ එකක් වූයේ දැයි ඉහත චිත්‍රය ඔබට යම් අදහසක් ඉදිරිපත් කරනු ඇත. එහෙත් සාපේක්ෂිත වශයෙන් එවන් ප්‍රසන්න ප්‍රදේශයක් සමඟ නිර්භීතකම ඈඳිය යුත්තේ මක්නිසා ද?
ගිලියද් හි ජීවත් වන්නට තෝරා ගත් ගෝත්‍ර, පෙනෙන හැටියට එසේ කළේ භයෙන් නොවේ. පොරොන්දු දේශයේ විසූ සතුරනට එරෙහි ව සටන් කිරීමට යොර්දානය හරහා යාමට ඔවුන් එකඟ වීම සිහියට නගන්න. තව ද ගිලියද්ට නැවත පැමිණීමෙන් පසු, ඔවුනට වැඩි නිර්භීතකමක් ඕනෑ ව තිබුණි. මන්ද? හොඳයි, ඔවුහු ගිනි කොණෙන් අම්මොන්වරුන්ගෙන් ද, උතුරෙන් සිරියානුවන්ගෙන් ද පහර ලැබීමට නිරාවරණය වූ තත්ත්වයක, එනම් දේශ සීමාව අසබඩ සිටියහ. තව ද ඔවුහු එපරිද්දෙන් ම ඔවුන්ගෙන් පහර ලැබූහ.—යෝෂුවා 22:9; විනිශ්චයකාරයන් 10:7, 8; 1 සාමුවෙල් 11:1; 2 රාජාවලිය 8:28; 9:14; 10:32, 33.
එම ප්රහාරයන් නිර්භීතකම අවශ්‍ය කරවූ නිශ්චිත අවස්ථාවන් විය. උදාහරණයක් හැටියට, ගිලියද් වෙත පීඩා ගෙනෙන්නට යෙහෝවඃ වහන්සේ අම්මොන්වරුන්ට ඉඩ හැරීමෙන් පසු, දෙවියන් වහන්සේගේ ජනයා පසුතැවිලි වී, නායකත්වය සඳහා සිය පියාගේ නාමය ද ගිලියද් වූ, “බලසම්පන්න වික්‍රමාන්විත මනුෂ්‍යයෙක්” වෙත හැරුණහ. යෙප්තා මෙම වික්‍රමාන්විත නැතහොත් නිර්භීත මනුෂ්‍යයා විය. තමා නිර්භීත ව සිටිය ද, තමා දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම හා අනුබලය සෙවූ බව පෙන්වූ දිවුරුමක් වෙනුවෙන් ඔහු ප්‍රකට ව සිටී. හිංසා කරන අම්මොන්වරුන් ව යටපත් කිරීමට දෙවියන් වහන්සේ තමාට හැකියාව ලබා දුන්නේ නම්, තමා ව හමු වීමට තමාගේ ගෙයින් පිටත් ව එන පළමු තැනැත්තා ව දෙවියන් වහන්සේට ‘දවන පූජාවක්’ හෝ යාගයක් කොට ඔප්පු කරනු ලබනවා ඇතැයි යෙප්තා බාරයක් විය.a ඒ තැනැත්තා යෙප්තාගේ එක ම දරුවා වූ, ඔහුගේ දියණිය බවට පත් වූ අතර, පසු ව ඇය දෙවියන් වහන්සේගේ ශුද්ධ ස්ථානයේ සේවය කරන්නට පිට ව ගියා ය. එසේ ය, යෙප්තා මෙන් ම, ඔහුගේ දියණියත් වෙනස් ආකාරයකට, නිර්භීතකම පෙන්වූහ.—විනිශ්චයකාරයන් 11:1, 4-40.
ඇතැම් විට ප්‍රකට ව නොපෙනෙන ආකාරයෙන් නිර්භීතකම විදහා පෙන්වීමක් සාවුල්ගේ කාලයේ ද සිදු විය. සිදු වූ දෙය වටහා ගැනීමට, සාවුල් රජ බවට පත් වූ විට, අම්මොන්වරුන් යාබෙෂ්-ගිලියද් හි මනුෂ්‍යයින්ගේ දකුණු ඇස් උගුලා දමන්නට කළ තර්ජනය මතකයට නගන්න. මෙම නගරය කඳු තුළින් යොර්දානයට බැස යමින් තිබූ මළ දොළක් අසල පිහිටා තිබුණා වන්නට පුළුවන. යාබෙෂ් ශක්තිමත් කිරීම සඳහා සාවුල් වහාම හමුදාවක් රැස් කළේ ය. (1 සාමුවෙල් 11:1-11) එම පසුතලය මනසේ ඇති ව, සාවුල්ගේ පාලනයේ අවසානයට ගොස් නිර්භීතකම පෙන්වන ලද ආකාරය අපි බලමු.
පිලිස්තිවරුන් සමඟ කළ යුද්ධයක දී සාවුල් හා ඔහුගේ පුත්‍රයින් තිදෙනෙකු මරණයට පත් වූ බව ඔබට මතක තිබෙන්නට පුළුවන. එම සතුරෝ, සාවුල්ගේ හිස ගසා දමා, ජයග්‍රාහී ලෙස සාවුල්ගේ හා ඔහුගේ පුත්‍රයන්ගේ මළ සිරුරු බෙත්-ෂාන් හි පවුරට සවිකර එල්ලා තැබුවෝ ය. (1 සාමුවෙල් 31:1-10; කැණීම්වලට භාජනය වී ඇති බෙත්-ෂාන් හි දකුණේ මිටි කන්ද ඔබට බලා ගත හැක.) මේ පිළිබඳ පුවත යොර්දානය හරහා ගිලියද් කඳුවල පිහිටි යාබෙෂ්ට සැල විය. ඊශ්‍රායෙලයේ රජ ව පරාජය කරන්නට තරම් බලගතු සතුරෙක් හමුවේ ගිලියද් වැසියන්ට කළ හැක්කේ කුමක් ද?
ගිලියද් වැසියන් ගමන් කළ මාර්ගය බලන්නට සිතියම බලන්න. “සියලු වික්‍රමාන්විත මනුෂ්‍යයෝ නැගිට, මුළු රාත්‍රියේ ගොස්, බෙත්-ෂාන් හි පවුරෙන් සාවුල්ගේ මළකඳද ඔහුගේ පුත්‍රයන්ගේ මළකඳන්ද රැගෙන යාබෙෂ්ට ඇවිත්, එහිදී ඒවා දවා,” ලූහ. (1 සාමුවෙල් 31:12) එසේ ය, සතුරාගේ බල කොටුව තුළට රාත්‍රියේ ඇතුලු වන්නට ඔවුහු ඉදිරිපත් වූහ. ඔවුන් වික්‍රමාන්විත, නැතහොත් නිර්භීත යයි බයිබලය හඳුන්වන්නට හේතුව ඔබට තේරුම් ගත හැකි ය.
කලකට පසු, උතුරු ඊශ්‍රායෙල් රාජ්‍යය පිහිටුවන්නට ගෝත්‍ර දසය වෙන් වූ අතර මෙයට ගිලියද් ද අයත් විය. අවට සිටි ජාතීන්, පළමු ව සිරියානුවන් ද පසු ව අෂුර්වරුන් ද, යොර්දානයට නැගෙනහිර පැත්තේ වූ එම ප්‍රදේශයෙන් කොටස් අල්ලා ගන්නට පටන් ගත්හ. මෙසේ නිර්භීතකම පෙන්වූ කලින් අවස්ථාවන් තිබියදීත්, ගිලියද් වැසියෝ දේශ සීමාවන් අසබඩ විසීමේ ප්‍රතිඵල අත්දුටහ.—1 රාජාවලිය 22:1-3; 2 රාජාවලිය 15:29.
[පාදසටහන්වල]
a වාර්තාව සැලකිල්ලෙන් පරීක්ෂා කිරීමෙන් යෙප්තා සිය දරුවා ව මනුෂ්‍ය යාගයක් සේ ඔප්පු කළ බවට වූ චෝදනාව වැරදි බව සනාථ වේ. වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්. මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් පොතේ, 2වන කාණ්ඩයේ, 27-8, පිටු බලන්න.
[8වන පිටුවේ සිතියම]
(මුද්‍රිත පිටපත බලන්න)
ගලීලයේ මුහුද
මළ මුහුද
යොර්දාන් ගඟ
බෙත්-ෂාන්
රාමොත්-ගිලියද්
යාබෙෂ්
ගිලියද්
[හිමිකම් විස්තර]
Based on a map copyrighted by Pictorial Archive (Near Eastern History) Est. and Survey of Israel.
[8වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.
[9වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Pictorial Archive (Near Eastern History) Est.