ක්‍රිස්තියානි පවුල ආත්මික දේවල් පෙරට තබයි
“ඔබ සියලු දෙනා ම ගැළපෙන මානසික ස්වභාව පෙන්වමින් අන්‍යෝන්‍ය අවබෝධයේ හැඟීම් පෙන්වා, සහෝදර ස්නේහය ඇතුව මුදු මොළොක් දයානුකම්පිත බව සහ මනසින් යටහත් පහත්කම ඇතුව සිටින්න.”—1 පේතෘස් 3:8, NW.
1. අප සියලු දෙනා ම කළ තේරීම කුමක් ද, තව ද අපගේ තේරීම අපගේ අනාගතයට බලපා හැක්කේ කෙසේ ද?
ඉහත සඳහන් පාඨය මිනිස් වර්ගයාගේ පැරණිතම ආයතනය—එනම් පවුල වෙත මොනතරම් කදිම ව අදාළ වේ ද! මෙම කාරණා සම්බන්ධ ව දෙමාපියන් විසින් පෙරමුණ ගැනීම කෙතරම් වැදගත් ද! ඔවුනගේ ඒකාන්ත ගුණාංග සහ නිෂේධාත්මක ගුණාංග බොහෝ දුරට දරුවන් තුළ දිස් වෙයි. එහෙත්, තෝරා ගැනීමේ ප්‍රස්තාව එක් එක් සාමාජිකයා සමඟ රැඳී පවතී. ක්‍රිස්තියානින් වශයෙන්, අපට ආත්මික පුද්ගලයින් වීමට හෝ මාංසික පුද්ගලයින් වීමට තෝරා ගත හැකි ය. දෙවියන් වහන්සේ ව ප්‍රසන්න කිරීමට හෝ අප්‍රසන්න කිරීමට තෝරා ගත හැකි ය. එම තෝරා ගැනීම, ආශීර්වාදයකට, එනම් සදාකාලික ජීවිතයට හා සාමයට—නැතහොත් ශාපයකට, එනම් නිත්‍ය මරණයට තුඩු දිය හැක.—උත්පත්ති 4:1, 2; රෝම 8:5-8; ගලාති 5:19-23.
2. (අ) පේතෘස්, පවුල කෙරෙහි තම සැලකිල්ල පෙන්වූයේ කෙසේ ද? (ආ) ආත්මිකත්වය යනු කුමක් ද? (පාද සටහන බලන්න.)
2 පළමු වෙනි පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි ඡේදයේ ප්‍රේරිතවරයාගේ වචන පැමිණෙන්නේ, ඔහු විසින් භාර්යාවන්ට හා ස්වාමිපුරුෂයන්ට යම් කදිම උපදෙස් දී අවසන් වූවාත් සමඟ ය. පේතෘස් ක්‍රිස්තියානි පවුල්වල සුභසාධනය ගැන සැබවින් ම උනන්දු වූයේ ය. එක්සත්, ස්නේහයෙන් හා දයාවෙන් සපිරි පවුලක් ඇති වීමේ රහස, ශක්තිමත් ආත්මිකත්වය බව ඔහු දැන සිටියේ ය. මෙසේ, 7 වෙනි පදයේ ස්වාමිපුරුෂයන් හට ඔහු විසින් දී ඇති උපදෙස නොසලකා හරිනු ලැබුවහොත්, ප්‍රතිඵලය වනුයේ ස්වාමිපුරුෂයා හා යෙහෝවඃ වහන්සේ අතර ආත්මික බාධකයක් ඇති වීමයි.a ස්වාමිපුරුෂයා තම භාර්යාවගේ අවශ්‍යතා නොසලකා හැරියහොත් හෝ ඈ ව අකරුණාවන්තකමින් පොඩි කර දැමුවහොත් ඔහුගේ යාච්ඤාවලට බාධා පැමිණිය හැක.
ආත්මිකත්වය සඳහා පරිපූර්ණ ආදර්ශයකි—ක්‍රිස්තුස් වහන්සේ
3. පාවුල්, ස්වාමිපුරුෂයන් සඳහා ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය කැපී පෙනෙන්ට සැලැස්වූයේ කෙසේ ද?
3 පවුලක ආත්මිකත්වය රඳා පවතින්නේ යහපත් ආදර්ශය මත ය. ස්වාමිපුරුෂයා ක්‍රිස්තියානි ධර්මය පිළිපදින කෙනෙක් වන විට, ආත්මික ගුණාංග විදහා පෑමේ ලා හේ පෙරමුණ ගනී. ඇදහිලිවන්ත ස්වාමිපුරුෂයෙකු නොසිටී නම්, සාමාන්‍යයෙන් එම වගකීමට උරදීමට මව උත්සාහ කරන්නී ය. මේ කුමන තත්ත්වයක් යටතේ වේවා, අනුගමනය කිරීම සඳහා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පරිපූර්ණ ආදර්ශය තබන සේක. උන් වහන්සේගේ හැසිරීම, උන් වහන්සේගේ වචන සහ උන් වහන්සේගේ සිතුවිලි සෑම විට ම ගොඩනංවන සුලු හා නැවුම් බවක් ගෙන දෙන සුලු විය. ප්‍රේරිත පාවුල් යළි යළිත් පාඨකයාගේ අවධානය යොමු කරවන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමනීය චරිත රටාවටයි. නිදසුනක් වශයෙන්, ඔහු මෙසේ සඳහන් කරයි: “ක්‍රිස්තුස්වහන්සේ සභාවේ හිසව සිටින්නා සේම පුරුෂයාත් භාර්‍ය්‍යාවගේ හිසව සිටියි. උන්වහන්සේ වනාහි ශරීරයේ ගැලවුම්කාරයාය. පුරුෂයෙනි, ක්‍රිස්තුස්වහන්සේ සභාවට ප්‍රේමකොට, ඈ උදෙසා තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් නුඹලාගේ භාර්ය්යාවන්ට [දිගට ම NW] ප්‍රේම කරපල්ලා.”—එපීස 5:23, 25, 29; මතෙව් 11:28-30; කොලොස්සි 3:19.
4. ආත්මිකත්වය සම්බන්ධයෙන් යේසුස් වහන්සේ කිනම් ආදර්ශයක් තැබූ සේක් ද?
4 යේසුස් වහන්සේ වනාහි ප්‍රේමය, කරුණාවන්තකම සහ දයානුකම්පාව සමඟින් ආත්මිකත්වය සහ මූලිකත්වය විදහා පෑ කැපී පෙනෙන ආදර්ශය වූ සේක. උන් වහන්සේ ආත්ම පරිත්‍යාගි වූවා මිස තමා ව ම පිනවා ගන්නා කෙනෙකු නොවූ සේක. සෑම විට ම සිය පියාණන් ව මහිමයට පත් කළ උන් වහන්සේ, පියාණන් වහන්සේගේ මූලිකත්වයට ගෞරව කළ සේක. උන් වහන්සේ මූලිකත්වය ගත්තේ සිය පියාණන් වෙතිනි, එමනිසා මෙසේ කීමට උන් වහන්සේට හැකි විණි: “මාගේ ම මුලපිරීමකින් මට කිසිදු දෙයක් කළ නොහැකි ය; මා අසන පරිදි, මම විනිශ්චය කරමි; ඇරත් මා පිරිනමන විනිශ්චය ධර්මිෂ්ඨ ය, මන්දයත් මා සොයන්නේ මගේ ම කැමැත්ත නොව, නමුත් මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත වන හෙයිනි.” “මම මාගේ ම මුලපිරීමෙන් කිසිවක් නොකරමි; නමුත් පියාණන් වහන්සේ මට ඉගැන්වූ සේ ම මම මේ දේවල් කථා කරමි.”—යොහන් 5:30, NW; යොහ 8:28, NW; 1 කොරින්ති 11:3.
5. සිය අනුගාමිකයින් හට අවශ්‍යතා සැපයීමේ දී යේසුස් වහන්සේ ස්වාමිපුරුෂයන් සඳහා තැබූ ආදර්ශය කුමක් ද?
5 මින් ස්වාමිපුරුෂයන් හට අදහස් කරන්නේ කුමක් ද? මින් අදහස් කරන්නේ, ඔවුන් විසින් සියල්ලේ දී අනුගමනය කළ යුත්තේ සෑම විට ම සිය පියාණන් හට යටත් ව සිටි ක්‍රිස්තුස් වහන්සේ ව බව ය. නිදසුනක් වශයෙන්, පොළොව මත සිටි සියලු ආකාරවල ජීවින් හට යෙහෝවඃ වහන්සේ ආහාර සැපයූවාක් මෙන්, යේසුස් වහන්සේ ද සිය අනුගාමිකයින් හට ආහාර සැපයූ සේක. උන් වහන්සේ ඔවුන්ගේ මූලික ද්‍රව්‍යමය අවශ්‍යතා නොසලකා හැරියේ නැත. උන් වහන්සේ විසින් පුරුෂයන් 5,000ක් හා 4,000ක් පෝෂණය කිරීමේ ප්රාතිහාර්ය, උන් වහන්සේගේ සැලකිල්ලේ හා උන් වහන්සේ සතු ව තිබූ වගකීම් දැරීමේ හැකියාවට සාක්ෂියකි. (මාර්ක් 6:35-44; 8:1-9) ඒ හා සමාන ව අද දිනත්, වගකීම් හොඳින් දරන පවුල් මූලිකයෝ තම පවුලේ අයගේ කායික අවශ්‍යතා ගැන සැලකිල්ල දක්වත්. එහෙත් ඔවුන්ගේ වගකීම එතැනින් අවසන් වේ ද?—1 තිමෝති 5:8.
6. (අ) කුමන වැදගත් පවුල් අවශ්‍යතා සපුරාලනු ලැබිය යුතු ද? (ආ) ස්වාමිපුරුෂයන්ට හා පියවරුන්ට අවබෝධය පෙන්නුම් කළ හැක්කේ කෙසේ ද?
6 යේසුස් වහන්සේ පෙන්වා දුන් පරිදි, පවුල්වලට මීටත් වඩා වැදගත් වෙනත් අවශ්‍යතා ද තිබේ. ඔවුන් හට ආත්මික හා චිත්ත වේගීය අවශ්‍යතා තිබේ. (ද්විතීය කථාව 8:3; මතෙව් 4:4) සභාවේ දී මෙන් ම පවුල තුළ වෙනත් අය සමඟ අපි අන්‍යෝන්‍ය වශයෙන් කටයුතු කරන්නෙමු. ගොඩනංවන සුලු වීම සඳහා අප ව පෙලඹවීමට යහපත් මඟ පෙන්වීමක් අපට අවශ්‍ය ය. මේ සම්බන්ධයෙන් ස්වාමිපුරුෂයන්ට හා පියවරුන්ට ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කිරීමට තිබේ—ඔවුන් වැඩිමහල්ලන් හා උපස්ථායක සේවකයින් නම් එම කාර්ය භාරය ඊටත් වඩා වැඩි ය. තම දරුවන් හට උපකාර කිරීමේ දී තනි දෙමාපියන් හට ඒ හා සමාන ගුණාංග අවශ්‍ය ය. පවුලේ සාමාජිකයින් විසින් පවසනු ලබන දේ පමණක් නොව නොපවසා සිටින දේ ද දෙමාපියන් අවබෝධ කර ගත යුතු ය. විචාර බුද්ධිය, කාලය සහ ඉවසීම ඒ සඳහා අවශ්‍ය වෙයි. ස්වාමිපුරුෂයින් සැලකිලිමත් විය යුතු බවත්, තම භාර්යාවන් සමඟ දැනගැන්මේ හැටියට වාසය කළ යුතු බවත් පේතෘස්ට කීමට හැකි වීමට එය එක් හේතුවක් වේ.—1 තිමෝති 3:4, 5, 12; 1 පේතෘස් 3:7.
මඟ හැරිය යුතු අන්තරායන්
7, 8. (අ) යම් පවුලක් ආත්මික මුහුදු බත් වීමකින් වැළකීමට නම්, අවශ්‍ය වන්නේ කුමක් ද? (ආ) ක්‍රිස්තියානි මාවතේ හොඳ ආරම්භයක් දීමට අමතර ව කුමක් අවශ්‍ය වේ ද? (මතෙව් 24:13)
7 පවුලේ ආත්මිකත්වයට අවධානය යොමු කිරීම මෙතරම් වැදගත් වන්නේ මන්ද? මෙය නිදර්ශනය කිරීමට, අපට මෙසේ ඇසිය හැක, මුහුදු වතුරේ නොගැඹුරු තැන්වල සැඟවුණු වැලි කඳු සහිත අන්තරා සහිත ප්‍රදේශයන් හරහා නෞකාවක් රැගෙන යන නියමුවෙක්, නැව හැසිරවීමේ දී තම සිතියම්වලට කිට්ටු අවධානයක් යොමු කරගෙන සිටීම වැදගත් වන්නේ ඇයි? වර්ෂ 1992 අගෝස්තු මාසයේ දී, ක්වීන් එලිසබෙත් 2 (QE2) නමැති සංචාරක නෞකාව, සාමාන්‍යයෙන් නාවිකයින් හට වරදින, දරුණු වැලි කඳු හා ගල් පර්වතවලින් සමන්විත මුහුදු ප්‍රදේශයක් තුළින් ගෙන යන ලදි. ප්‍රදේශයේ එක් වැසියෙක් මෙසේ පළ කළේ ය: “එම මුහුදු ප්‍රදේශය නිසා බොහෝ නාවිකයින්ට සිය රැකියාවන් අහිමි වී තිබෙනවා.” මෙම QE2 නෞකාව වතුර යට පිහිටි ඝන වැලි කන්දක වැදුණි. එය බොහෝ වියදම් සහිත වරදක් බව හෙළි විය. නැව් බඳේ තුනෙන් එකකට ම හානි සිදු වූ අතර, අලුත් වැඩියා කිරීමේ කටයුතු සඳහා සති ගණනාවකට එය සේවයෙන් ඉවත් කරන්නට සිදු විය.
8 ඒ හා සමාන ව, පවුලේ “නියමුවා” සිතියම, එනම් දේව වචනය ප්‍රවේසමෙන් පරීක්ෂා කරන්නේ නැත්නම්, ඔහුගේ පවුල පහසුවෙන් ම ආත්මික හානියකට ලක් විය හැකි ය. ඔහු වැඩිමහල්ලෙකු හෝ උපස්ථායක සේවකයෙකු නම්, සභාව තුළ වරප්‍රසාද අහිමි වී යාමක් ප්‍රතිඵල විය හැකි අතර, සමහරවිට, එය පවුලේ අනෙක් සාමාජිකයින් හට බරපතළ හානියක් විය හැක. එබැවින්, එක් එක් ක්‍රිස්තියානිවරයෙක්, පෙර හොඳින් කළා වූ පාඩම් පුරුදු හා ජ්වලිතය කෙරෙහි රඳා සිටීමෙන්, ආත්මික ලෙස සෑහීමෙන් යටපත් නොවිය යුතු ය. අපගේ ක්‍රිස්තියානි මාවතේ, හොඳ ආරම්භයක් දීම පමණක් ප්‍රමාණවත් නොවේ; ගමන සාර්ථක ලෙස හමාර කිරීම ද අවශ්‍ය ය.—1 කොරින්ති 9:24-27; 1 තිමෝති 1:19.
9. (අ) පෞද්ගලික පාඩම කොතරම් වැදගත් ද? (ආ) කිනම් උචිත ප්‍රශ්න අපට අපගෙන් ම ඇසිය හැකි ද?
9 ආත්මික වැලි කඳු, ගල් පර්වත සහ වැලි වැටිවලින් වැලකී සිටීමට නම්, දේව වචනය නිති පතා අධ්‍යයනය කිරීමක් මගින් අපගේ “සිතියම්” අලුත් ම තොරතුරුවලින් යුත් ඒවා ලෙස තබා ගත යුතු ය. අප ව සත්‍යය තුළට ගෙන ඒමට ඉවහල් වූ මූලික අධ්‍යයනය පමණක් මත අපට රඳා සිටින්නට නොහැක. අපගේ ආත්මික ශක්තිය රඳා පවතින්නේ අධ්‍යයනයේ හා සේවයේ නිති පතා කරන සමබර වැඩසටහනක් මත ය. නිදසුනක් වශයෙන්, අප මේ කලාපය ම අතැති ව සභාවේ මුරටැඹ පාඩමට පැමිණෙන විට, අපට අපගෙන් ම මෙසේ ඇසිය හැක, ‘මම හෝ පවුලක් වශයෙන් අපි ශුද්ධ ලියවිලි පද බලමින්, ඒවායේ අදාළ වීම ගැන මෙනෙහි කරමින්, මෙම ලිපිය ඇත්තෙන් ම පාඩම් කොට ඇත්තෙමු ද? නැතහොත් අප නිකම් ම පිළිතුරුවලට යටින් ඉරි ගසා තිබෙනවා පමණක් ද? සමහරවිට, අප රැස්වීමට පැමිණීමට පෙර අඩු තරමින් මෙම ලිපිය කියවීම පවා අතපසු කොට තිබෙනවා ද?’ මෙම ප්‍රශ්නවලට අප දෙන අවංක පිළිතුරු මගින් අපගේ පාඩම් පුරුදු ගැන බරපතළ ලෙස සිතා බලන්නටත්, අවශ්‍යතාවයක් තිබේ නම්, දියුණු වීම සඳහා ආශාවක් දල්වන්නටත් හේතු කරවිය හැක.—හෙබ්‍රෙව් 5:12-14.
10. ආත්ම සෝදිසියක් කිරීම වැදගත් වන්නේ ඇයි?
10 මෙවන් ආත්ම-සෝදිසියක් කිරීම වැදගත් වන්නේ මන්ද? අප ජීවත් වන ලෝකය සාතන්ගේ ස්ප්‍රීතුවෙන් පාලනය කරනු ලබන නිසාත්, එම ලෝකය කූඨ උපක්‍රම බොහොමයක් උපයෝගි කරමින්, දෙවියන් වහන්සේ කෙරෙහි ද උන් වහන්සේගේ පොරොන්දු කෙරෙහි ද වූ අපගේ ඇදහිල්ල භේද බින්න කිරීමට මාන බලන නිසාත් ය. එය වනාහි ආත්මික අවශ්‍යතා ගැන සැලකිලිමත් වීමට කාලය අපගෙන් උදුරා ගන්නා තරමට ම අප ව එතරම් ම කාර්ය බහුල කිරීමට වුවමනා වන්නා වූ ලෝකයකි. එනිසා අපට අපගෙන් ම මෙසේ ඇසිය හැක, ‘මගේ පවුල ආත්මික ලෙස ශක්තිමත් ද? ධර්මිෂ්ඨකම හා පක්ෂපාතකම මත පදනම් වන තීරණ ගැනීමට අපට ද උපකාරවත් වන මනස ක්‍රියාත්මක කරවන්නා වූ එම ආත්මික බලය අපි පවුලක් වශයෙන් වර්ධනය කරමින් සිටින්නෙමු ද?—එපීස 4:23, 24, NW.
11. ක්‍රිස්තියානි රැස්වීම් ආත්මික වශයෙන් ප්‍රයෝජනවත් වන්නේ මන්ද? නිදසුනක් දෙන්න.
11 අප සහභාගි වන සෑම රැස්වීමක් මගින් ම අපගේ ආත්මිකත්වය ශක්තිමත් කළ යුතු ය. සාතන්ගේ එදිරිවාදි ලෝකයෙන් බේරීමට අපට ගත කිරීමට සිදු වන දිගු පැය ගණනට පසු ව, අප රාජ්‍යය ශාලාවේ හෝ සභා පොත් පාඩමේ ගත කරන එම වටිනා පැය කිහිපය අප ව සනහාලීමට මහෝපකාරී වෙයි. උදාහරණයක් වශයෙන්, දිව්‍යාණ්ඩු සේවා පාසලේ දී ද ග්‍රේටස්ට් මෑන් හූ එවර් ලිවිඩ් පොත පාඩම් කිරීමට ලැබීම කොතරම් නැවුම් බවක් ගෙන දෙන සුලු යමක් වී ඇත් ද! යේසුස් වහන්සේ, උන් වහන්සේගේ ජීවිතය සහ උන් වහන්සේගේ දේව සේවය පිළිබඳ ව වඩාත් හොඳ අවබෝධයක් ලැබීමට මෙය අපට උපකාරවත් වී ඇත. සඳහන් වී තිබූ ශුද්ධ ලියවිලි පාඨයන් අප විසින් ප්‍රවේසමෙන් කියවා බලා ඇති අතර, පුද්ගලික පර්යේෂණයන් කොට, මේ අයුරින්, යේසුස් වහන්සේ විසින් තැබූ ආදර්ශයෙන් අපි බොහෝ දේ ඉගෙන ගත්තෙමු.—හෙබ්‍රෙව් 12:1-3; 1 පේතෘස් 2:21.
12. ක්ෂේත්‍ර සේවය අපගේ ආත්මිකත්වය පරීක්ෂා කරන්නේ කෙසේ ද?
12 ක්‍රිස්තියානි දේව සේවය, අපගේ ආත්මිකත්වයේ කදිම පරීක්ෂණයකි. අපගේ විධිමත් හා අනියම් සාක්ෂිදැරීම්වල, බොහෝ විට උදාසීන බවක් දක්වන හෝ විරුද්ධ වෙන ජනයා හට මුහුණ දෙමින් නොනවත්වා නොකඩවා නිරත වීමට, අපට හරි චේතනාව, එනම් දෙවියන් වහන්සේ සහ අසල් වැසියා කෙරෙහි ප්‍රේමය අවශ්‍ය ය. ඇත්තෙන් ම, ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් කිසිවෙක් සතුටට පත් වන්නේ නැත, තව ද එය අපගේ දේව සේවය තුළ සිදු විය හැක්කකි. එහෙත්, ප්‍රතික්ෂේප කරනු ලබන්නේ පුද්ගලයින් වශයෙන් අප ව නොව, නමුත් ශුභාරංචිය බව අප මතක තබා ගත යුතු ය. යේසුස් වහන්සේ මෙසේ පැවසූ සේක: “ලෝකයා නුඹලාට වෛර වෙනවා නම්, නුඹලාට පළමුවෙන් මට වෛරවුණ බව නුඹලා දනිහුය. නුඹලා ලෝකයට අයිති නම්, ලෝකයා තමුන්ගේම අයට ආදරේවන්නෝය. නුමුත් නුඹලා ලෝකයාගෙන් නොවන නිසාත් මා විසින් ලෝකයෙන් නුඹලා තෝරාගත් නිසාත් ලෝකයා නුඹලාට වෛරවෙති. . . . නුමුත් ඔවුන් මා එවූ තැනන්වහන්සේව නාඳුනන බැවින් මාගේ නාමය නිසා මේ සියල්ල නුඹලාට කරනවා ඇත.”—යොහන් 15:18-21.
වචනයට වඩා ක්‍රියාව බලවත් ය
13. පවුලක ආත්මිකත්වය සෝදා පාලුවට ලක් කිරීමට එක පුද්ගලයෙකුට හැක්කේ කෙසේ ද?
13 පවුලක සියලු සාමාජිකයින් නිවසේ පිළිවෙළ හා පිරිසිදුකමට ගෞරව කරන නමුත්, එක් අයෙක් එසේ නොකරන්නේ නම් කුමක් සිදුවේවි ද? වැසි දවසක, අමතක කරන සුලු තැනැත්තා හැර අන් සියලු දෙනා ම මඩ සහිත පාද සටහන් ගේ තුළ නොතැබීමට වගබලා ගනිති. එහෙත් අර තැනැත්තාගේ නොසැලකිලිකම නිසා සෑම තැනක ම වැටී ඇති මඩ සහිත පිය සටහන් හේතුවෙන් අනෙක් අයට අමතර වැඩක් කරන්නට සිදු වෙයි. මෙය ම ආත්මිකත්වයට අදාළ වෙයි. ආත්මාර්ථකාමී හෝ නොසැලකිල්ලෙන් කටයුතු කරන එක් තැනැත්තෙක් නිසා පවුලේ කීර්තියට කැළැල් ඇති කළ හැක. දෙමාපියන් පමණක් නොව, පවුලේ සියලු දෙනා ම ක්‍රිස්තුස් වහන්සේගේ මානසික චරිත ස්වභාවය විදහා පෑමට දැඩි පරිශ්‍රමයක් දැරිය යුතු ය. සියලු දෙනා ම සදාකාල ජීවනය පෙරදැරි කරගෙන එක් ව කටයුතු කරන්නේ නම්, මොනතරම් නැවුම් බවක් ගෙන දෙන්නක් ද! එම පවුලේ මානසික නැඹුරුවාව ආත්මික ය (නමුත් ආත්ම-ධර්මිෂ්ඨ නොවේ). එවැනි පවුලක ආත්මිකත්වය නොසලකා හැරීමේ ලාංඡන පවතින්නේ කලාතුරකිනි.—දේශනාකාරයා 7:16; 1 පේතෘස් 4:1, 2.
14. අපගේ මාවත හරහා සාතන් විසින් දමනු ලබන ද්‍රව්‍යමය දුර්පරීක්ෂා මොනවා ද?
14 අපගේ ජීවිතයේ දින පතා රැකගත යුතු මූලික ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් අප සියලු දෙනාට ම තිබේ. (මතෙව් 6:11, 30-32) එහෙත් අපට වුවමනා දේ මගින් අපගේ අවශ්‍යතා බොහෝ විට පසෙකට දමනු ලබයි. නිදසුනක් වශයෙන්, සාතන්ගේ පිළිවෙළ අප හට සෑම ආකාරයක ම භාණ්ඩ සහ උපකරණ ඉදිරිපත් කරයි. අප සෑම දෙයක ම නවීනතම දේ සෑම විට ම ඉල්ලා සිටිනවා නම්, අප කිසිදා තෘප්තියට පත් වන්නේ නැත, මක්නිසා ද, නවීනතම දේ ඉක්මනින් ම යල් පැන ගොස් නව පන්නයේ නිෂ්පාදනයක් වෙළෙඳ පොළට පිවිසෙන හෙයිනි. මෙම වාණිජ ලෝකය මෙරි-ගෝ-රවුමක් බඳු නොනවතින චක්‍රයක් තබා ඇත. තව තවත් වුවමනා වෙන දේවල් ලබා ගැනීම සඳහා තව තවත් වැඩියෙන් මුදල් ඉපයීමට එය අප ව පොලඹවයි. මෙය, “තෘෂ්ණාවන්ට,” හෙවත් “මෝඩ හා භයානක අභිලාෂයන්ට” තුඩු දිය හැක. ආත්මික වැඩකටයුතු සඳහා එන්ට එන්ට ම අඩු වෙන කාලයක් සහිත අසමබර ජීවිතයක් එහි ප්‍රතිඵලය වන්නට පුළුවන.—1 තිමෝති 6:9, 10; ද ජෙරූසලම් බයිබල්.
15. පවුලේ මූලිකයාගේ ආදර්ශය වැදගත් වන්නේ කිනම් ආකාරයෙන් ද?
15 නැවතත්, ක්‍රිස්තියානි පවුලේ මූලිකයා විසින් තබන ලද ආදර්ශය ඉතා වැදගත් ය. ලෞකික හා ආත්මික වගකීම් කෙරෙහි ඔහු දරන සමබර ආකල්පය, අනෙක් පවුල් සාමාජිකයින් ව ප්‍රබෝධවත් කළ යුතු ය. පියා අනර්ඝ උපදෙස් දුන් නමුත් ඔහුගේ වචනවලට අනුව ජීවත් වෙන්නට ඔහු අසමත් වූවා නම්, සහතික වශයෙන් ම එය හානිකර දෙයක් වනු ඇත. වැඩි කල් නොගොස් ‘මා කරන දේ නොව කියන දේ කරන්න’ යන ප්‍රතිපත්තියේ ව්‍යාජ බව දරුවන් දකිනවා ඇත. ඒ හා සමාන ව, ගෙයින්-ගෙට සේවයේ යෙදෙන ලෙස අන්‍යයන් ව දිරිගන්වන නමුත්, එම කර්තව්‍යයේ තම පවුල හා කලාතුරකින් සහභාගි වන වැඩිමහල්ලෙක් හෝ උපස්ථායක සේවකයෙක්, තම පවුලේ හා සභාවේ විශ්වාසය ඉතා ඉක්මනින් අහිමි කර ගනී.—1 කොරින්ති 15:58; සසඳන්න මතෙව් 23:3.
16. අපට අපගෙන් ම කිනම් ප්‍රශ්න ඇසිය හැකි ද?
16 මෙබැවින්, අපට අපගේ ම දිවි ඵලදායී ව පරීක්ෂා කළ හැකි ය. අප ආත්මික ප්‍රගතිය ලැබීම අතපසු කර දමා ලෞකික සාර්ථකත්වය ලබා ගැනීම සඳහා ඕනෑවට වඩා දේවල නියැලී සිටින්නෙමු ද? අපි ලෝකය තුළ ඉහළට නැඟ යමින් සභාව තුළ පහළට බසිමින් සිටින්නෙමු ද? පාවුල්ගේ උපදෙස සිහි කරන්න: “එම ප්රකාශනය විශ්වාසවන්ත ය, යම් මනුෂ්‍යයෙක් අවේක්ෂකයෙකුගේ නිලය සඳහා වීර්ය කරමින් සිටින්නේ නම්, ඔහු කදිම වැඩකට ආශාවෙයි.” (1 තිමෝති 3:1, NW) සභාව තුළ වගකීමක් සහිත හැඟීමකින් සිටීම, රැකියාවේ උසස් වීමකට වඩා අපගේ ආත්මිකත්වය ගැන බොහෝ දේ කියා පායි. අප යෙහෝවඃ වහන්සේට නොව අපගේ රැකියා ස්ථානයේ ස්වාමිවරුනට කැපවී සිටින්නාක් මෙන්, අප ව මුළුමනින් ම පාලනය කිරීමට ඔවුන්ට ඉඩ නොදෙන පරිදි ප්‍රවේසමෙන් සමබරතාවය පවත්වා ගත යුතු ය.—මතෙව් 6:24.
අර්ථාන්විත අදහස් හුවමාරුව ආත්මිකත්වයට අනුබල දෙයි
17. පවුලක් තුළ අව්‍යාජ ප්‍රේමය ගොඩ නැංවීමට දායක වන්නේ කුමක් ද?
17 අද දින නිවෙස් මිලියන ගණනක් නිකම් ම නිදන ලැගුම් ගෙවල් බවට පත් වී තිබේ. ඒ කෙසේ ද? පවුල් සාමාජිකයින් නිවසට එන්නේ නිදාගැනීමට හා ආහාර අනුභව කිරීමට පමණි. ඉන් පසු ඔවුහු හනික නිවසින් පිට වී යති. එකට ආහාර ගැනීමට ඔවුන් මේසයක් වටා වාඩි වෙන්නේ කලාතුරකිනි. මෙය පවුලකි යන උණුසුම් හැඟීම නැති වී ගොස් තිබේ. මෙහි ප්‍රතිඵලය? අදහස් හුවමාරුවේ ඌනතාවයකි, අර්ථවත් කථා බහක් නැත. තව ද එය පවුලේ අනෙකුත් සාමාජිකයින් කෙරෙහි උනන්දුව අඩු වී යාම, ඇතැම් විට නියම සැලකිල්ලේ ඌනතාවයක් ඇති වීම එහි ප්‍රතිඵලය විය හැකි ය. අප එකිනෙකාට ප්‍රේම කරන විට, කථා බහ කිරීමට හා සවන් දීමට අපි කාලය ගන්නෙමු. අපි දිරිගන්වමු, උපකාර කරමු. ආත්මිකත්වයේ මෙම ක්ෂේත්රයට, කලත්‍රයින් අතර හා දරුවන් දෙමාපියන් අතර අර්ථවත් අදහස් හුවමාරුවක් පැවතීම අවශ්‍ය කරයි.b අපගේ ප්‍රීති වීම්, අත්දැකීම් හා ගැටලු එකිනෙකාගෙන් ඉවතට ඇද ගැනීමේ දී කාලය හා උපායශීලී බව අවශ්‍ය කෙරේ.—1 කොරින්ති 13:4-8; යාකොබ් 1:19.
18. (අ) අදහස් හුවමාරුවට බොහෝ විට තිබෙන ප්‍රධාන බාධකය කුමක් ද? (ආ) අර්ථාන්විත සබඳතා කුමක් මත ගොඩ නඟනු ලබයි ද?
18 හොඳින් අදහස් හුවමාරු කර ගැනීමට කාලය සහ වෑයම අවශ්‍ය කෙරේ. ඉන් අදහස් කරන්නේ එකිනෙකා සමඟ කථා බහ කිරීමට සහ සවන් දීමට කාලය වෙන් කිරීම ය. මෙහි ලා තිබෙන ලොකු ම බාධාවන්ගෙන් එකක් නම්, බොහෝ නිවෙස්වල ගෞරවනීය සථානයක් හිමි ඒ උපකරණය ය—එනම් රූපවාහිනිය ය. මෙමගින් අභියෝගයක් ඉදිරිපත් වෙයි:—රූපවාහිනිය ඔබ ව පාලනය කරනවා ද, නැතහොත් ඔබ එය පාලනය කරනවා ද? රූපවාහිනිය පාලනය කිරීමට දැඩි අධිෂ්ඨානයක්—එනම් එය නිවා දැමීමට ආත්ම ශක්තියක් තිබිය යුතු ය. එහෙත් මෙසේ කිරීම අප හට පවුලේ සාමාජිකයින් වශයෙන් හා ආත්මික සහෝදර සහෝදරියන් වශයෙන් එකිනෙකා සමඟ හොඳින් පෑහී සිටීමට මං උදා කරයි. අර්ථාන්විත සබඳතා පැවැත්වීමට හොඳින් අදහස් හුවමාරු කර ගැනීම, අපගේ අවශ්‍යතාවයන්, අපගේ දුක සැප, එනම් එකිනෙකා ව වටහා ගැනීම හා අප හට කර තිබෙන සියලු කාරුණික දේවල් අප කොතරම් අගය කරනවා දැයි එකිනෙකාට පැවසීම අවශ්‍ය කරවයි. වෙනත් වචනවලින් කියතොත්, අති වැදගත් කථා බහෙන් පෙන්නුම් කරන්නේ අප අන්‍යයන් ව සැහැල්ලුවට නොගන්නා බව ය.—හිතෝපදේශ 31:28, 29.
19, 20. අප පවුලේ සියල්ලන් ගැන ම සැලකිල්ල දක්වනවා නම්, අප කුමක් කරනු ඇත් ද?
19 එමනිසා, අප පවුල් පසුතලය තුළ එකිනෙකා ගැන සැලකිල්ලෙන් ක්‍රියා කරනවා නම්,—එමෙන් ම නොඇදහිලිකාර පවුල් සාමාජිකයින් කෙරෙහි සැලකිල්ල දැක්වීම ද ඊට ඇතුළත් වෙයි—අපගේ ආත්මිකත්වය නඟා සිටු වීමටත් එය පවත්වා ගෙන යාමටත් අප බොහෝ දේ කරමින් සිටිනවා ඇත. පවුල් පසුතලය තුළ අපි පේතෘස්ගේ උපදෙස අනුගමනය කරමින් සිටින්නෙමු: “අවසානකොට නුඹලා සියල්ලෝම එක්සිත්ව, එකිනෙකා කෙරෙහි දයාවෙන් යුක්තව, සහෝදර ස්නේහයද අනුකම්පාවද යටහත්කමද ඇතුව සිටපල්ලා. නපුරට නපුරවත් නින්දාවට නින්දාවවත් නොකොට, නුඹලාට ආශීර්වාදයක් උරුමවෙන පිණිස කැඳවනු ලැබූ බැවින්, ආශීර්වාදම කරපල්ලා.”—1 පේතෘස් 3:8, 9.
20 අපගේ ආත්මිකත්වය පවත්වා ගැනීමට අපි දැඩි පරිශ්‍රමයක් ගන්නෙමු නම්, අපට දැන් යෙහෝවඃ වහන්සේගේ ආශීර්වාද ලබා ගත හැකි අතර, අනාගතයේ දී අප ලබන පාරාදීස පොළොවක සදාකාල ජීවනය නමැති දීමනාව වෙතට එනම් උන් වහන්සේගේ ආශීර්වාද අප හට උරුම වීම කෙරෙහි මෙය ක්‍රියා කළ හැක. අපට පවුලක් හැටියට එකිනෙකා හට ආත්මික ව උපකාර කිරීමට කළ හැකි තවත් දේවල් ද තිබේ. පවුලක් වශයෙන් දේවල් එක් ව කිරීමේ ප්‍රයෝජන ගැන ඊළඟ ලිපියේ සාකච්ඡා කෙරෙනු ඇත.—ලූක් 23:43; එළිදරව් 21:1-4.
[පාදසටහන්වල]
a ආත්මිකත්වය යන්න අර්ථ දක්වා ඇත්තේ, “ආගමික සාරධර්මවලට දක්වන සංවේදීතාවය හෙවත් බැඳීම; ආත්මික ව සිටීමේ ගුණය හෝ තත්ත්වය” වශයෙනි. (වෙබ්ස්ටර්’ස් නයින්ත් න කොලිජියේට් ඩික්ෂනරි) ආත්මික පුද්ගලයෙක්, මාංසික, සත්ත්ව ගති ඇති පුද්ගලයෙකුට වඩා හාත්පසින් ම වෙනස් ය.—1 කොරින්ති 2:13-16; ගලාති 5:16, 25; යාකොබ් 3:14, 15; යූද් 19.
b පවුල තුළ අදහස් හුවමාරුව සම්බන්ධ ව වැඩිදුර යෝජනා සඳහා, 1992 මැයි 1, මුරටැඹ කලාපයේ පිටු 20-2 බලන්න.
ඔබට මතක ද?
◻ ආත්මිකත්වය යනු කුමක් ද?
◻ ක්‍රිස්තුස් වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට පවුල් මූලිකයෙකුට කෙසේ හැකි වේ ද?
◻ අපගේ ආත්මිකත්වයට ඇති වන තර්ජනවලින් වැළකී සිටීමට අපට හැක්කේ කෙසේ ද?
◻ පවුලක් ආත්මික සෝදා පාලුවට ලක් කිරීමට කුමකට හැකි ද?
◻ අර්ථාන්විත අදහස් හුවමාරුව වැදගත් වන්නේ මන්ද?
[12වන පිටුවේ පින්තූරය]
සභා පොත් පාඩමට සහභාගි වීම පවුලේ ආත්මිකත්වය ශක්තිමත් කරයි