ඔබගේ විඳදරා ගැනීමට දේව භක්තිය සපයා ගන්න
“ඔබගේ ඇදහිල්ලට . . . විඳදරා ගැනීමත්, ඔබගේ විඳදරා ගැනීමට දේව භක්තියත් සපයා ගන්න”—2 පේතෘස් 1:5, 6, NW.
1, 2. (අ) එක්දහස් නවසිය තිස්ගණන් පටන්, නාට්සි ආධිපත්‍යය යටතේ තිබුණු දේශවල විසූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ට සිදු වූයේ කුමක් ද, තව ද ඒ මන්ද? (ආ) මෙයාකාරයේ කෲර සැලකිල්ලක් හමුවේ යෙහෝවඃ වහන්සේගේ සෙනඟ මුහුණ දුන්නේ කෙසේ ද?
විසිවන සියවසේ ඉතිහාසයේ එම කාල පරිච්ඡේදය අන්ධකාර එකක් විය. එක්දහස් නවසිය තිස්ගණන් සිට පටන් ගනිමින්, නාට්සි ආධිපත්‍යය යටතේ තිබුණු දේශවල යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් දහස් ගණනක් අයුක්ති සහගත ව අත්අඩංගුවට ගෙන දේශපාලන වධක සිර කඳවුරුවලට හෙලනු ලැබී ය. ඒ මන්ද? ඔවුන් මධ්‍යස්ථ ව සිටීමට එඩිතර වූ නිසාත්, හිට්ලර්ට ආචාර කිරීමට ඔවුන් ප්‍රතික්ෂේප කළ නිසාත් ය. ඔවුන් ව සලකනු ලැබුවේ කෙසේ ද? “බයිබල් ශිෂ්‍යයින් [යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්] නිරාවරණය වූ ආකාරය තරම් එස්-එස් භටයන්ගේ කෲරකම්වලට . . . වෙනත් කිසිදු සිරකරුවන් කණ්ඩායමක් නිරාවරණය වූයේ නැත. එය නිම නොවන කායික හා මානසික වධදීම් දැම්වැලකින් ලකුණු කරන ලද කෲරකමක් විය, එවන් කෲරකම් පැහැදිලි කිරීමට ලෝකයේ කිසිදු භාෂාවකට නොහැකි තරම් ය.”—කාර්ල් විටිග්, කලින් ජර්මන් ආණ්ඩුවේ නිලධාරියෙකි.
2 සාක්ෂිකරුවන් මුහුණ දුන්නේ කෙසේ ද? ද නාට්සි ස්ටේට් ඇන්ඩ් ද න රිලිජන්ස්: ෆයිව් කේස් ස්ටඩීස් ඉන් නොන්-කන්ෆෝමිටි නම් ආචාර්ය ක්‍රිස්ටීන් ඊ. කිංගේ පොතෙහි ඇය මෙසේ සඳහන් කළා ය: “[වෙනත් ආගමික කණ්ඩායම්වලට වෙනස් ව] ආණ්ඩුව අසාර්ථක වූයේ සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් පමණකි.” එසේ ය, සමූහයක් වශයෙන් ගත් කල, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් සිය ගණනකට මරණය දක්වා විඳදරා ගැනීම මින් අදහස් කළ ද, ඔවුහු සිය ස්ථාවරයේ ස්ථිර ව රැඳී සිටියහ.
3. ප්‍රබල පීඩා විඳදරා ගැනීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට හැකි කරවා ඇත්තේ කුමක් ද?
3 නාට්සි ජර්මනියේ පමණක් නොව නමුත් මුළු ලොව පුරා ම එවන් පීඩා විඳදරා ගැනීමට යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හට හැකිකමක් ලැබී ඇත්තේ කෙසේ ද? ඔවුනගේ ස්වර්ගික පියාණන් ඔවුන් හට විඳදරා ගැනීමට උපකාර කර ඇත්තේ ඔවුනට තිබෙන දේව භක්තිය නිසා ය. “දේව භක්තිය සතු ජනයා ව පරීක්ෂාවෙන් ගලවන්ට යෙහෝවඃ වහන්සේ දන්නා සේක,” යනුවෙන් ප්‍රේරිත පේතෘස් පැහැදිලි කරන්නේ ය. (2 පේතෘස් 2:9, NW) මීට කලින්, එම ලිපියේ ම පේතෘස් ක්‍රිස්තියානින්ට මෙසේ අවවාද කර තිබුණි: “ඔබගේ ඇදහිල්ලට . . . විඳදරා ගැනීමත්, ඔබගේ විඳදරා ගැනීමට දේව භක්තියත් සපයා ගන්න” (2 පේතෘස් 1:5, 6, NW) එබැවින් විඳදරා ගැනීම දේව භක්තිය සමඟ සමීප ව සම්බන්ධ කොට තිබේ. ඇත්ත වශයෙන් ම, අන්තිමය දක්වා විඳදරා ගැනීමට නම්, අප ‘දේව භක්තිය ලුහුබැඳිය යුතු’ අතර ම, එය විදහා පෑ යුතු ය. (1 තිමෝති 6:11) එහෙත් ඇත්තට ම දේව භක්තිය යනු කුමක් ද?
දේව භක්තිය යන්නෙහි අරුත
4, 5. දේව භක්තිය යනු කුමක් ද?
4 “දේව භක්තිය (යූ·සෙʹබෙයි·යා) සඳහා භාවිතා වන ග්‍රීක නාම පදය පදගතාර්ථයෙන් “යහපත් සේ ප්‍රණාමය පිදීම”a ලෙස පරිවර්තනය කළ හැකි ය. (2 පේතෘස් 1:6, කිංඩම් ඉන්ටලීනියර්) දෙවියන් වහන්සේ කෙරෙහි උණුසුම් හෘදයාංගම හැඟීමක් ඉන් දැක්වෙයි. විලියම් ඊ. වයින්ට අනුව, “යහපත් වූ ප්රණාම-පූර්වක බව” යන පදගතාර්ථ තේරුම ඇත්තා වූ යූ·සෙ·බීස්ʹ යන විශේෂණයෙන් අඟවන්නේ “දෙවියන් වහන්සේ පිළිබඳ ශුද්ධ ගරුබියක් මගින් මඟ පෙන්වනු ලබන ශක්තිය, ශ්‍රද්ධාවෙන් යුක්ත ව කරන ක්‍රියාකාරකම් තුළින් ප්‍රකාශ” වන බව ය.—2 පේතෘස් 2:9, ඉන්ට්.
5 එබැවින් “දේව භක්තිය” යන යෙදුම යෙහෝවඃ වහන්සේට ප්‍රසන්න වන දෑ කිරීමට අප ව පොලඹවන්නා වූ උන් වහන්සේ කෙරෙහි වූ ප්රණාමයට හෙවත් භක්තියට යොමු දක්වයි. දුෂ්කර පීඩා හමුවේ පවා මෙය කරනු ලැබේ, ඊට හේතුව අප දෙවියන් වහන්සේට හෘදයෙන් ම ප්‍රේම කරන නිසා ය. එය අප අපගේ ජීවිත ගත කරන ආකාරය තුළින් ප්‍රකාශ වන්නා වූ යෙහෝවඃ වහන්සේ වෙත යොමු වන ලැදිකමින් යුත්, පෞද්ගලික ඇලුම්කමකි. ක්‍රිස්තියානින්ට “සියලු ආකාර භක්තියෙන් [දේව භක්තියෙන් NW] සහ සන්සුන්කමින් සමාදානවූ නිශ්චල ජීවිතයක්” ගත කිරීමට හැකි වන පරිදි ඒ සඳහා යාච්ඤා කරන මෙන් ඔවුන්ගෙන් උදක් ම ඉල්ලා ඇත. (1 තිමෝති 2:1, 2) ශබ්ද සංග්‍රහ විද්‍යාඥයින් වන ජේ. පී. ලෝ හා ඊ. ඒ. නීඩ පවසන පරිදි, “භාෂා බොහොමයක ම 1 තිමෝ 2.[1] හි [යූ·සෙʹබෙයි·යා] ඔබිනා අයුරින් මෙසේ පරිවර්තනය කළ හැක, ‘දෙවියන් වහන්සේට වුවමනා කරන අයුරින් අප ජීවත්වීම’ නැතහොත් ‘දෙවියන් වහන්සේ අපට ජීවත් විය යුතු අයුරු පවසා ඇත්තාක් මෙන් ජීවත්වීම’ ය.”
6. විඳදරා ගැනීම හා දේව භක්තිය අතර ඇති සම්බන්ධය කුමක් ද?
6 දැන් අපට විඳදරා ගැනීම හා දේව භක්තිය අතර ඇති සම්බන්ධයන් වඩාත් හොඳින් අගය කරන්නට හැකි ය. දෙවියන් වහන්සේ අපගෙන් වුවමනා වන ආකාරයට අප ජීවත් වන නිසා—එනම් දේව භක්තියෙන් යුතු ව ජීවත් වන නිසා—අප කෙරෙහි ලෝකයාගේ වෛරය පැමිණේ, මින් නිරායාසයෙන් ම ඇදහිල්ලේ පරීක්ෂා ගෙන එයි. (2 තිමෝති 3:12) අපගේ ස්වර්ගික පියාණන් කෙරෙහි තිබෙන්නා වූ අපගේ පෞද්ගලික ඇලුම්කම නොතිබුණා නම්, එවන් පීඩා විඳදරා ගැනීමට අපි කිසිදු ආකාරයකින්වත් පෙලඹීමක් නොලබමු. එපමණකුදු නොව, එවන් හෘදයාංගම දේව භක්තියට යෙහෝවඃ වහන්සේ ප්‍රතිචාරය දක්වන සේක. උන් වහන්සේ ස්වර්ගයේ සිට බලන විට, උන් වහන්සේ කෙරෙහි වූ තම භක්තිය නිසා, සෑම ආකාරයේ ම විරුද්ධවාදිකම් මධ්‍යයෙහි උන් වහන්සේ ව ප්‍රසන්න කිරීමට වෙර දරන අය නිරීක්ෂණය කරන විට උන් වහන්සේට මොනතරම් හැඟීමක් ඇති වේ ද කියා මදක් නැවතී කල්පනා කර බලන්න. එසේ නම්, “දේව භක්තිය සතු ජනයා ව පරීක්ෂාවෙන් ගලවන්ට” උන් වහන්සේ නැඹුරු වීම පුදුමයක් නොවේ!
7. දේව භක්තිය වගා කළ යුත්තේ මන්ද?
7 කෙසේ වෙතත් අප දේව භක්තිය උපතින් ලබා ගන්නේවත්, භක්තිවන්ත දෙමාපියන්ගෙන් එය අත්කර ගන්නේවත් නැත. (උත්පත්ති 8:21) ඒ වෙනුවට එය වගා කළ යුතු වේ. (1 තිමෝති 4:7, 10) අපගේ විඳදරා ගැනීමටත් අපගේ ඇදහිල්ලටත් දේව භක්තිය සපයා ගැනීමට අප වීර්ය කළ යුතු ය. පේතෘස් පවසන පරිදි, මේ සඳහා, “නොපිරිහෙළා උත්සාහ කිරීමක්” අවශ්‍ය ය. (2 පේතෘස් 1:5, NW) එසේ නම්, අපට දේව භක්තිය අත්කර ගත හැක්කේ කෙසේ ද?
අප දේව භක්තිය අත්කර ගන්නේ කෙසේ ද?
8. ප්‍රේරිත පේතෘස්ට අනුව, දේව භක්තිය අත්කර ගැනීමේ යතුර කවරේ ද?
8 දේව භක්තිය අත්කර ගැනීම සඳහා වූ යතුර කුමක් ද යන්න ප්‍රේරිත පේතෘස් පැහැදිලි කළේ ය. ඔහු මෙසේ පැවසුවේ ය: “දෙවියන්වහන්සේද අපගේ ස්වාමීවූ යේසුස් වහන්සේද [පිළිබඳ ව NW] දැනගැනීමෙන් [ඒකාන්ත දැනුමෙන් NW] අනුග්‍රහයත් [ලබන්ට නොවටිනා තරම් වූ කරුණාවත් NW] සමාදානයත් නුඹලාට වැඩිවේවා. මක්නිසාද තමන්වහන්සේගේ මහිමයෙන් හා ගුණවන්තකමෙන් අප කැඳවාගත් තැනන්වහන්සේ [ඒකාන්ත ව NW] දැනගැනීම කරණකොටගෙන, උන්වහන්සේගේ දිව්‍ය බලයෙන් ජීවිතයටත් දේවභක්තියටත් අදාළවූ සියලු දේ අපට [නොමසුරු ව NW] දී තිබේ.” (2 පේතෘස් 1:2, 3) එබැවින් අපගේ ඇදහිල්ලට හා විඳදරා ගැනීමට දේව භක්තිය සපයා ගැනීමට නම්, අප ඒකාන්ත, එනම් යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව පූර්ණ නොහොත් සම්පූර්ණ දැනුමෙන් වර්ධනය විය යුතු ය.
9. දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත දැනුමක් තිබීම උන් වහන්සේලා කවරහු ද කියා නිකම් ම දැනගෙන සිටීමට වඩා වැඩි යමක් ඇතුළත් බව නිදර්ශනය කළ හැක්කේ කෙසේ ද?
9 දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත දැනුමක් තිබීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? උන් වහන්සේලා නිකම් ම කවරහු ද යන්න වග දැනගැනීමට වඩා වැඩි යමක් මීට ඇතුළත් වන බව පැහැදිලි ය. උදාහරණක් හැටියට මෙය ගන්න: අල්ලපු ගෙදර ඔබේ අසල් වැසියා කවරෙක් ද යන වග ඔබ දන්නවා විය හැක, ඔහු ව සිය නමින් පවා සුහද ව අමතනවා විය හැක. එහෙත් ඔබ ඔහුට මුදල් සම්භාරයක් ණයට දෙනු ඇත් ද? ඔහු ඇත්තෙන් ම කෙබඳු ආකාරයේ පුද්ගලයෙක් ද කියා ඔබ නොදැන සිටියා නම් ඔබ එසේ නොකරනු නිසැක ය. (හිතෝපදේශ 11:15 සසඳන්න.) ඒ හා සමාන ව, යෙහෝවඃ වහන්සේ ව හා යේසුස් වහන්සේ ව, ඒකාන්ත ලෙස, නැතහොත් පූර්ණ ලෙස දැන සිටීම, උන් වහන්සේලා පවතින බව නිකම් ම විශ්වාස කිරීමටත්, උන් වහන්සේලාගේ නම් දැන සිටීමටත් වඩා වැඩි යමක් අදහස් කරනු ඇත. උන් වහන්සේලා වෙනුවෙන් මරණය දක්වා පවා පීඩා විඳදරා ගැනීමට කැමැත්තක් තිබීමට නම්, අප සැබවින් ම උන් වහන්සේලා ව ඉතා සමීප ව දැන හඳුනා ගත යුතු ය. (යොහන් 17:3) මීට ඇතුළත් වන්නේ කුමක් ද?
10. යෙහෝවඃ වහන්සේ සහ යේසුස් වහන්සේ පිළිබඳ ව එකාන්ත දැනුමක් තිබීමට කුමන කාරණා දෙක ඇතුළත් වේ ද, තව ද ඒ මන්ද?
10 යෙහෝවඃ වහන්සේ හා යේසුස් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත, නැතහොත් සම්පූර්ණ දැනුමක් ඇතුව සිටීමට කාරණා දෙකක් ඇතුළත් වේ: (1) උන් වහන්සේලා ව පුද්ගලයින් හැටියට දැනගැනීම—එනම් උන් වහන්සේලාගේ ගුණාංග, හැඟීම් හා මාර්ගයන්—එමෙන් ම (2) උන් වහන්සේලාගේ ආදර්ශය අනුකරණය කිරීම. යෙහෝවඃ වහන්සේ වෙත හෘදයාංගම, පෞද්ගලික ඇලුම්කමක් දේව භක්තියට ඇතුළත් ය, ඇරත් අප අපගේ ම ජීවිත ගත කරන ආකාරයෙන් මෙය විද්‍යමාන වේ. එසේ නම්, එය අත්කර ගැනීමට, අප යෙහෝවඃ වහන්සේ ව පෞද්ගලික ව දැන හඳුනා ගත යුතු අතර, මිනිසුන් හැටියට අපට කළ හැකි පමණින් උන් වහන්සේගේ කැමැත්ත හා මාර්ගයන් ගැන මනා අවබෝධයක් ලබා ගත යුතු ය. යෙහෝවඃ වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද අපට සැබවින් ම උන් වහන්සේ ව දැනගැනීමට නම් අප එවන් දැනුමක් උපයෝගි කර ගත යුතු අතර ම උන් වහන්සේ මෙන් වීමට අප වෙර දැරිය යුතු ය. (උත්පත්ති 1:26-28; කොලොස්සි 3:10) තව ද යේසුස් වහන්සේ පැවසූ හා කළ දෙයින් යෙහෝවඃ වහන්සේ ව පරිපූර්ණ අයුරින් අනුකරණය කළ නිසා, දේව භක්තිය වර්ධනය කිරීමෙහි ලා යේසුස් වහන්සේ ව ඒකාන්ත ලෙස දැන හඳුනා ගැනීම අනභිභවනීය උපකාරයකි.—හෙබ්‍රෙව් 1:3.
11. (අ) දෙවියන් වහන්සේ හා ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව අපට ඒකාන්ත දැනුම ලබා ගත හැක්කේ කෙසේ ද? (ආ) අප කියවන දෑ මත මෙනෙහි කිරීම වැදගත් වන්නේ මන්ද?
11 කෙසේ වෙතත්, දෙවියන් වහන්සේ සහ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව එවන් ඒකාන්ත දැනුමක් අපට ලබා ගත හැක්කේ කෙසේ ද? බයිබලය හා බයිබලය මත පදනම් ප්‍රකාශන උත්සාහවන්ත ව පාඩම් කිරීම තුළිනි.b කෙසේ වෙතත්, අප පෞද්ගලික ව බයිබලය පාඩම් කිරීම තුළින් දේව භක්තිය අත්කර ගැනීමට නම්, අප කියවන දේ මත මෙනෙහි කිරීමට, එනම්, ගැඹුරු ලෙස සිතා බැලීමට, හෝ ගැඹුරින් සලකා බැලීමට කාලය ගැනීම අත්‍යවශ්‍ය ය. (යෝෂුවා 1:8 සසඳන්න.) මෙය වැදගත් වන්නේ මන්ද? දේව භක්තිය වනාහි දෙවියන් වහන්සේ කෙරෙහි වූ උණුසුම්, හෘදයාංගම හැඟීමක් බව සිහියේ තබා ගන්න. ශුද්ධ ලියවිලිවල මෙනෙහි කිරීම නිතර නිතර ම සංකේතාත්මක හෘදය—එනම් අභ්‍යන්තර පුද්ගලයා හා සම්බන්ධ කොට තිබේ. (ගීතාවලිය 19:14; 49:3; හිතෝපදේශ 15:28) අප කියවන දේ මත අප අගයෙන් යුතු ව මෙනෙහි කරන විට, එය අභ්‍යන්තර පුද්ගලයා තුළට පිරිපහදු වෙමින් පිවිසෙන අතර ම, අපගේ හැඟීම් ප්‍රබෝධවත් වෙයි, අපගේ චිත්ත වේගයන් මත බලපෑම් කරනු ලැබේ, තව ද එය අපගේ චින්තන රටාවට ද බලපෑම් කරයි. යෙහෝවඃ වහන්සේට වූ අපගේ පෞද්ගලික ඇලුම්කම ශක්තිමත් කිරීමටත් අභියෝගාත්මක තත්ත්වයන් හා දුෂ්කර පීඩා හමුවේ පවා දෙවියන් වහන්සේට ප්‍රසන්න වන අයුරින් ජීවත්වීමටත් අප ව පෙලඹවීම සඳහා පාඩම් කිරීමට හැකිවන්නේ එවිට පමණි.
දේව භක්තිය නිවසේ දී ක්‍රියාවට නැංවීම
12. (අ) පාවුල්ට අනුව, ක්‍රිස්තියානියෙකුට සිය නිවසේ දී දේව භක්තිය ක්‍රියාවට නැංවිය හැක්කේ කෙසේ ද? (ආ) සැබෑ ක්‍රිස්තියානින් වයසින් මුහුකුරා ගොස් ඇති දෙමාපියන්ට සාත්තු සප්පායම් කරන්නේ මන්ද?
12 පළමු කොට දේව භක්තිය ක්‍රියාවට නැංවිය යුත්තේ නිවසෙහි දී ය. ප්‍රේරිත පාවුල් මෙසේ පවසයි: “යම් වැන්දඹු ස්ත්‍රියකට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.” (1 තිමෝති 5:4) වයසින් මුහුකුරා ගොස් ඇති දෙමාපියන්ට සාත්තු කිරීම පාවුල් සඳහන් කරන පරිදි, දේව භක්තියේ ප්‍රකාශ වීමකි. සැබෑ ක්‍රිස්තියානි භක්තිකයින් එසේ සාත්තු කරන්නේ නිකම් ම යුතුකම් ඉෂ්ට කිරීමට ම නොව, නමුත් තම දෙමාපියන් සඳහා ඔවුනට තිබෙන ප්‍රේමය නිසා ය. කෙසේ වෙතත්, යමෙකුගේ පවුල රැකබලා ගැනීම මත යෙහෝවඃ වහන්සේ තබන වැදගත්කම ඔවුන් දැන හඳුනා පිළිගැනීම, වඩාත් ප්‍රබල සාධකයකි. අවශ්‍යතාවයක් තිබෙන විට, තම දෙමාපියන් හට උපකාර කිරීමට ප්‍රතික්ෂේප කිරීම ‘ක්‍රිස්තියානි ඇදහිල්ල එපා කිරීමට’ සමාන බව ඔවුහු හොඳින් දනිති.—1 තිමෝති 5:8.
13. නිවසේ දී දේව භක්තිය ක්‍රියාවට නැංවීම සැබෑ අභියෝගයක් විය හැක්කේ මන්ද, නමුත් යමෙකුගේ දෙමාපියන්ට සාත්තු කිරීමෙන් ලබන තෘප්තිය කවරේ ද?
13 නිවසේ දී දේව භක්තිය ක්‍රියාවට නැංවීම පහසු යමක් නොවන බව පිළිගත යුත්තකි. පවුල් සාමාජිකයින් වෙසෙන තැන්වල දුර ප්‍රමාණය නිසා එකිනෙකාගෙන් වෙන් වී සිටිය හැක. වැඩෙමින් සිටින දරුවන් තමුන්ගේ ම පවුල් ඇතිදැඩි කරනවා විය හැක, ආර්ථික වශයෙන් දුෂ්කරතා අත්දකිනවා විය හැක. මාපියෙකු සඳහා අවශ්‍ය සාත්තු කිරීමේ ස්වභාවය නැතහොත් ප්‍රමාණය එසේ සාත්තු කරන අයගේ කායික, මානසික හා චිත්ත වේගීය සෞඛ්‍ය විඩාවට පත් කළ හැක. කෙසේ වෙතත්, යමෙකුගේ දෙමාපියන්ට සාත්තු කිරීම නිකම් ම ‘ප්රත්යුපකාරයක්’ පමණක් නොව නමුත් ‘ස්වර්ගයේ මෙන් ම පොළොවේ සෑම පවුලක නාමය සඳහා වගකියන’ තැනැන් වහන්සේට එය ප්‍රසන්න යමක් බව දැනගැනීමෙන් සැබෑ තෘප්තියක් ලැබිය හැක.—එපීස 3:14, 15.
14, 15. මාපියෙකු සඳහා දරුවන් කර තිබෙන දේව භක්තික සාත්තු කිරීම පිළිබඳ ව එක් නිදසුනක් විස්තර කරන්න.
14 සැබවින් ම හැඟීම් දනවන එක් උදාහරණයක් සලකා බලන්න. එලිස් මෙන් ම සිය සහෝදර සහෝදරියන් අතුරින් පස් දෙනෙක් නිවසේ දී තම පියාට සාත්තු සප්පායම් කිරීමෙහි ලා සැබෑ අභියෝගයකට මුහුණ දෙමින් සිටිති. “වර්ෂ 1986 දී ආඝාතයකින් පහර ලැබූ මගේ පියා, සම්පූර්ණයෙන් ම අංශ භාග රෝගියෙක් බවට පත් වුණා,” යනුවෙන් එලිස් පැහැදිලි කරයි. මෙම දරුවන් හය දෙනා තම පියාගේ අවශ්‍යතාවලට සාත්තු කිරීමෙහි නියැලී සිටිති, මේවා ඔහු ව නෑවීමේ සිට ඔහුගේ සිරුරේ ඇඳ වණ හට නොගන්නා පිණිස නිති පතා ඔහු ව හැරවීමට වගබලා ගැනීම දක්වා පරාසයක් ගනී. “අපි ඔහුට යමක් කියවනවා, ඔහුට කථා කරනවා, ඔහු සඳහා සංගීතය වාදනය කරනවා. ඔහු අවට සිදුවන්නේ කුමක් ද කියා ඔහු දැන සිටිනවා ද නැද්ද යන්න ගැන අපට එතරම් ස්ථිර නැහැ, නමුත් අප ඔහු ව සලකන්නේ ඔහු සෑම දෙයක් ගැන ම සම්පූර්ණයෙන් ම සාවධාන ව සිටිනවාක් මෙන් ය.”
15 මේ දරුවන් මේ ආකාරයෙන් තම පියාට සාත්තු කරන්නේ මන්ද? එලිස් තවදුරටත් මෙසේ පවසයි: “වර්ෂ 1964 දී අපේ අම්මාගේ මිය යාමෙන් පසු ව, තාත්තා තනි ව ම අප ව හදා වඩා ගත්තා. ඒ කාලයේ දී අපගේ වයස්වල පරාසය 5 සිට 14 දක්වා ය. එදා ඔහු අප සඳහා සිටියා; අද අපි ඔහු සඳහා සිටිනවා.” එවන් ආකාරයේ සාත්තු සප්පායම් කිරීම ලෙහෙසි පහසු යමක් නොවන බවට පැහැදිලි වන අතර, සමහර විට දරුවන් අධෛර්යයට පත් වනවාට නිසැක ය. “නමුත් අපගේ තාත්තාගේ තත්ත්වය තාවකාලික ගැටලුවක් බව අපි දන්නවා,” කියා එලිස් පවසයි. “අපේ තාත්තා යළි හොඳ සෞඛ්‍යක් ලබන්නා වූ ද අපගේ අම්මා සමඟ අප යළිත් එකමුතු වී සිටින්නට යන්නා වූ ද කාලය දෙස අපි ඕනෑකමින් බලා සිටිනවා.” (යෙසායා 33:24; යොහන් 5:28, 29) මාපියෙකුට මෙවන් ආකාරයේ ලැදියාවකින් යුත් සාත්තු කිරීමක්, තම දෙමාපියන්ට ගෞරව කරන්න කියා ආඥා කරන තැනැන් වහන්සේගේ හෘදය උණුසුම් කරවනවා නොඅනුමාන ය!c—එපීස 6:1, 2.
දේව භක්තිය සහ දේව සේවය
16. අප දේව සේවය තුළ කරන දේ ගත් කල, ඒ සඳහා ප්‍රධානතම හේතු සාධකය කුමක් විය යුතු ද?
16 යේසුස් වහන්සේ ව ‘දිගට ම අනුගමනය කිරීම’ සඳහා වූ උන් වහන්සේගේ ඇරයුම අප පිළිගන්නා විට, රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම හා ගෝලයින් සෑදීම සඳහා වූ දිව්‍ය බල පැවරුමක් යටතට අපි පැමිණෙමු. (මතෙව් 16:24; 24:14; 28:19, 20) මේ “අන්තිම දවස්වල” දේව සේවයේ සහභාගි වීම ක්‍රිස්තියානි වගකීමක් බව පැහැදිලි ය. (2 තිමෝති 3:1) කෙසේ වෙතත්, දේශනා කිරීමටත් ඉගැන්වීමටත් අප හට තිබෙන චේතනාව නිකම් යුතුකමක් හෝ වගකීමක් ඉටු කිරීමේ හැඟීම අභිබවා යා යුතු ය. අප දේව සේවය තුළ කරන්නේ කුමක් ද එය කරන්නේ කෙසේ ද යන්න සඳහා ප්‍රධාන හේතු සාධකය විය යුත්තේ යෙහෝවඃ වහන්සේ සඳහා වූ ගැඹුරු ප්‍රේමයයි. “සිතේ [හෘදයේ NW] පූර්ණකමෙන් මුඛය කථාකරයි,” යනුවෙන් යේසුස් වහන්සේ වදාළ සේක. (මතෙව් 12:34) එසේ ය, යෙහෝවඃ වහන්සේ සඳහා වූ ප්‍රේමයෙන් අපගේ හදවත් පිරී ඉතිරී යන විට, උන් වහන්සේ ගැන අන් අයට සාක්ෂි දැරීමට අප තුළ මහත් පෙලඹීමක් හට ගනී. දෙවියන් වහන්සේ සඳහා ප්‍රේමය අපගේ චේතනාව වන විට, අපගේ දේව සේවය අපගේ දේව භක්තියේ අර්ථවත් ප්‍රකාශ වීමක් බවට පත් වෙයි.
17. දේව සේවය සඳහා හරි චේතනාව අපට කෙසේ වගා කළ හැකි වේ ද?
17 දේව සේවය සඳහා හරි චේතනාව අපට කෙසේ වගා කළ හැකි වේ ද? යෙහෝවඃ වහන්සේට ප්‍රේම කිරීම සඳහා උන් වහන්සේ අපට දී ඇති හේතු සාධක තුනක් මත අගයෙන් යුක්ත ව මෙනෙහි කරන්න. එනම් (1) අප යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නේ උන් වහන්සේ දැනටමත් අප උදෙසා කර ඇති දේ වෙනුවෙන් ය. මිදීමේ මිලය සපයා දීමෙන් මිසක වෙනත් කිසිදු ආකාරයකින් වඩාත් උතුම් ප්‍රේමයක් උන් වහන්සේට දැක්විය නොහැකි විය. (මතෙව් 20:28; යොහන් 15:13) (2) අප යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නේ උන් වහන්සේ දැන් අප උදෙසා කරමින් සිටින දේ නිසා ය. අපගේ යාච්ඤාවලට සවන් යොමු කරන යෙහෝවඃ වහන්සේ සමඟ අපට කථා කිරීමේ නිදහස ඇත. (ගීතාවලිය 65:2; හෙබ්‍රෙව් 4:14-16) රාජ්‍යය කටයුතුවලට ප්‍රමුඛස්ථානය දෙන අපට, ජීවිතයේ මූලික අවශ්‍යතා භුක්ති විඳිය හැක. (මතෙව් 6:25-33) අපට මුහුණ දීමට සිදුවන ගැටලුවලට උර දීමට උපකාරවත් වන ආත්මික ආහාරවල නිරන්තර සැපයුමක් අපි ලබමු. (මතෙව් 24:45) සෙසු ලෝකයෙන් අප ව සැබවින් ම වෙන් කොට තබන්නා වූ ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදරත්වයක කොටසක් වීමේ භාග්‍යය අප සතු ය. (1 පේතෘස් 2:17) (3) අප යෙහෝවඃ වහන්සේට ප්‍රේම කරන්නේ උන් වහන්සේ අප උදෙසා ඉදිරියේ දී කරන්නට යන දෑ නිසා ය. උන් වහන්සේගේ ප්‍රේමය නිසා, “නියම සැබෑ ජීවනය කෙරෙහි ස්ථිරසාර ග්‍රහණයක්” අපට ඇත්තේ ය—එනම් අනාගතයේ දී සදාකාල ජීවනය ය. (1 තිමෝති 6:12, 19, NW) අප උදෙසා යෙහෝවඃ වහන්සේ දක්වා ඇති ප්‍රේමය අප සලකා බලන විට, උන් වහන්සේ ගැනත් උන් වහන්සේගේ අනර්ඝ අරමුණු ගැනත් අන් අයට කියාදීමේ දී ලැදියාවෙන් යුක්ත ව සහභාගි වීමට අපගේ හදවත් අප ව පොලඹවන බව නිසැක ය! දේව සේවයේ කුමක් කළ යුතු ද කොපමණ කළ යුතු ද කියා වෙනත් අයට අප හට පැවසීම සඳහා අවශ්‍යතාවයක් නැත. අපට කළ හැකි දේ කිරීමට අප ව පොලඹවනු ඇත්තේ අපගේ ම හදවත් ය.
18, 19. දේව සේවයේ සහභාගි වීම සඳහා එක් සහෝදරියක පරාජය කළා වූ බාධකය කුමක් වී ද?
18 අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ පවා, දේව භක්තියෙන් පුබුදුවා ඇති හදවතක්, කථා කිරීමට පෙලඹීමක් ලබනවා නිසැක ය. (යෙරෙමියා 20:9 සසඳන්න.) ඉතා ලජ්ජාශීලී ක්‍රිස්තියානි කාන්තාවක වූ ස්ටෙලාගේ අත්දැකීම තුළින් මෙය දැකගත හැකි ය. ඇය පළමු ව බයිබලය පාඩම් කිරීමට පටන් ගත් විට, ඇය මෙසේ කල්පනා කළා ය, ‘මට කවදාවත් බැරිවෙයි ගෙයින් ගෙට යන්න!’ ඇය මෙසේ පැහැදිලි කරන්නී ය: “මම සෑම විට ම ඉතා නිශ්ශබ්ද ව සිටි කෙනෙක්. සංවාදයක් ඇරඹීමට මට කවදාවත් අන් අය වෙත එළඹෙන්නට බැරි වුණා.” ඇය සිය පාඩම දිගට ම ගෙන ගිය අතර ම, යෙහෝවඃ වහන්සේ සඳහා වූ ඇගේ ප්‍රේමය වැඩි වර්ධනය විය, එමෙන් ම උන් වහන්සේ ගැන අන් අයට කථා කිරීම සඳහා ඈ තුළ දැවෙන ආශාවක් වර්ධනය විය. “මගේ බයිබල් ගුරුවරියට මම මෙසේ පවසනවා මට මතකයි, ‘මට කථා කරන්න හරි ආසයි, නමුත් මට බැහැ, මම මේ ගැන සෑහෙන කනස්සලු වෙනවා.’ ඈ මට පැවසූ දේ මම කවදාවත් අමතක කරන්න යන්නේ නැහැ: ‘ස්ටෙලා, ඔයාට කථා කිරීමට ඕනෑ වීම ගැන කෘතඥ පූර්වක වන්න.’ ”
19 වැඩි කලක් යන්ට මත්තෙන්, ස්ටෙලා ඇගේ අල්ලපු ගෙදර අසල් වැසියාට සාක්ෂිදැරීමට පටන් ගත්තා ය. ඊළඟට ඈ සඳහා ඉතා භාරදූර වූ පියවරක් ඇය ගත්තා ය—ඇය පළමු වරට ගෙයින්-ගෙට සේවයේ සහභාගි වූවා ය. (ක්‍රියා 20:20, 21) ඇය මෙසේ සිහිපත් කරන්නී ය: “මගේ ඉදිරිපත් කිරීම මම ලියා ගෙන තිබුණා. නමුත් මම කොතරම් භය වූවා ද කිවහොත්, මගේ සටහන් කොළය මා ඉදිරියේ තිබුණත්, එය දෙස බැලීමට මා පමණට වැඩිය බයාදු වුණා!” දැන්, වසර 35කටත් වඩා වැඩි කලකට පසු ව පවා, ස්ටෙලා තවමත් ස්වභාවයෙන් ඉතා ලජ්ජාශීලී ව සිටින්නී ය. එහෙත් ඇයට තවමත් ක්ෂේත්‍ර සේවය සඳහා ප්‍රේමයක් තිබෙන අතර, ඇය එහි තවදුරටත් අර්ථවත් ලෙස සහභාගි වන්නී ය.
20. යෙහෝවඃ වහන්සේගේ භක්තිවන්ත සාක්ෂිකරුවන්ගේ මුඛ පීඩාවලින්වත් සිරිභාරයෙන්වත් වසාලිය නොහැකි බව පෙන්වන්නේ කුමන ආදර්ශය ද?
20 යෙහෝවඃ වහන්සේගේ භක්තිවන්ත සාක්ෂිකරුවන්ගේ මුඛ, පීඩා මගින්වත් සිර භාරය මගින්වත් වසාලිය නොහැක. ජර්මනියේ ඒර්න්ස්ට් සහ හිල්ඩර්ගාට් සේලීගර්ගේ ආදර්ශය සලකා බලන්න. ඔවුන්ගේ ඇදහිල්ල නිසා, ඔවුන් දෙදෙනා ම එකතු ව නාට්සි දේශපාලන වධක සිර කඳවුරුවල හා කොමියුනිස්ට් බන්ධනාගාරවල වසර 40ක් ගත කළෝ ය. සිර භාරයේ සිටිය දී පවා, වෙනත් සිරකරුවන්ට දේශනා කිරීමෙහි ඔවුහු නොකඩවා නියැලුණෝ ය. හිල්ඩර්ගාට් මෙසේ සිහිපත් කළා ය: “එක් කාන්තා බන්ධනාගාර නිලධාරිනියක පැවසූ පරිදි, මා මුළු දවස පුරා ම බයිබලය ගැන කථා කළ නිසා, බන්ධනාගාර නිලධාරියෝ මා විශේෂයෙන් ම අවදානම් සහිත කෙනෙක් හැටියට වර්ග කළා. එනිසා මා ව පාමහලේ සිර කුටියක දමනු ලැබුවා.” ඔවුනට සිය නිදහස දානය කරනු ලැබූ විට, සහෝදර සහ සහෝදරි සෙලීගර් ඔවුන්ගේ පූර්ණ කාලය ක්‍රිස්තියානි දේව සේවය සඳහා කැප කළෝ ය. ඔවුන් දෙදෙනා ම තම මිය යාම දක්වා ඇදහිලිවන්ත ව සේවය කළෝ ය, සහෝදර සෙලීගර් 1985 දී මිය ගිය අතර, ඔහුගේ බිරිඳ 1992 දී මිය ගියා ය.
21. අපගේ විඳදරා ගැනීමට දේව භක්තිය සපයා ගැනීමට නම් අප කුමක් කළ යුතු ද?
21 දේව වචනය උත්සාහවන්ත ව අධ්‍යයනය කිරීම තුළින් හා අප ඉගෙන ගන්නා දේ මත අගයෙන් යුක්ත ව මෙනෙහි කිරීමට කාලය ගැනීම තුළින්, අප යෙහෝවඃ දෙවියන් වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත දැනුමෙන් වැඩි වර්ධනය වනවා ඇත. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, අප හට එම ඉතා අනර්ඝ ගුණාංගය වන දේව භක්තිය වඩාත් පූර්ණ ආකාරයකින් අත්කර ගැනීමට හැකි වෙයි. දේව භක්තිය නැත්නම්, ක්‍රිස්තියානින් වශයෙන් අප පිට පැමිණෙන විවිධාකාර පීඩා විඳදරා ගැනීමට අපට කිසිදු මඟක් නොමැත. එසේ නම් ප්‍රේරිත පාවුල්ගේ අවවාදය අපි අනුගමනය කරමු, එනම් දිගට ම, ‘අපගේ ඇදහිල්ලට විඳදරා ගැනීමත්, අපගේ විඳදරා ගැනීමට දේව භක්තියත් සපයා ගනිමු.’—2 පේතෘස් 1:5, 6, NW.
[පාදසටහන්වල]
a යූ·සෙʹබෙයි·යා සම්බන්ධයෙන් විලියම් බාක්ලේ මෙසේ පවසයි: “ප්‍රණාමය නැතහොත් නමස්කාරය යන අරුත දෙන්නේ එම වචනයේ සෙබ්- [මූල] කොටස ය. යූ වනාහි යහපත් සේ, සඳහා භාවිතා වන ග්‍රීක වචනයයි; එමනිසා, යූසෙබෙයියා වනාහි යහපත් සේ හරි ආකාරයට පිරිනමනු ලබන නමස්කාරය හෙවත් ප්‍රණාමයයි.”—න ටෙස්ටමන්ට් වර්ඩ්ස්
b දෙවියන් වහන්සේගේ වචනය පිළිබඳ ව අපගේ දැනුම ගැඹුරු කරලීම පෙරදැරි කරගෙන පාඩම් කිරීම පිළිබඳ සාකච්ඡාවක් සඳහා, 1993 අගෝස්තු 15, මුරටැඹ පිටු 12-17 බලන්න.
c වයසක දෙමාපියන් කෙරෙහි දේව භක්තිය ක්‍රියාවට නැංවිය හැකි අයුරු පිළිබඳ සම්පූර්ණ සාකච්ඡාවක් සඳහා 1987 දෙසැම්බර් 1, මුරටැඹ පිටු 28-32 බලන්න.
ඔබේ පිළිතුර කුමක් ද?
◻ දේව භක්තිය යනු කුමක් ද?
◻ විඳදරා ගැනීම හා දේව භක්තිය අතර තිබෙන සම්බන්ධය කුමක් ද?
◻ දේව භක්තිය අත්කර ගැනීමේ යතුර කුමක් ද?
◻ ක්‍රිස්තියානි භක්තිකයෙකුට නිවසේ දී දේව භක්තිය ක්‍රියාවට නැංවිය හැක්කේ කෙසේ ද?
◻ අප දේව සේවයේ දී කරන්නා වූ දේ සම්බන්ධ ව ප්‍රමුඛතම හේතු සාධකය කුමක් විය යුතු ද?
[18වන පිටුවේ පින්තූරය]
රාවන්ස්බෲක් හි පිහිටි නාට්සි වධක සිරකඳවුරේ සිරගත කරනු ලැබූ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් විසින් විඳදරා ගැනීම හා දේව භක්තිය විදහා පෙන්වනු ලැබී ය