ඔවුහු දයානුකම්පාවෙන් කුඩා බැටළුවන් ව රැකබලා ගනිත්
මිනිසා අසල ජීවත් වන හීලෑ කරන ලද සතුන් සියල්ල අතර, හීලෑ කරන ලද බැටළුවන් මෙන් වෙනත් කිසිදු සත්ත්ව වර්ගයක් නැත. ආහාර සොයා ගැනීමටත්, උන් ව ගොදුරක් සේ සලකන සතුන්ගෙන් බේරී සිටීමටත් බොහෝ සතුන්ට ශක්තිය සහ ඉව ඇති නමුත් බැටළුවෙක් ඊට වෙනස් ය. ඌ කොල්ලකාර සතුන් හමුවේ අසරණ ව සිටින අතර, තමා ව ම ආරක්ෂා කිරීමට ඌ කිසි දෙයක් නොකරන තරම් ය. එඬේරෙකු නැත්නම්, බැටළුවෙක් බයාදු අසරණ තත්ත්වයක සිටින්නේ ය. රැළෙන් වෙන් වන්නේ නම්, ඌ පහසුවෙන් නැති වන්නේ ය. එනිසා තම එඬේරාට සමීප බවක් හැඟීමට හීලෑ බැටළුවන් හට ඉතා ප්‍රබල හේතුවක් ඇත. ඔහු නොසිටියේ නම්, නොනැසී බේරී සිටීමට උන් හට අවස්ථාවක් උදා නොවන තරම් ය. මෙවන් ගති ලක්ෂණ නිසා, නිදොස්, පීඩා කරන ලද, නැතහොත් අසරණ පුද්ගලයින් ව නියෝජනය කිරීමට බයිබලය බැටළුවන් ව යොදා ගනී.
එඬේරෙකු ලබන්නා වූ විපාක ඔහු ලබන්නේ හොඳ හේතු ඇතුව බවට නිසැක ය. ඔහුගේ ජීවිතය ලෙහෙසි පහසු එකක් නොවේ. ඔහු රශ්මිය හා ශීතල යන දෙකට ම නිරාවරණය වන අතර ම, නොනිදා බොහෝ රාත්‍රීන් ගත කරන්නේ ය. තම ජීවිතය පරදුවට පවා තබමින්, රැළ කොල්ලකරුවන්ගෙන් රැක ගැනීමට ඔහුට සිදු වේ. එඬේරෙකුට රැළ එකට තබා ගැනීමට අවශ්‍ය නිසා, ඔහුගේ කාලයෙන් බොහොමයක් යොදවනු ලබන්නේ මංමුළා වී හෝ නැති වී ගොස් ඇති බැටළුවන් සොයා ගැනීම සඳහා ය. අසනීප මෙන් ම තුවාල ලැබූවන්ට සාත්තු කිරීමට ඔහුට සිදු වේ. බෙලහීන නැතහොත් වෙහෙස මහන්සියෙන් පෙළෙන බැටළු පැටවුන් උසුලා ගෙන යා යුතු වේ. ප්‍රමාණවත් ආහාර හා ජලය ලබා ගැනීම ගැන නිරන්තර සැලකිල්ලක් දැක්විය යුතු ය. රැළේ සුරක්ෂිත භාවය සහතික කරනු පිණිස, එඬේරෙකු රාත්‍රියේ දී එළිමහණේ නිදා ගැනීම දුර්ලභ යමක් නොවේ. එබැවින් එඬේරකම් කිරීම දුෂ්කර ජීවිතයකි, ඇරත් එම සේවය ඉටු කරලීම සඳහා නිර්භීත, යුතුකම් නොපිරිහෙළා ඉටු කරන්නා වූ, උපාය දක්ෂ මිනිසෙකු අත්‍යවශ්‍ය ය. වඩා වැදගත් දේ නම්, ඔහුගේ භාරයට විශ්වාසයෙන් යුතු ව භාර දී ඇති රැළ කෙරෙහි අව්‍යාජ සැලකිල්ලක් පෙන්වීමට ඔහු තුළ හැකියාවක් තිබීමේ අවශ්‍යතාවයයි.
දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීම
දෙවියන් වහන්සේගේ ජනයා හීලෑ බැටළුවන් හැටියටත්, ඔවුන් භාර ව සිටින්නන් එඬේරුන් හැටියටත් බයිබලය දක්වයි. යෙහෝවඃ වහන්සේ ම ‘අපගේ ආත්මවල එඬේරාණන් ද අවේක්ෂකයාණන් ද’ වන සේක. (1 පේතෘස් 2:25, NW) ‘මාගේ බැටළුපැටවුන් පෝෂණය කරන්න, මාගේ බැටළුවන් රැකබලා ගන්න, මාගේ බැටළුවන් පෝෂණය කරන්න’ යනුවෙන් ප්‍රේරිත පේතෘස්ට මෙලෙස පැවසූ විට බැටළුවන් හට දයානුකම්පාවෙන් සැලකිල්ල පිරිනැමිය යුතු බව “මාහැඟි එඬේරාණන්” වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සිය කැමැත්ත ප්‍රකාශ කළ සේක. (යොහන් 10:11, NW; යොහ 21:15-17, NW) ‘දෙවියන් වහන්සේගේ සභාව රැකබලා ගැනීමේ’ භාරදූර වගකීම ක්‍රිස්තියානි අවේක්ෂකයින් හට පවරා දී තිබේ. (ක්‍රියා 20:28) එමෙන් ම ආත්මික එඬේරුන් හැටියට ඔවුන් කරන වැඩය සඳහා සාමාන්‍යයෙන් යහපත් වූ සැබෑ එඬේරෙකුගෙන් අවශ්‍ය කරන ගුණාංග ඔවුන් විදහා පෑ යුතු ය—එනම්, නිර්භීතකම, යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීම, උපාය දක්ෂ බව, තව ද, විශේෂයෙන් ම, රැළේ ශුභසිද්ධිය සඳහා හෘදයාංගම සැලකිල්ල දැක්වීම යන මේවා ය.
ප්‍රොපේත එසකියෙල්ගේ දවස්වල දී, ඊශ්‍රායෙලයේ යෙහෝවඃ වහන්සේගේ ජනයාගේ අවශ්‍යතා ගැන සැලකිල්ල දැක්වීමට පත්කරන ලද එඬේරුන් බහුතරයක් ම තම වගකීම් ඉටු කිරීමට අසමත් වූහ. දෙවියන් වහන්සේගේ රැළට බොහෝ අලාභ හානි විඳින්නට සිදු විය, ඇත්තෙන් ම ඉන් බොහෝ දෙනෙක් සැබෑ නමස්කාරය අත්හැරියෝ ය. (එසකියෙල් 34:1-10) අද දින, ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂය රඟ දක්වන්නේ ක්‍රිස්තියානි යයි කියන සභාවේ එඬේරුන් තමුන් බව ප්‍රකාශ කිරීමෙනි, නමුත් එහි ආත්මික ලෙස රෝගාතුර තත්ත්වයෙන් ඔප්පු වන්නේ එම පූජක පක්ෂය යේසුස් වහන්සේ පොළොව මත සිටිය දී ජනයා ව නොසලකා හැරියා වූ ද අනිසි ලෙස සැලකුවා වූ ද දුෂ්ට ප්රයෝගකාරයින් හා සමාන බව ය. ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයින් “බැටළුවන් ගැන නොසලකන” “කුලීකාරයා” මෙන් ය. (යොහන් 10:12, 13) දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීමට ඔවුන්ට කිසිදු අයුරකින්වත් කැමැත්තක්, හැකියාවක් නැතහොත් සුදුසුකමක් නැත්තේ ය.
සැබවින් ම සැලකිල්ල දක්වන්නා වූ එඬේරු
යෙහෝවඃ වහන්සේගේ රැළ රැකබලා ගනු ඇති සෑම කෙනෙකු කෙරෙහි ම පරිපූර්ණ ආදර්ශය තැබුවේ යේසුස් වහන්සේ ය. උන් වහන්සේ සිය ගෝලයින් කෙරෙහි සෑම ආකාරයකින් ම ප්‍රේමනීය, කාරුණික, දායානුකම්පිත හා උපකාරවත් අයුරකින් ක්‍රියා කළ සේක. අවශ්‍යතා තිබුණු අය ව සෙවීමට උන් වහන්සේ මුල් පියවර ගත් සේක. යේසුස් වහන්සේ කාර්ය බහුල ව සිටියත්, බොහෝ විට වෙහෙස මහන්සි වී සිටියත්, උන් වහන්සේ සෑම කල්හි ම ඔවුනගේ ගැටලුවලට සවන් යොමු කිරීමටත්, ඔවුන් ව දිරිගැන්වීමටත් කාලය ගත් සේක. ඔවුන් උදෙසා තම ආත්මය පාවා දීමට වූ උන් වහන්සේගේ ඒකාන්ත කැමැත්ත ප්‍රේමයේ පරම ප්‍රකාශය විය.—යොහන් 15:13.
අද දින, පත්කරන ලද සියලු ම වැඩිමහල්ලෝ මෙන් ම උපස්ථායක සේවකයෝ රැළ කෙරෙහි වූ මෙම වගකීම හවුලේ උසුලති. එබැවින්, සභාවන් ප්‍රමාණවත් උපකාරය හා අධීක්ෂණය නොමැති තත්ත්වයක තබමින්, වෙනත් රටක ලැබිය හැකි ද්‍රව්‍යමය වාසි පවා, මෙවන් වගකීමේ හැඟීමක් ඇති මිනිසුන් ව පදිංචිය වෙනස් කරවීමට පොලඹවන්නේ නැත. “කටයුතු කිරීමට අර්බුදකාරී කාලවල්” තුළ ජීවත් වන රැළට, දිරිගැන්වීම හා මඟ පෙන්වීම අවශ්‍ය ය. (2 තිමෝති 3:1-5, NW) “ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලිම්දෝහෝයි සොයමින්” සිටින සාතන් හට සමහර දෙනෙකු ගොදුරු වීමට නිරන්තරයෙන් ම පවතින අන්තරායක් ඇත. (1 පේතෘස් 5:8) වෙනත් කිසිදු කාලයකට වඩා දැන් ක්‍රිස්තියානි එඬේරුන් හට “අසංවර අයට අවවාද කිරීමටත්, කලකිරුණු ආත්මයන් හට සැනසිලිදායක ලෙස කථා කිරීමටත්, දුර්වල අයට අනුබල දීමටත්” අත්‍යවශ්‍ය ය. (1 තෙසලෝනික 5:14, NW) අස්ථිර අය රැළෙන් වැටීයාම වැළැක්වීමට නම්, නිරතුරු ව ම ඔවුන් සාවධාන ව සිටිය යුතු ය.—1 තිමෝති 4:1.
බැටළුවෙකුට උපකාර අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේ දී ද යන්න එඬේරෙකුට තීරණය කළ හැක්කේ කෙසේ ද? ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම අතපසු කිරීම, ක්ෂේත්‍ර සේවයේ කඩින් කඩ සහභාගි වීම, අන් අය සමඟ සමීප ඇසුරෙන් වැළකී සිටීමට තිබෙන නැඹුරුවාව වඩාත් පැහැදිලි ව දැකිය හැකි සංඥා සමහරකි. බැටළුවන්ගේ ආකල්ප එමෙන් ම ඔවුන්ගේ සංවාදවල නැඹුරුවාව සැලකිල්ලට ගැනීමෙන් ද දුර්වලකම් අවධානයට ලක් විය හැක. අමනාපයේ හැඟීම් අඟවමින්, අන් අය කෙරෙහි විවේචනාත්මක ලෙස කථා කිරීමට නැඹුරුවාවක් ඔවුන් තුළ තිබිය හැක. ආත්මික ඉලක්ක මත යොමුවනවා වෙනුවට ද්‍රව්‍ය වාදී ලුහුබැඳයාම් මත පමණට වඩා ඔවුනගේ සංවාදයන් යොමුවනවා විය හැක. සාමාන්‍යයෙන් ඔවුන් තුළ උද්යෝගයේ, ඒකාන්ත භාවයේ හා ප්‍රීතියේ මදිකමක් දක්නට ලැබේ නම්, ඔවුන්ගේ ඇදහිල්ල දුර්වල වී ඇති බව ඉන් අදහස් කළ හැක. කළකිරුණු ස්වභාවයක් ඔවුන් විරුද්ධවාදී නෑයන්ගේ නැතහොත් ලෝකයේ මිතුරන්ගේ පීඩනවලට හසුවනවා යන්න සම්බන්ධයෙන් සංඥාවක් විය හැක. මෙවන් සංඥා සැලකිල්ලට ගන්නා එඬේරුන් හට, අවශ්‍ය වන්නේ කෙබඳු ආකාරයේ උපකාරයක් ද යන්න තීරණය කිරීමට වෙර දැරිය හැක.
සෙසු ඇදහිලිවන්තයෙකු බැහැ දකින විට, ක්‍රිස්තියානි එඬේරුන් තමුන්ගේ ප්‍රධානතම පරමාර්ථය මනසේ තබා ගත යුතු ය. එය වනාහි නිකම් ම අල්ලාප සල්ලාප දොඩවන සංවාදයකින් යුත් සමාජීය බැහැ දැකීමක් නොවේ. සිය සහෝදරයින් බැහැ දැකීමේ දී ප්‍රේරිත පාවුල්ගේ ඉලක්කය වූයේ, ‘ඔවුන් ස්ථිරවන හැටියට ඔවුන් හට යම් කිසි ආත්මික දීමනාවක් දෙන පිණිසත්, අන්‍යෝන්‍ය ලෙස දිරිගන්වනු ලැබීමත්’ ය. (රෝම 1:11, 12, NW) මෙය ඉටු කිරීමට නම්, කලින් සූදානම් වීම අවශ්‍ය ය.
පළමු කොට, පුද්ගලයා ව විග්රහ කොට, ඔහුගේ ආත්මික තත්ත්වය කෙබඳු ආකාරයේ එකක් ද යන්න තීරණය කිරීමට වෙර දරන්න. එය ගැන සහතික වීමෙන් පසු ව, වඩාත් ම ප්‍රයෝජනදායක වන්නේ කෙබඳු ආකාරයේ මඟ පෙන්වීම ද, දිරිගැන්වීම ද නැතහොත් උපදෙස් ද යන්න පිළිබඳ ව කල්පනා කර බලන්න. දේව වචනය වන බයිබලය, “බලවත්” නිසා, තොරතුරු ලබා ගැනීමේ ප්‍රධානතම ප්රභවය එය විය යුතු ය. (හෙබ්‍රෙව් 4:12) විශේෂ ගැටලුවලට මුහුණ දෙන බැටළුවන්ගේ විශේෂිත අවශ්‍යතා සමඟ කටයුතු කිරීම සඳහා මුරටැඹ හා පිබිදෙව්! සඟරා සෝදිසි කර බැලිය හැක. යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොතේ ප්‍රබෝධවත් කරවන නැවුම් බව ගෙන දෙන ඇත්දැකීම් සොයා ගත හැක. ඉලක්කය විය යුත්තේ ‘පුද්ගලයෙකුගේ වැඩිදියුණුව පිණිස’ යමක් පිරිනැමීම ය.—රෝම 15:2.
වර්ධනාත්මක අයුරින් එඬේරකම් කිරීම
සැබෑ බැටළු රැළක එඬේරෙක් බැටළුවන් තම ආරක්ෂාව හා සාත්තුව සඳහා ඔහු මත රඳා සිටින බව දන්නේ ය. වඩාත් පොදුවේ දක්නට ලැබෙන උවදුරු පැන නගින්නේ මංමුළා වී යාමෙන්, අසනීපෙන්, වෙහෙසට පත්වීමෙන්, තුවාල වීමෙන් හා කොල්ලකරුවන්ගෙන් ය. ඊට සමාන අයුරින් ආත්මික එඩේරා රැළේ ශුභසිද්ධියට තර්ජනය කරන්නා වූ සමාන උවදුරු හඳුනාගෙන ඒවා සමඟ කටයුතු කළ යුතු ය. පොදුවේ දැකිය හැකි ගැටලු මෙන් ම ආත්මික ලෙස වර්ධනාත්මක තොරතුරු පිරිනැමීමට පැවසිය හැක්කේ කුමක් ද යන්න පිළිබඳ යෝජනා කිහිපයක් පහත දැක්වේ.
(1) පරීක්ෂාකාරී නොවූ බැටළුවන් මෙන්, සමහර ක්‍රිස්තියානින් අහිංසක මෙන් ම ආස්වාද ජනක චිත්තාකාර්ෂණීය දේවලට පෙලඹෙන නිසා ඔවුහු දෙවියන් වහන්සේගේ රැළෙන් මංමුළා වී යති. ඔවුනගේ අවධානය වෙනතකට යොමු විය හැකි ය, තව ද සමහර විට ද්‍රව්‍යවාදය, විනෝදාංශ, නැතහොත් විනෝදාස්වාදය ආශ්රිත ඉලක්කයන් ලුහුබැඳයාම නිසා ඔවුන් ක්‍රමක්‍රමයෙන් ගසා ගෙන යා හැකි ය. (හෙබ්‍රෙව් 2:1) කාලවල හදිසිතාවය ගැනත්, යෙහෝවඃ වහන්සේගේ සංවිධානයට සමීප ව සිටීමේ අවශ්‍යතාවය ගැනත්, ජීවිතයේ රාජ්‍යය කටයුතුවලට පළමු ස්ථානය දීමේ වැදගත්කම ගැනත් එවන් පුද්ගලයින්ට සිහිකරවිය යුතු ය. (මතෙව් 6:25-33; ලූක් 21:34-36; 1 තිමෝති 6:8-10) මේ සම්බන්ධයෙන් උපකාරවත් වන උපදෙස් 1984 මැයි 15, ද වොච්ටවර් පිටු 8-11 හි දක්නට ලැබෙන “ඔබේ සමබරතාවය රැකගැනීම—කෙසේ කළ හැකි ද?” යන ලිපියේ දැකගත හැකි ය.
(2) රෝගවලට ගොදුරු වන බැටළුවන් හට සාත්තු සප්පායම් කිරීම එඬේරෙකුගෙන් අවශ්‍ය කරවන යමකි. ඊට සමාන ව, තම ජීවිත තුළ තිබෙන නිෂේධාත්මක සාධක නිසා ආත්මික ලෙස අසනීප වන ක්‍රිස්තියානින් හට ආත්මික එඬේරුන්ගේ උපකාරය පිරිනැමිය යුතු ය. (යාකොබ් 5:14, 15) ඔවුනට සමහර විට රැකියාවක් නොතිබෙනවා විය හැක, බරපතළ සෞඛ්‍ය ගැටලුවකින් පෙළෙනවා වන්නට පුළුවන, නැතහොත් තම පවුල් ජීවිතයේ දුෂ්කරතා අත්දකිනවා විය හැක. මෙවන් පුද්ගලයින් ආත්මික ආහාර සඳහාවත්, දෙවියන් වහන්සේගේ සෙනඟ සමඟ ඇසුරු කිරීමටවත් වැඩි අභිරුචියක් නොදක්වනවා විය හැක. මින් සිදු වන දේ නම්, තමා ව ම වෙන් කිරීම සහ අධෛර්යයට පත්වීම ය. යෙහෝවඃ වහන්සේ ඔවුන් ගැන සලකන බවත් දුෂ්කර කාලවල් තුළ දී උන් වහන්සේ ඔවුනට රුකුලක් වන බවත් ඔවුන් හට සහතික කරලිය යුතු ය. (ගීතාවලිය 55:22; මතෙව් 18:12-14; 2 කොරින්ති 4:16-18; 1 පේතෘස් 1:6, 7; 5:6, 7) වර්ෂ 1980 ජූනි 1, ද වොච්ටවර් හි පිටු 12-15 හි දක්නට ඇති “ක්‍රිස්තියානියෙකු වශයෙන් ඉදිරිය දෙස බලා සිටින්න” යන ලිපිය යළි සලකා බැලීම උපකාරවත් විය හැක.
(3) වෙහෙසට පත් වන බැටළුවන් ගැන සෝදිසියෙන් සිටීමට එඬේරෙකු හට අවශ්‍ය ය. සමහරක් අය යෙහෝවඃ වහන්සේගේ සේවයේ ඇදහිලිවන්ත ව වසර ගණනාවකට විඳදරා ගෙන ඇත. ඔවුන් බොහෝ පරීක්ෂා හා පීඩාවලට මහත් ආයාසයකින් යුතු ව මුහුණ දී ඇත. වෑයමක් දැරීමේ දී ඔවුහු දැන් වෙහෙසට පත්වීමේ ලකුණු පෙන්වති, තව ද දේශනා සේවයේ පුළුල් ව යෙදීමේ අවශ්‍යතාවය පිළිබඳ ව ඔවුන් සැක පවා පළ කරනවා විය හැක. ඔවුන්ගේ ස්ප්‍රීතුව යළි ප්‍රකෘතිමත් කිරීමටත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ව අනුකරණය කිරීමක් වශයෙන් දෙවියන් වහන්සේට පිරිනමන හෘද පූර්ණ සේවයෙන් ලබන ප්‍රීතිය හා ආශීර්වාද සඳහා ඔවුනගේ අගය ප්‍රකෘතිමත් කිරීමටත් අවශ්‍ය ය. (ගලාති 6:9, 10; හෙබ්‍රෙව් 12:1-3) යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ පක්ෂපාත සේවය අගය කරන බවත් උන් වහන්සේගේ ප්‍රශංසාවට අනාගත ක්‍රියාකාරකම් සඳහා ඔවුන් ව ශක්තිමත් කිරීමට උන් වහන්සේට හැකි බවත් දැක ගැනීමට සමහර විට ඔවුන් හට උපකාර කළ හැක. (යෙසායා 40:29, 30; හෙබ්‍රෙව් 6:10-12) වර්ෂ 1988 ජූලි 15, ද වොච්ටවර් හි පිටු 9-14 හි දක්නට ලැබෙන “කදිම දේ කිරීමෙහි අත්නෑර සිටින්න” යන ලිපියේ අදහස් හවුලේ සාකච්ඡා කිරීම ප්‍රයෝජනවත් විය හැක.
(4) තුවාල ලබන බැටළුවන් මෙන්, සමහර ක්‍රිස්තියානින් අමනාප කරවන සුලු යයි සිතන්නා වූ හැසිරීමෙන් වේදනාවට පත් වී ඇත. එහෙත්, අප අන් අයට සමාව දෙන්නේ නම්, අපගේ ස්වර්ගික පියාණන් අපට ද අවශ්‍ය සමාව දානය කරන සේක. (කොලොස්සි 3:12-14; 1 පේතෘස් 4:8) සමහර සහෝදරයින්ට හෝ සහෝදරියන්ට අයුක්ති සහගත යයි තමුන්ට හැඟුණා වූ උපදෙස් හෝ හික්මවීම ලැබුණා විය හැක. කෙසේ වෙතත්, අප සියල්ලන්ට ම ආත්මික උපදෙස් හා හික්මවීමෙන් ප්‍රයෝජන ලැබිය හැකි අතර, යෙහෝවඃ වහන්සේ ප්‍රේම කරන අය ව උන් වහන්සේ හික්මවන බව දැනගැනීම සැනසිලිදායක ය. (හෙබ්‍රෙව් 12:4-11) තමන් සුදුසුකම් ලද බවට හැඟෙන සේවා වරප්‍රසාද තමුන්ට දෙනු නොලැබූ නිසා, වෙනත් සමහරෙක් තමුන් හා සභාව අතර භේදයක් ඇති කරලීමට අමනාපයට මං සලසා ඇත. එහෙත් ඔබ යෙහෝවඃ වහන්සේගේ සංවිධානයෙන් ඉවතට ගියෙහි නම්, ගැලවීම හා සැබෑ ප්‍රීතිය ලබා ගැනීමට වෙනත් කිසිදු ස්ථානයක් නොතිබෙනු ඇත. (යොහන් 6:66-69 සසඳන්න.) මේ කාරණය සම්බන්ධයෙන් උපකාරවත් වන තොරතුරු 1988 අගෝස්තු 15, ද වොච්ටවර් හි පිටු 28-30 “අපගේ ක්‍රිස්තියානි එකීය භාවය පවත්වා ගැනීම” යන ලිපියෙහි සොයා ගත හැක.
(5) බැටළුවන් ව කොල්ලකරුවන්ගෙන් ආරක්ෂා කළ යුතු වේ. ඊට සමාන අයුරකින්, සමහර අය ව නොඇදහිලිකාර ඥාතීන් නැතහොත් රැකියා ස්ථානයේ සහායකයන් විසින් පීඩාවට හෝ තර්ජනයට ලක් කරනු ලබනවා විය හැක. දෙවියන් වහන්සේට වූ ඔවුන්ගේ සේවය සීමා කිරීමට නැතහොත් ක්‍රිස්තියානි දේව සේවයේ සහභාගි වීම නතර කිරීමට පීඩා පමුණුවනු ලබන විට ඔවුනගේ අඛණ්ඩතාවය ප්‍රහාරයට ලක් විය හැක. කෙසේ වෙතත්, විරුද්ධවාදිකම් අපේක්ෂා කළ යුතු බවත්, අප යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අව්‍යාජ ගෝලයින් බව එය එක් සාක්ෂියක් බවත් තේරුම් ගැනීමට ඔවුන්ට උපකාර කරන විට, ඔවුහු ශක්තිමත් වෙති. (මතෙව් 5:11, 12; 10:32-39; 24:9; 2 තිමෝති 3:12) ඔවුන් ඇදහිලිවන්ත ව සිටිනවා නම්, යෙහෝවඃ වහන්සේ ඔවුන් ව කෙදිනකවත් අත්නාරින බවත්, ඔවුන්ගේ විඳදරා ගැනීමට විපාක දෙන බවත් පැහැදිලි කිරීම ප්‍රයෝජනදායක විය හැක. (2 කොරින්ති 4:7-9; යාකොබ් 1:2-4, 12; 1 පේතෘස් 5:8-10) වර්ෂ 1982 අප්‍රියෙල් 15, ද වොච්ටවර් හි පිටු 21-7 “පීඩා මධ්‍යයෙහි ප්‍රීතියෙන් යුක්ත ව විඳදරා ගැනීම” යන මැයින් යුත් ලිපිය අමතර දිරිගැන්වීම සපයා දෙයි.
එඬේරුනි—ඔබේ වගකීම් ඉටු කරන්න
දෙවියන් වහන්සේගේ රැළෙහි අවශ්‍යතා විවිධාකාර ය, එමෙන් ම යෝග්‍ය ආකාරයකින් රැකබලා ගැනීම අභියෝගාත්මක කාර්යයකි. එනිසා ක්‍රිස්තියානි එඬේරුන් දායානුකම්පිත, අව්‍යාජ ලෙස සැලකිල්ල දක්වන, උපකාරවත් වීමට කැමති අය විය යුතු ය. ඉවසීම හා විචාර බුද්ධිය දැක්වීම වැදගත් වේ. සමහර පුද්ගලයින්ට උපදෙස් හා අවවාද අවශ්‍ය වන අතර, වෙනත් අය දිරිගැන්වීමෙන් ප්‍රයෝජන ලබති. සමහර අවස්ථාවන්හි දී පෞද්ගලික බැහැ දැකීම් කිහිපයක් සෑහේ, කෙසේ වෙතත් වෙනත් අයට නිති පතා බයිබල් පාඩමක් අවශ්‍ය වනවා විය හැක. සෑම තත්ත්වයක දී ම මූලික ඉලක්කය වනාහි පුද්ගලයා ව යහපත් පාඩම් කිරීමේ පුරුදු ඇතිකර ගැනීමට, සභා රැස්වීම්වලට නිති පතා පැමිණීමට, නැතහොත් දිගට ම එසේ කිරීමට, එමෙන් ම ක්‍රිස්තියානි දේව සේවයේ ක්‍රියාශීලී ව සහභාගි වීමෙන් ප්‍රීතිය භුක්ති විඳීමට ඉවහල් වන පරිදි ආත්මික ලෙස වර්ධනය ගෙන දෙන මඟ පෙන්වීම නැතහොත් ප්‍රේමනීය උපදෙස් ලබා දීම ය. සෙසු ඇදහිලිවන්තයින්ට උපකාර කිරීමට හා යෙහෝවඃ වහන්සේගේ ශුද්ධාත්මය බාධාවකින් තොර ව ගලා ඒමට මං සැලැස්වීමට ඔවුනට උපකාර කිරීමට තිබෙන ප්‍රධාන මාර්ග නම් මේවා ය.
එවන් ආකාරයේ අනුබල දීමක් සපයන එඬේරු දෙවියන් වහන්සේගේ රැළ උදෙසා ඉතා අනර්ඝ සේවයක් පිරිනමති. (1985 නොවැම්බර් 15, ද වොච්ටවර් පිටු 23-7 බලන්න.) ආත්මික එඬේරුන් විසින් කරනු ලබන දෑ රැළ බොහෝ සෙයින් අගය කරති. එවන් උපකාරයක් ලබා ගැනීමෙන් පසු ව එක් ගෘහ මූලිකයෙක් පැවසුවේ මෙසේ ය: ‘අපි අවුරුදු 22ක් පුරා සත්‍යය තුළ සිටීමෙන් පසු ව, ද්‍රව්‍යවාදය මගින් අප ව ලෝකයට ඇද ගනු ලැබුවා. රැස්වීම්වලට පැමිණීමට අප කැමති වූ නමුත්, අපට කොහොමටවත් එසේ කරන්නට බැරි බව පෙනුණා. ඇත්තට ම අපි සාතන්ගේ පිළිවෙළ තුළට ගැළපුණේ නැහැ, එනිසා අපි සම්පූර්ණයෙන් ම වෙන් වී හුදකලාවේ සිටියා. මෙනිසා අපි කළකිරීමෙන් හා අසහනයෙන් පෙළුණා. අපට අවශ්‍ය වුණේ දිරිගැන්වීමේ වදන්. වැඩිමහල්ලෙක් අප ව බැහැ දකින්නට පැමිණි විට, අපගේ නිවසේ බයිබල් පාඩමක් පැවැත්වීමේ සැපයුම අපි සතුටින් පිළිගත්තා. දැන් අපි සියලු දෙනා ම යෙහෝවඃ වහන්සේගේ සුරැකි සංවිධානය තුළ නැවත සිටිනවා. මට දැනෙන සතුට ප්‍රකාශ කරන්න නොහැකි තරම් ය!’
මංමුළා වූ මෙන් ම අධෛර්යයට පත් වූ අපගේ සහෝදර සහෝදරියන් ව ආත්මික වශයෙන් යළි ප්‍රකෘතිමත් කරනු ලබන විට හෝ යළි ක්‍රියාශීලී කරනු ලබන විට අතිශයින් ප්‍රීති වීම සඳහා හේතු ඇත. (ලූක් 15:4-7) යෙහෝවඃ වහන්සේගේ සෙනඟ කෙරෙහි වූ ස්වකීය අරමුණ සැබෑ වන්නේ ඔවුන් “කොටුවක සිටින බැටළුවන් මෙන්” එකමුතු කරනු ලබන විට ය. (මීකා 2:12, නව අනුවාදය) මෙම සුරැකි ක්ෂේම භූමියේ දී, මාහැඟි එඬේරාණන් වන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපකාරය ඇතුව ඔවුහු ‘තමුන්ගේ ආත්මවලට සහනය ලබා’ ගන්නෝ ය. (මතෙව් 11:28-30) ලෝක ව්‍යාප්ත ව පවතින මෙම එකමුතු රැළ ආත්මික ආහාර සම්භාරයක් සමඟින්, මඟ පෙන්වීම, සැනසීම හා රැකවරණය ලබති.
අද දින, මෙම එඬේරකම් කිරීමේ ක්‍රියාකාරකම තුළින්, යෙහෝවඃ වහන්සේ ප්‍රේමනීය වැඩක් සිදු වීමට මං සලස්වන අතර ම, මෙය උන් වහන්සේ දුන් මෙම ඉපැරණි පොරෙන්දුවට නෑකම් කියයි: “මමම මාගේ බැටළුවන් ගැන විභාගකර, උන් බලාගන්නෙමි. . . . උන් විසිර ගිය සෑම තැන්වලින් උන් ගළවාගන්නෙමි . . . හොඳ තෘණවලින් උන් පෝෂ්‍යකරන්නෙමි, . . . මම නැතිවූ එකා සොයන්නෙමි, . . . පොඩිවූ එකාගේ තුවාල බඳින්නෙමි, ලෙඩවූ එකා ශක්තිමත්කරන්නෙමි.” (එසකියෙල් 34:11-16) යෙහෝවඃ වහන්සේ අපගේ එඬේරාණන් බව දැනගැනීම මොනතරම් සහනයක් ද!—ගීතාවලිය 23:1-4.
දෙවියන් වහන්සේගේ රැළ රැකබලා ගැනීම සඳහා තිබෙන්නා වූ දිව්‍යමය සැපයුම් නිසා, යෙහෝවඃ වහන්සේගේ සේවකයින් වශයෙන් අපට දාවිත්ගේ අදහස්වලට එකඟ විය හැක, ඔහු මෙසේ පැවසී ය: “මම සමාදානයෙන් වැදහෙව නිදන්නෙමි. මක්නිසාද ස්වාමිනි [අහෝ යෙහෝවඃ වහන්ස NW ], ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.” (ගීතාවලිය 4:8) එසේ ය, යෙහෝවඃ වහන්සේගේ ජනයාට උන් වහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ල හමුවේ සුරක්ෂිත බව හැඟෙන අතර, ක්‍රිස්තියානි වැඩිමහල්ලන් දායානුකම්පාවෙන් කුඩා බැටළුවන් ව රැකබලා ගැනීම ගැන ඔවුහු කෘතඥ පූර්වක වෙති.
[20, 21වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Potter’s Complete Bible Encyclopedia