සොරුන් නැති ලොවක්
එය එතරම් වේගයෙන් සිදු විය. හොඳින් ඇද පැළඳ සිටි මිනිසෙක්, බ්‍රසීලයේ, සාඕ පවුලෝ නගරයේ පිහිටි ඇන්ටෝනියෝගේa නිවස ඉදිරිපිට දී ඔහුගේ හිසට තුවක්කුවක් තබා, ඔහුගේ මෝටර් රථයේ ලිය කියවිලි හා යතුර බලෙන් ඉල්ලා එය වේගයෙන් පදවාගෙන ඉවත් ව ගියේ ය.
රියෝ ඩි ජැනීරෝ නගරයේ, තමාගේ දස හැවිරිදි දියණියගේ ඇස් ඉදිරියේ, අවිගත් මනුෂ්‍යයින් හතර දෙනෙක් පවුලෝ නම් මනුෂ්‍යයෙක් ව යටත් කර ගත්හ. අනතුරුව, ඔහුගේ නිවස වෙත රිය පදවාගෙන යාමෙන් පසු ව, එම සොරුන් නිවසට ඇතුල් වී තමන්ට ඕනෑ දේවල් සොරකම් කර, පවුලෝගේ කාර් දෙක ඒවායින් පිරවූහ. පවුලෝගේ භාර්යාව මරණ බවට තර්ජනය කළ ඔවුන්, ඇයවත් තවත් සේවකයෙක්වත් ප්‍රාණ ඇපකරුවන් හැටියට ගනිමින්, නගරයේ තිබූ පවුලෝගේ ස්වර්ණාභරණ වෙළෙඳ සලට රැගෙන ගොස් එහි තිබූ වටිනා දේවල් සියල්ල ම ගත්හ. කෙසේ හෝ, අනපේක්ෂිත ආකාරයකට, එම සොරුන් තමන් මෝටර් රථ දමා ගිය ස්ථානය පසු ව දුරකථනයෙන් දැනුම් දුන්හ.
වෙහෙස වී උපයා ගත් මුදල් හා භාණ්ඩ යමෙකුගෙන් සොරා ගනු ලබන විට එය කොතරම් දොම්නසක් ද! ඇන්ටෝනියෝ හෝ පවුලෝ මෙහි දී නීතිය තම අතට ගෙන ක්‍රියා නොකළත්, වෙනත් අය එසේ විසඳුම් සොයති. ඔවුන් ඇතැම් විට සොරා ව බලවත් හානියකට ලක් කරන්නට පුළුවන, නැතහොත් ඔවුන්ගේ ම ජීවිත අහිමි කර ගන්නට පුළුවන. උදාහරණයක් හැටියට, යෞවනයෙක් කාන්තාවකගේ ඔරලෝසුව බලෙන් කඩා ගත් විට, කෝපයට පත් ඇය තමාගේ මල්ලෙන් තුවක්කුවක් ගෙන ඔහු ව මැරෙන ලෙස වෙඩි තැබුවා ය. එහි ප්‍රතිඵලය? ඕ එස්ටාඩෝ ඩි එස්. පවුලෝ මෙසේ වාර්තා කරයි: “එම සිද්ධිය බලා සිටි අය හඳුනා නොගත් එම කාන්තාවගේ ආකල්පය ප්‍රශංසා කළ අතර ඇය ව සොයා ගැනීම පිණිස පොලීසියට උපකාර කිරීමට කිසිවෙක් කැමති නොවූහ.” සොරුන් නොමැති ලෝකයක් ක්‍රිස්තියානින් ආශාවෙන් බලා සිටිය ද, ඔවුන් එම කාන්තාව කළ ආකාරයට එකට එක කරන්නට යන්නේ නැත. පළිගැනීම දෙවියන් වහන්සේට අයත් බැවින්, ඔවුහු හිතෝපදේශ 24:19, 20 හි [NW] ඇති මතු සඳහන් වදන්වලට කීකරු වෙති: “නපුර කරන්නන්ට විරුද්ධ ව කෝපයෙන් ඇවිස්සී නොසිටින්න. දුෂ්ටයන්ට ඊර්ෂ්‍යා නොකරන්න. මක්නිසාදයත් කිසිදු නපුරෙකුට අනාගතයක් නොමැති හෙයිනි.”
එහෙත් ප්‍රහාරයකට ලක් වුවහොත්, ඔබට කළ හැක්කේ කුමක් ද? රියෝ ඩි ජැනීරෝ හි සිදු වූ සිද්ධියක්, සන්සුන් ව සිටීම කොතරම් වැදගත් දැයි පෙන්වයි. ඉලොවීසා නම් එක්තරා ක්‍රිස්තියානියෙක්, බයිබල් පාඩමක් පැවැත්වීම පිණිස බස්රියෙන් ගමන් කරමින් සිටියා ය. මිනිසුන් දෙදෙනෙක් මගීන්ගෙන් සොරකම් කරන්නට පටන් ගත්හ. තමා බැසිය යුතු බස් නැවතුම් පොළට බසය පැමිණි විට, තමා යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කෙනෙක් බවත්, තමා බයිබල් පාඩමක් පවත්වන්නට යමින් සිටින බවත් ඉලොවීසා ඔවුන්ට කීවා ය. ඇය බයිබලයත්, පාඩම් ආධාරකයත් පෙන්නුවා ය. ඇයගෙන් කිසිවක් සොරා ගන්නේ නැති ව, ඉන් බැස යාමට සොරු ඇයට අවසර දුන්හ. කෙසේ වෙතත්, වෙනත් මගියෙකුට යන්නට අවසර දෙනු නොලැබී ය. එවන් දෙයක් සිදුවීම තමා මීට කලින් දැක නැති බව රියදුරා පසු ව පැවසී ය.
රෙජීනාගේ මෝටර් රථයට ඇතුල්වීමට අවි ගත් මනුෂ්‍යයින් දෙදෙනෙක් විසින් ඇයට නියෝග කරනු ලැබූ විට, ඇය ද සන්සුන් ව කටයුතු කළා ය. පිබිදෙව්! සඟරාවේ තමාගේ පෞද්ගලික පිටපත පෙන්වමින්, රෙජීනා සාක්ෂි දැරුවා ය. සොරුන් නොසන්සුන් තත්ත්වයක සිටි නිසා, ඇය ටොෆි වැනි දෑ තබා තිබූ, කාරයේ බඩු තබන ලාච්චුව විවෘත කරන ලෙස ඔවුනට කීවා ය. එහෙත් කිංඩම් මෙලඩීස් කැසට් ටේප් පට දැකීමෙන්, ඔවුහු එම සංගීතයට සවන් දෙන්නට පටන් ගත්හ. වාතාරවණය වඩාත් මිත්‍රශීලී බවට පත් වූ අතර, එම සොරුන් රෙජීනාට අනතුරක් නොකර ඇය ව මහ මඟ දමා යන්නට තීරණය කළහ. මෙහි දී ඇයට උපකාර කිරීමට කාරුණික කෙනෙකු ඇයට හමු වනු ඇතැයි ඔවුහු සහතික කළහ. විනාඩි දහයක් ඇවිදීමෙන් පසු, ඇයට නිවසක් හමු වුවද, එම ගෙවැසියාට ඇයගේ කථාව විශ්වාස කළ නොහැකි විය. ඔහු කියා සිටියේ, “ඔබට ප්‍රහාරයක් එල්ල වූ බවක් පෙනෙන්නේ නැහැ; ඔබ ඒ තරමට සන්සුන් ව සිටිනවා” යනුවෙනි.
මෙවැන්නකට ගොදුරු වූවෙක් කායික වශයෙන් ප්‍රහාරයක් නොලැබුවත්, මෙවන් සිත් කම්පා කරවන අත්දැකීම් නිසා පසු ව ඇති විය හැකි බරපතළ බලපෑම්වලට ලක් වන්නට පුළුවන. මෙයට ගොදුරු වූ තැනැත්තාට සුරක්ෂිත නොවන තත්ත්වයක්, පවුලේ සාමාජිකයන් කෙරෙහි නැතහොත් ඔහුට උපකාර කරන්නට වෑයම් කරන අය කෙරෙහි වෛරයක්, අන්‍යයන් ව විශ්වාස කරන්නට නොහැකියාවක්, සෑම දෙයක ම ඇදකුද සෙවීමේ ස්වභාවයක්, ලෝකය අයුක්ති සහගත බවට හැඟී යාමක් යනාදිය දැනෙන්නට පුළුවන” යයි ඕ එස්ටාඩො ඩි එස්. පවුලෝ වාර්තා කරයි. මීට පටහැනි ව, යෙහෝවඃ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන කෙනෙක් මෙවැන්නකට ගොදුරු වූ විට කායික හා චිත්ත වේගී ව හානියක් නොලබා ම එම අත්දැකීමෙන් බේරෙන්නට තිබෙන ඉඩකඩ වඩා වැඩි ය. කෙසේ වෙතත්, තවත් අපරාධ නැත්නම්, එමෙන් ම භීතිය හේතුකරවන කිසි යමක් නැත්නම් එය ආශීර්වාදයක් බවට ඔබ එකඟ නොවන්නෙහි ද?
“සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා”
බොහෝ දෙනෙක් තමන්ගේ ගිජු ජීවිත-රටාවට කැමැත්තෙන් සිටිය ද, සොරුන්ට තමන්ගේ ආශාවන් හා තමන්ගේ පෞද්ගලිකත්වයන් වෙනස් කිරීමට දේව වචනය උපකාර කර ඇත. (එපීස 4:23) සැබෑ, බයිබලය මත පදනම් ජීවිතය පිළිබඳ අරමුණක් ඇති ව ඔවුහු “අයුක්තිය ඇතුව බොහෝ සම්පත්වලට වඩා ධර්මිෂ්ඨකම ඇතුව ස්වල්පයක් හොඳය” යන වදන් හෘදයට ගනිති. (හිතෝපදේශ 16:8) ක්ලව්ඩියෝ මෙසේ ප්‍රකාශ කරයි: “මගේ පවුලේ සෑම කෙනෙක් ම වාගේ සාක්ෂිකරුවන් ව සිටිය ද, යෙහෝවඃ වහන්සේ හා උන් වහන්සේගේ අරමුණු පිළිබඳ ව ඔවුන්ට කියන්නට තිබූ දේවලට මම කිසිකලෙක සවන් දුන්නේ නැහැ. සොරා ගන්නා ලද පිකප් රථයකින් සැතපුම් 1,200ක් පමණ දුරගෙවා පැමිණීමේ දී, මට පොලිස් මුරපොළවල් ගණනාවක් පසු කරන්නට සිදු වුණා. මෙසේ ගමන් කරන අතර මම මගේ ජීවිතය වෙනස් කර ගත යුතු බව මම වටහා ගත්තා. එය මා මීට පෙර කරන්නට වෑයම් දරා තිබුණත් එය සඵල වුණේ නැහැ. මෙවර යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ව සිටින මගේ ඥාතීන් ගැනත්, ඔවුන් ප්‍රීතිය, සතුට හා සාමය ඇති ව කොතරම් වෙනස් ව සිටින්නේ ද, යන්න ගැනත් මම කල්පනා කරන්නට පටන් ගත්තා.” මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, ක්ලව්ඩියෝ දේව වචනය ඉගෙන ගන්නට පටන් ගෙන, මත් ද්‍රව්‍ය හා ඔහුගේ මුල් මිත්‍රයන් අත්හැර දේව සේවකයෙක් බවට පත් විය.
වෙනත් අය ද දැන් “බලාත්කාරකම [වංචාකාරකම NW] කෙරෙහි විශ්වාස නොකරව්, කොල්ලකෑම [සොරකම් කිරීම NW] ගැන අහංකාර නොවව්” යන වදන්වලට අවනත වෙති. (ගීතාවලිය 62:10) සොරකමක් කරන අතර මිනී මැරීමක් කිරීමට දරන ලද වෑයමක් වෙනුවෙන් හිරදඬුවමක් ගෙවීමෙන් පසු, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවෙක් හා මත් ද්‍රව්‍ය ප්‍රවාහකයෙක් වූ හ්යූසේ, ඔහුගේ මස්සිනා සමඟ කළ බයිබල් පාඩමකින් ප්‍රයෝජන ලැබී ය. ඔහු මත් ද්‍රව්‍ය පාවිච්චිය නැවැත් වූ අතර දැන් ජ්වලිතයෙන් ක්‍රියා කරන සාක්ෂිකරුවෙකි.
කෙසේ වෙතත්, අලුත් පෞද්ගලිකත්වයක් ක්ෂණයකින් හෝ ආශ්චර්යවත් ආකාරයකින් ලැබෙන්නට යන්නේ නැත. මත් ද්‍රව්‍ය හා සොරකම් කිරීමේ දැඩි ව නියැලී සිටි ඔස්කා, මෙසේ පවසයි: “මා කොතරම් උනන්දුවෙන් යෙහෝවඃ වහන්සේට යාච්ඤා කළා ද කිවහොත්, පොළොව බොහෝ විට මගේ කඳුළුවලින් කුඩා විලක් බවට පත් වූවා හා සමානයි.” එසේ ය, දේව වචනය පිළිබඳ උත්සාහවන්ත අධ්‍යනයකට අමතර ව, අඛණ්ඩ, හෘදයාංගම යාච්ඤාව අවශ්‍ය කෙරේ. මෙම යාච්ඤා පූර්වක දෘෂ්ටියේ ඇති ඥානවන්ත භාවය සැලකිල්ලට ගන්න: “මා පූර්ණවී ඔබ එපාකර; ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කවුදැයි නොකියන පිණිසත්, මා දිළිඳුවී සොරකම්කොට, මාගේ දෙවියන්වහන්සේගේ නාමය අගෞරවලෙස සඳහන් නොකරන පිණිසත්, මට දිළිඳුකමවත් පොහොසත්කමවත් නොදී, මට සුදුසු කෑමවලින් මා පෝෂ්යකළ මැනව.”—හිතෝපදේශ 30:8, 9.
තමා ගැන උනන්දු වීම සැබෑ ප්‍රේමයෙන් අනුයුක්ත කළ යුතු ය: “සොරකම්කළාවූ අය තවත් සොරකම් නොකෙරේවා. ඒ වෙනුවට, හිඟ අයට දෙන්ට පුළුවන් වන පිණිස, තමාගේ අත්වලින් යහපත් වැඩක් කරමින් වීර්ය්යකෙරේවා.” (එපීස 4:28) කලින් ‘සොරු නැතහොත් ගිජු අය’ ව සිටි ඇතැම් පළමු ශතවර්ෂයේ ක්‍රිස්තියානින් සම්බන්ධයෙන් සිදු වූවාක් මෙන්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිදීමේ මිලය කරණ කොට ගෙන යෙහෝවඃ වහන්සේ පසුතැවිලි වන අයට දයාන්විත ව සමාව දෙන සේක. (1 කොරින්ති 6:9-11) අපගේ අතීත ජීවිතය කෙබඳු එකක් වුවත්, අපට අපගේ ජීවන-රටාව වෙනස් කර දෙවියන් වහන්සේගේ ප්‍රසාදය ලබා ගත හැකි තත්ත්වයක් තිබීම මොනතරම් සහනයක් ද!—යොහන් 3:16.
දෙවියන් වහන්සේගේ නව ලොවේ සුරක්ෂිත භාවය
සොරුන් නැති ලෝකයක් ගැන කල්පනා කර බලන්න. විනිශ්චයකරුවන්, නීතිඥයින්, පොලීසිය හා හිරගෙවල්වලින් යුත් වියදම් අධික නීතිය රකින බවට වගබලා ගන්නා පද්ධතියක් ඔබට ඕනෑ නැත! එය වනාහි සෑම කෙනෙක් ම අන්‍යයන් ව හා ඔවුන්ගේ දේපොළ කෙරෙහි ගෞරවයක් පෙන්වන සෞභාග්‍යවත් ලෝකයක් වනු ඇත! එය විශ්වාස කළ නොහැක්කක් සේ දිස් වේ ද? දෙවියන් වහන්සේ සැබවින් ම මනුෂ්‍ය කාරණාවලට මැදිහත් වී නොපනත්කම අවසන් කරාවි ද? බයිබලය දේව වචනය බවටත්, එහි ඇති අනාවැකි විශ්වාස කළ හැකි බවටත් ඇති සාක්ෂි පරීක්ෂා කර බලන ලෙස අපි ඔබට ආරාධනා කරමු. ඉදිරියේ දී වෙනස්වීමක් සිදු වන්නට යන බව ගැන නිසැක වීමට ස්ථිර පදනමක් ඔබට සොයා ගත හැකි වනු ඇත. ධර්මිෂ්ඨකමට ප්‍රේම කරන සියල්ලන්ට පොරොන්දු කර තිබෙන සහනය ගෙන ඒමෙන් දෙවියන් වහන්සේ ව වළක්වන්නට කිසිවෙකුට නොහැකි වනු ඇත: “නපුරකරන්නන් නිසා කල නොකිරෙව [කෝපයෙන් ඇවිස්සී නොසිටිනු NW], අධර්මිෂ්ඨකම් කරන්නන්ට ඊර්ෂ්‍යා නොකරව. මක්නිසාද ඔව්හු තෘණ මෙන් වහාම කපනු ලබන්නෝය, නිල් පලා මෙන් වියළෙන්නෝය.” (ගීතාවලිය 37:1, 2) බොහෝ කලකට පෙර ලියනු ලැබූ එම වදන් ළඟ දී ම සම්පූර්ණයෙන් ම ඉෂ්ට කරනු ලබනවා ඇත.
මෙතරම් බලාපොරොත්තු රහිත භාවය හා අස්ථිර භාවය ඇති කරවන දුක්ඛිතකම හා අධර්මිෂ්ඨකම දේව රාජ්‍යය මගින් නිම කරනු ලබනවා ඇත. සොරකම් කිරීමට පීඩනයක් දනවන ලෙසින්, කිසිවෙක් හිඟ ව නොසිටිනු ඇත. අනාවැකියක අපට මෙවන් සහතිකයක් දී තිබේ: “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය; එහි කරල් ලෙබනොන් මෙන් ලෙළ දෙන්නේය. නුවර වැසියෝ පොළොවේ තෘණ මෙන් සඵලවන්නෝය.” (ගීතාවලිය 72:16) සැබවින් ම, නැවත පිහිටුවනු ලැබූ පාරාදීසයේ දී, සැබෑ දෙවියන් වහන්සේ ව දැන නමස්කාර කරන්නා වූ මනුෂ්‍යයන්ගේ සමාදානය කිසිවක් අවහිරයට පත් කරවන්නට යන්නේ නැත.—යෙසායා 32:18.
මෙම ගිජු ලෝකයේ මාර්ගවලට එරෙහි ව ක්‍රියා කර තිබීම වෙනුවෙන් එය කොතරම් මහඟු විපාකයක් වනු ඇද්ද! හිතෝපදේශ 11:19 මෙසේ පවසයි: “ධර්මිෂ්ඨකමෙහි ස්ථිරව සිටින්නා ජීවනයට පැමිණෙන්නේය; නපුර අනුව යන්නා තමාට මරණය ළඟාකරගන්නේය.” එසේ ය, දුෂ්ටයන් සිඳ දමනු ලැබීමෙන් පසු, කිසිවෙකුට තමාගේ ජීවිතය හෝ දේපොළ වෙනුවෙන් බිය වන්නට හේතුවෙක් නොතිබෙනු ඇත. ගීතාවලිය 37:11 අපට මෙම පොරොන්දුව ඉදිරිපත් කරයි: “මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”
[පාදසටහන්වල]
a සමහර නම් වෙනස් කොට තිබේ.
[5වන පිටුවේ කොටුව]
සොරකමේ යථාර්ථය සමඟ කටයුතු කිරීම
නිවසේ දී—ඔබ ගෙදර සිටියත් නැතත් සොරු ඔබගේ ගෙදරට බලෙන් ඇතුල් විය හැකි බැවින්, දොරවල් වසා අගුල් දමන්න. බියසන් සීනුවක් හෝ මුර කිරීමට බල්ලෙක් තබා ගැනීම විශේෂඥයෝ නිර්දේශ කරති. ඔබ නිවාඩුවකට පිට වී යන්නෙහි නම්, විශ්වාස කළ හැකි අසල් වැසියෙකුට දැනුම් දෙන්න. සන්සුන් ව සිටින්න—සොරු අනපේක්ෂිත ලෙසත්, වේගයෙනුත් ක්‍රියා කරන අතර ඔවුන් චිත්ත කැළඹීමට පත් වුවහොත් වහා ම ඔවුන්ගේ සැලසුම් වෙනස් කරන්නට පුළුවන. ඔබ යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෙක් නම්, ඒ බව සඳහන් කර සාක්ෂියක් දැරීමට වෑයම් කරන්න. ඔබට මිත්‍ර භාවයක් හෝ දයානුකම්පාවක් මතු කර ගන්නට පුළුවන් විය හැක. කායික වශයෙන් පහර දීමක් සිදු නොවුවහොත් විරුද්ධ නොවන්න.
ප්‍රසිද්ධ තැන්වල—යමෙක් ඔබ පස්සේ එනවා දැයි බැලීමට අවදි ව සිටින්න. පදික වේදිකාවේ ගමන් කරන විට මැද්දේ ඇවිදින්න. අඳුරු හා ජනයා නැති මාර්ගවල යාමෙන් වළකින්න. ඔබගේ පසුම්බිය හෝ වටිනා දේවල් ආරක්ෂා සහිත ව තබා ගන්න. ඔබ යම් ස්ථානයකට යන්නාක් මෙන් ඉක්මනින් පිය නගන්න. වටිනා ඇඳුම් හෝ බබළන ආභරණ පැළඳීමෙන් වළකින්න. තත්ත්වයන් යෝග්‍ය නම් මිත්‍රයෙක් සමඟ සාප්පු යන්න. ඔබට අවශ්‍ය මුදල පමණක්, විවිධ සාක්කුවල හෝ ස්ථානවල බෙදා තබාගෙන යන්න.
මෝටර් රථය තුළ—“රථ පැහැරගෙන” යාම ඔබගේ ප්‍රදේශයේ සාමාන්‍ය දෙයක් නම්, නවත්වන ලද ඔබගේ රථයේ රැඳී නොසිටින්න. රැකියාවට යන එන ඔබගේ මාර්ගය වෙනස් කරන්න. එය තරමක් දිගු වුවත්, වඩාත් ආරක්ෂා සහිත මාර්ගයකින් ගමන් කරන්න. රථය නැවැත්වීමට පෙර සැක සහිත යමක් ඇත්දැයි බැලීමට අවට පරීක්ෂා කරන්න. ජනයා නැති ප්‍රදේශවල මෝටර් රථයේ ඩිකිය විවෘත කිරීමෙන් වළකින්න. වටිනා දේවල් පිටතට පෙනෙන ආකාරයට රථය තුළ නොතබන්න. පිටතට දිස් වන අගුල් දම්වැලක් හෝ සොරකම නවත්වන වෙනත් උපාංගයක් අනියම් සොරුන් ව අධෛර්ය කළ හැකි ය.
[6වන පිටුවේ කොටුව]
“පොළොවෙහි නුඹලාට වස්තු රැස්කර නොතබල්ලා; එහිදී කාවෝද මළකඩද ඒවා නාස්තිකරති, සොරුද උමංකැන සොරාගනිති. නුමුත් ස්වර්ගයෙහි නුඹලාට වස්තු රැස්කර තබා ගනිල්ලා; එහිදී කාවෝවත් මලකඩවත් ඒවා නාස්ති නොකරති, සොරු උමංකැන සොරා නොගනිති.”—මතෙව් 6:19, 20.