ප්‍රේමය (අගාපේ)—එය කුමක් නොවේ ද, එය කුමක් වේ ද යන වග
‘ඔබගේ සහෝදර ස්නේහයට ප්‍රේමය සපයා ගන්න.’—2 පේතෘස් 1:5, 7, NW.
1. (අ) බයිබලය අති විශිෂ්ට තැනක් දෙන්නේ කිනම් ගුණාංගයට ද? (ආ) “ප්‍රේමය” යනුවෙන් බොහෝ විට පරිවර්තනය කර තිබෙන ග්‍රීක් වචන හතර මොනවා ද, තව ද 1 යොහන් 4:8 හි යොමු දක්වා තිබෙන්නේ කුමන දෙයට ද?
දේව වචනය වන බයිබලය, යම් ගුණාංගයකට හෝ ගුණයකට අති-විශිෂ්ට තැනක් දෙන්නේ නම්, ඒ ප්‍රේමයට ය. ක්‍රිස්තියානි ශුද්ධ ලියවිලිවල ප්රාරම්භක භාෂාව වූ ග්‍රීක් භාෂාවේ, “ප්‍රේමය” යනුවෙන් බොහෝ විට පරිවර්තනය කොට තිබෙන වචන හතරක් තිබේ. දැන් අප සලකා බලන්නට යන ප්‍රේමය, ලිංගික ආකර්ශනය මත පදනම් ව ඇති ඊʹරොස් (ක්‍රිස්තියානි ග්‍රීක් ශුද්ධ ලියවිල්ලේ සොයා ගත නොහැකි වචනයකි) නොවේ; එය ලේ සබඳතා මත පදනම් ව ඇති හැඟීමක් වන ස්ටෝ·ජිʹ ද නොවේ; එය මීට පෙර ලිපියේ සලකා බලනු ලැබූ, අන්‍යෝන්‍ය වශයෙන් පෙන්වන උසස් කොට අගය කිරීම මත පදනම් වූ, උණුසුම් මිත්‍රශීලී ප්‍රේමය වූ ෆි·ලිʹයා ද නොවේ. ඒ වෙනුවට, එය අ·ගාʹපේ ය—එනම්, ප්‍රතිපත්තිය මත පදනම් වූ ප්‍රේමය ය, එය, පරාර්ථකාමිත්වයට සමාන අරුත් ඇති, ප්‍රේරිත යොහන් විසින් “දෙවියන්වහන්සේ ප්‍රේමයය” යනුවෙන් පවසනු ලැබූ විට, යොමු දැක්වූ ප්‍රේමයයි.—1 යොහන් 4:8.
2. ප්‍රේමය (අ·ගාʹපේ) පිළිබඳ ව මනා ලෙස පවසනු ලැබ ඇත්තේ කුමක් ද?
2 මෙම ප්‍රේමය (අ·ගාʹපේ) සම්බන්ධයෙන්, න ටෙස්ටමන්ට් වර්ඩ්ස් නම් සිය කෘතියේ මහාචාර්ය විලියම් බාක්ලේ මෙසේ කියයි: “අගාපේ සම්බන්ධ වී තිබෙන්නේ මනස සමඟ ය; එය වනාහි අපගේ හදවත්වල [ෆි·ලිʹයා සම්බන්ධයෙන් මෙන්]; නිතැතින් පහළවන නිකම් ම චිත්ත වේගයක් නොවේ, එය වනාහි අප හිතාමතා ජීවත්වන ප්රතිපත්තියකි. අගාපේ අති උත්කෘෂ්ට ලෙස සම්බන්ධ ව තිබෙන්නේ අධිෂ්ඨානය සමඟ ය. එය ජයග්‍රහණයකි, දිනුමකි එමෙන් ම යමක් ඉටු කර ගැනීමකි. කිසිවෙක් කිසිවිටෙකත් ස්වභාවයෙන් ම තම සතුරන්ට ප්‍රේම කළේ නැත. යමෙක් තම සතුරන්ට ප්‍රේම කිරීම, අපගේ සියලු ස්වාභාවික නැඹුරුවාවන්ට හා චිත්ත වේගයන්ට එරෙහි ව ලබා ගන්නා ජයග්‍රහණයකි. මෙම අගාපේ . . . ඇත්තෙන් ම, ප්‍රේම කළ නොහැකි යමකට ප්‍රේම කිරීමටත්, එනම් අප කැමති නැති අයට ප්‍රේම කිරීමටත් තිබෙන බලය වේ.”
3. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හා පාවුල් ප්‍රේමය සම්බන්ධයෙන් කළේ කෙබඳු අවධාරණයක් ද?
3 එසේ ය, යෙහෝවඃ දෙවියන් වහන්සේට පුද කරන නිර්මල නමස්කාරය වෙනත් සියලු ආකාර නමස්කාරවලින් වෙන් කොට දක්වන දේවල් අතර තිබෙන දෙයක් නම්, එහි මේ ආකාරයේ ප්‍රේමයක් අවධාරණය කොට තිබීම ය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හරි ලෙස මෙම ශ්‍රේෂ්ඨතම ආඥා දෙක ප්‍රකාශ කළ සේක: “ප්‍රධාන එක නම්—නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු ශක්තියෙන්ද නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට [යෙහෝවඃ වහන්සේට NW] ප්රේමකරපන්න. දෙවෙනි එක නම්: . . . නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්රේමකරපන්න. මේවාට වඩා උතුම් වූ අන්කිසි ආඥාවක් නැත.” (මාර්ක් 12:29-31) ප්‍රේරිත පාවුල්, 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ ප්‍රේමය සම්බන්ධ ව එම අවධාරණය ම කර තිබේ. ප්‍රේමය වනාහි පරම අනිවාර්ය ගුණාංගයක් බවට කාවැද්දීමෙන් පසු, ඔහු අවසන් කළේ මෙසේ පවසමිනි: “දැන් පවතින්නේ ඇදහිල්ල, බලාපොරොත්තුව, ප්‍රේමය යන මේ තුනය; [නමුත් NW] මෙයින් ඉතා උතුම් එක නම් ප්‍රේමයය.” (1 කොරින්ති 13:13) තම අනුගාමිකයින්ගේ හඳුනා ගැනීමේ ලකුණ ප්‍රේමය වනු ඇතැයි යේසුස් වහන්සේ පැවසුවා හරි ය.—යොහන් 13:35.
ප්‍රේමය කුමක් නොවේ ද යන වග
4. පළමුවෙනි කොරින්ති 13:4-8 හි පාවුල්, ප්‍රේමය සම්බන්ධ ව, නිෂේධාත්මක පැති කීයක් හා ඒකාන්ත පැති කීයක් සඳහන් කරයි ද?
4 ප්‍රේමය යනු කුමක් නොවේ ද කියා පැවසීම, ප්‍රේමය යනු කුමක් ද කියා පැවසීමට වඩා පහසු බවට පවසා තිබේ. එහි යම් සත්‍යයක් ඇත, මක්නිසාදයත්, ප්‍රේරිත පාවුල්, ප්‍රේමය ගැන සඳහන් කරන 1 කොරින්ති 13 වෙනි පරිච්ඡේදයේ, 4 වෙනි පදයේ සිට 8 වෙනි පදය දක්වා, ප්‍රේමය නොවන දේවල් නවයක් ද ප්‍රේමය වන දේවල් හතක් ද සඳහන් කරන හෙයිනි.
5. “ඊර්ෂ්‍යාව” යන්න නිර්වචනය කොට ඇත්තේ කෙසේ ද, තව ද එය ශුද්ධ ලියවිල්ලේ ඒකාන්ත අර්ථයකින් යොදා ඇත්තේ කෙසේ ද?
5 ප්‍රේමය කුමක් නොවේදැයි පාවුල් පවසන පළමු දෙය නම්, එය “ඊර්ෂ්‍යාවෙන්නේ නැත.” ඒ ගැන තරමක් පැහැදිලි කිරීම අවශ්‍ය ය, මක්නිසාදයත්, ඊර්ෂ්‍යාවට ඒකාන්ත හා නිෂේධාත්මක පැති තිබේ. එක් ශබ්දකෝෂයක්, “ඊර්ෂ්‍යාව” යන වචනය, “සම තැන් ගැනීම නොඉවසීම” ලෙස හා “තනි භක්තිය ඉල්ලා සිටීම” ලෙස නිර්වචනය කරයි. මේ අයුරින්, මෝසෙස්, නික්මයාම 34:14 හි මෙසේ සඳහන් කළේ ය: “ස්වයම් ගෞරව රක්ෂක නම්වූ [ඊර්ෂ්‍යාව නමැති NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ [ඊර්ෂ්‍යාවේ NW] දෙවිකෙනෙක් බැවින් නුඹ අන් දෙවිකෙනෙකුට නම්සකාර නොකළ යුතුය.” නික්මයාම 20:5, 6 හි යෙහෝවඃ වහන්සේ මෙසේ කියන සේක: “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW ] වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ [තනි භක්තිය ඉල්ලා සිටින්නා වූ NW] . . . දෙවිකෙනෙක්ය.” මේ හා සමාන අර්ථයකින්, ප්‍රේරිත පාවුල් ලීවේ මෙසේ ය: “දිව්‍යවූ ජ්වලිතයකින් [ඊර්ෂ්‍යාවකින් NW] නුඹලා ගැන මම ජ්වලිතව [ඊර්ෂ්‍යාවෙන් NW] සිටිමි.”—2 කොරින්ති 11:2.
6. ප්‍රේමය ඊර්ෂ්‍යා නොවීමට හේතුව පෙන්වන්නේ කිනම් ශුද්ධ ලියවිලි ආදර්ශයන් ද?
6 කෙසේ වුවද, සාමාන්‍යයෙන් ගත් කල, “ඊර්ෂ්‍යාවට” තිබෙන්නේ නරක ගුණාර්ථයකි, ගලාති 5:20 හි එය මාංසයේ ක්‍රියා සමඟ ලැයිස්තු ගත කර තිබෙන්නේ එම හේතුව නිසා ය. එසේ ය, එවන් ඊර්ෂ්‍යාවක්, ආත්මාර්ථකාමී ය, වෛරය බෝ කරන සුලු ය, තව ද වෛරය යනු ප්‍රේමයේ විරුද්ධ දෙය ය. තම සහෝදරයා වූ ආබෙල් ව මරා දමන තරමට වෛර කිරීමට ඊර්ෂ්‍යාව කායින් හට හේතු කර වූ අතර, යෝසෙප් ව මරා දැමීමට වුවමනා වීමට ඔහුගේ සහෝදරයින් විසින් ඔහුට වෛර කරන තරමට පත් කළේ ද ඊර්ෂ්‍යාවයි. ආහබ් රජ නුරුස්නා අයුරින් නාබොත්ගේ මිදි වත්තට ඊර්ෂ්‍යා කළාක් මෙන්, ප්‍රේමය අන්‍යයන්ගේ දේපොළ හෝ වාසි ප්රයෝජනවලට නුරුස්නා අයුරින් ඊර්ෂ්‍යා කරන්නේ නැත.—1 රාජාවලිය 21:1-19.
7. (අ) යෙහෝවඃ වහන්සේ පාරට්ටු කර ගැනීම ගැන අප්‍රසන්න වන බව පෙන්වන්නේ කිනම් සිද්ධිය ද? (ආ) ප්‍රේමය නොදැනුවත්කමින්වත් පාරට්ටු කර නොගන්නේ මන්ද?
7 ප්‍රේමය “පාරට්ටුකරගන්නේ නැත” යයි පාවුල් ඊළඟට අපට පවසයි. පාරට්ටු කර ගැනීම ප්‍රේමයේ ඌනතාවයක් පෙන්නුම් කරයි, මන්දයත් එය යමෙකු තමා ව අන්‍යයන්ගේ තත්ත්වයට වඩා ඉහළින් තැබීමට සලස්වන බැවිනි. යෙහෝවඃ වහන්සේ පාරට්ටු කරන්නන්ට ප්‍රසන්න නොවන සේක, නෙබුකද්නෙශර් රජ පාරට්ටු කර ගත් විට උන් වහන්සේ විසින් ඔහු ව පහත් කළ ආකාරයෙන් එය අපට දැකිය හැකි ය. (දානියෙල් 4:30-35) පාරට්ටු කර ගැනීම බොහෝ විට සිදුවන්නේ, යමෙක් තමා ඉටු කර ගෙන තිබෙන දේ හෝ තමාගේ දේපොළ ගැන ඕනෑවට වඩා රුචිකත්වයකින් සිටින නිසා, නොදැනුවත් ව ම පාහේ ය. ඇතමෙක්, තමන් ක්‍රිස්තියානි දේව සේවය තුළ ලබා තිබෙන සාර්ථකත්වය ගැන පාරට්ටු කර ගැනීමට නැඹුරු වී සිටිනවා විය හැකි ය. තවත් අය, අමෙරිකානු ඩොලර් 50,000ක් පමණ විටිනා නවීන මෝටර් රථයක් මිලට ගත් පසු, එය සැනෙකින් දුරකථනයෙන් තම මිතුරන් හට දැනුම් දීමට පෙලඹුණු වැඩිමහල්ලා මෙන් ය. මේ සියල්ල ම ප්‍රේමනීය දේවල් නොවේ, මක්නිසාදයත්, එය පාරට්ටු කර ගන්නා, ඔහුගේ සවන් දෙන්නාට වඩා උසස් කෙනෙක් බවට අදහසක් ඉදිරිපත් කරයි.
8. (අ) අහංකාරයෙන් ඉදිමී සිටින අය කෙරෙහි යෙහෝවඃ වහන්සේගේ ආකල්පය කුමක් ද? (ආ) ප්‍රේමය ඒ ආකාරයට නොහැසිරෙන්නේ මන්ද?
8 ඊළඟට ප්‍රේමය, “උඩඟුවන්නේ නැත [අහංකාරයෙන් ඉදිමෙන්නේ නැත NW]” යයි අපට පවසා තිබේ. අහංකාරයෙන් ඉදිමී සිටින නැතහොත් උඩඟු කෙනෙක්, තමා ව අන්‍යයන්ට වඩා උසස් කර තබයි. එවැනි මානසික ස්වභාවයක් බොහෝ සෙයින් අඥාන ය, මන්දයත්, “දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙන” බැවිනි. (යාකොබ් 4:6) ප්‍රේමය ක්‍රියාකරන්නේ හරියට ම ඊට පටහැනි ආකාරයටයි, එය අන්‍යයන් ව වඩා උතුම් ලෙස සලකයි. පාවුල් පිලිප්පි 2:2, 3 හි ලීවේ මෙසේ ය: “නුඹලා, එක ප්‍රේමය ඇතුව, එකඟව සිට, එක කාරණයම අභිප්‍රායකරගෙන එක්සිත්ව සිටීමෙන්, මාගේ ප්‍රීතිය සපුර්ණකරපල්ලා. පක්ෂවාදිකමෙන්වත් නිෂ්ඵල පාරට්ටුකාරකමෙන්වත් කිසි දෙයක් නොකොට, එකිනෙකා තම තමාට වඩා වෙන කෙනෙක් උතුමැයි යටහත්කමින් සිතාවා.” එවැනි ආකල්පයක් අන්‍යයන් හට පහසු බව හැඟීමට සලස්වයි, නමුත් උඩඟු පුද්ගලයෙක් කලහකාරි කෙනෙක් නිසා අන්‍යයන් ව අපහසුතාවයට පත් කරවයි.
9. ප්‍රේමය අශෝභන ලෙස නොහැසිරෙන්නේ මන්ද?
9 ප්‍රේමය “අශෝභනලෙස හැසිරෙන්නේ නැත” කියා පාවුල් තවදුරටත් පවසයි. “අශෝභන” යන වචනය “ගතිපැවතුම් හා සදාචාරයන්ට එරෙහි ව දැඩි සේ නොහොබිනා අයුරින් නැතහොත් පිළිකුල් සහගත ව” කටයුතු කිරීම යනුවෙන් ශබ්දකෝෂය නිර්වචනය කරයි. අශෝභන ලෙස (ප්‍රේමයෙන් තොර ව) හැසිරෙන යමෙක්, අන්‍යයන්ගේ හැඟීම් ගැන කිසිදු සැලකිල්ලක් නැත. බොහෝ බයිබල් අනුවාද, මෙම ග්‍රීක් වචනය පරිවර්තනය කරන්නේ “සැරපරුෂ” යනුවෙනි. එවැනි කෙනෙක්, නිසි දේ සහ හොඳ යයි සැලකෙන දෑ අවඥාවෙන් හෙලා දකී. සහතික ව ම, යමෙක් අන්‍යයන් කෙරෙහි ප්‍රේමනීය සැලකිල්ලක් දැක්වීම, අශික්ෂිත හෝ අශෝභන දේවල්, ඇතැම් විට අන්‍යයන් ව අමනාපයට හෝ කම්පනයට පත් කරවන දේවල් යන මේ සියල්ලෙන් පවා වැලකී සිටීම අදහස් කරනු ඇත.
ප්‍රේමය නොවන වෙනත් දේවල්
10. ප්‍රේමය තමාගේ ම කාරණා නොසොයන්නේ කිනම් අයුරින් ද?
10 ඊළඟට අප පෞද්ගලික ව කැමති දේ සහ අන්‍යයන් කැමති දේ අතර ප්‍රශ්නයක් පැන නගින විට ප්‍රේමය, “තමාගේම කාරණ සොයන්නේ නැත” යයි අපට පවසා තිබේ. ප්‍රේරිතවරයා තවත් තැනක මෙසේ සඳහන් කරයි: “කිසිවෙක් කිසිකලක තමාගේ ම මාංසයට වෛර කළේ නැත; නමුත් ඔහු එය පෝෂණය කර ආදරයෙන් රැක බලා ගනී.” (එපීස 5:29, NW) අප කැමති දේවල් අනෙක් අය කැමති දේවල් හා ගැටෙන විට, ඇරත් කිසිදු වෙන බයිබල් ප්‍රතිපත්තියක් ඇතුළත් නොවන විට, ආබ්‍රහම් ලොත් සම්බන්ධයෙන් කළාක් මෙන්, අනෙක් පුද්ගලයා කැමති දේට ප්‍රේමනීය අයුරින් අප මුල් තැන දිය යුතු ය.—උත්පත්ති 13:8-11.
11. ප්‍රේමය කෝප වන්නේ නැත කීමෙන් අදහස් කරන්නේ කුමක් ද?
11 තව ද, ප්‍රේමය, සැනෙකින් අමනාප වන්නේ නැත. එමනිසා, ප්‍රේමය “කෝපවන්නේ නැත” කියා පාවුල් අපට කියයි. එය දැඩි, කිසිවක් ගණනකට නොගන්නා ස්වභාවයකින් යුතුවා නොවේ. එය ආත්ම-දමනය ක්‍රියාවට නංවයි. විශේෂයෙන් ම, විවාහ වී සිටින අය, මෙම අවවාදය බැරෑරුම් ලෙස හෘදයට ගත යුතු අතර, එකිනෙකාට විරුද්ධ ව නොඉවසිලිවන්ත ලෙස උස් හඬින් කථා කිරීමෙන් හෝ එකිනෙකාට එරෙහි ව කෑ ගැසීමෙන් ප්‍රවේසම් විය යුතු ය. පහසුවෙන් කෝප විය හැකි තත්ත්වයන් තිබේ, මන්ද, තිමෝතිට මෙම උපදෙස දීමට අවශ්‍ය බව පාවුල්ට හැඟුණේ එහෙයිනි: “ස්වාමීන්වහන්සේගේ දාසයා ඩබර නොකර, සියල්ලන් කෙරෙහි ගුණවන්තවූ, උගන්වන්ට සමර්ථවූ, ඉවසිලිවන්තවූ කෙනෙක්ව සිට,”—එසේ ය, කෝප නොවී—‘විරුද්ධ ව සිටින්නන් හට මෘදුකමින් තරවටු කළ යුතු ය.’—2 තිමෝති 2:24-26.
12. (අ) කරන ලද වැරදි ගැන ප්‍රේමය ගණන් තබා නොගෙන සිටින්නේ කිනම් ආකාරයෙන් ද? (ආ) කරන ලද හිංසාවක් ගණන් තබා ගැනීම අඥාන දෙයක් වන්නේ මන්ද?
12 ප්‍රේමය යනු කුමක් නොවේදැයි පවසමින් පාවුල් තවදුරටත් මෙසේ උපදෙස් දෙයි: “ප්‍රේමය, . . . නපුර ගණන්ගන්නේ නැත [කළ හිංසාව ගැන ගණන් තබා ගන්නේ නැත NW]. මින් අදහස් කරන්නේ, ප්‍රේමය හිංසාවක් ගණන් නොගෙන සිටිනවා යන්න නොවේ. අපට බරපතළ ලෙස හිංසා කරනු ලැබ තිබේ නම් එම කාරණය හසුරුවන ආකාරය යේසුස් වහන්සේ පෙන්වූ සේක. (මතෙව් 18:15-17) එහෙත්, දිගට ම නුරුස්නා බව දැක්වීමට හෝ අමනාපය පැසවමින් තබා ගැනීමට ප්‍රේමය අපට ඉඩ නොදෙයි. නපුර ගණන් ගන්නේ නැත යන්නෙන් අදහස් කරන්නේ, යම් කාරණයක් ශුද්ධ ලියවිලිමය ආකාරයෙන් වරෙක හසුරුවා ගත් පසු, ඊට සමාව දී, එය අමතක කිරීමයි. එසේ ය, ඔබට කරන ලද හිංසාවක් ගණන් තබා ගනිමින් ඒ ගැන යළි යළිත් සිත සිතා ඔබ ව දුක්ඛිත තත්ත්වයකට පත්කරමින් ඔබට ම වධ හිංසා පමුණුවා නොගන්න!
13. අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති නොවීම කීමෙන් අදහස් කරන්නේ කුමක් ද, තව ද ප්‍රේමය එසේ නොකරන්නේ මන්ද?
13 එපමණකුදු නොව, ප්‍රේමය ‘අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති නොවන’ බව අපට පවසා තිබේ. මෙම ලෝකය අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති වෙයි, ප්‍රචණ්ඩකාරී සහ කාමුක පොත් පත්, චිත්‍රපටි සහ රූපවාහිනි වැඩසටහන්වල ජනප්‍රියත්වයෙන් මෙය අපට දැකිය හැකි ය. දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්ති කෙරෙහි හෝ අන්‍යයන්ගේ සුභසාධනය කෙරෙහි කිසිදු තැකීමකින් තොර වූ එවන් ප්‍රීති ප්රමෝදයන් ආත්මාර්ථකාමී මාංසය සඳහා වැපිරීමක් වන අතර, නියමිත කාලයේ දී මාංසයේ කුණුවීම කපාගනු ලැබේ.—ගලාති 6:8.
14. ප්‍රේමය කිසි විටෙකත් පහ නොවන බව නිසැක ව ම පැවසිය හැක්කේ මන්ද?
14 දැන් ප්‍රේමයට සිදු නොවන අවසාන දෙය මෙයයි: “ප්‍රේමය කිසිකලක පහවන්නේ නැත.” එක් දෙයක් නම්, ප්‍රේමය කිසිකලක පහවන්නේ හෝ අවසාන වන්නේ නැත්තේ මක්නිසාදයත්, දෙවියන් වහන්සේ ප්‍රේමය ය, තව ද උන් වහන්සේ වනාහි “සදාකාල රජ්ජුරුවන්වහන්සේ,” බැවිනි. (1 තිමෝති 1:17) රෝම 8:38, 39 හි, අප සඳහා වූ යෙහෝවඃ වහන්සේගේ ප්‍රේමය කිසිකලක පහනොවන බව අපට සහතික කොට තිබේ: “මරණයටවත්, ජීවනයටවත්, දූතයන්ටවත්, අධිපතිකම්වලටවත්, දැන් පවතින දේවලටවත්, මතු පැමිණෙන දේවලටවත්, පරාක්‍රමවලටවත්, උසටවත්, ගැඹුරටවත්, අන් කිසි මැවිල්ලකටවත්, අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇත්තාවූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අප වෙන්කරන්ට නොහැකිවන්නේ යයි ඒකාන්තයෙන්ම දනිමි.” තව ද, ප්‍රේමය කිසි කලක පහවන්නේ නැත්තේ, එහි ඌනතාවයක් ඒ තුළ කිසිවිටෙකත් හට නොගන්නා හෙයිනි. ඕනෑ ම අවස්ථාවකට අනුව හැඩ ගැසීමටත්, ඕනෑ ම අභියෝගයකට මුහුණ දී ජය ගැනීමටත් ප්‍රේමය සමත් වෙයි.
ප්‍රේමය කුමක් ද යන වග
15. පාවුල්, ප්‍රේමයේ ඒකාන්ත අංගයන් අතර බොහෝ-ඉවසීම පළමු තැනට තබන්නේ ඇයි?
15 දැන් ප්‍රේමයේ ඒකාන්ත පැත්තට පැමිණෙමින්, ප්‍රේමය යනු කුමක් ද කියා පාවුල් මෙසේ ආරම්භ කරයි: “ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය.” බොහෝ ඉවසීමෙන් තොර ව, එනම් එකිනෙකා ව ඉවසිලිවන්ත ව දරාගෙන සිටීමකින් තොර ව ක්‍රිස්තියානි ඇසුරක් කියා දෙයක් තබා ගත නොහැකි බවට පවසා තිබේ. ඒ මන්දයත්, අප සියල්ලන් ම අසම්පූර්ණ ය, එමෙන් ම අපගේ අසම්පූර්ණකම් හා අඩුලුහුඬුකම් අන්‍යයන් ව පරීක්ෂාවට ලක් කරන බැවිනි. ප්‍රේරිත පාවුල් විසින් ප්‍රේමය කුමක් ද කියා පවසන විට මෙම අංගය පළමු තැනට දැමීම ගැන පුදුම වෙන්නට දෙයක් නැත!
16. පවුලක සාමාජිකයින්ට එකිනෙකා කෙරෙහි කරුණාව පෙන්විය හැක්කේ කිනම් ආකාරවලින් ද?
16 ප්‍රේමය “කරුණාවන්තය” කියා ද පාවුල් ප්‍රකාශ කරයි. එනම් ප්‍රේමය අන්‍යයන්ට උපකාර කිරීමට, ඔවුන් ව සිතේ තබාගෙන කටයුතු කිරීමට, ඔවුන් ගැන සැලකිලිමත්වීමට වගබලා ගන්නා බව ය. කරුණාවන්තකම කුඩා දේවල දී ද ලොකු දේවල දී ද දිස් වෙයි. අනුග්රහශීලී සමාරිතානුවරයා සහතික ව ම සොරුන් විසින් කොල්ලකනු ලැබූ මිනිසාට කරුණාව දක්වමින් සිටියේ ය. (ලූක් 10:30-37) “කරුණාකර” යයි පැවසීමෙහි ලා ප්‍රේමය සතුටු වෙයි. කෑම මේසයේ දී “බත් එවන්න” යයි කිම, අණ කිරීමකි. ඊට පෙර “කරුණාකර” යයි කියන විට ඉන් අදහස් කරන්නේ ආයාචනයක් කරන බව ය. ස්වාමිපුරුෂයන් 1 පේතෘස් 3:7 හි සඳහන් උපදෙසට අවනත වන විට ඔවුහු තම භාර්යාවන්ට කරුණාව දක්වති: “පුරුෂයෙනි, නුඹලාගේ යාච්ඤාවලට බාධා නොපැමිණෙන පිණිස, වඩා දුර්වල භාජනවූ භාර්ය්යාවන් සමග දැනගැන්මේ හැටියට වාසය කරමින්, ඔවුන් ජීවනයේ අනුග්‍රහයට හවුල් උරුමක්කාරියන් බැවින් ඔවුන්ට ගෞරව දීපල්ලා.” භාර්යාවන් තම පුරුෂයන්ට “ගැඹුරු ගෞරවය” පෙන්වන විට ඔවුහු කරුණාවන්ත අය වෙති. (එපීස 5:33, NW) එපීස 6:4 හි සඳහන් උපදෙස අනුගමනය කරන පියවරු තම දරුවනට කාරුණික අය වෙති: “පියවරුනි, නුඹලාගේ දරුවන්ට කෝප නූපදවා, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] හික්මවීමෙන්ද අවවාදයෙන්ද [මානසික ශික්ෂණයෙන් ද NW] ඔවුන් ඇතිකරපල්ලා.”
17. ප්‍රේමය සත්‍යය සමඟ ප්‍රීති වන ආකාර දෙකක් කවරේ ද?
17 ප්‍රේමය අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති නොවන නමුත් “සෑබෑව සමග ප්‍රීතිවන්නේය.” ප්‍රේමය සහ සත්‍යය එක් ව අත්වැල් බැඳගෙන ගමන් කරයි—දෙවියන් වහන්සේ ප්‍රේමය ය, ඒ අතර ම, උන් වහන්සේ ‘සැබෑකමේ දෙවියන් වහන්සේ ය.’ (ගීතාවලිය 31:5) සත්‍යය ජය ලබමින් බොරුව හෙළි කරන කල ප්‍රේමය ඒ ගැන ප්‍රීති වෙයි; අද දින යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයින්ගේ සංඛ්‍යාව ගණනින් මහත් සේ වැඩි වීමට යම් ප්‍රමාණයකින් දායක වී තිබෙන්නේ මෙයයි. කෙසේ වුවද, සත්‍යය අධර්මිෂ්ඨකමට විරුද්ධ ව තිබෙන හෙයින්, ඉන් අදහස් කරන දෙය නම් ප්‍රේමය ධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති වන බව විය හැක. මහා බබිලෝනිය වැටී යන විට ඒ ගැන ප්‍රීතිමත් වන මෙන් යෙහෝවඃ වහන්සේගේ නමස්කාරකයින්ට අණ කරනු ලැබ ඇතිවාක් මෙන්, ධර්මිෂ්ඨකම ජය ලබන විට ප්‍රේමය ඒ හා සමඟ ප්‍රීති වෙයි.—එළිදරව් 18:20.
18. ප්‍රේමය සියල්ල දරාගන්නේ කිනම් අර්ථයෙන් ද?
18 ප්‍රේමය “සියල්ල දරාගන්නේය” යනුවෙන් ද පාවුල් අපට පවසයි. කිංඩම් ඉන්ටර්ලීනියර් පෙන්නුම් කරන්නාක් මෙන්, මෙහි මූලික අදහස නම්, ප්‍රේමය සියලු දේ වසාලන බව ය. එය, දුෂ්ටයන් විසින් කිරීමට නැඹුරු වන්නාක් මෙන්, සහෝදරයෙකුගේ ‘වැරදි ගැන කථා කිරීමට’ පෙලඹෙන්නේ නැත. (ගීතාවලිය 50:20; හිතෝපදේශ 10:12; 17:9) එසේ ය, මෙම අදහස ම 1 පේතෘස් 4:8 හි තිබෙන අදහසට සමාන ය: ‘ප්‍රේමය පව් රාශියක් වසන්නේ ය.’ ඇත්ත වශයෙන් ම, පක්ෂපාතකම, යෙහෝවඃ වහන්සේට හා ක්‍රිස්තියානි සභාවට විරුද්ධ ව කරන ලද බරපතළ පව් වසාලීමෙන් යමෙකු ව වළක්වාලයි.
19. ප්‍රේමය සියල්ල විශ්වාස කරන්නේ කෙබඳු ආකාරයකින් ද?
19 ප්‍රේමය, “සියල්ල විශ්වාසකරන්නේය.” ප්‍රේමය වනාහි ඒකාන්ත ය, නිෂේධාත්මක නොවේ. මින් අදහස් කරන්නේ ප්‍රේමය පහසුවෙන් රැවටෙන යමක් කියා නොවේ. හැඟීම්වලට බර වී පවසන දේවල් විශ්වාස කිරීමට එය ඉක්මන් නොවෙයි. එහෙත්, යමෙක් දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල තැබීමට නම්, විශ්වාස කිරීමට ඔහුට අධිෂ්ඨානයක් තිබිය යුතු ය. එමනිසා, ප්‍රේමය සැක කරන්නේ නැත, අනවශ්‍ය ලෙස විවේචනය කරන්නේ ද නැත. එය දෙවි කෙනෙක් නැත කියා අගති සහිත ලෙස පවසන අදේව වාදීන් මෙන් විශ්වාස කිරීමට එරෙහි ව සිටින්නේවත්, අප පැමිණියේ කොහෙන් ද, අප මෙහි සිටින්නේ මන්ද සහ අනාගතය කුමන ආකාරයේ එකක් වේවි ද යන්න ලෙහෙසියෙන් දැනගැනීමට නොහැකි බවට තම මතයෙහි ම එල්බගෙන සිටින ස්ථිර ලෙස ප්‍රකාශ කරන ආඥේය වාදීන් මෙන් වත් නොවේ. මේ සියලු දේවල් සම්බන්ධ සහතිකයක් දේව වචනය අපට දෙයි. ප්‍රේමය විශ්වාස කිරීමට සූදානම් ව සිටී, මක්නිසා ද එය විශ්වාස කරන සුලු ය, අනවශ්‍ය ලෙස සැක කරන්නේ ද නැති බැවිනි.
20. ප්‍රේමය බලාපොරොත්තුව සමඟ සම්බන්ධ වී ඇත්තේ කෙසේ ද?
20 ප්‍රේමය “සියල්ල බලාපොරොත්තුවන්නේය” යයි ප්‍රේරිත පාවුල් තවදුරටත් අපට සහතික කරයි. ප්‍රේමය නිෂේධාත්මක නොව, ඒකාන්ත දෙයක් නිසා, දේව වචනයේ පොරොන්දු වී ඇති සියලු දේ කෙරෙහි ස්ථිර බලාපොරොත්තුවක් එයට ඇත. අපට මෙසේ පවසා තිබේ: ‘හාන්නා බලාපොරොත්තුවෙන් හාන්ට ඕනෑ ය, පාගන්නා කොටස බලාපොරොත්තුවෙන් පාගන්ට ඕනෑ ය.’ (1 කොරින්ති 9:10) ප්‍රේමය විශ්වාසකටයුතුවාක් මෙන් ම, එය බලාපොරොත්තු සහිත ය, සෑම විට ම හොඳම දේ බලාපොරොත්තු වෙයි.
21. ප්‍රේමය විඳදරා ගන්නා බවට තිබෙන ශුද්ධ ලියවිලිමය සහතිකය කුමක් ද?
21 අවසන් වශයෙන්, ප්‍රේමය “සියල්ල [විඳ]දරාගන්නේය” යයි අපට සහතික කොට කියා තිබේ. ප්‍රේරිත පාවුල් 1 කොරින්ති 10:13 හි පවසා තිබෙන දෙය නිසා එයට එසේ කළ හැක: “මනුෂ්‍යයා විසින් ඉසිලිය හැකි පරීක්ෂාවක් මිස අනිකක් නුඹලාට පැමුණුණේ නැත. නුමුත් දෙවියන්වහන්සේ විශ්වාස කෙනෙක්ය. උන්වහන්සේ නුඹලාගේ පුළුවන්කමට වඩා නුඹලා පරීක්ෂාකරනු ලබන්ට ඉඩ නොදී, නුඹලාට පරීක්ෂාව ඉවසිය [විඳ දරාගත NW] හැකිවන පිණිස ඒ සමඟ ගැළවෙන මාර්ගයද සාදාදෙන සේක.” ශුද්ධ ලියවිල්ලේ සඳහන් වන, විඳදරා ගෙන ඇති, දෙවියන් වහන්සේගේ සේවකයින්ගේ බොහෝ ආදර්ශයන් දෙස බැලීමට ප්‍රේමය අප හට හේතු කරවන අතර, හෙබ්‍රෙව් 12:2, 3 හි අපට සිහි කොට ඇති ලෙස මේ අතරින් ප්‍රධානියා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ය.
22. දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන්, අප සෑම විට ම විදහා පෑමට උනන්දුවිය යුත්තේ කිනම් අති විශිෂ්ට වූ ගුණාංගය ද?
22 ඇත්තෙන් ම, ප්‍රේමය (අ·ගාʹපේ) යනු අප, ක්‍රිස්තියානින් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් හැටියට, එය කුමක් ද සහ කුමක් නොවේ ද යන කාරණා සම්බන්ධයෙන් වගා කළ යුතු අති විශිෂ්ට ගුණාංගය වෙයි. දෙවියන් වහන්සේගේ දරුවන් වශයෙන්, උන් වහන්සේගේ ආත්මයේ මෙම ඵලය විදහා පෑමෙහි ලා අපි සෑම විට ම සැලකිලිමත් වෙමු. එසේ කිරීම, දෙවියන් වහන්සේට සමාන වීම බඳු ය, මන්ද, මතක තබාගන්න, “දෙවියන්වහන්සේ ප්‍රේමය” වන බැවිනි.
ඔබට මතක ද?
◻ ප්‍රේමයේ අති විශිෂ්ටත්වය ගැන යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සහ පාවුල් පෙන්නුම් කළේ කෙසේ ද?
◻ ප්‍රේමය ඊර්ෂ්‍යා සහගත නොවන්නේ කිනම් අර්ථයෙන් ද?
◻ ප්‍රේමය ‘සියලු දේවල් දරාගන්නේ’ කෙසේ ද?
◻ ප්‍රේමය කිසිකලෙක පහවන්නේ නැති බව කිව හැක්කේ ඇයි?
◻ ප්‍රේමය සත්‍යය සමඟ ප්‍රීති වන්නේ කිනම් ආකාර දෙකෙන් ද?
[21වන පිටුවේ කොටුව]
ප්‍රේමය (අගාපේ)
එය කුමක් නොවේ ද එය කුමක් වේ ද
1. ඊර්ෂ්‍යා සහගත නොවේ 1. බොහෝ ඉවසිලිවන්ත ය
2. පාරට්ටු කර ගන්නේ නැත 2. කරුණාවන්ත ය
3. අහංකාරයෙන් ඉදිමෙන්නේ නැත 3. සත්‍යය සමඟ ප්‍රීති වෙයි
4. අශෝභන ලෙස හැසිරෙන්නේ නැත 4. සියලු දේ දරාගනී
5. තමාගේ ම කාරණා ගැන නොසොයයි 5. සියලු දේ විශ්වාස කරයි
6. කෝප නොවෙයි 6. සියලු දේ කෙරෙහි බලාපොරොත්තු වෙයි
7. කළ වැරදි ගැන ගණන් තබා නොගනී 7. සියලු දේ විඳදරා ගනී
8. අධර්මිෂ්ඨකම සමඟ ප්‍රීති නොවෙයි
9. කිසිවිටෙකත් පහ වන්නේ නැත
[18වන පිටුවේ පින්තූර]
පාරට්ටු කර ගැනීම සම්බන්ධයෙන් යෙහෝවඃ වහන්සේ නෙබුකද්නෙශර් ව පහත් කළ සේක