ශ්‍රේෂ්ඨතම නාමයේ අභිරහස නිරවුල් කිරීම
මුස්ලිම් කුරානයත් ක්‍රිස්තියානි බයිබලයත් යන දෙක ම ශ්‍රේෂ්ඨතම නාමයට යොමු දැක්වීම සිත් ගන්නා දෙයකි. මෙම සාකච්ඡාව ශ්‍රේෂ්ඨතම නාමයේ අර්ථය හා වැදගත්කම පැහැදිලි කරයි. එය වැඩිදුරටත් එම නාමය සියලු මනුෂ්‍ය වර්ගයාට හා මෙහි පොළොව මත අපගේ අනාගතයට බලපාන ආකාරයත් පෙන්වයි.
මිලියන ගණන් පුරුෂයන් හා ස්ත්‍රීන් මෙම පොළොව මත ජීවත් වී මිය ගොස් ඇත. බොහෝ අවස්ථාවන්හි ඔවුන්ගේ නාමයන් ඔවුන් සමඟ ම මිය ගොස් ඇති අතර ඔවුන් පිළිබඳ ව මතක සටහන් අතුරුදහන් වී ඇත. එහෙත්—ඇවසෙනා, එඩිසන්, පාස්ච, බේතෝවන්, ගාන්ධි හා නිව්ටන් වැනි—ඇතැම් ශ්‍රේෂ්ඨ නාමයන්, තවදුරටත් ජීවමාන ව පවතී. මෙම නාමයන් ඒවා දැරූ අයගේ අත්කර ගැනීම්, සොයා ගැනීම් හා නිෂ්පාදන හා සම්බන්ධ ව පවතී.
කෙසේ වෙතත්, අන් සියලු නාමයන්ට වඩා ශ්‍රේෂ්ඨ නාමයක් ඇත. මුළු විශ්වයේ අතීත හා වර්තමාන ආශ්චර්යයන් සියල්ල ඊට සම්බන්ධකමක් දක්වයි. ඒ මන්දයත්, දීර්ඝ හා සන්තෝෂවත් ජීවිතයක් සඳහා වූ මනුෂ්‍ය වර්ගයාගේ බලාපොරොත්තුව සම්බන්ධ වී ඇත්තේ ද මෙම නාමය සමඟයි!
මෙම නාමය දැනගන්නට බොහෝ දෙනෙකුට උවමනා වී ඇත. ඔවුන් එය සොයා ඒ පිළිබඳ ව විමසා ඇතත්, ඔවුන්ට එය සම්බ වී නැත. ඔවුන් හට එය අභිරහසක් ව තිබී ඇත. ඇත්ත වශයෙන් ම, මෙම නාමයේ අයිතිකරු එය අනාවරණය නොකරන්නේ නම්, මෙම නාමය සොයා ගන්නට කිසිවෙකුට නොහැකි ය. මෙම අද්විතීය නාමයේ අභිරහස නිරවුල් කර තිබීම සතුටට කරුණකි. තමන් කෙරෙහි විශ්වාසය තබන අය තමන් ගැන දැනගන්නා පිණිස මෙය කර ඇත්තේ දෙවියන් වහන්සේ ම ය. උන් වහන්සේ ස්වකීය නාමය ආදම්ටත්, අනතුරුව ආබ්‍රහම්ට, මෝසෙස්ට හා අතීතයේ විසූ උන් වහන්සේගේ වෙනත් ඇදහිලිවන්ත සේවකයන්ටත් එළිදරව් කළ සේක.
ශ්‍රේෂ්ඨතම නාමය සොයා
“ශුද්ධ ලියවිලි මනාව දැන සිටි” යමෙක් ගැන කුරානය නම් ලියවිල්ල පවසයි. (27:40) මෙම වගන්තිය පැහැදිලි කිරීමෙහි ලා, ටෆ්සීර් සහාලාල්යන් නම් විවරණයක් මෙසේ පවසයි: “බාකියාගේ පුත්‍ර වූ ආසාෆ් ධර්මිෂ්ඨ මනුෂ්‍යයෙක් විය. ඔහු දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම නාමය දැන සිටි අතර, ඔහු එය ඇමතූ ඕනෑ ම අවස්ථාවක, ඔහුට පිළිතුරු දෙනු ලැබී ය. ගීතාවලිය 83:17 හි මෙසේ පැවසූ බයිබල් ලේඛක ආසාප් ව, මෙය අපට සිහිපත් කරයි: “යෙහෝවා නම්වූ ඔබ පමණක් මුළු පොළොවට මහෝත්තමයාණන් බව ඔවුන් දැනගන්නා පිණිස.”
කුරානය 17:2 හි අපට මෙසේ කියවන්නට ඇත: “අපි මෝසෙස්ට ශුද්ධ ලියවිලි දී, ඒවා ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්වීමක් කළෙමු.” එම ශුද්ධ ලියවිලිවල, මෝසෙස් දෙවියන් වහන්සේ අමතා, “මා ඉශ්රායෙල් පුත්‍රයන් වෙතට පැමිණ—නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි ඔවුන්ට කී කල්හි: උන්වහන්සේගේ නාමය කිමෙක්දැයි ඔවුන් මාගෙන් අසන විට ඔවුන්ට කුමක් කියන්නෙම්දැයි” ඇසී ය. “ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේද ඊසාක්ගේ දෙවියන්වහන්සේද යාකොබ්ගේ දෙවියන්වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] නුඹලා වෙතට මා එවූ සේකැයි ඉශ්රායෙල් පුත්‍රයන්ට කියාපන්න, මෙය සියලු පරම්පරාවන්ට මාගේ සංඥා නාමයය” කියමින් දෙවියන් වහන්සේ මෝසෙස්ට පිළිතුරු දුන් සේක.—නික්මයාම 3:13, 15.
පුරාතන කාලයේ, ඊශ්‍රායෙලිතයෝ දෙවියන් වහන්සේගේ මෙම ශ්‍රේෂ්ඨ නාමය දැන සිටියහ. එය ඔවුන්ගේ ම නාමයන්හි කොටසක් හැටියට පවා භාවිතා කරනු ලැබී ය. “දෙවියන් වහන්සේගේ සේවකයා” යන අර්ථය ඇති අබ්දුල්ලා යන නාමය දැන් කෙනෙකුට තිබෙන්නාක් මෙන්, පුරාතන ඊශ්‍රායෙලිතයන් අතර “යෙහෝවඃ වහන්සේගේ සේවකයා” යන අර්ථය ඇති ඔබදියා යන නාමය තිබුණි. දිවැස්වර මෝසෙස්ගේ මවගේ නාමය යොඛෙබෙද් වූ අතර එය “යෙහෝවඃ වහන්සේ වනාහි තේජසය” යයි අදහස් කරන්නට ඇත. යොහන් යන නාමය “යෙහෝවඃ වහන්සේ දයාන්විත වී ඇත” යන්න අදහස් කරයි. තව ද දිවැස්වර එලියාගේ නාමය “යෙහෝවඃ වහන්සේ මාගේ දෙවියන් වහන්සේ ය” යන්න අදහස් කරයි.
මෙම දිවැස්වරුන් මෙම ශ්‍රේෂ්ඨ නාමය දැන සිටි අතර එය භාවිතා කළේ ගැඹුරු ගෞරවයකින් යුක්ත ව ය. ශුද්ධ ලියවිල්ලේ 7,000කට වැඩි වාර ගණනක එය දක්නට ලැබේ. මරියාගේ පුත්‍ර වූ, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ, දෙවියන් වහන්සේට කළ තම යාච්ඤාව තුළ මෙසේ පැවසූ විට, එය ගෙනහැර දැක්වූ සේක: “ඔබ . . . මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශකෙළෙමි. . . . ඔබ මා කෙරෙහි ඇතුව සිටි ප්‍රේමය ඔවුන් තුළෙහිද මාත් ඔවුන් තුළෙහිද වන පිණිස ඔබගේ නාමය ඔවුන්ට දැන්වීමි, තවත් දන්වන්නෙමි.” (යොහන් 17:6, 26) කුරානය පිළිබඳ බයිඩාවීගේ සුප්‍රකට විස්තර විවරණය තුළ, කුරාන් 2:87, සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ “මළවුන් ව යළි ප්‍රාණවත් කිරීමට” යේසුස් වහන්සේ “දෙවියන් වහන්සේගේ ශ්‍රේෂ්ඨතම නාමය” භාවිතා කළ බව ය.
එසේ නම්, එම නාමය අභිරහසක් බවට පත් කරන්නට කුමක් සිදු වී ද? අප එකිනෙකාගේ අනාගතයට එම නාමය සම්බන්ධ වී තිබෙන්නේ කෙසේ ද?
එම නාමය අභිරහසක් වූයේ කෙසේ ද?
“යෙහෝවඃ” යන වදන හෙබ්‍රෙව් බසින් අදහස් කරන්නේ “අල්ලා” (දෙවියන් වහන්සේ) යයි සමහරෙක් කල්පනා කරති. එහෙත් “අල්ලා” යන වදන ’එලො·හිම්ʹ යන හෙබ්‍රෙව් වදනට අනුරූප වන අතර, මෙය ’එලොහ්ʹආහ්ʹ (දෙවියන් වහන්සේ) වන වදනේ ගෞරවාර්ථ බහු වචනය වන්නේ ය. යුදෙව්වන් අතර මිථ්‍යා විශ්වාසයක් පැන නැගුන අතර මෙය යෙහෝවඃ යන දිව්‍ය නාමය උච්චාරණය කිරීමෙන් ඔවුන් ව වැළැක්වී ය. එබැවින්, ඔවුන් ශුද්ධ ලියවිල්ල කියවමින් සිටිය දී යෙහෝවඃ යන නාමය දුටු විට, “ස්වාමීන් වහන්සේ” යන්න අදහස් කරන්නා වූ, ’අඪෝ·නයිʹ යයි කීම ඔවුන්ගේ චාරිත්‍රය බවට පත් විය. ඇතැම් ස්ථානවල ඔවුහු මුල් හෙබ්‍රෙව් ලියවිල්ලේ පාඨය “යෙහෝවඃ” සිට ’අඪෝ·නයිʹ දක්වා පවා වෙනස් කළහ.
ක්‍රිස්තියානි ලෝකයේ ආගමික නායකයෝ ද එම ක්‍රියා මාර්ගය ම අනුගමනය කළහ. ඔවුහු යෙහෝවඃ යන නාමය “දෙවියන්වහන්සේ” (අරාබි බසින් “අල්ලා”) හා “ස්වාමීන්වහන්සේ” යන වදන්වලින් අනුයුක්ත කළහ. එය ත්‍රිත්වයේ බොරු ධර්ම ඉගැන්වීමේ වර්ධනයට දායක වූ අතර මේ සඳහා ශුද්ධ ලියවිල්ලේ කිසිඳු පදනමක් නැත. මේනිසා, මිලියන සංඛ්‍යාත අය යේසුස් වහන්සේට හා ශුද්ධාත්මයට වැරදි සහගත ව නමස්කාරය පුදන අතර යේසුස් වහන්සේ හා ශුද්ධාත්මය දෙවියන් වහන්සේට සමාන බව සලකති.a
එබැවින්, යුදෙව් ධර්මයේ හා ක්‍රිස්තියානි ලෝකයේ නායකයන් ශ්‍රේෂ්ඨතම නාමය සම්බන්ධයෙන් පැතිර පවත්නා නොදැනුවත්කම සඳහා වගකිව යුතු ය. එහෙත් දෙවියන් වහන්සේ මෙසේ පුරෝකථනය කළ සේක: “මාගේ මහත් නාමය විශුත්ටධකරන්නෙමි; ජාතීන් . . . මා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] බව . . . දැනගන්නවා ඇත.” එසේ ය, යෙහෝවඃ වහන්සේ සියලු ජාතීන් අතර තමන් වහන්සේගේ නාමය ප්‍රචලිත කරනු ඇත. ඒ මක්නිසා ද? හේතුව උන් වහන්සේ හුදෙක් යුදෙව්වන්ගේ නැතහොත් වෙනත් ඕනෑ ම පුද්ගලයෙක් හෝ ජාතියකගේ දෙවියන් වහන්සේ නොවීම ය. යෙහෝවඃ වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයාගේ දෙවියන් වහන්සේ ය.—එසකියෙල් 36:23; උත්පත්ති 22:18; ගීතාවලිය 145:21; මලාකී 1:11.
ශ්‍රේෂ්ඨතම නාමය හා අපගේ අනාගතය
“ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃ වහන්සේගේ NW] නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය” යයි ශුද්ධ ලියවිලි පවසයි. (රෝම 10:13) විනිශ්චය දවසේ අපගේ ගැලවීම, දෙවියන් වහන්සේගේ නාමය අප දැන සිටීම හා සම්බන්ධ වී පවතිනු ඇත. උන් වහන්සේගේ ගුණාංග, ක්‍රියාවන් හා අරමුණු දැන සිටීමත් උන් වහන්සේගේ උසස් ප්‍රතිපත්තිවලට එකඟ ව ජීවත්වීමත් උන් වහන්සේගේ නාමය දැන සිටීමට ඇතුළත් වේ. උදාහරණයක් වශයෙන්, ආබ්‍රහම් දෙවියන් වහන්සේගේ නාමය දැන සිටි අතර එම නාමය ඇමතී ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔහු දෙවියන් වහන්සේ සමඟ හොඳ සම්බන්ධතාවයක් භුක්ති විඳ, උන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල පෙන්වා, උන් වහන්සේ කෙරෙහි රඳා සිට, උන් වහන්සේට කීකරු වූයේ ය. ආබ්‍රහම් එසේ දෙවියන් වහන්සේගේ මිත්‍රයා බවට පත් විය. ඒ හා සමාන ව, දෙවියන් වහන්සේගේ නාමය දැන සිටීම අප ව උන් වහන්සේ වෙතට සමීප කරවන අතර උන් වහන්සේගේ ප්‍රේමයට තදින් ඇලී සිට උන් වහන්සේ සමඟ පුද්ගලික සම්බන්ධතාවයක් වර්ධනය කර ගැනීමට අපට උපකාර කරයි.—උත්පත්ති 12:8; ගීතාවලිය 9:10; හිතෝපදේශ 18:10; යාකොබ් 2:23.
“ස්වාමීන්වහන්සේද [යෙහෝවඃ වහන්සේ ද NW] කන්දී ඇසූසේක, එවිට ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] කෙරෙහි භය ඇත්තාවූ, උන්වහන්සේගේ නාමය සැලකුවාවූ අය ගැන උන්වහන්සේ ඉදිරියෙහි සිහිවීමේ පොතක් ලියනලද්දේය” කියා බයිබලයේ අපට කියවන්නට ඇත. (මලාකී 3:16) අප ශ්‍රේෂ්ඨතම නාමය ‘සැලකිය යුත්තේ’ මන්ද? යෙහෝවඃ යන නාමය වචනාර්ථයෙන් “උන් වහන්සේ සිදු වීමට සලස්වන සේක” යයි අදහස් කරයි. මෙය යෙහෝවඃ වහන්සේ ව අනාවරණය කරනුයේ පොරොන්දු ඉටු කරන්නා වීමට තමන් ව ම සලස්වන තැනැත්තා හැටියට ය. උන් වහන්සේ සැමවිට ම ස්වකීය අරමුණු සැබෑ ආකාරයෙන් තේරුම් ගැනීමට සලස්වන සේක. උන් වහන්සේ සර්ව බලධාරි දෙවියන් වහන්සේ ය, සියලු මාහැඟි ගුණාංග ඇත්තා වූ, එක ම මැවුම්කරුවාණෝ ය. දෙවියන් වහන්සේගේ දිව්‍ය ස්වභාවය සම්පූර්ණයෙන් ම විස්තර කළ හැකි තනි වචනයක් නැත. එහෙත් දෙවියන් වහන්සේ තමන්ට ශ්‍රේෂ්ඨතම නාමය—එනම් යෙහෝවඃ—තෝරාගෙන ඇති අතර, එය උන් වහන්සේගේ සියලු ගුණාංග, ගතිගුණ හා අරමුණු සිහිපත් කරවයි.
මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇති ස්වකීය අරමුණු ශුද්ධ ලියවිල්ල තුළින් දෙවියන් වහන්සේ අපට පවසන සේක. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වේ පාරාදීසයක සදාකාලික, සන්තෝෂවත් ජීවිතයක් භුක්ති විඳින්නට ය. මනුෂ්‍ය වර්ගයා සම්බන්ධ උන් වහන්සේගේ කැමැත්ත නම්, සියලු මනුෂ්‍යයන් ප්‍රේමයෙන් හා සමාදානයෙන් එක්සත් වූ, එක පවුලක් බවට සකස්විය යුතු බව ය. ප්‍රේමයේ දෙවියන් වහන්සේ නුදුරු අනාගතයේ දී මෙම අරමුණ ඉෂ්ට කරනු ඇත.—මතෙව් 24:3-14, 32-42; 1 යොහන් 4:14-21.
මනුෂ්‍ය වර්ගයාගේ වේදනාවන් සඳහා හේතුව දෙවියන් වහන්සේ පැහැදිලි කරන අතර, ගැලවීමට හැකියාවක් ඇතැයි පෙන්වන සේක. (එළිදරව් 21:4) “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය” යයි ගීතාවලිය 37:10, 11 හි අපට කියවන්නට ඇත.—කුරානය 21:105 ද බලන්න.
එසේ ය, දෙවියන් වහන්සේ ස්වකීය ශ්‍රේෂ්ඨ නාමයෙන් හඳුන්වනු ලබනවා ඇත. උන් වහන්සේ යෙහෝවඃ වහන්සේ බව ජාතීන් දැන ගත යුතු ය. ශ්‍රේෂ්ඨතම නාමය දැන සිටීම, ඊට සාක්ෂි දැරීම හා ඒ කෙරෙහි පක්ෂපාත ව කටයුතු කිරීම කොතරම් පුදුමාකාර වරප්‍රසාදයක් ද! එයාකාරයෙන්, දෙවියන් වහන්සේගේ ප්‍රීතිමත් අරමුණ අප සෑම කෙනෙක් තුළ ම ඉෂ්ට කරනු ලබනවා ඇත: “ඔහු මා කෙරෙහි ඇලුම්වූ බැවින් ඔහු මුදාහරින්නෙමි. මාගේ නාමය දැන සිටින බැවින් ඔහු උසස්කරන්නෙමි [ආරක්ෂා කරන්නෙමි NW]. ඔහු මට යාච්ඤාකරන්නේය, මමද උත්තරදෙන්නෙමි; . . . දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.”—ගීතාවලිය 91:14-16.
[පාදසටහන්වල]
a ත්‍රිත්වය බයිබලයේ ඉගැන්වීමක් නොවන බවට සාක්ෂි සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් න්යූ යෝක් ඉන්ක්., මගින් 1989 ප්‍රකාශයට පත් කරන ලද ෂුඩ් යූ බිලීව් ඉන් ද ට්‍රිනිටි? නම් විවරණිකාව බලන්න.
[5වන පිටුවේ පින්තූරය]
දැවෙන පඳුරේ දී, ‘ආබ්‍රහම්ගේ දෙවි වූ යෙහෝවඃ වහන්සේ’ හැටියට දෙවියන් වහන්සේ තමන් ව මෝසෙස්ට හඳුන්වා දුන් සේක
[හිමිකම් විස්තර]
Moses and the Burning Bush, by W. Thomas, Sr.