යෙහෝවඃ වහන්සේගේ වත්මන් ගැලවීමේ ක්‍රියා
යෙහෝවඃ වහන්සේ ගැන බයිබලය අපට මෙසේ පවසයි: “ධර්මිෂ්ඨයාගේ පීඩා බොහෝය. නුමුත් ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] ඒ සියල්ලෙන් ඔහු ගළවනසේක,” “භක්තිවන්තයන් පරීක්ෂාවෙන් ගළවන්ට . . . ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ NW] දන්නාසේක.”—ගීතාවලිය 34:19; 2 පේතෘස් 2:9, 10අ.
ස්වකීය ජනයා විපතට පත් ව සිටින විට යෙහෝවඃ වහන්සේ ඔවුන්ගේ පිහිටට පැමිණෙන්නේ කෙසේ ද? උන් වහන්සේ ක්‍රියා කළ යුතු යයි බොහෝ දෙනෙක් කල්පනා කරන ආකාරයට, ස්වභාව ධර්මයේ බලයන් ආශ්චර්යවත් ලෙස ආපසු හැරවීමෙන් හෝ වෙනත් යම් අසාමාන්‍ය ක්‍රියාවකින් නොවනමුත් බොහෝ දෙනෙක් සැබවින් ම තේරුම් නොගන්නා වෙනත් බලයකිනි—එනම්, ප්‍රේමයෙනි. එසේ ය, යෙහෝවඃ වහන්සේ ස්වකීය ජනයාට ප්‍රේම කරන අතර උන් වහන්සේ ඔවුන් තුළ එකිනෙකා සඳහා කොතරම් ශක්තිමත් ප්‍රේමයක් ඇති කර තිබේ ද කියතොත්, සම්පූර්ණයෙන් ම වාගේ ආශ්චර්යවත් යයි දිස්වන්නා වූ යමක් ඔවුන් සඳහා උන් වහන්සේට ඉෂ්ට කිරීමට හැකියාවක් ලැබී තිබේ.—1 යොහන් 4:10-12, 21.
හදිසි තත්ත්වයක් පවතින අවස්ථාවක, ඕනෑ කරන්නේ ප්‍රේමය නොව—ආහාර, ඖෂධ හා උපකරණ යයි ඇතැමෙක් තර්ක කරන්නට පුළුවන. ඇත්තෙන් ම, ආහාර, ඖෂධ හා උපකරණ වැදගත් ය. කෙසේ වෙතත්, ප්‍රේරිත පාවුල් තර්ක කරන්නේ මෙසේ ය: “කඳු පහකරන තරම් සියලු ඇදහිල්ල ඇතුව සිටිම් නුමුත්, මට ප්‍රේමය නැත්නම් මම හිස්වෙමි. මා සන්තක සියල්ල දිළිඳුන් පෝෂණය කරන පිණිස දෙතත්, මාගේ ශරීරය දවන්ට භාරදෙතත්, මට ප්‍රේමය නැත්නම්, මට කිසි ප්‍රයෝජනයක් නැත.”—1 කොරින්ති 13:2, 3.
අවශ්‍යතාවයෙන් පෙළෙන ජනයා රෝග හා සාගින්නේ මිය යන අතර සහනාධාර වරායවල දිරාපත් වන බව නැතහොත් ලෑටිගාන සතුන් විසින් කා දමනු ලබන බව අපට බොහෝ විට කියවන්නට ලැබේ. නොඑසේ නම් වඩාත් නරක ආකාරයකට, එවන් ද්‍රව්‍ය, පුද්ගලික ලාභ උපයන කෑදර මෙන් ම යුතුඅයුතුකම් නොතකන අයගේ පාලනයට නතු වන්නට ද පුළුවන. මෙසේ, සැපයුම් ලබා ගත හැකි තත්ත්වයක තිබෙන බව දැකීමට තිබීම එක් දෙයකි. එහෙත් ඒවා මගින් විපතට පත් ව සිටින්නන් ප්‍රයෝජන ලබන බව දැකීම ඊටත් වඩා වෙනස් යමකි. අව්‍යාජ ප්‍රේමයට හා සැලකිල්ලට එම වෙනස උත්පාදනය කළ හැකි ය.
ප්‍රේමය ක්‍රියාවට නැංවී
වර්ෂ 1992 සැප්තැම්බර් මාසයේ, ඉනිකි නම් සැඩ කුණාටුව, 55,000ක ජනකායක් වෙසෙන, කවුආයි නම් හවායි දූපතට පහර දුණි. පැයට සැතපුම් 130ක වේගයෙන් හමන සුළං පහර ද පැයට සැතපුම් 160ක වේගයෙන් හමන සුළං පහර ද සහිත ව හැමූ එම සැඩ කුණාටුව, දෙදෙනෙක් මරා දැමූ අතර 98 දෙනෙකුට තුවාල සිදු කර, නිවාසවලින් සියයට 75කට හානි පමුණුවා, 8,000ක් දෙනා නිවාස නොමැති තත්ත්වයකට පත් කර, තක්සේරු කරන ලද ඩොලර් බිලියනයක විනාශයක් සිදු කළේ ය. මෙම කුඩා දූපතේ වාසය කළ අය අතර සභාවන් හයකට අයත් යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් 800ක පමණ පිරිසක් ද සිටියහ. ඔවුන්ට සිදු වූයේ කුමක් ද?
ඉනිකි සැඩ කුණාටුව සැබවින් ම පහර දීමට පෙර, සංචාරක අවේක්ෂකගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක වූ සභා වැඩිමහල්ලෝ, පැමිණෙන ප්‍රබල ප්‍රහාරයට සභාවන් සියල්ලේ ම සාමාජිකයන් සූදානමින්, ආරක්ෂාවෙන් හා සුරක්ෂිත භාවයෙන් සිටින බව තහවුරු කර ගැනීමට, වහා ම ඔවුන් හා සම්බන්ධ වූහ. මෙවන් ප්‍රේමනීය සැලකිල්ලක් සාක්ෂිකරුවන් අතර බරපතළ තුවාල හෝ මරණ වැළැක්වීමට උපකාරවත් විය.—යෙසායා 32:1, 2 සසඳන්න.
එහි තිබූ සන්නිවේදන හා ප්‍රවාහන පද්ධතියට බලවත් හානි සිදු වුවත්, එම සැඩ කුණාටුවෙන් පසු ව එම ස්ථානයට මුලින් ම පැමිණි අය අතර, හොනොලුලු නගරයේ පිහිටි වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සමිතියේ ශාඛා කාර්යාලයේ නියෝජිතයන් තිදෙනෙක් ද සිටියහ. ඔවුන්ට ගුවනින් එහි යාම සඳහා සිවිල් ආරක්ෂක බලධාරින්ගෙන් විශේෂ අවසරයක් ලැබුණි. නොපමාව, ඔවුහු පළාතේ සාක්ෂිකරුවන් හා සම්බන්ධ වූ අතර, ඊළඟ උදෑසන සහනාධාර සඳහා සැලසුම් පිළියෙළ කිරීමට රැස්වීමක් සංවිධානය කළහ. අවශ්‍යතාවයන් තක්සේරු කිරීමටත්, හොනොලුලු හි පිහිටි ශාඛා කාර්යාල තුළින් අවශ්‍ය කරන්නා වූ ද්‍රව්‍යයන් ලබා ගැනීමටත් සහනාධාර කමිටුවක් පත් කරගනු ලැබී ය. දවස පුරා ක්‍රියා කරමින්, අවශ්‍යතාවයන්ගෙන් යුත් අයට සැපයුම් ලබා දීමේ හා හානි සිදු වූ නිවාස පවිත්‍ර කිරීම හා අලුත්වැඩියා කිරීමේ එම සේවාව ඔවුහු අධීක්ෂණය කළහ.
වෙනත් දූපත්වල වාසය කළ සාක්ෂිකරුවෝ සිය සහෝදරයන්ගේ අවශ්‍යතාවයන්ට වහා ම ප්‍රතිචාරය දැක්වූහ. කවුආයි නගරයේ ඇති ගුවන් තොටුපොළ විවෘත කරනු ලැබූ විගස, සාක්ෂිකරුවන් 70 දෙනෙක් උපකාර කිරීමට එතැනට ගුවනින් පැමිණියහ. විදුලි ජනක යන්ත්‍ර, කුඩා ඉන්ධනවලින් දැල්වෙන ලිප්, ලන්තෑරුම් හා ආහාර ඇතුළු ඩොලර් 1,00,000ක් වටිනා සහනාධාර සැපයුම් ප්‍රවාහනය කරනු ලැබී ය. එම දූපතේ එක් රාජ්‍යය ශාලාවක් ගබඩාවක් හැටියට පාවිච්චි කරනු ලැබුව ද, සොරුන් පැමිණ එය කොල්ල කාවිදෝ යන බියක් තිබුණි. අනතුරුව හමුදා ට්‍රක් රථ කිහිපයක් එම රාජ්‍යය ශාලාවේ රථවාහන නවත්වන ස්ථානයට පැමිණි අතර සිය වාහන එතැන නවතා තැබිය හැකි දැයි එහි රියදුරන් විමසුවේ ය. එම ට්‍රක් රථ ආරක්ෂා කිරීමට යොදවනු ලැබූ භටයන් සහනාධාර සැපයුම් සොරා ගැනීම පිළිබඳ ගැටලු ව ද ඉවත් කළේ ය.
ජනයාට තමන්ගේ ශීතකරණ පාවිච්චියට ගත හැකි තත්ත්වයක තබා ගැනීමට උපකාර කිරීමට සෑම නිවසක ම පැය දෙකක් හෝ තුනක් ක්‍රියාත්මක කරවමින්, සහෝදරයෝ එම විදුලි ජනක යන්ත්‍ර ගෙයින් ගෙට රැගෙන ගියහ. නිවාස පවිත්‍ර කිරීමටත් හානි අලුත්වැඩියා කිරීමට උපකාර කිරීමටත් විවිධ නිවාසවලට සහෝදරයන් ව කණ්ඩායම් වශයෙන් පිටත් කර යවනු ලැබී ය. අතීතයේ දැඩි ලෙස විරුද්ධ වූ ස්වාමිපුරුෂයෙක් සිටි සහෝදරියකගේ නිවසක ඔවුන් වැඩ කළ විට, එම ස්වාමිපුරුෂයාට එය කොතරම් බලපෑවා ද කිවහොත්, එය බලා හඬනු විනා ඔහුට කළ හැකි වෙනත් දෙයක් නොවී ය. සාක්ෂිකරුවන් කණ්ඩායමක් වැඩ කරනු දුටු ප්‍රධාන භූමි ප්‍රදේශයෙන් එහි පැමිණි ආගන්තුකයෙක් ඔවුන්ගේ හැසිරීම හා සංවිධානය සම්බන්ධයෙන් කොතරම් සිත් ගත් තත්ත්වයකට පත් වූයේ ද යත්, ඔහු ඔවුන් ළඟට ඇවිත් ඔවුන් ව එතරම් වෙනස් කිරීමට සැලැස්වූයේ කුමක් ද කියා ප්‍රශ්න කළේ ය. එය දෙවියන් වහන්සේ සඳහාත් තමන්ගේ සෙසු ක්‍රිස්තියානින් සඳහාත් ඇති තමන්ගේ ප්‍රේමය බව එක් සහෝදරයෙක් පැහැදිලි කළ විට, “මට දෙවියන් වහන්සේ ව දැන ගත හැක්කේ කෙසේ ද?” කියා එම මනුෂ්‍යයා ප්‍රතිචාරය දැක්වී ය. (මතෙව් 22:37-40) අනතුරු ව ඔහු මෙසේ ද පැවසී ය: “ඔබලාගේ කණ්ඩායම කොතරම් සංවිධානය වී තිබෙනවා ද කියතොත්, මා හැරී ෆ්ලොරිඩාවට ගිය විට, මා එනතෙක් බලා සිටින්නට ඔබ යමෙකු ව සූදානම් කරලාත් ඇති!”
සමස්තයක් වශයෙන්, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ කවුආයි දූපතේ නිවාස 295 පවිත්‍ර කිරීමට හා අලුත්වැඩියා කිරීමට උපකාර කළහ. මේවා අතරින්, 207කට සුළු අලුත්වැඩියාවන් කරන ලදමුත්, 54ක් බරපතළ ලෙස හානි වූ හා 19ක් සහමුලින් ම විනාශ වූ තත්ත්වයක තිබිණ. එම දූපතේ සිටි දන්නා සෑම සාක්ෂිකරුවෙකුට ම සැලකිල්ල දක්වනු ලබන බව සනාථ කිරීමට ඔවුන් සෑම කෙනෙක් ම බලන්නට යාම ද ඔවුන්ගේ වැඩයට ඇතුළත් විය. සහෝදරියක් වෙත සැපයුම් ගෙනගොස් භාර දෙන විට, තමාගේ කණ්ඩායමෙන් ඔහුට තේ පැකට්ටුවක්වත් ලැබී නැතැයි බෞද්ධ අසල්වැසියෙක් පැවසුවේ ය. සාක්ෂිකාර කණ්ඩායමක් මගින් තමාගේ නිවස පවිත්‍ර කර ගත් තවත් කාන්තාවක්, මෙසේ පැවසුවා ය: “ඔබ දීර්ඝ කාලයකට මාගේ නිවසට පැමිණ තිබෙනවා, එමෙන් ම මා කල්පනා කළා ඔබ හොඳ අසල්වැසියන් කියා. එහෙත් අසල්වැසි ප්‍රේමය පිළිබඳ මෙම ප්‍රදර්ශනය, ඔබගේ සංවිධානය කොයි ආකාරයේ එකක් ද කියා මට වැටහීමක් ලබා දුන්නා. ඔබගේ සියලු වෙහෙසකර වැඩ සඳහා ස්තුතියි.”
තමන්ගේ සෙසු ක්‍රිස්තියානින්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතාවයන් සඳහා සැලකිල්ල දැක්වීමට අමතර ව, සහනාධාර කටයුතු භාර ව සිටි අය ඔවුන්ගේ ආත්මික යහපත ගැන ද සමාන සැලකිල්ලක් දැක්වූහ. එම සැඩ කුණාටුවෙන් දින දෙකක්වත් ගත වන්නට මත්තෙන්, සභා කීපයක් ම තමන්ගේ රැස්වීම් පවත්වමින් සිටියහ. ඉක්මනින් ම, කුඩා පොත් පාඩම් කණ්ඩායම් නැවත ක්‍රියාත්මක විය. එම දූපතේ සිටින සෑම සාක්ෂිකරුවෙක් වෙත ම එඬේර බැහැ දැකීම් කළ හැකි වනු පිණිස, පළාතේ වැඩිමහල්ලන්ට උපකාර කිරීමට වැඩිමහල්ලන් දහ දෙනෙක් වෙනත් දූපත්වලින් කවුආයි වෙතට පැමිණියහ. ඊළඟ ඉරුදින, සභාවන් හයේ ම මුරටැඹ පාඩමක් ද, සහනාධාර කමිටුවේ සාමාජිකයෙක් විසින් සහනාධාර පිළිවෙළ පිළිබඳ විනාඩි 30ක කථාවක් ද, මෙම අරමුණ සඳහා හොනොලුලු වෙතින් එහි පැමිණ සිටි ශාඛා කමිටුවේ සාමාජිකයෙක් විසින් දෙන ලද විනාඩි 30ක අවසාන කථාවක් ද පවත්වනු ලැබී ය. එය සියැසින් දුටුවෙක් මෙසේ වාර්තා කරයි: “දෙන ලද කදිම උපදෙස්වලින් සියල්ලන්ට ම සහනයක් දැනුන අතර තමන්ගේ ඉතිරි ගැටලු සමඟ ක්‍රියා කිරීමට ආත්මික වශයෙන් සූදානම් තත්ත්වයක් ඔවුන්ට හැඟුණි. වැඩසටහන අවසන් වූ විට සියල්ලන් ම වාගේ හඬන්නට පටන් ගත් අතර දෙන ලද අත් පොළසන් නාදය වළක්වා ගත නොහැකි විය.”
ලෝක ව්‍යාප්ත සහෝදරත්වයක්
එවන් ප්‍රේමය හා සැලකිල්ල යෙහෝවඃ වහන්සේගේ ජනයා තුළ ලෝක ව්‍යාප්ත ව දක්නට ලැබෙන ලකුණකි. දැනට වසරකට පමණ පෙර, වැල් නම් සුළි සුළඟ බටහිර සැමෝවා හරහා හමා ගිය විට, ඉන් බලවත් හානි සිදු වුවත්, ලෝකයේ වෙනත් කොටස්වල වෙසෙන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ එහි සිටින තමන්ගේ සහෝදරයන්ගේ උපකාරයට යුහුසුලු ව ඉදිරිපත් වූහ. පසු ව, තමන්ගේ වාසස්ථාන අලුත්වැඩියා කිරීමට සියලු ම ආගම්වලට—යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් ද ඇතුළු ව—රජය අරමුදල් සැපයූ විට, තමන්ට සිදු වූ හානි සියල්ල ම සකසා ඇති බවත්, රජයේ ගොඩනැගිලි සමහරක් අලුත්වැඩියා කිරීමට එම අරමුදල් පාවිච්චි කළ හැකි බවත් සඳහන් ලිපියක් සමඟින් එම සාක්ෂිකරුවෝ එම අරමුදල් ආපසු භාර දුන්හ. මෙය දුටු එක් රජයේ නිලධාරියෙක් සාක්ෂිකරුවෙකුට කියා සිටියේ සුළි සුළඟ නිසා හානි වූ තම පල්ලියේ සියලු ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට යන වියදම් රක්ෂණයෙන් ආවරණය වී තිබුණ ද, ඔවුන් රජයෙන් ඒ සඳහා දුන් මුදල් භාර ගැනීම නිසා තම පල්ලිය ගැන තමා ලජ්ජා වන බව ය.
සමානාකාරයෙන්, 1992 සැප්තැම්බර් මස, ගිනිකොන දිග ප්‍රංශයේ ඌවාස් ගඟ පිටාර ගලා වසොන්-ලා-රොමෙන් හා ඒ අවට ප්‍රජාවන් 15ක් විනාශ කළ විට, සාක්ෂිකරුවෝ ඉක්මනින් ම ප්‍රතිචාරය දැක්වූහ. එම රැයේ දී, ගංවතුරෙන් 40 දෙනෙක් මරණයට පත් කර, නිවාස 400ක් විනාශ කර, තවත් සිය ගණන් නිවාසවලට හානි සිදු කළ අතර සිය ගණන් පවුල් ජලය හෝ විදුලි බලය රහිත තත්ත්වයකට පත් කළේ ය. පසුදින උදෑසන, ගංවතුරට ගොදුරුවූවන්ට උපකාර කිරීමට මුලින් ම පැමිණියේ ප්‍රදේශයේ සභාවල සාක්ෂිකරුවන් ය. ඉඳුම් හිටුම් නැති තත්ත්වයක සිටි අය ව ප්‍රදේශයේ සාක්ෂිකාර පවුල් මගින් ප්‍රේමනීය ආකාරයකට තමන්ගේ නිවාසවලට කැඳවා ගනු ලැබී ය. උපකාරය පිරිනැමීමට දහස් සංඛ්‍යාත සාක්ෂිකරුවෝ දුර නුදුර ස්ථානයන්ගෙන් එහි පැමිණියහ. මඩ ඉවත් කර නිවාස පවිත්‍ර කළා වූ ද, මඩෙන් පෙඟුන ඇඳුම් විශාල ප්‍රමාණයක් සේදුවා වූ ද, එසේ ම විපතට ගොදුරු වූ ප්‍රදේශය පුරා ආහාර හා පානය කළ හැකි ජලය සකසා බෙදා දුන්නා වූ ද, ස්වේච්ඡා සේවක කණ්ඩායම් හතරකගේ වෑයම් සම්බන්ධීකරණය කිරීමට ඔරේන්ජ් නම් වූ අසල නගරයේ සහනාධාර කමිටුවක් පිහිටුවනු ලැබී ය. ඔවුහු ප්‍රදේශයේ පාසලක් හා නගර සභා ගොඩනැගිලි කිහිපයක් පවිත්‍ර කිරීමට පවා ද ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ. වෙහෙස මහන්සිය නොබලා ඔවුන් දැරූ පරිශ්රමය තමන්ගේ සහෝදරයන් විසිනුත්, ප්‍රජාවේ ජනයා විසිනුත් සමානාකාරයෙන් අගයනු ලැබී ය.
වෙනත් බොහෝ ස්ථානවල, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, අන් සියලු දෙනා හා සමාන ව, ජල ගැලීම්, කුණාටු හා භූමි කම්පා වැනි විපත්වලින් වේදනා විඳ ඇත්තාහ. මේවා අනපේක්ෂිත නැතහොත් වැළැක්විය නොහැකි තත්ත්වයන්හි විපාක බව තේරුම් ගනිමින්, ඔවුහු දෙවියන් වහන්සේට හෝ වෙනත් යමෙක් හට දොස් නොපවරති. (දේශනාකාරයා 9:11) ඒ වෙනුවට, තමන්ට කොතරම් දරුණු තත්ත්වයන්ට මුහුණ දීමට සිදු වුවත්, සිය සෙසු ඇදහිලිවන්තයන්ගේ ආත්ම-පරිත්‍යාගී ප්‍රේමය තමන්ගේ ගැලවීමට ඉදිරිපත් වනු ඇතැයි ඔවුන්ට නිසැක ය. එවන් ප්‍රේමනීය ක්‍රියාවන් ඔවුන් පොදුවේ බෙදා ගන්නා ඇදහිල්ලේ විපාකයක් වේ. ශ්‍රාවක යාකොබ් මෙසේ පැහැදිලි කරයි: “සහෝදරයෙක් නොහොත් සහෝදරියෙක් ඇඳුම් නැතුව, දවස්පතා කෑම නැතුව සිටිද්දී, නුඹලාගෙන් යමෙක්: සමාදානයෙන් පලයල්ලා, කෑම කා තෘපිතයට පැමිණියල්ලායයි ඔවුන්ට කියනවා මිස ශරීරයට ඕනෑ දේවල් නොදෙනවා නම්, මොන ප්‍රයෝජනයක්ද? එසේම ඇදහිල්ල ක්‍රියා නැතුව තනියම තිබේ නම් මැරිලාය.”—යාකොබ් 2:15-17.
සැබෑ ආරක්ෂාවේ උල්පත
යම් ආකාරයක දිව්‍ය මැදිහත්වීමකින් ආශ්චර්යයක් අපේක්ෂා කරනු වෙනුවට, සිය ලෝක ව්‍යාප්ත ක්‍රිස්තියානි සහෝදරත්වය තුළ ආරක්ෂාව සොයා ගත හැකි බව යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ තේරුම් ගනිති. සැබවින් ම, විපත්තිදායක අවස්ථාවන්හි එම සහෝදරත්වයට ඉෂ්ට කිරීමට හැකි වී ඇති දෙය බොහෝ දුරට ආශ්චර්යයක් හා සමාන ය. ඔවුන්ට මතෙව් 17:20 සඳහන් යේසුස් වහන්සේගේ වදන් මතක ය: “අබ ඇටයක් පමණ ඇදහිල්ල නුඹලාට ඇත්නම්, මේ කන්දට කථාකොට: මෙතැනින් අහක්ව, එතැනට යවයි කීවත් ඒක යන්නේය; කිසිවක් නුඹලාට බැරි නොවන්නේය.” එසේ ය, ප්‍රේමයත් සමඟ මුසු වූ සැබෑ ක්‍රිස්තියානි ඇදහිල්ල ක්‍රියාවට නැගෙන විට, කඳු තරම් විශාල බාධක අතුරුදහන් වේ.
මෙම අස්ථීර හා උපද්‍රව සහිත කාලවල ලෝක ව්‍යාප්ත ව වෙසෙන යෙහෝවඃ වහන්සේගේ ජනයාට තම දෙවියන් වහන්සේගේ ආරක්ෂක හස්තය දැනේ. ඔවුන්ට එය දැනෙන්නේ ගීතිකාකරුට දැනුන ආකාරයට ය: “මම සමාදානයෙන් වැදහෙව නිදන්නෙමි. මක්නිසාද ස්වාමීන්වහන්සේ [අහෝ යෙහෝවඃ වහන්ස NW], ඔබ මා උදක්ම සුවසේ වාසයකරවනසේක.” (ගීතාවලිය 4:8) නිසැකකමින් යුක්ත ව, ඔවුහු දැන් අවධානය යොමු කර සිටින්නේ කරන්නට පැවරී ඇති මතු සඳහන් කාර්යය වෙතට ය: “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස [ජනාවාස NW] ලොව මුළුල්ලේ ප්‍රකාශකරනු [දේශනා කරනු NW] ලබන්නේය; එවිට අන්තිමය පැමිණෙන්නේය.” (මතෙව් 24:14) තව ද ඔවුහු ස්ථිර භාවයෙන් යුක්ත ව බලා සිටින්නේ, මනුෂ්‍යයා විසින් ඇති කරන ලද හෝ ස්වාභාවික යනාදි ඕනෑ ම ආකාරයක විපතක් තවදුරටත් තමන්ට අත්දකින්නට සිදු නොවනු ඇති, සාමකාමි, ධර්මිෂ්ඨ නව ලොවක් පිළිබඳ යෙහෝවඃ වහන්සේගේ පොරොන්දු ඉටු වන තුරු ය.—මීකා 4:4.
[12වන පිටුවේ පින්තූර]
ජල ගැලීමට ගොදුරු වූ අයට උපකාර කිරීමට දුර නුදුර ස්ථානවලින් සාක්ෂිකරුවෝ පැමිණියහ