ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 1/15 5-7 පි.
  • ළඟදී ම—යුද්ධ නැති ලොවක්!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළඟදී ම—යුද්ධ නැති ලොවක්!
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මනසේ සාමය වැඩි දියුණු කරවීම
  • දෙවියන් වහන්සේ සාමය ගෙනෙන්නට යන ආකාරය
  • ආගමික බාධක ඉවත් කිරීම
  • සැබෑ සාමය—මොන උල්පතෙන්ද?
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සැබෑ සාමය සොයා එය ලුහුබඳින්න!
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යුද්ධයට නිමාවක්
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කල්පවතින සාමය සැබවින් ම පැමිණෙනු ඇත්තේ කවදා ද?
    1991 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 1/15 5-7 පි.

ළඟදී ම—යුද්ධ නැති ලොවක්!

වර්ෂ 1914 දෙසැම්බර් 24වන දින, ජිම් ප්‍රින්ස් නම් බ්‍රිතාන්‍ය ජාතික යෞවන භටයෙක් ජර්මන් ජාතික පාබළ හමුදා භටයෙකුට කථා කිරීමට, කවරෙකුටවත් අයත් නොවූ සටන් බිම හරහා ඇවිද්දේ ය. “මම සැක්සන් කෙනෙක්. ඔබ එංගලන්ත සැක්සන් කෙනෙක්. අප සටන් කරන්නේ කුමට ද?” යයි ජර්මන් ජාතිකයා ඔහුගෙන් ඇසුවේ ය. වසර ගණනාවකට පසු, ප්‍රින්ස් නොසඟවා කියා සිටියේ, “මම තවමත් එම පැනයට පිළිතුර දන්නේ නැහැ” යනුවෙනි.

වර්ෂ 1914 හි එක් අසාමාන්‍ය සතියක් පුරා, බ්‍රිතාන්‍ය හා ජර්මන් හමුදාවන්හි භටයෝ සහෝදරයන් මෙන් හැසිරුණහ, පාපන්දු ක්‍රීඩා කළහ, නත්තල් තෑගි පවා හුවමාරු කර ගත්හ. එම තාවකාලික සමාදානය, ඇත්තෙන් ම, නිල නොවූ එකක් විය. “සතුරා” වනාහි යුද්ධ ප්‍රචාරයන්හි චිත්‍රයට නගා දක්වන ලද කෲර යෝධයා නොවන බව තම බලඇණි විසින් සොයා ගැනීම එහි ජනරාල්වරුන්ට ඕනෑ වූයේ නැත. බ්‍රිතාන්‍ය ජාතික භටයෙක් වූ ඇල්බර්ට් මෝරන් පසු ව මතකයට නගමින් කියා සිටියේ, “සටන් විරාමය තවත් සතියක් පැවතුණා නම්, යළිත් යුද්ධය ආරම්භ කිරීම ඉතා දුෂ්කර වනු ඇත” යනුවෙනි.

එම නිරායාස සටන් විරාමය අදහස් කරන්නේ පුහුණු වූ භටයන් බොහෝ දෙනෙක් පවා යුද්ධයට වඩා සාමයට ආශා කරන බව ය. සටන්වල සංත්‍රාසය දන්නා භටයන් බොහෝ දෙනෙක්, “යුද්ධය කුමක් දැයි නොදන්නා තැනැත්තේ යුද්ධයට ගියාවේ” යන ස්පාඤ්ඤ ප්‍රස්තා පිරුළ සනාථ කරනු ඇත. පොදු ජනයා අතර පවත්වන ලද ලෝක ව්‍යාප්ත ජනමත විමසුමක්, නිසැක ව ම, අනාවරණය කරනු ඇත්තේ අසීමිත බහුතරයක් යුද්ධයට වඩා සාමයට කැමැත්තක් දක්වන බව ය. එහෙත් සාමය සඳහා වූ මෙම සර්වලෝක ආශාව යුද්ධ රහිත ලෝකයක් බවට පරිවර්තනය කළ හැක්කේ කෙසේ ද?

යුද්ධ තුරන් කරන්නට පෙර, ආකල්පයන් වෙනස් කළ යුතු ය. එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යා හා සංස්කෘතික සංවිධානයේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නේ මෙසේ ය: “යුද්ධ පටන් ගන්නේ මිනිසුන්ගේ මනස්වල බැවින්, සාමයේ ආරක්ෂාව ගොඩනැගිය යුත්තේ ද මිනිසුන්ගේ මනස්වල ය.” එහෙත් අවිශ්වාසය හා බද්ධ වෛරය පුළුල් ව දක්නට ලැබෙන වත්මන්-දින සමාජය, වඩාත් සාමකාමී නොව, වඩාත් ප්‍රචණ්ඩ වෙමින් පවතී.

එහෙත්, යම් දිනක සාමය ධර්මිෂ්ඨකමට නැඹුරු වූ ජනයාගේ මනස්වලට කාවද්දවනු ලබනවා ඇතැයි දෙවියන් වහන්සේ ම පොරොන්දු වූ සේක. ස්වකීය දිවැස්වර යෙසායා තුළින් උන් වහන්සේ මෙසේ වදාළ සේක: “උන්වහන්සේ [දෙවියන් වහන්සේ] ජාතීන් අතරේ විනිශ්චයකොට, බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනසේක. ඔව්හු තමුන්ගේ කඩුවලින් හීවැල්ද හෙල්ලවලින් දෑකැතිද තළාගන්නෝය. ජාතියක් ජාතියකට විරුද්ධව කඩුව ඔසවන්නේවත් තවත් යුද්ධ ඉගෙනගන්නේවත් නැත.”—යෙසායා 2:4.

මනසේ සාමය වැඩි දියුණු කරවීම

කල්පනාවෙහි මෙවන් විශිෂ්ට වෙනසක් සිදු විය හැකි ද? යුද්ධ ගෞරවනීය ලෙස වර්ණනා කරනු වෙනුවට සාමය ආරක්ෂා කිරීමට ජනයා කවදා නමුත් ඉගෙන ගනු ඇද්ද? වෝල්ෆ්ගාං කුසෙරෝගේ අද්දැකීම සලකා බලන්න. තමා ‘යුද්ධ ඉගෙන ගැනීමට’ අකමැති වූ නිසා 1942 දී නාට්සිවාදීහු 20 හැවිරිදි මෙම ජර්මන් ජාතිකයාගේ හිස ගසා දැමූහ. ඔහු මරණය තෝරා ගත්තේ මන්ද? ලිඛිත ප්‍රකාශයක ඔහු, “තට මෙන් තාගේ අසල්වාසියාට ප්‍රේමකරව” හා “කඩු ගන්න සියල්ලෝ කඩුවෙන්ම විනාශවන්නෝය” වැනි ශුද්ධ ලියවිලිමය ප්‍රතිපත්ති උපුටා දැක්වී ය. (මතෙව් 22:39; 26:52) ඉන් අනතුරුව ඔහු කෙළින් ම මෙසේ ප්‍රශ්න කළේ ය: “අපගේ මැවුම්කරුවාණන් මේ සියල්ල ලියා තැබුවේ ගස්වලට ද?”

බයිබලයේ වාර්තා කර ඇති, දේව වචනය, “බලවත්” වන අතර ඵල විපාක කුමක් වුවත්, සාමය ලුහුබැඳීමට යෙහෝවඃ වහන්සේගේ මෙම යෞවන සාක්ෂිකරුවා ව පෙලඹවී ය. (හෙබ්‍රෙව් 4:12; 1 පේතෘස් 3:11) එහෙත් මෙයාකාරයෙන් සාමය පසුපස හඹා ගියේ වෝල්ෆ්ගාං කුසෙරෝ පමණක් නොවේ. ද නාට්සි පර්සිකියූෂන් ඔෆ් ද චර්චස් 1933-45 නම් පොතේ, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් කණ්ඩායමක් හැටියට අවි දැරීම ප්‍රතික්ෂේප කළ බව සහතික කරමින්, ජේ. එස්. කොන්වේ නිල නාට්සි ලේඛනාරක්ෂක තොරතුරු උපුටා දක්වයි. එහි සඳහන් කරන ආකාරයට, කොන්වේ එවන් නිර්භීත ස්ථාවරයක් ගැනීමෙන් සැබවින් ම අදහස් කළේ තමන්ගේ ම මරණ නියෝගයට අත්සන් තැබීමකි.

අද දින ජීවත් වන යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝත් තමන්ගේ වර්ගය හෝ ජාතිය නොසලකා දිගට ම සාමය ලුහුබඳිමින් සිටින්නාහ. ඒ මන්ද? හේතුව දෙවියන් වහන්සේගේ සැබෑ සේවකයන් තමන්ගේ කඩුවලින් හීවැල් තලා ගත යුතු බව ඔවුන් බයිබලයෙන් ඉගෙන ගෙන තිබීම ය. වර්ෂ 1987 දී ඊශ්‍රායෙලයට සංක්‍රමණය කළ ආජන්ටීනියානු යෞවන පුරුෂයෙක් වන ආලෙයිඛාන්ඩ්‍රොට මෙම සත්‍යයට පුද්ගලික ව සාක්ෂි ඉදිරිපත් කළ හැක.

වසර තුනක් පුරා ආලෙයිඛාන්ඩ්‍රො ඊශ්‍රායෙලයේ ජනාවාසයක ජීවත් වූ අතර ඒ කාලය තුළ ඔහු විශ්වවිද්‍යාලයක ඉගැනුම ලබමින්, විවිධ හෝටල් හා භෝජන ශාලාවල වැඩ කරමින් සිටියේ ය. මේ කාලය තුළ, ඔහු බයිබලය කියවන්නට පටන් ගත් අතර ජීවිතයේ අරමුණ සොයමින් සිටියේ ය. අන් සියල්ල ඉක්මවා, ජනයාට සාමය හා යුක්තිය භුක්ති විඳිය හැකි ලෝකයක් දකින්නට ඔහු ආශා කළේ ය. යුදෙව්වෙක් වූ ආලෙයිඛාන්ඩ්‍රො යුදෙව්වන් හා අරාබි ජාතිකයන් සමඟ වැඩ කළත් මොනයම් හෝ පැත්තකට පක්ෂග්‍රාහී නොවීමට කැමති විය.

වර්ෂ 1990 දී යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ බයිබලය ඉගෙන ගනිමින් සිටි ඔහුගේ මිත්‍රයෙක්, හයිෆා හි පවත්වන එක් දින එක්රැස්වීමකට ආලෙයිඛාන්ඩ්‍රොට ආරාධනා කළේ ය. එක්රැස්වීම තිබූ ස්ථානයේ යුදෙව්වන් හා අරාබි ජාතිකයන් 600ක් හවුලේ කටයුතු කරනු දැකීමෙන් පුදුමයට පත් වූ ඔහු, ‘ජනයා ජීවත් විය යුතු හරි ක්‍රමය මෙයයි’ කියා තමා තුළ ම කල්පනා කළේ ය. මාස හයක් ඇතුළත ඔහු සාක්ෂිකරුවෙක් වූ අතර දැන් බයිබලයේ සාම පණිවුඩය දේශනා කිරීමට තමාගේ කාලයෙන් වැඩි කොටසක් කැප කරමින් සිටී.

දෙවියන් වහන්සේ සාමය ගෙනෙන්නට යන ආකාරය

මෙවන් උදාහරණ කොතරම් සිත් ඇදගන්නා ඒවා වුවද, අද දින ලෝකයේ එසේ සිදුවන්නේ කලාතුරකිනි. වර්තමාන පිළිවෙළ සාමයට තොල්වලින් සේවයක් කළ ද, එය යුද්ධ නැමැති බීජවලට වතුර වත් කරමින් සිටී. තමන් උපයාගත් දෙයින් සියයට 7 හා 16 අතර ප්‍රමාණයක් තුවක්කු හා නිවාස ආරක්ෂාව සඳහා වැය කරන්නා වූ වැසියන් සිටින වීදියක ඔබ ජීවත් වන්නට කැමති ද? ඇත්ත වශයෙන් ම, මෑත වසරවල හමුදා වියදම් තුළින් ජාතීන් කරමින් සිට ඇත්තේ එයයි. දෙවියන් වහන්සේ ‘බොහෝ ජනයන්ගේ කාරණා නිශ්චය කරනතෙක්’ මනුෂ්‍ය වර්ගයා සමස්තයක් හැටියට තමන්ගේ කඩුවලින් හීවැල් තලා නොගනු ඇතැයි යෙසායාගේ අනාවැකිය අනාවරණය කිරීම, පුදුමයක් නොවේ. උන් වහන්සේ එය කරන්නට යන්නේ කෙසේ ද?

කාරණා නිශ්චය කරන මූලික ක්‍රමය වන්නට යන්නේ යෙහෝවඃ දෙවියන් වහන්සේගේ රාජ්‍යයයි. ‘ස්වර්ගයේ දෙවියන් වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවන’ බව දිවැස්වර දානියෙල් පුරෝකථනය කළේ ය. ඔහු තවදුරටත් කියා සිටියේ, මෙම රාජ්‍යය “සියලු රාජ්‍යවල් [ලෞකික ආණ්ඩු] පොඩිකර නැති කරන්නේය, එයද සදාකාලේටම පවතින්නේය” යනුවෙනි. (දානියෙල් 2:44, 45) දේව රාජ්‍යය පොළොව කෙරෙහි පූර්ණ පාලනයක් ස්ථිර ආකාරයකට පිහිටුවනු ඇති බව මෙම වදන් අනාවරණය කරයි. දේශ සීමාවන් ඉවත් කිරීමෙන්, මෙම රාජ්‍යය, තිබූ විරෝධතා නිමාවට පත් කරනු ඇත. මීට අමතර ව, එහි යටත් වැසියන් “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃ වහන්සේ, NW] විසින් උගන්වනු ලබන්නෝ” වන්නට යන බැවින්, ඔවුන්ගේ සාමය “මහත් වන්නේය.” (යෙසායා 54:13) “ඔබගේ රාජ්‍යය ඒවා” කියා දෙවියන් වහන්සේට යාච්ඤා කරන ලෙස යේසුස් වහන්සේ අපට පැවසීම පුදුමයක් නොවේ.—මතෙව් 6:10.

ආගමික බාධක ඉවත් කිරීම

දෙවියන් වහන්සේ සාමයට ඇති ආගමික බාධක ද ඉවත් කරනු ඇත. ඉතිහාසයේ දීර්ඝතම අවි ඝට්ටනය—එනම් දෙවන අර්බන් පාප් විසින් පො.යු. 1095 දී දියත් කරන ලද කුරුස යුද්ධ, නැතහොත් “ශුද්ධ යුද්ධ”a—පිටුපස තිබුණේ ආගමයි. අපගේ සියවසේ ද යුද්ධ සඳහා පවා ඇතැම් අවස්ථාවන්හි සම්පූර්ණයෙන් ම ලෞකික ස්වභාවයක් ගන්නා යුද්ධ සඳහා මහජන අනුබලය ලබා ගැනීමෙහි ලා පූජක හා පූජ්‍ය පක්ෂය ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කර ඇත.

පළමුවන ලෝක යුද්ධය තුළ නාමික ක්‍රිස්තියානි පල්ලි ඉටු කළ කාර්යභාරය වෙත යොමු දක්වමින්, ඉතිහාසඥ පෝල් ජොන්සන් මෙසේ ලිව්වේ ය: “ක්‍රිස්තියානි ඇදහිල්ල ජාතියට වඩා ඉදිරියෙන් තබන්නට පූජකයන්ට නොහැකි විය, එමෙන් ම ඔවුහු බොහෝ දුරට එසේ තබන්නට ද කැමති වූයේ නැත. වැඩි දෙනෙක් පහසු මාර්ගයෙන් කටයුතු කර ක්‍රිස්තියානි ධර්මය ජාත්‍යානුරාගය සමඟ සමාන කළහ. තමන්ගේ ගැලවුම්කරුවාණන්ගේ නාමයෙන් එකිනෙකා ව මරන්නට සියලු ම නිකායන්ට අයත් ක්‍රිස්තියානි භටයන්ට අනුශාසනා කරනු ලැබී ය.”

ආගම වැඩියෙන් ක්‍රියා කර ඇත්තේ සාමය පෝෂණය කරනවාට වඩා යුද්ධය ඇවිස්සීමට ය. ඇත්ත වශයෙන් ම, ලෝකයේ පාලකයන්ට නුවුවමනා ලෙස අනුබල දෙන ‘වේශ්‍යාවක්’ හැටියට බයිබලය බොරු ආගම දක්වයි. (එළිදරව් 17:1, 2) පොළොවේ ඝාතනය කරන ලද සියල්ලන්ගේ ලේ වැගිරවීම සඳහා වගකිව යුතු මූලික චෝදිතයා හැටියට දෙවියන් වහන්සේ ඇය ව හඳුන්වන සේක. (එළිදරව් 18:24) ඒ හේතුවෙන්, යෙහෝවඃ දෙවියන් වහන්සේ සාමයට ඇති මෙම බාධකය සදහට ම ඉවත් කර දමනු ඇත.—එළිදරව් 18:4, 5, 8.

දේශපාලනය හා බොරු ආගම වැනි භේදකාරී හේතු සාධක අතුරුදහන් වුවත්, මේ සියල්ලට අනුබල දෙන ප්‍රබලතම යුද්ධ වෙළෙන්දා වන සාතන් නම් යක්ෂයා ව ඉවත් නොකර, සාමය කිසිකලෙක සුරක්ෂිත ව පවතින්නට යන්නේ නැත. පොළොව මත පූර්ණ සාමය ගෙන ඒමේ වැඩසටහන යටතේ දේව රාජ්‍යය භාර ගන්නට යන අන්තිම කාර්යභාරය එයයි. සාතන් “විසින් ජාතීන් තවත් නොරවටන පිණිස” ඔහු ව “අල්ලා,” ‘බැඳ,’ ‘පාතාලයට හෙළනු’ ලබනවා ඇතැයි එළිදරව් නම් බයිබල් පොත පැහැදිලි කරයි. ඉන් පසු ව ඔහු ව සහමුලින් ම විනාශ කරනු ලබනවා ඇත.—එළිදරව් 20:2, 3, 10.

යුද්ධයට අවසානයක් සඳහා වූ බයිබලයේ පොරොන්දුව නිෂ්ප්‍රයෝජන සිහිනයක් නොවේ. සාමය සඳහා යෙහෝවඃ දෙවියන් වහන්සේගේ විධිවිධානය දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. උන් වහන්සේගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇති අතර සර්ව ලෝක සාමය තහවුරු කිරීමට වැඩිතර පියවර ගැනීමට සූදානම් ව සිටී. මේ අතර, මෙම ස්වර්ගීය ආණ්ඩුවට අනුග්‍රහ දක්වන මිලියන සංඛ්‍යාත යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවෝ, සාමයෙන් ජීවත් වන්නට ඉගෙන ගෙන ඇත්තාහ.

පැහැදිලි ව ම, එසේ නම්, යුද්ධ වැළැක්විය නොහැකි යමක් නොවන බව විශ්වාස කිරීමට අපට ස්ථිර හේතු ඇත. යෙහෝවඃ වහන්සේ යුද්ධ කිරීම සදහට ම නවත්වන්නට යන තදාසන්න දිනය අපට බලාපොරොත්තු විය හැකි වීම, තවත් සතුටකි. (ගීතාවලිය 46:9) යුද්ධ නැති ලොවක් පවතිනු ඇති බවට උන් වහන්සේ වගබලා ගනු නියත ය.

[පාදසටහන්වල]

a ඇතැම් අවස්ථාවන්හි ආගමික නායකයන් ම සටන්කාමීන් බවට පත් විය. හේස්ටිංස් හි සටනේ දී (1066), ඕඩෝ නම් කතෝලික බිෂොප්වරයා කඩුවක් වෙනුවට වේත්‍රයක් ලෙලවීමෙන් තමාගේ ක්‍රියාශීලී සම්බන්ධතාවය සාධාරණ බව ඔප්පු කළේ ය. රුධිරය වගුරුවනු ලැබුවේ නැත්නම්, නීත්‍යානුකූල ව මරන්නට දෙවියන් වහන්සේගේ මිනිසෙකුට පුළුවන් යයි ඔහු කියා සිටියේ ය. ඉන් සියවස් පහකට පසු, කාර්දිනල් ඛිමෙනෙස් පුද්ගලික ව උතුරු අප්‍රිකාවේ ස්පාඤ්ඤ ආක්‍රමණයක් මෙහෙය වී ය.

[7වන පිටුවේ පින්තූරය]

යුද්ධ නැති නව ලෝකයක ඔබට ජීවත් විය හැක

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න