ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය—එය සැමරිය යුත්තේ කොපමණ වතාවක්ද?
නත්තල, පාස්කුව, “සාන්තුවරයන්ගේ” දවස්. බොහෝ නිවාඩු දිනයන් හා උත්සවයන් ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මගින් උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබේ. එහෙත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවැත්වීමට සිය අනුගාමිකයන්ට අණ කළේ උත්සව කීයක්දැයි ඔබ දන්නෙහිද? මෙයට පිළිතුර නම්, එකක් පමණි! වෙනත් කිසිඳු ආගමික උත්සවයක් ක්‍රිස්තියානි ධර්මයේ නිර්මාතෘවරයාණන් විසින් අනුමත කරනු ලැබුවේ නැත.
පැහැදිලිවම, යේසුස්වහන්සේ එක් උත්සවයක් පමණක් පිහිටෙවූ සේක් නම්, එය ඉතා වැදගත් විය යුතුය. යේසුස්වහන්සේ ආඥා කළ පරිද්දෙන්ම ක්‍රිස්තියානින් එය පැවැත්විය යුතුය. පවත්වන ලද මෙම සුවිශේෂ සැමරීම කුමක්වීද?
එකම උත්සවය
මෙම සැමරීම යේසුස්වහන්සේ විසින් හඳුන්වාදෙනු ලැබුවේ උන්වහන්සේ මියගිය දවසේය. ඒ වන විට උන්වහන්සේ පාස්කුව නම් යුදෙව් ආගමික උත්සවය සිහිකිරීමක් හැටියට සිය ප්‍රේරිතයන් සමඟ පවත්වා තිබුණි. අනතුරුව උන්වහන්සේ “මින් අදහස් කරන්නේ ඔබ වෙනුවෙන් දීමට තිබෙන මාගේ ශරීරයය.” යයි පවසමින් නුමුහුන් පාස්කු රොටිවලින් කොටසක් ඔවුන් අතර යැවූ සේක. ඉන්පසු, “මෙම කුසලානෙන් අදහස් කරන්නේ ඔබ වෙනුවෙන් වැගිරවීමට තිබෙන අලුත් ගිවිසුමේ මාගේ රුධිරයය” යයි පැවසූ යේසුස්වහන්සේ මුද්‍රිකපානය සහිත කුසලානයක් එකිනෙකා අත යැවූ සේක. වැඩිදුරටත් උන්වහන්සේ “මා සිහිවීම පිණිස මෙය කරමින් සිටින්න” යයිද වදාළ සේක. (ලූක් 22:19, 20, NW; 1 කොරින්ති 11:24-26, NW) මෙම උත්සවයට ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය, නැතහොත් සිහිකිරීමේ උත්සවය යයි කියනු ලැබේ. සැමරීම පිණිස යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ආඥා කළ එකම උත්සවය මෙයයි.
ආගමික වූ තමන්ගේ වෙනත් සියලු උත්සවයන් සමඟින් තමන් මෙම උත්සවය පවත්වන බව බොහෝ පල්ලි තරයේ කියා සිටිනමුත්, වැඩිදෙනෙක් එය සිහිකිරීමක් හැටියට පවත්වන්නේ යේසුස්වහන්සේ ආඥා කළ ආකාරයට වඩා වෙනස්වය. ඇතැම්විට වඩාත් කැපී පෙනෙන වෙනස වන්නේ එම උත්සවය පවත්වනු ලබන වාර ගණනයි. ඇතැම් පල්ලි මාසිකව, සතිපතා, දවස්පතා පවා එය උත්සවාකාරයෙන් පවත්වයි. “මා සිහිවීම පිණිස මෙය කරමින් සිටින්න” යයි සිය අනුගාමිකයන්ට යේසුස්වහන්සේ වදාළ විට, උන්වහන්සේ අදහස් කළේ එයද? ද නිව් ඉංග්ලිෂ් බයිබල් එය පවසන්නේ, “මා අනුස්මරණය කිරීමක් හැටියට මෙය කරන්න” යනුවෙනි. (1 කොරින්ති 11:24, 25) අනුස්මරණය කිරීමක් නැතහොත් සංවත්සරයක් පවත්වනු ලබන්නේ කොතරම් කලකට වරක්ද? සාමාන්‍යයෙන්, වසරකට වරක් පමණි.
යේසුස්වහන්සේ මෙම සැමරීම ආරම්භ කිරීමෙන් අනතුරුව යුදෙව් දින දර්ශනයේ හැටියට නීසාන් 14වන දින මියගිය බවද මතක තබා ගන්න.a එය, පාස්කු උත්සව දිනය විය, එනම් පො.යු.පෙ. 16වන ශතවර්ෂයේ ඔවුන් මිසරයේ අත්දුටු මහත් ගැලවීම යුදෙව්වන්ට සිහිගන්වන්නාවූ උත්සවයක්ය. එදින බැටළු පැටවෙක් පූජා කිරීමේ විපාකයක් වශයෙන් යුදෙව් කුලුඳුලන් ගැලවුණ අතර, යෙහෝවඃවහන්සේගේ දූතයා මිසරයේ සියලු කුලුඳුලන් මරා දැම්මේය.—නික්මයාම 12:21, 24-27.
මෙය අපගේ වටහා ගැන්මට උපකාරවත් වන්නේ කෙසේද? හොඳයි, ක්‍රිස්තියානි ප්‍රේරිත පාවුල් ලිව්වේ “අපගේ පාස්කුව, එනම් ක්‍රිස්තුස්වහන්සේ, යාග කරනලද්දේය” යනුවෙනි. (1 කොරින්ති 5:7) යේසුස්වහන්සේගේ මරණය මනුෂ්‍ය වර්ගයාට වඩාත් උතුම් ගැලවීමක් සඳහා ප්‍රස්තාවක් ලබා දෙමින්, වඩාත් ශ්‍රේෂ්ඨ පාස්කු පූජාවක් විය. එබැවින්, ක්‍රිස්තියානින් සඳහා, ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ සිහිකිරීම යුදෙව් පාස්කුවේ තැන ගෙන ඇත.—යොහන් 3:16.
පාස්කු උත්සවය වාර්ෂිකව උත්සවාකාරයෙන් පවත්වන ලදි. තර්කානුකූලව, එසේනම්, සිහිකිරීමේ උත්සවයත් එසේමය. පාස්කු දිනය—එනම් යේසුස්වහන්සේ මියගිය දිනය—සැමවිටම වැටුණේ නීසාන් නම් යුදෙව් මාසයේ 14වන දිනයේදීය. එබැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහි කළ යුත්තේ වසරකට වරක් නීසාන් 14වන දිනට අනුරූප වන්නාවූ දිනයේදීය. වර්ෂ 1994දී එම දිනය මාර්තු 26වන දින ඉරු බැස යාමෙන් පසුවය. කෙසේනමුත්, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි මෙම දිනය විශේෂ සැමරුම් දිනයක් හැටියට යොදාගෙන නැත්තේ මන්ද? ඉතිහාසය දෙස කෙටි බැල්මක් හෙලීම එම පැනයට පිළිතුරු දෙනු ඇත.
ප්‍රේරිතමය චාරිත්‍රයක් අනතුරෙහි
පොදු යුගයේ පළමුවන ශතවර්ෂය තුළ, යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන්ගෙන් මඟ පෙන්වීම ලැබූවන් උන්වහන්සේ ආඥා කළ පරිද්දෙන්ම ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය පැවැත්වූ බවට කිසිඳු සැකයක් නොමැත. කෙසේවෙතත්, දෙවන ශතවර්ෂය තුළ, ඇතැමෙක් එහි සිහිපත් කිරීමේ දවස වෙනස් කරන්නට පටන් ගත්හ. ඔවුහු එම සිහිපත් කිරීම නීසාන් 14වන දිනට අනුරූප වන දිනයේ නොව, (දැන් ඉරිදා හැටියට හඳුන්වනු ලබන) සතියේ පළමු දිනයේ පැවැත්වූහ. එසේ කරනු ලැබුවේ මන්ද?
යුදෙව්වන්හට, දිනයක් සවස හයට පමණ ආරම්භ වී ඊළඟ දිනයේ එම වේලාව දක්වා පැවතුණි. යේසුස්වහන්සේ පො.යු. 33 නීසාන් 14වන දින මියගිය අතර, එය බ්‍රහස්පතින්දා සවස සිට සිකුරාදා සවස දක්වා දිව ගියේය. උන්වහන්සේව නැවත නැගිටුවනු ලැබුවේ තුන්වන දිනයේ, එනම් ඉරුදින උදෑසනය. ඇතැමෙකුට යේසුස්වහන්සේගේ මරණයේ සිහිකිරීම පැවැත්වීමට වුවමනා වූයේ, නීසාන් 14ට අනුරූප වූ දිනයේ වෙනුවට, සෑම වසරකම සතියේ යම් නියමිත දවසකය. ඔවුහු තවදුරටත් කල්පනා කළේ යේසුස්වහන්සේගේ නැවත නැගිටීමේ දවස උන්වහන්සේගේ මරණයේ දවසට වඩා වැදගත් බවය. එබැවින් ඔවුහු ඉරුදින තෝරා ගත්හ.
යේසුස්වහන්සේ ආඥා කළේ තමන්ගේ නැවත නැගිටීම නොව, තමන්ගේ මරණය සිහි කළ යුතු බවය. තවද අප දැන් පාවිච්චි කරන්නාවූ ග්‍රෙගෝරියන් දින දර්ශනය අනුව, යුදෙව් පාස්කුව සෑම වසරකම වෙනස් දිනයක වැටෙන බැවින්, එය ස්වභාවයෙන්ම සිහිකිරීමේ උත්සවය සම්බන්ධයෙන්ද සැබෑවක් වනු ඇත. එබැවින් බොහෝ දෙනෙක් මුල් සැකැස්ම අනුවම කටයුතු කරමින්, ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය සෑම වසරකම නීසාන් 14වන දිනයේ පැවැත්වූහ. කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ව “දහහතරවන දාතමයන්” යන්න අදහස් කරන, ක්වෝර්ටෝඩෙසිමන් යනුවෙන් අමතනු ලැබීය.
මෙම “දහහතරවන දාතමයන්” මුල් ප්‍රේරිතයන්ගේ ආකෘතිය අනුගමනය කරමින් සිටි බව ඇතැම් විශාරදයෝ පිළිගත්හ. එක්තරා ඉතිහාසඥයෙක් පැවසුවේ මෙසේය: “පැස්ක [ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය] පැවැත්වීම සඳහා වූ දිනය ගත්කල, ආසියාවේ දහහතරවන දාතමයන්ගේ පල්ලිවලින් භාවිතා කරන ලද දිනය, යෙරුසලෙම් පල්ලිය විසින් භාවිතා කරන ලද දිනයත් සමඟ දිගටම නොවෙනස්ව පැවතුණි. දෙවන ශතවර්ෂයේදී මෙම පල්ලි නීසාන් 14වන දින පැවැත්වූ සිය පැස්කහිදී ක්‍රිස්තුස්වහන්සේගේ මරණයෙන් ඇති කරන ලද ගැලවීම සිහිපත් කළේය.”—ස්ටඩියා පැට්රිස්ටිකා, Vවන වෙළුම, 1962, 8වන පිටුව.
මතභේදයක් වර්ධනය වේ
සුළු ආසියාවේ බොහෝ දෙනෙක් ප්‍රේරිතයන්ගේ ක්‍රියා පටිපාටිය අනුගමනය කළද, රෝමයේ සැමරීම සඳහා වෙන් කරනු ලැබුවේ ඉරුදිනය. පොදු යුගයේ 155වන වර්ෂයේදී පමණ, ආසියානු සභාවන්හි නියෝජිතයෙක් වන, ස්මර්ණයේ පොලිකාර්ප්, මෙය හා වෙනත් ගැටලු ගැන සාකච්ඡා කිරීමට රෝමයට පැමිණියේය. කනගාටුදායක ලෙසින්, මෙම විෂය සම්බන්ධයෙන් එවිට එකඟත්වයකට එළඹීමක් සිදුනොවීය.
ලියෝන්ස්හි අයිරීනියස් ලිපියක මෙසේ ලිව්වේය: “අපගේ ස්වාමීන්ගේ ගෝලයෙක් වන යොහන් හා වෙනත් ප්‍රේරිතයන් සමඟ ඇසුරු කළ පොලිකාර්ප් නිතර පවත්වා තිබූ දෙය තවදුරටත් නොපැවැත්වීමට ඔහුව කැමති කරවා ගැනීම සඳහා [රෝමයේ] ඇනසීටස්ටවත් නොහැකි විය; තමාට පෙර සිටි වැඩිමහල්ලන්ගේ චාරිත්‍රය තමා [ඇනසීටස්] පිළිපැදිය යුතුයයි ඔහු [ඇනසීටස්] කියා සිටි බැවින්, එය පැවැත්වීමට පොලිකාර්ප් ඇනසීටස්ව කැමති කරවා ගත්තේද නැත.” (යූසේබියස්, 5වන පොත, 24වන පරිච්ඡේදය) මෙහිදී පොලිකාර්ප් ප්‍රේරිතයන්ගේ ආධිපත්‍යය මත සිය ස්ථාවරය පදනම් කළද, ඇනසීටස් කලින් රෝමයේ සිටි වැඩිමහල්ලන්ගේ චාරිත්‍රයට යොමු දැක්වූ බව සැලකිල්ලට ගන්න.
මෙම ආරවුල පො.යු. දෙවන ශතවර්ෂයේ අවසාන භාගයේ තවත් වැඩි විය. පොදු යුගයේ 190දී පමණ, වික්ටර් නැමැත්තෙක් රෝමයේ බිෂොප් පදවියට පත්කරනු ලැබීය. ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය ඉරුදිනක පැවැත්විය යුතු යයි ඔහු විශ්වාස කළ අතර, ඔහු හැකි තරම් වෙනත් ආගමික නායකයන්ගේ අනුබලය පැතීය. ඉරුදින ක්‍රමයට වෙනස් වන හැටියට වික්ටර් ආසියාතික සභාවන්ට බලපෑම් කළේය.
සුළු ආසියාවේ වෙසෙන අය වෙනුවෙන් පිළිතුරු යවමින්, එපීසයේ සිටි පොලික්රටීස් මෙම පීඩනයට යටත්වීම ප්‍රතික්ෂේප කළේය. “අපි ඊට කිසිවක් එක් කිරීමක් හෝ අඩු කිරීමක් නොකර, එනම් එය වෙනස් නොකර එම දිනය දිගටම පවත්වන්නෙමු” යයි ඔහු පැවසීය. ඔහු ඉන්පසුව ප්‍රේරිත යොහන්ද ඇතුළුව, බොහෝ අධිකාරීන්ගේ නම් සඳහන් කළේය. “මොවුන් සියල්ලෝම කිසිලෙසකින් ඉන් ඉවත් නොවී, සුවිශේෂය අනුව පැස්ක සඳහා දහහතරවන දිනය පැවැත්වූහ” යයි ඔහු කියා සිටියේය. පොලික්රටීස් තවදුරටත් මෙසේද පැවසීය: “සහෝදරයෙනි, මගේ පැත්තෙන් . . . මම තර්ජනවලට කිසිසේත් භය නොවෙමි. මන්දයත් මට වඩා හොඳ අය, මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට අප විසින් කීකරු විය යුතුය කියා පවසා ඇත.” යූසේබියස්, 5වන පොත, 24වන පරිච්ඡේදය.
මෙම පිළිතුර ගැන වික්ටර් සතුටු වූයේ නැත. එක්තරා ඓතිහාසික කෘතියක් පවසන පරිදි ඔහු “සියලුම ආසියාතික පල්ලි නෙරපමින්, එම මතය දැරූ සියලුම පල්ලි ඔවුන් සමඟ ඇසුරු නොකළ යුතු බව, දැක්වෙන ඔහුගේ චක්‍රලේඛන ඒවාට යැවූ” බව පවසයි. කෙසේවෙතත්, “ඔහුගේ මෙම ඉක්මන් හා නිර්භීත ක්‍රියාව ඔහුගේම පක්ෂයේ ප්‍රඥාවන්ත හා අවංක සියල්ලන් විසින් පිළිගනු නොලැබූ අතර ඔවුන්ගෙන් කීපදෙනෙක් . . . දයානුග්රහය, එක්සත්භාවය හා සාමය පවත්වන හැටියට . . . ඔහුට අවවාද කරමින්, ඔහුට තියුණු ලිපි ලියූහ.”—බිංහම්ගේ ඇන්ටික්විටීස් ඔෆ් ද ක්‍රිස්ටියන් චර්ච්, 20වන පොත, 5වන පරිච්ඡේදය.
ඇදහිල්ල අත්හැරයාමක් සංස්ථාපනය කිරීම
විරෝධය පළ කිරීම් තිබියදීත්, සුළු ආසියාවේ ක්‍රිස්තියානිහු, ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පැවැත්විය යුතු අවස්ථාව පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් තනි වූ තත්ත්වයකට පත්වූහ. වෙනත් ස්ථානවල වෙනස් කිරීම් ක්‍රමක්‍රමයෙන් සිදුකොට තිබුණි. ඇතැමෙක් නීසාන් 14 පටන් ඊළඟ ඉරිදා දක්වා මුළු කාල පරිච්ඡේදය උත්සවාකාරයෙන් පැවැත්වූහ. ඉතිරි අය එම අවස්ථාව වඩාත් බොහෝ වාර ගණනක්—සතිපතා ඉරුදිනයන්හි—පවත්වමින් සිටියහ.
පොදු යුගයේ 314දී, ආර්ල් (ප්‍රංශය) මන්ත්‍රණ සභාව රෝමානු ක්‍රමය බලකර සිටින්නටත්, වෙනත් ඕනෑම විකල්පයක් මැඩපැවැත්වීමටත් වෑයම් කළේය. ඉතිරිව සිටි දහහතරවන දාතමයෝ ඊට අවනත වීම ප්‍රතික්ෂේප කළහ. සිය අධිරාජ්‍යයේ ක්‍රිස්තියානින් යයි කියා සිටි අයව වෙන් කරමින් තිබූ මෙයත් වෙනත් කාරණාත් නිරාකරණය කිරීම පිණිස, පො.යු. 325දී, කොන්ස්ටන්ටයින් අධිරාජ්‍යයා නීසියා මන්ත්‍රණ සභාව නමින් හැඳින්වූ, පල්ලි සියල්ල නියෝජනය කරන්නාවූ ධර්මාධිකාරී සභාවක් කැඳවීය. එය රෝමානු ව්‍යවහාරයට යටත්වන හැටියට සුළු ආසියාවේ සියල්ලන්ට උපදෙස් දුන් නියෝගයක් නිකුත් කළේය.
යුදෙව් දිනදර්ශනයේ ඇති දිනයට අනුව ක්‍රිස්තුස්වහන්සේගේ මරණයේ සිහිකිරීම පැවැත්වීම අත්හැරීම සඳහා ඉදිරිපත් කරන ලද එක් ප්‍රධාන තර්කයක් සැලකිල්ලට ගැනීම වටී. ඒ හිස්ටරි ඔෆ් ද ක්‍රිස්ටියන් කවුන්සිල් නම් කේ. ජේ. හේෆල විසින් රචිත පොතේ මෙසේ පැවසේ: “උත්සවවලින් වඩාත්ම පරිශුද්ධ උත්සවය වන මෙය, වඩාත්ම බිහිසුණු අපරාධයට හවුල්වීමෙන් අපවිත්රවූද, මනස් අන්ධව සිටියාවූද යුදෙව්වන්ගේ චාරිත්‍රයට (ගණනය කිරීමට) අනුව සිදු කිරීම, නිශ්චිතාකාරයෙන් නුසුදුසු යයි ප්‍රකාශ කරනු ලැබීය.” (1වන කාණ්ඩය, 322වන පිටුව) මෙවන් තත්ත්වයක සිටීම “පල්ලියේ බලධාරින්ව හිරිහැරයට පත්කළ සිනගෝගයට ‘අවමානයෙන් යුත් යටත්වීමක්’ ” හැටියට සලකනු ලැබීය කියා ජේ. ජස්ටර් පවසන්නේ යයි ස්ටඩියා පැට්රිස්ටිකා නම් ග්‍රන්ථයේ, 1961, IV වෙළුමේ, 412වන පිටුවේ උපුටා දක්වා ඇත.
එය යුදෙව්වන්ට විරෝධි ස්ථාවරයක් විය! යේසුස්වහන්සේ මියගිය දවසේම එහි සිහිකිරීම පැවැත්වූ අයව සලකනු ලැබුවේ යුදෙව් ආගමිකයන් හැටියටය. යේසුස්වහන්සේම යුදෙව්වෙක්ව සිටි බවත්, ඒ වන විට මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සිය ජීවිතය පූජා කිරීමෙන් උන්වහන්සේ එම දිනයට එහි අර්ථය ලබාදී තිබූ බවත් අමතක කරනු ලැබීය. එවක් පටන් දහහතරවන දාතමයන්ව මිථ්යාග්රාහින් හා නිකාය භේදීන් හැටියට දෝෂාරෝපණයට ලක් කරමින් පීඩාවට ලක් කරනු ලැබීය. පොදු යුගයේ 341 පවත්වන ලද අන්තියෝක මන්ත්‍රණ සභාව ඔවුන්ව නෙරපිය යුතු යයි නියෝග කළේය. එහෙත් පො.යු. 400දී ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් තවදුරටත් පැවති අතර ඉන් බොහෝ කලකට පසු කුඩා සංඛ්‍යාවන් වශයෙන් ඔවුන් දිගටම පැවතුණහ.
ඒ දිනවල පටන්, ක්‍රිස්තියානි ලෝකය යේසුස්වහන්සේගේ මුල් විධිවිධානයට හැරී පැමිණීමට අසමත් වී ඇත. දේවධර්මාචාර්ය විලියම් බ්‍රයිට් මෙසේ පිළිගනී: “ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම හා මරණය සැමරීමට මහ සිකුරාදා නමින් විශේෂිත දිනයක්, කැප කරන්නට යෙදුණු විට, සාන්ත පාවුල් විසින් යාගික මරණය හා සම්බන්ධ කර තිබූ දෙයත් සමඟ ‘පාස්කුව හා බැඳුණු’ මහ සිකුරාදා දිනට සීමා කිරීමට එය ප්‍රමාද වැඩි විය: ඒවා නැවත නැගිටීමේ උත්සවයට නිදහසේ සම්බන්ධ කොට තිබුණු අතර, ග්‍රීක් හා ලතින් පිළිවෙත්වල භාෂාවන්ට අයත් ක්‍රිස්තියානි ලෝකයා තුළ අදහස්වල ආකූලතාවයක් ඇති විය.”—දි ඒජ් ඔෆ් ද ෆාදර්ස්, 1වන වෙළුම, 102වන පිටුව.
අද දවස ගැන කුමක් කිව හැකිද?
‘මෙතරම් දීර්ඝ කාලයක් ගතවී ඇති අවධියකත්, සිහිකිරීම පවත්වනු ලබන දිනය ගැන තවදුරටත් වැදගත් වේද?’ කියා ඔබ අසන්නට පුළුවන. ඇත්තෙන්ම එසේය. වෙනස්කම් කරනු ලැබුවේ, බලය අත්කර ගැනීමට වෑයම් කරමින් සිටි දැඩි මනසකින් යුත් මිනිසුන් විසිනි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේට කීකරු වෙනවා වෙනුවට ජනයා තමන්ගේම අදහස් අනුගමනය කළෝය. මෙනයින් ප්‍රේරිත පාවුල්ගේ අනතුරු ඇඟවීම පැහැදිලිවම ඉෂ්ට විය: “මගේ පිටත්ව යාමෙන් පසු රැළට අනුකම්පා නොකරන රෞද්‍රවූ වෘකයන් නුඹලා [ක්‍රිස්තියානින්] අතරට පැමිණෙන බව දනිමි. නුඹලා අතරෙන්ම මනුෂ්‍යයන් නැගිට, තමුන් පස්සේ යන්ට ගෝලයන් ඇදගන්නා පිණිස කාරණා පෙරළා කථාකරනවා ඇත.”—ක්‍රියා 20:29, 30.
මෙහිදී ප්‍රශ්නයට භාජනය වී ඇත්තේ කීකරුකම පිළිබඳ කරුණයි. ක්‍රිස්තියානින් විසින් පැවැත්වීම සඳහා යේසුස්වහන්සේ පිහිටවූයේ හුදෙක් එක් උත්සවයක් පමණි. එය කවරදාක කෙසේ පැවැත්විය යුතුදැයි බයිබලය නිරවුල්ව පැහැදිලි කරයි. එසේ නම්, එය වෙනස් කිරීමට අයිතිය ඇත්තේ කාටද? මෙම විෂය සම්බන්ධයෙන් ප්‍රතිපත්ති පාවා දෙනවා වෙනුවට, මුල් දහහතරවන දාතමයෝ පීඩා හා නෙරපනු ලැබීම්වලට යටත් වූහ.
යේසුස්වහන්සේගේ අභිමතයන්ට ගෞරව කරමින් උන්වහන්සේ පිහිටෙවූ දිනයේ එතුමන්ගේ මරණය සිහිකිරීම පවත්වන්නාවූ ක්‍රිස්තියානින් තවදුරටත් පොළොව මත සිටින බව දැනගැනීමට ඔබ සතුටු වනවා විය හැක. මේ වසරේ, පොළොව මුළුල්ලේ සිටින යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්—නීසාන් 14වන දින ආරම්භ වන—මාර්තු 26වන, සෙනසුරාදා, සවස 6:00න් පසු තමන්ගේ රාජ්‍යය ශාලාවන්හි රැස්වෙනවා ඇත. ඔවුන් එවිට, වඩාත් අර්ථවත් වන මේ වේලාවේ, කළ යුතු යයි යේසුස්වහන්සේ හරියටම පැවසූ දෙය කරනු ඇත. ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය ඔවුන් සමඟ නොපවත්වන්නේ මන්ද? පැමිණ සිටීමෙන්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අභිමතයන්ට ඔබටත් ඔබගේ ගෞරවය පෙන්විය හැක.
[පාදසටහන්වල]
a යුදෙව් අවුරුද්දේ පළමු මාසය වන, නීසාන්, නව සඳ පළමුවරට දර්ශනය වීමත් සමඟ ආරම්භ විය. මෙසේ නීසාන් 14වන දින හැමවිට පැමිණියේ පුරසඳ තිබූ අවස්ථාවේදීය.
[6වන පිටුවේ කොටුව]
“ඒ අගනා මිදීමේ මිලය”
යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ යාගය මූල ධර්මයකට වැඩි යමක් වන්නේය. යේසුස්වහන්සේ තමන් ගැනම මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රයා සේවය ලබන්ට නොව සේවයකරන්ටද බොහෝ දෙනෙකු උදෙසා මිදීමේ මිලයක් කොට තමාගේ ජීවිතය දෙන්ටද ආයේය.” (මාර්ක් 10:45) උන්වහන්සේ තවදුරටත් මෙසේද පැහැදිලි කළ සේක: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට [මනුෂ්‍යවර්ගයා සමන්විත] ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) මෙම මිදීමේ මිලය, මළවුන්හට නැවත නැගිටීමේ හා සදාකාල ජීවිතයේ අපේක්ෂාව සඳහා මාර්ගය විවෘත කරයි.—යොහන් 5:28, 29.
ස්වාමීන්වහන්සේගේ සන්ධ්‍යා භෝජනය පවත්වන විට සමරනු ලබන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ අතිවැදගත් මරණයය. උන්වහන්සේගේ යාගය කොතරම් දේවල් ඉටුකරයිද! දේව භක්තිය දරන මව්පියන් විසින් පුහුණු කරනු ලැබුවාවූද, දශක ගණනාවකට දෙවියන්වහන්සේගේ සත්‍යයේ ගමන් කර ඇත්තාවූද එක්තරා කාන්තාවක් මෙම වදන්වලින් සිය කෘතඥතාවය ප්‍රකාශ කළාය:
“අපි සිහිකිරීමේ උත්සවය එනතෙක් ආශාවෙන් බලා සිටිනවා. එය සෑම වසරකම තව තවත් විශේෂත්වයක් ගන්නවා. දැනට වසර 20කට පෙර අවමඟුල් ගෙදර සිට, මගේ ප්‍රේමනීය පියාගේ දේහය දෙස බලමින්, මිදීමේ මිලය සඳහා සැබෑ හෘදයාංගම ඇගැයීමක් ලැබූ අවස්ථාව මට මතකයි. ඊට පෙර එය හුදෙක් ශාස්ත්‍රීය විෂයක් වුණා. ශුද්ධලියවිලි පද සියල්ල හා ඒවා විස්තර කළ යුතු ආකාරය මම දැන සිටියා තමයි. එහෙත් එම මිදීමේ මිලය මගින් අපහට ඉටුවන්නට යන දෙය කෙරෙහි මාගේ හෘදය ඇත්තෙන්ම ප්‍රීතියෙන් ඉපිළ ගියේ මරණයේ වේදනාසහගත යථාර්ථය මට දැනුණ විට පමණි.”