ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 3/15 21-23 පි.
  • “පාද නොව, මුඛය පෝෂණය කරන්න”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “පාද නොව, මුඛය පෝෂණය කරන්න”
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සම්ප්‍රදායික භූමදාන චාරිත්‍ර
  • සම්ප්‍රදායික අප්‍රිකානු විශ්වාස
  • බයිබලය පවසන දෙය
  • වෙනස් අය ලෙස කැපී පෙනෙන්නේ මන්ද?
  • මළවුන්ට ගරුබුහුමන් දැක්විය යුතුද?
    1999 පිබිදෙව්!
  • අවමංගල්‍ය චාරිත්‍ර පිළිබඳව ක්‍රිස්තියානි දෘෂ්ටියක්
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි හෙළාදකින චාරිත්‍ර ප්‍රතික්ෂේප කරමු
    2005 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අවමංගල්‍ය කටයුතු දෙවිට ගෞරව ගෙන දෙන ආකාරයෙන් සිදු කරමු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 3/15 21-23 පි.

“පාද නොව, මුඛය පෝෂණය කරන්න”

සම්ප්‍රදායික අප්‍රිකානු භූමදාන චාරිත්‍රයන් දෙස බැල්මක්

“ඔවුන් සිය මළවුන් භූමදානය කරන්නේ නැත!” මෙය බටහිර අප්‍රිකාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පිළිබඳව පොදුවේ කරනු ලබන ප්‍රකාශයකි. එහෙත්, සාක්ෂිකරුවන් ඇත්ත වශයෙන්ම, තමන්ගේ මළවුන් භූමදාන කරන බව සුප්‍රකට කරුණකි.

යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් තමන්ගේ මළවුන් භූමදාන නොකරන්නේ යයි ජනයා පවසන්නේ මන්ද? ඔවුන් එසේ පවසන්නේ සාක්ෂිකරුවන් ජන සම්මත දේශීය භූමදාන චාරිත්‍ර බොහොමයක් නොපවත්වන නිසාය.

සම්ප්‍රදායික භූමදාන චාරිත්‍ර

ආලියූ මධ්‍යම නයිජීරියාවේ කුඩා ගම්මානයක වාසය කරන්නෙකි. ඔහුගේ මව මියගිය විට, ඔහු ඇගේ මරණය ගැන සිය ඥාතීන්ට දැනුම් දී, ශුද්ධලියවිලිමය කථාවක් ඇගේ නිවසේ ඉදිරිපත් කිරීමට කටයුතු පිළියෙළ කළේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය සභාවේ වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරනු ලැබූ එම කථාව, මළවුන්ගේ තත්ත්වය ගෙනහැර දක්වමින් බයිබලයේ සඳහන් හද උණුසුම් කරවන නැවත නැගිටීමේ බලාපොරොත්තුවට යොමු දැක්වීය. එම කථාවෙන් පසු ආලියූගේ මව භූමදාන කරනු ලැබීය.

එම ඥාතිහු මහත්සේ කුපිත වූහ. සාමාන්‍යයෙන් කෙනෙකු නැසෙන රාත්‍රියට පසුව පවත්වනු ලබන මිනියට තනි රැකීමක් නැතිව කිසිඳු භූමදානයක් අංග සම්පූර්ණ නොවේ. ආලියූ වාසය කරන සමාජයේ මිනියට තනි රැකීමේ රාත්‍රිය වැලපීමේ නොව, උත්සව පැවැත්වීමේ අවස්ථාවකි. මෘත දේහය සෝදා, සුදු වස්ත්‍ර පළඳවා, ඇඳක් මත තබනු ලැබේ. වියෝ දුකෙන් පෙළෙන්නෝ, සංගීතඥයන් කැඳවා, පෙට්ටි ගණන් බීර මෙන්ම ජෝගු ගණන් පාම් වයින් මිලදී ගෙන, ගොනෙක් හෝ එළුවෙක් පූජා කිරීමට කටයුතු පිළියෙළ කරති. එවිට ඊළඟ දිනය උදාවනතෙක් ගී ගැයීමට, නැටීමට, ආහාර ගැනීමට හා මත්පැන් බීමට ඥාති මිත්‍රාදිහු පැමිණෙති.

මෙම උත්සවයන් තුළ, ආහාර මෘත දේහයේ පාද අසල දමනු ලැබේ. “දෙවන භූමදානය” සඳහා මළ තැනැත්තාගේ හිස කෙස්වලින්, අතැඟිලි නියපොතුවලින් හා පයේ ඇඟිලි නියපොතුවලින් කොටස් කපා වෙන්කර තබනු ලැබේ. එය සිදුවන්නේ දින, සති, නැතහොත් වසර ගණනාවකට පවා පසුවය.

අවමගුල් උත්සවයේ කටයුතු සතියකට හෝ ඊටත් වැඩි කාලයකට පවත්වනු ලැබුවද, එම මෘත දේහයේ භූමදාන කටයුත්ත, මිනියට තනි රැකීමේ රාත්‍රියට පසු දින සිදු කෙරේ. දෙවන භූමදානය සිදු කරනු ලබන්නේ පසු අවස්ථාවකය. හිස කෙස්වලින්, අතැඟිලි නියපොතුවලින් හා පයේ ඇඟිලි නියපොතුවලින් ගන්නා කොටස්, අඩි පහක් හෝ හයක් දිගැති ලෑල්ලකට බඳින ලද සුදු රෙද්දක ඔතනු ලැබේ. ගැයුම් නැටුම් සහිත පෙරහැරකින් එම ලෑල්ල මිනීවළ තිබෙන ස්ථානයට ගෙනගොස් එය නියෝජනය කරන තැනැත්තා අසල වළලනු ලැබේ. යළිත් වරක්, සෑහෙන සංගීත වාදනයක්, මත්පැන් පානය කිරීමක් හා උත්සව පැවැත්වීමක් සිදු කෙරේ. අවමගුල් කටයුතු අවසන් කිරීමට, තුවක්කුවකින් වරක් අහසට වෙඩි තබනු ලැබේ.

ආලියූ මේ කිසිවකට ඉඩ නුදුන් බැවින්, ඔහු මළවුන්ට නැතහොත් ඔවුන්ට බුහුමන් දක්වන්නාවූ සම්ප්‍රදායන්ට ගෞරව නොකරන්නේ යයි ඔහුට දෝෂාරෝපණය කරනු ලැබීය. එහෙත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙක් වන, ආලියූ සම්ප්‍රදායන් අනුව කටයුතු කිරීම ප්‍රතික්ෂේප කළේ මන්ද? හේතුව මෙම සම්ප්‍රදායන් පදනම්ව ඇති ආගමික සංකල්පයන් ඔහුගේ හෘදය සාක්ෂියට එකඟව පිළිගැනීමට ඔහුට නොහැකි වීමයි.

සම්ප්‍රදායික අප්‍රිකානු විශ්වාස

අප්‍රිකාව පුරා, ජනයා විශ්වාස කරන්නේ මිනිසුන් ආත්ම විෂයෙන් පැමිණි බවත් හැරී එතැනට යන බවත්ය. නයිජීරියාවේ යොරුබා වර්ගයට අයත් ජනයා මෙසේ පවසති: “පොළොව වෙළෙඳපොළක් මෙන් තාවකාලික රැඳුම් ස්ථානයක් වන අතර ස්වර්ගය නිවස වේ.” එමෙන්ම ඉග්බෝ වර්ගයට අයත් ජනයාගේ කියමන නම්: “කෙනෙක් කොතරම් කාලයක් පොළොවේ නතර වී සිටියත්, මේ ලෝකයට පැමිණෙන සෑම කෙනෙක්ම හැරී නිවසට යා යුතුය යන්නය.”

කලින් සඳහන් කළ චාරිත්‍රයන් සලකා බලන්න. මිනියට තනි රැකීමට යොදා ගැනීමේ අරමුණ ආත්මයට හොඳ පිටත්ව යාමක් දීමටය. සුදු ඇඳුම් ආත්ම විෂය සඳහා උචිත වස්ත්‍රයක් හැටියට සලකනු ලැබේ. පාද අසල ආහාර දැමීම වූකලි මෘත දේහ, පාදවලින් අනුභව කරන බවටත් මුතුන් මිත්තන්ගේ දේශයට යන ගමනේදී බඩගිනි නොවන පිණිස පෝෂණය කළ යුතු බවටත් වූ අදහස හා බැඳී පවතී.

එපමණක් නොව, ජනයා පොදුවේ විශ්වාස කරන්නේ ආත්මය ශරීරයෙන් වෙන් වී යන විට, එය ජීවතුන් අතර සැරිසරන බවත් අවසානයේ දෙවන භූමදානයෙන් නිදහස් කරනතෙක් මුතුන් මිත්තන් වෙතට හැරී නොයන බවත්ය. දෙවන භූමදානය සිදු නොකළොත්, ආත්මය කෝප වී ජීවතුන්ට රෝග හෝ මරණයෙන් හිරිහැර කරනු ඇතැයිද ජනයා බිය වෙති. තුවක්කුවකින් වෙඩි තබන්නේ “ආත්මය” ස්වර්ගයට “පිටකර යැවීමටය.”

අප්‍රිකාවේ තැනින් තැනට අවමගුල් චාරිත්‍රවාරිත්‍ර අතිශයින් වෙනස් වෙතත්, සාමාන්‍යයෙන් මූලික අදහස වන්නේ ශරීරය මැරෙන විට ආත්මය නොමැරී පවතින බවය. චාරිත්‍රවල මූලික අරමුණ වනාහි “නිවසෙන් ලැබෙන කැඳවීමට” ප්‍රතිචාරය දැක්වීමට ආත්මයට උපකාර කිරීමය.

මෙම විශ්වාස හා වත්පිළිවෙත් මනුෂ්‍ය ආත්මයේ අමරණීයත්වය පිළිබඳ ක්‍රිස්තියානි ලෝකයේ ධර්ම ඉගැන්වීම් හා ඇය විසින් “සාන්තුවරයන්” හට ගෞරවනීය භක්තියක් පුද කිරීම මගින් දිරිගන්වා ඇත. යේසුස්වහන්සේ පැමිණියේ, සම්ප්‍රදායික විශ්වාසයන් විනාශ කිරීමට නොව, එහෙත් ඒවා සම්පූර්ණ කිරීමට නැතහොත් ස්ථිර කිරීමට යයි පැවසූ ස්වාසිලන්තයේ හමුදා දේවගැතියෙකුගේ අදහස් ප්‍රකාශය පොදු මතය මොනවට කියාපායි. දේවගැතියන් සාමාන්‍යයෙන් භූමදාන කටයුතුවලදී ඒවා මෙහෙයවන බැවින්, බොහෝ දෙනෙකුට හැඟෙන්නේ බයිබලය සම්ප්‍රදායික විශ්වාසයන්ට හා ඉන් බිහි වූ චාරිත්‍රවලට අනුබල දෙන බවය.

බයිබලය පවසන දෙය

බයිබලය මෙම විශ්වාසයන්ට අනුබල දෙන්නේද? මළවුන්ගේ තත්ත්වය පිළිබඳව, දේශනාකාරයා 3:20 මෙසේ පවසයි: “සියල්ලෝම [මනුෂ්‍යයන් හා සත්ත්වයන් යන දෙපිරිසම] එකතැනකට යන්නෝය; සියල්ලෝම පස්වලින් වූහ, සියල්ලෝම නැවත පස්වලට හැරීයන්නෝය.” ශුද්ධලියවිල්ල තවදුරටත් මෙසේ පවසයි: “ජීවත්වන්නෝ තමුන් නසින්ට ඕනෑ බව දනිති. මළාහු කිසිවක් නොදනිති. . . . ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යාවද දැන් නැතිවී තිබේ. . . . නුඹ යන මිනීවළෙහි [ෂෙයෝලෙහි] වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.”—දේශනාකාරයා 9:5, 6, 10.

මේවාත් වෙනත් ශුද්ධලියවිලි පදත් පැහැදිලි කරන්නේ මළවුන්ට අපව දැකීමට, නැතහොත් අපට සවන්දීමට, නැතහොත් අපට උපකාර කිරීමට, නැතහොත් අපට හානි කිරීමට නොහැකි බවය. ඔබ නිරීක්ෂණය කර තිබෙන දෙයත් සමඟ මෙය නොගැළපේද? පවුලේ අය චාරිත්‍රානුකූල සියලු අවමගුල් කටයුතු සම්පූර්ණයෙන් ඉෂ්ට කළත්, ඔවුන් ඉන් අනතුරුව පීඩාවන්ට මුහුණ දුන්, ධනවත්, බලපුළුවන්කම්වලින් යුක්තව සිටි කෙනෙකුගේ මරණය ගැන ඔබ දැන සිටින්නට පුළුවන. එම තැනැත්තා ආත්ම විෂයෙහි ජීවත්ව සිටී නම්, ඔහු තමාගේ පවුලට උපකාර නොකරන්නේ මන්ද? ඔහුට එසේ කළ නොහැකිය, මන්දයත් බයිබලය පවසන දෑ සැබෑවක් බැවිනි—එනම් මළාහු අප්‍රාණිකව සිටිති, “මරණයේ බෙලහීනව සිටිති,” ඇරත් ඒ හේතුවෙන් කිසිවෙකුට උපකාර කළ නොහැකි තත්ත්වයක සිටින බැවිනි.—යෙසායා 26:14, NW.

දෙවියන්වහන්සේගේ පුත්‍රයා වන, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මෙය සැබෑවක් බව දැන සිටි සේක. ලාසරුස් මළ පසු සිදුවූ දෙය සලකා බලන්න: “උන්වහන්සේ [යේසුස්වහන්සේ] මෙසේ කියා, පසුව: අපගේ මිත්‍රවූ ලාසරුස් සැතපී ඉන්නේය; ඔහු පුබුදුවන පිණිස යමියි ඔවුන්ට [සිය ගෝලයන්ට] කීසේක. එබැවින් ගෝලයෝ උන්වහන්සේට කථාකොට: ස්වාමිනි, ඔහු සැතපී සිටී නම් ඔහුට සුවවේයයි කීවෝය. යේසුස්වහන්සේ කීවේ ඔහුගේ මරණය ගැනය.”—යොහන් 11:11-13.

යේසුස්වහන්සේ මරණය සැතපීමකට, නින්දකට සමාන කළ බව සැලකිල්ලට ගන්න. උන්වහන්සේ බෙතානියට පැමිණි විට, ලාසරුස්ගේ සහෝදරියන් වන මරියා හා මාර්තාව උන්වහන්සේ සැනසූ සේක. දයානුකම්පාවට පත් යේසුස්වහන්සේ කඳුළු සැලූසේක. එහෙත් ලාසරුස්ට තවදුරටත් සප්‍රාණික තත්ත්වයක තිබෙන ආත්මයක් ඇති බව හා ඔහුගේ මුතුන් මිත්තන්ගේ දේශය කරා ළඟා වීමට උපකාරය බලාපොරොත්තු වන බවක් අඟවන කිසිවක් උන්වහන්සේ කීවේ හෝ කළේ නැත. ඒ වෙනුවට, තමන්වහන්සේ කරන්නේ යයි පැවසූ දෙය එතුමන් කළ සේක. නැවත නැගිටුවීමක් මගින් එතුමන් ලාසරුස්ව මරණ නින්දෙන් අවදි කළ සේක. සිහිකිරීමේ සොහොන් ගෙවල්හි සිටින සියල්ලන්ව නැවත නැගිටුවීමට අවසානයේ දෙවියන්වහන්සේ යේසුස්වහන්සේව පාවිච්චි කරනු ඇති බවට මින් සාක්ෂි දෙනු ලැබීය.—යොහන් 11:17-44; 5:28, 29.

වෙනස් අය ලෙස කැපී පෙනෙන්නේ මන්ද?

ශුද්ධලියවිල්ල මත පදනම් නොවූ විශ්වාසයන් හා බැඳි අවමගුල් චාරිත්‍රයන් ඉටු කිරීමෙහි යම් වැරැද්දක් තිබේද? ආලියූ මෙන්ම මිලියන සංඛ්‍යාත වූ වෙනත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එසේ කිරීමෙහි වැරැද්දක් ඇති බව විශ්වාස කරති. වැරදිසහගත හා නොමඟ යවනසුලු ධර්ම ඉගැන්වීම් මත පැහැදිලිවම පදනම් වී ඇති ඕනෑම වත්පිළිවෙතකට තමන් අනුබල දීම වැරැද්දක්—කුහකකමක් පවා—වන බව ඔවුහු දනිති. ආගමික කුහකකම හේතුවෙන් යේසුස්වහන්සේ දෝෂාරෝපණයට ලක් කළ, ලියන්නන් හා ඵරිසිවරුන් මෙන් වීමට ඔවුන්ට වුවමනා නැත.—මතෙව් 23:1-36.

ප්‍රේරිත පාවුල් සිය හවුල් වැඩකරුවා වන තිමෝතිට මෙසේ අනතුරු ඇඟවීය: “එහෙත් පසු කාලවලදී සමහරු මුළාකරවන ආත්මයන්ද යක්ෂයන්ගේ ගුරුකම්ද සලකා ඇදහිල්ලෙන් අහක්ව යනවා ඇතැයි [ආනුභාවයලත් ප්‍රකාශය නිශ්චිතව පවසයි, NW] එසේවන්නේ බොරු-කියන්නාවූ, . . . මිනිසුන්ගේ වංකකම [කුහකකම, NW] කරණකොටගෙනය.” (1 තිමෝති 4:1-3) මනුෂ්‍ය වර්ගයාගේ මළවුන් ආත්ම විෂයේ සප්‍රාණිකව සිටින බවට වූ සංකල්පය යක්ෂයන්ගේ ඉගැන්වීමක්ද?

එසේය ඒව මාංසාකාරයෙන් දිගටම ජීවත්ව සිටිනු ඇති බව අඟවමින්, ඇය නොමැරෙන බව ඇයට කියා සිටියේ “බොරුවේ පියා” වන සාතන් නම් යක්ෂයාය. (යොහන් 8:44; උත්පත්ති 3:3, 4) එය අමරණීය ආත්මයක්, ශරීරයේ මරණයෙන් පසු දිගටම ජීවත් වන බව පැවසීම හා සමාන නොවීය. කෙසේවෙතත්, මරණයෙන් පසු ජීවිතය දිගටම පවතින බවට වූ අදහසට අනුබල දෙමින් දේව වචනයේ සත්‍යතාවයෙන් ජනයාව වෙනතකට හැරවීමට සාතන් හා ඔහුගේ දූතයෝ වෑයම් කරති. දෙවියන්වහන්සේ බයිබලයේ පවසන දෙය ඔවුන් විශ්වාස කරන බැවින්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ සාතන්ගේ බොරුවලට අනුබල දෙන්නාවූ දෘෂ්ටීන් හා ව්‍යවහාරයන්හි කොටස්කරුවන් නොවන්නාහ.—2 කොරින්ති 6:14-18.

ශුද්ධලියවිලිමය නොවන භූමදාන පුරුදු මඟ හැරීමෙන්, යෙහෝවඃවහන්සේගේ සේවකයෝ සිය දෘෂ්ටිය නොදරන ඇතැම් අයගේ අප්‍රසාදයට ලක් වී ඇත්තාහ. ඇතැම් සාක්ෂිකරුවන්ට සිය උරුමයන් අහිමි කොට තිබේ. අන්‍යයන්ව සිය පවුල්වලින් නෙරපා ඇත. කෙසේවෙතත්, සැබෑ ක්‍රිස්තු භක්තිකයන් හැටියට දෙවියන්වහන්සේට විශ්වාසනීය කීකරුකමක් පෙන්වීම ලෝකයේ අප්‍රසාදය ගෙනෙන බව ඔවුහු තේරුම් ගෙන සිටිති. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පක්ෂපාත ප්‍රේරිතයන් මෙන්, පාලකයාණන් හැටියට “මනුෂ්‍යයන්ට වඩා දෙවියන්වහන්සේට . . . කීකරු” වීමට ඔවුහු අධිෂ්ඨාන කරගෙන සිටිති.—ක්‍රියා 5:29; යොහන් 17:14.

මරණයේ සැතපී සිටින තමන් ප්‍රේම කළ අය පිළිබඳ මතක සටහන් සිතෙහි ආදරයෙන් දරා සිටින අතර, සැබෑ ක්‍රිස්තියානිහු ජීවත්ව සිටින අය සඳහා ප්‍රේමය විදහා පෙන්වීමට වෑයම් කරත්. උදාහරණයක් හැටියට, සිය පියාගේ මරණයෙන් පසු ආලියූ තමාගේ මව සිය නිවසට කැඳවාගත් අතර එතැන් පටන් ඇයව රැකබලා පෝෂණය කොට තිබුණි. ජන සම්මත චාරිත්‍ර අනුව ඔහු ඇයව භූමදාන නොකළ නිසා ආලියූ සිය මවට එතරම් සැලකිල්ලක් නොදැක්වූයේ යයි අන්‍යයන් කියන විට, සිය ජනයා අතර ව්‍යවහාරයේ පවතින මතු සඳහන් පොදු කියමන ඔහු ඔවුන්ට පවසයි: “මගේ පාද පෝෂණය කරන්නට පෙර මගේ මුඛය පෝෂණය කරන්න.” මුඛය පෝෂණය කිරීම, නොහොත් ඔහු හෝ ඇය තවමත් ජීවත්ව සිටින අතර පුද්ගලයෙකුට සැලකිල්ල දැක්වීම පාද පෝෂණය කිරීමට වඩා, එනම් කලින් විස්තර කළාවූද, පුද්ගලයෙක් මියගිය පසු පවත්වන මිනියට තනි රැකීම හා සම්බන්ධව ඇත්තාවූද ව්‍යවහාරයට වඩා අතිශයින් වැදගත් වේ. පාද පෝෂණය කිරීම, ඇත්ත වශයෙන්ම, මියගිය තැනැත්තාට කිසිසේත් ප්‍රයෝජනවත් නොවේ.

තමාව විවේචනය කරන අයගෙන් ආලියූ අසන්නේ, ‘ඔබ වැඩියෙන් කැමති කුමකටද—ඔබගේ පවුල ඔබ වයස්ගතව සිටින විට රැකබලා ගන්නවාටද, නැතහොත් ඔබ මියගිය පසු ඔවුන් විසින් ගම්භීර උත්සවයක් පවත්වනවාටද?’ වැඩිදෙනෙක් කැමති වන්නේ තවමත් ජීවත්ව සිටින විට රැකබලා ගනු ලැබීමටයි. තමන්ගේ මරණයේදී, බයිබලය මත පදනම් ගෞරවනීය අවමගුල් මෙහෙයක් හා විනීත භූමදානයක් තමන්ට ලැබෙන බව දැන සිටීමද ඔවුහු අගය කරති.

තමන් ප්‍රේම කරන අයට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කරන්නට වෑයම් කරන්නේ එයයි. ඔවුන් පෝෂණය කරන්නේ පාද නොව එහෙත්, මුඛයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න