දේව සේවයේදී නිවස මතක් වීමෙන් ඇති වන දුක සමඟ ක්‍රියා කිරීම
ගොස්, සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා” යනුවෙන් යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ට ආඥා කළ සේක. (මතෙව් 28:19) බොහෝ ක්රිස්තියානින්හට, එම ආඥාව ක්‍රියාවට නැගීම අදහස් කර ඇත්තේ නිවසෙන් දුර බැහැර දුෂ්කර තත්ත්වයන් පිළිගැනීමකි. සංචාරක අවේක්ෂකයන්, ඔවුන්ගේ භාර්යාවන් හා වෙනත් අය දේව සේවය වෙනුවෙන් බොහෝ දේවල් පසෙකට දමති. යෙහෝවඃවහන්සේගේ මෙම සාක්ෂිකරුවන් සියල්ලන්හට නිවස මතක් වීමෙන් ඇති වන දුක සැබෑ අභියෝගයක් විය හැක.
නිවස මතක් වීමෙන් ඇති වන දුක දැනෙන්නේ මිහිරි අතීතයක තිබූ සුරක්ෂිතභාවය හා ප්‍රේමය වෙතට ඔබගේ මතක සටහන් මගින් සිතුවිලි ගෙනයනු ලබන විටය. විෂාදය දැනී ඔබට තවදුරටත් කටයුතු කළ නොහැකි තත්ත්වයක දැඩි චිත්තවේගයක් මෙනිසා හටගත හැකිය. ඇත්ත වශයෙන්ම, තමන් සන්තක දේවල් විකුණා විදේශ රටකට මහත් මුදලක් වැය වන ගමනක් යෑමෙන් පසු, ඇතැමෙක් සිය සැලසුම් අත්හැර නැවත ගෙදර පැමිණ ඇත්තාහ. සිදුවී තිබෙන්නේ නිවස මතක් වීමෙන් ඇති වන දුක තමන්ට දරාගත නොහැකි වීමයි.
මුලින්ම යම් තැනක පදිංචියට යෑමෙන් පසු චිත්තවේගය කෙරෙහි එවන් තත්ත්වයන් බලපෑම් ඇති කිරීම සාමාන්‍යයෙන් නිතර සිදු වෙතත්, ඇතැමෙක් සම්බන්ධයෙන් ඒවා ජීවිත කාලයක් පුරා දිගටම පවතී. වසර 20කට වැඩි කාලයක් නිවසෙන් බැහැරව විසීමෙන් පසු, යාකොබ්, ‘පියාගේ ගෙදරට යන්ට අතිශයින් ආශාවෙන් සිටියේය.’ (උත්පත්ති 31:30) නිවස මතක් වීමෙන් ඇති වන දුකෙන් වේදනා විඳින්නට අපේක්ෂා කළ හැක්කේ කාටද? එය හට ගන්නේ කුමක් නිසාද? කෙනෙකුට එවන් හැඟීම් සමඟ ක්‍රියා කළ හැක්කේ කෙසේද?
එම දුක හට ගන්නේ කුමක් නිසාද?
නිවස මතක් වී ඇති වන දුක ඕනෑම කෙනෙකුට බලපෑ හැක. අස්ටියාගුස් නම් මේදිය රජගේ දියණියක් වන අමිටස්ට, පෙනෙන හැටියට සතුටු වීම සඳහා සෑම හේතුවක්ම, එනම් සම්පත්, ගෞරවය, ලස්සන නිවසක් යනාදිය තිබුණි. එහෙත් මේදිය රටේ තිබූ කඳු මතක් වීමෙන් ඇයට කොතරම් දුකක් දැනුනේදයත්, ඇයගේ පුරුෂයාවන, නෙබුකද්නෙශර් රජ, ඇයව සැනසීමට වෑයමක් වශයෙන් බබිලෝනියේ එල්ලෙන උයන ගොඩනැගුවේය.
අලුත් ස්ථානයක පදිංචියට ගිය තැනැත්තෙකුට, එහි ජීවිතය පෙරට වඩා තවත් දුෂ්කර බව පෙනෙන විට, නිවස මතක් වීමෙන් ඇති වන දුක විශේෂාකාරයෙන් පරීක්ෂණාත්මක වන්නට පුළුවන. යුදාහි ජනයා වහලුන් බවට පත්වූ විට, ඔවුහු මෙසේ වැලපෙන්නට වූහ: “බබිලෝනියේ ගංගා ළඟ ඉඳගතිමුව,—එසේය, එහිදී සියොන් සිහිවූ කල ඇඬීමුව. අන්‍ය දේශයකදී ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ගීය කෙසේ ගායනා කරමුද?”—ගීතාවලිය 137:1, 4.
කාරණා බොහොමයක් නිවස මතක් වීමෙන් ඇති වන දුකෙහි දොම්නස අවුස්සන්නට පුළුවන. කැනඩාවෙන් ඉවත්වූ, ටෙරි, මෙසේ පවසන්නීය: “දිනක් පොතක් තුළ තිබූ පවුලේ ඡායාරූපයක් බිම වැටුණි. මා එය අහුලා ගත් විට, හදිසියේම මට නිවස මතක් වීමෙන් දරාගත නොහැකි මහත් දුකක් දැනුණ අතර මම හැඬුවෙමි.” එංගලන්තයේ සිට වඩාත් දිළිඳු රටක පදිංචියට ගිය ක්‍රිස්, මෙසේ පිළිගනී: “පැරණි ගීයක තාලය නැතහොත් තමන්ට සුපුරුදු කෑමක සුවඳ මතක් වීම මා අත්හැර දමා පැමිණි දේවල් සඳහා මහත් ආශාවක් මා තුළ ඇති කරවන්නට පුළුවන.”—ගණන් කථාව 11:5 සසඳන්න.
පවුල තුළ කිට්ටු සම්බන්ධතාව බොහෝ විට දායක වන සාධකයකි. දැන් අසල්වැසි රටක වාසය කරන රෝසාලි නම් බ්‍රසීල කාන්තාවක් මෙසේ පවසන්නීය: “නිවසෙන් අශුභ පුවත් මට ලැබෙන විට හා උපකාර කිරීමට මට එහි යෑමට නොහැකි වන විට මට අධෛර්යයක් දැනෙනවා. ඇතැම් අවස්ථාවන්හි මට කිසි ආරංචියක් නොලැබී මා කාරණා හිතේ මවා ගන්ට පටන් ගන්නා විට, තත්ත්වය වඩාත් බරපතළ වෙනවා.” ජැනිස් උතුරු අමෙරිකාවේ සිට නිවර්තන දිග ඇමසෝනියානු ප්‍රදේශයේ කුඩා නගරයක පදිංචියට ගියාය. “නිවස මතක් වී මට දුකක් දැනෙන්නේ නිවසෙන් මට ශුභාරංචි අසන්නට ලැබෙන විටය. ඔවුන් එක්ව ප්‍රීතියෙන් සිටින ආකාරය ගැන මට අසන්නට ලැබෙන අතර, මටත් ඔවුන් සමඟ සිටින්නට මම ප්‍රාර්ථනා කරමි” යයි ඇය පවසයි.
නිවස මතක් වීමෙන් ඇති වන දුක සඳහා හේතුව පුද්ගලයන්ගෙන් වෙන්වීම නොවේ. ලින්ඩා මෙසේ පැහැදිලි කරන්නීය: “මට ඕනෑ කරන දේවල් මා මිලදී ගත යුතු ස්ථානය මා නොදැන සිටි විට මට බලාපොරොත්තු රහිතභාවයක් දැනේ. මා මිල ගණන් හෝ බඩු හුවමාරු කර ගත යුතු ආකාරය දැන සිටියේ නැත. මොටර් රථයක හිමිකරුවෙක්ව සිටීම මිළ අධික දෙයක් වූ අතර ජනයාගෙන් පිරි පොදු ප්‍රවාහණ මාධ්‍යයන්වලට මා ගොඩ වන්නට වෑයම් දරන විට මා නිතර එහා මෙහා තල්ලු කිරීම්වලට ගොදුරු වුණා. මෙය නිවස සඳහා මහත් ආශාවක් මා තුළ ඇති කළා.” සංස්කෘතික හා ආර්ථික පරතරය ගැන අදහස් දක්වමින්, ජැනට් මෙසේ පවසයි: “මාව කලබලයට පත් කළේ දිළිඳුකමයි. ජනයා පාන් සඳහා හිඟමන් ඉල්ලීම, හෝ විශාල පවුල් ජලය නොමැතිව එක කාමරයක ජීවත්වීම මා මීට පෙර කිසිකලෙක දැක නැහැ . . . මෙවන් දේවල් මට තවදුරටත් එතැන සිටිය නොහැකි බවක් හඟවමින් මාව අතිශයින් කලබලයට පත් කළා.”
ඔබගේ හැඟීම් සමඟ කටයුතු කිරීම
අප ප්‍රේම කරන අය සඳහා හෝ අප වැඩෙමින් සිටි කාලයේ අපට සුපුරුදු පරිසරය සඳහා දැඩි චිත්තවේගී හැඟීමක් ඇති වීම පිළිබඳව අප ව්‍යාකූලත්වයට පත් විය යුතු නැත. යෙහෝවඃ දෙවියන්වහන්සේ අපට චිත්තයන් ලබා දුන්නේ අප විසින් උණුසුම් පෞද්ගලික සබඳතා භුක්ති විඳිනු පිණිසය. එපීස සභාවේ සිටි ක්‍රිස්තියානි අවේක්ෂකයෝ චිත්තවේගීව මේරූ අය වූහ. එහෙත් ප්‍රේරිත පාවුල් ඔවුන් වෙතට ගිය බැහැදැකීමේ ගමන අවසානයකට පත්වූ විට සිදු වූයේ කුමක්ද? ඇයි, “සියල්ලෝ . . . අතිශයෙන් හඬා [පාවුල්]ගේ බෙල්ල වැළඳගන ඔහු සිඹගත්තෝය!” (ක්‍රියා 20:37) ඇත්ත වශයෙන්ම, එම සිද්ධියට නිවස මතක් වී දුක් වීමක් අදාළව තිබුනේ නැත. එහෙත්, ගැඹුරින් සිතා බැලීමට එය යම් අදහසක් ඉදිරිපත් කරයි. හැඟීම් ඇති වීම ස්වාභාවික වුවත්, අපව පාලනය කිරීමට අප ඒවාට ඉඩ හැරිය යුතු නැත. එසේ නම්, ඔබට නිවස මතක් වී දුක් වීමත් සමඟ සාර්ථකව කටයුතු කළ හැක්කේ කෙසේද?
දේශීය භාෂාව කථා කරන්නට ඉගෙන ගැනීම තැන්පත්භාවය හැඟෙන මූලික ක්රමයකි. නිවස මතක් වීමෙන් දැනෙන දුක්බර හැඟීම් තවත් වැඩි විය හැක්කේ, ඔබට විදේශ භාෂාවක් සමඟ කටයුතු කරන්නට සිදුව තිබීම හේතුවෙන්, අදහස් හුවමාරුවට අවහිරතා පැමිණ ඇති විටය. එබැවින්, හැකියාවක් ඇත්නම්, ඔබ එහි පදිංචියට යෑමට පෙර එම දේශයේ භාෂාව කියවන්නට හා ලියන්නට ඉගෙන ගන්න. නොඑසේ නම්, ඔබ එහි පැමිණීමෙන් පසු මුල් සති ස්වල්පය තුළ භාෂාව ඉගෙන ගැනීමට අවධානය යොමු කරන්න. ඔබට වැඩිම පෙලඹීමක් තිබෙන්නෙත් ඒ හේතුවෙන් එය ඉගෙන ගැනීමට හොඳම අපේක්ෂාව තැබිය හැක්කෙත් මේ අවස්ථාවේදීය. ඔබ මෙම සති, මූලිකව භාෂාව ඉගෙන ගැනීමට කැප කරන්නේ නම්, ඉක්මනින්ම ඔබ සාකච්ඡාවන් භුක්ති විඳිනු ඇති අතර, නිවස මතක් වීමෙන් ඇති වන දුක්බර හැඟීම් අඩු කරන්නට ඊට හැකි වනු ඇත.
හැකි ඉක්මනින්ම අලුත් මිත්‍රයන් ඇති කරගන්න, මන්දයත් මෙය සුහද ස්වභාවයක් හැඟෙන්නට ඔබට උපකාරවත් වන නිසාය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාව, සැබෑ මිත්‍රයන් ඇති කර ගැනීමට හොඳම ස්ථානයයි. ඊට මුල පුරා අන්‍යයන් කෙරෙහි උනන්දුවක් පෙන්වන්න. ඔවුන්ගේ පසුබිම, ඔවුන්ගේ පවුල, ඔවුන්ගේ ගැටලු හා ඔවුන් උනන්දුව දක්වන දේවල් දැනගැනීමට වෑයමක් දරන්න. සෙසු ඇදහිලිවන්තයන්ව ඔබගේ නිවසට ආරාධනා කරන්න. ඒ අනුව අන්‍යයන් ඔබ කෙරෙහි උනන්දු වනු ඇති බව ඔබ සොයා ගනු ඇත.
දෙවියන්වහන්සේගේ ජනයා අතර, මිත්‍රත්ව පවුලේ සබැඳියාවන් හා සමාන සමීපත්වයකට පත්විය හැකිය. “දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන කවරෙක් නුමුත් මාගේ සහෝදරයාත් සහෝදරීත් මෑණියොත්යයි” යේසුස්වහන්සේ වදාළ සේක. (මාර්ක් 3:35) ක්‍රිස්තුස්වහන්සේ වැඩිදුරටත් සිය අනුගාමිකයන්හට මෙසේද සහතික වූ සේක: “මා නිසාද ශුභාරංචිය නිසාද ගෙය හෝ සහෝදරයන් හෝ සහෝදරියන් හෝ මවු හෝ පියා හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරිය කවරෙක් නුමුත් දැන් මේ කාලයේදී ගෙවල්ද සහෝදරයන්ද සහෝදරියන්ද මවුවරුන්ද දරුවන්ද ගම්බිම්ද පීඩාත් සහිතව සියක් ගුණයක් හා, අනාගත ලෝකයේදී සදාකාල ජීවනයද නොලබා නොසිටින්නේය.” (මාර්ක් 10:29, 30) එවන් අපූරු ආත්මික සහෝදරයත්වයක් සමඟින්, අලුත් දේශයක පවා, අප සිටින්නේ තනිවූ තත්ත්වයක නොවේ.
තමා හැර දමා පැමිණි නිවසේ සිටින අය සමඟ මිත්‍රත්වය දිගටම පැවැත්වීමද නිවස මතක් වීමෙන් ඇති වන දුක මැඩපැවැත්වීමට උපකාරවත් වේ. ඔබ දැන් අලුත් තැනක පදිංචිව සිටින නිසා, සමහරවිට ඔබ ඔබගේ වචනවලට වඩාත් සැලකිල්ලක් දක්වන බැවින්, ලිපියකින් අදහස් හුවමාරු කර ගැනීම විශේෂාකාරයෙන් අර්ථවත් බව දැන ගැනීමෙන් ඔබ පුදුමයට පත්විය හැක. පැවසීමට උනන්දුව දනවන දෑ තිබෙන්නට පුළුවන. කලින් සඳහන් කරන ලද ජැනට් මෙවන් යෝජනාවක් කරන්නීය: “දිගු දුරක් දුරකථනයෙන් ඇමතීම වියදම් අධික දෙයක් වුවත්, තැපෑලෙන් පටිගත කරන ලද කැසට්පට යැවීම සාපේක්ෂිත වශයෙන් ලාභදායකය. යන්ත්‍රයකට කථා කිරීම මුලදී අමුතු දෙයක් වන්නට පුළුවන. එහෙත්, ඔබත් වෙන කෙනෙකු අතරත් මයික්‍රෝෆෝනයකින් අදහස් හුවමාරු කරගතහොත්, එය පහසු මෙන්ම සිත්ගන්නා දෙයක් වනු ඇත. පිළිතුර පටිගත කරන ලද කැසට් එකක් එවන හැටියටද ඔබට ඉල්ලුම් කරන්නට පුළුවන.
දැනට වසර 25කට පෙර එක්සත් ජනපදයෙන් ලතින් අමෙරිකාවේ පදිංචියට ගිය ෂර්ලි මෙසේ පවසන්නීය: “මා නිතර ලියන්නේ ගැටලුවලට වඩා වර්ධනය ගෙනදෙන අද්දැකීම් ගැනයි. මෙය මට ලිපි ලියමින් සිටින්නට අන්‍යයන්ව දිරිගන්වනවා.” කෙසේවෙතත්, පරෙස්සම් වන්න. වැඩියෙන් ලිපි ලිවීමෙහි යෙදී සිටීම අලුත් මිත්‍රයන් සෑදීමෙන් ඔබව වළක්වන්නට පුළුවන. කැනඩාවේ සිට වෙනත් රටක පදිංචියට ගිය ඩෙල්, මෙසේ පවසයි: “නිවසේ රැඳී සිට ඔබට අහිමි වී තිබෙන දේවල් ගැන කනස්සලු වීමෙන් වළකින්න. ඒ වෙනුවට, පිටත්ව ගොසින් ඔබගේ අලුත් පදිංචි ස්ථානයේ ප්‍රීතියක් ලබන්න.”
අලුත් දේශයේ චාරිත්‍ර, ඉතිහාසය, රසය මෙන්ම, සිත්ගන්නා හා ලස්සන ස්ථාන දැනගන්න. අධෛර්ය කරවන සාධක ගැන කල්පනා කිරීමෙන් වැළකී සිටීමට මෙය ඔබට උපකාරවත් වනු ඇත. තවද ඔබ පදිංචියට ගිය ස්ථානයේ නවතින්නට ඔබ අදහස් කරන්නේ නම්, වඩාත් ඉක්මනින් හෝ වඩාත් නිතර නිතර ඔබගේ නිජබිමට නොයෑම වඩාත් හොඳය. අලුත් මිත්‍රත්වයන් ගොඩනගා ගැනීමටත් අලුත් පරිසරයකට හැඩ ගැසීමටත් යම් කාලයක් වැයවේ. යළිත් නිවසට ගොසින් වැඩි කාලයක් එහි රැඳී සිටීම එම ක්‍රියාපිළිවෙළට බාධා පමුණුවයි. ඔබගේ අලුත් නිවසේ ඔබ යම් තැන්පත් ස්වභාවයක් ලැබීමෙන් පසු, බැහැදැකීමක් හැටියට ඔබගේ මුල් පදිංචියට යෑමෙන් හා නැවත පැමිණීමෙන් ඔබට යම් ප්‍රීතියක් භුක්ති විඳින්නට පුළුවන. මේ අතරතුර ඔබගේ අලුත් නිවස සඳහා දිගටම ඇල්මක් ගොඩනංවා ගනිමින් සිටින්න.
ඉදිරිය දෙස බලමින් සිටින්න
යෙහෝවඃවහන්සේ මුළු පොළොවම අපට දී ඇත්තේ අපගේ නිවස හැටියටයි. (ගීතාවලිය 115:16) ප්‍රීතිමත් ක්‍රිස්තියානි ස්වභාවයක් ඇති විට, ජීවිතය, ඕනෑම දේශයක ප්‍රසන්න එකක් වනු ඇත. වෙනත් රටක හෝ ඔබගේම රටේ වෙනත් ස්ථානයක රාජ්‍යය උනන්දුව පෙලඹවීම හා ශුභාරංචිය දේශනා කිරීම පිණිස ඔබ වෙනත් ස්ථානයක පදිංචියට යන්නේ නම්, ප්‍රීතිමත් පූර්වාපේක්ෂණයක් ඇතිව එසේ කරන්න. අලුත් මිත්‍රයන් සෑදීම, වෙනස් චාරිත්‍රයන් ඉගෙන ගැනීම, ගෝලයන් සෑදීම, හෝ දේව සේවයේ විපාක දායක දේවල් කිරීම කෙරෙහි මනස යොමු කරගෙන ඉදිරිය දෙස බලා සිටින්න.
යෙහෝවඃ දෙවියන්වහන්සේ වනාහි ඔබ කොතැනක සිටියත් ඔබ සමඟ සිටින මිත්‍රයෙක් වන සේක. (ගීතාවලිය 94:14; 145:14, 18) එබැවින් යාච්ඤාවෙන් උන්වහන්සේට සමීපව සිටින්න. (රෝම 12:12) දේව සේවකයෙක් හැටියට ජීවිතයේ ඔබගේ අරමුණ මනසේ දරා සිටින්නට මෙය ඔබට උපකාරවත් වනු ඇත. ආබ්‍රහම් හා සාරා ඌර් දේශයේ සිය සැපදායක නිවස අත්හැර දැමූ විට, ඔවුන්ගේ අරමුණ මනසේ දරාගෙන සිටියහ. යෙහෝවඃවහන්සේගේ ආඥාවට කීකරු වීමක් වශයෙන් ඔවුහු මිත්‍රයන් හා ඥාතීන් අත්හැර දමා ගියහ. (ක්‍රියා 7:2-4) තමන් අත්හැර ගිය ස්ථානය සිහි කරමින්, ඔවුන් ඒ ගැන ආශාවෙන් සිටියේ නම්, ඔවුන්ට ආපසු හැරී එන්නට ප්‍රස්තාවක් තිබෙන්නට ඇත. එහෙත් ඔවුන් අත්කර ගැනීමට වෑයම් දරමින් සිටියේ වඩාත් හොඳ ස්ථානයකි—එනම්, අවසාන වශයෙන් දෙවියන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍යය යටතේ භූමික පාරාදීසයක ජීවිතයකි.—හෙබ්‍රෙව් 11:15, 16.
විදේශ ක්ෂේත්රවල හෝ ඔබගේ රටේ රාජ්‍යය ප්‍රචාරකයන් සඳහා අවශ්‍යතාව වැඩි ස්ථානයන්හි දේශනා කිරීම ඉතා අභියෝගාත්මක වන්නට පුළුවන. එහෙත් එය ඵලදායක මෙන්ම වඩාත් විපාක දායක ක්‍රියාවකි. (යොහන් 15:8) තවද අධෛර්යය ගෙනදෙන සිතුවිලි තාවකාලිකව ඔබව යටපත් කරන්නට යන්නේ නම්, ඔබගේ ඉලක්කය මනසේ ඇතිව හා ඉදිරිය දෙස බලා සිටිමින් ඒවා ජය ගන්නට පුළුවන. අවිවාහක මිෂනාරි සහෝදරියක් මෙසේ පැවසුවාය: “දුක මාව යටපත් කරන බවක් මට හැඟෙන විට, මම අලුත් ලෝකය ගැනත්, මුළු මිනිස් වර්ගයා එක් පවුලක් වන ආකාරයත් කල්පනා කරන්නට වෑයම් කරනවා.” මෙවන් ප්‍රසන්න සිතුවිලිවලට ඔබගේ ප්‍රීතිය පවත්වා ගැනීමටත් නිවස මතක් වීමෙන් දැනෙන දුකෙන් ඉවත්ව සිටීමටත් ඔබට උපකාර කළ හැකිය.
[29වන පිටුවේ පින්තූරය]
නිවස මතක් වීමෙන් දැනෙන දුක ක්‍රිස්තියානි දේව සේවයට බාධාවක් වියයුතු නැත