‘දීමෙහි වඩාත් සන්තෝෂයක්’ ගිලියඩ් උපාධිධාරීහු අද්දකිති
එක්දාස් නවසිය අනූහතරේ මාර්තු හයවනදා, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ලෝක මූලස්ථාන බෙතෙල් පවුල හා අමුත්තෝ උත්සව අවස්ථාවක් සඳහා එක්රැස් වූහ—වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් නමැති පාසලේ 96වන පංතියේ උපාධි ලැබීමටය. දශක දෙකකට ආසන්න කාලයක් පුරා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ සේවයකර තිබෙන, වැඩසටහනෙහි සභාපති කාල් එෆ්. ක්ලයින්, ශිෂ්‍යයන් 46දෙනාට මෙසේ පැවසීය: “ගැනීමට වඩා දීම සන්තෝෂවත්යයි යේසුස්වහන්සේ පැවසුවා. ඔබගේ මිෂනාරි පැවරුම තුළත් එසේම වේවි—වැඩියෙන් දෙන තරමට ඔබ වඩාත් සන්තෝෂවත් වෙනවා.”—ක්‍රියා 20:35, NW.
සමුගැනීමේ උපදේශක වචන
අනතුරුව කතා මාලාවක් ශිෂ්‍යයන් වෙත ඉදිරිපත් කරනු ලැබිණ. සේවා අංශ කමිටුවේ සාමාජිකයෙකු වන, ලියොන් වීවර් “විඳදරා ගැනීම යෙහෝවඃවහන්සේව මහිමයට පත්කරයි,” යන තේමාව වර්ධනය කළේය. අපි සියල්ලෝම පරීක්ෂාවලට මුහුණ දෙන්නෙමු. (2 කොරින්ති 6:3-5) “අප පීඩාව යටතේ සිටින විට, අප කෙරෙහිම රඳා පැවතීම ඉතා පහසුයයි” සහෝදර වීවර් සඳහන් කළේය. කෙසේවුවද, ඔහු ශිෂ්‍යයන්ට මෙසේ මතක් කළේය: “ඔබ මුහුණපාන, මනුෂ්‍යයන්ට පොදු පරීක්ෂා කුමක් වුවත්, ඒ ගැන උනන්දුවක් යෙහෝවඃවහන්සේට තිබේ. ඔබගේ ඉවසීම ඉක්මවා යන දෙයකින් ඔබව පරීක්ෂා කිරීමට කිසිවිටකත් ඉඩ දෙන්නේ නැත.”—1 කොරින්ති 10:13.
පාලක මණ්ඩලයේ ලයිමන් ස්වින්ගල් විසින් දෙන ලද, ඊළඟ කතාවේ මාතෘකාව වූයේ “ඔබගේ පැවරුම සෑමවිටම ආදරයෙන් රැකබලා ගන්න.” තමන් ජීවත්වනු ඇත්තේ කොතැන්හිද සහ තමන් කරනු ඇත්තේ කුමක්දැයි යන්න ඉශ්රායෙල්වරුන් සෑමවිටම තෝරා ගත්තේ නැත. සෑම ගෝත්රයකටම දේශයේ කොටසක් නියම කර තිබූ අතර, ලෙවීවරුන්ට සිදුකිරීමට නියමිත යුතුකම් පවරා තිබිණ. එලෙසම, මිෂනාරිවරුන් හා බෙතෙල් පවුලේ සාමාජිකයන් වැනි—අදදින විශේෂ පූර්ණ-කාලීන සේවයෙහි සිටින බොහෝ දෙනෙක් තමන් ජීවත්වන්ට යන්නේ කොතැනකද සහ තමන් කරන්ට යන්නේ කුමන වැඩයද කියා තමන්ම සඳහා තීරණය නොකරති. යමෙකුගේ පැවරුම පිළිබඳව යමෙකුට අවිනිශ්චිතතාවේ හැඟීම් ඇති වුවහොත් කුමක්ද? “අපගේ ඇදහිල්ලේ ප්‍රධාන කර්තෘ වන, යේසුස්වහන්සේ කෙරෙහි ඔබ ඉතා ඕනෑකමින් බලා, උන්වහන්සේගේ ආදර්ශය ඔබ කිට්ටුවෙන් සලකන්නේ නම්, ඔබ වෙහෙසට පත්නොවනු ඇතැයි” සහෝදර ස්වින්ගල් පැවසීය.—හෙබ්‍රෙව් 12:2, 3.
“නාභිගතව සිටින්න,” යන විෂය සමඟින් ඊළඟට කතා කළේ, වොච්ටවර් ගොවිපළ කමිටුවේ, ලෙනාඩ් පියසන්ය. ඔහු මෙසේ පැවසීය: “ඔබට ඉස්තරම්ම කැමරාවක්ද, ඡයාරූපගත කිරීමට ඉතා අලංකාරවත් දසුනක්ද, නියම පසුබිමක්ද ඔබට තිබිය හැකි වුවත්, ඔබගේ කැමරාව නාභිගත කොට නැත්නම්, තවමත් ඔබ ගන්නා ඡයාරූපය හොඳ එකක් වන්නේ නැත.” පුළුල්-කෝණ කාචයක් මෙන්, සිදුකරනු ලබන ලෝකව්‍යාප්ත දේශනා කිරීමේ වැඩය අපගේ දෘෂ්ටියට ඇතුළත් විය යුතුය. අප කිසිවිටකත් විශාල චිත්‍රය අමතක නොකළ යුතුය. “තමන් ගැනම සිත සිතා සිටින අයවලුන් ඔවුන්ගේ පැවරුම් තුළ අසන්තෝෂවත් වනු ඇතැයි” සහෝදර පියසන් පැවසීය. “යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේ ඔවුන්ට කිරීමට දී තිබෙන වැඩය කෙරෙහි නාභිගතව සිටින අයවලුන් සාර්ථක වනු ඇත.”
පාලක මණ්ඩලයේ තවත් සාමාජිකයෙකු වන, ජෝන් ඊ. බාර් විසින් දෙන ලද ඊළඟ කතාවේ මාතෘකාව වූයේ “ස්තුතිවන්ත වීමට එතරම් දේ ඇත.” “යෙහෝවඃවහන්සේට ඇති ඔබගේ ස්තුතිවන්තකමේ හැඟීම කිසිවිටකත් නැතිකර නොගන්නැයි” සහෝදර බාර් ශිෂ්‍යයන්ට අනුශාසනා කළේය. “ඔබට තිබෙන පැවරුම කුමක් වුවත්, එය වනාහි තෘප්තිමත්කමේ ශ්‍රේෂ්ඨතම උල්පත්වලින් එකකි.” මෙසේ ලිවීමට ස්තුතිපූර්වක ආකල්පයක් දාවිත්ව පෙලඹීය: “මට මායිම් වුණේ ප්‍රසන්න තැන්වලය; එසේය, මට ප්‍රියකරු උරුමයක් ඇත.” (ගීතාවලිය 16:6) “ඔබගේ දෛනික ජීවිතය තුළදී, යෙහෝවඃවහන්සේට කිට්ටුව සිටීමේ හැඟීමක් තුළ එබඳු අගනා උරුමයක් ඔබට තිබේයයි” සහෝදර බාර් පැවසීය. “එම සබඳතාව ඉතා ප්‍රියකරු දෙයක් ලෙස ඔබ ඒ දෙස බලමින්, ඔබ ඒ සඳහා ස්තුතිපූර්වකව සිටින තාක් කල්, යෙහෝවඃවහන්සේ කිසිවිටකත් එම සබඳතාව ඔබගෙන් ඉවත්කර නොගන්නවා ඇත.”
“ඔබගේ දිව ඔබ පාවිච්චි කරනු ඇත්තේ කෙසේද?” යන තේමාව මත, ඊළඟට කතා කළේ, ගිලියඩ් උපදේශක ජැක් රෙඩ්ෆඩ්ය. කල්පනා නොකර කරන කතාවෙන් මොනතරම් විනාශයක් සිදුකළ හැකිද! (හිතෝපදේශ 18:21) දිව පාලනය යටතට පැමිණවිය හැක්කේ කෙසේද? “ඔබ පළමුව ඔබගේ මනස පුහුණු කළ යුතුය, මක්නිසාද මනස හා හදවත දිවෙන් පිළිබිඹු වෙන නිසායයි” සහෝදර රෙඩ්ෆඩ් පිළිතුරු දුන්නේය. (මතෙව් 12:34-37) යේසුස්වහන්සේ විශිෂ්ට ආදර්ශයක් සැපයූසේක; යෙහෝවඃවහන්සේගේ නාමය වර්ණනා කිරීමට උන්වහන්සේ තමන්ගේ දිව භාවිතා කළසේක. “අදදින යෙහෝවඃවහන්සේගේ වචන ඇසීමට සාගතයක් තිබේයයි,” සහෝදර රෙඩ්ෆඩ්, පංතියට පැවසීය. “එම වචන ඔබ දන්නෙහිය. ඔබට ‘උගතුන්ගේ දිව’ තිබේ. එබැවින් යෙහෝවඃවහන්සේට මුළුමනින්ම කැපවූ මනසකින් හා හදවතකින් ඔබගේ දිව සෑමවිටම මඟ පෙන්වීම ලබත්වා!”—යෙසායා 50:4.
“යෙහෝවඃවහන්සේ ඉදිරියෙහි සිටින්නාක්සේ ඔබ හැසිරෙන්නෙහිද?” යන කතාව තුළ යාච්ඤාවේ වැදගත්කම අවධාරණය කෙරිණ. පාසලේ ලේකම්, යුලිසීස් ග්ලාස් මෙසේ සඳහන් කළේය: “පියෙකු තමාගේ පවුල නඩත්තු කිරීමට වෙහෙස වී වැඩ කළත්, ඔවුන් සමඟ කිසිවිටකත් කතා නොකර, ආදරබස් කිසිවිටකත් ප්‍රකාශ නොකළෙහි නම්, ඔහුගේ චේතනාව ප්‍රේමයේ එකක් වෙනවා වෙනුවට අප්‍රසන්න යුතුකමේ එකක්යයි කියා ඔවුන් නිගමනය කළ හැක. අප සමඟත් එසේමය. අප දෙවියන්වහන්සේගේ සේවයෙහි කාර්ය බහුලව සිටිය හැක. එහෙත් අපි යාච්ඤා නොකරන්නෙමු නම්, එවිට අප ප්‍රේමනීය ස්වර්ගික පියාණන් කෙනෙකුට කැප වී සිටිනවාට වඩා අපි නිකම් වැඩකට කැප වී සිටිමු.”
“දෙවියන්වහන්සේගේ ජනයා සමඟ සමූහයන් ආශ්‍රය කරමින් සිටීමට හේතුව” යන තේමාව මත, පාලක මණ්ඩලයේ තියඩෝර් ජේරෑස් කතා කළේය. සෑම වසරකම සිය දහස් ගණන් අය යෙහෝවඃවහන්සේගේ සංවිධානයට එක්රොක් වෙති. (සෙකරියා 8:23) දෙවියන්වහන්සේගේ ජනයා වශයෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව අඳුනාගත හැක්කේ කුමකින්ද? පළමුව, ඔවුහු මුළු බයිබලයම දේව වචනය ලෙස පිළිගනිති. (2 තිමෝති 3:16) දෙවනුව, ඔවුහු දේශපාලන වශයෙන් මධ්‍යස්ථව සිටිති. (යොහන් 17:16) තෙවනුව, ඔවුහු දෙවියන්වහන්සේගේ නාමයට සාක්ෂි දරති. (යොහන් 17:26) සිව්වෙනුව, ඔවුහු ආත්ම-පරිත්‍යාගී ප්‍රේමය විදහාපාති. (යොහන් 13:35; 15:13) විශ්වාස කිරීමට තිබෙන මෙම හේතු සාධක ඇතුව, ‘අන්ධකාරයෙන් අපව මුදවා තමන්ගේ පුදුමාකාර ආලෝකය තුළට කැඳවාගත් තැනැන්වහන්සේගේ උත්කෘෂ්ටතා’ නිර්භීතව ‘එතෙර’ ප්‍රකාශ කිරීමට අපට හැක.—1 පේතෘස් 2:9.
මෙම ප්‍රබෝධවත් කතාවලින් පසු, ශිෂ්‍යයෝ 46දෙනාම ඩිප්ලෝමා ලැබූහ. ඔවුන් ලොවවටා රටවල් 16කට යෑමට පැවරුම් ලබා තිබේ.
විවිධ වූ පස්වරු වැඩසටහනක්
බෙතෙල් කමිටුවේ ඩොනල්ඩ් ක්රෙබ්ස් විසින් කෙටි කරන ලද මුරටැඹ පාඩමක් පස්වරුවේදී පවත්වන ලදි. “ප්‍රඥාව වීථියෙහි මොරගසයි,” යන මාතෘකාව ඇති වැඩසටහනක් ඊළඟට උපාධිධාරීහු විසින් ඉදිරිපත් කරන ලදහ. (හිතෝපදේශ 1:20) වීථි හා ව්‍යාපාරික සාක්ෂිදැරීමේදී ඔවුන් ලැබූ විපාකදායක අද්දැකීම් ඔවුහු නැවත රඟදැක්වූහ. සැබවින්ම, අනියම් ලෙස සාක්ෂිදැරීමට එඩිතරවන අයට යෙහෝවඃවහන්සේ ආශීර්වාද කරනසේක. “දේවදූත අස්වැන්න කපන්නන්ගේ අත්වල දෑකැති වශයෙන් අප ගැන සිතීමට මා කැමතියයි” එක් උපාධිධාරියෙක් පැවසීය. “අපගේ දක්ෂතා තියුණුවන තරමට, අපව පාව්ච්චිකර වැඩියෙන් වැඩ කරවා ගැනීමට එම දේවදූතයන්ට හැක.” (එළිදරව් 14:6 සසඳන්න.) ශිෂ්‍ය වැඩසටහනට චිත්‍ර දර්ශනයක්ද ඇතුළත්වූ අතර, මෙම පංතියේ උපාධිධාරීන්ව යවන ලද රටවල් තුනක්වන—බොලිවියාව, මෝල්ටාව සහ තායිවානය යන රටවලට එමගින් සබය අධ්‍යාපන චාරිකාවක ගෙනයනු ලැබීය.
අනතුරුව, වසර 17ක් සඳහා මිෂනාරිවරුන් වන, වොලස් සහ ජේන් ලිවරන්ස් යන අයවලුන් සමඟ සම්මුඛ සාකච්ඡාවක් කෙරිණ. එක්දාස් නවසිය අනූතුනේ ඔක්තෝබර්වල ඔවුන්ව චොච්ටවර් ගොවිපළට ආරාධනාකර තිබූ අතර, දැන් සහෝදර ලිවරන්ස් එහි ගිලියඩ් උපදේශකවරුන්ගෙන් කෙනෙකු ලෙස සේවය කරයි.
“ඔවුන්ගේ මහලු වියේදී සුදුසු අයවලුන්ට ගෞරව කිරීම” යන මාතෘකාව ඇති, දර්ශන-සතරක ඉදිරිපත් කිරීමක් ඊළඟට තිබිණ. මනුෂ්‍යයන් මහලු වන විට, නිෂ්ප්රයෝජනවීමේ හා අත්හරිනු ලැබීමේ බියක් ඔවුන්ගේ ආත්ම-විශ්වාසයට තර්ජනය කළ හැක. (ගීතාවලිය 71:9) එබඳු විශ්වාසවන්ත මහලු අයට උපකාර කිරීමට සභාවේ සියල්ලන්ට හැකි ආකාරය මෙම පොලඹවනසුලු ඉදිරිපත් කිරීම පෙන්නුම් කළේය.
අවසාන ගීතිකාවකින් හා යාච්ඤාවකින් පසුව, ජර්සි නුවර එක්රුස්වීම් ශාලාවෙහි හා ඊට අනුබද්ධ ශාලාවලට පැමිණ සිටි 6,220දෙනාටම නැවුම්බවක් දැනිණ. උපාධිධාරීන්ගේ අලුත් පැවරුම්වලදී අපගේ යාච්ඤා ඔවුන් සමඟය. දීමෙන් ලැබෙන වැඩි සන්තෝෂය ඔවුහු නොකඩවා අද්දකිත්වා!
[26වන පිටුවේ කොටුව]
පංති සංඛ්‍යාලේඛන
නියෝජනය කරන ලද රටවල් සංඛ්‍යාව: 9
පැවරුම් දී තිබෙන රටවල් සංඛ්‍යාව: 16
ශිෂ්‍ය සංඛ්‍යාව: 46
සාමාන්‍ය වයස: 33.85
සත්‍යය තුළ සාමාන්‍ය අවුරුදු: 16.6
පූර්ණ-කාලීන සේවාව තුළ සාමාන්‍ය අවුරුදු: 12.2
[27වන පිටුවේ කොටුව]
මෝල්ටාව කෙරෙහි විශේෂ අවධානය
ක්‍රිස්තියානි ලෝකය වසර බොහොමයක් පුරා මෝල්ටාව තුළ බයිබල් සත්‍යයට අවහිරකොට තිබේ. එහි අන්තිමට යවන ලද ගිලියඩ් මිෂනාරිවරුන් වන, ෆ්රෙඩ්රික් ස්මෙඩ්ලී හා පීටර් බ්‍රයිඩල් එවකට තිබූ 1947 අටවන පංතියෙන් උපාධිය ලබාගත්හ. කෙසේවුවද, ඔවුන් පැමිණ ටික කලකට පසුව, ඔවුන්ව අත්අඩංගුවට ගෙන, මෝල්ටාවෙන් නෙරපනු ලැබීය. තවද 1948 යියර්බුක් ඔෆ් ජෙහෝවාස් විට්නසස් මෙසේ වාර්තා කරයි: “රෝමානු කතෝලික ධුරාවලියේ විරෝධතාව නිසා, මෙම මිෂනාරිවරුන් දෙදෙනා සේවා යුතුකම් ඉටුකිරීමෙහි ගතකර තිබෙන කාලය තරමටම කාලයක් උසාවිවලද රටේ නිලධරයන් සමඟද වැයකොට තිබේ. මෝල්ටාව කතෝලිකයන්ට අයිති බවත්, අනෙක් සෑම කෙනෙක්ම ඉන් ඉවත් වී යායුතු බවත් පූජකයෝ පවසති. වසර 45කට පමණ පසුව, දැන් ගිලියඩ්හි 96වන පංතියේ මිෂනාරිවරුන් සතර දෙනෙකු මෝල්ටාවට යැවීමට පැවරුම් ලබා තිබේ.
[26වන පිටුවේ පින්තූරය]
වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ්හි 96වන උපාධිධාරි පංතිය
පහත සඳහන් ලයිස්තුවෙහි, පේළිවලට අංක යොදා ඇත්තේ ඉදිරිපස සිට පිටුපස දක්වාය, තවද නාම ලයිස්තුගතකර තිබෙන්නේ සෑම පේළියකම වමේ සිට දකුණටය.
(1) ඒලර්ස්, පී.; ගීසී, එම්.; සෙල්මන්, එස්.; සූස්පෙරෙගී, ජේ.; රෝ, එස්.; ජැක්සන්, කේ.; ස්කොට්, ටී. (2) ලීඅර්, ටී.; ගාර්සීයා, අයි.; ගාර්සීයා, ජේ.; ෆර්නාන්ඩෙස්, ඒ.; ඩේවිඩ්සන්, එල්.; ලීඩමන්, පී.; ගිබ්සන්, එල්.; හ්වාරෙස්, සී. (3) ෆෞට්ස්, සී.; පාස්ට්රානා, ජී.; ක්ලෝසන්, ඩී.; ෆර්නාන්ඩෙස්, එල්.; වොල්ස්, එම්.; ඩ්රෙසන්, එම්.; පාස්ට්රානා, එෆ්.; බර්ක්ස්, ජේ. (4) බර්ක්ස්, ඩී.; ස්කොට්, එස්.; ජැක්සන්, එම්.; මොරි, එච්.; හ්වාරෙස්, එල්.; සූස්පෙරෙගී, ඒ.; බෲෂෝන්, සී.; රෝ, සී.; (5) සෙල්මන්, කේ.; ලීඩමන්, පී.; ඩේවිඩ්සන්, සී.; මොරි, එස්.; වොල්ස්, ඩී.; ඩ්රෙසන්, ඩී.; ස්චාෆ්ස්මා, ජී.; ලීඅර්, එස්. (6) ක්ලෝසන්, ටී.; ගිබ්සන්, ටී.; ගීසී, සී.; ඒලර්ස්, ඩී.; ෆෞට්ස්, ආර්.; ස්චාෆ්ස්මා, එස්.; බෲෂෝන්, එල්.