අධිකාරයට සතුටින් යටත්වීම
“ඔබ හෘදයෙන්ම කීකරු වූවෝය.”—රෝම 6:17, NW.
1, 2. (අ) අදදින ලෝකයේ පැහැදිලි වන්නේ කිනම් ආත්මයද, එමෙන්ම එහි ප්‍රභවය හා එහි බලපෑම මොනවාද? (ආ) තමන් වෙනස් බව යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයෝ කෙසේ පෙන්වත්ද?
“අකීකරුකමේ පුත්‍රයන් තුළ දැන් ක්‍රියාකරන්නාවූ ආත්මය” අදදින ඉතා කම්පා කරවන ආකාරයකින් පැහැදිලි වේ. මෙය වනාහි එම “වාතයේ අධිකාරය දරන පාලකයා” වන, සාතන් වෙතින් නිකුත්වන, පාලනයෙන් තොර නිදහසක ආත්මයකි. මෙම ආත්මය, එනම් මෙම ‘වාතය,’ නැතහොත් ආත්මාර්ථකාමිත්වයේ හා අකීකරුකමේ බලපවත්වන ආකල්පය, මනුෂ්‍යවර්ගයාගෙන් වැඩි කොටසක් කෙරෙහි ‘අධිකාරය’ නැතහොත් බලය පවත්වයි. අධිකාරයේ අර්බුදයක් යනුවෙන් හඳුන්වනු ලබන තත්ත්වයක් තුළින් ලෝකය ගමන් කරමින් තිබීමට මෙය එක් හේතුවකි.—එපීස 2:2, NW.
2 යෙහෝවඃවහන්සේගේ කැපවූ සේවකයන් සිය ආත්මික පෙණහලු මෙම දූෂිත ‘වාතයෙන්,’ නැතහොත් කැරලිකාර ආත්මයෙන් පුරවා නොගැනීම සන්තෝෂයට කරුණකි. “දෙවියන්වහන්සේගේ උදහස අකීකරුකමේ පුත්‍රයන් පිටට” පැමිණෙන බව ඔවුහු දනිති. ප්‍රේරිත පාවුල් තවදුරටත් පවසනුයේ, “එබැවින් ඔවුන් සමඟ පංගුකාරයෝ නොවෙල්ලා” යනුවෙනි. (එපීස 5:6, 7) ඒ වෙනුවට, සැබෑ ක්‍රිස්තියානින් “[යෙහෝවඃවහන්සේගේ] ආත්මයාණන්ගෙන් [ආත්මයෙන්, NW] පූර්ණ” වීමට වෑයම් දරන අතර, ඔවුන් පානය කරන්නේ “පිරිසිදුව, ඊළඟට සමාදානව, ඉවසිලිවන්තව [සාධාරණව, NW], යටහත්ව [කීකරුවීමට සූදානම්ව, NW]” තිබෙන “ඉහළින් පැමිණෙන” ප්‍රඥාවයි.—එපීස 5:17-19; යාකොබ් 3:17.
යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට කැමැත්තෙන් යටත්වීම
3. කැමැත්තෙන් යටත් වීමට මූලික අවශ්‍යතාව කුමක්ද, එමෙන්ම ඉතිහාසය අපට උගන්වනුයේ කිනම් වැදගත් පාඩමද?
3 කැමැත්තෙන් යටත්වීමට මූලික අවශ්‍යතාව වනුයේ නීත්‍යානුකූල අධිකාරය පිළිගැනීමයි. යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම ප්‍රීතිය නොගෙනෙන බව මනුෂ්‍යවර්ගයාගේ ඉතිහාසය පෙන්වන්නකි. එවන් ප්‍රතික්ෂේපයක් ආදම් සහ ඒවට හෝ ඔවුන්ගේ කැරලි ගැසීම පෙලඹවූ තැනැත්තා වන, සාතන් නමැති යක්ෂයාට සන්තෝෂය ලබා දුන්නේ නැත. (උත්පත්ති 3:16-19) ඔහුගේ වත්මන් පහත වැටුණු තත්ත්වය තුළ, තමාට කෙටි කලක් ඉතිරිව ඇති බව ඔහු දන්නා බැවින්, සාතන් සිටින්නේ ‘මහත් උදහසිනි.’ (එළිදරව් 12:12) මනුෂ්‍යවර්ගයාගේ, එසේය, මුළු විශ්වයේම සමාදානය හා සන්තෝෂය රැඳී පවතින්නේ යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ පරමාධිපත්‍යයේ සමස්ත පිළිගැනීම මතය.—ගීතාවලිය 103:19-22.
4. (අ) යෙහෝවඃවහන්සේ කැමති වන්නේ උන්වහන්සේගේ සේවකයන් කෙබඳු යටත්කමක් හා කීකරුකමක් පෙන්වනවා නම්ද? (ආ) අප ඒත්තු ගෙන සිටිය යුත්තේ කුමක් ගැනද, එමෙන්ම ගීතිකාකරු මෙය ප්‍රකාශ කරන්නේ කෙසේද?
4 එහෙත්, ආශ්චර්යවත් ලෙස සමබර වූ තමන්වහන්සේගේ ගුණාංග නිසා, උදාසීන කීකරුකමක් සමඟින් යෙහෝවඃවහන්සේ තෘප්තියට පැමිණෙන්නේ නැත. ඇත්තෙන්ම උන්වහන්සේ බලගතුය! එහෙත් උන්වහන්සේ කෲර පාලකයෙක් නොවනසේක. උන්වහන්සේ ප්‍රේමයේ දෙවිකෙනෙකු වන අතර උන්වහන්සේට ඕනෑ කරන්නේ තමන්වහන්සේගේ බුද්ධිමත් මැවිලි ප්‍රේමයෙන් යුක්තව, කැමැත්තෙන් උන්වහන්සේට කීකරුවීමය. තමන්වහන්සේගේ පරමාධිපත්‍යයට ඔවුන් යටත්වීම උන්වහන්සේට ඕනෑ කරන්නේ, ඔවුන් තමන්ව උන්වහන්සේගේ ධර්මිෂ්ඨ හා නීත්‍යානුකූල අධිකාරය යටතේ පවත්වා ගැනීමට හෘද පූර්ණව තෝරාගන්නා නිසාය, එමෙන්ම උන්වහන්සේට සදහටම සේවය කරනවා මිස වඩාත් හොඳ දෙයක් නොමැති බව ඔවුහු ඒත්තුගෙන සිටිති. යෙහෝවඃවහන්සේගේ විශ්වයේ තමන්වහන්සේට ඕනෑ කරන ආකාරයේ පුද්ගලයා, මෙසේ සටහන් කළ ගීතිකාකරුගේ හැඟීම්වලට හවුල් වෙයි: “ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ව්‍යවස්ථාව සම්පූර්ණය, ආත්මය ප්‍රාණවත්කරන්නේය. ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] සාක්ෂිය සත්‍යය [සිහිගැන්වීම විශ්වසනීයය, NW], නුවණ [අද්දැකීම්, NW] නැත්තන් ඥානවත්කරන්නේය. ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] පනත් සාධාරණය, සිත [හදවත, NW] ප්‍රීතිකරවන්නේය. ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] ආඥාව පවිත්‍රය, ඇස් එළියකරන්නේය. ස්වාමීන් [යෙහෝවඃවහන්සේ, NW] කෙරෙහි භය පිරිසිදුය [නිර්මලය, NW], සදාකල් පවතින්නේය. ස්වාමීන්ගේ [යෙහෝවඃවහන්සේගේ, NW] විනිශ්චයෝ සැබෑය, සම්පූර්ණයෙන්ම ධර්මිෂ්ඨය.” (ගීතාවලිය 19:7-9) යෙහෝවඃවහන්සේගේ නව ලෝකයේ අපට ජීවත්වන්නට ඕනෑ නම්,—උන්වහන්සේගේ පරමාධිපත්‍යයේ නිවැරදිභාවය හා ධර්මිෂ්ඨකම කෙරෙහි පූර්ණ නිසැකකම අපගේ ආකල්පය විය යුතුය.
අපගේ රජාණන්ට ප්‍රීතියෙන් යටත්වීම
5. සිය කීකරුකම උදෙසා යේසුස්වහන්සේට විපාක දෙනු ලැබුවේ කෙසේද, එමෙන්ම අපි කැමැත්තෙන් කුමක් පිළිගන්නෙමුද?
5 ක්‍රිස්තුස් යේසුස්වහන්සේම සිය ස්වර්ගීය පියාණන්වහන්සේට යටත්වීමේ උත්කෘෂ්ට ආදර්ශයක් වනසේක. උන්වහන්සේ තමන්ව යටහත් පහත් කරගෙන “මරණය, එසේය, කුරුසියේ [වධ කණුවක, NW] මරණය දක්වා කීකරුවූසේක.” පාවුල් වැඩිදුරටත් පවසනුයේ මෙසේය: “එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ, ස්වර්ගයෙහිද පොළොවෙහිද පොළොව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දණනමන පිණිසත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ස්වාමීන්වහන්සේ බව පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තුගන්න පිණිසත්ය.” (පිලිප්පි 2:8-11) එසේය, අපගේ නායකයාණන් මෙන්ම පාලක රජාණන් වන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඉදිරියේ අප දණ නමන්නේ ප්‍රීතියෙනි.—මතෙව් 23:10.
6. සියලු ජාතීන්ට අයත් සමූහයන්ට තමන් සාක්ෂිකාරයෙකු මෙන්ම නායකයෙකු බව යේසුස්වහන්සේ තහවුරු කොට ඇත්තේ කෙසේද, එමෙන්ම ‘මහත් පීඩාවෙන්’ පසු සිය ‘රාජකීය පාලනය’ දිගටම පවතින්නට යන්නේ කෙසේද?
6 අපගේ නායකයාණන් හැටියට ක්‍රිස්තුස්වහන්සේ පිළිබඳව, යෙහෝවඃවහන්සේ පුරෝකථනය කළේ, “බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි” යි යනුවෙනි. (යෙසායා 55:4) සිය භූමික සේවයෙන් මෙන්ම සිය මරණයෙන් හා නැවත නැගිටීමෙන් පසු ස්වර්ගයේ සිට දේශනා කටයුත්තට තමන්ගේ මඟ පෙන්වීම ලබා දීමෙන්, යේසුස්වහන්සේ ප්‍රදර්ශනය කර ඇත්තේ තමා සියලු ජාතීන්ට අයත් ජනයා කෙරෙහි සිය පියාණන්වහන්සේගේ ‘විශ්වාස සැබෑ සාක්ෂිකාරයෙක්ව’ සිටින බවයි. (එළිදරව් 3:14; මතෙව් 28:18-20) ගණනින් වැඩිවෙමින් පවතින එවන් ජාතික කණ්ඩායම් “මහත් සමූහය” මගින් දැන් නියෝජනය කෙරෙන අතර, ඔවුන් ක්‍රිස්තුස්වහන්සේගේ නායකත්වය යටතේ ‘මහත් පීඩාවෙන්’ බේරී ජීවත්වනු ඇත. (එළිදරව් 7:9, 14) එහෙත් යේසුස්වහන්සේගේ නායකත්වය එතැනින් නිම වන්නේ නැත. උන්වහන්සේගේ “රාජකීය පාලනය” අවුරුදු දහසකට පවතිනු ඇත. කීකරු මනුෂ්‍යයන්හට, උන්වහන්සේ “අපූර්වය, මන්ත්‍රීවරයාය, [අපූරු උපදේශක, NW] පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයාය” යනාදී තමන්ගේ නාමයන්ට එකඟව කටයුතු කරනවා ඇත.—යෙසායා 9:6, 7; එළිදරව් 20:6.
7. ක්‍රිස්තුස් යේසුස්වහන්සේ “ජීවන-දිය-උල්පත්” වෙතට අපව මඟ පෙන්වීමට අප කැමති වන්නේ නම්, අප අප්‍රමාදව කළ යුත්තේ කුමක්ද, එමෙන්ම කුමක් කිරීමෙන් අපට යේසුස්වහන්සේගේ හා යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය ලැබීමට හැකි වනු ඇත්ද?
7 බැටළුපැටවාණන් වන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ, හරි හෘද ඇති මනුෂ්‍යයන්ව මඟ පෙන්වන ‘ජීවන-දිය-උල්පත්වලින්’ ප්‍රයෝජන ලබන්නට අප කැමැත්තේ නම්, රජාණන් හැටියට උන්වහන්සේගේ අධිකාරයට අප ප්‍රීතියෙන් යටත් වන බව අප ක්‍රියා කරන ආකාරයෙන් අප්‍රමාදව අප ඔප්පු කළ යුතුය. (එළිදරව් 7:17; 22:1, 2; සසඳන්න ගීතාවලිය 2:12.) යේසුස්වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹලා මට ප්‍රේමකරනවා නම් මාගේ ආඥා රක්ෂාකරන්නහුය. යමෙක් මාගේ ආඥා පිළිගෙන රක්ෂාකෙරේද, මට ප්‍රේමකරන්නේ ඔහුය. මට ප්‍රේමකරන්නා මාගේ පියාණන් විසින් ප්‍රේමකරනු ලබන්නේය, මමද ඔහුට ප්‍රේමකොට ඔහුට ප්‍රේමකරන්නෙමි.” (යොහන් 14:15, 21) ඔබට යේසුස්වහන්සේ හා උන්වහන්සේගේ පියාණන්ගෙන් ප්‍රේම කරනු ලබන්නට ඕනෑද? එසේනම් ඔවුන්ගේ අධිකාරයට යටත් වන්න.
අවේක්ෂකයෝ ප්‍රීතියෙන් කීකරුවෙති
8, 9. (අ) සභාවේ වර්ධනය සඳහා ක්‍රිස්තුස්වහන්සේ සපයා ඇත්තේ කුමක්ද, එමෙන්ම මෙම පුරුෂයන් රැළට ආදර්ශයක් විය යුත්තේ කොයි ආකාරයෙන්ද? (ආ) ක්‍රිස්තියානි අවේක්ෂකයන්ගේ යටත්කම එළිදරව් පොතේ සංකේතවත් කර ඇත්තේ කෙසේද, එමෙන්ම විනිශ්චයමය කාරණා හසුරුවන විට ඔවුන් “නුවණැති සිතක් [කීකරු හෘදයක්, NW]” සෙවිය යුත්තේ කෙසේද?
8 ‘සභාව ක්‍රිස්තුස්වහන්සේට යටත්ය.’ එහි අවේක්ෂකයාණන් හැටියට, සභාවේ “වර්ධනයවීම පිණිස” උන්වහන්සේ “මනුෂ්‍යයන්ට [මනුෂ්‍යයන් තුළ, NW] තෑගි දුන්සේක.” (එපීස 4:8, 11, 12; 5:24) ආත්මික වශයෙන් මේරූ තත්ත්වයක සිටින මෙම පුරුෂයන්ට පවසා ඇත්තේ තමන්ගේ “භාරයට දෙනලද්දවුන් කෙරෙහි අධිපතිකම්කරන්නාක්මෙන් නොව . . . රැළට ආදර්ශව සිටිමින්” ‘තමන් අතරෙහි [භාරයෙහි, NW] සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගන්නා’ හැටියටය. (1 පේතෘස් 5:1-3) රැළ යෙහෝවඃවහන්සේට අයත් වන අතර ක්‍රිස්තුස්වහන්සේ එහි “යහපත් බැටළු එඬේරාය.” (යොහන් 10:14) යෙහෝවඃවහන්සේ හා යේසුස්වහන්සේ අවේක්ෂකයන්ගේ භාරයට පවරා තිබෙන බැටළුවන්ගෙන් ඔවුන් නොමසුරු සහයෝගය නිසි ලෙස බලාපොරොත්තු වන බැවින්, ඔවුන්ම යටහත්භාවයේ කදිම ආදර්ශයන් විය යුතුය.—ක්‍රියා 20:28, NW.
9 පළමුවන ශතවර්ෂයේ, ආලේප ලත් අවේක්ෂකයන් සංකේතාත්මක වශයෙන් ක්‍රිස්තුස්වහන්සේගේ දකුණතෙහි නැතහොත් දකුණත මත සිටින ආකාරයෙන් දක්වා තිබූ අතර ඉන් අඟවනු ලැබුවේ සභාවේ හිස හැටියට උන්වහන්සේට ඔවුන්ගේ යටත්භාවයයි. (එළිදරව් 1:16, 20; 2:1) අද දිනත් එය වෙනස් වී නැත, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන්හි සිටින අවේක්ෂකයන් ක්‍රිස්තුස්වහන්සේගේ මඟ පෙන්වීමට යටත් විය යුතු අතර ‘දෙවියන්වහන්සේගේ බලවත් හස්තයට තමන්ව යටත් කළ යුතුය.’ (1 පේතෘස් 5:6) සාලමොන් විශ්වසනීයව කටයුතු කළ කාලයේ කළාක් මෙන්, විනිශ්චමය කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන්නට කැඳවනු ලැබූ විට, ඔවුන්ද “ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් [කීකරු හෘදයක්, NW] ඔබගේ මෙහෙකරුවාට දුන මැනව” යනුවෙන් යෙහෝවඃවහන්සේට යාච්ඤා කළ යුතුය. (1 රාජාවලිය 3:9) පොළොව මත ගනු ලබන තීරණය හැකිතාක් දුරට ස්වර්ගයේ ගනු ලබන එකට සමාන වනු පිණිස, කීකරු හෘදයක්, යෙහෝවඃවහන්සේ හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ දකින ආකාරයට කාරණා දෙස බලන්නට උනන්දු වීමට වැඩිමහල්ලෙකුව පොලඹවනු ඇත.—මතෙව් 18:18-20.
10. යේසුස්වහන්සේ බැටළුවන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් සියලු අවේක්ෂකයන් උන්වහන්සේව අනුකරණය කිරීමට වෑයම් දැරිය යුත්තේ කෙසේද?
10 සංචාරක අවේක්ෂකයන් හා සභා වැඩිමහල්ලන් එසේම වෑයම් දරනු ඇත්තේ ක්‍රිස්තුස්වහන්සේ බැටළුවන්ට සැලකූ ආකාරයට උන්වහන්සේව අනුකරණය කරන්නටය. ඵරිසිවරුන් මෙන්, ක්‍රියාවට නගන්නට දුෂ්කරවූ නීති සම්භාරයක් යේසුස්වහන්සේ පැනවූයේ නැත. (මතෙව් 23:2-11) උන්වහන්සේ බැටළු ගුණැති අයට පැවසුවේ මෙසේය: “වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට වරෙල්ලා, මම නුඹලාට සහනය දෙමි. මම සිතින් මෘදුව [හෘදයෙන්, NW] යටත්ව සිටින බැවින්, මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය. මක්නිසාද මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය.” (මතෙව් 11:28-30) සෑම ක්‍රිස්තියානියෙකුම “තමාගේ බර” ඉසිලිය යුතු බව සැබෑවක් වුවත්, අවේක්ෂකයන් යේසුස්වහන්සේගේ ආදර්ශය මතක තබා ගනිමින් සිය සහෝදරයන්ට උපකාර කළ යුත්තේ තමන්ගේ ක්‍රිස්තියානි වගකීම්වල බර “පහසු,” “සැහැල්ලු,” මෙන්ම ඉසිලීමට ප්‍රීතියක් බව දැනෙන්නටයි.—ගලාති 6:5.
දිව්‍යතාන්ත්‍රික යටත්කම
11. (අ) පුද්ගලයෙකු මූලිකත්වයට ගෞරව කරතත්, තවදුරටත් සැබෑ ලෙස දිව්‍යතන්ත්‍රික නොවිය හැක්කේ කෙසේද? පැහැදිලි කරන්න. (ආ) සැබවින්ම දිව්‍යතන්ත්‍රික වීම යන්නෙන් කුමක් අදහස් කෙරේද?
11 දිව්‍යතන්ත්‍රය යනු දෙවියන්වහන්සේ විසින් කරන ලද පාලනයයි. ඊට 1 කොරින්ති 11:3හි දක්වා ඇති මූලිකත්වය පිළිබඳ ප්‍රතිපත්තිය සම්බන්ධ වේ. එහෙත් එය ඊට වැඩි යමක් අදහස් කරයි. පුද්ගලයෙකු මූලිකත්වයට ගෞරව කරන බවක් පෙන්විය හැකි වුවත්, වචනයේ පරිසමාප්තියෙන්ම දිව්‍යතන්ත්‍රික නොවන්නට පුළුවන. මෙය සිදුවිය හැක්කේ කෙසේද? මෙය පැහැදිලි කරනවා නම්, ප්‍රජාතන්ත්‍රය යනු ජනතාව විසින් පත් කරනු ලබන ආණ්ඩුවක් වන අතර ප්‍රජාතන්ත්‍රවාදියෙකුව නිර්වචනය කර ඇත්තේ “ප්‍රජාතන්ත්‍රයේ සංකල්ප කෙරෙහි විශ්වාසය තබන පුද්ගලයෙකු” යනුවෙනි. මිනිසෙකු තමා ප්‍රජාතන්ත්‍රවාදීයයි කියන්නට, මැතිවරණවල සහභාගි වන්නට මෙන්ම, ක්‍රියාකාරි දේශපාලනඥයෙකු පවා වන්නට පුළුවන. එහෙත්, සිය සාමාන්‍ය හැසිරීමෙහි, ඔහු ප්‍රජාතන්ත්‍රයේ ස්වභාවය මෙන්ම ඊට සම්බන්ධ සියලු ප්‍රතිපත්ති හෙළා දකින්නේ නම්, ඔහු සැබවින්ම ප්‍රජාතන්ත්‍රවාදීයයි කිව හැකිද? ඒ හා සමානව, සැබවින්ම දිව්‍යතාන්ත්‍රික වන්නට නම්, පුද්ගලයෙකු සාමාන්‍ය ආකාරයකින් මූලිකත්වයට යටත් වීමට වඩා වැඩි යමක් කළ යුතුය. ඔහු යෙහෝවඃවහන්සේගේ මාර්ග හා ගුණාංග අනුකරණය කළ යුතුය. ඔහුව සෑම ආකාරයකින්ම සැබෑ ලෙස යෙහෝවඃවහන්සේ විසින් පාලනය කරනු ලැබිය යුතුය. තවද යෙහෝවඃවහන්සේ සිය පුත්‍රයාණන්ට පූර්ණ අධිකාරය පවරා ඇති බැවින්, දිව්‍යතන්ත්‍රික වීම යේසුස්වහන්සේව අනුකරණය කිරීමද අදහස් කරයි.
12, 13. (අ) දිව්‍යතන්ත්‍රික වීමට, නිශ්චිත වශයෙන්, අයත් වන්නේ කුමක්ද, (ආ) දිව්‍යතන්ත්‍රික යටත්වීමට අයත් වන්නේ නීති සම්භාරයකට කීකරු වීමද? පැහැදිලි කරන්න.
12 යෙහෝවඃවහන්සේට ඕනෑ කරන්නේ සතුටු සිතින් මෙන්ම ප්‍රේමයෙන් පෙලඹුණු යටත්කමක් බව මතක තබාගන්න. විශ්වය පාලනය කරන උන්වහන්සේගේ ක්‍රමය එය වන්නේය. උන්වහන්සේ ප්‍රේමයේම පුද්ගලාරෝපණය වනසේක. (1 යොහන් 4:8) ක්‍රිස්තුස් යේසුස්වහන්සේ වනාහි උන්වහන්සේගේ “මහන්තත්වයේ ප්‍රභාවයද උන්වහන්සේගේ දේවත්වයේ ස්වරූපයද” වනසේක. (හෙබ්‍රෙව් 1:3) තම සැබෑ ගෝලයන් එකිනෙකාට ප්‍රේම කරන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටිනසේක. (යොහන් 15:17) එනිසා යටත්වීම පමණක් නොව ප්‍රේමනීය වීමද දිව්‍යතන්ත්‍රික වීමට අයත් වේ. මෙම කාරණය මතු සඳහන් ආකාරයට සංක්ෂිප්ත කොට දැක්විය හැකිය: දිව්‍යතන්ත්‍රය යනු දෙවියන්වහන්සේ විසින් කරන ලද පාලනයයි; දෙවියන්වහන්සේ ප්‍රේමයයි; එබැවින් දිව්‍යතන්ත්‍රය යනු ප්‍රේමයෙන් කරන පාලනයයි.
13 දිව්‍යතන්ත්‍රික වනු පිණිස, සහෝදරයන් සියලු ආකාර නීතිවලට කීකරු විය යුතුයයි වැඩිමහල්ලෙකු කල්පනා කරන්නට පුළුවන. කලින් කලට “විශ්වාසවූ නුවණ ඇති දාසයා” විසින් දෙන ලද යෝජනා මත පිහිටා ඇතැම් වැඩිමහල්ලන් නීති සාදා ඇත. (මතෙව් 24:45) උදාහරණයක් වශයෙන්, සභාවේ සහෝදරයන් වඩාත් හොඳින් හඳුනා ගනු පිණිස, රාජ්‍යය ශාලාවේ එකම ආසනයේ නිතර අසුන් නොගැනීම ප්‍රයෝජනවත් විය හැකියයි වරක් යෝජනා කරනු ලැබීය. ප්‍රායෝගික යෝජනාවක් විනා වෙනස් නොවන දැඩි නීතියක්වීමට මෙය අදහස් කළේ නැත. එහෙත් ඇතැම් වැඩිමහල්ලන් නැඹුරු විය හැක්කේ එය නීතියක් බවට පෙරළා ගන්නටත් එය අනුගමනය නොකරන්නන් දිව්‍යතන්ත්‍රික නොවන බව කල්පනා කරන්නටත්ය. එහෙත්, යම් සහෝදරයෙකු හෝ සහෝදරියක යම් නිශ්චිත ප්‍රදේශයක වාඩිවීමට වැඩි කැමැත්තක් දැක්වීමට හොඳ හේතු බොහොමයක් තිබෙන්නට පුළුවන. වැඩිමහල්ලෙකු එවන් දේවල් ප්‍රේමනීයව සැලකිල්ලට නොගන්නේ නම්, ඔහුම සැබෑ ලෙස දිව්‍යතන්ත්‍රික වන්නේද? දිව්‍යතන්ත්‍රික වීමට නම්, “නුඹලා කරන සියල්ලම ප්‍රේමයෙන් කරනු” ලැබේවා!.—1 කොරින්ති 16:14.
ප්‍රීතියෙන් සේවය කිරීම
14, 15. (අ) වැඩිමහල්ලෙකු ඇතැම් සහෝදරයන්ගෙන් හෝ සහෝදරියන්ගෙන් යෙහෝවඃවහන්සේට සේවය කිරීමේ ඔවුන්ගේ ප්‍රීතිය අහිමි කළ හැක්කේ කෙසේද, එමෙන්ම මෙය දිව්‍යතන්ත්‍රික නොවනු ඇත්තේ මන්ද? (ආ) ප්‍රමාණයට වඩා අපගේ සේවයෙන් ප්‍රකාශිත ප්‍රේමය යේසුස්වහන්සේ අගය කරන බව උන්වහන්සේ පෙන්නුවේ කෙසේද? (ඇ) වැඩිමහල්ලන් සැලකිල්ලට ගත යුත්තේ කුමක්ද?
14 යෙහෝවඃවහන්සේට ප්‍රීතියෙන් සේවය කිරීමද දිව්‍යතන්ත්‍රික වීම යන්නෙන් අදහස් කරයි. යෙහෝවඃවහන්සේ ‘සන්තෝෂවත් දෙවියන්වහන්සේය.’ (1 තිමෝති 1:11, NW) උන්වහන්සේට ඕනෑ කරන්නේ සිය නමස්කාරකයන් ප්‍රීතියෙන් උන්වහන්සේට සේවය කිරීමය. නීතිවලට නුවුවමනාසේ ගරුකරන්නන් මතක තබා ගත යුතු දෙයක් වනුයේ, ඉශ්‍රායෙල්වරුන් විසින් “රක්ෂාකරන පිණිස බලාගන්ට ඕනෑවූ” නියමයන් අතර “නුඹේ අත තබන සියල්ල ගැන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ඉදිරියෙහි ප්‍රීතිවෙයල්ලා” යන්නද අඩංගුව තිබූ බවය. (ද්විතීය කථාව 12:1, 18) අප යෙහෝවඃවහන්සේගේ සේවය තුළ අත තබන ඕනෑම දෙයක් පීඩාකාරි බරක් නොව, ප්‍රීතියක් විය යුතුය. යෙහෝවඃවහන්සේට සේවය කිරීමෙහිලා, තමන්ට හැකි දෙය කිරීමෙහි සතුටක් ලබන තත්ත්වයකට සහෝදරයන්ව පත් කරන්නට අවේක්ෂකයන්ට බොහෝ දේ කළ හැකිය. අනික් අතට, වැඩිමහල්ලන් සැලකිලිමත් නොවන්නේ නම්, ඔවුන්ට ඇතැම් සහෝදරයන්ගේ ප්‍රීතිය අහිමි කරන්නට පුළුවන. උදාහරණයක් වශයෙන්, ඔවුන් සැසඳීම් කරමින්, සාක්ෂි දැරීමෙහි ගත කළ කාලය තුළ සභාවේ සාමාන්‍ය පැය ගණන අත්කරගත් නැතහොත් එය ඉක්මවූ අයව ප්‍රශංසා කරන අතර, එය අත්කර නොගත් අයව ඉඟියෙන් විවේචනය කරන්නේ නම්, වලංගු හේතුවක් මත අඩු පැය ගණනක් වාර්තා කළ අයට හැඟෙන්නට යන්නේ කෙසේද? මෙය ඔවුන් තුළ නුවුවමනා දෝෂසහගත හැඟීමක් ඇති කර ඔවුන්ගේ ප්‍රීතිය ඔවුන්ට අහිමි කළ හැකි නොවේද?
15 බාල වයස, වඩාත් හොඳ සෞඛ්‍යයක්, මෙන්ම වෙනත් තත්ත්වයන් නිසා වෙනත් අයට දේශනා කිරීමෙහි බොහෝ කාලයක් වැය කළ හැකි වුවද, ප්‍රසිද්ධ සාක්ෂි දැරීමට ඇතැමෙකුට කැප කළ හැකි පැය ස්වල්පය වැඩි පරිශ්‍රමයක් නිරූපණය කරන්නට පුළුවන. මේ සම්බන්ධයෙන්, වැඩිමහල්ලන් ඔවුන්ව විනිශ්චය නොකළ යුතුය. ඇත්තවශයෙන්ම, පියාණන්වහන්සේ ‘විනිශ්චය කරන්ට බලය’ දී ඇත්තේ යේසුස්වහන්සේටය. (යොහන් 5:27) දිළිඳු වැන්දඹුව ඔප්පු කළ දීමනාව සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුව තිබූ නිසා යේසුස්වහන්සේ ඇයට දොස් පැවරූසේක්ද? නැත, එම කුඩා කාසි දෙක දීමෙන් ඇය දැරූ පරිත්‍යාගයට උන්වහන්සේ සංවේදීව සිටිසේක. “තමාගේ රක්ෂාවීමට තිබුණු සියල්ල” එපමණය. යෙහෝවඃවහන්සේ සඳහා කොතරම් ගැඹුරු ප්‍රේමයක් ඒවායින් නියෝජනය වීද! (මාර්ක් 12:41-44) තමාට වැය කළ හැකි මුළු කාලය සංඛ්‍යාත්මක වශයෙන් “සාමාන්‍යයට” වඩා පහත මට්ටමක පවතින අයගේ ප්‍රේමනීය පරිශ්‍රමයන් ගැන වැඩිමහල්ලන් වඩාත් අඩු සංවේදීතාවක් දැක්විය යුතුද? යෙහෝවඃවහන්සේට තිබෙන ප්‍රේමය යන පදනම මත කල්පනා කරන විට, එවන් පරිශ්‍රමයන් සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවූ තත්ත්වයක තිබෙන්නට පුළුවන!
16. (අ) අවේක්ෂකයන් තමන්ගේ කථාවලදී සංඛ්‍යාවන් පාවිච්චි කරන්නේ නම්, ඔවුන්ට සියුම් නුවණ මෙන්ම හොඳ සමබරතාවක් අවශ්‍ය වනුයේ මක්නිසාද? (ආ) සිය සේවය වැඩි කර ගැනීමට සහෝදරයන්ට වඩාත් හොඳින්ම උපකාර කළ හැක්කේ කෙසේද?
16 මෙම කරුණු, සංඛ්‍යාවන්—එනම්, සාමාන්‍යයන් පවා—සඳහන් නොකළ යුතු බවට, දැන් අලුත් “නීතියක්” බවට පෙරළා ගත යුතුද? කොහෙත්ම නැත! මෙහි අභිප්‍රාය වනුයේ සිය දේව සේවය පුළුල් කර ගැනීමට සහෝදරයන්ව දිරිගැන්වීම හා තමන්ට කළ හැකි දෙය ප්‍රීතියෙන් කිරීමට ඔවුන්ට උපකාර කිරීම වන අතර අවේක්ෂකයන් සමබර තත්ත්වයක් පවත්වා ගත යුතු බවය. (ගලාති 6:4) තලෙන්ත පිළිබඳ යේසුස්වහන්සේගේ උපමාවෙහි, ස්වාමියා තමා සන්තක දේ සිය දාසයන්ට භාර දුන්නේ “එකිනෙකාගේ පුළුවන්කමේ” හැටියටය. (මතෙව් 25:14, 15) වැඩිමහල්ලන් සමානාකාරයෙන් එක් එක් රාජ්‍යය ප්‍රචාරකයාගේ හැකියාවන් සැලකිල්ලට ගත යුතුය. මේ සඳහා වටහා ගැනීමේ ශක්තිය අවශ්‍ය වේ. තවත් වැඩියෙන් සේවය කිරීමට ඇතැමෙකුට ඇත්තවශයෙන්ම දිරිගැන්වීමක් අවශ්‍යව තිබෙන්නට පුළුවන. තමන්ගේ ක්‍රියාකාරකම් වඩාත් හොඳින් සංවිධානය කර ගැනීමට දෙන උපකාරය ඔවුන් අගය කළ හැකිය. කෙසේවෙතත්, තමන්ට හැකි දෙය ප්‍රීතියෙන් කරන්නට ඔවුන්ට සහාය දිය හැකි නම්, එම ප්‍රීතිය හැකියාව ඇති ආකාරයට තමන්ගේ ක්‍රිස්තියානි ක්‍රියා පුළුල් කර ගැනීමට ඔවුන්ව ශක්තිමත් කරනු ඇත.—නෙහෙමියා 8:10; ගීතාවලිය 59:16; යෙරෙමියා 20:9.
ප්‍රීතිමත් යටත්කමෙන් නික්මෙන සමාදානය
17, 18. (අ) ප්‍රීතියෙන් යටත්වීම අපට සමාදානය හා ධර්මිෂ්ඨකම ලබා දිය හැක්කේ කෙසේද? (ආ) අප සැබවින්ම දෙවියන්වහන්සේගේ ආඥාවලට අවධානය යොමු කරන්නේ නම් අපට කුමක් ලැබෙනු ඇද්ද?
17 නීත්‍යානුකූලවූ යෙහෝවඃවහන්සේගේ පරමාධිපත්‍යයට ප්‍රීතියෙන් යටත්වීම අපට මහත් සමාදානයක් ගෙනෙනු ඇත. ගීතිකාකරු යාච්ඤාවෙන් යෙහෝවඃවහන්සේට මෙසේ පැවසුවේය: “ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.” (ගීතාවලිය 119:165) දේව නීතියට කීකරු වීමෙන් අපි අපටම ප්‍රයෝජන අත්කර ගන්නෙමු. යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙල්ට මෙසේ පැවසූ සේක: “නුඹේ මිදුම්කාරයාද ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනැන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මෙසේ කියනසේක: ප්‍රයෝජන ලබා ගැනීමට නුඹට උගන්වන්නෙත් නුඹ යා යුතු මාර්ගයෙහි නුඹ ගෙනයන්නෙත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] වන මමය. අනේ, නුඹ [ඇත්තවශයෙන්ම, NW] මාගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම් නුඹේ සමාදානය ගංගාවක් මෙන්ද නුඹේ ධර්මිෂ්ඨකම මුහුදේ රැළ මෙන්ද වන්නේය.”—යෙසායා 48:17, 18.
18 දෙවියන්වහන්සේ සමඟ අපට සමාදාන තත්ත්වයක් ලබා දෙන්නේ ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිලයයි. (2 කොරින්ති 5:18, 19) ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීමේ රුධිරය කෙරෙහි ඇදහිල්ල තබාගෙන, අපගේ දුර්වලකම් සමඟ සටන්කර දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට අප අවංක පරිශ්‍රමයක් දරන්නේ නම්, අපට වරදකාර හැඟීමෙන් සහනයක් දැනෙනු ඇත. (1 යොහන් 3:19-23) ක්‍රියාවලින් අනුබල ලද එවන් ඇදහිල්ලක්, යෙහෝවඃවහන්සේ ඉදිරියේ අපට ධර්මිෂ්ඨ ස්ථාවරයක් මෙන්ම ‘මහත් පීඩාවෙන්’ බේරීමත් යෙහෝවඃවහන්සේගේ නව ලෝකයේ සදාකාලයටම ජීවත්වීමත් යන පුදුමසහගත බලාපොරොත්තුව අපට ලබා දෙයි. (එළිදරව් 7:14-17; යොහන් 3:36; යාකොබ් 2:22, 23) ‘අප [ඇත්තවශයෙන්ම, NW] දෙවියන්වහන්සේගේ ආඥාවලට ඇහුම්කන්දුන්නා නම්’ මේ සියල්ලම අපගේ වන්නට පුළුවන.
19. දැන් අපගේ සන්තෝෂයත් සදාකාල ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවත් රැඳී පවතින්නේ කුමක් මතද, දාවිත් අපගේ හෘදයාංගම ස්ථිර විශ්වාසය ප්‍රකාශ කළේ කෙසේද?
19 එසේය, දැන් අපගේ සන්තෝෂයත්, පාරාදීස පොළොවක සදාකාල ජීවිතය පිළිබඳ අපගේ බලාපොරොත්තුවත් රඳා පවතින්නේ විශ්වයේ පරමාධිපති ස්වාමීන්වහන්සේ හැටියට යෙහෝවඃවහන්සේගේ අධිකාරයට අපගේ ප්‍රීතිමත් යටත්වීම මතය. අපි නිතර දාවිත්ගේ හැඟීම් ඇතිව සිටිමු. ඔහු පැවසුවේ මෙසේය: “ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃවහන්ස, NW] මහන්තත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත් ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃවහන්ස, NW], ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක. එබැවින්, අපේ දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුතිකරමින් ඔබගේ තේජවත් නාමය වර්ණනාකරමු.”—1 ලේකම් 29:11, 13.
මතක තබා ගැනීමට කරුණු
◻ යෙහෝවඃවහන්සේ කැමතිවන්නේ උන්වහන්සේගේ සේවකයන් කෙබඳු යටත්කමක් හා කීකරුකමක් පෙන්වනවා නම්ද?
◻ සිය කීකරුකම උදෙසා යේසුස්වහන්සේට විපාක දෙනු ලැබුවේ කෙසේද, එමෙන්ම අපගේ ක්‍රියාමාර්ගයෙන් අප කුමක් තහවුරු කළ යුතුද?
◻ යේසුස්වහන්සේ බැටළුවන්ට සැලකූ ආකාරය සම්බන්ධයෙන් සියලු අවේක්ෂකයන් උන්වහන්සේව අනුකරණය කළ යුත්තේ කෙසේද?
◻ දිව්‍යතන්ත්‍රික වීමට කුමක් අදාළ වන්නේද?
◻ ප්‍රීතිමත් යටත්කම අපට ගෙනෙන්නේ කුමන ආශීර්වාදද?
[24වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලන් රැළ දිරිගන්වන්නේ තමන්ට හැකි දෙය ප්‍රීතියෙන් කිරීමටයි
[26වන පිටුවේ පින්තූරය]
යෙහෝවඃවහන්සේ තමන්වහන්සේට හෘදයෙන් කීකරු වන අය කෙරෙහි ප්‍රසන්න වන සේක