ඔබගේ පවුලේ ගැළවීම පිණිස වෙහෙස වී ක්‍රියා කරන්න
“යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද ඔවුන් ඇතිදැඩි කරමින් සිටින්න.”—එපීස 6:4, NW.
1, 2. අදදින මව්පියන්ට මුහුණ දීමට සිදුවී තිබෙන්නේ කිනම් අභියෝගයන්ටද?
ජනප්‍රිය සඟරාවක් එය හැඳින්වූයේ විප්ලවයක් හැටියටය. එම ලිපිය යොමු දැක්වූයේ මෑත කාලවල පවුල තුළ සිදුවී තිබෙන කම්පිතකරවන වෙනස්කම් වෙතටයි. මේවා “දික්කසාදවීම, නැවත විවාහවීම, නැවතත් දික්කසාදවීම, අවජාතකභාවය, මෙන්ම තවමත් වෙන් නොවූ පවුල් තුළ අලුතෙන් පැමිණෙන වෙහෙසීම් යනාදියේ වසංගතයක ප්‍රතිඵලය වන්නේ” යයි කියනු ලැබීය. මෙම “අන්තිම දවස්” තුළ ජනයා “අන්තරා සහිත කාලවල්(වලට)” මුහුණ දෙනු ඇතැයි බයිබලය පුරෝකථනය කළ බැවින්, මෙවන් පීඩාවන් හා වෙහෙසීම් අපේක්ෂා කළ යුතු වන්නේය.—2 තිමෝති 3:1-5.
2 එබැවින් අදදින මව්පියන් මුහුණදී සිටින්නේ පෙර පරම්පරාවන් නොදැන සිටි අභියෝගයන්ටය. අප අතර ඇතැම් මව්පියන් සිය දරුවන්ව “බාල [ළදරු, NW] වයසේ පටන්” දිව්‍ය මාර්ගවල ඇතිදැඩි කර තිබුණත්, පවුල් බොහොමයක් ‘සත්‍යතාවෙහි හැසිරෙන්නට’ පටන්ගෙන ඇත්තේ මෑත කාලයක සිටය. (2 තිමෝති 3:15; 3 යොහන් 4) එම මව්පියන් දිව්‍ය මාර්ග සිය දරුවන්ට උගන්වන්නට පටන් ගත්විට, ඔවුන් වැඩුණු වයසේ සිටින්නට ඇත. එමපණක්ද නොව, ක්‍රමයෙන් වැඩිවන්නාවූ තනි-මව්පිය පවුල් හා එක් කලත්‍රයෙක් දෙවන විවාහයකට භාජන වූ පවුල් ක්‍රමයෙන් වැඩිවන්නාවූ සංඛ්‍යාවක් අප අතර දක්නට ලැබේ. ඔබගේ තත්ත්වය කුමක් වෙතත්, ප්‍රේරිත පාවුල්ගේ මතු සඳහන් අවවාදය අදාළ වේ: “යෙහෝවඃවහන්සේගේ, හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද ඔවුන් ඇතිදැඩි කරමින් සිටින්න.”—එපීස 6:4, NW.
ක්‍රිස්තියානි මව්පියන් හා ඔවුන්ගේ කාර්ය භාරයන්
3, 4. (අ) පියවරුන්ගේ කාර්ය භාරය පිරිහීමට හේතු වී තිබෙන්නේ කිනම් සාධකද? (ආ) ක්‍රිස්තියානි පියවරුන් දිවි පෙවෙත ලබාදෙන්නන්ට වඩා වැඩි යමක් කරන අය විය යුත්තේ මක්නිසාද?
3 පාවුල් එපීස 6:4හි සිය වදන් මූලිකව ‘පියවරුන්ට’ යොමු කළ බව සැලකිල්ලට ගන්න. එක් ලේඛකයෙක් පැහැදිලි කරන්නේ මෙසේය, කලින් පරම්පරාවල “පියවරුන් සිය දරුවන්ගේ සදාචාරමය හා ආත්මික වර්ධනය සඳහා වගකිව යුතු විය; පියවරුන් සිය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වගකිව යුතු විය. . . . එහෙත් කාර්මික විප්ලවය මෙම දැඩි සමීපත්වය ඉවත් කළේය; පියවරු සිය ගොවිපළවල් හා කඩවල් අත්හැර, සිය නිවෙස් අත්හැර කර්මාන්තශාලාවලත්, පසුව කාර්යාලවලත් සේවය කිරීමට ගියහ. වරක් පියවරුන් වගකිව යුතුව තිබූ යුතුකම් බොහොමයක් මව්වරු භාර ගත්හ. ක්‍රමක්‍රමයෙන් පිතෘත්වය කල්පිත වූ යමක් බවට පත්විය.”
4 ක්‍රිස්තියානි පුරුෂයෙනි: ඔබගේ දරුවන්ව සියලු පුහුණු කිරීම හා හදාවඩා ගැනීම ආශ්රිත කටයුතු ඔබගේ භාර්යාවට පවරමින්, හුදෙක් පවුලේ දිවි පෙවෙත ලබාදෙන්නන් බවට පත් වීමෙන් සෑහීමට පත් නොවන්න. හිතෝපදේශ 24:27 පුරාතන කාලවල පියවරුන්ට තදින් අවවාද කළේ “නුඹේ වැඩය පිටතදී සූදානම්කොට, කෙතෙහි එය පිළියෙළකරගනින්න; පසුව නුඹේ ගේ සාදාපන්න [නිවාසයද නුඹ ගොඩනගා ගත යුතුය, NW]” යනුවෙනි. සමානාකාරයෙන් අදදිනත්, වැඩ කරන පුරුෂයෙක් හැටියට, දිවි පෙවෙත සඳහා ඔබට වෙහෙසා දිගු වේලාවක් සේවය කරන්නට සිදු වන්නට පුළුවන. (1 තිමෝති 5:8) කෙසේවෙතත්, ඉන්පසු—චිත්තවේගී හා ආත්මික වශයෙන්—‘ඔබගේ පවුලද ගොඩනගා ගැනීමට’ කරුණාකර කාලය වැය කරන්න.
5. ක්‍රිස්තියානි භාර්යාවන්ට සිය පවුලේ ගැළවීම සඳහා වැඩ කළ හැක්කේ කෙසේද?
5 ක්‍රිස්තියානි භාර්යාවෙනි: ඔබගේ පවුල්වල ගැළවීම සඳහා ඔබත් වෙහෙසා වැඩ කළ යුතුය. හිතෝපදේශ 14:1 පවසනුයේ “[සැබවින්ම, NW] ඥානවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය [පවුල, NW] ගොඩනගන්නීය” යනුවෙනි. විවාහක සහකරුවන් හැටියට, ඔබත් ඔබගේ ස්වාමිපුරුෂයාත් ඔබගෙන් පැවතෙන්නන්ව පුහුණු කිරීමේ වගකීමට හවුල් විය යුතුය. (හිතෝපදේශ 22:6; මලාකී 2:14) ඔබගේ දරුවන්ව හික්මවීම, ඔවුන්ව ක්‍රිස්තියානි රැස්වීම් හා ක්ෂේත්‍ර සේවය සඳහා සූදානම් කිරීම, නැතහොත් ඔබගේ ස්වාමිපුරුෂයාට පවුල් පාඩමක් පැවැත්වීමට නොහැකි විට එසේ කිරීම පවා මෙයට ඇතුළත් වන්නට පුළුවන. ගේදොර කටයුතු, හොඳ සිරිත් විරිත්, කායික සෞඛ්‍යය මෙන්ම, වෙනත් උපකාරවත් දේවල් බොහොමයක් ඔබගේ දරුවන්ට ඉගැන්වීමටද ඔබට බොහෝ දෑ කළ හැකිය. (තීතස් 2:4, 5) මෙයාකාරයෙන් ස්වාමිපුරුෂයන් හා භාර්යාවන් එකට වැඩ කරන විට, ඔවුන්ට සිය දරුවන්ගේ අවශ්‍යතා වඩාත් හොඳින් ඉටු කළ හැකිය. ඇත්තෙන්ම එම අවශ්‍යතා සමහරක් මොනවාද?
ඔවුන්ගේ චිත්තවේගී අවශ්‍යතාවන්ට සැලකිල්ල දැක්වීම
6. සිය දරුවන්ගේ චිත්තවේගී වර්ධනය සම්බන්ධයෙන් මව්වරුන් හා පියවරුන් ඉටු කරන කාර්ය භාරයන් කවරේද?
6 “කිරිමවක් ඇගේම දරුවන් පෝෂණය” කරන විට, ඔවුන්ට අනතුරක් නැති, සුරක්ෂිත, ප්‍රේම කරනු ලබන බවක් හැඟේ. (1 තෙසලෝනික 2:7; ගීතාවලිය 22:9) සිය ළදරුවන් වෙත අධික අවධානයක් යොමු කරන්නට ඇති වන පෙලඹීම මැඩපැවැත්විය හැක්කේ මව්වරු ස්වල්පදෙනෙකුට පමණි. දිවැස්වර යෙසායා මෙසේ ඇසුවේය: “ස්ත්‍රියෙක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතකනැතිකරන්ට ඈට පුළුවන්ද?” (යෙසායා 49:15) මෙසේ මව්වරු දරුවන්ගේ චිත්තවේගී වර්ධනයෙහි වැදගත් කාර්ය භාරයක් ඉටු කරති. එපමණක්ද නොව, පියවරුද මේ සම්බන්ධයෙන් වැදගත් කාර්ය භාරයක් ඉටු කරති. පවුල් උපදේශක පෝල් ලුවිස් මෙසේ පවසයි: “තමන්ගේ පියා සමඟ හොඳ සම්බන්ධතාවක් තිබුණේ යයි සිද්ධි පරීක්ෂකයෙකුට වාර්තා කළ කිසිම [අපචාරි] දරුවෙකු තවමත් මට හමු වී නැහැ. එනම් සියයකට එක්කෙනෙකුවත් එසේ වාර්තා කර නැහැ.”
7, 8. (අ) යෙහෝවඃ දෙවියන්වහන්සේ හා සිය පුත්‍රයා අතර ශක්තිමත් බැඳියාවක් තිබෙන බවට ඇත්තේ කිනම් සාක්ෂිද? (ආ) පියවරුන්ට තමන්ගේ දරුවන් සමඟ ප්‍රේමනීය බන්ධනයක් තනාගැනීමට හැක්කේ කෙසේද?
7 එබැවින් ක්‍රිස්තියානි පියවරුන් සිය දරුවන් සමඟ ප්‍රේමනීය බැඳියාවක් වර්ධනය කරගැනීම අත්‍යවශ්‍යය. උදාහරණයක් වශයෙන්, යෙහෝවඃ දෙවියන්වහන්සේ හා යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සැලකිල්ලට ගන්න. යේසුස්වහන්සේගේ බව්තීස්මයේදී, යෙහෝවඃවහන්සේ “නුඹ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාය; නුඹ කෙරෙහි ඉතා ප්‍රසන්නව සිටිමි [මම ඔබව අනුමත කර ඇත්තෙමි, NW]” යයි පැවසූ සේක. (ලූක් 3:22) එසේ මෙම වදන් කීපයෙන් බොහෝ දෑ ප්‍රකාශයට පත් කෙරේ! යෙහෝවඃවහන්සේ (1) සිය පුත්‍රයාව පිළිගත්සේක, (2) විවෘතව යේසුස්වහන්සේ උදෙසා සිය ප්‍රේමය ප්‍රකාශ කළසේක, එමෙන්ම (3) යේසුස්වහන්සේව තමන් විසින් අනුමත කිරීම ප්‍රසිද්ධ කළසේක. කෙසේවෙතත්, සිය පුත්‍රයා උදෙසා සිය ප්‍රේමය යෙහෝවඃවහන්සේ ප්‍රකාශ කළ එකම අවස්ථාව මෙය නොවේය. යේසුස්වහන්සේ පසුකලෙක සිය පියාණන්ට පැවසුවේ “ලෝකය මැවීමට [පිහිටුවීමට, NW] පළමුවෙන් ඔබ මට ප්‍රේමකළසේක” යනුවෙනි. (යොහන් 17:24) එසේනම්, ඇත්තවශයෙන්ම කීකරු පුත්‍රයන් හා දියණියන් සියල්ලන්ටම සිය පියවරුන්ගෙන් පිළිගැන්ම, ප්‍රේමය හා අනුමැතිය සැබවින්ම අවශ්‍ය නොවේද?
8 ඔබ පියෙක් නම්, උචිත කායික හා වාචික ප්‍රකාශයන් නිතිපතා කිරීමෙන් ඔබගේ දරුවන් සමඟ ප්‍රේමයේ බන්ධනයක් ගොඩනැගීමට උපායශීලීව ඔබට බොහෝ දෑ කළ හැකිය. විශේෂාකාරයෙන් තමන්ගේම පියවරුන්ගෙන් විවෘත ස්නේහයක් කිසිකලෙක ලබාගෙන නොමැත්තේ නම් ඇතැම් පුරුෂයන්ට තමන්ගේ ස්නේහය පෙන්වීමට දුෂ්කර බව සැබෑවකි. එහෙත් ඔබගේ දරුවන්ට ප්‍රේමය පෙන්වීමට දරන අදක්ෂ වෑයමක් පවා බලගතු බලපෑමක් ඇති කරන්නට පුළුවන. තවද, “ප්‍රේමය ගොඩ නංවයි.” (1 කොරින්ති 8:1, NW) ඔබගේ පිතෘ ප්‍රේමය නිසා ඔබගේ දරුවන්ට සුරක්ෂිතභාවයක් හැඟේ නම්, ඔවුහු ‘සැබෑ පුත්‍රයන් හා දියණියන්’ වීමටත් ඔබ කෙරෙහි නිරායාසයෙන් විශ්වාසය තැබීමටත් වඩාත් නැඹුරු වනු ඇත්තාහ.—හිතෝපදේශ 4:3.
ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවන් සඳහා සැලකිල්ල දැක්වීම
9. (අ) දේව භයැති ඉශ්රායෙලිත මව්පියන් සිය පවුල්වල ආත්මික අවශ්‍යතාවන්ට සැලකිල්ල දැක්වූයේ කෙසේද? (ආ) තමන්ගේ දරුවන්ට අනියම් ආකාරයෙන් ඉගැන්වීමට ක්‍රිස්තියානින්ට තිබෙන ප්‍රස්තා මොනවාද?
9 දරුවන්ටද ආත්මික අවශ්‍යතා ඇත. (මතෙව් 5:3, NW) මෝසෙස් ඉශ්රායෙල් මව්පියන්ට දුන් අනුශාසනය මෙයයි: “මා විසින් අද නුඹට අණකරන මේ වචන නුඹේ සිතේ [හෘදයේ, NW] තිබේවා. ඒවා නුඹේ දරුවන්ට හොඳාකාරයෙන් උගන්වා, නුඹ ගෙයි හිඳින කලද මග යන කලද නුඹ සයනයකරන කලද නැගිටින කලද ඒවා ගැන කථා කරපන්න.” (ද්විතීය කථාව 6:6, 7) ඔබ ක්‍රිස්තියානි මව්පියෙක් නම්, ඔබට ඔබගේ උපදෙස් දීමෙන් වැඩි කොටසක් අනියම් ආකාරයට, එනම් “මග යන කල” කළ හැකිය. පවුලක් වශයෙන් ගමනක් යන විට එම වාහනය තුළදී, සාප්පු යන විටදී, නැතහොත් ක්‍රිස්තියානි දේව සේවයේ ඔබගේ දරුවන් සමඟ ගෙයින්-ගෙට යන විටදී විවේකී වාතාවරණයක උපදෙස් දීමට යහපත් ප්‍රස්තා ඉදිරිපත් වේ. ආහාර ගන්නා වේලාවන් පවුල්වලට අදහස් හුවමාරු කිරීම සඳහා විශේෂාකාරයෙන් හොඳ අවස්ථාවකි. “දවස තුළ පැනනැගුණු දේවල් ගැන කථා කිරීමට අප ආහාර ගන්නා වේලාව යොදා ගන්නවා” යයි එක් මව්පියෙක් පැහැදිලි කරයි.
10. පවුලේ පාඩම ඇතැම් අවස්ථාවන්හි අභියෝගයක් වන්නේ මන්ද, එමෙන්ම මව්පියන්ට තිබිය යුත්තේ කිනම් අධිෂ්ඨානයද?
10 කෙසේවෙතත්, ඔබගේ දරුවන් සමඟ නිතිපතා පවත්වන බයිබල් පාඩමක් මගින් විධිමත්ව උපදෙස් දීමද වැදගත්වේ. දරුවන්ගේ ‘හෘදයට මෝඩකම බැඳී තිබෙන’ බව පිළිගත යුත්තකි. (හිතෝපදේශ 22:15) සිය දරුවන්ට පහසුවෙන්ම පවුලේ පාඩම කඩාකප්පල් කළ හැකි බව ඇතැම් මව්පියෝ පවසති. ඒ කෙසේද? තමන් නොසන්සුන්ව සිටින ආකාරයෙන් හා නිරස බවක් අද්දකින ආකාරයෙන් ක්‍රියාකිරීමෙන්, (සහෝදර සහෝදරියන් සමඟ පොරබැදීම් වැනි) කුපිත කරවන සිත වෙනතකට යොමුකරවන දෑ කිරීමෙන්, නැතහොත් මූලික බයිබල් සත්‍යයන් තමන් නොදන්නා බවට බොරුවට කියා සිටීමෙන් එසේ කළ හැක. මෙය අධිෂ්ඨානය පිළිබඳ අරගලයක් බවට පත්වීම දක්වා ඇදී යන්නේ නම්, මව්පියෙකුගේ අධිෂ්ඨානය වඩාත්ම ශක්තිමත් එක විය යුතුය. ක්‍රිස්තියානි මව්පියන් උත්සාහය අත්හැර, පවුල කෙරෙහි බලපැවැත්වීමට දරුවන්ට ඉඩ නෑරිය යුතුය.—ගලාති 6:9 සසඳන්න.
11. පවුලේ පාඩම ආස්වාදයක් ලැබිය හැකි යමක් බවට පත්කර ගත හැක්කේ කෙසේද?
11 ඔබගේ දරුවන් පවුලේ පාඩමෙන් ආස්වාදයක් ලබන්නේ නැත්නම්, ඇතැම්විට වෙනස්කම් කීපයක් කළ හැකිය. උදාහරණයක් වශයෙන්, පාඩම ඔබගේ දරුවන්ගේ අලුත්ම වැරදි නැවත සලකා බැලීමට අවස්ථාවක් හැටියට පාවිච්චි කරනු ලබනවාද? ඇතැම්විට එවන් ගැටලු පෞද්ගලිකව සාකච්ඡා කිරීම වඩාත් යහපත් වනු ඇත. ඔබගේ පාඩම නිතිපතා පැවැත්වේද? ප්‍රියතම රූපවාහිනි වැඩසටහනක් හෝ ක්‍රීඩා තරඟයක් වෙනුවෙන් ඔබ එය අවලංගු කරන්නේ නම්, බොහෝවිට ඔබගේ දරුවන් එම පාඩම වැදගත් යමක් ලෙස ගණන් නොගන්නට පුළුවන. ඔබ පාඩම පවත්වන විලාසය සම්බන්ධයෙන් උනන්දුමත් හා උද්යෝගවත් වන්නෙහිද? (රෝම 12:8) එසේය, පාඩම ආස්වාදය ලැබෙන යමක් විය යුතුය. සියලුම දරුවන් ඊට සම්බන්ධ කරගැනීමට වෑයම් දරන්න. ඔබගේ දරුවන් ඔවුන්ගේ හවුල්වීම වෙනුවෙන් ඔවුන්ට උණුසුම්ව ප්‍රශංසා කරමින්, ඒකාන්ත මෙන්ම ගොඩනංවනසුලු වීමට කටයුතු කරන්න. ඇත්ත වශයෙන්ම, කරුණු පියවීමට නොව, හෘදයට කිඳා බැසීමට වෑයම් දරන්න.—හිතෝපදේශ 23:15.
ධර්මිෂ්ඨකමෙන් හික්මවීම
12. හික්මවීමට නිතර කායික දඬුවම ඇතුළත් නොවන්නේ මන්ද?
12 දරුවන්හට හික්මවීමේ දැඩි අවශ්‍යතාවක්ද ඇත. මව්පියෙක් හැටියට, ඔබ ඔවුන් සඳහා සීමාවන් පැනවිය යුතුය. හිතෝපදේශ 13:24 මෙසේ පවසයි: “ඉපල පාවිච්චි නොකරන්නා තම පුත්‍රයාට වෛරවන්නේය; එහෙත් ඔහුට ප්‍රේමවෙන්නා කල්තබා ඔහුට දඬුවම්කරන්නේය.” කෙසේවෙතත්, හික්මවීම නිතර කෝටුවකින් ලබා දිය යුතු බව බයිබලය අදහස් කරන්නේ නැත. හිතෝපදේශ 8:33හි [NW], ‘හික්මවීමට සවන්දෙන්න’ කියා සඳහන්ව ඇති අතර “අඥානයෙකුට පහර සියයකට වඩා, නුවණ ඇත්තෙකුට තරවටුව වදින්නේය” යයි අපට පවසා ඇත.—හිතෝපදේශ 17:10.
13. දරුවන්ට හික්මවීම ලබාදිය යුත්තේ කෙසේද?
13 ඇතැම් අවස්ථාවන්හි, කායිකව සමහරක් දඬුවම් ලබාදීම උචිත වන්නට පුළුවන. කෙසේවෙතත්, කෝපයෙන් එය දෙනු ලැබුවහොත්, එය බොහෝවිට පමණ ඉක්මවා මෙන්ම නිෂ්ඵල වන්නට පුළුවන. “පියවරුනි, නුඹලාගේ දරුවන් කල නොකිරෙන පිණිස ඔවුන් කෝප නොකරල්ලා” යනුවෙන් බයිබලය අවවාද කරයි. (කොලොස්සි 3:21) සැබවින්ම, “බලාත්කාරය නිසා ප්‍රඥාවන්තයා මෝඩවන්නේය.” (දේශනාකාරයා 7:7) තික්තකමින් පෙළෙන යෞවනයෙක් ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එරෙහිව පවා කැරලි ගසන්නට පුළුවන. මව්පියන් මේ අනුව ශුද්ධ ලියවිලි උපයෝගි කරගත යුත්තේ සිය දරුවන්ව ස්ථිර නමුත් සමබර ආකාරයකට ධර්මිෂ්ඨකමෙන් හික්මවීමටය. (2 තිමෝති 3:16) දේව හික්මවීම සපයා දෙනු ලබන්නේ ප්‍රේමයෙන් හා මෘදුකමෙන් යුක්තවය.—2 තිමෝති 2:24, 25අ, 26ආ සසඳන්න.a
14. තමන් මහත්සේ කෝපයට පත්වන බව මව්පියන්ට හැඟේ නම්, ඔවුන් කළ යුත්තේ කුමක්ද?
14 ඇත්ත වශයෙන්ම, “බොහෝ වර අපි සියල්ලෝ පැකිලෙමු.” (යාකොබ් 3:2) සාමාන්‍යයෙන් ප්‍රේමනීය මව්පියෙක් පවා අවස්ථාවෙහි පවතින පීඩනයට ගොදුරු වී, අකාරුණික යමක් කියන්නට හෝ කෝපය පෙන්වන්නට පුළුවන. (කොලොස්සි 3:8) එය සිදු වුවහොත්, ඔබගේ දරුවා මහත් ශෝකයෙන් සිටියදී නැතහොත් ඔබම කුපිතවූ තත්ත්වයක සිටියදී ඉර බසින්නට ඉඩ නාරින්න. (එපීස 4:26, 27) වරදට සමාව දීම උචිත යයි හැඟේ නම්, එසේ කර ඔබගේ දරුවා සමඟ ගැටලුව විසඳා ගන්න. (මතෙව් 5:23, 24 සසඳන්න.) එවන් නිහතමානිකමක් විදහා පෙන්වීම, ඔබවත් ඔබගේ දරුවාවත් තවත් සමීප කරන්නට පුළුවන. ඔබගේ ස්වභාවය ඔබට පාලනය කරගත නොහැකිව ඔබ මහත්සේ කෝපයට පත්වනු ඇතැයි ඔබට හැඟේ නම්, පත්කරන ලද සභා වැඩිමහල්ලන්ගෙන් උපකාරය පතන්න.
තනි-මව්පිය පවුල් හා දෙවන විවාහයකට පත් පවුල්
15. තනි-මව්පිය පවුල්වල සිටින දරුවන්ට උපකාර කළ හැක්කේ කෙසේද?
15 කෙසේවෙතත්, සියලුම දරුවෝ, මව්පියන් දෙදෙනෙකුගේ සහාය නොලබති. එක්සත් ජනපදයේ, දරුවන් 4දෙනෙකුගෙන් 1කෙනෙක් තනි-මව්පියෙකු විසින් හදාවඩා ගනු ලබන්නේය. බයිබල් කාලවල ‘පියා නැති දරුවන්’ සිටීම පොදු දෙයක්වූ අතර ඔවුන් කෙරෙහි සැලකිල්ල පෙන්වන ලෙස ශුද්ධ ලියවිල්ලේ පුන පුනා සඳහන් කර ඇත. (නික්මයාම 22:22) අදදින, තනි-මව්පියෙකු සිටින ක්‍රිස්තියානි පවුල් සමානාකාර පීඩනයන්ට හා දුෂ්කරතාවන්ට මුහුණ දෙනමුත්, යෙහෝවඃවහන්සේ “පියා නැත්තන්ට පියෙක්ද වැන්දඹුවන්ට විනිශ්චයකාරයෙක්ද” බව දැනගැනීමෙන් ඔවුහු සහනයක් ලබති. (ගීතාවලිය 68:5) “මව්පියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී” බලාගන්නා හැටියට ක්‍රිස්තියානින්ට ඕනෑකමින් උනන්දු කර ඇත. (යාකොබ් 1:27) තනි-මව්පියෙකු සිටින පවුල්වලට උපකාර කිරීමට සෙසු ඇදහිලිවන්තයන්ට බොහෝ දෑ කළ හැකිය.b
16. (අ) තමන්ගේම පවුල් සම්බන්ධයෙන් තනි-මව්පියන් කළ යුත්තේ කුමක්ද? (ආ) හික්මවීම දුෂ්කර විය හැක්කේ මන්ද, තවද එය ලබාදිය යුත්තේ මක්නිසාද?
16 ඔබ තනි-මව්පියෙක්ව සිටින්නේ නම්, ඔබගේ පවුලට ප්‍රයෝජනවත් වීමට ඔබහට කළ හැක්කේ කුමක්ද? පවුලේ බයිබල් පාඩම, රැස්වීම්වලට යෑම හා ක්ෂේත්‍ර සේවය ගැන ඔබ උත්සාහවන්තව සිටිය යුතුය. කෙසේවෙතත්, හික්මවීම, නිශ්චිතාකාරයෙන් දුෂ්කර අභියෝගයක් විය හැකිය. ඇතැම්විට ඔබ තවමත් මරණයෙන් ප්‍රේමනීය සහකරුවෙකු අහිමිවීම ගැන වැළපෙමින් සිටිනවා වන්නට පුළුවන. එසේත් නැතහොත් විවාහයක් කැඩීයෑම පිළිබඳව වරදකාරී හෝ කෝපයේ හැඟීම් සමඟ ඔබ පොර බදිමින් සිටිනවා වන්නට පුළුවන. දරුවන්ගේ නීත්‍යානුකූල රැකවරණයට ඔබත් ඔබගේ පෙර කලත්රයත් කොටස්කරුවන් වන විට, ඔබගේ දරුවා වෙන්වූ නැතහොත් දික්කසාදවූ කලත්‍රයා සමඟ වාසය කිරීමට වැඩි කැමැත්තක් දැක්විය හැකි යයි ඔබ භයවන්නටද පුළුවන. මෙවන් තත්ත්වයන් යටතේ සමබර හික්මවීමක් ලබාදීම චිත්තවේගීය වශයෙන් දුෂ්කර විය හැක. කෙසේවෙතත්, බයිබලය අපට පවසනුයේ “අත්හරිනු ලබන දරුවා තමාගේ මව් ලජ්ජාවට පමුණුවයි” යනුවෙනි. (හිතෝපදේශ 29:15) එබැවින්, පෙර කලත්‍රයා පමුණුවන වරදකාරී හැඟීම්වලට, පසුතැවිල්ලට හෝ චිත්තවේගී පීඩනයට පරාජය නොවන්න. සාධාරණ හා ස්ථිර ප්‍රමිති පිහිටුවා ගන්න. බයිබල් ප්‍රතිපත්ති පාවාදීමෙන් වළකින්න.—හිතෝපදේශ 13:24.
17. තනි-මව්පිය පවුලක් තුළ පවුලේ සාමාජිකයන්ගේ කාර්ය භාරය නොපැහැදිලි විය හැක්කේ කෙසේද, එමෙන්ම මෙය වළක්වා ගැනීමට කුමක් කළ හැකිද?
17 කෙසේවෙතත්, තනිවූ මවක් ඇගේ පුත්‍රයාව ආදේශ සහකරුවෙකු හැටියට—එනම් ගෘහ මූලිකයා හැටියට—සලකනවා නම්, නැතහොත් ඇගේ දියණිය විශ්වාසයෙන් දේවල් පවසන මිතුරියක හැටියට සලකමින් ඇය මත ඉතා රහස්‍ය පෞද්ගලික ගැටලු පටවනවා නම් දුෂ්කරතා පැනනැගිය හැක. එසේ කිරීම නුසුදුසු වන අතර දරුවාව ව්‍යාකූල කළ හැක. මව්පියෙකුගේ හා දරුවෙකුගේ කාර්ය භාරය නොපැහැදිලි වන විට, හික්මවීම බිඳ වැටෙන්නට පුළුවන. මව්පියාගේ තත්ත්වයේ සිටින්නේ ඔබ බව පැහැදිලිව පෙනී යන්නට සලස්වන්න. ඔබ බයිබලය මත පදනම් අවවාද අවශ්‍ය කරන මවක්ව සිටින්නේ නම්, එය වැඩිමහල්ලන්ගෙන් හෝ වයසින් වැඩි මේරූ සහෝදරියකගෙන් පතන්න.—තීතස් 2:3-5 සසඳන්න.
18, 19. (අ) දෙවන විවාහයකට ඇතුළත්වූ පවුල් මුහුණ දෙන ඇතැම් අභියෝග මොනවාද? (ආ) දෙවන විවාහයකට භාජන වූ පවුල්වල මව්පියන්ට හා දරුවන්ට ප්‍රඥාව හා විචාර බුද්ධිය පෙන්විය හැක්කේ කෙසේද?
18 දෙවන විවාහයකට ඇතුළත්වූ පවුල් සමානාකාරයෙන් අභියෝගයන්ට මුහුණ දෙති. සුළු දරුවන් විසින් “ක්ෂණික ප්‍රේමයක්” පෙන්වනු ලබන්නේ කලාතුරකින් බව, බොහෝ විට, එනයින් පවුලට ඇතුළත් වන නව මව්පියන්ට පෙනේ. උදාහරණයක් වශයෙන්, තමාගේම ස්වාභාවික දරුවන්ට දෙමව්පියන් පෙන්වනවා යයි හිතන අනිසි පක්ෂපාතිත්වයට සුළු දරුවන් සෑහෙන දුරට සංවේදි විය හැක. (උත්පත්ති 37:3, 4 සසඳන්න.) ඇත්ත වශයෙන්ම, වෙන්වූ සිය මව්පියා වෙනුවෙන් සුළු දරුවන් ශෝකයෙන් වෙලී සිටිය හැකි අතර, විවාහයෙන් පවුලට එක්වූ මව්පියාට ප්‍රේම කිරීම සිය සැබෑ පියාට හෝ මවට යම් ලෙසකින් ද්‍රෝහිවීමක් යයි භය වන්නට පුළුවන. අවශ්‍ය කරවන හික්මවීම ලබා දෙන්නට දරන වෑයමට ප්‍රතිඋත්තරය විය හැක්කේ, ‘ඔයා මගේම මව්පියා නෙවෙයිනේ!’ යන දරුණු සිහිගැන්වීමෙනි.
19 හිතෝපදේශ 24:3 මෙසේ පවසයි: “ප්‍රඥාවෙන් ගෙයක් ගොඩනගනු ලැබ, නුවණින් [විචාර බුද්ධියෙන්, NW] එය ස්ථිරවේ.” එසේය, දෙවන විවාහයකට භාජන වූ පවුලක් සාර්ථක වන්නට නම්, ඒ සඳහා සියලු පාර්ශ්වයන් ප්‍රඥාවෙන් හා විචාර බුද්ධියෙන් ක්‍රියා කළ යුතුය. කාරණා වෙනස්වී ඇති බවටවූ බොහෝ විට වේදනාකාරි සත්‍යය, කාලයත් සමඟ දරුවන් පිළිගත යුතුය. සුළු මව්පියන් ප්‍රතික්ෂේප කිරීමක් යයි පෙනෙන ප්‍රතික්‍රියාවකට මුහුණදී සිටින විට, ඉක්මනින් අමනාප නොවී, සමානාකාරයෙන් ඉවසීමෙන් හා දයානුකම්පාවෙන් කටයුතු කරන්නට ඉගෙන ගත යුතුය. (හිතෝපදේශ 19:11; දේශනාකාරයා 7:9) හික්මවන්නාගේ කාර්ය භාරය භාර ගැනීමට පෙර, සුළු දරුවෙකු සමඟ මිත්‍රත්වයක් ගොඩනගා ගැනීමට ක්‍රියා කරන්න. එවන් බැඳීමක් පිහිටුවා ගන්නාතෙක්, ස්වාභාවික මව්පියාට හික්මවීම භාර කිරීම වඩාත් යහපත් යයි ඇතැමෙකු සලකන්නට පුළුවන. යම් පීඩනයන් පැන නඟින විට, අදහස් හුවමාරු කරගැනීමට වෑයම් දැරිය යුතුය. “දැනමුතුකම පිළිගන්නන් [එක්ව කාරණා සාකච්ඡා කරන්නන්, NW] වෙත ප්‍රඥාව තිබේ” යයි හිතෝපදේශ 13:10 පවසයි.c
ඔබගේ පවුලේ ගැළවීම සඳහා ක්‍රියා කරමින් සිටින්න!
20. ක්‍රිස්තියානි පවුලේ මූලිකයන් දිගටම කරමින් සිටිය යුත්තේ කුමක්ද?
20 ශක්තිමත්වූ ක්‍රිස්තියානි පවුල් අහම්බෙන් ඇති නොවන්නකි. පවුලේ මූලිකයන් වන ඔබ, ඔබගේ පවුලේ ගැළවීම සඳහා දිගටම වෙහෙසා ක්‍රියා කළ යුතුය. අගුණ ලක්ෂණ හෝ ලෞකික නැඹුරුවාවන් සැලකිල්ලට ගනිමින්, අවදිව සිටින්න. කථාවෙන්, හැසිරීමෙන්, ප්‍රේමයෙන්, ඇදහිල්ලෙන් හා පිරිසිදුකමෙන් හොඳ ආදර්ශයක් තබන්න. (1 තිමෝති 4:12) දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයේ ඵල විදහා පෙන්වීමට සලස්වන්න. (ගලාති 5:22, 23) ඉවසීම, සැලකිල්ල, සමාවදීම හා මුදුමොළොක්බව යනාදී දෙවියන්වහන්සේගේ මාර්ග ඔබගේ දරුවන්හට ඉගැන්වීමට ඔබ දරන වෑයම්වලට රුකුලක්වනු ඇත.—කොලොස්සි 3:12-14.
21. කෙනෙකුගේ නිවසේ උණුසුම්, සන්තෝෂවත් වාතාවරණයක් ජනිත කළ හැක්කේ කෙසේද?
21 දෙවියන්වහන්සේගේ උපකාරය ඇතිව, සන්තෝෂවත්, උණුසුම් ස්වභාවයක් ඔබගේ පවුල තුළ පවත්වා ගැනීමට වෑයම් දරන්න. සෑම දවසකම අඩුතරමින් එක් ආහාර වේලක්වත් එක්ව අනුභව කරමින්, පවුලක් හැටියට එක්ව කාලය වැය කරන්න. ක්‍රිස්තියානි රැස්වීම්, ක්ෂේත්‍ර සේවය හා පවුලේ පාඩම අත්‍යවශ්‍යය. කෙසේවෙතත්, ‘සිනාසෙන්ට කාලයක් හා නටන්ට කාලයක්ද’ ඇත්තේය. (දේශනාකාරයා 3:1, 4) එසේය, වර්ධනය ගෙනදෙන විනෝද කටයුතු සඳහා කාලසටහනක් සකසන්න. කෞතුකාගාර, සත්ත්ව උද්‍යාන හා සමාන ස්ථාන බැලීමට යෑමෙන් මුළු පවුලටම ප්‍රීතිය භුක්ති විඳින්නට පුළුවන. එසේත් නැතහොත් රූපවාහිනිය නිවා දැමීමෙන්, ගී ගයමින්, සංගීතයට සවන් දෙමින්, සෙල්ලම් කරමින් මෙන්ම, කථා කරමින් කාලය ගත කරන්නට ඔබට පුළුවන. පවුල වඩාත් සමීප වීමට මෙය උපකාරවත් විය හැක.
22. ඔබගේ පවුලේ ගැළවීම සඳහා වෙහෙසා ක්‍රියා කළ යුත්තේ මක්නිසාද?
22 ක්‍රිස්තියානි මව්පියන් වන ඔබ සැම “සියලු යහපත් ක්‍රියාවලින් ඵලදරමින්ද, දෙවියන්වහන්සේ දැනගැනීමෙහි වර්ධනයවෙමින්ද” යෙහෝවඃවහන්සේව පූර්ණ ලෙස ප්රසන්නත්වයට පත් කිරීමට දිගටම ක්‍රියා කරත්වා. (කොලොස්සි 1:10) දේව වචනයට කීකරුකම නමැති ශක්තිමත් අත්තිවාරම මත ඔබගේ පවුල ගොඩනගා ගන්න. (මතෙව් 7:24-27) තවද “යෙහෝවඃවහන්සේගේ හික්මවීමෙන්ද මානසික ශික්ෂණයෙන්ද” ඔබගේ දරුවන් හදාවඩා ගැනීමට දරන ඔබගේ වෑයම්වලට උන්වහන්සේගේ අනුමැතිය ලැබෙන බව සහතික වන්න.—එපීස 6:4, NW.
[පාදසටහන්වල]
a වර්ෂ 1992 සැප්තැම්බර් 8 එවේක්! බයිබලයේ දෘෂ්ටිකෝණය: “හික්මවීමේ ඉපල—එය යල් පැනගොස් ඇති යමක්ද?” යන ලිපිය බලන්න.
b වර්ෂ 1980 සැප්තැම්බර් 15, ද වොච්ටවර් පිටු 15-26 බලන්න.
c වර්ෂ 1986 පෙබරවාරි 1, මුරටැඹ 13-18 පිටු බලන්න.
ඔබ පිළිතුරු දෙන්නේ කෙසේද?
◻ සිය පවුල ගොඩනැගීමෙහිලා ස්වාමිපුරුයෙකුට හා භාර්යාවකට සහයෝගීව ක්‍රියා කළ හැක්කේ කෙසේද?
◻ දරුවන්ගේ චිත්තවේගී අවශ්‍යතා සමහරක් මොනවාද, එමෙන්ම මේවා සපුරාලිය හැක්කේ කෙසේද?
◻ පවුලේ මූලිකයන් සිය දරුවන්ට විධිමත් ලෙස හා අනියම් ලෙස ඉගැන්විය හැක්කේ කෙසේද?
◻ මව්පියන්ට ධර්මිෂ්ඨකමෙන් හික්මවිය හැක්කේ කෙසේද?
◻ තනි-මව්පිය පවුල් හා දෙවන විවාහයකට ඇතුළත් වූ පවුල්වල ප්‍රයෝජනය සඳහා කළ හැක්කේ කුමක්ද?
[16වන පිටුවේ පින්තූරය]
දරුවෙකුගේ චිත්තවේගී වර්ධනය සඳහා පියෙකුගේ ප්‍රේමය හා අනුමැතිය වැදගත් වේ