යුදෙව් දිනදර්ශනය කොතරම් නිවැරදිද?
යුදෙව් දිනදර්ශනය අනුව, 1993 සැප්තැම්බර් 16වන බ්‍රහස්පතින්දා රොෂ් හෂානහ් උත්සව දිනය විය. සම්ප්රදාය අනුව ෂෝෆාර් හොරණෑව නොහොත්, බැටළුවාගේ අඟෙන් සාදන ලද හොරණෑව, නව අවුරුද්දේ උදාව ප්‍රසිද්ධ කරන්නට එවිට නාද කරනු ලැබීය. එම වසර (යුදෙව් දින දර්ශනයේ) 5754 වූ අතර, එය 1993 සැප්තැම්බර් 16වන දිනයෙන් පටන්ගෙන 1994 සැප්තැම්බර් 5වන දින අවසන් වෙයි.
මෙසේ බලන කල, යුදෙව් කාල ගණනය හා දැනට පොදුවේ භාවිතා කරනු ලබන බටහිර, නැතහොත් ග්‍රෙගෝරියානු දින දර්ශනය අතර වසර 3,760ක වෙනසක් අපට දක්නට ලැබේ. මෙම වෙනස පවතින්නේ මක්නිසාද? එමෙන්ම යුදෙව් දිනදර්ශනය කොතරම් නිවැරදිද?
ආරම්භක ලක්ෂ්‍ය නියම කරගැනීම
කාලය ගණනය කිරීමේ ඕනෑම පද්ධතියකට නිශ්චිත ආරම්භක නැතහොත් සමුද්දේශ ලක්ෂ්‍යයක් තිබිය යුතුය. උදාහරණයක් වශයෙන්, ක්‍රිස්තියානි ලෝකය කාලය ගණනය කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උපන්නේ යයි කල්පනා කරන වසරේ පටන්ය. එවක් පටන් දිනයන්, ක්‍රිස්තියානි යුගයේ දින හැටියට සලකනු ලැබේ. ඒවා බොහෝවිට ලතින් භාෂාවෙන් ඇනෝ ඩොමිනි යන වදන්වලින් අර්ථය ලබන A.D. (ක්‍රි.ව.) යන සලකුණෙන් සටහන් කරනු ලැබේ. මෙහි තේරුම “ස්වාමීන්වහන්සේගේ අවුරුද්දේ” යන්නයි. එම කාලපරිච්ඡේදයට පෙර දිනයන් ක්‍රි.පූ. එනම් “ක්‍රිස්තු පූර්ව” යන සටහනෙන් සලකුණු කර ඇත.a සම්ප්‍රදායික චීන ජාතිකයන් සමානාකාරයෙන් කාලය ගණනය කරන්නේ පො.යු.පෙ. 2698 සිටය, එනම් පුරාවෘත්තයන්හි සඳහන් කහ අධිරාජයා වන, හුවාං-ඩිගේ පාලනයේ ආරම්භයේ සිටය. මෙසේ, 1994 පෙබරවාරි 10වන දින 4692වන චීන චන්ද්‍ර වර්ෂයේ ආරම්භය සලකුණු කරන්නේය. එහෙත්, යුදෙව් දිනදර්ශනය ගැන කිව හැක්කේ කුමක්ද?
ද ජුවිෂ් එන්සයික්ලොපීඩියා මෙසේ පවසයි: “යුදෙව්වන් අතර යම් සිද්ධියක් සිදුවූ දිනය වාර්තා කිරීමේ සාමාන්‍ය ක්‍රමය වනුයේ ලෝකයේ මැවීමේ පටන් ගතවූ වසර ගණනාව සඳහන් කිරීමය.” මැවීමේ යුගය යනුවෙන් යුදෙව්වන් අතර ප්‍රසිද්ධ මෙම ක්‍රමය, පොදු භාවිතයට පැමිණියේ පො.යු. නවවන ශතවර්ෂයේදී පමණය. මේ අනුව, යුදෙව් දින දර්ශනයේ දිනයන්ට පසු සාමාන්‍යයෙන් A.M. යන සඳහන යොදනු ලැබේ. ඇනෝ මුන්ඩි ඉන් අදහස් කෙරෙන අතර එය “ලෝකයේ මැවීමේ පටන්” යන අරුත් දෙන අබ් ක්රියාටිඔනෙ මුන්ඩි යන්න සංක්ෂිප්ත කොට දැක්වීමකි. කාලය ගණනය කිරීමේ මෙම ක්‍රමය අනුව, වත්මන් වසර A.M. 5754වන බැවින්, “ලෝකයේ මැවීම” දැනට වසර 5,753කට පෙර සිදුවූයේ යයි සලකනු ලැබේ. එය තීන්දු කරනු ලබන ආකාරය අපි බලමු.
“මැවීමේ යුගය”
එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා (1971) මෙම පැහැදිලි කිරීම ඉදිරිපත් කරයි: “විවිධ යුදෙව් ධර්මාචාර්යයන්ගේ ගණන් බැලීම්වල “මැවීමේ යුගය” ආරම්භ වූයේ පො.යු.පෙ. 3762 හා 3758 අතර එක්තරා වසරක සරත් ඍතුවේදීය. කෙසේවෙතත්, පොදු යුගයේ 12වන ශතවර්ෂයේ පටන්, ‘මැවීමේ යුගය’ පො.යු.පෙ. 3761දී (නිවැරදිව කියතොත්, එම වසරේ ඔක්තෝබර් 7වන දින) ආරම්භ වූ බව පිළිගනු ලැබීය. මෙම ගණන් බැලීම පදනම් කරගෙන ඇත්තේ බයිබලයේ ප්‍රකාශ කර තිබෙන කාල නිර්ණය ආශ්රිත හා බයිබලයට පසු ලියන ලද යුදෙව් සාහිත්‍යයේ ගණනය කිරීම සමකාලයක සිදුවු බවට එකට ගැළපීම මතය.”
“ලෝකයේ මැවීමේ” පටන් දින නියම කිරීමේ ක්‍රමය මූලිකව පදනම් කර ඇත්තේ බයිබල් වාර්තාව පිළිබඳ යුදෙව් රබ්බිවරුන්ගේ අර්ථකථනයන් මතය. ලෝකයත් එහි තිබෙන සියල්ලත් පැය 24කින් සමන්විත සැබෑ දින හයක් තුළ මවන ලද බවටවූ සිය විශ්වාසය නිසා, රබ්බි විශාරදවරුන්, මෙන්ම ක්‍රිස්තියානි ලෝකයේ අය, සිතන්නේ පළමු මනුෂ්‍යයා වන, ආදම්ව මැවීම සිදුවුයේ, ලෝකයේ මැවීම සිදුවු වසරේ බවය. කෙසේවෙතත්, මෙය කිසිසේත් සැබෑ නොවේ.
උත්පත්ති පොතේ පළමු පරිච්ඡේදය ආරම්භ වන්නේ, “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක” යනුවෙන් පවසමිනි. ඉන් අනතුරුව පිටපිට ‘දවස්’ හයක් තුළ ‘පාළු හිස්’ තත්ත්වයක සිට මනුෂ්‍යයන් සඳහා උචිත පරිසරයකට පොළොව පරිවර්තනය කිරීමට දෙවියන්වහන්සේ කළ දේවල් එය විස්තර කරයි. (උත්පත්ති 1:1, 2) මෙම අවස්ථා දෙක අතර අවුරුදු මිලියන ගණනක් ගත වූවා විය හැක. ඇරත්, මැවුම්කරුවාණන්ගේ ක්‍රියාවන් යම් සීමාවන්ට යටත් කර තිබෙන්නාක් මෙන්, මැවීමේ දවස්, පැය 24ක කාල පරිච්ඡේදයන් නොවීය. මෙම පාඨ සම්බන්ධය අනුව එක් “දවසක්” පැය 24කට වඩා දීර්ඝ විය හැකි බව අඟවනු ලබන්නේ, මැවීමේ මුළු කාලපරිච්ඡේදය එක් ‘දවසක්’ හැටියට දක්වන, උත්පත්ති 2:4නි. පළමු මැවීමේ දවසේ පටන්, ආදම්ව මවන ලද, හයවන දවස දක්වා දහස් සංඛ්‍යාත අවුරුදු ප්‍රමාණයක් ගත වුණි. භෞතික අහස හා පොළොව මවන ලද කාලයේ ආදම්ව මවන ලද්දේ යයි පැවසීම ශුද්ධලියවිලිමය හෝ විද්‍යාත්මක නොවේ. එහෙත්, “මැවීමේ යුගය” පො.යු.පෙ. 3761දී ආරම්භ වූයේ යයි නිගමනය කරනු ලැබුවේ කෙසේද?
කාල නිර්ණය සඳහා පදනම
අවාසනාවකට මෙන්, සැලකිල්ලට භාජනවූ ගණනය කිරීම පදනම් කරගත් යුදෙව් ප්‍රකාශනවලින් බොහොමයක් දැන් අභාවයට ගොස් ඇත. ඉතිරිව ඇත්තේ සෙඩර් ‘ඕලාම් (ලෝකයේ පිළිවෙළ) යනුවෙන් මුලදී හඳුන්වන ලද කාලානු ක්රමික කෘතියකි. එය පො.යු. දෙවන ශතවර්ෂයේ, තල්මුඩයේ විශාරද යොසෙ බෙන් හාලාෆ්ටා විසින් රචනය කරනු ලැබුවේ යයි සලකනු ලැබේ. මෙම කෘති (මධ්‍ය කාලීන යුගයේ වංශ කථාවක් වන සෙඩර් ‘ඕලාම් සූටා වෙතින් වෙනස් කොට දැක්වීම සඳහා සෙඩර් ‘ඕලාම් රාබා යනුවෙන් මෙය පසුව හඳුන්වනු ලැබීය), ආදම්ගේ පටන් පො.යු. දෙවන ශතවර්ෂයේ බොරු මෙසියස් වන බාර් කොච්බා යටතේ රෝමයට එරෙහිව යුදෙව් කැරැල්ල දක්වා කාලානුක්‍රමික ඉතිහාසයක් ඉදිරිපත් කරයි. එම ලේඛකයා එවන් තොරතුරු ලබා ගත්තේ කෙසේද?
යොසෙ බෙන් හාලාෆ්ටා බයිබලයේ වාර්තාව අනුගමනය කිරීමට බලවත් උත්සාහයක් දැරුවද, අදාළව පැවති දිනයන් සම්බන්ධයෙන් ලියා තිබූ කොටස නිශ්චිතව පැහැදිලි නොවූ තැන්වල ඔහු තමාගේම අර්ථකථනයන් එකතු කළේය. “බොහෝ අවස්ථාවන්හි, . . . ඔහු සම්ප්‍රදායන්ට අනුව දින නියම කළ අතර ඊට අමතරව, මීට කලින් විසූ රබ්බිවරුන්ගේ හා ඔහුගේ සමකාලීනයන්ගේ කියමන් හා සම්ප්‍රදායන් ඇතුල් කළේය” යයි ද ජුවිෂ් එන්සයික්ලොපීඩියා පවසයි. වෙනත් අය තමන්ගේ තක්සේරුවෙහි එතරම් කාරුණික වී නැත්තාහ. ද බුක් ඔෆ් ජුවිෂ් නොලෙජ් ස්ථිර ලෙස මෙසේ ප්‍රකාශ කරයි: “ඔහු මැවීමේ යුගයේ පටන් ගණනය කළ අතර, එසේ, පළමු මනුෂ්‍යයා වන ආදම් සිට, මහා ඇලෙක්සැන්ඩර් දක්වා, සිදුවූයේ යයි උපකල්පනය කරන ලද විවිධ යුදෙව් සිද්ධීන්වලට හිතුමතයේ දින නියම කළේය.” එහෙත් එවන් අර්ථකථනයන් හා ඇතුළු කිරීම් යුදෙව් කාලානුක්‍රමයේ නිරවද්‍යතාවට හා සත්‍යතාවට බලපෑවේ කෙසේද? අපි බලමු.
සම්ප්‍රදායන් හා අර්ථකථනයන්
රබ්බිවරුන්ගේ සම්ප්‍රදායට අනුකූලව යෙරුසලමේ දෙවන දේවමාලිගාව වසර 420කට පැවතුණේ යයි යොසෙ බෙන් හාලාෆ්ටා ගණනය කළේය. මෙය පදනම් කරනු ලැබුවේ “සති සැත්තෑව,” නැතහොත් වසර 490 පිළිබඳ දානියෙල්ගේ අනාවැකිය සම්බන්ධ රබ්බිවරුන්ගේ අර්ථකථනය මතය. (දානියෙල් 9:24) මෙම කාලපරිච්ඡේදය පළමුවන දේවමාලිගාවේ විනාශය හා දෙවන දේවමාලිගාවේ පාළු කිරීම අතර අතරමැදි කාලයට අදාළ කරනු ලැබීය. බබිලෝනියේ වහල්භාවය සඳහා වසර 70ක් ඉඩ හැරීමෙන්, දෙවන දේවමාලිගාව වසර 420ක් පැවති බවට වූ නිගමනයට යොසෙ බෙන් හාලාෆ්ටා පිවිසියේය.
කෙසේවෙතත්, මෙම අර්ථකථනයෙන් ඇති වන්නේ බරපතළ ගැටලුවකි. බබිලෝනියේ පරාජය (පො.යු.පෙ. 539) සිදුවූ වර්ෂය හා දෙවන දේවමාලිගාවේ විනාශය (පො.යු. 70) සිදුවූ වර්ෂය යන දෙකම සිදුවූයේ දන්නා ඓතිහාසික දිනයන්හිදීය. එබැවින්, දෙවන දේවමාලිගාවේ කාලපරිච්ඡේදය වසර 420ක් නොව, වසර 606ක් විය යුතුය. මෙම කාලපරිච්ඡේදය සඳහා වර්ෂ 420ක් පමණක් ලබා දීමෙන්, යුදෙව් කාලනිර්ණය වර්ෂ 186කින් අඩුවේ.
දානියෙල්ගේ අනාවැකියේ අරමුණ යෙරුසලමේ දේවමාලිගාව කොතරම් කාලයක් පවතිනු ඇද්දැයි පැවසීම නොවේ. ඒ වෙනුවට, එය පුරෝකථනය කළේ, මෙසියස්වහන්සේ එන අවස්ථාව ගැනය. “යෙරුසලම නැවත පිහිටුවා ගොඩනගන්ට ආඥාවක් ලැබෙන තැන් පටන් අධිපතියාවූ ආලේප ලත් තැනැත්තා දක්වා සති සතක්ද සති සැටදෙකක්ද තිබෙන බව” එම අනාවැකිය පැහැදිලිව සඳහන් කළේය. (දානියෙල් 9:25, 26) යුදෙව්වන් වහල්කමෙන් හැරී පැමිණි දෙවන වසරේ (පො.යු.පෙ. 536), දේවමාලිගාවේ අත්තිවාරම දමනු ලැබුවත් යෙරුසලමේ නගරය නැවත ගොඩනගන්ට “ආඥාව” “අර්තක්ෂස්තා රජුගේ විසිවෙනි අවුරුද්(ද)” දක්වා දෙනු ලැබුවේ නැත. (නෙහෙමියා 2:1-8) නිවැරදි ඓතිහාසික වාර්තා එය පො.යු.පෙ. 455 හැටියට සනාථ කරයි. “සති” 69ක්, නැතහොත් වර්ෂ 483ක් ඉදිරියට ගණන් කිරීමේදී, අප පැමිණෙන්නේ පො.යු. 29වන වසරටයි. යේසුස්වහන්සේගේ බව්තීස්මයේදී, මෙසියස්වහන්සේ ප්‍රකාශයට පත් වූයේ එවිටය.b
යුදෙව් කාල නිර්ණයේ විශාල විෂමතාවක් ඇතිවීමට හේතුව යුදෙව් රබ්බිවරුන්ගේ අර්ථකථනයකි, ආබ්‍රහම්ගේ උපත හා සම්බන්ධ කාලය. රබ්බිවරු උත්පත්ති 11:10-26හි වාර්තාකොට තිබෙන පිළිවෙළින් පැමිණි පරම්පරාවන්හි අවුරුදු ගණන එකතු කළ අතර, ජලගැල්මේ කාලපරිච්ඡේදයේ සිට ආබ්‍රහම්ගේ (ආබ්‍රම්ගේ) උපතට අවුරුදු 292ක් නියම කළහ. කෙසේවෙතත්, උත් 11 26වන වගන්තිය සම්බන්ධයෙන් රබ්බිවරුන් දෙන අර්ථකථනය තුළ ගැටලුව රැඳී පවතින අතර, එය පවසනුයේ මෙසේය: “තේරා හැත්තෑ අවුරුද්දක් ජීවත්වූ පසු ඔහුට දාව ආබ්‍රම්ද, නාහොර්ද හාරාන්ද උපන්නෝය.” මේ අනුව, යුදෙව් සම්ප්රදාය උපකල්පනය කරන්නේ ආබ්‍රම් උපන්විට තේරාට අවුරුදු 70ක් වයස්ව සිටි බවය. එහෙත් තේරා අවුරුදු 70දී ආබ්‍රහම්ගේ පියා වූයේ යයි එම වගන්තිය නිශ්චිත වශයෙන් නොපවසයි. එසේ නොව, එය පවසන්නේ ඔහු අවුරුදු 70 ඉක්මවූ පසු පුත්‍රයන් තිදෙනකුට පියා වූ බවය.
ආබ්‍රහම්ගේ උපතේදී තේරාගේ නිවැරදි වයස දැනගැනීමට, අප බයිබලයේ වාර්තාව තවදුරටත් කියවා බැලිය යුතුවා පමණි. අවුරුදු 205ක් වයස්ව සිටියදී, තේරාගේ මරණයෙන් පසු, ආබ්‍රහම් හා ඔහුගේ පවුල යෙහෝවඃවහන්සේගේ ඉල්ලීම පරිදි හාරාන් වෙතින් ඉවත්වූ බව උත්පත්ති 11:32–12:4හි අපට උගත හැකිය. ඒ අවස්ථාවේදී ආබ්‍රහම්ට අවුරුදු 75ක් වයස්ව තිබුණි. එබැවින්, ආබ්‍රහම් ඉපදෙන්නට ඇත්තේ තේරාට අවුරුදු 70ක් නොව අවුරුදු 130ක් වයස්ව තිබියදීය. ඒ අනුව, ජලගැල්මේ සිට ආබ්‍රහම්ගේ උපතට කාලපරිච්ඡේදය අවුරුදු 292ක් නොව 352ක් විය. මෙහි යුදෙව් කාල නිර්ණය අවුරුදු 60කින් වැරදී තිබේ.
ආගමික නෂ්ටාවශේෂයකි
සෙඩර් ‘ඕලාම් රාබා තල්මුඩ් ආශ්රිත කාලාත්රකමික කෘතිවල මෙවන් වැරදි හා විෂමතා යුදෙව් විශාරදයන් අතර මහත් ලජ්ජාවක් ඇති කර ඇති අතර, මේ ගැන සැලකිය යුතු සාකච්ඡාද පැවත ඇත. මෙම කාල නිර්ණය දන්නා ඓතිහාසික සත්‍යයන් සමඟින් එකඟත්වයකට ගෙන ඒමට අනේකාකාර වෑයම් දරා තිබුණත්, ඒවා සහමුලින්ම සාර්ථක වී නොමැත. එසේ නොවූයේ මන්ද? “ඔවුන්ගේ උනන්දුව ආගමික එකක් වුවද, ඒ තරමටම ශාස්ත්‍රීය පාර්ශ්වයට අවධානය යොමු නොකරන ලදි” යයි එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා නිරීක්ෂණය කරයි. “විශේෂාකාරයෙන් එකඟ නොවන නිකායවාදීන් හමුවේ, මුළු වෑයම යොදා සම්ප්රදාය රක්ෂා කළ යුතුව තිබුණි.” සිය සම්ප්‍රදායන් මගින් ඇති කරන ලද ව්‍යාකූලත්වයන් ඉවත් කරනු වෙනුවට, ඇතැම් යුදෙව් විශාරදයන් බයිබල් වාර්තාවන් වැරදි සහිත බව පෙන්වීමට වෑයම් දැරූහ. වෙනත් අය බබිලෝනීය, මිසර හා හින්දු මිථ්‍ය කථාවලින් හා සම්ප්‍රදායන් අනුබල දෙන සාක්ෂි සොයන්නට වෑයම් දැරූහ.
ඒ හේතුවෙන්, ඉතිහාසඥයන් තවදුරටත් “මැවීමේ යුගය” කාලය නිර්ණය කිරීමේ විශ්වාස කටයුතු කෘතියක් හැටියට කල්පනා කරන්නේ නැත. යුදෙව් විශාරදයන් ස්වල්පදෙනෙක් ඊට පක්ෂව කථා කරන්නට වෑයම් කළත්, ද ජුවිෂ් එන්සයික්ලොපීඩියා හා එන්සයික්ලොපීඩියා ජුඩෙයිකා වැනි විශ්වාස කළහැකි ආශ්‍රේය ග්රන්ථ ඒ පිළිබඳව දක්වන්නේ පොදු නිෂේධාත්මක දෘෂ්ටියකි. එබැවින් ලෝකය මැවීමේ පටන්, කාලය ගණනය කිරීමේ යුදෙව් සම්ප්‍රදායික ක්‍රමය, දිගින් දිගට එළිදරව්වන යෙහෝවඃ දෙවියන්වහන්සේගේ අනාවැකිමය කාලසටහන වන බයිබලයේ කාලය නිර්ණය කිරීමේ දෘෂ්ටිකෝණය අනුව නිවැරදි යයි කල්පනා කළ නොහැකිය.
[පාදසටහන්වල]
a බයිබල් හා ඓතිහාසික සාක්ෂි දෙකින්ම පෙන්වනුයේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උපත ක්‍රි.පූ. 2 වසරේ සිදුවූ බවය. එබැවින්, නිවැරදිභාවය පිණිස, පො.යු. (පොදු යුගය) හා පො.යු.පෙ. (පොදු යුගයට පෙර) යන යෙදුම භාවිතා කරන්නට බොහෝ දෙනෙකු වැඩි කැමැත්තක් දක්වන අතර වොච් ටවර් සමිතියේ ප්රකාශනවල දින සඳහන් කර ඇත්තේ මෙයාකාරයෙනි.
b වැඩි විස්තර සඳහා, වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්. මගින් ප්‍රකාශයට පත්කරන ලද ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් නම් පොතේ, 2වන කාණ්ඩයේ, පිටු 614-16, 900-902 බලන්න.