සාධාරණකම වගා කරන්න
“ඔබගේ සාධාරණකම සියලු මිනිසුන්ට දැනගන්නට ලැබේවා. ස්වාමීන්වහන්සේ සමීපව සිටින සේක.”—පිලිප්පි 4:5, NW.
1. අදදින ලෝකයේ සාධාරණ වීම අභියෝගයක් වී තිබෙන්නේ මන්ද?
සාධාරණ මිනිසා”—ඉංග්‍රීසි ජාතික පුවත්පත් කලාවේදී ආචාර්ය ඇලන් පැට්‍රික් හර්බට් ඔහුව හැඳින්වූයේ මනඃකල්පිත රූපයක් ලෙසටයි. ඇත්ත වශයෙන්ම, ආරවුල්වලින් දෙදරා ගොස් ඇති මේ ලෝකයේ කිසිම සාධාරණ මිනිසෙක් ඉතිරි වී නැතැයි ඇතැම් විට පෙනෙන්ට පුළුවන. මෙම අසීරු “අන්තිම දවස්වලදී” මිනිසුන් “කෲර,” “හිස උදුම්මාගත්,” එමෙන්ම “කිසි එකඟතාවකට විවෘත වී නොසිටින” අයවලුන්—වෙනත් වචනවලින් කියතොත්, කොහෙත්ම සාධාරණ නැති අයවලුන් වන බව කියා බයිබලය පුරෝකථනය කළේය. (2 තිමෝති 3:1-5, NW) එසේවුවද, සාධාරණකම වනාහි දිව්‍ය ප්‍රඥාවේ ලකුණක් බව දන්නා සැබෑ ක්‍රිස්තියානීහු, එය ඉතා උසස් කොට සලකති. (යාකොබ් 3:17, NW) අසාධාරණ ලෝකයක සාධාරණව කටයුතු කරන්නට බැරි යයි අපට හැඟෙන්නේ නැත. ඒ වෙනුවට, පිලිප්පි 4:5හි [NW] සඳහන්ව ඇති ප්‍රේරිත පාවුල්ගේ ආනුභාව ලත් උපදෙස තුළ තිබෙන අභියෝගය අපි එකහෙළා වැළඳගන්නෙමු. එය නම්: “ඔබගේ සාධාරණකම සියලු මිනිසුන්ට දැනගන්නට ලැබේවා.”
2. අප සාධාරණද කියා නිර්ණය කිරීමට පිලිප්පි 4:5හි සඳහන් ප්‍රේරිත පාවුල්ගේ වදන් අපට උපකාර කරන්නේ කෙසේද?
2 අප සාධාරණ අයද කියා පරීක්ෂා කර බැලීමට පාවුල්ගේ වදන් අපට උපකාරවත් වන අන්දම සැලකිල්ලට ගන්න. අප අපවම දකින ආකාරය එතරම්ම ප්‍රශ්නයක් නොවේ; ප්‍රශ්නයක් වන්නේ අන්‍යයන් අපව දකින ආකාරයයි. අපව දැනහඳුනාගෙන තිබෙන ආකාරයයි. ෆිලිප්ස්ගේ පරිවර්තනය මෙම පදය මෙසේ ගෙනහැර දක්වයි: “සාධාරණවීම අතින් හොඳ නාමයක් ඇතුව සිටින්න.” අප එක් එක්කෙනා මෙසේ ඇසීම යහපති, ‘අන්‍යයන් මා ගැන සිතන්නේ කෙසේද, මා සාධාරණ, නැමෙනසුලු හා මෘදු මොළොක් කෙනෙක් ලෙසට මට හොඳ නාමයක් තිබෙනවාද? එසේ නැතහොත් මා දැඩි, රළු හෝ හිස උදුම්මාගත් කෙනෙකු ලෙසට ප්‍රසිද්ධ වී තිබේද?’
3. (අ) “සාධාරණ” යනුවෙන් පරිවර්තනය කර ඇති ග්‍රීක් වචනයේ අර්ථය කුමක්ද, තවද මෙම ගුණාංගය සිත්ගන්නාසුලු එකක් වන්නේ මන්ද? (ආ) වඩාත් සාධාරණ වීමට ක්‍රිස්තියානියෙකුට කෙසේ ඉගෙන ගත හැකිද?
3 මේ සම්බන්ධයෙන් අපට තිබෙන කීර්ති නාමය, අප යේසුස් ක්‍රිස්තුස්වහන්සේව අනුකරණය කරන තරම පිළිබිඹු කරනවා පමණි. (1 කොරින්ති 11:1) මේ පොළොව මත සිටි විට, යේසුස්වහන්සේ, සාධාරණකම සම්බන්ධව තම පියාණන්ගේ අතිඋත්තරීතර ආදර්ශය පරිපූර්ණ ලෙස පිළිබිඹු කළසේක. (යොහන් 14:9) ඇත්තෙන්ම, “ක්‍රිස්තුස්වහන්සේගේ මොළොක්කම හා කරුණාව” සම්බන්ධව පාවුල් ලියද්දී, කරුණාව සඳහා යොදා ගත් ග්‍රීක් වචනය (එ·පි·එයි·කිʹඅස්), “සාධාරණකම” හෙවත් පදගතාර්ථයෙන්, “නැමෙනසුලු බව” යනුවෙන්ද අදහස් කරයි. (2 කොරින්ති 10:1) මෙය වනාහි, “[න]ව [ගි]විසුමේ චරිත විස්තර කරන උතුම්ම වචනවලින් එකකි” යයි දි එක්ස්පොසිටර්’ස් බයිබල් කොමෙන්ටරි හඳුන්වයි. එය විස්තර කරන්නේ කොතරම් සිත් ගන්නාසුලු ගුණාංගයක්ද යත්, එක් විශාරදයෙක් මෙම වචනය පරිවර්තනය කරන්නේ, “ප්‍රිය උපදවන සාධාරණකම” ලෙසටය. එමනිසා, තම පියාණන් වන යෙහෝවඃවහන්සේ මෙන්, යේසුස්වහන්සේ සාධාරණකම නිරූපනය කළ ආකාර තුනක් ගැන අපි සාකච්ඡා කර බලමු. මෙනයින් වඩාත් සාධාරණ විය හැකි අන්දම අපටම ඉගෙනගත හැකිවෙයි.—1 පේතෘස් 2:21.
‘සමාව දීමට සූදානම්’
4. තමා ‘සමාව දීමට සූදානම්ව’ සිටි බව යේසුස්වහන්සේ පෙන්වූයේ කෙසේද?
4 සිය පියාණන් මෙන්, යේසුස්වහන්සේ, යළි යළිත් ‘සමාව දීමට සූදානම්ව’ සිටීමෙන් සාධාරණකම පෙන්වූ සේක. (ගීතාවලිය 86:5, NW) යේසුස්වහන්සේව අත්අඩංගුවට ගෙන පරීක්ෂා කරනු ලැබූ රාත්‍රියේදී, උන්වහන්සේගේ කිට්ටු සහායකයෙකුවූ පේතෘස්, උන්වහන්සේව තුන් වතාවක් ප්‍රතික්ෂේප කළ අවස්ථාව සලකා බලන්න. “මනුෂ්‍යයන් ඉදිරියෙහිදී: ඔහු නාඳුනමියි මා ගැන කියන යමෙක් ඇද්ද, . . . මාගේ පියාණන්වහන්සේ ඉදිරියෙහි මමත්: ඔහු නාඳුනමියි කියන්නෙමි” යනුවෙන් යේසුස්වහන්සේම මීට පෙර පවසා තිබුණි. (මතෙව් 10:33) යේසුස්වහන්සේ මෙම නීතිය රළු ලෙස, දයාවෙන් තොරව පේතෘස්ට අදාළ කළාද? නැත; සිය නැවත නැගිටීමට පසු, යේසුස්වහන්සේ පේතෘස්ව පෞද්ගලිකව බැහැදුටුවේ, පසුතැවිලිවූ බිඳුණු හදවතකින් යුත් මෙම ප්‍රේරිතවරයා සැනසීමට, ධෛර්යය දීමට බවට කිසිම සැකයක් නැත. (ලූක් 24:34; 1 කොරින්ති 15:5) ඉන් ස්වල්ප කලකට පසුව, මහත් වගකීමක් ලබා ගැනීමට යේසුස්වහන්සේ පේතෘස්ට ඉඩ හළ සේක. (ක්‍රියා 2:1-41) මෙහිදී පෙන්නුම් කළේ, ඉහලම අන්දමින් ප්‍රිය උපදවන සාධාරණකමකි! යෙහෝවඃවහන්සේ, සියලු මිනිස්වර්ගයාගේ විනිශ්චයකරුවාණන් වශයෙන් යේසුස්වහන්සේව පත් කොට තිබීම ගැන කල්පනා කිරීම සැනසිලිදායක නොවන්නේද?—යෙසායා 11:1-4; යොහන් 5:22.
5. (අ) බැටළුවන් අතර කිනම් හොඳ නාමයක් වැඩිමහල්ලන්ට තිබිය යුතුද? (ආ) විනිශ්චමය කාරණා හැසිරවීමට පෙර කිනම් තොරතුරු යළි සලකා බැලීමට වැඩිමහල්ලන්ට හැකිද, තවද ඒ මන්ද?
5 වැඩිමහල්ලන් සභාවේ විනිශ්චයකරුවන් ලෙස ක්‍රියා කරන විට, සාධාරණ වීම පිළිබඳ යේසුස්වහන්සේගේ සාධාරණකමේ ආදර්ශය අනුගමනය කිරීමට ඔවුහු බලවත් උත්සාහයක් දරති. තමන් දඬුවම් කරන්නන්ය යන හැඟීමෙන් යුතුව බැටළුවන් තමන්ට භය වෙනවා දැකීම ඔවුන්ට වුවමනා නොවේ. ඒ වෙනුවට, ඔවුන් උත්සාහ කරන්නේ යේසුස්වහන්සේව අනුකරණය කිරීමටය, එවිට ඔවුන් ප්‍රේමනීය එඬේරුන් හැටියට, බැටළුවන්ට ඔවුන් සමඟ ආරක්ෂිත බවක් හැඟී යයි. විනිශ්චය කාරණාවලදී, සාධාරණ වීමට, සමාව දීමට සූදානම්ව සිටීමට ඔවුහු සෑම ප්‍රයත්නයක්ම දරති. එවන් කාරණයක් හැසිරවීමට පෙර, 1992 ජූලි 1, වොච්ටවර්හි “ජෙහෝවා, දි ඉම්පාර්ෂල් ‘ජජ් ඔෆ් ඕල් දි එර්ත්’ [යෙහෝවඃ වහන්සේ, ‘මුළු පොළොවේ අපක්ෂපාත විනිශ්චයකරුවාණෝ’]” සහ “එල්ඩර්ස්, ජජ් විත් රයිචස්නස් [වැඩිමහල්ලෙනි, ධර්මිෂ්ඨකමින් විනිශ්චය කරන්න]” යන ලිපි යළි සලකා බැලීම උපකාරවත් බව ඇතැම් වැඩිමහල්ලන් විසින් සොයා ගෙන තිබේ. මෙසේ ඔවුහු, යෙහෝවඃවහන්සේ විනිශ්චය කරන ක්‍රමයෙහි සංක්ෂිප්ත අදහස මනසේ තබා ගනිති, එනම්: “අවශ්‍ය අවස්ථාවලදී ස්ථිරබව, හැකි අවස්ථාවලදී දයාව පෙන්වීමය.” විනිශ්චයකදී, දයාව පෙන්වීම සඳහා සාධාරණ පදනමක් තිබෙන විට, දයාව දෙසට නැඹුරුවීම වරදක් නොවේ. (මතෙව් 12:7) රළුවීම හෝ දයානුකම්පා විරහිත වීම බරපතළ වරදකි. (එසකියෙල් 34:4) මෙසේ, යුක්තියේ සීමාවන් තුළ ගත හැකි වඩාත්ම ප්‍රේමනීය, දයානුකම්පිත සෑම ක්‍රියා මාර්ගයක්ම ගැනීමට ක්‍රියාශීලී ලෙස වෑයම් කිරීම මගින් වැඩිමහල්ලෝ වැරදි කිරීමෙන් වැළකෙති.—සසඳන්න මතෙව් 23:23; යාකොබ් 2:13.
තත්ත්වයන් වෙනස් වන විට නම්‍යසුලු වීම
6. යක්ෂාවේශ වූ දියණියක් සිටි අන්‍ය ජාතික ස්ත්‍රිය සමඟ කටයුතු කරන විට යේසුස්වහන්සේ සාධාරණකම විදහා පෑවේ කෙසේද?
6 අලුත් තත්ත්වයන් උද්ගත වූ විට, තම ක්‍රියා පිළිවෙත වෙනස් කිරීමට හෝ තත්ත්වයට සුදුසුසේ සකස්වීමට තමන් සැණෙකින් සූදානම් බව, යෙහෝවඃවහන්සේ මෙන්, යේසුස්වහන්සේද ඔප්පු කළසේක. එක් අවස්ථාවකදී, එක් අන්‍ය ජාතික ස්ත්‍රියක්, බොහෝසෙයින් යක්ෂාවේශවූ තම දියණියව සුව කරන මෙන් යේසුස්වහන්සේට ආයාචනා කළාය. ආකාර තුනකින්ම, යේසුස්වහන්සේ මුලදීම කියා සිටියේ තමා ඈට උපකාර කරන්නට යන්නේ නැති බවයි. එනම්, පළමුව ඈට පිළිතුරු දීමෙන් වැළකී සිටීමෙනි; දෙවෙනුව, තමාව එවනු ලැබුවේ අන්‍ය ජාතීන් සඳහා නොව නමුත් යුදෙව්වන් සඳහා බව ඍජුවම පැවසීමෙනි; තුන්වෙනුව, එම කරුණම කාරුණික අන්දමින් තවදුරටත් පැහැදිලි කළ උපහැරණයක් දීමෙනි. කෙසේවෙතත්, මෙම ස්ත්‍රිය මේවා සියල්ල අභිබවා නොකඩවා කන්නලව් කළ අතර, තමාට අතිමහත් ඇදහිල්ලක් ඇති බවට සාක්ෂි දුන්නාය. මෙම අතිවිශේෂ තත්ත්වය සැලකිල්ලට ගත් යේසුස්වහන්සේට දැක ගත හැකි වූයේ, පොදු නීතියක් පැනවීමට මෙය සුදුසු අවස්ථාවක් නොවන බවයි; මෙය වනාහි වඩාත් උසස් ප්‍රතිපත්තිවලට ප්‍රතිචාර දක්වමින් නම්‍ය විය යුතු වේලාවක් විය.a මෙසේ, යේසුස්වහන්සේ කළේ, තමා විසින් නොකරනවා යයි තුන් වතාවක්ම ඇඟවූ දෙයමය. උන්වහන්සේ මෙම ස්ත්‍රියගේ දියණියව සුව කළ සේක!—මතෙව් 15:21-28.
7. දෙමාපියන්ට සාධාරණකම පෙන්විය හැක්කේ කිනම් මාර්ගවලින්ද, තවද ඒ මන්ද?
7 ඒ හා සමානව අපිත්, සුදුසු විට නැමීමට කැමැති අය බවට නම් දරා සිටිමුද? නිතරම දෙමාපියන් එවන් සාධාරණකමක් පෙන්විය යුතුය. එක් එක් දරුවා, තවත් දරුවෙකුට වඩා වෙනස් බැවින්, එක දරුවෙකුට අදාළ කළ හැකි ක්‍රම තවත් දරුවෙකුට නොගැළපෙනවා විය හැක. එපමණක්ද නොව, දරුවන් වැඩෙනවාත් සමඟම, ඔවුන්ගේ අවශ්‍යතාද වෙනස් වෙයි. නිවසට පැමිණිය යුතු යයි දෙමාපියන් විසින් දරුවන්ට පනවන ලද වේලාවේ යළි සකස් කිරීමක් කළ යුතුද? පවුලේ පාඩම වඩාත් ප්‍රාණවත් ආකාරයකට කෙරේ නම් ඉන් වැඩි ප්‍රයෝජන ලැබිය හැකිද? දෙමාපියෙකු යම් සුළු වරදකට ඕනෑවට වඩා ප්‍රතික්‍රියා කරයි නම්, කාරණා හරිගැස්වීම සඳහා නිහතමානි වීමට ඔහු හෝ ඈ කැමත්තෙන් සිටීද? එවැනි ආකාරවලින් නැමෙනසුලු දෙමාපියෝ, තමන්ගේ දරුවන්ව අනවශ්‍ය ලෙස කේන්ති ගැස්වීමෙන් හෝ ඔවුන්ව යෙහෝවඃවහන්සේ වෙතින් ඈත් කරවීමෙන් වැළකෙති.—එපීස 6:4, NW.
8. ප්‍රදේශයේ ඇති අවශ්‍යතාවලට අනුව සුදුසුසේ සකස්වීමෙහිලා පෙරමුණ ගැනීමට සභා වැඩිමහල්ලන්ට කෙසේ හැකිවේද?
8 වැඩිමහල්ලන්ද, දෙවියන්වහන්සේගේ සුවිශේෂී නීති සැහැල්ලු නොකරන අතරේදී, අලුත් තත්ත්වයන් උද්ගත වෙත්ම ඊට සුදුසු සේ සකස්වීම අවශ්‍යය. දේශනා වැඩය අධීක්ෂණය කිරීම තුළ, ප්‍රදේශයේ වෙනස්වීම් ගැන ඔබ සුපරීක්ෂාවෙන් සිටින්නෙහිද? ප්‍රදේශයේ වැසියන්ගේ ජීවන රටාව වෙනස් වන විට, සමහරවිට, සැන්දෑ කාලයේ සාක්ෂිදැරීම හෝ දුරකථනයෙන් සාක්ෂි දැරීම දිරිගැන්විය යුතුය. එවැනි ක්‍රමවලට සුදුසු සේ සකස්වීම, අපගේ දේශනා පැවරුම වඩාත් බලපෑමෙන් යුතුව ඉටු කිරීමට අපට උපකාරවත් වෙයි. (මතෙව් 28:19, 20; 1 කොරින්ති 9:26) තම දේව සේවය තුළ නානාප්‍රකාර මිනිසුන්හට සුදුසුසේ සකස්වීම සම්බන්ධයෙන් පාවුල්ද විශේෂ වෑයමක් දැරුවේය. අපත් එසේම කරනවාද? නිදසුනක් වශයෙන්, ජනයාට උපකාර කිරීමට හැකි වන පිණිස, ප්‍රදේශයේ තිබෙන ආගම් හා සංස්කෘතීන් ගැන ප්‍රමාණවත් ලෙස අප ඉගෙන ගනිමින් සිටිනවාද?—1 කොරින්ති 9:19-23.
9. වැඩිමහල්ලෙක්, තමා අතීතයේදී ක්‍රියා කළ ආකාරයට, ගැටලු සම්බන්ධව සෑම විටම කටයුතු නොකළ යුත්තේ මන්ද?
9 මෙම අන්තිම දවස් එන්ට එන්ටම වඩාත් අසීරු වනවාත් සමඟම, තමන්ගේ රැළ දැන් මුහුණපාමින් සිටින සමහරක් ගැටලුවල සිත අවුල් කරවන සංකීර්ණභාවයට සහ අමිහිරිභාවයට සුදුසුසේ සකස් වීමටද වැඩිමහල්ලන්ට අවශ්‍ය විය හැක. (2 තිමෝති 3:1) වැඩිමහල්ලෙනි, මෙය රළු ලෙස දැඩිව කටයුතු කිරීමට කාලයක් නොවේ! යම් වැඩිමහල්ලෙක් අතීතයේදී කළාක් මෙන් ගැටලු සම්බන්ධව කටයුතු කළ ක්‍රම ඔහු විසින් යොදා ගන්නා විට බලපෑමෙන් තොර බවට පෙනී ගොස් තිබේ නම්, හෝ එවන් විෂයන් සම්බන්ධව අලුත් තොරතුරු පළ කිරීම සුදුසු බව “විශ්වාසවූ නුවණ ඇති දාසයා” හට පෙනී ගොස් ඇත්නම්, ඒ ක්‍රමයෙන්ම ගැටලුව සම්බන්ධයෙන් ඔහු කටයුතු කරන්නට නොයන බවට ස්ථිරය. (මතෙව් 24:45; සසඳන්න දේශනාකාරයා 7:10; 1 කොරින්ති 7:31.) එක්තරා විශ්වාසවන්ත වැඩිමහල්ලෙක්, යම් කිසිවෙකු විසින් ඕනෑකමින් සවන් දීමේ අවශ්‍යතාවෙන් පෙළුණු, කලකිරී සිටි එක් සහෝදරියකට උපකාර කිරීමට අවංක වෑයමක් දැරුවේය. කෙසේවුවද, ඇගේ කලකිරුණු තත්ත්වය ගැන පමණට වඩා සැහැල්ලු දෘෂ්ටියක් දැරූ හේ, ලිහිල් විසඳුම් කිහිපයක් ඈ වෙත ඉදිරිපත් කළේය. අනතුරුව, ඇගේම ගැටලුව සම්බන්ධව සාකච්ඡා කළ, බයිබලය මත පදනම් තොරතුරු සමහරක් ඇතුළත් ලිපියක් වොච්ටවර් සමිතිය විසින් පළ කරන ලදි. මෙම වැඩිමහල්ලා, මෙම වතාවේදී, අලුත් තොරතුරු අදාළ කරමින් හා ඇගේ දුඃඛිත තත්ත්වය ගැන වඩාත් සංවේදනය පෙන්වමින් ඈට යළිත් කථා කිරීමට වග බලා ගත්තේය. (1 තෙසලෝනික 5:14, 15 සසඳන්න.) සාධාරණකමේ මොනතරම් කදිම ආදර්ශයක්ද!
10. (අ) තමන් එකිනෙකාට සහ සමස්තයක් වශයෙන් වැඩිමහල්ලන්ගේ මණ්ඩලයට නැමෙනසුලු ආකල්පයක් වැඩිමහල්ලන් පෙන්විය යුත්තේ කෙසේද? (ආ) අසාධාරණ බවක් පෙන්වන අයවලුන් දෙස වැඩිමහල්ලන්ගේ මණ්ඩලය බැලිය යුත්තේ කෙසේද?
10 තමන් එකිනෙකා කෙරෙහි නම්‍යසුලු ආකල්පයක් ඇතිව සිටීමටද වැඩිමහල්ලන්ට අවශ්‍යය. වැඩිමහල්ලන්ගේ මණ්ඩලය එක්ව රැස්වන විට, කිසිම වැඩිමහල්ලෙක් රැස්වීමේ කාරණා කටයුතු ආණ්ඩු නොකිරීම මොනතරම් වැදගත්ද! (ලූක් 9:48) විශේෂයෙන්ම මුලසුන දරන තැනැත්තා මේ සම්බන්ධයෙන් සංයමයෙන් යුතුව ක්‍රියා කළ යුතුය. එක් වැඩිමහල්ලෙක් හෝ දෙදෙනෙක්, සමස්ත වැඩිමහල් මණ්ඩලයේ තීරණය සමඟ එකඟ නොවන අවස්ථාවන්හිදී, දේවල් තමන්ටම වුවමනා විදිහට කරගෙන යා යුතු යයි බලකර සිටින්නට යන්නේ නැත. ඒ වෙනුවට, කිසිම ශුද්ධලියවිලිමය ප්‍රතිපත්තියක් උල්ලංගනය නොකෙරේ නම්, සාධාරණකම වැඩිමහල්ලන්ගෙන් අවශ්‍ය කරන බව සිහියේ තබා ගෙන, ඔවුන් එම තීරණයට නැමෙනවා ඇත. (1 තිමෝති 3:2, 3) අනෙක් අතට, කොරින්ති සභාව, “උත්කෘෂ්ට ප්‍රේරිතයන්” හැටියට ඉදිරිපත් වූ ‘අසාධාරණ පුද්ගලයන්ව’ ඉවසූ බැවින්, පාවුල් එම සභාවට තදින් තරවටු කළ බව වැඩිමහල්ලන් මතක තබා ගත යුතුය. (2 කොරින්ති 11:5, 19, 20) එමනිසා, මුරණ්ඩු, අසාධාරණ අන්දමකින් හැසිරෙන සෙසු වැඩිමහල්ලෙකුට උපදෙස් දීමට ඔවුන් කැමැත්තෙන් සිටිය යුතුය, නමුත් එසේ කිරීමේදී ඔවුන්ද මොළොක් ලෙස හා කාරුණික ලෙස ක්‍රියා කළ යුතුය.—ගලාති 6:1, NW.
අධිකාරය ක්‍රියාත්මක කිරීමේදී සාධාරණකම
11. යේසුස්වහන්සේගේ දවස්වලදී, යුදෙව් ආගමික නායකයන් තම අධිකාරය ක්‍රියාත්මක කළ ආකාරය සහ යේසුස්වහන්සේ සිය අධිකාරය ක්‍රියාත්මක කළ ආකාරය අතර කිනම් වෙනසක් තිබුණිද?
11 යේසුස්වහන්සේ මේ පොළොව මත ජීවත් වන විට, දෙවියන්වහන්සේ විසින් තමාට දානය කරන ලද අධිකාරය හැසිරෙවූ අන්දම තුළින් උන්වහන්සේගේ සාධාරණකම මැනවින් බැබළෙන්නට විය. උන්වහන්සේගේ දවස්වල විසූ ආගමික නායකයන්ට වඩා උන්වහන්සේ මොනතරම් වෙනස්වූසේක්ද! උදාහරණයක් සලකා බලන්න. සබත් දවසේදී කිසිම වැඩක්, එනම් දර එකතු කිරීම පවා නොකළ යුතු බවට දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවේ අණ කර තිබුණි. (නික්මයාම 20:10; ගණන් කථාව 15:32-36) ආගමික නායකයන්ට වුවමනා වූයේ හරියටම මිනිසුන් එම නීතිය අදාළ කර ගත් ආකාරය පාලනය කිරීමටය. එබැවින්, සබත් දවසේදී යම් පුද්ගලයෙකුට ඉසිලිය හැකි දේ මත හරියටම තමන් විසින්ම නීති දැමීමට ඔවුහු වග බලා ගත්හ. ඔවුන්ගේ නීති වූයේ මේවායි: වියලි අත්තික්කා ගෙඩි දෙකකට වඩා කිසිම බරක් ගෙන යෑම තහනම් බවයි. තවද ඔවුන් පතුලේ ඇණ සහිත පටි සපත්තු පැළඳීම පවා තහනම් කළේ, ඇණවල අමතර බර ඉසිලීම, යම් වැඩක් කිරීමක් යයි කියා සිටිමිනි! සමස්ථයක් වශයෙන් ගත්කල, රබ්බිවරු සබත් පිළිබඳ දෙවියන්වහන්සේගේ නීතියට අමතර නීති 39ක් ඇතුළත් කළ බවත්, අනතුරුව එම නීතිවලට නිමාවක් නැතිව දේවල් එකතු කළ බවත් කියනු ලැබේ. අනෙක් අතට, යේසුස්වහන්සේ, නිමාවක් නැති තහංචි සහිත නීති පැනවීමෙන් හෝ දැඩි, ළඟාවිය නොහැකි ප්‍රමිති තැබීමෙන් මිනිසුන්ව ලජ්ජාවට පමුණුවා ඔවුන්ව පාලනය කිරීමට උත්සාහ කළේ නැත.—මතෙව් 23:2-4; යොහන් 7:47-49.
12. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිති සම්බන්ධව ගත් කල, යේසුස්වහන්සේ නොසෙල්වූ බව කීමට අපට හැක්කේ කෙසේද?
12 එසේනම්, යේසුස්වහන්සේ, දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට ස්ථිර ලෙස ඇලී නොසිටිය බව අප උපකල්පනය කළ යුතුද? සහතිකවම උන්වහන්සේ එසේ ස්ථිරව ඇලී සිටියසේක! එම නීතිවල පිටුපස තිබෙන ප්‍රතිපත්ති මිනිසුන් තම හෘදයට ගත්විට, ඒවා වඩාත් බලපෑමෙන් යුක්ත බව උන්වහන්සේ තේරුම් ගත්සේක. නිමක් නැති නීති මගින් ජනයාව පාලනය කිරීමට ඵරිසිවරු දැඩි ප්‍රයත්නයන් දරමින් සිටිද්දී, යේසුස්වහන්සේ උත්සාහ කළේ හෘදවලට ළඟා වීමටයි. නිදසුනක් වශයෙන්, “වේශ්‍යාකමෙන් පලාදුවපල්ලා” වැනි වූ දිව්‍ය නීති සම්බන්ධව ගත් කල කිසිම නම්‍ය වීමක් නොතිබිය යුතු බව උන්වහන්සේ හොඳින් දැන සිටිසේක. (1 කොරින්ති 6:18) එබැවින්, දුරාචාරයට තුඩු දිය හැකි සිතිවිලි ගැන යේසුස්වහන්සේ ජනයාට අනතුරු ඇඟවූ සේක. (මතෙව් 5:28) දැඩි රීතිවලට අනුව හැඩ ගැසුණු නීතිවලින් බර කරනවාට වඩා, එවන් ඉගැන්වීම්වලට බොහෝ ප්‍රඥාවක් හා විචාර බුද්ධියක් අවශ්‍ය කරවූයේය.
13. (අ) නම්‍යසුලු නොවන නීති රීති ඇතිකිරීමෙන් වැඩිමහල්ලන් වැළකිය යුත්තේ මන්ද? (ආ) පුද්ගලයාගේ හෘදය සාක්ෂියට ගෞරව කිරීම වැදගත් වන ඇතැම් ක්ෂේත්‍රයන් මොනවාද?
13 වගකිව යුතු සහෝදරයෝ, ඒ හා සමානව අදදිනත්, හෘදවලට ළඟාවීම කෙරෙහි උනන්දු වෙති. මෙසේ, හිතුවක්කාර, නම්‍යසුලු නොවන නීති දැමීමෙන් හෝ තමන්ගේ පෞද්ගලික දෘෂ්ටිකෝණ සහ මත, නීති බවට පෙරළීමෙන් ඔවුහු වැළකී සිටිති. (දානියෙල් 6:7-16 සසඳන්න.) ඇඳුම් පැළඳුම් හා හිසකෙස් පීරීම වැනි කාරණා සම්බන්ධව කලින් කලට දෙනු ලබන කාරුණික සිහිගැන්වීම් යෝග්‍ය හා කාලෝචිත විය හැකිය, නමුත් යම් වැඩිමහල්ලෙක්, එවැනි කාරණා ගැන නිතර නිතර කියා පායි නම් හෝ මූලික වශයෙන් තමාගේම පෞද්ගලික රුචි අරුචිකම් අන්‍යයන් මත පටවන්නට උත්සාහ කරනවා නම්, සාධාරණ මිනිසෙකු වශයෙන් ඔහු ලබා ගෙන ඇති කීර්ති නාමය උවදුරෙහි හෙළන්නට පුළුවන. ඇත්තෙන්ම, සභාවේ සිටින සියල්ලන්ම, අන්‍යයන්ව පාලනය කිරීමට උත්සාහ කිරීමෙන් වැළකී සිටිය යුතුය.—සසඳන්න 2 කොරින්ති 1:24; පිලිප්පි 2:12.
14. තමා අන්‍යයන්ගෙන් අපේක්ෂා කළ දේවල් සම්බන්ධයෙන් තමා සාධාරණ වූ බව යේසුස්වහන්සේ පෙන්නුම් කළේ කෙසේද?
14 තවත් කාරණයක් සම්බන්ධයෙන් තමන්වම පරීක්ෂා කර බැලීමට වැඩිමහල්ලන්ට වුවමනා විය හැකිය: ‘මා අන්‍යයන්ගෙන් අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් මම සාධාරණද?’ සහතිකවම යේසුස්වහන්සේ එසේ වූසේක. තමා සිය අනුගාමිකයන්ගෙන් තම මුළු ආත්මයෙන් දරන ප්‍රයත්නවලට වඩා වැඩි යමක් අපේක්ෂා නොකරන බව නිරතුරුවම පෙන්නුම් කළ උන්වහන්සේ, එම ප්‍රයත්න ඉතා උසස් ලෙස අගය කළසේක. ඉතා සුඵ වටිනාකමක් ඇති කාසි දැමීම සම්බන්ධව උන්වහන්සේ දිළිඳු වැන්දඹුවට ප්‍රශංසා කළසේක. (මාර්ක් 12:42, 43) තම ගෝලයන් මරියාගේ මිල අධික සම්මාදම විවේචනය කළ විට, “ඈ නිකම් උන්නාවේ; ඈට පුළුවන් දේ ඈ කළාය” යයි පවසමින් උන්වහන්සේ ඔවුන්ට තදින් තරවටු කළසේක. (මාර්ක් 14:6, 8) සිය අනුගාමිකයන් උන්වහන්සේගේ බලාපොරොත්තු කඩකළ අවස්ථාවේ පවා උන්වහන්සේ සාධාරණ වූසේක. නිදසුනක් වශයෙන්, තමා අත්අඩංගුවට ගනු ලැබූ රාත්‍රියේදී අවදියෙන් සුපරීක්ෂාකාරිව සිටින්නැයි තම සමීපතම ප්‍රේරිතයන් තුන්දෙනාගෙන් උදක්ම ඉල්ලා සිටියත්, යළි යළිත් නින්දට වැටීමෙන් ඔවුහු උන්වහන්සේගේ බලාපොරොත්තු කඩ කළෝය. එහෙත්, උන්වහන්සේ දයානුකම්පිත ලෙස පැවසුවේ මෙලෙසය: “ආත්මය නම් කැමතිය, නමුත් මාංසය දුර්වලය.”—මාර්ක් 14:34-38.
15, 16. (අ)රැළ මත පීඩන ගෙන නොඒමට හෝ ඔවුන්ට සැරවැර නොවීමට වැඩිමහල්ලන් පරෙස්සම් විය යුත්තේ මන්ද? (ආ) එක් විශ්වාසවන්ත සහෝදරියක්, තමා අන්‍යයන්ගෙන් අපේක්ෂා කළ දේ සම්බන්ධයෙන් සකස් වූයේ කෙසේද?
15 ‘තමන් විසින්ම දැඩි පරිශ්‍රමයක් දරන’ ලෙසට යේසුස්වහන්සේ සිය අනුගාමිකයන්ව දිරිගැන්වූ බව සැබෑය. (ලූක් 13:24) එහෙත්, එසේ කිරීමට උන්වහන්සේ කිසිවිටෙකත් ඔවුන්ට බල කළේ නැත! උන්වහන්සේ ඔවුන්ව ක්‍රියා කිරීමට පණගැන්වූ සේක, ආදර්ශයක් තැබූසේක, පෙරමුණ ගත්සේක, එමෙන්ම ඔවුන්ගේ හදවත් තුළට කිඳා බැසීමට උත්සාහ කළසේක. ඉතිරි කොටස කිරීම සඳහා, යෙහෝවඃවහන්සේගේ ආත්මයේ බලය කෙරෙහි උන්වහන්සේ දැඩි සේ විශ්වාසය තැබූසේක. ඒ හා සමානව අදදින වැඩිමහල්ලන්ද, යෙහෝවඃවහන්සේට මුළු හදින් සේවය කිරීම සඳහා රැළ දිරිගැන්විය යුතු නමුත්, දැනට ඔවුන් යෙහෝවඃවහන්සේට කරමින් සිටින සේවය යම් ආකාරවලින් ප්‍රමාණවත් නොවේ කියා හෝ පිළිගත නොහැකිය කියා අඟවමින්, ඔවුන් තුළ වරද සහිත බවක් හෝ ලජ්ජාවක් ඇති වන පරිදි ඔවුන්ව භයගැන්වීමෙන් වැළකිය යුතුය. රළු ලෙස, “තව කරන්න, තව කරන්න, තව කරන්න” යනුවෙන් පොලඹවන්නට ගියොත්, තමන්ට කරන්නට පුළුවන් උපරිමය කරමින් සිටින අයවලුන් තවත් අධෛර්ය වන්නට පුළුවන. යම් වැඩිමහල්ලෙක්, “සතුටු කිරීමට අමාරු” පුද්ගලයෙකු හැටියට නරක නාමයක් ඇති කරගත්තොත්, එය මොනතරම් කනගාටුවට හේතුවක්ද! එය සාධාරණකමෙන් මොනතරම් දුරස්වීමක්ද!—1 පේතෘස් 2:18, NW.
16 අප සෑම කෙනෙක්ම අන්‍යයන්ගෙන් අපේක්ෂා කරන දේ සම්බන්ධයෙන් සාධාරණ විය යුතුය! එක් සහෝදරියක්, අසනීපව සිටි ඇගේ මවව රැක බලා ගැනීම සඳහා, ඇය සහ ඇගේ ස්වාමිපුරුෂයා ඔවුන්ගේ මිෂනාරි සේවයෙන් ඉවත් වීමෙන් පසුව, මෙසේ ලීවාය: “අප සභාවල ප්‍රචාරකයන් වශයෙන් කටයුතු කරන මේ කාලවල් අපට සැබවින්ම ඉතා අසීරුයි. චාරිකා හා දිස්ත්‍රික් වැඩවල නියැලී සිටීමෙන්, එවන් බොහෝ පීඩනවලින් ආරක්ෂා වී සිටි අපට මේ ගැන සැණෙකින්, එමෙන්ම වේදනාකාරී ලෙස දැනගැනීමට සැලසුණා. උදාහරණයක් හැටියට, මම මටම මෙහෙම කියා ගත්තා, ‘අර සහෝදරී මේ මාසයට නියමිත හරි පොත්පත් ඉදිරිපත් කරන්නේ නැත්තේ ඇයි? ඈ රාජ්‍යය සේවාව කියවන්නේ නැද්ද?’ ඒ ඇයි කියලා මම දැන් දන්නවා. සමහරක් අයට කරන්නට [සේවයේදී] පුළුවන් දේ එපමණයි.” අපගේ සහෝදරයන් නොකරන දේ ගැන ඔවුන්ව විනිශ්චය කරනවා වෙනුවට, ඔවුන් කරන දේ ගැන ඔවුන්ට ප්‍රශංසා කිරීම කොතරම් හොඳද!
17. සාධාරණකම සම්බන්ධයෙන් යේසුස්වහන්සේ අපට ආදර්ශයක් තැබුවේ කෙසේද?
17 යේසුස්වහන්සේ සිය අධිකාරය සාධාරණ අන්දමකින් හසුරුවාලන ආකාරය දක්වන අවසන් ආදර්ශයක් සලකා බලන්න. සිය පියාණන් මෙන්ම, යේසුස්වහන්සේද තම අධිකාරය ඊර්ෂ්‍යාවෙන් යුතුව රැකගන්නේ නැත. උන්වහන්සේද ප්‍රධාන වැඩ පවරන්නෙකු වන අතර, පොළොව මත “තමා සන්තක සියල්ල” රැකබලා ගැනීම සඳහා සිය විශ්වාසවන්ත දාස පංතිය පත්කොට තිබෙන සේක. (මතෙව් 24:45-47) එමෙන්ම අන්‍යයන්ගේ අදහස්වලට සවන්දීමේ භයක් උන්වහන්සේට නැත. උන්වහන්සේ බොහෝ විට තමාට සවන්දෙන්නන්ගෙන් ඇසුවේ: ‘නුඹලා සිතන්නේ කුමක්ද?’ යනුවෙනි. (මතෙව් 17:25; 18:12; 21:28; 22:42) එබැවින්, අදදිනත් ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකයන් සියල්ලන් අතරේද එය එසේ විය යුතුයි. අධිකාරය කොතරම් තිබුණත්, එය අන්‍යයන්ට සවන් නොදී සිටීමට හේතුවක් නොවේ. දෙමාපියෙනි, සවන්දෙන්න! ස්වාමිපුරුෂයෙනි, සවන්දෙන්න! වැඩිමහල්ලෙනි, සවන්දෙන්න!
18. (අ) අපට සාධාරණකම සම්බන්ධයෙන් හොඳ නාමයක් තිබෙනවාද කියා සොයා දැන ගත හැක්කේ කෙසේද? (ආ) අප සියල්ලන්ටම හොඳින් අධිෂ්ඨාන කරගත හැක්කේ කුමක්ද?
18 මින් නිසැකවම තීරණය කළ හැකි දේ නම්, “හොඳ නාමයක් ඇතුව සිටීමට” අප එක් එක්කෙනාට වුවමනා බවය. (පිලිප්පි 4:5, ෆිලිප්ස්) එහෙත්, අපට එවන් හොඳ නාමයක් තිබෙන බව අප දන්නේ කෙසේද? ඇත්තෙන්ම, තමා ගැන අනෙක් අය කියන්නේ කුමක්දැයි දැනගැනීමට යේසුස්වහන්සේට කුතුහලයක් ඇතිවූ විට, ඒ ගැන උන්වහන්සේ සිය විශ්වාසවන්ත ආශ්‍රිතයන්ගෙන් ඇසූ සේක. (මතෙව් 16:13) උන්වහන්සේගේ ආදර්ශය අනුගමනය නොකරන්නේ මන්ද? ඔබ සාධාරණ, නම්‍යසුලු පුද්ගලයෙක් බවට ඔබට හොඳ නාමයක් තිබෙනවාද කියා ඔබහට යමක් නොවළහා ප්‍රකාශකරන බවට ඔබ විශ්වාස කරන කෙනෙකුගෙන් විමසිය හැක. සාධාරණකම සම්බන්ධව යේසුස්වහන්සේගේ පරිපූර්ණ ආදර්ශය වඩාත් කිට්ටුවෙන් අනුකරණය කිරීම සඳහා අප සියල්ලන්ටම බොහෝ දේ කළ හැකි බව සහතිකය! විශේෂයෙන් අපි අන්‍යයන් මත යම් ප්‍රමාණයක අධිකාරයක් දරන්නෙමු නම්, සෑම විටම එය සාධාරණ අන්දමකින් හසුරුවමින්, සෑමවිටම යෝග්‍යවන අවස්ථාවන්හිදී සමාව දීමට, නැමීමට හෝ නම්‍යසුලුවීමට සූදානම්ව සිටීම මගින් යෙහෝවඃවහන්සේගේ හා යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමු. ඇත්තවශයෙන්ම, අපි සෑම කෙනෙක්ම “සාධාරණ වීමට” දැඩි පරිශ්‍රමයක් දරමු!—තීතස් 3:2, NW.
[පාදසටහන්වල]
a නිව් ටෙස්ටමන්ට් වර්ඩ්ස් පොත මෙසේ විවරණය කරයි: “යම් දෙයක් නිත්‍යානුකූලව සම්පූර්ණයෙන්ම යුක්තිසහගත විය හැකි වුවද, සදාචාර වශයෙන් සම්පූර්ණයෙන්ම වැරදි විය හැකි බව එ·පි·එයි·කීස්ʹ [සාධාරණ] මිනිසා දනී. නීතියට වඩා ඉහළින්වූ උසස් බලවේගයක පෙලඹීමක් යටතේ නීතිය සැහැල්ලු කළ යුත්තේ කිනම් අවස්ථාවේද කියාත් එ·පි·එයි·කීස් වන මිනිසා දනී.”
ඔබ පිළිතුරු දෙනු ඇත්තේ කෙසේද?
◻ ක්‍රිස්තියානින්ට සාධාරණවීමට වුවමනා විය යුත්තේ මන්ද?
◻ සමාව දීමට සූදානම්ව සිටීමෙහිලා යේසුස්වහන්සේගේ ආදර්ශය අනුකරණය කිරීමට වැඩිමහල්ලන්ට හැක්කේ කෙසේද?
◻ යේසුස්වහන්සේ වූවාක් මෙන් නම්‍යසුලු වීමට අප දැඩි උත්සාහයක් දැරිය යුත්තේ මන්ද?
◻ අධිකාරය ක්‍රියාවට නංවන ආකාරය තුළ සාධාරණකම නිරූපනය කිරීමට අපට හැක්කේ කෙසේද?
◻ අප ඇත්තටම සාධාරණද කියා අපවම පරීක්ෂණයට භාජන කළ හැක්කේ කෙසේද?
[15වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේ පසුතැවිලිවූ පේතෘස්ට පසුබට නොවී සමාව දුන්සේක
[16වන පිටුවේ පින්තූරය]
එක්තරා ස්ත්‍රියක් අපූරු ඇදහිල්ලක් පෙන්වූ විට, පොදු නීතියක් පැනවීමට එය සුදුසු අවස්ථාවක් නොවූ බව යේසුස්වහන්සේ දුටුසේක
[18වන පිටුවේ පින්තූරය]
දෙමාපියෙනි සවන්දෙන්න!
[18වන පිටුවේ පින්තූරය]
ස්වාමිපුරුෂයෙනි සවන්දෙන්න!
[18වන පිටුවේ පින්තූරය]
වැඩිමහල්ලෙනි සවන්දෙන්න!