වඩාත්ම ප්රගතිශීලී සංවිධානය සමඟ සේවය කිරීම
රොබර්ට් හාට්ස්ෆෙල්ට් පැවසූ පරිදි
අදදින බොහෝ දෙනෙකු සන්ධ්‍යා ප්රවෘත්ති වර්ණවත්ව නැරඹීමට දුරස්ථ පාලකය මගින් රූපවාහිනිය පනගන්වනු ලබන්නේ එය එතරම් අසාමාන්‍ය දෙයක් නොවන්නාක් මෙනි. එහෙත්, සාමාන්‍ය ප්‍රමාණය ඉක්මවූ එමෙන්ම කථා කරමින් සිටි මිනිසෙකුගේ රූපය චිත්‍රපටයකින් දැකීමෙන් 12 හැවිරිදි මා පුදුමයට පත් අවස්ථාව මට මතක් වෙන්නේ හරියට ඊයේ සිදුවූවාක් මෙනි!
එය එතරම් වැදගත් පුවතක් නොවේ, යයි ඔබ කල්පනා කරන්නට පුළුවන. එහෙත් කළු-සුදු නිහඬ චිත්‍රපට ප්‍රදර්ශනය කරන ලද ඒ මුල් දවස්වල, එනම් 1915 තරම් අතීතයේ මට හැඟුණේ එය ඇත්තෙන්ම නවීන-දින ආශ්චර්යයක් හැටියටයි. ප්රතාපවත් රැවුලකින් යුත් පුරුෂයෙක් තිරය මත දිස්වී, “මැවීම පිළිබඳ මෙම ඡායාරූප නාටකය I.B.S.A., එනම් ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන්ගේ සංගමය මගින් ඉදිරිපත් කෙරේ” යයි පැවසුවේය. ඊළඟ පැය දෙක තුළ, බයිබලයේ කථාව අපගේ නෙත් ඉදිරියේ දර්ශනය විය. ශුද්ධ ලියවිල්ල මත පදනම් එහි පණිවුඩය පැහැදිලි හා ප්රබෝධය ගෙනදෙන්නක්ව තිබුණි. එහෙත්, සැබවින්ම මගේ අවධානයට යොමුවූයේ එම චල චිත්‍රපටයද, එහි වර්ණ චිත්‍රකාච අතරින් පතර දර්ශනය වීමද නොව නමුත්, තිරයේ දර්ශනය වන රූපයට අනුව කෙරුණු කථාවය.
තාක්ෂණයේ සන්ධිස්ථානයක් වූ දෑ කෙරෙහි මගේ යෞවන උද්යෝගය, පොළොවේ වඩාත්ම ප්රගතිශීලී සංවිධානය සමඟ ජීවිතාන්තය දක්වා යෙදෙන්නාවූ වෘත්තියකට ප්රාරම්භයක් වනු ඇතැයි ඒ අවස්ථාවේදී මම තේරුම් නොගත්තෙමි.
එම මුල් දවස්
වර්ෂ 1891දී මගේ පියා ජර්මනියේ, ඩිලෙන්බුර්ග් සිට අමෙරිකා එක්සත් ජනපදයේ, පෙන්සිල්වේනියාවේ, ඇලගේනි නම් ස්ථානයේ වෙසෙන ජර්මානු ප්‍රජාව අතර වාසයට පැමිණියේය. ඉන්පසුව ඔහුට එහි වාසය කළ ජර්මානු පවුලක ළඳක් හමුවී, ඔවුහු විවාහ වූහ. මා 1903 ජූලි 7වන දින උපත ලද අතර ඇතිදැඩි කරනු ලැබුවේ ජර්මන් හා ඉංග්‍රීසි යන භාෂා දෙකම කථා කිරීමට හැකි පරිද්දෙනි. වර්ෂ 1914 පළමුවන ලෝක යුද්ධය ආරම්භයට මද කලකට පෙර, ක්ෂය රෝග වසංගතයක් මගේ මව්පියන් දෙදෙනාවම බිලිගත් බැවින් මම අනාථයෙකු බවට පත්වීමි. මගේ සීයා ඒ කාලයේදී පමණ ආඝාතයක් හේතු කොට ගෙන මියගියේය.
මගේ නැන්දා වන, මිනා බෝමර්, මහත් කරුණාවෙන් මාව ඇයගේ පවුලට එක්කර ගත්තාය. ඇය කියා සිටියේ “මට දරුවන් පස්දෙනෙක් ඉන්නවා, එනිසා තවත් එක්කෙනෙක් වැඩි නැහැ” යනුවෙනි. මට මගේ මව්පියන්ගේ වියෝව දැනුණත්, මිනා නැන්දා මට හොඳ නිවසක් ලබා දුන්නාය.
මගේ නැන්දා (ඒ කාලයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව අමතනු ලැබූ පරිදි) බයිබල් ශිෂ්‍යයන්ගේ ඇලගේනි සභාවේ දිගු කාලීන සාමාජිකාවක්ව සිටියාය. වර්ෂ 1909ට පෙර, එවකට වොච් ටවර් සමිතියේ සභාපතිව සිටි, සහෝදර සී. ටී. රසල්ද එම සභාවට පැමිණෙමින් සිටියේය. මිනා නැන්දා මාව රැස්වීම්වලට කැඳවාගෙන ගියාය. ඒ කාලයේ අපගේ පවුල, ඉගෙන ගැනීමට හෝ දේශනා කිරීමට සම්මත කරගත් වෑයමක් නොදැරුවත්, අප රැස්වීම්වලදී ඇසූ ඕනෑම දෙයක්, අප දැන සිටි අයත් සමඟ අපි අනියම් ලෙස බෙදාහදා ගත්තෙමු.
“ඡායාරූප-නාටකය” මාව පුදුමයට පත්කළේ මේ කාලයේදීය. මට යාන්ත්‍රික දේවල් කෙරෙහි ආශාවක් තිබූ නිසා, ඊට යොදාගෙන තිබූ අලුත් ඡායාරූප තාක්ෂණයන් මෙන්ම ශබ්ද⁄චිත්‍ර සමගාමීව දිස්වීමත්, එම චල චිත්‍රපටයේ සෙමින් සිදුවන ක්‍රියාවක් වේගවත්ව ප්‍රදර්ශනය කිරීමේ තාක්ෂණයත් මගේ සිත් ගත්තේය. එහි මල් පූදින ආකාරය නැරඹීම විස්මයජනක ප්‍රීතියක් විය!
වර්ෂ 1916දී, සහෝදර රසල්ගේ මරණයෙන් අපි ශෝකයට පත්වීමු. එවිට අප ඇලගේනිහිම පදිංචිව සිටි නිසා, කාර්නෙගි ශාලාවේ පවත්වන ලද ඔහුගේ අවමගුල් උත්සවයට අපි සහභාගි වුණෙමු. සහෝදර රසල්, ඊ. එල්. ඊටන් සමඟ විවාද කළ ශාලාව මෙයයි. සහෝදර රසල්ගේ බයිබල් දැනුම අවමානයට ලක් කිරීමේ බලාපොරොත්තුවෙන්, දින හයක විවාදයකට එන්නැයි සී. ටී. රසල්ට අභියෝග කළ මෙම මෙතෝදිස්ත එපිස්කෝපල් දේවගැතියා පිළිබඳ කථා මා අසා තිබුණි. අවමානයට ලක් වෙනවා වෙනුවට, රසල් ‘නිරය වතුරෙන් නිවා දැමූ’ බව වාර්තා වේ. පිට්ස්බර්ග්හි වාසය කළ කෝල්පෝටර්වරියක් වූ, සැරා කෙයිලින්, රසල්ගේ පවුල පෞද්ගලිකව දැන සිටියාය. එම අවමගුලේදී මරියා රසල්, “මගේ ප්‍රේමවන්ත ස්වාමිපුරුෂයා වෙතට” යනුවෙන් සඳහන් කරන ලද මල්වඩමක් තබනු ඈ දුටුවාය. ඇය වසර කීපයකට ඔහුගෙන් වෙන්වී සිටියත්, ඈ තවදුරටත් ඔහුව සිය පුරුෂයා හැටියට පිළිගත්තාය.
කාලය ගෙවීයත්ම, මගේ අනාගත වෘත්තියට ප්‍රයෝජනවත් කාර්මික දක්ෂතා අත්කර ගැනීමට මට බොහෝ ප්‍රස්තා ලැබුණි. මගේ රැකවලාව සිටි, මගේ අම්මාගේ අයියා ගොඩනැගිලි කොන්ත්‍රාත්කරුවෙක් විය. මගේ පාසැල් නිවාඩු කාලය තුළ, පැරණි මන්දිර ගෑස් භාවිතයෙන් විදුලි බල භාවිතයට හැරවීමෙහිලා සිය විදුලි කාර්මිකයන් සමඟ වැඩ කරන්නට ඔහු මාව යෙදවීය. වර්ෂ 1918දී අපගේ පාසැලේ ශිෂ්‍යයෝ ආධුනික රේඩියෝ දුරරේඛණ උපකරණ තැනූහ. විදුලි බලය හා චුම්බකත්වය පිළිබඳව ඉගෙන ගැනීමටත් පිටත පරීක්ෂණ පැවැත්වීමටත් අපි සන්ධ්‍යාවන්හි හමුවුණෙමු. වර්ෂ 1926දී මිත්‍රයෙක් හා මා ළමාවියේ පටන් තිබූ සිහිනයක්—එනම්, නැවක වැඩ කරමින් ලොව වටා සංචාරය කරන්නට—තීරණය කළා. අමෙරිකා ගුවන්විදුලි පාසැල මගින් පවත්වන ලද පාසැලකට රේඩියෝ-දුරරේඛණ ක්‍රියාකරුවන් හැටියට අපි බැඳුනෙමු.
බෙතෙල්හි අලුත් ජීවිතයක්
අප සහභාගි වූ ගුවන් විදුලි පාසැල නිව් යෝර්ක් නගරයේ පවත්වන ලද බැවින්, කුලියට ගනු ලැබූ ගුප්ත ආගමික කණ්ඩායමක පැරණි දේවස්ථානයේ ශ්‍රවනාගාරයේ පවත්වන ලද, බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම් සඳහා බෘක්ලින් වෙතට යෑමට මට ගඟ හරහා ගමන් කිරීමට සිදුවිය. ඒ කාලයේ, මුළු නිව් යෝර්ක් පුරවරය සඳහා තිබුණේ එක් සභාවක් පමණකි. වාණිජ්‍ය ගුවන් විදුලි බලපත්‍රයක් ලබා ගැනීමට මා ඉගෙන ගනිමින් සිටි බව බෙතෙල්හි (බයිබල් ශිෂ්‍යයන්ගේ මූලස්ථාන පවුල විසූ නිවාසයේ) සහෝදරයන් දැනගත් විට, ඔවුන් කියා සිටියේ, “ඔබ මුහුදට යන්නේ මක්නිසාද? ගුවන් විදුලි මධ්‍යස්ථානයක් අපට මෙහිම තිබෙන අතර එය ක්‍රියාත්මක කරන්නට කෙනෙක් අපට අවශ්‍යයයි” යනුවෙනි. සම්මුඛ පරීක්ෂණයක් සඳහා කාර්යාලයට එන්නැයි ඔවුහු මට ආරාධනා කළහ. ඒ අවස්ථාවේදී, එය බයිබල් ශිෂ්‍යයන්ගේ මූලස්ථානයව තිබෙන බව හැර අන් කිසිවක් මම බෙතෙල් පිළිබඳව නොදැන සිටියෙමි.
මාව සම්මුඛ පරීක්ෂණයට භාජන කළ සහෝදරයෝ, මා අධ්‍යාපන කටයුතු නිම කර, බලපත්‍රය ලබා, ඉන්පසු බෙතෙල් වෙතට එන හැටියට නිර්දේශ කළහ. එම උපාධිය ලැබීමෙන් පසු, මහමුහුදේ යන නැවක නැගී යනවා වෙනුවට, මම මගේ ඇඳුම් කීපය අසුරාගෙන, බෙතෙල් වෙතට යන යටිබිම් දුම්රියකට නැගුණෙමි. මා යෙහෝවඃ වහන්සේට කැපවී වසර ගණනාවක් දේශනා සේවයේ නිරතවී තිබුණත්, බෙතෙල් වෙතට පැමිණීමෙන් සති දෙකක් ගතවන තුරු, මම බව්තීස්මය ලබා නොසිටියෙමි. ඒ කාලයේ එය අසාමාන්‍ය දෙයක් නොවීය.
සාමාජිකයන් 150දෙනෙකු විසූ බෙතෙල් නිවස ඒ කාලයේ තිබුණේ ඉඩකඩ මදි තත්ත්වයකය. සෑම කාමරයකම පුරුෂයෝ හතරදෙනෙක් වාසය කළහ. අප සියලු දෙනාම එකම සංකීර්ණයේ කෑම අනුභවය, වැඩ කිරීම හා නිදාගැනීම කළ බැවින්ද, ඇත්තෙන්ම, නිව් යෝර්ක් නගරයේ තිබූ එකම සභාවට සියල්ලන් සහභාගිවූ බැවින්ද වැඩි කල් යන්නට මත්තෙන් මම ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් හොඳින් හැඳින ගතිමි. අලුත් බෙතෙල් නිවස කොලොම්බියා හයිට්ස්හි 124 දරන ස්ථානයේ 1927දී නිම කරනු ලැබූ අතර, ඉන්පසු එක් කාමරයක දෙදෙනා බැගින් අපට වාසය කළ හැකි විය.
මීට අමතරව 1927දී අලුත් කර්මාන්තශාලාව 117 ඇඩම්ස් වීදියේ විවෘත කරනු ලැබීය. කොන්කෝඩ් වීදියේ අංක 55 දරන තැන පිහිටා තිබූ පැරණි කර්මාන්තශාලාවෙන් උපකරණ ප්රවාහණය කිරීමට මම උපකාර කළෙමි. ගුවන් විදුලි උපකරණවලට අමතරව, එම කර්මාන්තශාලාවේ ආරෝහක, මුද්‍රණ යන්ත්‍ර, රෙදි සෝදන යන්ත්‍ර, ඉන්ධන හැටියට තෙල් භාවිතා කරන දාහක යන්ත්‍ර යනාදී බොහෝ දෑ තිබුණි—යන්ත්‍රවලට විදුලි බලය සම්බන්ධවී තිබුණේ නම්, මම ඒවායේ වැඩ කළෙමි.
කෙසේවෙතත්, බෙතෙල් කර්මාන්තශාලාවකට වැඩි යමක් විය. සෑම පොතක්, සෑම රාජ්‍යය පත්‍රිකාවක්, සෑම සඟරාවක් පසුපස නිහතමානීව වෙහෙසා ක්‍රියා කරන සේවක පිරිසක් සිටියහ. ඔවුන්ගේ ඉලක්කය වූයේ ලෝකයේ තමන්ට නමක් අත්කර ගැනීම නොවේ. ඒ වෙනුවට, ඔවුන්ට ස්වාමීන්වහන්සේගේ සේවය කිරීමට අවශ්‍යවූ අතර, මෙතුළ කරන්නට බොහෝ කාර්යයන්ද තිබුණි!
සහෝදර රදෆර්ඩ් සමඟ ඇසුර
සමිතියේ දෙවන සභාපති, ජෝසෆ් එෆ්. රදෆර්ඩ් සමඟ වැඩ කරන්නට ලැබුණු වරප්‍රසාදයෙන් මම බොහෝ ප්‍රයෝජන අත්කර ගත්තෙමි. ඔහු අඩි හයකට වඩා උසැති, තරබාරු නොවුවත් හොඳින් වැඩුණු තැනැත්තෙක් විය. බෙතෙල්හි වාසය කළ යෞවන සහෝදරයන් බොහෝ දෙනෙක් ඔහුව හොඳින් හඳුනාගන්නා තෙක් සිටියේ ඔහු කෙරෙහි යම් චකිතයක් ඇතිවය. ඔහු නිතර අධ්‍යයනය කිරීමෙහිද, ලිඛිත ද්‍රව්‍ය සූදානම් කිරීමෙහිද යෙදී සිටියේය.
සහෝදර රදෆර්ඩ් සිනහ උපදවන දෙයින් ආස්වාදයක් ලද තැනැත්තෙකි. සහෝදර රසල්ගේ කාලයේ පටන් එහි වාසය කළ වයස්ගත සහෝදරියෝ දෙදෙනෙක් බෙතෙල් පවුලේ සිටියහ. ඔවුන් සිනාසීමෙන් වැළකී සිටි අතර විශ්වාස කළේ හාස්‍යජනක යමක් සිදුවුණත් හඬනගා සිනාසීම උචිත නොවූ බවය. ඇතැම් අවස්ථාවන්හි කෑම මේසයේදී සහෝදර රදෆර්ඩ් සෑම කෙනෙකුටම සිනා යන යමක් කියන අතර මෙය මෙම සහෝදරියන් දෙදෙනාව තරහ ගැස්වීය. කෙසේවෙතත්, ඔහු බොහෝ අවස්ථාන්හි, කෑම ගන්නා අවස්ථාවේදී බැරෑරුම් බයිබල් සාකච්ඡාද පැවැත්වීය.
සහෝදර රදෆර්ඩ් හොඳ කෝකියෙක්වූ අතර මිත්‍රයන් සඳහා කෑම පිළියෙළ කිරීමෙන් සතුටක් ලැබීය. වරක් කුකුළන් කපන විට, බෙතෙල් කෝකියෝ කුකුළන් කීපදෙනෙකුගේ කටු පොඩි කළහ. ඔහු වහාම මුළුතැන්ගෙට ගොස්, කුකුළෙක් කැපිය යුතු හරි ආකාරය ඔවුන්ට පෙන්වා දුන්නේය. තමාගේ ආහාරයේ කැඩුණු කුකුල් කටු තිබීම ඔහු ආශා කළේ නැත!
අපගේ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ, WBBRහි එසේත් නැතහොත් ස්ටැටන් දූපතේ සිය පාඩම් කාමරයේ වැනි ස්ථානවල අනියම් අවස්ථාවලදී මම විටින් විට නිතර සහෝදර රදෆර්ඩ් අවට කටයුතු කර ඇත්තෙමි. ඔහු ඉතා කාරුණික තැනැත්තෙකු වූ අතර තමා දේශනා කළ දෙය ක්‍රියාවට නැගීය. තමාට කළ නොහැකි දෙයක් ඔහු අන්‍යයන්ගෙන් බලාපොරොත්තු වුණේ නැත. වෙනත් බොහෝ ආගමික සංවිධානවල වගකීම් දරන තැනැත්තන් මෙන් නොව, සහෝදර රදෆර්ඩ් ඉතා උසස් ආත්මික හා සදාචාර ගතිපැවතුම් දැරූ තැනැත්තෙකි. ඔහු පැහැදිලිවම ජීවත්වූයේ යෙහෝවඃ වහන්සේගේ රාජ්‍යය උදෙසාය.
දුෂ්කර ආර්ථික කාලවල්
මා බෙතෙල් වෙතට පැමිණීමෙන් අවුරුදු කීපයකට පසු, ලෝකය මහා ආර්ථික පරිහානියට ලක්වුණේය. මූල්‍ය වෙළඳ පොළවල් බිඳ වැටුණු අතර වෙළඳ ද්‍රව්‍යවල මිලගණන් පහළ බැස්සේය. රැකියා හිඟවීමක් තිබුණු අතර, අරමුදල් සීමිත විය. බෙතෙල් පවත්වාගෙන ගියේ සම්මාදම් කරන ලද අරමුදලින්වූ අතර එම වැඩය සඳහා අවශ්‍ය ප්‍රමාණය තිබෙන බවට යෙහෝවඃවහන්සේ හැමවිටම සහතිකවූ සේක. එක් එක් තැනැත්තාට ආශා කරන දේ නිතර නොලැබුණත්, අප කිසිදිනක ආහාර නැතිව සිටියේ නැත. අප හැකිතරම් අරපිරිමැස්මෙන් ජීවත්වූ අතර බෙතෙල්ට පිටතින් ජීවත්වූ සහෝදරයෝ තමන්ට හැකි පමණින් අපට උපකාර කළහ.
වර්ෂ 1932දී, අපගේ කර්මාන්තශාලාවේ විශ්වාසවන්ත අවේක්ෂකයා හැටියට සේවය කළ සහෝදර රොබර්ට් මාර්ටින් මියගියේය. විසිහත් හැවිරිදි නේදන් නෝර් ඔහුගේ තැනට පත්කරනු ලැබීය. ඔහු ඉතා දක්ෂ තරුණ මනුෂ්‍යයෙකි. කර්මාන්තශාලාවේ අවේක්ෂක හැටියට ඔහුව පිළිගැනීමට කිසිවෙකුට අපහසුවක් තිබුණු බවක් මට සිතාගත නොහැකිය. ඔවුන් අතර සිටි, මගේ ප්‍රේමනීය හවුල් සේවකයන් වන, වෙනත් විශ්වාසවන්ත සහෝදරයන්වූ, ජෝන් කර්සෙන්, ජෝර්ජ් කෙලී, ඩග්ලස් ගැල්බ්‍රේත්, රැල්ෆ් ලෙෆ්ලර් හා එඩ් බෙකර් යනාදීහු සිය ශීල්පීය නිපුණතා මෙන්ම දක්ෂතා රාජ්‍යය සේවයට කැමැත්තෙන් කැප කළහ.—නික්මයාම 35:34, 35 සසඳන්න.
ගුවන් විදුලිය සමඟ සේවය කිරීම
අපගේ සංවිධානය මුළුමනින්ම කැපවී සිටියේ, හැකි ඕනෑම ක්‍රමයකින් ශුභාරංචිය ව්‍යාප්ත කිරීමටයි. මුළු ලෝකයම රාජ්‍යය ගැන දැන සිටිය යුතු වුවත්, ඊට කැපවී සිටි අපගේ සංඛ්‍යාව දහස් ගණනක් පමණි. පළමුවන ලෝක යුද්ධයෙන් පසු ගුවන් විදුලි තාක්ෂණය තිබුණේ එහි ළදරු අවස්ථාවේදීය. කෙසේවෙතත්, බුද්ධිමත් සහෝදරයන්ට හැඟුණේ අදහස් හුවමාරුවේ මෙම ක්‍රමය ඒ කාලයේ යෙහෝවඃවහන්සේ මේ සඳහා සපයා තිබූ ක්‍රමය හැටියටය. එනිසා 1923දී ඔවුහු, නිව් යෝර්ක් නගරයේ රාජකාරියට අයත් පෙදෙස් පහෙන් එකක් වන ස්ටැටන් දූපතේ WBBR ගුවන් විදුලි මධ්‍යස්ථානය ගොඩනැගීම ආරම්භ කළහ.
ඇතැම් අවස්ථාවන්හි අපගේ ගුවන් විදුලි මධ්‍යස්ථානයේ සිටි එකම ක්‍රියාකරුවා මා පමණය. මා ස්ටැටන් දූපතේ වාසය කළද, විදුලිබල හා යාන්ත්‍රික වැඩකටයුතු සඳහා පැය තුනක ගමන් ගෙවා තොටු පොළේ බෝට්ටුවෙන් හා යටිබිම් දුම්රියෙන් බෘක්ලින්හි කර්මාන්තශාලාවට එන්නට සිදුවිය. අපගේ ගුවන් විදුලි මධ්‍යස්ථානය මූලික වශයෙන් ස්වයංපෝෂිත කරවීමට, ඩීසල්වලින් ක්‍රියා කරන ජනක යන්ත්‍රයක් අපි සවි කළෙමු. ස්ටැටන් දූපතේ අපට අපගේම ජල ලිං තිබූ අතර, එහි සේවය කළ කුඩා කාර්යය මණ්ඩලයකින් යුත් අපටත් බෘක්ලින්හි බෙතෙල් පවුලටත් ආහාර සැපයූ වත්තක්ද තිබුණි.
යථා කාලයේදී වැඩිමනත් උපකාරය ලැබෙනතෙක්, ගුවන් විදුලි කටයුතුවල වගකීම මගේ රැස්වීම්වලට යෑම හා ක්ෂේත්‍ර සේවය අතිශයින් සීමා කළේය. අපගේ වාර්ෂික නිවාඩුව හැරුණුකොට සමාජ උත්සව හෝ සති අන්ත ගමන් සඳහා විවේකයක් නොවීය. එක්තරා අවස්ථාවක කෙනෙක් මගෙන් මෙසේ ඇසුවා: “මෙතරම් කාර්ය බහුල කාලසටහනක් තිබුණ විට, ඔබට යම් අවස්ථාවක බෙතෙල් හැර යන්නට සිතුණේ නැද්ද?” අවංකවම, මට කියන්නට තිබුණේ “නැත” යනුවෙනි. කැපවූ සහෝදර සහෝදරියන් මෙතරම් සංඛ්‍යාවක් සමඟ වාසය කරන්නට හා වැඩ කරන්නට ලැබීම වරප්‍රසාදයක් මෙන්ම ප්‍රීතියක්ව තිබුණි. එමෙන්ම කරන්නට අවශ්‍යව තිබූ වැඩ, කරන්නට තිබූ යම් අලුත් ව්‍යාපෘතියක් එහි තිබුණි.
අපි උනන්දුව ඇති කරන ගුවන් විදුලි නාටක නිපදවා විකාශනය කළෙමු. විශේෂාකාර බලපෑම් ඇති කරන නාද සහිත තැටි අපට නොතිබුණ බැවින්, අපට අපගේම ක්‍රම නිර්මාණය කරගන්නට සිදුවිය. සෞම්‍ය සුළංවල හෝ රළු කුණාටුවක හඬ ඇති කරන යන්ත්‍රයක් අපි සාදා ගත්තෙමු. වෙළන ලද ලෑලි මත සෙමින් තට්ටු කරන ලද පොල්කටු, ගල් අතුරන ලද වීදි මත දුවන අශ්වකුරවල හඬ නිකුත් කළේය. හැම නාටකයක්ම මහත් සේ හැඟීම් දැනවූ කාර්යයක් විය. තවද ජනයෝ සවන්දුන්හ. මනස වෙනතකට හරවන සාධක එතරම් ප්‍රමාණයක් නොතිබුණ ඒ දිනවල, බොහෝ දෙනෙක් අසුන්ගෙන අවධානය යොමු කළහ.
එකදහස් නවසිය විසි ගණන්වලත් 1930 ගණන්වල මුල් භාගයේදීත්, සමිතිය, තනි වැඩසටහනක් සඳහා වැඩිම විකාශන මධ්‍යස්ථාන ගණනක් සම්බන්ධ කර ගනිමින් ගුවන් විදුලියේ කැපී පෙනෙන නමක් දිනාගත්තේය. මෙසේ රාජ්‍යයේ පණිවුඩය ලෝක ව්‍යාප්තව මිලියන සංඛ්‍යාවක් කරා ළඟා විය.
ශබ්දවාහිනිය
එක්දහස් නවසිය තිස් ගණන්වල මැද භාගයේදීත්, 1940 ගණන්වල මුල් භාගයේදීත්, අපි පිටපත් කිරීමේ යන්ත්‍ර, ශබ්දවාහිනි මෙන්ම, වෙනත් ශබ්ද උපකරණ නිර්මාණය කොට නිෂ්පාදනය කළෙමු. විශේෂ ලියවන පට්ටල් යොදා ගනිමින් මීඉටිවලින් තනන ලද ඉතා සිනිඳු තැටිවලින් අපි ප්‍රධාන තැටි නිෂ්පාදනය කළෙමු. ඉන්පසුව එම ප්‍රධාන තැටිවල දෝෂ කිසිත් නැතැයි සහතික වීමට අපි ඒවා අන්වීක්ෂයක් යටතේ මනාව පරීක්ෂාවට භාජන කළෙමු. එහි යම් දෝෂ තිබුණේ නම්, එම තැටිගත කිරීම නැවත සිදුකර ලියවන පට්ටලයෙන් තවත් කැපීමක් කළ යුතු විය. ඉන් අනතුරුව අප මීඉටියෙන් සාදන ලද එම ප්‍රධාන තැටිය, තැටි සමාගමකට යැවූ අතර, ඔවුහු ශබ්දවාහිනි හා පිටපත් කිරීමේ තැටි නිෂ්පාදනය කළහ.
මට හොඳින්ම මතක තිබෙන එක් විස්මයජනක සිද්ධියක් වනුයේ, 1933දී “සාමය හා සෞභාග්‍යය කෙරෙහි ශුද්ධ වර්ෂයේ බලපෑම” යන සිරස්තලයෙන් සහෝදර රදෆර්ඩ්ගේ දේශනයයි. “ශුද්ධ වර්ෂය(ක්)” හැටියට පාප්වරයා එම වර්ෂය නම් කර තිබූ අතර ගුවන් විදුලියෙන් හා ශබ්දවාහිනියෙන් අපි එය අනාවරණය කර ශුද්ධ වූ කිසිවක් ඉන් නොනික්මෙනු ඇතැයි පෙන්වා දුන්නෙමු. හරියටම සිදුවූ ආකාරයට හිට්ලර් කතෝලික සභාවේ අනුබලය ඇතිව එම වසරේ බලය අත්කර ගත් බැවින් සාමය සඳහා තිබූ ඕනෑම බලාපොරොත්තුවක් ඒත් සමඟ අතුරුදහන් විය.
පල්ලියට අවශ්‍යව තිබූ දේ ක්‍රියාවට නැගීමට එක්සත් ජනපදයේ, කතෝලික ක්‍රියාකාරික සංවිධානය පිහිටුවනු ලැබීය. ඔවුහු තමන්ගේ පල්ලියට අයත් අයවලුන් ප්‍රධාන පෙළේ පුවත්පත්, සඟරා හා පොත් ප්‍රකාශකයන්ගේ සංස්කාරක මණ්ඩලවලට පත්කළහ. ඔවුහු දේශපාලනයත් සමඟ එක්වී අපගේ බයිබල් දේශන විසුරුවා හරින ඕනෑම ගුවන් විදුලි මධ්‍යස්ථානයක් වර්ජනය කරන බව තර්ජනය කළහ. විශේෂයෙන්ම නිව් ජර්සි අසල, බොහෝ සාක්ෂිකරුවන්ට කතෝලික ක්‍රියාකාරික කණ්ඩායම් මගින් අඩන්තේට්ටම් කරනු ලැබීය. ඒවා හැඟීම් දනවන දවස් විය!
ක්ෂේත්රයේ ප්‍රීතිමත් වැඩකටයුතු
එක්දහස් නවසිය පනස් ගණන්වල මැද භාගයේදී, වැඩි වර්ධනය වෙමින් සිටි රාජ්‍යය ප්‍රචාරකයන් සංඛ්‍යාව, වැඩි ජනතාවක් තමන්ගේ නිවෙස්වලම හමු වෙමින් සිටියහ. බයිබල් සත්‍යය තේරුම් ගැනීමට පුද්ගලයන්ට උපකාර කිරීමෙහිලා, ගුවන් විදුලියට වඩා මෙය අතිශයින් ඵලදායී බව සනාථ වුණි. එනිසා 1957දී WBBR විකුණා, අපගේ සම්පත් වෙනත් රටවල වර්ධනය වෙමින් තිබූ මිෂනාරි කටයුතු සඳහා යෙදවීමට තීරණය කරනු ලැබීය.
වර්ෂ 1955දී, බෘක්ලින්හි බෙඩ්ෆඩ් සභාවට මට පැවරුම් ලැබුණා, එහිදී මම නිතිපතා මුරටැඹ පාඩම පැවැත්වූවෙමි. සමිතිය මාව සංචාරක කථිකයෙක් හැටියට උතුරු නිව් යෝර්ක්, පෙන්සිල්වේනියාව, කොනෙක්ටිකට් හා නිව් ජර්සි වෙතට යැවීය. බෙඩ්ෆඩ් සභාවට පැවරුම් ලැබූ විට, මම මටම මෙසේ කියා ගතිමි, ‘මට දැන් 50 වියත් ඉක්ම ගිහින්. දැන් මා හැකි තරම් ක්ෂේත්‍ර සේවයේ හවුල් විය යුතුයි. පසුකාලයේදී මට තුනටියේ රුදාව වැළඳිය හැකි නිසා ප්‍රීතියෙන් ඊට හවුල් වීම දුෂ්කර විය හැකියි.’
ගතවූ වර්ෂ ගණනාව පුරා රාජ්‍යයේ බීජය ගුවන් විදුලියෙන් විසුරුවා හැරීමේ කාර්මික පැත්තේ සේවය කිරීමෙන් පසු, කෙළින්ම පුද්ගලයන් සමඟ බයිබල් සත්‍යයේ බීජ හිටවීම හා වතුර දැමීමෙන් මම සැබෑ ආස්වාදයක් ලබා ගත්තෙමි. සභාව සමඟ වැඩ කිරීමෙන් මට දැනුණේ සැබෑ ප්‍රීතියකි. නිවසේ සිටිනවා බඳු සුවයක් දනවමින්, විවිධ අය මාව රැකබලා ගත්තා. දැන් වැඩිවියට පත්ව සිටින, ඒ කාලයේ සිටි කුඩා දරුවන්, තවමත් මාව අමතන්නේ සීයා කියාය. මගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තරප්පු නැගීම හෝ යටිබිම් දුම්රියේ ගමන් කිරීම නොහැකි කරවන තෙක්, වසර 30ක් පුරා ක්ෂේත්‍ර සේවය තුළ අපි ප්‍රීතිය එක්ව භුක්ති වින්දෙමු. වර්ෂ 1985දී මා බෘක්ලින් හයිට්ස් සභාවට මාරු කරන ලද අතර, එය රැස්වන්නේ බෙතෙල්හිමය.
යෙහෝවඃවහන්සේගේ සංවිධානය පුළුල් ව්‍යාප්තියක් භුක්ති විඳිත්ම, දුරස්තර දේශයන්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ විශාල සමුළුවලට මා සහභාගිවීම තුළින්, විදේශ රටවල උන්වහන්සේගේ ආශීර්වාදයන් දැකීමට මට පෞද්ගලිකව වරම් ලැබුණි. කොහොම වුණත් අන්තිමේදී මට මුළු ලෝකයේම සංචාරය කරන්නට අවස්ථාව ලැබුණි! එක්දහස් නවසිය පනස් ගණන්වල පටන්, බෙතෙල් සේවකයන්වූ අප කීපදෙනෙකුට ලන්ඩන්, පැරීස්, රෝම, නුරෙම්බර්ග් හා කෝපන්හේගන් යන නගරවල ඇතැම් දේවල් නැරඹීමට අවස්ථාවක් ලැබුණි. අප ගමන් කළේ කලින් බෝම්බ දැමීම සඳහා තනන ලදුව පසුව වෙනස් කරන ලද බෝම්බ හෙළන අහස්යානාවල, නැව්වලින් හා දුම්රියෙන්ය. ඇත්ත වශයෙන්ම, එම ගමන්වල ස්වාභාවික දර්ශන සිත් ඇදගත් නමුත්, ඒ සියල්ලට වඩා සිත්ගත් දර්ශන වූයේ උණුසුම්ව පිළිගැනීමට රැස්කකා සිටි අපගේ සහෝදරයන්ය. පසු දශකයන් පෙරදිගට, නැවතත් බටහිර යුරෝපයට හා මෑත කාලයේ නැගෙනහිර යුරෝපයට ගමන් ප්‍රස්තාවන් ලබාදුණි. පෝලන්තයේ, ජර්මනියේ හා චෙකෝස්ලොවැකියාවේ පවත්වන ලද පුදුමසහගත සමුළු විශිෂ්ට ඒවා විය. මා මුලින්ම අපගේ දිව්‍යාණ්ඩු පවුලේ කොටසක්වූ දවසේ පටන් එය කොතරම් වර්ධනයක් ලබා තිබෙනවාද!
දිව්‍ය මඟ පෙන්වීම
සංවිධානය විසින් තබන ලද කුඩා මෙන් පෙනුණු පියවර පසුකාලයේදී යෝධ පිමි බවට පත්ව ඇත. අප අලුත් පන්නයේ ව්‍යාපෘතිවල වැඩ කරමින් සිටියදී, එනම් සාක්ෂි දැරීමේ වැඩය කිරීමට උපකාරවන යන්තම් උපකරණ නිර්මාණය කරමින් සිටියදී, මෙම අතිවිශාල වර්ධනය කලින් දකිනු ඇත්තේ කවුද? අප ඇදහිල්ලෙන් ඉදිරියට ගොස් ඇත්තේ යෙහෝවඃවහන්සේගේ මඟ පෙන්වීමට ප්‍රතිචාරය දක්වමිනි.
මෙම ප්රගතිශීලී සංවිධානය ලෝක ව්‍යාප්ත ක්ෂේත්රය කෙරෙහි සැලකිල්ල දැක්වීමට උපකාරකයක් වශයෙන් නවතම තාක්ෂණය උපයෝගි කරගැනීමට නැතහොත් තමන්ගේම තාක්ෂණයක් ඇති කරගැනීමට පසුබට වී නැත. රාජ්‍යය ප්‍රකාශ කිරීම සඳහා ගෙයින් ගෙට සේවය, ගුවන් විදුලි විකාශන ජාල, ශබ්දවාහිනී මගින් සාක්ෂි දැරීම හා ජනතාවගේ නිවාසවල බයිබල් පාඩම් පැවැත්වීමේ වැඩසටහන යනාදිය ක්‍රම යොදාගෙන ඇත. මුල් දවස්වල අපගේම මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමත් දැන් භාෂා බොහොමයකින් කරනු ලබන පරිගණක ගත කරන ලද ජායාරූප අකුරු ඇමුණුම් හා ඕෆ්සෙට් මුද්‍රණයත් සුළුපටු ජයග්රහණයන් නොවේ. ස්කූල් ඔෆ් ගිලියඩ් වොච්ටවර් බයිබල් පාසැල, දිව්‍යාණ්ඩු සේවා පාසැල හා නිතිපතා පවත්වන සමුළු යනාදි සියල්ල යෙහෝවඃ දෙවියන්වහන්සේටත් උන්වහන්සේගේ පුත්‍රයාණන්ටත් මහිමය අත්කර දීමෙහි දායක වී ඇත. පෞද්ගලිකව මේවා නිරීක්ෂණය කිරීමටත් ඒවා සියල්ල තුළෙහි සහභාගි වීමටත් ලැබීම මා ලැබූ වරප්රසාදයකි.
පොළොව මත යෙහෝවඃවහන්සේගේ ආත්මයෙන් මෙහෙයවනු ලබන සංවිධානය කළ යුතු දෙය හා කළ යුතු ආකාරය ගැන මඟ පෙන්වීම ලබන බව මට පැහැදිලිය. උන්වහන්සේගේ දෘශ්‍යමාන හා අදෘශ්‍යමාන වන, සමස්ත විශ්වනීය සංවිධානය එක්ව වැඩ කරයි.
යෞවනයෙක් හැටියට මුහුදේ යාත්‍රා කිරීමට තිබූ මගේ සැලසුම් අත්හැරීම ගැන මම කවදාවත් පසුතැවිලි නොවූයෙමි. මන්දයත්, ලෝකයේ වඩාත්ම උනන්දු කරවන, අර්ථවත් ප්‍රවර්ධනය වීම් මෙහි, එනම් යෙහෝවඃවහන්සේගේ සංවිධානය තුළ සිදුවේ! එබැවින්, “උතුම් [ඉහළට, NW] කැඳවී(ම)” කෙරෙහිවූ මාවතේ මගේ ගමන, මහත් ප්‍රීතියෙන් හා ආශීර්වාදයන්ගෙන් මිස කනගාටුවට හේතුවලින් සලකුණු වී නැත.—පිලිප්පි 3:13, 14.
මම නිතරම යෞවනයන්ට කියන්නේ 1914 මතක තබාගන්නට කියාය—එනම් ගීතාවලිය 19:14ය, එය මෙසේ පවසයි: “මාගේ පර්වතයද මිදුම්කාරද වූ ස්වාමිනි [යෙහෝවඃවහන්ස, NW], මාගේ මුඛයෙහි වචන හා සිතෙහි [හෘදයෙන්, NW] භාවනාද ඔබ ඉදිරියෙහි පිළිගැන්මට සුදුසු වේවා.” සෑම දෙයකදීම යෙහෝවඃවහන්සේව ප්‍රසන්න කිරීමටත් දාවිත් කළාක් මෙන් මෙසේ යාච්ඤා කිරීමටත් අපට වුවමනාවක් ඇත: “ස්වාමිනි [අහෝ යෙහෝවඃවහන්ස, NW] ඔබගේ මාර්ග මට දැක්වුවමැනව; ඔබගේ මාවත් මට ඉගැන්නුව මැනව. ඔබගේ සැබෑකමෙහි මා හසුරුවමින් මට ඉගැන්නුව මැනව; මක්නිසාද ඔබ මාගේ ගැළවීමේ දෙවියන්වහන්සේය; දවස මුළුල්ලේ ඔබ කෙරෙහි බලාසිටිමි.” (ගීතාවලිය 25:4, 5) එම වදන්වල පුළුල් අර්ථයක් ඇත. ඒවා මතකයේ තබා ගැනීම, හරි මාර්ගයේ ගමන් කිරීමට, එනම් හරි දිසාවට යමින්, යෙහෝවඃවහන්සේගේ ප්රගතිශීලී සංවිධානය සමග පියවර තැබීමට අපට උපකාරයක් විය හැකිය.
[23වන පිටුවේ පින්තූරය]
සහෝදර රදෆර්ඩ් මිත්‍රයන් සඳහා ප්‍රීතියෙන් ආහාර පිළියෙළ කළා
[25වන පිටුවේ පින්තූරය]
WBBR ගුවන් විදුලි මධ්‍යස්ථානයේ පාලක මැදිරියේ සිටින රොබර්ට් හාට්ස්ෆෙල්ට්
[26වන පිටුවේ පින්තූරය]
සහෝදර හාට්ස්ෆෙල්ට්ගේ මෑතකාලීන ඡායාරුවක්