පළමුකොට මේ ශුභාරංචිය දේශනා කළ යුතුය
“තවද ශුභාරංචිය පළමුකොට සියලු ජාතීන්ට ප්‍රකාශකරනු [දේශනා කරනු, NW] ලබන්ට ඕනෑය.”—මාර්ක් 13:10.
1, 2. සාක්ෂිකරුවන්ගේ වෙළඳ ලකුණ කුමක්ද, තවද ඒ මන්ද?
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මෙතරම් නොකඩවා අත්නෑර දේශනා කරන්නේ මන්ද? ගෙයින් ගෙට වේවා, වීදියේ වේවා, නැතහොත් අනියම් ලෙස කථා බහ කරන විට වේවා, අපගේ ප්‍රසිද්ධ දේව සේවය ගැන අප ලෝකය පුරා ප්‍රසිද්ධියක් උසුලන බව සහතිකය. සුදුසු සෑම අවස්ථාවකදීම, අප අපවම සාක්ෂිකරුවන් ලෙස හඳුන්වා දෙන අතර, අප නිධාන කරගෙන තිබෙන ශුභාරංචිය අන්‍යයන් වෙත දැනුම් දීමට අපි උපායශීලී ලෙස උත්සාහ කරන්නෙමු. ඇත්තෙන්ම, මෙම දේව සේවය අපගේ වෙළඳ ලකුණ බව අපට කිව හැකිය!—කොලොස්සි 4:6.
2 මොහොතකට ඒ ගැන සිතා බලන්න—හොඳින් හැඳ පැළඳ සිටින, පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන් පොත් බෑග්ද ඇතිව කණ්ඩායමක් වශයෙන් තම ප්‍රදේශයේ ගැවසෙනවා ජනයා විසින් දකින විට, සාමාන්‍යයෙන් ඔවුන්ගේ සිතට පළමුව පහළ වන්නේ කුමක්ද? ඒ, “ආ, අන්න කතෝලිකයන් (හෝ ඔර්තඩොක්ස් ලබ්ධිකයන්) නැවත එනවා!’ නැතහොත්, ‘ආ, අන්න පෙන්තකොස්ත (හෝ බැප්ටිස්ට් ආගමේ අය) නැවත එනවා!’ යන සිතිවිල්ලද? නැත. එවැනි ආගම්වල අය පවුල් වශයෙන් ගෙයින් ගෙට සේවයක නොයන බව ජනයා දනිති. ඇතැම් විට සමහර ආගමික කණ්ඩායම්, ඇතැම් ප්‍රදේශවලට වසර දෙකකට කාල පරිච්ඡේදයක් සඳහා “මිෂනාරිවරුන්ව” යවන නමුත්, ඔවුන්ගේ සභා ලැයිස්තුවල සිටින සාමාජිකයන් එවැනි දේව සේවයක සහභාගි වන්නේ නැත. සුදුසු සෑම අවස්ථාවකදීම තම පණිවුඩය අන්‍යයන්ට දැනුම් දීම සම්බන්ධයෙන් තම ජ්වලිතය ගැන ලෝක ව්‍යාප්තව සුප්‍රකටව සිටින්නේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පමණි. තවද ඔවුහු ඔවුන්ගේ සඟරාවන මුරටැඹ හා පිබිදෙව්! සඳහාද ප්‍රසිද්ධ වී සිටිත්.—යෙසායා 43:10-12; ක්‍රියා 1:8.
ක්‍රිස්තියානි ලෝකයේ පූජක පක්ෂයට වෙනස්ව
3, 4. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතියව ජනමාධ්‍යවල බොහෝ විට විස්තර කෙරෙන්නේ කෙලෙසද?
3 ඊට මුළුමනින්ම වෙනස්ව, ඇතැම් රටවල පූජක පංතියේ බොහෝ දෙනෙක්, [කෞමාර කාමිකයන්] ළමුන් සමඟ ලිංගික අනාචාරයේ යෙදෙන්නන්, දුරචාර රැවටිලිකාරයන් සහ වංචනිකයන් බවට පුවත් වාර්තා නැවත නැවතත් හෙළි කොට තිබේ. ඔවුන්ගේ මාංසයේ ක්‍රියා සහ ඔවුන්ගේ අතිසුඛෝපභෝගී ජීවන රටාව සියල්ලන්ටම පැහැදිලි ලෙස පෙනෙන්ට තිබේ. එක් සුප්‍රකට ගීත රචකයෙක්, තමාගේ එක් ගීතයක තේමාවේ මැනවින් එම අදහස ප්‍රකාශ කර සිටියේ, “යේසුස්වහන්සේ සිය රූපවාහිනී වැඩසටහන තුළ පෙනී සිටින විට රොලෙක්ස් [ඉතා මිල අධික රන්] අත් ඔරලෝසුවක් පළඳීද?” යනුවෙනි. ඔහු මෙම ප්‍රශ්න ඇසුවේය: “යේසුස්වහන්සේ පොළොවට නැවත ආවා නම්, උන්වහන්සේ දේශපාලකයෙක් වනු ඇත්ද? උන්වහන්සේගේ දෙවෙනි නිවස තිබෙන්නට යන්නේ, පාම් ස්ප්රිංස්හිදීද [කැලිෆෝනියාවේ ධනවත් ප්‍රජාවක්] තවද උන්වහන්සේ තම ධන සම්පත් සඟවන්නට උත්සාහ කරාවිද?” යාකොබ්ගේ වචන කොතරම් යෝග්‍යද: “ඔබ මෙලොව කම්සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තරකරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල්යැවුවහුය.”—යාකොබ් 5:5, න.අ.; ගලාති 5:19-21.
4 පූජක පංතිය දේශපාලකයන් සමඟ ළඟින් කටයුතු කිරීම, දේශපාලන අපේක්ෂකයන් ලෙස මැතිවරණවලට පවා සහභාගිවීම, ඔවුන් නවීන දින ලියන්නන් හා ඵරිසිවරුන් බවට විදහාපායි. ඒ අතරම, එක්සත් ජනපදය හා කැනඩාව වැනි රටවල, පූජක පංතිය දරුවන් සහ වැඩිහිටි අය සමඟ කරන අනාචාර හැසිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව නඩුකීම හා විනිශ්චය කටයුතුවලට වියදම් කිරීම නිසා එම ආගම්වල භාණ්ඩාගාර සිඳී යමින් තිබේ.—මතෙව් 23:1-3.
5. ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතිය “විශ්වාසවූ නුවණ ඇති දාසයා” නොවන බවට ඔප්පු කර ඇත්තේ මන්ද?
5 යේසුස්වහන්සේගේ දවස්වල සිටි පූජක පංතියට නිවැරදි ලෙස මෙසේ කීමට උන්වහන්සේට හැකි විය: “ලියන්නෙනි, ඵරිසිවරුනි, වංචාකාරවූ [කුහක වූ, NW] නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා සුදුකළ සොහොන් ගෙවලට සමානය, ඒවා පිටින් ලක්ෂණව [අලංකාරව, NW] පෙනෙන නුමුත් ඇතුළේ මිනීඇටවලින්ද සියලු අපවිත්‍රකමෙන්ද පිරී තිබේ. එසේම නුඹලාත් පිටතින් මනුෂ්‍යයන්ට ධර්මිෂ්ඨව පෙනෙන්නහුය, නුමුත් ඇතුළතින් වංචාවෙන්ද අයුතුකමෙන්ද [කුහකකමින්ද නොපනත්කමින්ද, NW] පිරී සිටින්නහුය.” මෙසේ, කතෝලික හෝ වේවා, රෙපරමාදු හෝ වේවා, ඔර්තඩොක්ස් හෝ වේවා, නැතහොත් කිසිම ආගමික නිකායකට අයත් නොවන කණ්ඩායමක් හෝ වේවා, දෙවියන්වහන්සේ ශුභාරංචිය දේශනා කිරීමේ බලය ක්‍රිස්තියානි ලෝකයේ පූජක පංතියට දී නැත. පුරෝකථනය කරනු ලැබූ “විශ්වාසවූ නුවණ ඇති දාසයා” තමන් බව ඔවුන් ඔප්පු කර නැත.—මතෙව් 23:27, 28; 24:45-47.
පළමුකොට ශුභාරංචිය දේශනා කළ යුත්තේ මන්ද?
6. ඉතා ඉක්මනින් සිදුවෙන්ට තිබෙන්නේ කිනම් සිදුවීම්ද?
6 සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීමට යේසුස්වහන්සේ දුන් ආඥාව සඳහන් සිය නිශ්චිත අනුවාදයේ, “පළමුකොට” යන වදන යොදා ගන්නේ මාර්ක් පමණි. (මාර්ක් 13:10; සසඳන්න මතෙව් 24:14.) ජේ. බී. ෆිලිප්ස් විසින් සම්පාදනය කරන ලද අනුවාදයේ මෙසේ කියවේ: “අවසානය පැමිණීමට පෙර, සුබ අස්න සියලු ජාතීන්ට දේශනා කරනු ලැබිය යුතුය.” මෙහි “පළමුකොට” යන ක්‍රියා විශේෂණ යෙදුමෙන් අඟවන්නේ, අනෙක් සිද්ධීන් සිදුවන්නේ, ලෝක ව්‍යාප්ත එවැන්ජලිස්ත කාර්යයෙන් පසුව බවයි. පොරොන්දු වී ඇති මහත් පීඩාව සහ නව ලෝකය කෙරෙහි ක්‍රිස්තුස්වහන්සේගේ ධර්මිෂ්ඨ පාලනය මීට ඇතුළත් වනු ඇත.—මතෙව් 24:21-31; එළිදරව් 16:14-16; 21:1-4.
7. පළමුකොට ශුභාරංචිය දේශනා කරනු ලැබීමට දෙවියන්වහන්සේට වුවමනා වී ඇත්තේ මන්ද?
7 එසේ නම්, පළමුකොට ශුභාරංචිය දේශනා කරනු ලැබීමට දෙවියන්වහන්සේට වුවමනා වී ඇත්තේ මන්ද? එක් හේතුවක් නම්, උන්වහන්සේ ප්‍රේමයේ, යුක්තියේ, ප්‍රඥාවේ සහ බලයේ දෙවිකෙනෙකු වීමය. මතෙව් 24:14 සහ මාර්ක් 13:10හි වාර්තා කර ඇති යේසුස් වහන්සේගේ ප්‍රකාශන ඉෂ්ට වීම තුළ, යෙහෝවඃවහන්සේගේ මෙම ගුණාංගවල චමත්කාරජනක විදහා පෙන්වීමක් අපට දැක ගත හැකිය. අපි මෙම ගුණාංග එකිනෙක කෙටියෙන් පිරික්සා බලා, ඒවා ශුභාරංචිය දේශනා කිරීමට සම්බන්ධ වී ඇත්තේ කෙසේදැයි බලමු.
ශුභාරංචිය සහ යෙහෝවඃවහන්සේගේ ප්‍රේමය
8. ශුභාරංචිය දේශනා කිරීම, දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ පිළිබිඹු කිරීමක් වන්නේ කෙසේද? (1 යොහන් 4:7-16)
8 ශුභාරංචිය දේශනා කිරීම, දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබිඹු කරන්නේ කෙසේද? සියල්ලටම පළමුවෙන්, එය වනාහි යම් එක් වර්ගයකට හෝ කණ්ඩායමකට විශේෂයෙන්ම අරමුණු කළ පණිවුඩයක් නොවේ. ඒ වනාහි “සියලු ජාතීන්” උදෙසා ශුභාරංචිය වේ. දෙවියන්වහන්සේ මිනිස් පවුලට කෙතරම් ප්‍රේම කරනවාද කිවතොත්, උන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන්ව මිදීමේ මිල පූජාවක් වශයෙන් පොළොවට එවුවේ, එක් වර්ගයක් උදෙසා නොව, නමුත් සියලු මිනිස්වර්ගයාගේ පව් උදෙසාය. ප්‍රේරිත යොහන් මෙසේ ලීවේය: “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. මක්නිසාද දෙවියන්වහන්සේ පුත්‍රයාණන් ලෝකයට එවුවේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව ලෝකයා උන්වහන්සේ කරණකොටගෙන ගළවනු ලබන පිණිසය.” (යොහන් 3:16, 17) ශුභාරංචිය, එනම් සාමයේ, එක්සත්බවේ හා යුක්තියේ නව ලෝකයක් පිළිබඳ පොරොන්දු කරන පණිවුඩය, දෙවියන්වහන්සේගේ ප්‍රේමය පිළිබඳ සාක්ෂියක් බව ස්ථිරය.—2 පේතෘස් 3:13.
ශුභාරංචිය සහ යෙහෝවඃවහන්සේගේ බලය
9. ශුභාරංචිය දේශනා කිරීම සඳහා, යෙහෝවඃවහන්සේ, ක්‍රිස්තියානි ලෝකයේ ප්‍රබල ආගම් යොදා ගෙන නැත්තේ මන්ද?
9 ශුභාරංචිය දේශනා කිරීම මගින් යෙහෝවඃවහන්සේගේ බලය විදහා පානු ලබන්නේ කෙසේද? මෙම බලපැවරුම කරගෙන යෑමට උන්වහන්සේ යොදාගෙන ඇත්තේ කාවද කියා සලකා බලන්න. ඒ, රෝමානු කතෝලික සභාව හෝ ප්‍රධාන පෙළේ රෙපරමාදු නිකායන් වැනි ක්‍රිස්තියානි ලෝකයේ බොහෝ ප්‍රබල ආගමික සංවිධානද? නැත, දේශපාලනයේ නියැලී සිටීම නිසා ඔවුන් එම පැවරුමට නුසුදුස්සන් වී තිබේ. (යොහන් 15:19; 17:14; යාකොබ් 4:4) ඔවුන්ට ඇති සාපේක්ෂ ධන සම්පත් සහ උසස් පාලක පංතිය සමඟ ඔවුන්ට ඇති සම්බන්ධකම්වත්, ඒ කෙරෙහි ඔවුන් කරන බලපෑමවත්, සම්ප්‍රදායන් මත පදනම් වූ ඔවුන්ගේ දේව ධර්මයවත් යෙහෝවඃවහන්සේගේ සිත් ගෙන නැත. දෙවියන්වහන්සේගේ කැමැත්ත කරවා ගැනීමට මිනිස් බලය අවශ්‍ය වී නැත.—සෙකරියා 4:6.
10. දේශනා කිරීම සඳහා, යෙහෝවඃවහන්සේ තෝරාගෙන තිබෙන්නේ කාවද?
10 එය ප්‍රේරිත පාවුල් කොරින්ති සභාවට තම ලිපියෙන් මෙසේ පැවසුවාක් මෙන්ය: “මක්නිසාද සහෝදරයෙනි, නුඹලාගේ කැඳවීම, එනම් මාංසය ලෙස ප්‍රඥාවන්ත බොහෝ දෙනෙක්වත් බලවන්ත බොහෝ දෙනෙක්වත් වංශවත් බොහෝ දෙනෙක්වත් කැඳවනු නොලැබූ බව බලාපල්ලා. නුමුත් දෙවියන්වහන්සේ ප්‍රඥාවන්තයන් ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්සේක; දෙවියන්වහන්සේ ශක්තිමත් දේ ලජ්ජාවට පමුණුවන පිණිස ලෝකයේ දුර්වල දේවල් තෝරාගත්සේක; ඇත්තාවූ දේවල් නැති කරන පිණිස නැති දේවල් වැනි ලෝකයේ පහත් දේවල්ද සුළුකොට සිතනු ලබන දේවල්ද දෙවියන්වහන්සේ තෝරාගත්සේක. එසේ කළේ කොයි මනුෂ්‍යයෙක්වත් දෙවියන්වහන්සේ ඉදිරියෙහි පාරට්ටුකර නොගන්නා පිණිසය.”—1 කොරින්ති 1:26-29.
11. සාක්ෂිකරුවන් අද්විතීය සෙනඟක් වන්නේ, කිනම් සැබෑ කාරණා නිසාද?
11 යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් අතර ඔවුන්ගේ සංවිධානයේ ධනවත් සමාජිකයන් ඉතා ස්වල්ප දෙනෙක් සිටින අතර, සහතිකවම දේශපාලන වශයෙන් ප්‍රබල කිසිවෙක් ඔවුන් අතර නැත. දේශපාලනමය කාරණාවලදී ඔවුන් දැඩි සේ මධ්‍යස්ථව සිටීමෙන් අදහස් කරන්නේ, ඔවුන්ට දේශපාලනික වශයෙන් කිසිම බලපෑමක් කළ නොහැකි බවයි. ඊට වෙනස්ව, මෙම 20වන සියවසේ ආගමික හා දේශපාලනික නායකයන් විසින් දියත් කරන ලද කෲර පීඩාවලට ඔවුන් බොහෝ විට ගොදුරු වී තිබේ. එහෙත්, නාට්සිවාදයේ, පැසිස්ට්වාදයේ, කොමියුනිස්ට්වාදයේ, ජාතිවාදයේ හා බොරු ආගමේ ගෝලයන් විසින් ඔවුන්ට එරෙහිව නඟන ලද වියරු පීඩා අභිබවා සිටින සාක්ෂිකරුවෝ, මුළු ලෝකය පුරා ශුභාරංචිය දේශනා කරමින් සිටිනවා පමණක් නොව, නමුත් සංඛ්‍යාවෙන් පුදුමාකාර ලෙස ඉහළ යමින් සිටිති.—යෙසායා 60:22.
12. සාක්ෂිකරුවන් සාර්ථක වී ඇත්තේ මන්ද?
12 සාක්ෂිකරුවන් තමන්ගේ සාර්ථකත්වයට හේතු සාධකය හැටියට සලකන්නේ කුමක්ද? යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පොරොන්දු වූ සේක: “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුය.” මේ අනුව, ඔවුන්ගේ සාර්ථකත්වය සඳහා හරියටම මූලාශ්රයවන්ට යන දෙය කුමක්ද? යේසුස්වහන්සේ කීසේක්: “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] නුඹලා කෙරෙහි පැමිණිකල නුඹලා බලය ලබන්නහුය.” ඒ හා සමානව අදදිනත්, ලොව පුරා සාක්ෂිකරුවන්ගේ සාර්ථකත්වයේ මූලික සාධකය වී ඇත්තේ මිනිස් හැකියාව නොව, දෙවියන්වහන්සේගෙන් පැමිණෙන බලයයි. පෙනෙන විදිහට දුර්වලම මිනිසුන්ව යොදා ගැනීම මගින්, දෙවියන්වහන්සේ, ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම අධ්‍යාපනික වැඩය කරමින් සිටිනසේක.—ක්‍රියා 1:8; යෙසායා 54:13.
ශුභාරංචිය සහ යෙහෝවඃවහන්සේගේ ප්‍රඥාව
13. (අ) සාක්ෂිකරුවන් ස්වේච්ඡාවෙන් සහ ගෙවීමක් රහිතව සේවය කරන්නේ මන්ද? (ආ) යෙහෝවඃවහන්සේ සාතන්ගේ සරදමට පිළිතුරු දී ඇත්තේ කෙසේද?
13 ශුභාරංචිය දේශනා කරනු ලබමින් තිබෙන්නේ ස්වේච්ඡා සේවකයන් විසිනි. යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “නුඹලා නොමිලයේ ලැබුවහුය, නොමිලයේ දීපල්ලා.” (මතෙව් 10:8) එමනිසා, යෙහෝවඃ වහන්සේගේ සාක්ෂිකරුවන්ගෙන් කිසිවෙක් දෙවියන්වහන්සේට සේවය කිරීම නිසා වැටුපක් ලබන්නේවත්, ඔවුන් එවැනි වැටුපක් සොයන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම, ඔවුන්ගේ රැස්වීම්වලදී, ඔවුන් මුදල් එකතු කරන්නේද නැත. ඔවුහු තමන්ගේ පරාර්ථකාමී කැපවූ සේවය මගින් දෙවියන්වහන්සේට චෝදනා කරන්නා වන සාතන් නමැති යක්ෂයාට පිළිතුරු ලබාදීමට සතුටු වෙති. මිනිසුන් පරාර්ථකාමී චේතනාවෙන් යුතුව දෙවියන්වහන්සේට සේවය නොකරනු ඇතැයි, දෙවියන්වහන්සේගේ මෙම විරුද්ධකාර ආත්මය ඇඟවීමක් කර තිබේ. යෙහෝවඃවහන්සේ ස්වකීය ප්‍රඥාව තුළින්, සාතන්ගේ මෙම සරදමට කිසිම අයුරකින් ප්‍රතික්ෂේප කළ නොහැකි පිළිතුරක් දී තිබේ—එනම්, මිලියන ගණනක් ක්‍රිස්තියානි පක්ෂපාත සාක්ෂිකරුවන් ගෙයින් ගෙට, වීදිවල හා අනියම් ලෙස ශුභාරංචිය දේශනා කිරීමය.—යෝබ් 1:8-11; 2:3-5; හිතෝපදේශ 27:11.
14. පාවුල් විසින් යොමු දැක්වෙන, ‘සඟවා තිබූ ප්‍රඥාව’ කුමක්ද?
14 ශුභාරංචිය දේශනා කිරීමෙහිලා දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ තවත් සාක්ෂියක් නම්, රාජ්‍යය පිළිබඳ පොරොන්දුවම දෙවියන්වහන්සේගේ ප්‍රඥාවේ පිළිබිඹු කිරීමක් වීමයි. ප්‍රේරිත පාවුල් මෙසේ ලීවේය: “එසේවී නුමුත් සම්පූර්ණ [මේරූ, NW] තැනැත්තන් අතරෙහි අපි ප්‍රඥාව කථාකරමු. එනම්, මේ ලෝකයේ [දේවල පිළිවෙළේ, NW], නොහොත් මේ ලෝකයේ [දේවල පිළිවෙළේ, NW] නැතිවීයන මුලාදෑනීන්ගේ ප්‍රඥාවක් නොව, අපගේ ගෞරවය පිණිස ලෝකවලට [දේවල පිළිවෙළට, NW] ප්‍රථම දෙවියන්වහන්සේ විසින් කලින් නියමකරනලද්දාවූ, සඟවා තුබූ, දෙවියන්වහන්සේගේ ප්‍රඥාව අභිරහසක් ලෙස කථාකරමු.” එම ‘සඟවා තිබූ ප්‍රඥාව’ යන්නෙන් යොමු දක්වන්නේ, ඒදන්හි ආරම්භ වූ කැරැල්ල නිමාවට පත්කිරීම සඳහා වූ දෙවියන්වහන්සේගේ ප්‍රඥාවන්ත මාර්ගයයි. එම පරිශුද්ධ රහසේ ප්‍රඥාව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචියේ කේන්ද්‍රය වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ එළිදරව් කරන ලදි.a—1 කොරින්ති 2:6, 7; කොලොස්සි 1:26-28.
ශුභාරංචිය සහ දෙවියන්වහන්සේගේ යුක්තිය
15. යෙහෝවඃවහන්සේ වනාහි යුක්තියේ දෙවිකෙනෙකු බව අප දන්නේ කෙසේද? (ද්විතීය කථාව 32:4; ගීතාවලිය 33:5)
15 මාර්ක් 13:10හි සඳහන් “පළමුකොට” යන වදනෙහි වැදගත්කම අප විශේෂයෙන් දකින්නේ, යුක්තිය සම්බන්ධයෙන්ය. යෙහෝවඃවහන්සේ වනාහි ප්‍රේමනීය කරුණාවෙන් යුත්, යුක්තියේ දෙවි කෙනෙකි. ස්වකීය ප්‍රොපේත යෙරෙමියා තුළින් උන්වහන්සේ මෙසේ පවසනසේක: “පාරට්ටුකරගන්නා පොළොවෙහි [ප්‍රේමනීය, NW] කරුණාවත් විනිශ්චයත් [යුක්තියත්, NW] ධර්මිෂ්ඨකමත් පවත්වන ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මම යයි තේරුම්ගෙන, මා දැනගැනීම නම්වූ කාරණය ගැනම පාරට්ටුකරගනීවා. මක්නිසාද මා ප්රියවන්නේ මේ දේවලටයයි ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කියනසේක.”—යෙරෙමියා 9:24.
16. යුක්තිය ඉටු කිරීමට, පළමුව අනතුරු ඇඟවීමක් දිය යුතු බව උපහැරණය කළ හැක්කේ කෙසේද?
16 ශුභාරංචිය දේශනා කිරීම සම්බන්ධයෙන් යෙහෝවඃවහන්සේගේ යුක්තිය දක්නට තිබෙන්නේ කෙසේද? එය අපි මෙසේ උපහැරණය කරමු, දවසේ අග භාගයේ නිවසට අමුත්තන් ආවිට අනුභව කිරීම සඳහා ප්‍රණීත චොකලට් කේක් එකක් සාදා ඇති මවක් සැලකිල්ලට ගන්න. එය අනුභව කළ යුත්තේ කොයි වේලාවේද යන්න ගැන තම දරුවන්ට කිසිවක් නොපවසා ඇය එය මුළුතැන්ගෙයි මේසය මත තබා තිබේ නම්, දරුවන්ගේ ස්වාභාවික නැඹුරුවාව කුමක් වනු ඇත්ද? අපි සියල්ලෝම එක් කලක දරුවන් වී සිටියෙමු! යම් කුඩා දරුවෙක් එයට තම ඇඟිල්ල ගසනවා සහතිකය! දැන්, එම මව ඒ ගැන කලින්ම අවවාද කිරීමට අසමත්වී සිටියා නම්, හික්මවීම සඳහා ඈට තිබෙන්නේ දුර්වල පදනමකි. අනෙක් අතට, එම කේක් එක අනුභව කිරීමට තිබෙන්නේ දවසේ අග භාගයේ නිවසට අමුත්තන් පැමිණි විටය, එමනිසා ඊට අත තබන්නට එපාය කියා ඇය පැහැදිලිව පවසනවා නම්, ඇය කලින් අවවාද කර තිබෙන බව පැහැදිලිය. යම් දරුවෙක් ඊට අකීකරු වේ නම්, ස්ථිර යුක්තිසහගත ක්‍රියා මාර්ගයක් ගැනීමට ඇයට අයිතියක් තිබේ.—හිතෝපදේශ 29:15.
17. වර්ෂ 1919 සිට යෙහෝවඃවහන්සේ විශේෂාකාරයකින් යුක්තිය විදහාපෙන්වා තිබෙන්නේ කෙසේද?
17 ස්වකීය යුක්තිය තුළ සිටින යෙහෝවඃවහන්සේ, පළමුව අවශ්‍ය අනතුරු ඇඟවීමක් නොකර, මෙම දුෂ්ට පිළිවෙළට එරෙහිව යුක්තිසහගත විනිශ්චමය ක්‍රියා මාර්ගයක් ගන්නට යන්නේ නැත. එමනිසා, විශේෂයෙන් 1919 සිට, පළමු ලෝක යුද්ධයෙන් “ගාවිනා” පටන් ගෙන තිබුණායින් පසු, යෙහෝවඃවහන්සේ ස්වකීය සේවකයන් ජ්වලිතව ශුභාරංචිය ප්‍රකාශ කිරීම සඳහා පොළොව පුරා යෑමට සලස්වා තිබේ. (මතෙව් 24:7, 8, 14) මෙම අද්විතීය අනතුරු ඇඟවීම ගැන යුක්තිසහගත ලෙස තමුන්ට කිසි දැනුමක් නැති බව ජාතීන්ට පැවසිය නොහැක.
ලෝකය කොතරම් පුළුල් ලෙස ආවරණය කර තිබේද?
18. (අ) ඈත ප්‍රදේශවල සාක්ෂිකරුවන්ගේ වැඩකටයුතු සම්බන්ධව තිබෙන සාක්ෂි කවරේද? (ආ) ඔබ ඒ පිළිබඳව දන්නා වෙනත් උදාහරණ මොනවාද?
18 මෙම ලෝක ව්‍යාප්ත අධ්‍යාපන කර්තව්‍යයේ බලපෑමෙන් යුත් බවට ඇඟවීමක්, ලාස්ට් ප්ලේසස්—ඒ ජර්නි ඉන් ද නෝර්ත් නමැති පොතෙන් දැකිය හැක. ස්කොට්ලන්තයට උතුරින් ෂෙට්ලන්ඩ් දූපත්වල එක් දූපතක් වන, හුදෙකලාවේ පිහිටි ෆ්යූල දූපත, තමා මුහුදු සිතියමෙන් පරීක්ෂා කළ විට, “නැව් මුහුදුබත්වීම්, විශාල ගල් පර්වත, පර්වත ගැටි සහ නොයෙක් බාධක මෙම දූපත අවට පුරාම මුහුදේ” තිබූ බව එම සිතියමෙන් ඇඟවූයේ යයි එම පොතේ කතුවරයා සඳහන් කරයි. මේවායින්, “මෙහි පැමිණෙන නාවිකයන්ට ඉවත්වී සිටීමට අනතුරු ඇඟවීමක් කළේය. ෆ්යූල දූපත අවට මුහුද, අතිභයංකර මුහුදු බෝම්බවලින් ගහණ වී තිබූ අතර, නාවිකයන්ට, විනෝද සවාරි යන්නන්ට, තවද මහජන සේවාවන් සඳහා වූ මහා රැජිනගේ භට කණ්ඩායමට පවා එහි යෑම භය උපදවන්නක් විය. නමුත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට එය එසේ නොවූ බව මම දින කිහිපයක් ඇතුළත දැන ගතිමි.” ඔහු තවදුරටත් මෙසේ ලීවේය: “තුන්වන ලෝකයේ විශාල නගරවල මුඩුක්කුවල අස්සක් මුල්ලක් නෑර ඔවුන් තම ආගමට හරවා ගැනීම සඳහා ජනයාව සොයනවා මෙන්ම, ඈත එපිට ෆ්යූලහි පවා, ඔවුන් විසින් ඔවුන්ගේ ආගමට හරවා ගැනීමට වෑයම් කොට තිබේ.” එහි වැසියෙකු වන ඇන්ඩෲට, මීට මාස කිහිපයකට පමණ ඉහත තම දොර අසල පඩියේ දමා ගොස් තිබූ මුරටැඹ සඟරාවේ පිටපතක් තිබූ බව මෙම කතුවරයා පිළිගත්තේය. අනතුරුව ඔහු මෙසේද එකතු කළේය: “සතියකට පමණ පසු, ෆැරෝ [උතුරු මුහුදු දූපත්වල] [ඩේනිෂ් බසින් පිබිදෙව්!] පිටපතක් තිබෙනවා මට දක්නට ලැබෙනවා, එමෙන්ම මාස දෙකකට පසු, [ඩේනිෂ් බසින් මුරටැඹ] කලාපයක්, ග්‍රීන්ලන්තයේ නූක්හි තිබෙනවා දක්නට ලැබෙනවා.” ලෝකයේ එම උතුරුකර ප්‍රදේශවල යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ ජ්වලිත ක්‍රියාකාරකම් ගැන කොතරම් ව්‍යක්ත සාක්ෂියක්ද!
නොකඩවා අත්නෑර දේශනා කිරීමට සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ කුමක්ද?
19, 20. (අ) නොකඩවා දේශනා කිරීමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව පොලඹවන්නේ කුමක්ද? (ආ) මීළඟට පිළිතුරු ලැබෙන්නේ කිනම් ප්‍රශ්නවලටද?
19 ඇත්ත වශයෙන්ම, යම් තැනැත්තෙක් කොතරම් කාලයක් සාක්ෂිකරුවෙකුව සිටියත්, ගෙයින් ගෙට ගොස් අමුත්තන්ට දේශනා කිරීම පහසු කාර්යයක් නොවේ; මෙය නොකඩවා කිරීම සඳහා මෙම ක්‍රිස්තියානීන්ව පොලඹවන්නේ කුමක්ද? එය නම්, ඔවුන්ගේ ක්‍රිස්තියානි කැපවීම සහ තමන් වගකීමක් දරන බවට ඔවුන් තුළ ඇති හැඟීමයි. පාවුල් මෙසේ ලීවේය: “මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.” සැබෑ ක්‍රිස්තියානීන්ට තිබෙන්නේ ජීවිත ගළවන පණිවුඩයක්ය, එබැවින්, ඔවුන් එය තමන් ළඟම තබාගෙන සිටින්නේ කෙසේද? අන්තරාවන් තිබෙන කාලයේදී ඒ ගැන අනතුරු ඇඟවීමට අසමත්වීමෙන් ඇතිවන ලේ වරද සහිතභාවය පිළිබඳ ප්රතිපත්තියම, ශුභාරංචිය දේශනා කිරීම සඳහා ඔවුන්ව පොලඹවන හේතුවකි.—1 කොරින්ති 9:16; එසකියෙල් 3:17-21.
20 එසේ නම්, ශුභාරංචිය දේශනා කරනු ලබමින් තිබෙන්නේ කෙසේද? සාක්ෂිකරුවන්ගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතු සාධකය කුමක්ද? ඔවුන් සැබෑ ආගම වශයෙන් හඳුනාගැනීමට උපකාරවත් වන්නේ ඔවුන්ගේ දේව සේවයේ හා සංවිධානයේ කිනම් අංගද? අපගේ මීළඟ ලිපිය එම ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇත.
[පාදසටහන්වල]
a දෙවියන්වහන්සේගේ ප්‍රඥාව සහ “පරිශුද්ධ රහස” පිළිබඳව තවදුරටත් පැහැදිලි කරගැනීම සඳහා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක් ඉන්ක්., මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස් 2 වෙළුම, 1190 පිටුව බලන්න.
ඔබට මතකද?
◻ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පූජක පංතියෙන් වෙනස් බව දැක්වෙන්නේ කුමකින්ද?
◻ දේශනා කිරීම, දෙවියන්වහන්සේගේ ප්‍රේමය, බලය සහ ප්‍රඥාව පිළිබිඹු කරන්නේ කෙසේද?
◻ ශුභාරංචිය දේශනා කිරීම, දෙවියන්වහන්සේගේ යුක්තිය පිළිබිඹු කරන්නේ කෙසේද?
◻ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේව සේවය නොකඩවා අත්නෑර කරගෙන යෑමට පොලඹවන්නේ කුමක්ද?
[15වන පිටුවේ පින්තූර]
ජනයා කොතරම් හුදෙකලාවේ ජීවත්ව සිටියද, ඔවුන් කරා යෑමට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට වුවමනාය