පරිණාමවාදය නඩු විභාගයකට ලක්වේ
පරිණාමයක් සිදුවූයේ යයි කියා සිටි අය ජෛව සම්භවය පිළිබඳව පුනරීක්ෂණයක් කරන්නැයි උද්ඝෝෂණ කරති
ඔබ සාපරාධී නඩු විභාගයක ජූරි සභිකයෙක් යයි සිතන්න. තමාගේ නිර්දෝෂීභාවය විත්තිකරු ප්‍රසිද්ධියේ කියා සිටින අතර, ඔහු වෙනුවෙන් වාචික සාක්ෂි ඉදිරිපත් කරන්නට සාක්ෂිකරුවෝ ඉදිරිපත් වෙති. කෙසේවෙතත්, ඔවුන්ගේ සාක්ෂිවලට සවන් දෙන අතර, ඒ එක් එක් සාක්ෂිකරුවා එකිනෙකාට පරස්පර විරෝධීව කරුණු දක්වන බව ඔබට පෙනේ. අනතුරුව, විත්ති පක්ෂයේ සාක්ෂිකරුවන්ව විත්ති කූඩුවට යළි කැඳවනු ලබන විට, ඔවුන්ගේ කථාවන් වෙනස් වේ. ජූරි සභිකයෙක් හැටියට, ඔබ ඔවුන්ගේ සාක්ෂිය වැදගත් කොට සලකනු ඇද්ද? චූදිතයා චෝදනාවලින් නිදහස් කිරීමට ඔබ නැඹුරු වනු ඇද්ද? බොහෝ දුරට නැත, මන්දයත් විත්ති පක්ෂයේ ඕනෑම නොගැළපීමක් චූදිතයාගේ විශ්වාස කටයුතුභාවය දුර්වල කරන නිසාය.
පරිණාමවාදය සමඟ තිබෙන තත්ත්වයද එවැනිය. පරිණාමවාදයට පක්ෂව කථා කරමින්, ජෛව සම්භවය පිළිබඳව විවිධාකාර කථා පවසන්නට සාක්කිකරුවෝ සමූහයක් ඉදිරිපත් වී සිටිත්. එහෙත් ඔවුන්ගේ සාක්ෂි අධිකරණයේ සමීප පරීක්ෂාවට ලක් කරනු ලැබූ විට, ඒවා විශ්වාස කටයුතු බව සනාථ වනු ඇද්ද? එම වාදයට පක්ෂව සිටින්නෝ පූර්ණ එකඟත්වයකින් කථා කරන්නෝද?
පරස්පර විරෝධී සාක්ෂි
ජීවය පටන් ගත්තේ කෙසේද? ඇතැම්විට වෙනත් කිසිම ප්‍රශ්නයක් මෙතරම් අනුමාන කොට සිතා බැලීමක් පොලඹවමින් මෙතරම් වාද කිරීමක් අවුස්සා නැත. එහෙත් මතභේදය පවතින්නේ නිකම්ම පරිණාමයට එරෙහිව මැවීම සමඟ නොවේය; විරුද්ධත්වයෙන් වැඩි ප්‍රමාණයක් පවතින්නේ පරිණාමවාදීන් අතරමය. ඇත්ත වශයෙන්ම පරිණාමයේ සෑම සියුම් කරුණක්ම වාගේ—එය සිදුවූ ආකාරය, එය පටන් ගත් තැන, එය ආරම්භ කළේ කවුද හෝ කුමක්ද, එමෙන්ම එම ක්‍රියාවලිය සඳහා ගතවූ කාලය—උණුසුම් විවාදයට ලක්ව පවතී.
වසර ගණනාවක් පුරා පරිණාමවාදීන් කියා සිටියේ ජීවය ද්‍රව ස්කන්ධයක් වූ උණුසුම් ඓන්ද්‍රීය “සූපයක” පටන් ගත් බවය. සාගරයේ පෙන ජීවය නිපදවන්නට ඇති බව ඇතැමෙක් දැන් විශ්වාස කරති. මුහුද යට උණුදිය උල්පත් ජීවය ආරම්භ වූ බවට යෝජිත තවත් ස්ථානයකි. ඇතැමෙක් පිළිගත් මූල සත්‍යය වශයෙන් නියම කරන්නේ පොළොවට පැමිණි උල්කාවන් මතින් පණ ඇති ජීවීන් පැමිණි බවය. තවත් අය අනුමානයෙන් කියා සිටින්නේ, ග්‍රහාංශු සමහරක් පොළොවට කඩා වැටී වායුගෝලයේ වෙනස්කම් සිදු කළ අතර, එම ක්‍රියාවලිය තුළ ජීවය ආරම්භ කළ බවය. “විශාල යකඩ සහිත ග්රහාංශුවක් පොළොවට වැදුණොත්, සිත්ගන්නා දේවල් සිදුවනු ඔබට නිශ්චිත වශයෙන්ම දකින්නට ලැබෙනවා ඇත” කියා එක් සමීක්ෂකයෙක් පවසයි.
ජීවයේ ආරම්භයේ ස්වභාවයද යළි සැලකිල්ලට භාජන වෙමින් පවතී. “ජීවය හට ගත්තේ වරක් උපකල්පනය කරන ලද ආකාරයට නිශ්චල, හිතකර තත්ත්වයන් යටතේ නොව, ගිනිකඳු මගින් මෙන්ම ධූමකේතු හා ග්රහාංශුවලින් නිතර අනතුරට පත් කරන ලද ග්රහවස්තුවක අතිඝෝර අහසක් යට” යයි ටයිම් සඟරාව පවසයි. එවන් අවුල්සහගත තත්ත්වයන් මැද ජීවය ඇතිවීම සඳහා, කලින් කල්පනා කළ පමණට වඩා අඩු කාල රාමුවක් තුළ මුළු ක්‍රියාවලියම සිදුවන්නට ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ දැන් පවසති.
දෙවියන්වහන්සේ—“උන්වහන්සේ පවතින සේක් නම්”—මෙම චිත්‍රයට ගැළපෙන ආකාරය සම්බන්ධයෙන් විද්‍යාඥයන් තුළ ඇත්තේද එකඟ නොවන මතයන්ය. මැවුම්කරුවෙකුගේ මැදිහත්වීමක් නොමැතිව ජීවය ඇතිවූ බව සමහරෙක් පවසන අතර, තවත් අය යෝජනා කරන්නේ දෙවියන්වහන්සේ මෙම ක්‍රියාවලිය ආරම්භ කොට ජීවය ප්‍රවර්ධනය වීමේ කාර්ය භාරය පරිණාමයට භාර කළ බවය.
ජීවිතය ආරම්භවූ පසු, පරිණාමය සිදුවූයේ කෙසේද? මෙහිදී පවා, කථා එකිනෙකට පටහැනිය. දි ඔරිජින් ඔෆ් ස්පීසීස් (ජාති සම්හවය) නම් පොත ප්‍රකාශයට පත් කිරීමෙන් ශතවර්ෂයකට පසු, එනම් 1958දී, පරිණාමවාදියෙක් වන ශ්‍රීමත් ජූලියන් හක්ස්ලි මෙසේ පැවසුවේය: “ඩාවින්ගේ විශිෂ්ට සොයාගැනීම, එනම් ස්වාභාවික වරණය පිළිබඳ සර්වලෝක ප්‍රතිපත්තිය, ප්‍රධාන පරිණාමික වෙනස්කම් සිදුකළාවූ එකම හේතුව හැටියට ස්ථිර වශයෙන් හා අවසාන වශයෙන් තහවුරු කර ඇත.” කෙසේවෙතත්, පරිණාමවාදියෙක් වන මයිකල් රූස් ලිව්වේ ඉන් වසර විසිහතරකට පසු, මෙසේය: “වැඩිවන්නාවූ ජීව විද්‍යාඥයන් සංඛ්‍යාවක් . . . තර්ක කර සිටින්නේ, ඩාවින්ගේ ප්‍රතිපත්ති මත පදනම් ඕනෑම පරිණාමවාදී න්‍යායක්—විශේෂාකාරයෙන් ස්වභාවික වරණය පරිණාමික වෙනස්කම්වලට මූලික සාධකය හැටියට දකින්නාවූ ඕනෑම වාදයක්—මුළාකරවන ලෙසින් අසම්පූර්ණ බවය.”
පරිණාමවාදයට අනුබල දෙන “ස්ථිර සාධක බොහොමයක්” තිබෙන බව ටයිම් සඟරාව පවසතත්, එය තවදුරටත් පිළිගන්නේ “පරිණාමය වනාහි දෝෂ බොහොමයක් සහිත සංකීර්ණ ප්‍රබන්ධයක් බවත් එම දෝෂ හා අඩු ලුහුඬුකම් පියවිය යුතු ආකාරය විස්තර කරන එකිනෙකට විරුද්ධ මත බහුලව තිබෙන බවත්ය.” මෙම තර්කය ගැන තීරණයක් ගෙන එය අවසන් කර ඇති බව අඟවනවා වෙනුවට, පරිණාමයක් සිදුවූයේ යයි කියා සිටි අයගෙන් සමහරෙක් උද්ඝෝෂණ කර සිටින්නේ ජෛව සම්භවය පිළිබඳව නැවත පරීක්ෂණයක් කරන හැටියටය.
මෙසේ, පරිණාමය සඳහාවූ—විශේෂාකාරයෙන් පරිණාමය අනුව ජීවයේ ආරම්භය සඳහාවූ—තර්කය, පදනම්ව ඇත්තේ ස්ථිරසාර සාක්ෂි මත නොවේය. විද්‍යාඥ ටී. එච්. ජනාබි පවසන ආකාරයට පරිණාමයට පක්ෂව කථා කරන්නන් “ගතවූ වසර ගණනාව පුරා බොහෝ වැරදි සහිත වාදයන් බිහි කිරීම හා අත්හැර දැමීම සිදුකර ඇති අතර, විද්‍යාඥයන්ට මෙතෙක් යම් වාදයක් මත එකඟ වීමට නොහැකිවී ඇත.”
සැලකිය යුතු ලෙසින්, චාල්ස් ඩාර්වින් මෙවන් විරුද්ධත්වයක් අපේක්ෂා කළේය. දි ඔරිජින් ඔෆ් ස්පීසීස් (ජාති සම්භවය) නම් පොතේ හැඳින්වීමේ ඔහු මෙසේ ලිව්වේය: “මෙම පොතේ, සාකච්ඡාවට භාජන කොට ඇති එක කරුණක්වත් පැහැදිලිව ගෙනහැර දැක්විය නොහැකි බව මම හොඳින් දනිමි, බොහෝවිට මා එළඹි නිගමනවලට වඩා සහමුලින්ම ප්‍රතිවිරුද්ධ නිගමනවලට එනිසා එළඹෙන බව පෙනේ.”
ඇත්ත වශයෙන්ම, එවන් එකිනෙකට පටහැනි සාක්ෂි, පරිණාමවාදයේ විශ්වාසවන්තභාවය පිළිබඳ ප්‍රශ්න මතු කරයි.
පරිණාමය බුද්ධිමත් තේරීම වන්නේද?
එහි මූලාරම්භයේ පටන්, පරිණාමවාදය “බොහෝ දෙනෙකුගේ සිත් ගත්තේ විශේෂ සෘෂ්ටි මතයට වඩා වැඩියෙන් එය සැබවින්ම විද්‍යාත්මක බව පෙනෙන්නට තිබූ නිසා” යයි මයිල්ස්ටෝන්ස් ඔෆ් හිස්ටොරි නම් පොත පවසයි.
එපමණක් නොව, ඇතැම් පරිණාමවාදීන් තමන්ගේ මතයෙහිම එල්බගෙන කරන ප්‍රකාශයන් භය ජනිත කරන්නටද පුළුවන. උදාහරණයක් වශයෙන්, විද්‍යාඥ එච්. එස්. ෂෙල්ටන් ස්ථිරව ප්‍රකාශ කර සිටින්නේ විශේෂ සෘෂ්ටිය පිළිබඳ සංකල්පය “බැරූරුම් ලෙස සලකා බැලීමටවත් නොවටිනා තරම් මෝඩ යමක්” බවය. ජීව විද්‍යාඥ රිචඩ් ඩෝකින්ස් ගරු සරු නැතිව ප්‍රකාශ කර සිටින්නේ: “පරිණාමය විශ්වාස නොකරන බව ප්‍රකාශ කරන යමෙක් ඔබට හමුවුවහොත්, එම තැනැත්තා අඥාන, මෝඩ නැතහොත් සිහිවිකල් තැනැත්තෙකි.” සමානාකාරයෙන්, මහාචාර්ය රෙනේ ඩ්යූබෝ මෙසේ පවසයි: “විශ්වලෝකයේ ඇති සෑම දෙයක්ම ප්‍රවර්ධනය වූයේ එමෙන්ම ප්‍රවර්ධනය වෙමින් පවතින්නේ පරිණාමීය ක්‍රියාවලිය තුළින් බව බුද්ධිමත් අයගෙන් වැඩිදෙනෙක් දැන් සත්‍යයක් හැටියට පිළිගනිත්.”
මෙම ප්රකාශයන්ගෙන් පෙනී යන්නේ යම් ප්‍රමාණයක බුද්ධියක් ඇති ඕනෑම කෙනෙක් පරිණාමය එකහෙළා පිළිගනු ඇති බවය. මන්දයත්, එසේ කිරීමෙන් අදහස් වන්නේ කෙනෙක් “මෝඩ” තත්ත්වයක සිටිනවා වෙනුවට “බුද්ධිමත්ව” සිටින බවය. එහෙත්, පරිණාමවාදයට පක්ෂව කථා නොකරන උසස් අධ්‍යාපනයක් ලද පුරුෂයෝ හා ස්ත්‍රීහුද සිටිත්. “පෞද්ගලික සැකයන් ඇති විද්‍යාඥයෝ බොහෝ දෙනෙක් මට හමුවූ අතර ඩාවින්ගේ පරිණාමවාදි න්‍යාය කිසිසේත් විද්‍යාත්මක න්‍යායක් නොවන බවට ඔප්පු වී තිබුණු බව පවා පැවසීමට ඉන් අතළොස්සක් ධෛර්යය ඇතුව සිටියා” යයි ද නෙක් ඔෆ් ද ජිරාෆ් නම් සිය පොතේ ෆ්‍රැන්සිස් හිචිං ලියයි.
උසස් ලෙස පිළිගනු ලබන බ්‍රිතාන්‍යයේ වෙසෙන විද්‍යාඥ චන්ද්‍රා වික්‍රමසිංහ, සමාන ස්ථාවරයක් ගනී. “ඩාවින්ගේ පරිණාමවාදයේ මූලිකව පිළිගත් මතයන් කිසිවක් සඳහා සාක්ෂි නොමැත,” යයි ඔහු පවසයි. “එය වනාහි 1860දී ලෝකය යටත් කර ගත් සමාජ බලවේගයක් වූ අතර එවක් පටන් විද්‍යාව සඳහා එය මහත් විපතක් සිදුකොට ඇති බව මගේ කල්පනාවයි.”
පරිණාමවාදීන් විසින් ඉදිරිපත් කරන ලද තර්ක ටී. එච්. ජනාබි පරීක්ෂා කරනු ලැබුවේය. “විශ්වාස කරන්නට අපව පොලඹවා ඇති දෙයට වඩා තත්ත්වය වෙනස් බව මා සොයාගත්තා” යයි ඔහු පවසයි. “ජීව සම්භවය වැනි එතරම් සංකීර්ණ වාදයකට අනුබල දීමට තිබෙන සාක්ෂි ඉතා දුර්ලභය එමෙන්ම අසම්පූර්ණය.”
මෙසේ, පරිණාමවාදයට විරෝධය පළ කරන්නන් “අඥාන, මෝඩ නැතහොත් සිහිවිකල්” අය හැටියට නොසලකා නොහැරිය යුතුය. පරිණාමයට අභියෝග කරන්නාවූ මතයන් සම්බන්ධයෙන්, දැඩි පරිණාමවාදියෙක් වන ජෝර්ජ් ගේලෝර්ඩ් සිම්ප්සන්ට මෙසේ පිළිගන්නට සිදු විය: “මෙම දෘෂ්ටීන් මද සිනහවක් පාමින් ඉවත ලෑම නැතහොත් එයට සමච්චල් කිරීම ස්ථිර වශයෙන්ම වැරැද්දක් වනු ඇත. එයට විරෝධය පළ කළ අය විචක්ෂණ මෙන්ම ඥානවන්ත ශිෂ්‍යයෝ වූහ (එමෙන්ම සිටිති).”
ඇදහිල්ල පිළිබඳ කාරණයකි
ඇතැමෙක් කල්පනා කරන්නේ පරිණාමය කෙරෙහි වූ විශ්වාසය සත්‍යයන් මත පදනම්ව ඇති අතර මැවීම ඇදහිල්ල මත පදනම්ව ඇති බවය. කිසිම මනුෂ්‍යයෙක් දෙවියන්වහන්සේ දැක නැති බව සැබෑවකි. (යොහන් 1:18; සසඳන්න 2 කොරින්ති 5:7.) එහෙත්, පරිණාමවාදය කිසිම මනුෂ්‍යයෙක් දැක හෝ තවත් වරක් කර නැති සිද්ධීන් මත පදනම්ව ඇති බැවින්, මේ සම්බන්ධයෙන් එය යම් වාසිදායක තත්ත්වයක නොපවතී.
උදාහරණයක් වශයෙන්, විද්‍යාඥයෝ අලුත් ජීව රූපයන් බිහි කරන්නාවූ විකෘති ජීවීන් කවර කලකවත්—ප්‍රයෝජනදායක ඒවා පවා—නිරීක්ෂණය කර නැත්තාහ; එහෙත් කලින් අලුත් වර්ග බිහිවූයේ මෙයාකාරයෙන් බව ඔවුන්ට නිසැකය. ජීවයේ ස්වයංසිද්ධ ජනනයක් ඔවුන් ඇස්වලින් දැක නැත; එහෙත් ජීවය ආරම්භ වූයේ මෙයාකාරයෙන් යයි ඔවුහු තරයේ කියා සිටිති.
මෙවන් සාක්ෂි නොමැතිකම ටී. එච්. ජනාබිව සලස්වා ඇත්තේ පරිණාමවාදය “හුදු ‘ඇදහිල්ලක්’ ” හැටියට හැඳින්වීමටයි. භෞතික විද්‍යාඥ ෆ්‍රෙඩ් හොයිල් එය හඳුන්වන්නේ “ඩාවින් විසින් ලියන ලද ශුභාරංචිය” යනුවෙනි. වෛද්‍ය එවන් ෂූට් ඊටත් වඩා බලගතු ප්‍රකාශයක් පවා කරයි. ඔහු කියා සිටින්නේ, “පරිණාමයක් සිදුවූයේ යයි මුළුහදින් කියන්නාවූ අයට වඩා මැවීමක් සිදුවූයේ යයි කියන්නන්ට පැහැදිලි කරන්නට තිබෙන අභිරහස්වල ප්‍රමාණය අඩු බව මම විශ්වාස කරමි” යනුවෙනි.
වෙනත් ප්‍රවීණයෝ ඊට එකඟ වෙති. තාරකා ශාස්ත්‍රඥ රොබර්ට් ජැස්ට්‍රෝ මෙසේ පිළිගනී. “මිනිසාගේ ස්වභාවය මා මෙනෙහි කරන විට, මෙම අසාමාන්‍ය සත්ත්වයා රසායන ද්‍රව්‍ය දියවූ උණු ජලය සහිත විලකින් ඉස්මතු වීම, ඔහුගේ සම්භවය පිළිබඳ බයිබල් වාර්තාව තරම්ම මහ ආශ්චර්යයක් හැටියට පෙනේ.”
එසේ නම්, බොහෝ දෙනෙක් ජීවය මවන ලද බවට වූ අදහස තවදුරටත් ප්‍රතික්ෂේප කරන්නේ මන්ද?
[3වන පිටුවේ පින්තූරය]
ඇතැම් අය තමන්ගේ මතයෙහි එල්බගෙන කරන ප්‍රකාශයන් ඒත්තුගන්නාසුලු ඒවා වන්නට පුළුවන