විද්‍යාව, ආගම, සහ සත්‍යය සඳහා සෙවිල්ල
“බොහෝ බොරු ආගම් ව්‍යාප්ත වී ඇති බවට වූ කරුණ මා කෙරෙහි යම් බලපෑමක් සිදු කළා.”—චාර්ල්ස් ඩාවින්
දහනවවන ශතවර්ෂයේ මුල් භාගය තුළ, විද්‍යාවත් ආගමත් භුක්ති වින්ඳේ එකිනෙකට විරුද්ධ නොවූ සම්බන්ධතාවකි. “විද්‍යාත්මක ලිපිවල පවා, ප්රත්යක්ෂ ලෙස සාමාන්‍ය හා අවංක ආකාරයකට දෙවියන්වහන්සේ ගැන කථා කරන්නට ලේඛකයන් පසුබටවූයේ නැත” යනුවෙන් ඩාවින්: බිෆෝර් ඇන්ඩ් ආෆ්ටර් නම් පොත පවසයි.
ඩාවින්ගේ ඔරිජින් ඔෆ් ස්පීසීස් (ජාති සම්භවය) එය වෙනස් කිරීමට දායක විය. විද්‍යාව හා පරිණාමය සකස් කරන්නට යෙදුණේ ආගම—හා දෙවියන්වහන්සේ—නොසලකා හරින තත්ත්වයකට පත් කළ අයුතු සම්බන්ධතාවකි. “පරිණාමයේ චින්තන රටාව අනුව දිව්‍යමය කෙනෙක් පැවතීමේ අවශ්‍යතාවක් හෝ ඒ සඳහා ඉඩක් නොලැබේ” යයි ශ්‍රීමත් ජූලියන් හක්ස්ලි පවසයි.
පරිණාමවාදය අදදින විද්‍යාවේ අනිවාර්යය අත්තිවාරම යයි කියනු ලැබේ. මෙම සම්බන්ධතාව සඳහා මූලික හේතුවක් භෞතික විද්‍යාඥයෙක් වන ෆ්‍රෙඩ් හොයිල් විසින් සොයාගෙන ඇත. එනම්: “සාම්ප්‍රදායික මතයන්ට ඇලී සිටින විද්‍යාඥයන් වැඩි සැලකිල්ලක් දක්වන්නේ සත්‍යය කෙරෙහි බලාපොරොත්තු තබනවාට වඩා අතීතයේ ආගමිකවූ අන්ත මතයන්ට හැරී යෑම වැළැක්වීම ගැනය.” ආගම විද්‍යාවට එතරම් අප්‍රසන්න යමක් කර ඇත්තේ කුමනාකාර අන්තයන්ද?
ආගම, මැවීමට නරක නාමයක් ලබා දෙයි
බයිබලය තහවුරු කිරීමටවූ වෑයමක් තුළ, මැවීමට පක්ෂව කථා කරන්නන්—බොහෝ දුරට මූලධර්මවාදී රෙපරමාදු භක්තිකයන් සමඟ සම්බන්ධ වී—පොළොවත් විශ්වයත් වයසින් අවුරුදු 10,000කටත් වඩා අඩු බව තරයේ කියා ඇත. මෙම අන්ත මතය භූ විද්‍යාඥයන්, තාරකා ශාස්ත්‍රඥයන්, මෙන්ම භෞතික විද්‍යාඥයන්ගේ සොයාගැනීම්වලට පටහැනි බැවින් ඔවුන් එය සමච්චලයට ලක් කර ඇත.
එහෙත් බයිබලය සැබවින්ම පවසන්නේ කුමක්ද? “පටන්ගැන්මෙහිදී දෙවියන්වහන්සේ අහසත් පොළොවත් මැවූසේක.” (උත්පත්ති 1:1) මෙයට ගතවූ කාලය නියත වශයෙන් දක්වා නැත. උත්පත්ති 1:3-5 වනතෙක් මැවීමේ “පළමු වන දවස” [NW] ගැන සඳහන් කිරීමක් පවා කර නැත. මෙම පළමු ‘දවසේ’ ආරම්භක අවස්ථාවේදී “අහසත් පොළොවත්” ඒවනවිටත් පැවතුණි. එබැවින්, විද්‍යාඥයන් කියා සිටින ආකාරයට, අහසත් පොළොවත් අවුරුදු බිලියන ගණනක් පුරාණ විය හැකිද? එසේ වන්නට පුළුවන. ඒ සඳහා ගතවූ කාලය බයිබලය නියත වශයෙන් පවසන්නේ නැත.
ආගමේ තවත් අන්තයක් වනුයේ ඇතැමෙක් ‘දවස්’ හය තේරුම් කරන ආකාරයය. ඇතැම් මූලධර්මවාදීහු මෙම දවස් සැබෑ දවස් බව දක්වමින්, භූමික මැවිල්ල පැය 144ක කාල පරිච්ඡේදයකට සීමා කරති. මෙය විද්‍යාඥයන් තුළ ඇති කරන්නේ සැකයකි, මන්දයත් මෙය පැහැදිලිව ප්‍රකාශිත විද්‍යාත්මක නිරීක්ෂණයන්ට විරුද්ධ බව ඔවුන්ට හැඟෙන නිසාය.
කෙසේවෙතත්, විද්‍යාව සමඟ එකඟ නොවන තත්ත්වයකට පත්ව ඇත්තේ—බයිබලය නොව—බයිබලය පිළිබඳ මූලධර්මවාදීන්ගේ අර්ථ දැක්මය. සෑම මැවීමේ ‘දවසක්ම’ පැය 24ක් දීර්ඝවූ බව බයිබලය පවසන්නේ නැත; ඇත්ත වශයෙන්ම, බයිබලයේ සියලුම ‘දවස්’ පැය 24කින් යුක්ත නොවූ බව පෙන්වමින්, එය “දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ” වඩාත් දීර්ඝවූ ‘දවසට’ මේ සියලු ‘දවස්’ ඇතුළත් කරයි. (උත්පත්ති 2:4) ඇතැම් දවස් කාල ප්‍රමාණයෙන් වසර දහස් ගණනක් දීර්ඝ වූවා විය හැකිය.a
මෙසේ, මැවීම පිළිබඳ අදහසට මැවීමට පක්ෂව සිටින්නන් හා මූලධර්මවාදීන් විසින් ලබා දී ඇත්තේ නරක නාමයකි. විශ්වයේ වයස මෙන්ම මැවීමේ ‘දවස්වල’ කාල ප්‍රමාණය පිළිබඳ ඔවුන්ගේ ඉගැන්වීම් සාධාරණ විද්‍යාව හෝ බයිබලය සමඟ එකඟ නොවේ. ඒ කෙසේවෙතත්, ආගම විද්‍යාඥයන්ට අප්‍රසන්න කර ඇති වෙනත් අන්තයන්ද ඇත.
බලයේ අනිසි භාවිතය
ඉතිහාසය පුරා, අයුක්තිසහගත දේවල් බොහොමයක් සඳහා ආගම වගකියා ඇත. උදාහරණයක් වශයෙන්, මධ්‍ය කාලීන යුගය තුළ, යුරෝපයේ ස්වෛරතන්ත්රයට පල්ලියේ අනුබලය යුක්තිසහගත බව දැක්වීමට මැවීම පිළිබඳ ඉගැන්වීම විරූප කරනු ලැබීය. මින් අඟවනු ලැබුවේ දිව්‍ය අණ පරිදි මනුෂ්‍යයන්ව සිය තත්ත්වයන්හි, එනම් ධනවත්ව හෝ දිළිඳුව තබන ලද බවය. දි ඉන්ටෙලිජන්ට් යූනිවර්ස් නම් පොත මෙසේ පැහැදිලි කරයි: “ධනවත් අයගේ ළාබාල පුත්‍රයන්ට කියනු ලැබුවේ පවුලේ ඉඩකඩම්වලින් මද ප්‍රමාණයක් ලැබීම නැතහොත් කිසිවක් නොලැබීම තමන් සඳහා ‘දෙවියන්වහන්සේගේ පිළිවෙළ’ වූ බවය, තවද සේවකයාට නිතර අවවාද කරනු ලැබුවේ ‘දෙවියන්වහන්සේගේ සතුට පරිදි තමාව කැඳවන ලද පදවිය’ සමඟ සෑහීමකට පත්ව සිටින හැටියටය.”
බොහෝ දෙනෙක් “අතීතයේ ආගමික වූ අන්ත මතයන්ට හැරී යෑම” ගැන භය වීම පුදුමයක්ද! මිනිසාගේ ආත්මික අවශ්‍යතාව සංසිඳුවනවා වෙනුවට, ආගම බොහෝ විට කර ඇත්තේ එය ගොදුරක් කර ගැනීමය. (එසකියෙල් 34:2) ඉන්ඩියා ටුඩේ නම් සඟරාවක කතුවැකියක මෙසේ පැවසේ: “යුග ගණනාව පුරා එය පිහිටුවා ඇති වාර්තාවේ ආකාරය අනුව ආගම කිසියම් හෝ විශ්වසනීයත්වයක් පවත්වා ගෙන තිබීම පුදුමයක් වේ. . . . උත්තරීතර මැවුම්කරුවාණන්ගේ නාමයෙන් . . . මනුෂ්‍යයෝ තමන්ගේ හවුල් වැසියන්ට එරෙහිව ඉතාමත්ම පිළිකුල්සහගත දාමරික ක්‍රියා සිදු කර ඇත්තාහ.”
බොරු ආගමේ මහත් අශෝභන වාර්තාව ඩාවින්ගේ චින්තනය කෙරෙහි ඇති කළේ සැලකිය යුතු බලපෑමකි. “ක්‍රිස්තියානි ධර්මය තුළ දිව්‍ය එළිදරව්වක් තිබීම මා ක්‍රමක්‍රමයෙන් අවිශ්වාස කරන්නට පටන් ගත්තා” යයි ඔහු ලිව්වේය. “පොළොවේ විශාල කොටසක් පුරා බොහෝ බොරු ආගම් ලැව් ගිනි මෙන් ව්‍යාප්ත වී ඇති බවටවූ කරුණ මා කෙරෙහි යම් බලපෑමක් සිදු කළා.”
සැබෑ ආගමේ විශිෂ්ට ජයග්‍රහණය
ආගමික කුහකකම් මෙම ලෝකයට අලුත් යමක් නොවේ. සිය දවසේ සිටි බල-ලෝභී ආගමික නායකයන්ට යේසුස්වහන්සේ මෙසේ වදාළසේක: “නුඹලා පිටතින් මනුෂ්‍යයන්ට හොඳ මිනිසුන් මෙන් පෙනෙන්නහුය—නුමුත් ඇතුළතින් නුඹලා වංචාවෙන්ද අයුතුකමෙන්ද පිරී සිටින්නහුය.”—මතෙව් 23:28.
ඒ කෙසේවෙතත්, අව්‍යාජ ක්‍රිස්තියානි ධර්මය “ලෝකයේ කොටසක් නොවේ.” (යොහන් 17:16, NW) එහි අනුගාමිකයන් දූෂ්‍ය ආගම්වලට හෝ දේශපාලනයට හවුල් වන්නේ නැත; එසේම මැවුම්කරුවෙකුගේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන්නාවූ දර්ශනවලින් ඔවුන් මුළා වන්නේද නැත. ප්‍රේරිත පාවුල් ලිව්වේ, “මේ ලෝකයේ ප්‍රඥාව දෙවියන්වහන්සේ ඉදිරියෙහි මෝඩකමය” කියාය.—1 කොරින්ති 3:19.
එහෙත්, මෙය අදහස් කරන්නේ සැබෑ ක්‍රිස්තියානීන් විද්‍යාත්මක වශයෙන් බොළඳ බව නොවේ. ඊට පටහැනිව, සැබෑ ආගමේ අනුගාමිකයෝ විද්‍යාව ගැන කුතුහලයෙන් සිටිති. “නුඹලාගේ ඇස් ඉහළ ඔසවා බලාපල්ලා,” යනුවෙන් පුරාතන දිවැස්වර යෙසායා පැවසුවේය. ‘මේවා මැව්වේ කවුද?’ (යෙසායා 40:26) සමානාකාරයෙන්, මැවුම්කරුවාණන් වඩාත් හොඳින් තේරුම් ගනු පිණිස, ස්වභාවධර්මයේ හා විශ්වයේ පුදුමසහගත දේවල් විපරම් කර බලන්නට යෝබ්ට ආරාධනා කරනු ලැබීය.—යෝබ්, පරිච්ඡේද 38-41.
එසේය, මැවුම්කරුවෙකු කෙරෙහි විශ්වාසය තබන්නන් මැවිල්ල දෙස බලන්නේ ගෞරවනීය බියක් ඇතිවය. (ගීතාවලිය 139:14) එපමණක්ද නොව, මැවුම්කරුවාණන් වන, යෙහෝවඃ දෙවියන්වහන්සේ අනාගතය සඳහාවූ පුදුමාකාර බලාපොරොත්තුව ගැන පවසන දෙයද, ඔවුහු දැඩි සේ විශ්වාස කරති. (එළිදරව් 21:1-4) මිනිසාගේ පටන් ගැන්ම හෝ ඔහුගේ අනාගතය අන්ධ අහඹුවක් මත රැඳී නොපවතින බවද, බයිබලය පිළිබඳව කරන අධ්‍යයනයක් තුළින්, මිලියන සංඛ්‍යාවක් ඉගෙන ගනිමින් සිටිත්. මිනිසා සෑදීමේදී යෙහෝවඃවහන්සේට අරමුණක් තිබූ අතර එම අරමුණ—එනම්, කීකරු වන සියල්ලන්ගේ ආශීර්වාදය සඳහා—ඉෂ්ට වනු ඇත. අප ඔබට උනන්දු කරන්නේ එම කාරණය ඔබම සෝදිසි කර බලන හැටියටයි.
[පාදසටහන්වල]
a 1982, නොවැම්බර් 8, එවේක්! පිටු 6-9 හා වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්. මගින් ප්‍රකාශිත ඉන්සයිට් ඔන් ද ස්ක්‍රිප්චර්ස්, 1වෙළුම, පිටු 545 බලන්න. මැවීම පිළිබඳ වාදය ගැනත් විද්‍යාව හා බයිබලය සමඟ එහි විරුද්ධත්වයන් ගැනත් වැඩි විස්තර සඳහා, 1983, මාර්තු 8 එවේක්! පිටු 12-15ද, මාර්තු 22 පිටු 12-15ද, බලන්න.
[6වන පිටුවේ කොටුව]
සාක්ෂිය පිළිබඳව අඥානව සිටින්නේද?
“යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පවා සෑහෙන දුරට ජීව විද්‍යාව ඉගෙන ඇත්තාහ” යනුවෙන් නීතිවේදියෙක් වන නොර්මන් මැක්බෙත් 1971 වර්ෂයේ ඔහුගේ ඩාවින් රීට්රයිඩ්—ඇන් එපීල් ටු රීසන් නම්වූ සිය පොතේ ලිව්වේය. පරිණාමය නම් විෂය සම්බන්ධයෙන් එවේක්! සඟරාවේ ලිපියක් කියවීමෙන් පසු, මැක්බෙත් මෙසේ සඳහන් කරයි, “ඩාවින්ගේ වාදය පිළිබඳව ඇතැම් විචක්ෂ්ණ විවේචනයන් එහි අඩංගුව තිබීම දැකීමට මම පුදුම වූයෙමි.” එම විෂය පිළිබඳව අධිකාරීන්ගේ දීර්ඝ පර්යේෂණ හා විචක්ෂ්ණ උපුටා දැක්වීම් සැලකිල්ලට ගනිමින්, එම ලේඛකයා නිගමනය කළේ මෙසේය: “[පරිණාමය] විශ්වාස නොකරන අය, එනම් එවන් සෑම මිනිසෙකුම, විද්‍යාත්මක සාක්ෂි සම්බන්ධයෙන් අඥානව සිටින්නේ යයි . . . සිම්ප්සන් විසින් පැවසීම තවදුරටත් නිවැරදි දෙයක් නොවේ.”
[7වන පිටුවේ පින්තූරය]
මිනිස්වර්ගයාගේ අනාගතය අන්ධ අහඹුවකට භාර කර නැත