බයිබලය—එහි නියම වටිනාකම කුමක්ද?
“බයිබලය අභිරහසකි, අවබෝධ කර ගැනීමට අදහස් නොකරන ලද පොතකි” යනුවෙන් එක්තරා ගෙවැසියෙක් කියා සිටී. තවත් ගෙවැසියෙක් කියා සිටියේ, “බයිබලය වැදගත් පොතක් බව මා දන්නා නමුත්, ඒ ගැන මා වැඩියමක් දන්නේ නැහැ. එය තේරුම් ගැනීම අමාරුයි” යනුවෙනි.
“බයිබලය ගැන . . . බොහෝ ක්‍රිස්තියානීන්ට . . . තිබෙන්නේ අල්ප දැනුමක්” යයි ද ටොරොන්ටෝ ස්ටාර් පැවසීය. කතෝලික කාන්තාවක් කියා සිටියේ “බයිබලයක් තබාගෙන සිටින විට, මට හොඳ හැඟීමක් ලබා දෙනවා. එය අභ්‍යන්තර සාමයක් ලබා දෙනවා” යනුවෙනි. “බයිබලය හරියටම ජීවිතය නමැති කුණාටු සහිත මුහුද තුළින් ආරක්ෂිත ස්ථානයක් කරා යෑමට මට මඟ පෙන්වන මාලිමා යන්ත්‍රයක් වගෙයි” යනුවෙන් ධීවරයෙක් පවසයි. කලින් හින්දු භක්තිකයෙකුව සිටි කෙනෙකු පවසන ආකාරයට “බයිබලය දේව වචනය වන අතර මනුෂ්‍යවර්ගයා සඳහා දීමනාවක් මෙන්ම ආත්මික වේදනාවන් සඳහා ඖෂධයකි.”
බයිබලයේ සැබෑ වටිනාකම සම්බන්ධ, මත බොහොමයක් ඇති අතර ඒවා විවිධාකාරය. එහෙත් එහි නියම වටිනාකම කුමක්ද?
බයිබලය වනාහි දැනට පවතින වඩාත්ම වැදගත් හා පුළුල්ව බෙදා හරින ලද පොත වන්නේය. එහි පිටු තුළ අන්තර්ගතව ඇත්තේ මිනිසා මෙතෙක් අද්දැක ඇති නැතහොත් ඉදිරියට මුහුණ දෙන්නට යන වඩාත්ම සංකීර්ණ ගැටලුවලට පිළිතුරුය. එහි උපදෙස්වල ප්රායෝගිකත්වයට ළඟා විය නොහැක. එය දිරිගන්වන සදාචාර ප්‍රමිති අතිශ්රේෂ්ඨය. එහි පණිවුඩය බලගතු මෙන්ම ප්රයෝජනවත්ය. සැසඳිය නොහැකි වටිනාකමකින් යුත් මෙම පොත අපගේ පොත් රාක්කවලින් පිටතට ගෙන සාවධානී අවධානයකට හා සියුම් පරීක්ෂාවකට ලක් කිරීම යෝග්‍ය වේ.
බයිබලය සහමුලින්ම නිවැරදි, විශ්වාස කටහැකි හා ඒකාන්ත බවට පූර්ණ විශ්වාසයකින් යුක්තව අපට එය විවෘත කළ හැකිය. එහි වාර්තා කොට තිබෙන ඓතිහාසික සිදුවීම් ලෞකික ඉතිහාසයෙන් තහවුරු කර ඇත. පුරාවිද්‍යාත්මක සොයාගැනීම් පුන පුනා තහවුරු කරන්නේ බයිබලය සැබෑ කරුණු පවසන හා සත්‍යවාදී බවයි. හතළිහක් පමණ වූ බයිබල් ලේඛකයන්ගේ නොවළහා කෙළින් පැවසීමේ ගුණය ඔවුන්ව අවංක හා අඛණ්ඩතාවේ මිනිසුන් හැටියට වෙන්කොට දක්වයි. බයිබලයේ අභ්‍යන්තර එකඟත්වය අඟවන්නේ එය මනුෂ්‍යයාගෙන් උත්පාදනය නොවූ බවය. එහි වාර්තා කර ඇති සිදුවීම් සැබෑය. එය යමෙක් ගැන කථා කරයිද ඔහු සැබවින්ම වාසය කළ කෙනෙකි. එහි සඳහන්ව ඇති තැන් හා ස්ථාන සැබෑය. එපමණක්ද නොව, බයිබලයේ කැපීපෙනෙන අනාවැකි අඩංගුව ඇති අතර ඒවා ප්‍රතික්ෂේප කළ නොහැකි ලෙසින් බයිබලයේ ලේඛකයාණන් යෙහෝවඃ දෙවියන්වහන්සේ බව හඳුන්වයි.—2 පේතෘස් 1:21.
තමන්වහන්සේගේ කැමැත්ත හා අරමුණ පිළිබඳ අවබෝධයක් ලැබීමට කැමැත්තක් දක්වන අයට ඒවා ලබා ගත හැකි බවට අපගේ ශ්‍රේෂ්ඨ උපදේශකයාණන් සහතිකව වගබලා ගත්සේක. සියලු මනුෂ්‍යයන් ස්වකීය වචනය ඉගෙන “සැබෑව දැනගැනීමට පැමි[ණීම]” තමන්වහන්සේගේ කැමැත්ත බව, ඇත්ත වශයෙන්ම, යෙහෝවඃවහන්සේ පැහැදිලි බසින් අපට පවසනසේක. (1 තිමෝති 2:3, 4; හිතෝපදේශ 1:6, 20-33) මෙය වනාහි අපගේ ජීවිත කාලය තුළ කළ හැකි වඩාත්ම වැදගත් දේවලින් එකක් වන්නේය. එය අප මුහුණ දීමට බැඳී සිටින අභියෝගයකි. මුල් ක්‍රිස්තියානීහු මෙය වටහා ගත්හ. ඔවුන්ගෙන් කෙනෙක් පවසන්නට පෙලඹුණේ, “උතුම්වූ [වඩාත් වැදගත්, NW] දේවල් ඒත්තුගන්ට නුඹලාට පුළුවන්වෙන්ටත්, . . . නුඹලාගේ ප්‍රේමය [ඒකාන්ත, NW] දැනගැන්මෙන් හා සියලු ආකාර විමසීමෙන් තව වඩ වඩා බොහෝ වන පිණිස යාච්ඤාකරමි” යනුවෙනි.—පිලිප්පි 1:10, 11; කොලොස්සි 1:9, 10, 12ආ.
බයිබලය වනාහි තමන්වහන්සේගේ කැමැත්ත හා අරමුණ මනුෂ්‍ය පවුලට දැනුම්දීමේ මූලික මාධ්‍යය වන අතර අප පෞද්ගලිකව එම අරමුණ තුළට ගැළපෙන ආකාරයද එය පැහැදිලි කරයි. අතීතයේ සිදුවීම් එහි වාර්තා කර ඇති අතර එය අනාගතය ගැන අපට ඉදිරිපත් කරන්නේද පැහැදිලි දසුනකි. බයිබලය නිවැරදි ධර්මයන් ගෙනහැර දක්වන අතර අප විශ්වාස කළ යුතු හා නොකළ යුතු දේවල් සම්බන්ධයෙන් අපව නිවැරදි කරයි. (ක්‍රියා 17:11; 2 තිමෝති 3:16) ජීවත් වීමේදී මනුෂ්‍යයන් අදාළ කරගත යුතු හැසිරීමේ ප්‍රමිති එය සපයන අතර සාර්ථකත්වයේ හා සන්තෝෂයේ මාවත්වල මනුෂ්‍යයන්ට මඟ පෙන්වීමක් ලබා දෙයි. (මතෙව්, පරිච්ඡේද 5 සිට 7) සියලු මනුෂ්‍යවර්ගයා සඳහා ඇති එකම බලාපොරොත්තුව හැටියට එය දේව රාජ්‍යය අවධාරණය කරන අතර උන්වහන්සේගේ නාමය විශුද්ධ කිරීමටත් උන්වහන්සේගේ පරමාධිපත්‍යය නිදොස් කිරීමටත් ස්වකීය ආණ්ඩුව උපකරණය වීමට යන ආකාරය පෙන්වා දෙයි. අපගේ ජීවිත-දායකයාණන් වන, යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු, ප්‍රේමනීය සම්බන්ධතාවක් භුක්ති විඳින්ට අප ලුහුබැඳිය යුතු මාර්ගය බයිබලය පැහැදිලි කරයි.
එපමණක්ද නොව, මනුෂ්‍යවර්ගයා කවරදාක නමුත් ලබනු ඇති ශ්‍රේෂ්ඨතම තෑග්ග—එනම් පරිපූර්ණ මනුෂ්‍යයන් හැටියට පාරාදීස පොළොවක සදාකාල ජීවිතය—වෙතට ඔබට මඟ පෙන්වන්නේ බයිබලය පමණකි. (රෝම 6:23) යෙහෝවඃවහන්සේගේ ඒකජාතක පුත්‍රයාණන් අපට මෙසේ පවසනසේක: “සදාකාල ජීවනය නම් මේය—එකම සැබෑවූ දෙවියන්වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවනලද තැනැත්තා වන යේසුස්ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳිනගැනීමය.” (යොහන් 17:3) නිසැකවම එවන් මහත් වටිනාකමකින් යුත් පොතක් අපව පෙලඹවිය යුත්තේ සදාකාල ජීවිතයේ තෑග්ග අත්කර ගැනීමට අප කළ යුතු දෙය ඉගෙන ගැනීමටය. මීළඟ ලිපිය පෙන්වන ආකාරයට, බයිබලය වනාහි තේරුම් ගැනීමේ අදහසින් ලියනු ලැබූ පොතකි.