නිසරු දේශයක් සශ්‍රීක වේ
ආතර් මලින් පැවසූ පරිදි
එය 1930 පැහැදිලි වසන්ත දිනයක් විය. බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ, ප්‍රින්ස් රූපර්ට් නගරයේ නෞකාගාරයක මම හිටගෙන සිටියෙමි. මුහුදු පත්ල මත රැඳී ඇති නෞකාව දෙස බලමින්, ‘මෙහි තිබූ ජලයට කුමක් සිදුවීද?’ කියා මම කල්පනා කළෙමි. හුදෙක් පැය 6ක් තුළ මුහුදු මට්ටම අඩි 24ක් තරම් පහත බසින පැසිෆික් බටහිර වෙරළේ වඩදිය-බාදිය සම්බන්ධයෙන් මෙය මගේ පළමු අද්දැකීම විය. එහෙත් කැනඩාවේ ප්‍රෙයාරි ප්‍රදේශයේ ගොවි බිමක හැදුණු වැඩුණු ළමයෙකු පැසිෆික් සාගරයේ වෙරළ මත සිටින්ට යෙදුණේ කෙසේද?
ෂාර්මියන් නම් කුඩා නෞකාවේ සේවකයන්ට එක්වීමෙන් යෙහෝවඃවහන්සේට කරන මගේ පූර්ණ-කාලීන සේවා වරප්‍රසාදය තවත් පුළුල් කර ගැනීමට මට ආරාධනයක් තිබුණි. අපට පවරනු ලැබුවේ වැන්කූවර් සිට ඇලස්කාව දක්වා හුදකලා බටහිර වෙරළ තීරය දිගේ දේශනා සේවයේ පෙරමුණ ගැනීමටයි. බ්‍රිතාන්‍ය කොලොම්බියාවට අයත් වෙරළ බඩ තීරයෙන් වැඩි සැතපුම් ප්‍රමාණයක් මෙම තීරයට අයත්වූ අතර, මෙහි යෙහෝවඃවහන්සේට ක්‍රියාකාරිව ප්‍රශංසා කළවුන් සිටියේ නැත. මෙහි තිබූ එකම විශේෂත්වය වූයේ ප්‍රින්ස් රූපර්ට් නම් නගරයේ සිටි රාජ්‍යය ප්‍රචාරකයන්ගේ කූඩා කණ්ඩායම පමණකි.
මෙම දේශනා කටයුත්ත ආරම්භ කරන්ට මා මහත් ආශාවෙන් සිටි බැවින්, දුම්රියෙන් බට විගස මා ගමන් කළේ ෂාර්මියන් නෞකාව බැලීමටත් එහි කාර්ය මණ්ඩලය වන, ආර්නි හා ක්‍රිස්ටිනා බාර්ස්ටැඩ් හමුවීමටත් නෞකාගාරය දෙසටය. එම යාත්‍රාවේ කිසිවෙක් නොසිටි බැවින්, මම ඉන් ඉවත් වුණෙමි. එම දිනයේ පසු අවස්ථාවක මා එහි පැමිණි විට, මම කම්පිත වුණෙමි. දක්නට ලැබුණේ හරියටම සාගරය සිඳී ගියාක් මෙනි!
එහෙත් මෙම සිත්ගන්නා පැවරුමට මඟ පෑදූ සිද්ධීන් කවරේද?
ආත්මික උරුමයක්
ආත්මික දේවල් මා අගය කරන්ට පටන් ගත්තේ කැනඩාවේ, ඇල්බර්ටා තැනිතලාවේ පිහිටි නිවසේදීමය. සයන්ස් වොච් ටවර් ට්‍රැක්ට් සොසයටිහි චාල්ස් ටේස් රසල් විසින් ලියන ලද රාජ්‍යය පත්‍රිකාවක් මගේ පියා සොයාගෙන තිබූ අතර එය ඔහුගේ ජීවිතය බොහෝ සෙයින් වෙනස් කළේය. ඇල්බර්ටාවේ, කල්මාර්හි ගොවිතැන් කටයුතු සඳහා පියාට මහත් කාලයක් වැය කරන්ට සිදුව තිබුණත්, ඔහු ඔහුගේ අසල්වැසියන්ට දේශනා කරන්ට පටන් ගත්තේය. එය සිදුවූයේ දැනට වසර සියයකට පෙර, 1890 ගණන්වල මුල් භාගයේදීය.
අටවැනි දරුවා හැටියට, 1905, පෙබරවාරි 20 දින මා උපත ලැබුවේ අවසානයේදී සහෝදර සහෝදරියන් දසදෙනෙකුගෙන් සමන්විත වූ මෙම දේව-භයැති පවුල තුළටය. මෙම ස්වීඩන ප්‍රජාව තුළ පියා මෙන්ම වෙනත් අයද, ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් ඇසුරු කරන්ට පටන් ගත්හ. කාලයාගේ ඇවෑමෙන්, ඔවුහු රැස්වීම් ස්ථානයක් ගොඩනැගූහ, පසුව එය රාජ්‍යය ශාලාව හැටියට නම් කරන ලදි. එය කැනඩාවේ පළමු ඒවා අතරින් එකක් විය.
ගොවිපොළේ කටයුතු ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වීමෙන් කිසිදිනක අපව වැළැක්වූයේ නැති අතර මෙම කථා සමහරක් ඉදිරිපත් කරනු ලැබුවේ වොච් ටවර් සමිතියෙන් එවනු ලැබූ ආගන්තුක කථිකයන් විසින්ය. මෙම කථා අප තුළ ගොඩනැගුවේ දේශනා සේවයේ සහභාගි වීමට උනන්දුමත් ආශාවකි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, අපගේ පවුලේ සියල්ලන්ම වාගේ ස්ථිර ලෙස ගමන් කර ඇත්තේ බයිබල් සත්‍යයේ ආලෝකය තුළය.
දේශනා සේවයේ හවුල් වීම
මට මගේ මුල්ම සාක්ෂි දැරීමේ පැවරුම දෙනු ලැබුවේ, 1920 ගණන්වල මුල් භාගයේදීය. මට කරන්ට තිබුණේ එඩ්මන්ටන් නගරයේ ගෙයින් ගෙට යමින් ප්‍රසිද්ධ කථා ආරාධනා පත්‍ර බෙදා දීමයි. එදින මා එහි තනිව සිටියදී, මම වැදගත් පාඩමක් ඉගෙන ගත්තෙමි: යෙහෝවඃවහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. (හිතෝපදේශ 3:5, 6) යෙහෝවඃවහන්සේගේ උපකාරය ඇතිව එම පළමු පැවරුම ඉටු කිරීමට මා කොතරම් සතුටු වුණාද!
යෙහෝවඃවහන්සේගේ සත්‍යයේ වචනය ගැන වැඩි අවබෝධයක් සැපයීමත් සමඟ උන්වහන්සේගේ දෘශ්‍යමාන සංවිධානය හා උන්වහන්සේගේ විශ්වාසවූ නුවණ ඇති දාස පන්තිය කෙරෙහි වූ මගේ නිසැකකම තවත් වර්ධනය වන්ට විය. නත්තල් හා උපන්දින උත්සව වැනි, ක්‍රිස්තියානි ලෝකයේ ව්‍යවහාරයන් හා සිරිත් බොහොමයක්, ඉවත් කරනු ලැබීය. පෞද්ගලිකව තමන්ගේ ගැළවීම සොයා ගැනීමට තවදුරටත් බලවත් සැලකිල්ලට යොමුවූ විෂයක් වූයේ නැත; ඒ වෙනුවට, රාජ්‍යය දේශනා කිරීමට උචිත වැදගත්කම දෙනු ලැබීය. මේ සියල්ල මගේ ජීවිතය කෙරෙහි ඇති කළේ ගැඹුරු බලපෑමකි. එබැවින් මගේ ජීවිතය 1923, අප්‍රියෙල් 23වන දින යෙහෝවඃවහන්සේට කැප කිරීමෙන් වැඩි කලක් යන්ට මත්තෙන්, මා මගේ ඉලක්කය කර ගත්තේ පූර්ණ-කාලීන දේව සේවයයි.
ෆැරන්හයිට් අංශක බිංදුවට වඩා අඩු ප්‍රෙයාරි ශීත ඍතුවල, අශ්වයෙකු විසින් අදිනු ලැබූ හිමයානයකින් අපි පිටිසර ප්‍රදේශවල සාක්ෂි දැරුවෙමු. වරක් මම කණ්ඩායමක් සමඟ සති දෙකක් රථයකට සවි කළ ජංගම නිවසක වසමින් සාක්ෂි දරුවෙමි. මෙම විශේෂ රථ කැනේඩියානු ප්‍රෙයාරිවල පිහිටි ඉතා විවෘත ස්ථානවල සාක්ෂි දැරීමට ප්‍රායෝගික බව සනාථ කළේය. මූල්‍ය ගැටලු, දැඩි කාලගුණ තත්ත්වයන්, මෙන්ම ගමන් කිරීමට දීර්ඝ දුර ප්‍රමාණයන් යනාදිය තිබුණත්, පැසිෆික් බටහිර වෙරළේ සේවය කරන්ට 1930 වර්ෂයේ මතක නැති නොවන එම දිනයේ මට ඇරයුම ලැබෙනතෙක්, වසර තුනකට පමණ ඇල්බර්ටාවේ පුරෝගාමි දේව සේවයේ කලින් කල දිගටම රැඳී සිටින්ට මට හැකි විය. මුහුද හෝ නැව් ගැන මා කිසිවක් දැන නොසිටි බැවින්, එම ඇරයුම මට ප්‍රහේලිකාවක් විය.
ඇත්තෙන්ම, ප්‍රින්ස් රූපර්ට් වෙතට පැමිණ වැඩි වේලාවක් යන්ට මත්තෙන් නැව මත සිටි මගේ සෙසු සේවකයන් සමඟ මට දැනුණේ ඉතාමත් සුවපහසු හැඟීමකි. වසර ගණනාවක් ව්‍යාපාරික වශයෙන් මසුන් ඇල්ලීමෙහි යෙදී සිටි, සහෝදර බාර්ස්ටැඩ් පළපුරුදු නාවිකයෙක් විය. ඊළඟ වසර හය වැන්කූවර් සිට ඇලස්කාව දක්වා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ වෙරළාසන්න ජල තීරයේ එහා මෙහා ගමන් කරමින් වේගවත්ව දේශනා කරන කාලපරිච්ඡේදයක් විය. මෙහිදී ඉගෙන ගත් තවත් පාඩමක් තිබුණි: “හැමවිටම යෙහෝවඃවහන්සේගෙන් පැවරුමක් භාර ගන්න, තවද කිසිවිටෙක එය පිළිගැනීමට මැළිනොවන්න.”
මුහුද අද්දර බීජ වැපිරීම
වර්ෂ 1930 එම වසන්තයේ අප ළඟාවූ මුල්ම වරාය ඇලස්කාවේ, කෙචිකැන් නුවර වූ අතර, එහිදී අපි බයිබල් ප්‍රකාශන පෙට්ටි 60ක් පටවා ගත්තෙමු. සති ගණනාවක් පුරා අපි කෙචිකැන්, රැන්ගල්, පීටර්ස්බර්ග්, ජූනෝ, ස්කැග්වේ, හේන්ස්, සිට්කා යනාදී නගරවලත් විසිරී පැවති වෙනත් ජනාවාසවලත් සෑම නිවසකටම ගමන් කළෙමු. ඉන් අනතුරුව අප මුළු බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ වෙරළ බඩ තීරයේ දේශනා කළ අතර එය ග්‍රීෂ්ම ඍතුවේ අවසානයට කලින් නිම වූවා. මෙහිදී පිටිසර පිහිටා තිබූ ලී කඳන් කපන කඳවුරු, මාළු සකසන කඳවුරු, අමෙරිකානු ඉන්දීය ගම්මාන, කුඩා නගර මෙන්ම හුදකලාව වාසය කළ අය හා උගුල් අටවන දඩයක්කාරයන්ව බැහැදකිනු ලැබීය. කථා කරන්ට කවරෙකු නමුත් එනතුරු බලා සිටි ප්‍රදීපාගාරවල තනියම වාසය කළ මුරකරුවන්ගෙන් ඉවත්වීම ඇතැම් අවස්ථාවන්හි දුෂ්කර දෙයක් විය.
කල්යත්ම, සමිතිය එහා මෙහා ගෙන යා හැකි තැටි වාදක යන්ත්‍ර හා තැටිගත කළ බයිබල් දේශන ලබා දීමෙන් අපව සන්නාහ සන්නද්ධ කළේය. පොත්, බයිබල් හා සඟරා සමඟ, මේවාද අපි රැගෙන ගියෙමු. වෙරළාසන්න කඳු උඩින් අප බඩගාගෙන යන අතර බොහෝ විට අපට ඒවාද උසුලාගෙන යන්ට සිදු විය. බාදිය පවතින ඇතැම් අවස්ථාවල අපට ඒවා ඉහළට ඇදී ගිය නෞකාගාර මතට අමාරුවෙන් රැගෙන යන්ට සිදුවූයේ ඉතා වැනෙනසුලු ඉණිමංවලින්ය. යෞවන කාලයේ ප්‍රෙයාරි ගොවිපොළක වැඩ කරමින් මා ලැබූ කායික පුහුණුව ගැන මම සතුටු වීමි.
අපගේ නැව මත සවිකර තිබූ ශබ්ද විකාශන පද්ධතිය රාජ්‍යයේ පණිවුඩය පතුරුවා හැරීමට බලගතු උපකරණයක් හැටියට උපකාරවත් විය. ශබ්ද තරංග ජලයෙන් පරාවර්තනය වූ නිසා, තැටිගත කරන ලද දේශනා බොහෝ විට සැතපුම් ගණනාවක් දුරට ඇසුණි. වරක් අප වැන්කූවර් දූපතේ හුදකලාව පිහිටි කුඩා වරායක නැංගුරම් දමා සිටින විට, අපි මෙම බයිබල් දේශනාවලින් එකක් වාදනය කළෙමු. ඊළඟ දවසේ එම දූපතේ වාසය කරන ජනයා උනන්දුවෙන් අපට මෙසේ පැවසූහ: “ඊයේ අපට හරියටම ස්වර්ගයෙන් දේශනයක් අසන්ට ලැබුණා!”
තවත් අවස්ථාවක වයස් ගත යුවළක් කියා සිටියේ, තමන්ගේ දුම් නළය තුළින් එන සංගීතයක් තමන්ට අසන්ට ලැබුණ බවත්, ඔවුන් පිටතට ගිය විට, ඔවුන්ට කිසිවක් අසන්ට නොලැබුණ බවත්ය. ඔවුන් නැවත ඇතුළට ගිය විට, ඔවුන්ට කටහඬක් අසන්ට ලැබුණි. ඊට හේතුව කුමක්ද? සිදුවී තිබුණේ, ඔවුන් පිටත සිටින අතර, අප තැටිය මාරු කරමින් සිටියා. මුලින්ම ජනතාවගේ අවධානය යොමු කර ගැනීමට අපි සංගීතය වාදනය කර, අනතුරුව බයිබල් දේශන වාදනය කරන්නෙමු.
තවත් අවස්ථාවක, ඉන්දීය ගම්මානයක් තිබූ දූපතක් අසල අප නැංගුරම් දමාගෙන සිටි විට, එම හඬ පැමිණියේ කොහෙන්දැයි බැලීමට එම දූපතට අයත් යෞවනයෝ දෙදෙනෙක් ඔරුවෙන් පැමිණියහ. එම දූපතේ ඇතැම් අය කල්පනා කර තිබුණේ යළි පණ ලැබූ තමන්ගේ මළවුන්ගේ කටහඬවල් බවයි!
පිටිසර ප්‍රදේශවල තිබූ, ටින්වල මාළු අසුරන ස්ථානයන්හි සේවය කරන්නන් අතර දිනකට පොත් සියයක් බෙදා හැරීම අසාමාන්‍ය දෙයක් නොවීය. සිත වෙනතකට යොමු කරන දෑ එතරම් නොතිබුණ නිසා, ඔවුන්ට ආත්මික දේවල් ගැන කල්පනා කරන්ට කාලය තිබුණි. අන්තිමේදී මෙම හුදකලා ප්‍රදේශවල සිටි බොහෝ දෙනෙක් සාක්ෂිකරුවෝ වූහ. ඊට පසු කළ ගමන්වලදී, ‘අන්‍යොන්‍ය දිරිගැන්වීම’ පිණිස ඔවුන්ව බැහැදැකීමට අපි බලාපොරොත්තු වූයෙමු.—රෝම 1:12.
කලත්‍රයෙකු සමඟ දිගටම සේවයේ
වර්ෂ 1931දී, මම ක්‍රිස්ටීනා බාර්ස්ටැඩ්ගේ බාල නැගනිය වන, ඇනා විවාහ කර ගත්තෙමි. ඉන්පසුව අපි නෞකාවේ එක්ව අපගේ පුරෝගාමි සේවය දිගටම කරගෙන ගිය අතර එම කාලය තුළ විපාකදායක අද්දැකීම් බොහොමයක් භුක්තිවින්දෙමු. දේවදාර, පයින් හා දැවැන්ත ඩග්ලස් ෆර් ගස්වලින් වනගත වූ අතිවිශාල කඳු, හුදකලාව පිහිටි කඩතොලු හා ආවරණයක් සහිත මෙන්ම නිසංසල මුහුදු බොකු අතර අපගේ මිත්‍රයන්ව සිටියේ තල්මසුන්, මුහුදු සිංහයන්, නීවගයන්, පෝපසයන්, මුවන්, වලසුන් හා රාජාලින්ය. තමන්ව ගොදුරු කර ගන්නන්ගෙන් බේරීමට වේගයෙන් ගලා බසින දිය පාරවල් හරහා පීනන්ට වෑයම් කරමින් අධික වෙහෙසට පත් මුවන්ට මෙන්ම ඔවුන්ගේ පැටවුන්ට කීපවාරයක් අපි උපකාර කළෙමු.
එක් දවාලක හිස රාජාලියෙකු උගේ නියපොතුවලින් චිනුක් සැමන් නම් විශාල මත්ස්‍යයෙකු තදින් අල්ලාගෙන ජලය හරහා පහතින් පියාසර කරනවා අපි දුටුවෙමු. ජලයෙන් සහමුලින්ම එසවීමට එම මත්ස්‍යයා පමණට වඩා විශාලව සිටි බැවින්, එම සැමන් මත්ස්‍යයාව පාදයෙන් ජලය මතු පිට ඇදගෙන යමින් එම රාජාලියා පියාසර කරමින් සිටියේ වෙරළ දෙසටය. අපගේ කණ්ඩායමේ සාමාජිකයෙක් වන, ෆ්‍රෑන්ක් ෆ්‍රැන්ස්ක්, එම වාසිය දැක වෙහෙසට පත්ව සිටින රාජාලියාගෙන් එය ලබා ගන්ට ඌ පසුපස වෙරළ දිගේ දිවගොස් එය අත්හරින්ට කැමති කරවා ගත්තේය. එම සන්ධ්‍යාවේ අපගේ පුරෝගාමි කණ්ඩායම රසවත් සැමන් ආහාර වේලක් අනුභව කළ අතර එම රාජාලියා අකැමැත්තෙන් වුවද, බෙදා හදා ගන්ට ඉගෙන ගත්තේය.
වැන්කූවර් දූපතේ උතුරු අන්තයේ එක් දූවක, තිඔට් නම් යුවළක් බයිබල් සත්‍යය වැළඳ ගත්හ. ඔහු සිය 90වන වියේ මැද භාගයේ සිටි නූගත්, ආත්ම-අධිෂ්ඨානයෙන් යුත්, නිදහස් පුද්ගලයෙක් වූ අතර ඇය සිටියේ 80 ගණන්වල මැද භාගයේය. කෙසේ වෙතත්, ඔහු කොතරම් සත්‍යයට උනන්දුවක් දැක්වූවාද කියතොත් ඔහු යටහත් පහත්ව කියවන අයුරු ඔහුට ඉගැන්වීමට සිය භාර්යාවට ඉඩ හැරියේය. ඉක්මනින්ම ඔහුට බයිබලයත් සමිතියේ ප්‍රකාශනත් තනිව ඉගෙන ගැනීමට හැකියාව ලැබුණි. ඉන් වසර තුනක් ගත වන්ට මත්තෙන්, අපගේ හබල් ඔරුව බව්තීස්ම තටාකයක් හැටියට පාවිච්චි කරමින්, ඔවුන්ගේ පිටිසර දූපත් නිවසේම ඔවුන් දෙදෙනාව බව්තීස්ම කිරීමේ ප්‍රීතිය මම ලැබුවෙමි!
පොවෙල් ගංගාව ආශ්‍රිත නගරයේ වසන සාලිස් පවුල, රාජ්‍යයේ පණිවුඩයට ප්‍රතිචාරය දැක්වීමේ ප්‍රීතියද අපට ලැබුණි. වොල්ටර් වෝර් ඕර් පීස්—විච්? නම් පොත් පිංචය කියවා, එහි සත්‍යය ගැබ්ව තිබූ බව වහා හඳුනා ගත්තේය. අප ශීත ඍතුව සඳහා ෂාර්මියන් නැව බැඳ තබන ස්ථානය වන වැන්කූවර්හි, ඒ මුළු පවුලම කෙටි කලකින් පුරෝගාමි සේවයේ වෝල්ටර් හා එක් වූහ. ඔහු මහත් ජ්වලිතයෙන් කටයුතු කළ අතර, ගතවූ කාලය පුරා වැන්කූවර් ප්‍රදේශයේ සහෝදර සමාගම ඉදිරියේ ඉතා හිතවත් කෙනෙකු බවට පත්වූයේය. විශාල සාක්ෂිකාර පවුලකින් සමුගැනීමෙන් ඔහු තමාගේ භූමික ජීවිකාව 1976දී අවසන් කළේය.
විරුද්ධවාදීකම් මැඩපැවැත්වීම
පූජකයෝ තමන්ගේ ආත්මික බල ප්‍රදේශයේ හොරෙන් දඩයම් කරන්නන් හැටියට අපව සලකමින්, ඉන්දීය ගම්මානවල අපගේ සේවයට නුරුස්නා ගතියක් පෙන්වූහ. සිම්ප්සන් වරායේදී එහි ප්‍රාදේශීය පූජකයා අප නිවාසවලට යෑම තහනම් කරන හැටියට ගම්මුලාදෑනියාගෙන් බලකර ඉල්ලා සිටියේය. එම පූජකයා තම ජනයාව තම තීරණ ගැනීමට තරම් නූගත් අය හැටියට ඔවුන්ව හරිහැටි වර්ගීකරණය කළාද කියා ඔහු කල්පනා කරන්නේදැයි අපි එම මුලාදෑනියාව හමුවී විමසුවෙමු. ඔහුගේ ජනයාට දේව වචනය පිළිබඳ සාකච්ඡාවක් ඇසීමටත් තමන්ට විශ්වාස කරන්ට ඕනෑ කරන දෙය තමන්ටම තීරණය කරන්ටත් ප්‍රස්ථාවක් ලබා දෙන හැටියටත් අපි යෝජනා කළෙමු. එහි ප්‍රතිඵලය: ඔහු එම ගමේ දේශනා කරන්ට අපට අවසර දුන්නේය.
සාක්ෂිකරුවන් සිය ජනයාව හමුවීම වැළැක්වීමට සභා සාමාජිකයන් හා ආගමික කණ්ඩායම් විසින් දරන ලද සියලුම වෑයම් තවත් ගම්මුලාදෑනියෙක් දශක ගණනාවක් පුරා නිෂ්ප්‍රභ කළේය. ඔහු පැවසුවේ, “මම මුලාදෑනියාව සිටිනතෙක්, සාක්ෂිකරුවන්ව මෙහි ආදරයෙන් පිළිගන්නවා” යනුවෙනි. අපව සෑම තැනකම ආදරයෙන් පිළිගනු නොලැබූ බව සැබෑවක් වුවත්, විරුද්ධවාදීකම් තිබියදීත් යම් ප්‍රදේශයකින් ඉවත් වන හැටියට අපට බලකරනු ලැබුවේ නැත. එබැවින් අප නෞකාගාරයක නැව නැවැත්වූ සෑම වතාවකම අපට අපගේ දේව සේවය ඉටු කරන්ට පුළුවන් විය.
මුහුදේ කරදර විඳදරා ගැනීම
එම කාලය පුරා, අපි කුණාටු, වඩදිය-බාදිය ජලය යට සැඟවී තිබුණ ගල් කඳු, හා ඇතැම් අවස්ථාවන්හි යාන්ත්‍රික දෝෂ යනාදී දුෂ්කරතාවන්ට මුහුණ දුන්නෙමු. වරක් අපි වැන්කූවර්ට සැතපුම් සියයක් පමණ උතුරෙන් පිහිටි, ලාස්කෙටි දිවයින සමීපයට සුළඟ නිසා ගසාගෙන ගියෙමු. එහිදී අප බාදියකට අසුවී, පරයක් මත රැඳුණු අතර අප කාලගුණයේ ප්‍රහාරවලට අසුවී සිටියේ අසරණ තත්වයකයි. කාලගුණය නරක අතට හැරුණේ නම්, නැව එම ගල්පරය මත කැබලි වෙනවා ඇත. අපි සියල්ලන්ම එම ගල්පරය මතට බඩගාමින් නැග, නරක තත්ත්වයක් තුළ අපට කළ හැකි හොඳම දෙය කළෙමු. අපි දිවා ආහාරය ගෙන, ඉගෙනීමට යම් කාලයක් ගත කර උදම් යළිත් නගිනතෙක් බලා සිටියෙමු.
අවදානම් හා දුෂ්කර අවස්ථාවන් බොහොමයක් තිබියදීත්, එය සනීපදායක, සන්තෝෂවත් ජීවිතයක් විය. කෙසේ වෙතත්, අපගේ පුත්‍රයන් දෙදෙනාගේ උපත විශාල වෙනසක් ගෙනාවේය. අප දිගටම නැවේ වාසය කළත්, අප ඌනා ගංගාව දක්වා උතුරට යාත්‍රා කළ අවස්ථාවන්හි, අපෙන් ඉතිරි පිරිස ඇලස්කාවේ තවත් උතුරු දෙසට ගමන් කරත්ම ඇනා හා දරුවෝ එහි ඇගේ මව්පියන් සමඟ නැවතුනාහ. අනතුරුව, අප දකුණට හැරී යන විට, ඇනා හා දරුවෝ නැවත අප හා එක්වූහ.
දරුවන් මැසිවිලි නැගූ හෝ රෝගීව සිටි අවස්ථාවක් මට මතක නැත. ඔවුන් ජීවිතාරක්ෂක පටි නිතරම පැළඳගෙන සිටි අතර ඇතැම් අවස්ථාවන්හි අපි ඔවුන් වටා ලණුවක් පවා ගැට ගැසුවෙමු. එසේය, ඇතැම් අවිනිශ්චිත අවස්ථාවන්ද ඇති විය.
වැඩිමනත් සකස්වීම්
වර්ෂ 1936දී අපට ෂාර්මියන් නෞකාවෙන් ඉවත් වන්ට සිදුවූ අතර, මම ලෞකික රැකියාවක් සොයා ගත්තෙමි. පසුව අපට තුන්වන පුතෙක්ද ලැබුණි. මා මාළු අල්ලන කුඩා නෞකාවක් මිලදී ගත් අතර එය රැකියා මාධ්‍යයක් හැටියට පමණක් නොව වෙරළ දිගේ දිගටම අපගේ දේශනා කටයුත්ත කරගෙන යෑමට හැකියාව ලබා දුණි.
ප්‍රින්ස් රූපර්ට් වෙතින් මුහුදු බොක්ක එගොඩ පිහිටි, ඩිග්බි දිවයිනේ අප නිවසක් තනා ගත් අතර, වැඩි කලක් යන්ට මත්තෙන් කුඩා සභාවක් එහි පිහිටුවනු ලැබීය. දෙවන ලෝක යුද්ධය තුළ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ දේශනා කටයුත්ත කැනඩාවේ තහනම් කරනු ලැබූ කාලයේ, අප මධ්‍යම රාත්‍රියෙන් පසු කුඩා නැවකින් ප්‍රින්ස් රූපර්ට් වෙත ගොස් එම ප්‍රදේශයේ සෑම නිවසකම ප්‍රකාශන තබමින්, සාමයේ පණිවුඩය ප්‍රකාශ කළෙමු. තහනම් කරන ලද ප්‍රකාශන බෙදා හැරීම අප ගිය රාත්‍රි ගමන්වලට ඇතුළත් වූ බව කිසිවෙකු සිතුවේ නැත!
දේශය සශ්‍රීක වී ඇත
ක්‍රමානුකූලව වැඩි ජන පිරිසක් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ඇසුරු කරන්ට පටන් ගත් අතර 1948දී ප්‍රින්ස් රුපර්ට්හි රාජ්‍යය ශාලාවක අවශ්‍යතාව පැහැදිලිව පෙනෙන්ට තිබුණි. වරාය හරහා තිබූ හමුදා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමෙන් පසු, අපි එය ගලවා, කොටස් කර, අනතුරුව ගොඩනැගිලි භූමියට ප්‍රවාහණය කළෙමු. යෙහෝවඃවහන්සේ අපගේ වෙහෙසකර වැඩවලට ආශීර්වාද කළ අතර, අපට අපගේම රාජ්‍යය ශාලාවක් තිබුණි.
වර්ෂ 1956දී, මම යළිත් පුරෝගාමි සේවයට ඇතුල් වූ අතර, ඇනාද 1964දී මට එක් වුණාය. අප යළිත් පැසිෆික් වෙරළ දිගේ නෞකාවෙන් සේවය කරන්ට පටන් ගත්තෙමු. කලකට අපි ක්වීන් ෂාර්ලට් දිවයින් පටන් නැගෙනහිර දෙසට කඳු අතර ෆ්‍රේසර් විල දක්වාත්, පසුව ප්‍රින්ස් ජෝර්ජ් නගරය හා මැක්කෙන්සි නුවර දක්වාත් චාරිකා වැඩවලට හවුල් වුණෙමු. ගතවූ කාලය තුළ, අපි වයඹ පැසිෆික් පුරා සැතපුම් දහස් සංඛ්‍යාවක් රථයෙන්, නැවෙන් හා ගුවන් යානයෙන් ගමන් කළෙමු.
ප්‍රින්ස් රූපර්ට්හි දේව සේවය තුළ අපි කදිම අද්දැකීම් දිගටම ප්‍රීතියෙන් භුක්ති විඳ ඇත්තෙමු. පසුව වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් වෙත ගොසින් ඉන් අනතුරුව විදේශ රටවල මිෂනාරිවරුන් හැටියට සේවය කළ පුද්ගලයන් සමඟ ඇනාත් මමත් පාඩම් පවත්වා ඇත්තෙමු. අපගේ ආත්මික දරුවන් වටිනා රාජ්‍යයේ පණිවුඩය දුරස්තර රටවල් වෙත ගෙන යනු දැකීම කොතරම් ප්‍රීතියක්ද!
දැන් අප දෙදෙනාම 80වන විය පසුකර ශරීර සෞඛ්‍යය අතින් ක්‍රමයෙන් දුර්වල වෙමින් සිටියද, අපි තවදුරටත් සන්තෝෂයෙන් යෙහෝවඃවහන්සේගේ සේවයෙහි යෙදෙන්නෙමු. ඇලස්කාවේ හා බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ අප දැක ඇති ස්වාභාවික අලංකාරය වටිනා මතකයන් පහළ කරවයි. එහෙත් ඊටත් වඩා වැඩි ප්‍රීතියක් ලැබෙන්නේ වරක් ආත්මික වශයෙන් නිසරු පාළුකරයක්ව පැවති මෙම අතිවිශාල ප්‍රදේශය දැන් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නන්ගේ බොහෝ සභාවන්ගෙන් පිබිදෙනු දැකීමය.
අපගේම දරුවනුත්, එමෙන්ම අපගේ ආත්මික දරුවනුත්, හැදී වැඩී යෙහෝවඃවහන්සේට ආශීර්වාද කරනු දැකීම විශේෂාකාරයෙන් අපගේ හෘදයට මහත් ප්‍රීතියකි. පොළොවේ මෙම කොටසේ ආත්මික වර්ධනයෙහි අපටත් කුඩා කොටසක් තිබූ බැවින් අපි ප්‍රීති වන්නෙමු. උදාහරණයක් වශයෙන්, සභාවන් 25කට වැඩි සංඛ්‍යාවක කටයුතු සම්බන්ධීකරණය කරන්නාවූ ඇලස්කාවේම ශාඛා කාර්යාලයක්, දැන් ඇත.
මෙහි ප්‍රින්ස් රූපර්ට්හි, බොහෝ දුරට හරියටම නගරය මැද, අලංකාරවත් නව රාජ්‍යය ශාලාවක් කැප කිරීමේ වරප්‍රසාදය 1988දී අපට ලැබුණි. එසේය, මෙලෙස පවසමින්, යෙසායා කළාක් මෙන්, අපිද ප්‍රීති වන්නෙමු: “ස්වාමීන්වහන්ස [අහෝ යෙහෝවඃවහන්ස, NW], ඔබ සෙනඟ වැඩිකළසේක, ඔබ . . . ගෞරවය ලබාගත්සේක. ඔබ දේශයේ සියලු මායිම්ද විශාලකළසේක.”—යෙසායා 26:15.
[21වන පිටුවේ පින්තූරය]
වර්ෂ 1964-67 දක්වා චාරිකා සේවයේ යෙදීම
[24වන පිටුවේ පින්තූරය]
වෙරළ දිගේ සාක්ෂි දැරීමේ වැඩවලට පාවිච්චි කළේ මෙයාකාර නෞකාවකි