ඈ යෙහෝවඃවහන්සේගෙන් බොහෝ කරුණාව ලැබුවාය
“බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය, ශුභසිද්ධවේවා, ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] නුඹ සමඟ සිටිනසේක.” මොනතරම් ආචාරයක්ද! මෙහි කථා කරන්නේ වෙන කිසිවෙකු නොව ගාබ්‍රියෙල් දේව දූතයාය. ඔහු අමතමින් සිටින්නේ නිහතමානි හදවතක් ඇති යෞවන කතක්ය, එනම් හෙලී නම්වූ මිනිසාගේ දියණිය වූ මරියාය. අවුරුද්ද පො.යු.පෙ. 3 වසරය, ස්ථානය නාසරෙත් නුවරය.—ලූක් 1:26-28.
මරියා යෝසෙප් නම් වඩු කාර්මිකයෙකුට විවාහ පොරොන්දු දී සිටින්නීය. යුදෙව් නීතිය හා චාරිත්‍රයට අනුව, ඇය සැලකෙන්නේ ඔහු පාවාගත් භාර්යාව හැටියටයි. (මතෙව් 1:18) ඇය මෙන් ඔහුද දිළිඳු සමාජ මට්ටමකින් පැමිණෙන්නෙකි. එසේ නම්, දේව දූතයා ඈට බොහෝ කරුණාව ඇති තැනැත්තිය කියා ආචාර කරන්නේ මන්ද?
ඇගේ පුදුමාකාර වරප්‍රසාදය
ගාබ්‍රියෙල් තවදුරටත් මෙසේ කියයි: “මරියා, භය නොවන්න මක්නිසාද නුඹට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය. බලව, නුඹ ගර්භිණීව පුත්‍රයෙකු වදන්නීය, උන්වහන්සේට යේසුස් යන නාමය තබාපන්න. උන්වහන්සේ උතුම්ව මහෝත්තමයාණන්ගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. උන්වහන්සේගේ පියවූ දාවිත්ගේ සිංහාසනය දෙවිවූ ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] උන්වහන්සේට දෙනසේක. උන්වහන්සේ යාකොබ්ගේ වංශය කෙරෙහි සදාකාලේටම රජකම්කරනසේක; උන්වහන්සේගේ රාජ්‍යය කෙළවර නොවන්නේය.”—ලූක් 1:29-33.
පුදුමයටත් වියවුලටත් පත් මරියා: “මා පුරුෂයෙකු නෑඳින සිටින බැවින්, මේක වෙන්නේ කෙසේදැයි” අසන්නීය. ගාබ්‍රියෙල් මෙසේ පිළිතුරු දෙයි: “ශුද්ධාත්මයාණන්වහන්සේ [ශුද්ධාත්මය, NW] නුඹ කෙරෙහි පැමිණෙනසේක [පැමිණෙන්නේය, NW], මහෝත්තමයාණන්ගේ ආනුභාවද නුඹ වසාගන්නේය. ඒ නිසා උපදින්ට සිටින තැනැත්තේ ශුද්ධය, දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක.” කිසියම් සැකයක් තිබේ නම්, එය ඉවත් කරනු වස් දේවදූතයා තවදුරටත් මෙසේ කියයි: “බලව, නුඹට නෑවූ එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුත්‍රයෙකු පිළිසිඳ ඉන්නීය. වඳීයයි කියනලද ඈට දැනට සවෙනි මාසයය. මක්නිසාද දෙවියන්වහන්සේගෙන්වූ කිසි වචනයක් බලරහිත නොවන්නේය.”—ලූක් 1:34-37.
මරියා වහාම මෙම පුදුමාකාර සේවා වරප්‍රසාදය පිළිගන්නීය. ඉතා කැමැත්තෙන්, නමුත් නිහතමානීව ඈ මෙසේ ප්‍රතිචාර දක්වන්නීය: “බැලුව මැනව, ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේ, NW] දාසීය; ඔබගේ වචනය ලෙස මට වේවා.” එවිට ගාබ්‍රියෙල් පිටවී යයි. මරියා විගස යූදාහි කඳුකර ප්‍රදේශයේ නගරයක් කරා යන්නීය. පූජක සෙකරියාගේ සහ ඔහුගේ භාර්යාව වන එලිසබෙත්ගේ නිවසට ඇතුළුවනවාත් සමඟම, දේව දූතයා විස්තර කළ තත්ත්වයන් එලෙසින්ම ඈ දකින්නීය. මරියාගේ හදවත මොනතරම් ප්‍රීතියකින් පිරී යයිද! යෙහෝවඃවහන්සේට කරන ප්රශංසාත්මක වදන්වලින් ඇගේ තොල් උතුරා යයි.—ලූක් 1:38-55.
ඈ යෝසෙප්ගේ භාර්යාව බවට පත්වන්නීය
යේසුස්වහන්සේගේ මිනිස් සිරුර කන්යාවකගෙන් ලැබීමට තිබුණි, මන්ද පුරෝකථනය කර තිබුණේ එවන් උපතක්ය. (යෙසායා 7:14; මතෙව් 1:22, 23) එහෙත් සරණගිවිස ගත් කන්‍යාවක් අවශ්‍ය වන්නේ මන්ද? දාවිත් රජගේ සිංහාසනයේ නීතික අයිතිය ලබා දිය හැකි හදාවඩා ගන්නා පියෙකුව සැපයීම සඳහාය. යෝසෙප් සහ මරියා යන දෙදෙනාම යූදා ගෝත්‍රයට අයත් වන අතර, දාවිත් රජගෙන් පැවතෙන්නෝය. එබැවින් යේසුස්වහන්සේගේ උරුම අයිතීන් දෙවදෑරුම් ලෙස පිහිටුවනු ලබනවා ඇත. (මතෙව් 1:2-16; ලූක් 3:23-33) මරියා ගර්භිණීව සිටියත්, ඈ යෝසෙප්ගේ නීත්‍යනුකූල භාර්යාව ලෙස භාර ගැනීමට පසුබට නොවිය යුතු බව දේව දූතයා පසුව යෝසෙප්ට සහතික කර සිටින්නේ එම හේතුව නිසාය.—මතෙව් 1:19-25.a
අගොස්තුස් සීසර් විසින් පනවන අයබදු ගැනීමේ නීතිය නිසා ලියාපදිංචි වීම සඳහා බෙත්ලෙහෙමට යෑමට මරියා සහ යෝසෙප්ට සිදුවේ. එහි සිටින අතරේදී, මරියා සිය පළමු දරුවා ප්‍රසූත කරන්නීය. එඬේරු ළදරුවා බැලීමට පැමිණෙන අතර, ඔවුහු උන්වහන්සේගේ පියාණන් වන යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරති. මෝසෙස්ගේ නීතියට අනුව පවිත්‍රවීමේ දවස් 40ට පසු, තම පව් සඳහා පූජාවක් ඔප්පු කිරීම පිණිස මරියා යෙරුසලමේ දේව මාළිගාවට යන්නීය. (ලෙවී කථාව 12:1-8; ලූක් 2:22-24) එසේය, ඇය ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳිනු නොලැබූ හෙයින්, තවද පාපයේ කැලලෙන් නිදහස්ව නොසිටිය හෙයින්, සමගි කිරීමේ පූජා ඔප්පු කිරීම මගින් ඇගේ උරුම වූ අසම්පූර්ණකම් ආවරණය කළ යුතුය.—ගීතාවලිය 51:5.
මරියා සහ යෝසෙප් දේව මාළිගාවේ සිටින විට, වයස්ගත සිමියොන් සහ වයසක අනාගතවක්තෘවරියක් වන ආනා දෙවියන්වහන්සේගේ පුත්‍රයාව දැක ගැනීමට වරප්‍රසාද ලබති. අවධානයට කේන්ද්‍ර වන්නේ මරියා නොවේ. (ලූක් 2:25-38) පසුව, ශාස්ත්‍රවන්තයන් ගෞරව කරන්නේ ඈට නොව නමුත් යේසුස්වහන්සේටය.—මතෙව් 2:1-12.
මිසරයට පලා ගොස්, දුෂ්ට හෙරොද් රජ මියයන තෙක් එහි රැඳී සිටීමෙන් පසු, යේසුස්වහන්සේගේ දෙමාපියෝ ආපසු පැමිණ නාසරෙත් නම් කුඩා ගම්මානයේ පදිංචි වෙති. (මතෙව් 2:13-23; ලූක් 2:39) යෝසෙප් සහ මරියා, දේව භක්තික පවුලක තත්ත්වයන් තුළ යේසුස්වහන්සේව හදා වඩා ගන්නේ එහිය.
මරියාට තවත් දරුවෝ සිටියහ
කල් යත්ම, මරියා සහ යෝසෙප් යේසුස්වහන්සේට තවත් ස්වාභාවික සහෝදර සහෝදරියන් සපයා දෙති. යේසුස්වහන්සේ සිය දේව සේවයේ නියැලී සිට නාසරෙත් නම්වූ තමා උපන් නගරය වෙත එන විට, උන්වහන්සේගේ ළමා වියේ දන්නා හඳුනන අය උන්වහන්සේව හඳුනාගනිති. “මොහු වඩුවාගේ පුත්‍රයා නොවේද? මොහුගේ මවුගේ නම මරියා නොවේද? මොහුගේ සහෝදරයෝ යාකොබ්, යෝසෙප්, සීමොන් සහ යූදස් නොවෙද්ද? මොහුගේ සියලු සහෝදරියොත් අප අතරෙහි නොවෙද්ද?” යයි ඔවුහු කීවෝය. (මතෙව් 13:55, 56) මෙහි නාසරිය වැසියන් යොමු දක්වමින් සිටින්නේ, යේසුස්වහන්සේගේ මාංසික සහෝදර සහෝදරියන් බවට ඔවුන් දැන සිටින මරියාගේ පුත්‍රයන් සහ දූවරුන් ඇතුළු යෝසෙප් සහ මරියාගේ පවුල වෙතටයි.
එම සහෝදර සහෝදරියෝ යේසුස්වහන්සේගේ ඥාතීහු නොවෙති. ඔවුන් උන්වහන්සේගේ ගෝලයන්වත් ආත්මික සහෝදර සහෝදරියන්වත් නොවේ, මන්ද, යොහන් 2:12හි මෙම කණ්ඩායම් දෙක අතර වෙනස මෙසේ පැහැදිලිව දක්වයි: “උන්වහන්සේද [යේසුස්වහන්සේද] උන්වහන්සේගේ මෑණියෝද ගෝලයෝද කපර්ණවුමට ගියෝය.” වසර ගණාවකට පසුව, යෙරුසලමේදී, ප්‍රේරිත පාවුල් කේපස් හෙවත් පේතෘස් දැක මෙසේ පැවසීය: “ස්වාමීන්වහන්සේගේ සොහොයුරු ජාකොබ් හැර වෙන කිසි ප්‍රේරිතවරයෙකු නුදුටුවෙමි.” (ගලාති 1:19, නව අනුවාදය) එපමණක්ද නොව, “ඇයට පුත්‍රයා ලැබෙන තුරු ඔහු [යෝසෙප්] ඇය [මරියා] සමඟ සහවාසයේ නොයෙදිණි” යන ප්‍රකාශයෙන් අඟවන්නේ, යේසුස්වහන්සේව හදාවඩාගත් පියා ඈ සමඟ පසුව සම්බන්ධකම් පැවැත්වූ බවත් ඔහුට දාව ඈට තවත් දරුවන් සිටි බවත්ය. (මතෙව් 1:25, න.අ.) මේ අනුව, ලූක් 2:7හි යේසුස්වහන්සේව හඳුන්වන්නේ, ඇගේ “කුලුඳුල් පුත්‍රයා” ලෙසටය.
දේව-භයැති මවක්
දේව-භයැති මවක් වශයෙන්, මරියා තම දරුවන් ධර්මිෂ්ටකමෙන් උපදෙස් දීමේදී යෝසෙප් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරන්නීය. (හිතෝපදේශ 22:6) ඇය ශුද්ධලියවිලිවල උනන්දුමත් ශිෂ්‍යාවක් බව, එලිසබෙත් විසින් ආචාර කරනු ලබන විට ආත්මිකත්වයෙන් පිරි ඇගේ ප්‍රකාශවලින් දැකිය හැකියි. එම අවස්ථාවේදී යේසුස්වහන්සේගේ මව, හන්නාගේ ගීතයේ හැඟීම් යළිත් ප්‍රකාශ කරන අතර, ගීතාවලිය, ඓතිහාසික හා අනාවැකිමය ලියවිලි සහ මෝසෙස්ගේ පොත් පිළිබඳ දැනුම විදහාපාන්නීය. (උත්පත්ති 30:13; 1 සාමුවෙල් 2:1-10; හිතෝපදේශ 31:28; මලාකී 3:12; ලූක් 1:46-55) මරියා අනාවැකි සිද්ධීන් හා කියමන් මතකයේ රඳවාගෙන, ඒවා ඇගේ හදවතේ නිධාන කරගෙන, ඒවා තම මනස තුළ කල්පනා කර තිබුණාය. එමනිසා ළමා යේසුස්වහන්සේට දෙමාපිය උපදෙස් දීමෙහිලා හවුල් වීමට දැනුම අතින් ඈ මැනවින් සන්නද්ධ වී සිටින්නීය.—ලූක් 2:19, 33.
හොඳින් උගන්වා තිබූ, 12 හැවිරිදි යේසුස්වහන්සේ, ශුද්ධ ලියවිලි සම්බන්ධව දැනුම විදහාපාන්නේ දේව මාළිගාවේ උගත් මිනිසුන්ව පුදුමයට පත් කරවමිනි. පාස්කු සමයේදී උන්වහන්සේ සිය දෙමාපියන්ගෙන් වෙන්ව සිටි හෙයින්, උන්වහන්සේගේ මව මෙසේ පවසන්නීය: “පුත්‍රය, කුමක් නිසා අපට මෙසේ කළෙහිද? බලව, නුඹේ පියාද මමද සෝකවෙමින් නුඹ සෙවුවෙමු.” යේසුස්වහන්සේ මෙසේ ප්‍රතිචාර දක්වනසේක: “නුඹලා මා සෙවුවේ මක්නිසාද? මාගේ පියාණන්වහන්සේගේ ගෘහයෙහි මා සිටින්ට ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්ද?” මෙම පිළිතුරේ විශේෂත්වය වටහා ගැනීමට අසමත් වන මරියා එය ඇගේ හදවතේ රඳවා තබාගන්නීය. නාසරෙත් වෙතට යළි පැමිණ, යේසුස්වහන්සේ “ප්‍රඥාවෙන් හා උස මහතින්ද දෙවියන්වහන්සේගෙත් මනුෂ්යන්ගෙත් කරුණාවෙහිද” වැඩෙනසේක.—ලූක් 2:42-52.
මරියා, යේසුස්වහන්සේගේ ගෝලයෙකු වශයෙන්
අවසානයේදී මරියා යේසුස්වහන්සේගේ කැපවූ ගෝලයෙකු බවට පත්වීම මොනතරම් උචිතද! දෙවියන්වහන්සේ විසින් ඈට දානය කරන ලද අතිවිශේෂ පැවරුම තිබුණද, මොළොක් ගතිගුණවලින් හෙබි ඇයට, කැපී පෙනෙන්ට කිසිදු වුවමනාවක් නැත. මරියා ශුද්ධ ලියවිලි දන්නීය. ඔබම ඒවා සොයා බැලුවහොත්, ඈ ක්‍රිස්තුස්වහන්සේගේ පිළිබිඹු කරන ලද මහිමය තුළ ගිලී “රාජේශ්වරියක්” වශයෙන් සිංහාසනයක වැඩහිඳගත් සේ, රැස් වළල්ලක් සහිතව දක්වා තිබෙනවා ඔබට හමු නොවෙනවා ඇත. ඒ වෙනුවට, ඔබට ඈව දැක ගත හැකි වන්නේ, ඇය අවධානයට යොමු නොවන සේ පසුබිමේ සිටීමය.—මතෙව් 13:53-56; යොහන් 2:12.
යේසුස්වහන්සේ තම ගෝලයන් අතර මරිය වන්දනාව පිළිබඳ අදහසක් ඉස්මතු වීමට පෙරම එය මුලිනුපුටා දැමූසේක. එක් අවස්ථාවකදී උන්වහන්සේ කථා කරමින් සිටි විට, “එක් ස්ත්‍රියක් කෑ ගසමින් ‘ඔබ දැරූ ගර්භයද ඔබට කිරිදුන් තනද ආශීර්වාදලද්දේය’ යයි කීවාය. උන්වහන්සේ උත්තර දෙමින්, ‘ඊටත් වඩා, දෙවියන්වහන්සේගේ වචනය අසා එය පවත්වන අය ආශීර්වාදලද්දෝය’ යයි පැවසූසේක.” (ලූක් 11:27, 28, ද නිව් අමෙරිකන් බයිබල්, අමෙරිකානු කතෝලික බයිබල් සංගමයේ සාමාජිකයන් විසින් පරිවර්තනය කරන ලදි) විවාහ මංගල්‍ය උත්සවයකදී, යේසුස්වහන්සේ මරියාට මෙසේ පැවසූසේක: “ස්ත්‍රිය, නුඹෙන් මට කම මොකද? මාගේ වේලාව තවම පැමුණුණේ නැත.” (යොහන් 2:4) තවත් පරිවර්තනවල මෙසේ කියවීමට තිබේ: “කාර්යය මගේ භාරයේ තිබෙන්ට හරින්න” (වේමත්) “මාව මෙහෙයවීමට උත්සාහ නොකරන්න” (ඇන් අමෙරිකන් ට්‍රාන්ස්ලේෂන්) එසේය, යේසුස්වහන්සේ සිය මවට ගරු කළසේක, නමුත් උන්වහන්සේ ඈට වන්දනාමාන කළේ නැත.
සදාකාලික වරප්‍රසාද
මරියා භුක්ති වින්දේ මොනතරම් වරප්රසාදද! ඈ යේසුස් වහන්සේව ඉපදෙවූසේක. අනතුරුව ඇය මෙම යෞවන දරුවාට පෝෂණය දී පුහුණු කළාය. අවසානයේදී, ඈ ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු සහ ආත්මික සහෝදරියක බවට පත්වෙමින් ඇදහිල්ල ක්‍රියාවට නැංවූවාය. මරියා ශුද්ධ ලියවිල්ලේ සිටිනවා අපට අන්තිම වතාවට දැක ගත හැක්කේ, ඇය යෙරුසලමේ උඩුමහලේ කාමරයේ සිටින විටය. ඈ එහි යේසුස්වහන්සේගේ ප්‍රේරිතයන් සමඟත් ඇගේ අනෙක් දරුවන් සමඟත් මෙන්ම ඇදහිලිවන්ත ස්ත්‍රීන් සමහරෙකු සමඟත් එකට සිටින්නීය.—ක්‍රියා 1:13, 14.
කල්යත්ම, මරියා මියගිය අතර, ඇගේ සිරුර දූවිල්ලට හැරී ගියේය. ඇගේ ප්‍රිය පුත්‍රයාගේ අනෙක් මුල් ආලේප ලත් අනුගාමිකයන් මෙන්, ඇයද, ස්වර්ගයේ අමරණීය ජීවිතයකට ආත්ම මැවිල්ලක් වශයෙන් නැවත නැගිටවනු ලැබීමට දෙවියන්වහන්සේගේ නියමිත කාලය එන තෙක්, ඈ මරණයේ නින්දට වැටුණාය. (1 කොරින්ති 15:44, 50; 2 තිමෝති 4:8) මෙම “බොහෝ කරුණාව ලැබූ තැනැත්තිය” දැන් යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අභිමුඛයෙහි සිටීමට ලැබීම ගැන කොතරම් සතුටු වෙනවා විය යුතුද!
[පාදසටහන්වල]
a මරියා කන්‍යාවක්ව නොසිටියා නම්, ඈව විවාහ කර ගැනීමට වුවමනා වනු ඇත්තේ කාටද? විවාහ වන යුවතිය කන්‍යාවක් වීම යුදෙව්වන්ට අනිවාර්ය දෙයකි.—ද්විතීය කථාව 22:13-19; සසඳන්න උත්පත්ති 38:24-26.
[31වන පිටුවේ පින්තූරය]
යේසුස්වහන්සේගේ මව වශයෙන් මරියා බොහෝ කරුණාව ලැබුවාය