ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w94 12/1 20-24 පි.
  • අරමුණක් සහිත ජීවිත ක්‍රමයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අරමුණක් සහිත ජීවිත ක්‍රමයක්
  • 1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මගේ ජීවිත කාලීන පැවරුම
  • ක්‍රීඩාව ජීවිත ක්‍රමයක් බවට පත්විය
  • ක්‍රීඩාවලට වෙනස් අරමුණක්
  • අධිෂ්ඨානයන් ක්‍රියාවට නැගීම
  • ශාඛාවේ සේවය
  • දිගටම අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීම
  • මෙය ඔබට තෝරාගත හැකි හොඳම ජීවිත මඟ විය හැකිද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබටත් ඉදිරිපත් විය හැකිද?
    2001 අපගේ රාජ්‍ය සේවාව
  • සාදර ඇරයුමයි!
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි දෙන්නා සහයෝගයෙන් වැඩ කළා
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w94 12/1 20-24 පි.

අරමුණක් සහිත ජීවිත ක්‍රමයක්

මෙල්වා ඒ. වීලන්ඩ් පැවසූ පරිදි

වර්ෂ 1940, මාර්තු වලදී මා බව්තීස්මය ලැබීමෙන් මාස කීපයකට පසුව, මගේ නංගි වන ෆිලිස් මා වෙතට පැමිණ, “ඔබ පුරෝගාමි සේවය නොකරන්නේ ඇයි?” යනුවෙන් මගෙන් ඇසුවාය. “පුරෝගාමි සේවය?” යයි මම ඇසුවෙමි. “ඒ කියන්නේ, සෑම දවසකම වාගේ, පූර්ණ-කාලීනව දේශනා කිරීම?”

බයිබලය පිළිබඳව මගේ සීමිත දැනුමෙන්, ඊටත් වඩා බැංකුවේ සීමිත ඉතිරි කිරීම්වලින්, මට පුරෝගාමියෙක් විය හැක්කේ කෙසේද? යයි මම කල්පනා කළෙමි. එහෙත් ෆිලිස්ගේ ප්‍රශ්නය මාව කල්පනාවට පෙලඹවීය. මා ඒ ගැන බොහෝ සේ යාච්ඤාද කළා.

අවසානයේ මා මෙසේ තර්ක කළා, ‘අප පළමුකොට උන්වහන්සේගේ රාජ්‍යය සොයන්නේ නම්, අපව රැකබලා ගැනීමට උන්වහන්සේ පොරොන්දු කරන හෙයින්, මට දෙවියන්වහන්සේව විශ්වාස කළ නොහැක්කේ මන්ද?’ (මතෙව් 6:33) එබැවින් 1940 ජූනි මස, මම මගේ මැහුම් වෘත්තිය අත්හරින බව දන්වා සිටියෙමි. අනතුරුව පුරෝගාමි පැවරුමක් ඉල්ලමින්, ඕස්ට්‍රේලියාවේ වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට මම ලිපියක් ලිව්වෙමි.

මගේ ජීවිත කාලීන පැවරුම

ඉන් සති කීපයකට පසු මට පිළිතුරක් ලැබුණි. ඉන් දන්වා තිබුණේ ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන, සිඩ්නි ආසන්නයේ පිහිටි ස්ට්‍රැත්ෆීල්ඩ්හි යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ මූලස්ථාන භූමියේ පැවැත්වීමට නියමිතව තිබූ සමුළුවට මා සහභාගි වීමෙන් පසු මට පැවරුමක් දෙනු ලබන බවය. සමුළුවට පසු දින උදෑසන, මගේ පැවරුම ලැබීමට මම එම කාර්යාලයට වාර්තා කළෙමි.

එම කාර්යාලයේ සිටි තැනැත්තා මට මෙසේ පැහැදිලි කළේය: “අපට මේ දිනවල රෙදි සෝදන අංශයේ බොහෝ වැඩ තිබෙනවා. ඔබට නැවතී සති කීපයකට උපකාර කරන්න පුළුවන්ද?” එය සිදුවූයේ 1940 අගෝස්තු මාසයේදීය. මේ දක්වා මා වැඩ කරමින් සිටින්නෙත් එම රෙදි සෝදන අංශයේය! ඒ කාලයේ එම මූලස්ථාන පවුලට අයත්ව සිටියේ 35දෙනෙකු පමණි; දැන් එහි 276දෙනෙක් සිටිනවා.

විශේෂාකාරයෙන් මෙය දැනට වසර 50කට වැඩි කාලයක් පුරා මගේ වැඩය වී තිබෙන බැවින්, රෙදි සෝදන අංශයේ වැඩ කිරීම “අරමුණක් සහිත ජීවිත ක්‍රමයක්” හැටියට මා සලකන්නේ මන්දැයි ඔබ කල්පනා කරන්ට පුළුවන. එය පැහැදිලි කරන්ට පෙර, මා මුලින් ලුහුබැඳි දේවල් ගැන මම ඔබට කියන්නම්.

ක්‍රීඩාව ජීවිත ක්‍රමයක් බවට පත්විය

දරුවන් පස්දෙනෙක් සිටින පවුලක පළමුවැනියා හැටියට 1914 ජනවාරි මස 1වන දින, මෙල්බෝර්න්හි මම උපත ලැබුවෙමි. උසස් ප්‍රමිති අනුව ජීවත් වෙමින් අවශ්‍ය අවස්ථාවන්හි හික්මවීම ලබා දුන් ප්‍රේමනීය මව්පියෝ අපට සිටියහ. අපගේ මව්පියන් පල්ලි යන අය නොවූ බැවින්, අපට තිබුණේ සාමාන්‍ය ආගමික ඇතිදැඩි කිරීමක් පමණක් යයි කිව හැක. එහෙත්, දරුවන් වූ අප එංගලන්ත සභාවේ ඉරිදා පාසැලේ පන්තිවලට සහභාගි විය යුතු බව ඔවුහු බලකර කියා සිටියහ.

වර්ෂ 1928 මා පාසැලෙන් අස්වී ඇඳුම් මසන්නියක් හැටියට වැඩ පටන් ගත්විට, ක්‍රීඩා කිරීම මගේ ලජ්ජා ගතිය යටපත් කිරීමට උපකාරවත් වනු ඇතැයි විශ්වාස කරමින්, ඒ සඳහා වැඩි කාලයක් වැය කිරීමට මම තීරණය කළෙමි. මම ටෙනිස් ක්‍රීඩා සමාජයකට බැඳී වසර පුරාම සෙල්ලම් කළෙමි. ශීත ඍතුවේදී මම පැසිපන්දු හා බේස්බෝල් සෙල්ලම් කළ අතර, ග්‍රීෂ්ම ඍතුවේදී මම කාන්තාවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළෙමි. ක්‍රිකට් මා සැබවින්ම ප්‍රිය කළ ක්‍රීඩාව බවට පත්වූ අතර, අන්තර් ජනපද තරඟවලට සුදුසුකම් ලැබීම සඳහා වේග පන්දු යවන්නියක හැටියට මගේ කුසලතා සම්පූර්ණ කරගැනීමට මම දැඩි වෑයමක් දැරුවෙමි.

ක්‍රීඩාවලට වෙනස් අරමුණක්

නපුරු දේවල් කරන්නන්ට නිමාවක් නොමැතිව වද දෙන නිරය නම් ස්ථානයක් ප්‍රේමයේ දෙවියන්වහන්සේට තිබෙන බවට වූ ඉගැන්වීමෙන් මගේ ජීවිතයේ මුල් භාගයේදී, මම කලබලයට පත්ව සිටියෙමි. මෙය යුක්තිසහගත යයි මට හැඟුණේ නැත. එනිසා “නිරයේ” සැබෑ අර්ථය අනපේක්ෂිත ලෙස මා බයිබලයෙන් ඉගෙනගත් විට මගේ ප්‍රීතිය සිතා බලන්න. එය සිදුවූයේ මෙලෙසයි:

මට වඩා අවුරුදු පහක් බාල, මගේ සහෝදරිය වන ෆිලිස්ද, ක්‍රීඩාවල යෙදීමෙන් ප්‍රීතියක් ලද අතර අප එකම කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සෙල්ලම් කළා. වර්ෂ 1936දී, කණ්ඩායමේ ක්‍රීඩා කළ අගමට ඉතා ලැදි කෙනෙකු බවට ප්‍රසිද්ධියක් දැරූ යෞවනයෙක් වන ජිම් නැමැත්තෙකුට ෆිලිස්ව හඳුන්වා දුන්නේය. ඉක්මනින්ම ජිම් බයිබලයේ ඉගැන්වීම් ගැන ෆිලිස්ට කථා කරන්ට පටන් ගත්තේය. ඇය තුළ මහත් කුතුහලයක් ඇති විය. “එය ඒ තරමටම තර්කානුකූලයි එමෙන්ම යුක්තිසහගතයි” යනුවෙන් ඇය මට කියනවා ඇත.

නිවසේ ෆිලිස් හා මා එකම කාමරයක් හවුලේ බෙදා ගත් අතර දේව රාජ්‍යය ගැන ජිම් ඇයට කියමින් සිටි දේවල් කෙරෙහි ඈ මගේ උනන්දුව වඩවන්ට වෑයම් කළාය. “මිනිස් ආණ්ඩුවලට කරන්ට අසමත් වී ඇති දෙය එය කරන්න යනවා” යයි උනන්දුවෙන් ඈ මට කීවාය. කෙසේවෙතත්, මා ඇය සමඟ වාද කරමින් කියා සිටියේ කිසිවෙක් අනාගතය ගැන හරිහැටි නොදන්නා බවත්, මෙය අපව ව්‍යාකූල කරන තවත් ආගමක් පමණක් බවත්ය. එහෙත් ෆිලිස් ඇගේ වෑයම අත්හැරියේ නැති අතර මා කියවනු ඇතැයි බලාපොරොත්තුවෙන් කාමරය පුරා ප්‍රකාශන තැබුවාය.

මෙම අලුත් විශ්වාසය ගැන ෆිලිස් මෙතරම් උනන්දු වූයේ මන්දැයි මා තුළ කුතුහලයක් ඇති වූ බැවින්, දිනක් මම පොත් පිංචයක් අතට ගත්තෙමි. හියර්ආෆ්ටර් (මතු ජීවිතය) නමැති කුතුහලය දනවන මාතෘකාව එහි තිබුණි. හදිසියේ එහි පිටුවල තිබූ දේවල් බලද්දී, “නිරය” යන වදන දැකීමෙන් මගේ කුතුහලය වැඩි විය. “නිරය” යන බයිබල් වදන සැබවින්ම මිනිස්වර්ගයාගේ පොදු මිනීවළ වෙත යොමු දක්වන බවත්, යහපත් හා දුෂ්ට යන දෙපිරිසම එහි යන බවත් ඉගෙනගැනීමෙන්, මම පුදුමයට පත් වූයෙමි. නිරය පීඩා සිදුකරන ස්ථානයක් නොවන බවද, මළවුන් සිහි නොමැති, කිසිවක් නොදැනෙන තත්ත්වයක සිටින බවද මම ඉගෙන ගත්තෙමි.—දේශනාකාරයා 9:5, 10; ගීතාවලිය 146:3, 4.

නැවත නැගිටීම නමැති ආශ්චර්යකින් මළවුන්ව නැවත ජීවත් කරන්ට ප්‍රේමනීය බලවත් දෙවිකෙනෙකු පොරොන්දු වී ඇති බව එම පොත්පිංචය විශේෂාකාරයෙන් පැහැදිලි කළ විට, එය මට යුක්තිසහගත ලෙස හැඟුණි. (යොහන් 5:28, 29) මෙහිදී ජිම් ෆිලිස්ට කියමින් සිටි දේවල් තවත් දැනගන්ට මටද ඕනෑ විය. මා බාල දරුවෙක්ව සිටියදී මගේ පියා මට දුන් කුඩා කිං ජේම්ස් වර්ෂන් බයිබල් පිටපත මා සොයා ගත් අතර, එම පොත් පිංචයේ දක්වා තිබූ ශුද්ධ ලියවිලි පද පෙරළා බැලුවෙමි. නිරය ගැනත්, මළවුන්ගේ තත්ත්වය ගැනත් පැවසූ දෙය මෙය තහවුරු කළේය.

දෙවියන්වහන්සේට යෙහෝවඃ යන පෞද්ගලික නාමයක් තිබෙන බව ඉගෙනගැනීම මට තවත් සිත් පිනා යන පුදුමයක් විය. (ගීතාවලිය 83:17) දෙවියන්වහන්සේ කළ නැතහොත් සිදුවීමට ඉඩ හළ සෑම දෙයක් වෙනුවෙන්ම උන්වහන්සේට අරමුණක් නැතහොත් හේතුවක් තිබූ බවද මට දැකිය හැකි විය. මෙය මාව පෙලඹවූයේ මාගෙන්ම මෙසේ අසන්ටයි, ‘සැබවින්ම ජීවිතයේ මගේ අරමුණ කුමක්ද?’ එවක් පටන් මා කල්පනා කරන්ට පටන් ගත්තේ ක්‍රීඩාව මෙතරම් බරපතළ ලෙස—එනම්, අන් සියල්ල අභිබවා—සැලකීම මට එතරම් ප්‍රයෝජනවත් වූයේද යනවගය.

අධිෂ්ඨානයන් ක්‍රියාවට නැගීම

ජීවිතය පිළිබඳව මගේ දෘෂ්ටිය වෙනස් වී තිබූ ආකාරය ගැන ජිම් හා ෆිලිස් දැන සිටියේ නැතත්, ඔවුන් එය තේරුම්ගත්තේ මිතුරෙකුගේ උත්සවයකට අපගේ පවුල ආරාධනා ලැබූ විටය. ඒ කාලයේ එවන් උත්සවවලදී පැමිණ සිටින සියල්ලන්ම නැගිට සිට එංගලන්ත රජගේ ගෞරවය පිණිස බීම වීදුරුවක් පානය කිරීම යෝජනා කර, අනතුරුව එය පානය කිරීමට සියල්ලන්ගේම වීදුරු එසවීමක් සිදු කෙරුණි. කෙසේවෙතත්, මා තීරණය කළේ ජිම් හා ෆිලිස් සමඟ දිගටම වාඩිවී සිටින්ටය. මා දිගටම වාඩිවී සිටීම ඔවුන් දුටු විට ඔවුන්ට එය අදහාගත නොහැකි දෙයක් විය! ඇත්තවශයෙන්ම අප, කිසියම් අගෞරව කිරීමක් අදහස් නොකළ මුත්, ක්‍රිස්තියානීන් හැටියට අපට හැඟුණේ අප එවන් ජාතික චාරිත්‍රවල සහභාගි නොවී මධ්‍යස්ථව සිටිය යුතු බවය.—යොහන් 17:16.

එහෙත්, මගේ මව්පියන් හා පවුලේ ඉතිරි අය මෙහිදී භීතියට පත්වූහ. ඔවුන් කීවේ අප රාජද්‍රෝහීන්, නැතහොත් උන්මත්තකව—එසේත් නැතහොත් ඒ දෙකම—කියලා! අනතුරුව, ෆිලිස් හා මා කාන්තාවන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ වාර්ෂික ත්‍යාග පිරිනැමීමට සහභාගි වූ විට, ජාතික උත්සවයකදී සමාන දෙයක් සිදුවිය. ප්‍රතිඵලය වූයේ අප දෙදෙනාම එම කණ්ඩායමෙන් ඉල්ලා අස්වීමය. මෙය මා සිතා සිටි පමණට අපහසු දෙයක් නොවීය, මන්දයත් මගේ සම්බන්ධතාවන් පක්ෂපාතකමත් තිබුණේ දෙවියන්වහන්සේගේ ස්වර්ගික රාජ්‍යයේ රජ වන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේට බව මා අවබෝධ කරගෙන සිටි බැවිනි.

වැඩි බයිබල් දැනුමකින් මගේ ඇදහිල්ල ගොඩනගා ගැනීමට නිතිපතා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට පැමිණිය යුතු බව මෙහිදී ෆිලිස් පැහැදිලි කළාය. ඒ කාලයේ එක් සභාවක් පමණක් මෙල්බෝර්න්හි තිබුණු බැවින්, මා සෑම ඉරුදිනකම සවස් භාගයේ එහි රැස්වීමටවලට යෑමට පටන් ගත්තාය. මෙය දෙවියන්වහන්සේගේ සැබෑ භූමික සංවිධානය බව ඉක්මනින්ම මම හොඳටම තේරුම් ගත්තෙමි.

වැඩිකලක් යන්ට මත්තෙන්, සභාවේ ගෙයින් ගෙට දේශනා කටයුතුවල සහභාගි වීමට මට ආරාධනාවක් ලැබුණි. මුලදී මා අදිමදි කළත්, එක් ඉරුදින උදෑසනක ඔවුන් සමඟ යෑමට මා තීරණය කළේ නිකම්ම එය කෙරෙන ආකාරය බලාගැනීමටයි. පළමු නිවසේදී විශ්වාසයෙන් යුක්තව කථා කරමින් නිවැසියාගෙන් ප්‍රසන්න ප්‍රතිචාරයක් ලැබූ අද්දැකීම් ලත් සාක්ෂිකරුවෙකු සමඟ යෑමට මට පවරනු ලැබූ විට මම සතුටු වූයෙමි. එවිට මා තනිව කල්පනා කළේ, ‘ඇත්තෙන්ම, එය එතරම් අසීරු නැහැ, ඒත් එතරම් හොඳින් කථා කරන්ට පෙර මා බොහෝ සේ පුරුදු පුහුණු විය යුතුයි’ යනුවෙනි. එම පළමු නිවසෙන් පසු, එම සාක්ෂිකරුවා, “දැන් ඔබට තනිවම දේශනා කරන්න පුළුවන්” යයි පැවසූ විට, මා විමතියට පත්වූ ආකාරය සිතා බලන්න.

“තනිවම?” යයි මා ඇසුවේ විස්මයෙනි! “ඔබ කියන්නේ ඇත්තටමද! යමෙක් ප්‍රශ්නයක් අසා මා පිළිතුර දන්නේ නැත්නම් මා මොනවාද කියන්නේ?” එහෙත් මා සමඟ ගිය තැනැත්තිය බලකර සිටියාය. එබැවින්, ඇය මාර්ගයේ අනෙක් පැත්තේ ජනයාට දිගටම සාක්ෂි දැරූ අතර, මා තනිවම සේවය කළේ, ඇත්තවශයෙන්ම වෙවුලමින්ය. කෙසේ හෝ එම පළමු උදෑසන මට සේවයේ යෙදීමට හැකි වුණා.

එතැන් සිට සෑම ඉරුදින උදෑසනකම මම දේශනා සේවයේ හවුල් වන්ට පටන් ගත්තෙමි. නිවසක යමෙක් මට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්නයක් මගෙන් ඇසුවොත්, මා කියන්නේ, “ඒ පිළිබඳව තොරතුරු ඉතා හොඳින් සොයා බලා, ඔබව හමුවෙන්ට මා යළිත් එන්නම්” යනුවෙනි. මගේ නව අරමුණු සහිත ජීවිත ක්‍රමය ගත කිරීමට යෙහෝවඃවහන්සේ දිගටම මට ශක්තියත් ධෛර්යයත් ලබා දීම සතුටට කරුණකි. එබැවින් 1939 ඔක්තෝබරයේ මම මගේ ජීවිතය උන්වහන්සේට කැප කර, මෙල්බෝර්න් නගර පිහිනුම් තටාකයේ බව්තීස්මය ලැබුවෙමි. ඉන් වැඩිකලක් යන්ට මත්තෙන්, ඒ වන විට ජීම් සමඟ විවාහ වී සිටි ෆිලිස් මගෙන් ඇසුවේ, මා පුරෝගාමි සේවය ආරම්භ නොකරන්නේ මන්දැයි යනුවෙනි.

ශාඛාවේ සේවය

වර්ෂ 1941 ජනවාරි මාසයේ, අප ශාඛා කාර්යාලය හඳුන්වන ආකාරයට, බෙතෙල්හි සේවය ආරම්භ කිරීමෙන් වැඩිකලක් යන්ට මත්තෙන්, ඕස්ට්‍රේලියාවේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනමට ලක් කරනු ලැබීය. ඉන්පසු ස්ට්‍රැත්ෆීල්ඩ්හි පිහිටා තිබූ අපගේ බෙතෙල් නිවස හමුදාව අත්පත් කරගත් අතර, මාව නගරයෙන් සැතපුම් 30ක් පමණ පිටතින් වූ ඉංග්ල්බර්න්හි සමිතියේ ගොවිපළට යවනු ලැබීය. වර්ෂ 1943 ජූනි මාසයේ අධිකරණය වොච් ටවර් සමිතිය නිදොස් කර, එම තහනම ඉවත් කළේය. එම වසරේ අවසානය වන විට, අපෙන් 25දෙනෙකුට යළිත් ස්ට්‍රැත්ෆීල්ඩ්හි බෙතෙල් වෙතට ආරාධනා ලැබුණි. එහිදී මම රෙදි සේදීමේ අංශයේ මෙන්ම නිවසේ වෙනත් කටයුතුවල හවුල් වෙමින් දිගටම සේවය කෙළෙමි.

ඊළඟ දශකය වේගයෙන් ගෙවී ගිය බවක් පෙනුණි. අනතුරුව 1956දී, සෙසු බෙතෙල් සේවකයෙක් වන, ටෙඩ් වීලන්ඩ් සමඟ මම විවාහ වුණෙමි. ටෙඩ් ඉතා සන්සුන්, ඉවසිලිවන්ත කෙනෙක් වූ අතර පුරුෂයා හා භාර්යාව හැටියට බෙතෙල්හි දිගටම වාසය කිරීමට අපට අනුමැතිය ලැබුණු විට අපි මහත් ප්‍රීතියට පත් වුණෙමු. ඕස්ට්‍රේලියා ශාඛාවේ සේවය කරන්ට ලැබුණු වරප්‍රසාදය ගැන සතුටෙන්, අපි දෙදෙනාම අපගේ අරමුණක් ඇති ජීවිත ක්‍රමය නිධානයක් සේ රැකබලා ගත්තෙමු. ඇත්තවශයෙන්ම, අපගේ බෙතෙල් සේවයට අමතරව, ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයන් බවට පත්වීමට අන්‍යයන්ට උපකාර කිරීමට එක්ව වැඩ කිරීමේ ප්‍රීතියද අපට තිබුණි. උදාහරණයක් හැටියට, ඔබට 1993 ඔක්තෝබර් 22වන දිනැති එවේක්! සඟරාවේ වීක්ස් පවුල ගැන කියවන්ට පුළුවන.

රාජ්‍යය දේශනාවේ ඒකාකාර වර්ධනය බෙතෙල්හි මගේ පළමු වසර 30 තුළ අපගේ කාර්ය මණ්ඩලයට අවශ්‍ය කළේ 10දෙනෙකුගේ හෝ 12දෙනෙකුගේ එකතුවක් පමණකි. එහෙත් 1970 ගණන්වල මුරටැඹ හා පිබිදෙව්! සඟරා අප මෙහි මුද්‍රණය කරන්ට පටන් ගත් විට තත්ත්වය වේගයෙන් වෙනස් විය. නව මුද්‍රණාලයක් ගොඩනැගීම 1972 ජනවාරියේ ආරම්භ විය. ඉක්මනින් ටොන් 40ක මුද්‍රණාලයක් ජපානයෙන් ලැබුණ අතර 1973 වන විට අපි මසකට සඟරා 7,00,000ක් පමණ මුද්‍රණය කරමින් සිටියෙමු. අපගේ බෙතෙල් පවුල මෙහිදී සැබවින්ම වැඩෙන්ට පටන් ගත්තේය.

එක්දහස් නවසිය හැත්තෑ ගණන් පෞද්ගලිකව මට ශෝකවීමේ කාලයක් විය. මුලින්ම, මගේ දයාබර පුරුෂයා වන ටෙඩ්, 80වන වියේ සිටියදී 1975දී මියගියේය. අනතුරුව, ඉන් වසරකට අඩු කාලයක් තුළ, මගේ මහලු පියාද මරණ නින්දේ සැතපුණේය. මෙහිදී මම යෙහෝවඃවහන්සේගෙන්, උන්වහන්සේගේ වචනය වන, බයිබලයෙන් හා මගේ ආත්මික සහෝදර සහෝදරියන්ගෙන් මහත් සැනසීමක් ලැබුවෙමි. මගේ ජීවිතයේ මෙම අතිශෝචනීය කාලය තුළ බෙතෙල්හි අරමුණක් ඇති මගේ ක්‍රියාවන්හි මා ක්‍රියාශීලීව යෙදී සිටීමද මට අතිශයින් උපකාරවත් විය.

එහෙත්, පසුබෑමෙන් තොරව ජීවිතයට මුහුණ දිය යුතු අතර මෙහිදී වැන්දඹුවක් හැටියට, මම යළිත් තෘප්තිය හා ආශීර්වාද අද්දකින්ට පටන් ගත්තෙමි. වර්ෂ 1978දී, මම එංගලන්තයේ, ලන්ඩන්හි පවත්වන ලද සමුළුවට සහභාගි වූ අතර, අනතුරුව නිව් යෝර්ක්, බෘක්ලින්හි පිහිටා ඇති වොච් ටවර් සමිතියේ මූලස්ථානය බලන්ට ගියෙමි. බෘක්ලින් බෙතෙල්හි ප්‍රීතියෙන් සේවය කරන සිය ගණන් මගේ සහෝදර සහෝදරියන් දැකීම මට අදදින දක්වා ප්‍රබෝධයක් වී ඇත.

එක්දහස් නවසිය හැත්තෑ ගණන් අවසාන වෙත්ම, ඕස්ට්‍රේලියා බෙතෙල් සංකීර්ණය තවත් විශාල කරන්ට සැලසුම් කෙරෙන බව අපට දැනගන්ට ලැබුණි. කෙසේවෙතත්, එම විශාල කිරීම භූමි ප්‍රදේශයේ අපට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති ස්ට්‍රැත්ෆීල්ඩ්හි සිදුවීමට තිබුණේ නැත. ඒ වෙනුවට නව, වඩාත් විශාල සංකීර්ණයක් ගොඩනැගීමට නියමිතව තිබුණේ, 1940 ගණන්වල මුල් භාගයේ තහනම යටතේ මා සේවය කළ, ඉංග්ල්බර්න්හි අපගේ ඉඩමේය.

දිගටම අරමුණක් සහිත ජීවිතයක් ගත කිරීම

වර්ෂ 1982 ජනවාරි මාසයේ අප අපගේ අලුත් ගොඩනැගිල්ලේ පදිංචියට ගිය විට එය කොතරම් පෙලඹීමක් ඇති කළේද! මුලදී සුපුරුදු වාතාවරණයකින් ඉවත්වීම යම් ප්‍රමාණයක දුකක් ඇති කළ බව සැබෑවක් වුවත්, ඉක්මනින්ම සිත්ගන්නා නිදන කාමර 73කින් සමන්විත අපගේ අලුත් නිවස අපව මහත් ප්‍රීතියට පත් කළේය. දැන් ගඩොල් බිත්ති හා අර්ධනාගරික වීදි දෙස බලනවා වෙනුවට, අපට දැකිය හැක්කේ—මහත් ප්‍රීතියක්දනවන දර්ශනයකි—එනම්, කොළ පැහැති කෙත්වතු හා ගස්, තණ බුදින ගවයන් මෙන්ම, කාන්තිමත් ඉරු උදාව හා ඉරු බැසීම්ය.

වර්ෂ 1983 මාර්තු 19වන දින, පියකරු ශරත් ඉරුරැස් තිබියදී, නව සංකීර්ණයේ සිත්ගන්නා කැප කිරීමක් අපට දක්නට ලැබුණි. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලයේ ලොයිඩ් බැරි පොලඹවනසුලු කැප කිරීමේ කථාවක් ඉදිරිපත් කළේය. අප සියල්ලන්ම යෞවනව සිටියදී ස්ට්‍රැත්ෆීල්ඩ් බෙතෙල්හි මා ඔවුන් සමඟ වැඩ කර තිබූ බැවින්, කැප කිරීමේ වැඩසටහනට ඔහු හා ඔහුගේ භාර්යාව පැමිණ සිටීම මම පෞද්ගලිකව අගය කළෙමි.

රාජ්‍යය දේශනා ක්‍රියාවලියේ අඛණ්ඩ වර්ධනය මෙහි ඉංග්ල්බර්න්හි අපගේ ගොඩනැගිලි තවත් පුළුල් කිරීම අවශ්‍ය කරවීය. වර්ෂ 1987දී අපගේ කාර්යාලය විශාල කරන ලදි. අනතුරුව, 1989 නොවැම්බර් 25වන දින, අමතර මහල් පහකින් යුත් නේවාසික ගොඩනැගිල්ලක් හා මහල් තුනකින් යුත් නව කර්මාන්තශාලා ගොඩනැගිල්ලක් කැප කරනු ලැබීය. අප ලබා ඇත්තේ කොතරම් වේගවත් වර්ධනයක්ද—මගේ දේව සේවය මා පටන් ගත් කාලයේ දේව සේවකයන් 4,000කට අඩු ප්‍රමාණයක සිට 59,000ක් පමණ දක්වා!

වඩාත් මෑත කාලයේ ඕස්ට්‍රේලියානු ශාඛාව, ජපානය හා ජර්මනිය සමඟ සමිතියේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල තුනෙන් එකක් බවට පත්කර ඇත. මෙය බෙතෙල් සංකීර්ණය තවත් පුළුල් කිරීමට හේතු පාදක වී ඇත. තවත් තෙමහල් කාර්යාල ගොඩනැගිල්ලක් දැන් සම්පූර්ණ කර ඇති අතර අඛණ්ඩව වර්ධනය වන්නාවූ අපගේ පවුලේ පදිංචියට තවත් කාමර 80ක් ලබා දෙන, මහල් පහක නේවාසික ගොඩනැගිල්ලක වැඩ දැන් බොහෝ දුරට අවසන් වෙමින් පවතී.

රෙදි සේදීමේ අංශයේ වැඩ කිරීමට අපට විශාල සේවක පිරිසක් සිටියද, මට බොහෝ විට සිහිපත් වන්නේ සති දෙකකට මෙම අංශයේ උපකාර කිරීමට මට ආරාධනා කරන ලද 1940 එම අගෝස්තු දිනයයි. එම සති දෙක වසර 50කට වැඩි කාලයක් දක්වා දික්කරනු ලැබීම ගැනත් යෙහෝවඃ දෙවියන්වහන්සේ මගේ පියවර අරමුණක් සහිත ජීවිත ක්‍රමයක් වෙතට මඟ පෙන්වීම ගැනත් මම අතිශයින් කෘතඥ වෙමි.

[21වන පිටුවේ පින්තූරය]

මා අවුරුදු 25ක් වයස්ව සිටි විට

[23වන පිටුවේ පින්තූරය]

වර්ෂ 1956 අපගේ විවාහ දිනය

[24වන පිටුවේ පින්තූර]

වර්ෂ 1938 මගේ සහෝදරියත් මාත් ක්‍රීඩාවල බොහෝ සේ නියැලී සිටියද, දැන් මගේ ජීවිතය වඩාත් ඵලදායකය

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න