පූර්ව නියමය දෙවියන්වහන්සේගේ ප්‍රේමය සමඟ එකඟ කළ හැකිද?
“පූර්ව නියමය යනු, එක් එක් මනුෂ්‍යයා සම්බන්ධයෙන් දෙවියන්වහන්සේ විසින් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරන, උන්වහන්සේගේ සදාතනික සැලැස්ම ලෙස අපි අර්ථ දක්වන්නෙමු. මන්ද, උන්වහන්සේ ඔවුන් සියල්ලන්ව මැවුවේ එකම තත්ත්වයෙන් නොවේ, නමුත් ඇතැම් අයව සදාකාල ජීවනයටත්, තවත් අයව සදාකාල ශාපයටත්, කලින් නියම කරනසේක.”
රෙපරමාදු ප්රතිසංස්කාරක ජොන් කැල්වින් තමාගේ ඉන්ස්ටිටියුට්ස් ඔෆ් ද ක්‍රිස්ටියන් රිලිජන් යන පොතේ, පූර්ව නියමය පිළිබඳ තම සංකල්පය විග්රහ කළේ ඒ අන්දමටය. මෙම සංකල්පය පදනම් වී ඇත්තේ, දෙවියන්වහන්සේ සෑමතැනම වැඩසිටින බවත්, උන්වහන්සේගේ අරමුණු ගැන ප්‍රශ්න කිරීමට හෝ දේවල් වෙනස් කිරීමට උන්වහන්සේට බල කිරීමට, උන්වහන්සේගේ මැවිලිවල ක්‍රියාවන්ගෙන් සිදුවිය නොහැකි බවටත් වූ අදහස මතය.
එහෙත්, දෙවියන්වහන්සේ සම්බන්ධයෙන් බයිබලය සැබවින්ම අඟවන්නේ මෙයද? ඊටත් වඩා වැදගත් ලෙස, එවැනි පැහැදිලි කිරීමක් දෙවියන්වහන්සේගේ ගුණාංග සමඟ—විශේෂයෙන් උන්වහන්සේගේ පරම ගුණාංගය වූ ප්‍රේමය සමඟ අනුකූල වේද?
අනාගතය පුරෝකථනය කිරීමේ හැකියාවෙන් හෙබි දෙවිකෙනෙක්
දෙවියන්වහන්සේට අනාගතය පුරෝකථනය කිරීමට හැකියාවක් තිබේ. “මම වනාහි අන්තිමය මුල පටන්ද තවම සිද්ධනූණදේ පුරාණයේ පටන්ද දන්වන්නාවූ: මාගේ මන්ත්‍රණ පවත්නේය කියාත් මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරන්නෙමියි කියාත් කියන්නාවූ තැනැන්වහන්සේය” යයි උන්වහන්සේ තමන් ගැනම විස්තර කරනසේක. (යෙසායා 46:10) තමන්වහන්සේට ස්වකීය පූර්වදැනුම ක්‍රියාත්මක කළ හැකි බවත්, යම් සිද්ධීන් සිදුවීමට පෙර ඒවා පුරෝකථනය කිරීමට හැකි බවත්, පෙන්වීමට දෙවියන්වහන්සේ, මිනිස් ඉතිහාසය පුරා, ස්වකීය අනාවැකි වාර්තා කර තිබෙනසේක.
මෙසේ, බබිලෝනීය රජවූ බෙල්ෂෙශර්ගේ දවස්වලදී, දානියෙල් රජ, එකෙක් පරයා එකෙක් ගිය වනමෘගයන් දෙදෙනා පිළිබඳ සිහිනයක් දුටුවිට, යෙහෝවඃවහන්සේ එහි අර්ථ දැක්වීම ඔහුට දුන්සේක: “නුඹ විසින් දුටුවාවූ, අං දෙක ඇති බැටළුවා නම් මේදියාවේද පර්සියාවේද රජවරුය. රළු එළුවා ග්‍රීසියේ රජය.” (දානියෙල් 8:20, 21) ලෝක බලවේගයන් එකකට එකක් පසුව පැමිණීම පිළිබඳව හෙළි කිරීමට දෙවියන්වහන්සේ ස්වකීය පූර්වදැනුම ක්‍රියාත්මක කළ බව අමුතුවෙන් කිවයුතු නොවේ. එවකට තිබූ බබිලෝනීය අධිරාජ්‍යයට පසුව මේදිය-පර්සියාවද අනතුරුව ග්‍රීසියද පැමිණෙනු ඇත.
අනාවැකි එක් පුද්ගලයෙකුටද අදාළ විය හැකිය. නිදසුනක් වශයෙන්, මෙසියස්වහන්සේ බෙත්ලෙහෙමේ ඉපදීමට සිටින බව අනාගතවක්තෘ මීකා ප්‍රකාශ කළේය. (මීකා 5:2) යළිත්, මෙම සිද්ධියේදී, දෙවියන්වහන්සේ ස්වකීය පූර්වදැනුම ව්‍යවහාර කළසේක. කෙසේවෙතත්, මෙම සිද්ධිය නිවේදනය කරන ලද්දේ, යම් නිශ්චිත අරමුණක් උදෙසාය—එනම්, මෙසියස්වහන්සේව හඳුන්වා දීමටය. මෙම සිද්ධිය, එක් එක් පුද්ගලයාවම ඇතුළත් කරවන පූර්ව නියමය පිළිබඳ මූලධර්මය සියලුදෙනාට පොදුවේ අදාළ කිරීම යුක්තිසහගත කරන්නේ නැත.
මීට පටහැනිව, ඵලවිපාක මොනවාදැයි කලින් දැන නොගැනීමට දෙවියන්වහන්සේ තෝරාගන්නා තත්ත්වයන් තිබෙන බව ශුද්ධ ලියවිලි හෙළි කරයි. සොදොම් සහ ගොමොරාවේ විනාශයට මොහොතකට පෙර, උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “මම දැන් බැස ගොස් මා වෙතට පැමිණි මොරගැසීම ලෙස ඔවුන් සම්පූර්ණයෙන්ම කළාද කියා බලමි, නැතහොත් දැනගන්නෙමි.” (උත්පත්ති 18:21) යම් කාරණා සොයාබැලීමට පෙර, එම නගරවල තිබූ අපචාරයේ තරම ගැන දෙවියන්වහන්සේ පූර්වදැනුම ක්‍රියාවට නැංවූයේ නැති බව මෙම පාඨය පැහැදිලිව අපට පෙන්වයි.
එක්තරා සිදුවීම් දෙවියන්වහන්සේට කලින් දැකිය හැකි බව සැබෑය, නමුත් බොහෝ සිද්ධීන්හිදී, ස්වකීය පූර්වදැනුම යොදා නොගැනීමට උන්වහන්සේ තෝරාගෙන තිබෙනසේක. දෙවියන්වහන්සේ සර්වබලධාරි බැවින්, අසම්පූර්ණ මිනිසුන්ගේ කැමැත්තට අනුව නොව, නමුත් තමන්වහන්සේගේ කැමැත්තට අනුව ස්වකීය හැකියාවන් ක්‍රියාත්මක කිරීමට උන්වහන්සේ නිදහස්ව සිටිනසේක.
කාරණා හරිගැස්විය හැකි දෙවිකෙනෙක්
කැල්වින් පැවසුවාක් මෙන්, දෙවියන්වහන්සේ මිනිසාව මැවීමට පෙර ඔහුගේ වැටීම පූර්වයෙන් නියම කළ බවත්, උන්වහන්සේ ‘තෝරාගත් අයව’ එම වැටීමට පෙරාතුව පූර්ව නියම කළ බවත්, ඇතැම් අය කියති. එහෙත්, එය සැබෑවක් වූවානම්, ආදම් සහ ඒවට සදාකාල ජීවනය අත්කරගත නොහැකි බව දැනදැනම එම අපේක්ෂාව ඔවුන්හට ඉදිරිපත් කිරීම දෙවියන්වහන්සේගේ පැත්තෙන් කුහක ක්‍රියාවක් නොවනු ඇත්ද? එපමණක්ද නොව, දිව්‍ය මඟ පෙන්වීම් අනුගමනය කර සදාකාල ජීවනය භුක්ති විඳීම, නැතහොත් ඒවා ප්‍රතික්ෂේප කර මියයෑම අතර තේරීමක් කිරීමට පළමු මිනිස් යුවළට අවස්ථාව දුන් බවට, ශුද්ධ ලියවිලිවල කොතැනකවත් ප්‍රතික්ෂේප කරන්නේ නැත.—උත්පත්ති 2වන පරිච්ඡේදය.
එහෙත් ආදම් සහ ඒවගේ පාපය නිසා සැබවින්ම දෙවියන්වහන්සේගේ අරමුණ නිෂ්ප්‍රභ වූයේද? නැත, මන්ද ඔවුන් විසින් පව් කිරීමෙන් පසුව විගසම, දෙවියන්වහන්සේ ප්‍රකාශ කළේ, සාතන් සහ ඔහුගේ නියෝජිතයන් විනාශ කිරීමට “වංශයක්” නැගිටුවනු ඇති බවත්, උන්වහන්සේ යළිත් පොළොව මත කාරණා හරිගස්වන බවත්ය. කෘමීන් ස්වල්පයක් නිසා ගොවියෙකු විසින් හොඳ ඵලදාවක් ලැබීම වළක්වන්ට නොහැකිවාක් මෙන්ම, ආදම් සහ ඒවගේ අකීකරුකම නිසා දෙවියන්වහන්සේ විසින් පොළොව පාරාදීසයක් බවට පත් කරනු ලැබීම වලක්වන්ට යන්නේ නැත.—උත්පත්ති, 3වන පරිච්ඡේදය.
දාවිත් රජගෙන් පැවතෙන්නෙකුට විශ්වාසයෙන් භාර කරනු ලබන රාජ්‍යය ආණ්ඩුවක් තිබෙන්ට යන බවත්, තවත් අයද මෙම රාජ්‍යයට හවුල්වන්ට යන බවත්, දෙවියන්වහන්සේ පසුව හෙළි කළසේක. මෙම අනික් අය වනාහි “මහෝත්තමයාණන්වහන්සේගේ ශුද්ධවන්තයෝ” යයි හඳුන්වනු ලබත්.—දානියෙල් 7:18; 2 සාමුවෙල් 7:12; 1 ලේකම් 17:11.a
පුරෝකථනය කිරීම යනු පූර්ව නියමය නොවේ
මිනිස්වර්ගයා කොයි ක්‍රියාමාර්ගය ගනීවිද යන්න දැනගැනීමට දෙවියන්වහන්සේ විසින් තෝරා නොගැනීම යන කාරණය, මිනිසාගේ යහපත් හෝ නරක ක්‍රියාවල ඵලවිපාක පුරෝකථනය කිරීමෙන් උන්වහන්සේව වැළැක්වූයේ නැත. රියැදුරෙකුට තම වාහනයේ දුර්වල තත්ත්වය ගැන අනතුරු අඟවන කාර්මික ශිල්පියෙකු, යම් අනතුරක් වුවහොත්, එය පූර්වයෙන් නියම කළා කියා ඔහුට චෝදනා කළ නොහැකි අතර, ඔහු ඊට වගකිව යුතුද නොවේ. ඒ හා සමානව, යම් පුද්ගලයෙකුගේ ක්‍රියාවන් නිසා ඇතිවන දුක්ඛිත ඵලවිපාක, කලින් නියම කළාය කියා දෙවියන්වහන්සේට චෝදනා කළ නොහැක.
පළමු මිනිස් යුවළ වෙතින් පැවතෙන්නන් සම්බන්ධයෙන්ද එයම සැබෑවක් විය. කායින් තම සහෝදරයාව මැරීමට පෙර, යෙහෝවඃවහන්සේ ඔහු ඉදිරියේ තේරීමක් තැබූසේක. ඔහු පාපය පාලනය කරන්ට යනවාද, නැතහොත් පාපය ඔහුව පාලනය කරනු ඇත්ද? කායින් නරක ක්‍රියා මාර්ගයක් ගෙන, තම සහෝදරයාව මරාදමනු ඇති බව දෙවියන්වහන්සේ කලින් තීරණය කළ බවක් වාර්තාවේ කිසිවකින් ඇඟවෙන්නේ නැත.—උත්පත්ති 4:3-7.
පසුව, ඉශ්රායෙල්වරුන් යෙහෝවඃවහන්සේ වෙතින් ඉවතට හැරී ගියහොත්, උදාහරණයක් වශයෙන්, මිථ්‍යාදෘෂ්ටික ජාතීන් අතරින් භාර්යාවරුන් පාවාගැනීමෙන්, ඔවුන්ට කුමක් සිදුවනු ඇත්දැයි මෝසෙස්ගේ ව්‍යවස්ථාවෙන් ඔවුන්ට අනතුරු ඇඟවිණි. පුරෝකථනය කර තිබූ දෙය ඇත්තටම සිදුවූයේය. පිළිම වන්දනාව කිරීම සඳහා සිය විදේශීය භාර්යාවරුන්ගේ බලපෑමට හසුවූ සාලමොන් රජු පිළිබඳ ආදර්ශයෙන් මෙය අපට දැකිය හැක. (1 රාජාවලිය 11:7, 8) එසේය, දෙවියන්වහන්සේ ස්වකීය සෙනඟට අනතුරු ඇඟවූසේක, නමුත් පුද්ගලයන් වශයෙන් ඔවුන් ගන්නා ක්‍රියා මාර්ග මොනවාදැයි උන්වහන්සේ කලින් තීරණය කළේ නැත.
ක්‍රිස්තුස්වහන්සේ සමඟ ස්වර්ගයේ පාලනය කිරීමේ පොරොන්දු වී ඇති විපාකය අහිමි කරගැනීමට තමන් කැමති නැත්නම්, එය ආරක්ෂා කරගන්නා මෙන් තෝරාගනු ලැබූවන්ට දිරිගන්වනු ලැබේ. (2 පේතෘස් 1:10; එළිදරව් 2:5, 10, 16; 3:11) අතීතයේ විසූ ඇතැම් දේවධර්මාචාර්යවරුන් ඇසුවාක් මෙන්, තෝරාගනු ලැබූවන් කැඳවීම කලින්ම නිශ්චය කර ඇත්නම්, එවැනි සිහිගැන්වීම් දෙනු ලැබුවේ මන්ද?
පූර්ව නියමය සහ දෙවියන්වහන්සේගේ ප්‍රේමය
“දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන්” මවනු ලැබූ මිනිසාට නිදහස් කැමැත්ත දානය කරන ලදි. (උත්පත්ති 1:27) සෑම චලනයක්ම කලින් තීරණය කරනු ලැබූ රොබෝවරුන් මෙන් නොව, මිනිසා ප්‍රේමයෙන් පෙලඹී දෙවින්වහන්සේට ගෞරව කිරීමට හා සේවය කිරීමට නම්, නිදහස් කැමැත්ත අනිවාර්ය දෙයක් විණි. බුද්ධිමත් නිදහස් මැවිලි විසින් විදහාපානු ලබන ප්‍රේමය, අයුක්තිසහගත චෝදනා නිෂ්ප්‍රභ කිරීමට දෙවියන්වහන්සේට හැකිකම ලබාදෙනු ඇත. උන්වහන්සේ මෙසේ පවසනසේක: “මාගේ පුත්‍රය, මට නින්දාකරන්නාට උත්තරදෙන පිණිස නුඹ ප්‍රඥාවත්ව සිට මාගේ සිත ප්රීතිකරපන්න.”—හිතෝපදේශ 27:11.
දෙවියන්වහන්සේගේ සේවකයන්ව පූර්ව නියම කොට තිබේ නම්, නොඑසේනම්, වෙනත් විදිහකින් කිවහොත්, ක්‍රම ලේඛනය කර ඇත්නම්—තම මැවුම්කරුවාණන් කෙරෙහි වූ ඔවුන්ගේ අව්‍යාජ ප්‍රේමය ප්‍රශ්න කළ නොහැකි වන්නේද? තවද, පුද්ගලයාගේ යෝග්‍යතාව සැලකිල්ලට නොගෙන, දෙවියන්වහන්සේ ඔහුව ස්වර්ගීය මහිමය සහ සන්තෝෂය සඳහා පූර්ව නියම කරයි නම්, එය දෙවියන්වහන්සේගේ අපක්ෂපාතභාවයට පටහැනි වන්නේ නැද්ද? මීට අමතරව, ඇතමෙකු එබඳු විශේෂ සැලකිල්ල ලබන නමුදු, අන්‍යයන් සදාකාල දඬුවමට නියම කර තිබේ නම්, ‘තෝරාගත් අයවලුන්’ හෙවත් “තෝරාගත්තවුන්” කෙරෙහි කෘතවේදී අවංක හැඟීම් කිසිසේත් ඇති නොවනු ඇත.—උත්පත්ති 1:27; යෝබ් 1:8; ක්‍රියා 10:34, 35.
අවසන් වශයෙන්, ක්‍රිස්තුස්වහන්සේ සිය ගෝලයන්ට පැවසුවේ සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන හැටියටය. දෙවියන්වහන්සේ දැනටමත් ගැළවෙන අයව තෝරාගෙන ඇත්නම්, මෙය ශුභාරංචිය ව්‍යාප්ත කිරීමෙහිලා ක්‍රිස්තියානීන් දක්වන ජ්වලිතය බාල කරන්නේ නැද්ද? මෙය දේශනා වැඩය මුළුමනින්ම අර්ථ විරහිත දෙයක් බවට පත් නොකරන්නේද?
දෙවියන්වහන්සේට පෙරළා ප්‍රේම කිරීමට මිනිසුන්ව පෙලඹවිය හැකි ප්රබලතම බලවේගය නම්, දෙවියන්වහන්සේගෙන් පැමිණෙන අපක්ෂපාත ප්‍රේමයයි. දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ශ්‍රේෂ්ඨතම ප්රකාශනය වූයේ, අසම්පූර්ණ පව්කාර මිනිස්වර්ගයා වෙනුවෙන් ස්වකීය පුත්‍රයාණන්ව පූජා කිරීමය. ස්වකීය පුත්‍රයාණන් සම්බන්ධයෙන් දෙවියන්වහන්සේගේ පූර්වදැනුම අතිවිශේෂ කාරණයක් විය, නමුත් යේසුස්වහන්සේ මත රැඳී පවතින යළි පිහිටුවනු ලැබීමේ පොරොන්දු ඇත්තවශයෙන්ම ඉටුවනු ඇති බවට ඉන් අපට සහතික ලැබේ. එනිසා, අපි එම පුත්‍රයාණන් කෙරෙහි ඇදහිල්ල තබා, දෙවියන්වහන්සේ වෙතට සමීප වෙමු. අපගේ මැවුම්කරුවාණන් සමඟ කදිම සබඳතාවකට පැමිණීමට, දෙවියන්වහන්සේ කරන ආරාධනය පිළිගැනීම මගින් අපි අපගේ අගය කිරීම පෙන්වමු. තම නිදහස් කැමැත්ත ක්‍රියාවට නංවා දෙවියන්වහන්සේ උදෙසා වූ තම ප්‍රේමය පෙන්වීමට වුවමනා කරන සියල්ලන්ට දෙවියන්වහන්සේ මෙම ආරාධනය කරනසේක.
[පාදසටහන්වල]
a “ලෝකය පටන්ගැන්මේ සිට” (මතෙව් 25:34) සූදානම් කරනු ලැබූ රාජ්‍යය පිළිබඳව යේසුස්වහන්සේ කථා කරන විට, උන්වහන්සේ යොමු දක්වමින් සිටිය යුත්තේ, පළමු පාපයට පසු යම් කාලයකට විය යුතුය. ලූක් 11:50, 51 ‘ලෝකය මැවීම’ හෙවත් මිදීමේ මිලය මාර්ගයෙන් මුදවාගත හැකි මිනිස්වර්ගයාව පිහිටුවීම, ආබෙල්ගේ කාලයට සම්බන්ධ කරයි.
[7වන පිටුවේ කොටුව]
පංතියක් වශයෙන් පූර්ව නියම කරනු ලැබ
“උන් වහන්සේ කලින් තෝරාගත් අය ස්වකීය පුත්‍රයාණන්ගේ ස්වරූපයට සමාන වන පිණිස කල්තියා වෙන්කරගත් සේක. එසේ කෙළේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් බොහෝ සොහොයුරන් අතර ජ්‍යෙෂ්ඨයාණන් වන පිණිස ය. එසේ, කලින් තෝරාගත් අය උන් වහන්සේ කැඳවාගත් සේක; කැඳවාගත් අය උන් වහන්සේ දේව-සබඳතාවට පැමිණෙවූ සේක; දේවසබඳතාවට පැමිණෙවූ අය උන් වහන්සේ මහිමයට පැමිණෙවූ සේක.” (රෝම 8:29, 30, නව අනුවාදය) මෙම පදවල, පාවුල් විසින් භාවිත කරන ලද “කලින් තෝරාගත්” යන යෙදුම අප තේරුම්ගත යුත්තේ කෙසේද?
පාවුල්ගේ තර්කය, පුද්ගලයන් පූර්ව නියම කොට ඇතැයි යන තර්කයට පක්ෂව ඒකමතික පිළිගැනීමක් නොවේ. අපගේ සියවසේ මුල් භාගයේදී, ඩික්සියොනැර් ඩ ටේයොලොජි කටොලීක් (රෝම, 9-11 පරිච්ඡේදවල) පාවුල්ගේ තර්ක මෙසේ පැහැදිලි කළේය: “කතෝලික විශාරදයන් අතර පවතින්නාවූ, එන්ට එන්ටම පිළිගැනෙන මතය නම්, සදාකාලික ජීවිතයට පූර්ව නියමය පිළිබඳ සැබෑ සංකල්පය විස්තර කර නොමැති බවය.” එම කෘතියම, එම්. ලග්‍රාන්ජ් මෙසේ පවසන බවක් උපුටා දක්වා තිබිණ: “පාවුල් විසින් විස්තර කරන ලද මූලික ප්රශ්නය වනාහි පූර්ව නියමයේ සහ සදාකාලික ශාපයට ලක් කිරීම සම්බන්ධ එකක් නොවේ, නමුත් එය ක්‍රිස්තියානි ධර්මයේ අනුග්‍රහයට පැමිණීමට අන්‍යජාතීන්ට කරන ලද ආරාධනාවකි. එහි අනික් පැත්ත නම්, යුදෙව්වන්ගේ විශ්වාසයේ ඌනතාවයි. . . . එය යොමුදක්වන්නේ කෙළින්ම පුද්ගලයන්ට නොව, නමුත් කණ්ඩායම්, අන්‍ය ජාතීන් මෙන්ම යුදෙව්වන්ටය.”—ඇල අකුරු අපේය.
ඉතා මෑතක, ද ජෙරූසලම් බයිබල් මෙම පරිච්ඡේද (රෝම 9-11) සම්බන්ධව එම නිගමනයම මෙසේ ඉදිරිපත් කළේය: “එබැවින්, මෙම පරිච්ඡේදවල විෂය වනාහි මහිමයට හෝ ඇදහීමට පුද්ගලයන් පූර්ව නියමය සම්බන්ධ ගැටලුවක් නොවේ, නමුත් ගැළවීම පිළිබඳ ඉතිහාසය තුළ ඉශ්රායෙල් ජනතාවගේ කාර්ය භාරය විස්තර කිරීමයි, එය [පැ]රණි [ගි]විසුමේ ප්‍රකාශ මගින් පැනනංවන ලද එකම ගැටලුවය.”
රෝම 8වන පරිච්ඡේදයේ අන්තිම පදද එම පසුබිමට අයත්ය. මෙසේ, මෙම පද යුක්තිසහගත ලෙස අපට සිහිගන්වන්නේ, ක්‍රිස්තුස්වහන්සේ සමඟ පාලනය කිරීම සඳහා දෙවියන්වහන්සේ යම් ‘පංතියක’ හෝ ‘කණ්ඩායමක’ පැවැත්මද, ඔවුන් විසින් සපුරාලිය යුතු අවශ්‍යතාවන්ද, කලින් දුටු බවයි. තවද මෙය කරන ලද්දේ තෝරාගනු ලබන්නේ කවුරුන්ද යන්න නම් වශයෙන් නියම නොකරය, මන්ද මෙසේ කිරීම උන්වහන්සේගේ ප්‍රේමයට සහ යුක්තියට පටහැනිය.