කැපවී සිටින්නේ—කාටද?
“ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කී සියල්ල කරමින් කීකරුවන්නෙමු.”—නික්මයාම 24:7.
1, 2. (අ) ඇතැම් ජනයා කැපවී සිටින්නේ කුමන දේවලටද? (ආ) කැපවීම සීමාව වී ඇත්තේ ආගමකට සම්බන්ධ අයට පමණක්ද?
එක් දහස් නවසිය හතළිස් පහේ පෙබරවාරි මාසයේ, ජපානයේ යාටාබේ ගුවන් සේනාංකයේ සීරෝ ප්‍රහාරක ගුවන් යානාවල නියමුවෝ ශ්‍රවණාගාරයක රැස්වූහ. තමන් කමිකාසේ ප්‍රහාරක බලකායේ සාමාජිකයෙකු වීමට ස්වේච්ඡාවෙන් කැමති වන්නේදැයි ලිවීමට මේ සෑම කෙනෙකුටම කඩදාසි කැබැල්ලක් බැගින් දෙන ලදි. “ජාතික අර්බුදයක් ඇති සමයක මාවම පරිත්‍යාග කිරීම, මාහට ලැබුණු කැඳවීමක් යයි මා සිතුවා,” යනුවෙන් එම කාලයේ සිටි එක් නිලධාරියෙක් පවසයි. “ඉදිරිපත් වීමට චිත්තවේගීය ලෙස පෙලඹුණු මා ඒ සඳහා මගේ කැමැත්ත පළ කළා.” ඕකා (එනම් මරාගෙන මැරෙන රොකට් ගුවන් යානාවක්) ක්‍රියාත්මක කිරීමට, පැදවීමට හා සතුරු යුද්ධ නැවකට එය කඩා වැදීමට සැලැස්වීම පිණිස ඔහුව පුහුණු කරනු ලැබිණි. කෙසේවෙතත්, එසේ කිරීමට ඔහුට ප්‍රස්තාව එළඹීමට පෙර යුද්ධය අවසන් විය, මෙසේ තම රට සහ තමාගේ අධිරාජ්‍යය වෙනුවෙන් මියයෑමටත් ඔහුගේ අවස්ථාව ගිලිහී ගියේය. ජපානය යුද්ධයෙන් පැරදුණු විට, අධිරාජ්‍යයා කෙරෙහි ඔහු තුළ වූ විශ්වාසය දෙදරා යන්ට විය.
2 එම වකවානුවේ ජපානයේ බොහෝදෙනෙක් අධිරාජ්‍යයාට කැපවී සිටි අතර, ඔහු ජීවමාන දෙවිකෙනෙකැයි ඔවුහු විශ්වාස කළෝය. වෙනත් රටවල, භක්තිය ලැබෙන වෙනත් වස්තූන් තිබී ඇති අතර, ඒවා තවමත් පවතී. මිලියන ගණනක්දෙනා මරියාට, බුදුන්ට හෝ වෙනත් දේවතාවුන්ට කැපවී සිටින අතර, බොහෝ විට මේවා පිළිම මගින් නියෝජනය වේ. සිත් පැහැරගන්නා ව්‍යක්ත දේශන මගින් ගසාගෙන යන ඇතැම්හු තමන් අමාරුවෙන් උපයාගත් මුදල්, මුළු හදින්ම අනුග්‍රහය දක්වමින්, රූපවාහිනී එවැන්ජලිස්තවරුන්ගේ සාක්කුවලට දමන්නේ භක්තියට සමාන ආකාරයකිනි. යුද්ධයෙන් පසු, අපේක්ෂාභංගත්වයට පත් ජපන් ජාතිකයෝ, තම ජීවිත කැපකළ හැකි අලුත් දෙයක් සොයන්ට වූහ. ඇතැම් අයට වැඩ කිරීම එම අලුත් දෙය විය. පෙර අපරදිග බොහෝදෙනා වස්තු රැස් කිරීමට තම ජීවිතය කැපකරති. යෞවනයෝ තම ජීවිත සංගීතඥයන් මත කේන්ද්‍රගත කරන අතර, ඔවුන්ගේ ජීවන-රටාව අනුකරණය කරති. අදදින විශාල සංඛ්‍යාවක් තමන්වම නමස්කාරකරන්නන් බවට පත්වෙමින්, තම භක්තිය පුදන වස්තු විෂය ලෙස තමන්ගේම ආශාවන් සලකති. (පිලිප්පි 3:19; 2 තිමෝති 3:2) එහෙත්, එවැනි දේවල් හෝ මිනිසුන් යම් පුද්ගලයෙකුගේ මුළු-ආත්මයෙන් වූ භක්තිය ලැබීමට වටීද?
3. කැපවීම ලැබූ ඇතැම් දේවල් නිෂ්ඵල බවට ඔප්පු වී ඇත්තේ කෙසේද?
3 යථාර්ථයට මුහුණ දෙන කල, පිළිම නමස්කාරයන් බොහෝදෙනෙකුගේ බලාපොරොත්තු සුන්වී යයි. තමන් නමස්කාර කරන පිළිම ‘මනුෂ්‍යයන්ගේ හස්ත කර්මාන්තවලට’ වඩා වැඩි යමක් නොවන බව ඔවුන් වටහාගන්නා විට, පිළිමවලට පුදන භක්තියේ ප්‍රතිඵලය අපේක්ෂා භංගත්වය වේ. (ගීතාවලිය 115:4) ප්‍රධාන පෙළේ එවැන්ජලිස්තවරුන් කරන මුදල් වංචාවන් හෙළිවන විට, අවංක මිනිසුන්ට තම බලාපොරොත්තු සුන්වී ගිය බවක් හැඟේ. “බුබුළු” ආර්ථිකය පිපිරී යන විට, තමන්ට තාවකාලිකව සේවයෙන් ඉවත්වීමට සිදුවන බව දැනගන්නා සේවකයෝ මානසික ව්‍යාකූලතා අද්දකිති. මෑතක සිදුවූ ආර්ථික පසුබැස්ම නිසා, මැමොන් වන්දනාකරුවන්ට තදබල පහරක් වැදිණි. මහා පරිමාණයෙන් මුදල් හම්බකරගැනීමේ අටියෙන් ගත් ණය ගෙවාගැනීමට නොහැකි මහා පීඩාකාරි බරක් බවට පත්විණි. (මතෙව් 6:24, NW පාද සටහන) පිළිමයක් කොට වන්දනාමාන කරනු ලබන රොක් සංගීත තරු සහ වෙනත් විනෝදයට පත්කරන්නන් මියගිය විට හෝ ඔවුන්ගේ ප්‍රසිද්ධිය අඩුවූ විට, ඔවුන්ගේ නමස්කාරකයෝ අසරණ වෙති. එමෙන්ම තමන්වම පිනවාගැනීමේ මාවතක ගමන් කළ අය බොහෝවිට නෙළාගන්නේ තික්ත ඵලදාවක්ය.—ගලාති 6:7.
4. තම ජීවිත නොවටිනා දේවලට කැපකිරීමට ජනයාව පොලඹවන්නේ කුමක්ද?
4 එවැනි නිෂ්ඵල දේවලට තමන්වම කැප කිරීමට ජනයාව පොලඹවන්නේ කුමක්ද? විශාල ප්‍රමාණයකට, එය නම්, සාතන් වන යක්ෂයා යටතේ පවතින ලෝකයේ ස්වභාවයයි. (එපීස 2:2, 3) මෙම ස්වභාවයේ බලපෑම නොයෙක් මාර්ගවලින් දක්නට තිබේ. යම් පුද්ගලයෙකුව, සිය මුතුන්මිත්තන්ගේ කාලයේ පටන් පැවත විත් තිබෙන පවුල් සම්ප්‍රදායන් මගින් පාලනය කරනු ලබනවා විය හැක. අධ්‍යාපනය හා හදාවඩා තිබෙන ආකාරය සිතිවිලිවලට දැඩි සේ බලපානවා විය හැක. රැකියා ස්ථානයේ ඇති වාතාවරණය හේතුකොටගෙන, ඇතමුන්ව තම ජීවිතයට තර්ජනයක් විය හැකි වැඩලෝලීන් බවට පත් කරවිය හැක. ලෝකයේ ද්‍රව්‍යවාදී ආකල්ප මගින් තව තවත් දේවල් ලබාගැනීමට තිබෙන ආශාව පෝෂණය වෙයි. බොහෝදෙනෙකුගේ හෘද දූෂණය වී ඇති අතර, තමන්ගේම ආත්මාර්ථකාමී ආශාවන්ට කැපවීමට ඔවුන්ව පොලඹවයි. මෙම ලුහුබැඳීම් එවන් භක්තියක් ලැබීමට තරම් වටින්නේදැයි විමසා බැලීමට ඔවුහු අසමත් වෙති.
කැපවූ ජාතියක්
5. මීට වසර 3,500කට පමණ පෙර, යෙහෝවඃවහන්සේට කරන ලද කැපවීම කුමක්ද?
5 මීට අවුරුදු 3,500කට පමණ ඉහත, එක් ජාතියක් මීට වඩා බොහෝ සෙයින් වටිනා භක්තිය ලැබිය යුතු වස්තු විෂයක් සොයාගත්හ. ඔවුහු පරමාධිපති දෙවියන් වන යෙහෝවඃවහන්සේට තමන්වම කැපකළහ. කණ්ඩායමක් වශයෙන්, මෙම ඉශ්රායෙල් ජාතිය, සීනයි නමැති පාළුකරයේදී දෙවියන්වහන්සේට වූ තම කැපවීම ප්‍රකාශ කළහ.
6. ඉශ්‍රායෙලිතයන්ට දෙවියන්වහන්සේගේ නාමයේ විශේෂත්වය වීමට තිබුණේ කුමක්ද?
6 මේ අයුරින් ක්‍රියා කිරීමට ඉශ්‍රායෙලිතයන්ව පෙලඹවූයේ කුමක්ද? ඔවුන් මිසරයේ වහල්භාවයේ සිටි විට, ඔවුන්ව නිදහස කරා මෙහෙයවීමට යෙහෝවඃවහන්සේ මෝසෙස්ව පත් කළසේක. තමන්ව එවා ඇති දෙවියන්වහන්සේව තමන් විසින් හඳුන්වාදිය යුත්තේ කෙසේදැයි මෝසෙස් ඇසූ අතර, “මම යම්සේ සිටිම්ද එසේම සිටිමි” යනුවෙන් දෙවියන්වහන්සේ තමන්වහන්සේවම හෙළිදරව් කළසේක. “ස්වයම්භූ නම් තැනැන්වහන්සේ නුඹලා වෙතට මා එවූසේකැයි කියාපන්නැයි” ඉශ්රායෙල් පුත්‍රයන් වෙත පැවසීමට උන්වහන්සේ මෝසෙස්ට අණකළසේක. (නික්මයාම 3:13, 14) මෙම ප්‍රකාශයෙන් ඇඟවෙන්නේ, ස්වකීය අරමුණු සම්පූර්ණයෙන්ම ඉටු කරගැනීම සඳහා යෙහෝවඃවහන්සේ අවශ්‍ය කුමන තත්ත්වයකට හෝ පත්වන බවයි. ඉශ්‍රායෙලිතයන්ගේ ආදිපියවරුන් කිසිවිටෙකත් දැන නොසිටි අන්දමකින් උන්වහන්සේ පොරොන්දු ඉටු කරන්නා බවට තමන්වහන්සේවම හෙළිදරව් කරනසේක.—නික්මයාම 6:2, 3.
7, 8. යෙහෝවඃවහන්සේ වනාහි තම භක්තිය ලැබීමට වටින්නාවූ දෙවිකෙනෙකු බවට ඉශ්රායෙල්වරුන්හට තිබූ සාක්ෂි කවරේද?
7 පීඩා දසය මගින් මිසර දේශයේ ජනතාව දැඩි පීඩා විඳිනවා ඉශ්රායෙල් ජනයා දුටහ. (ගීතාවලිය 78:44-51) අනතුරුව, ස්ත්‍රීන් හා දරුවන් ඇතුළු මිලියන තුනකට වැඩි විය හැකි ජනතාවක්, සියල්ල පොදිබැඳගෙන, එක් රාත්‍රියක් තුළ ගෝෂෙන් දේශයෙන් ඉවත්ව ගිය අතර, තනිව ගත් කල එය අතිවිශේෂ වික්‍රමාන්විත ක්‍රියාවක් විය. (නික්මයාම 12:37, 38) ඊළඟට, රතු මුහුද දෙබෑ කිරීමෙන් ඉශ්‍රායෙලිතයන්ට එය හරහා යෑමට ඉඩහැර එය නැවත හා කිරීමෙන් ඔවුන්ව ලුහුබැඳ ආ මිසරයන්ව ගිලීයෑමට සලස්වමින් ඉශ්‍රායෙලිතයන්ව ඵාරාවෝගේ යුද හමුදාවෙන් ගළවාගත් යෙහෝවඃවහන්සේ තමන් “යුද්ධ දක්ෂයෙක්” බවට එහිදී හෙළි කළසේක. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] මිසරවරුන්ට කළ මහත් ක්‍රියාව ඉශ්රායෙල්වරු දුටුවාහුය, එබැවින් සෙනග ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] භයව ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] . . . විශ්වාස කළෝය.”—නික්මයාම 14:31; 15:3; ගීතාවලිය 136:10-15.
8 යෙහෝවඃවහන්සේගේ නාමයෙන් අදහස් කරන දේ සඳහා තවමත් සාක්ෂි මඳව තිබුණාක් සේ ඉශ්රායෙල්වරු, ආහාර හා වතුර මඳව තිබීම ගැන යෙහෝවඃවහන්සේට හා උන්වහන්සේගේ නියෝජිත මෝසෙස්ට විරුද්ධව කොඳුරන්ට වූහ. යෙහෝවඃවහන්සේ වටුවන් එවූසේක, අහසින් මන්නා වැටීමට සැලැස්සූසේක, තවද මෙරිබාහි පර්වතයකින් වතුර විදීමට සැලැස්වූසේක. (නික්මයාම 16:2-5, 12-15, 31; 17:2-7) යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙලිතයන්ව අමලෙක්වරුන්ගේ ප්රහාරයෙන්ද බේරාගත්සේක. (නික්මයාම 17:8-13) යෙහෝවඃවහන්සේ පසුව මෝසෙස්ට ප්‍රකාශ කළ දෙය ප්‍රතික්ෂේප කිරීමට ඉශ්‍රායෙලිතයන්ට කිසිම අයුරකින්වත් නොහැකි විණි. ඒ මෙසේයි: “ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW], ස්වාමීන්වහන්සේය [යෙහෝවඃවහන්සේය, NW], උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණවූ දයාවන්තවූ උදහස්වීමට ප්‍රමාදවන්නාවූ අධිකතර කරුණාව සහ සැබෑකමද ඇත්තාවූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක, අයුතුකමත් අපරාධයත් පාපයත් ක්ෂමාකරනසේක.” (නික්මයාම 34:6, 7) ඇත්තෙන්ම, යෙහෝවඃවහන්සේම තමන්වහන්සේ වනාහි ඔවුන්ගේ භක්තිය ලැබීමට වටිනා කෙනෙක් බවට ඔප්පු කළසේක.
9. යෙහෝවඃවහන්සේ, තමන්වහන්සේට සේවය කිරීම සඳහා ඉශ්රායෙලිතයන්හට ඔවුන්ගේ කැපවීම ප්‍රකාශ කිරීමට ප්‍රස්තාවක් දුන්නේ මන්ද, තවද ඔවුන් ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද?
9 ඉශ්‍රායෙලිතයන්ව මිසරයේ වහල්බවින් මුදවාගත් නිසා, යෙහෝවඃවහන්සේට ඔවුන්ගේ හිමිකරුවා වීමේ අයිතිය තිබුණද, කරුණාවන්ත හා දයාන්විත දෙවිකෙනෙකු වශයෙන්, උන්වහන්සේට සේවය කිරීම සඳහා වූ ආශාව ස්වේච්ඡාවෙන් පළ කිරීමට උන්වහන්සේ ඔවුන්ට ප්‍රස්තාවක් දුන්සේක. (ද්විතීය කථාව 7:7, 8; 30:15-20) තවද තමන්වහන්සේ සහ ඉශ්‍රායෙලිතයන් අතර ගිවිසුමක් සඳහා උන්වහන්සේ කොන්දේසිද තැබූසේක. (නික්මයාම 19:3-8; 20:1–23:33) මෝසෙස් විසින් මෙම කොන්දේසි දැනුම් දුන් විට, ඉශ්රායෙල්වරු මෙසේ ප්‍රකාශ කළෝය: “ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] කී සියල්ල කරමින් කීකරුවන්නෙමු.” (නික්මයාම 24:3-7) ඔවුහු ස්වකීය කැමැත්තෙන්ම, පරමාධිපති ස්වාමිවූ යෙහෝවඃවහන්සේට කැපවූ ජාතියක් බවට පත්වූහ.
අගය කිරීම කැපවීමට මඟ පෙන්වයි
10. යෙහෝවඃවහන්සේට වූ අපගේ කැපවීම පදනම් විය යුත්තේ කුමක් මතද?
10 මැවුම්කරුවාණන් වන යෙහෝවඃවහන්සේ අපේ පූර්ණ හෘදයෙන් යුත් භක්තිය නොකඩවා ලැබීමට වටිනසේක. (මලාකී 3:6; මතෙව් 22:37; එළිදරව් 4:11) කෙසේවෙතත්, ඉක්මන් විශ්වාසය, හදිසියේ ඇතිවන චිත්තවේග හෝ අන්‍යයන්ගේ—දෙමාපියන්ගෙන් පවා—බලකිරීම මත අපගේ කැපවීම පදනම් නොවිය යුතුය. එය පදනම් විය යුත්තේ, යෙහෝවඃවහන්සේ පිළිබඳ සත්‍යය සම්බන්ධ ඒකාන්ත දැනුමක් මත හා යෙහෝවඃවහන්සේ අප සඳහා කර ඇති දෙය කෙරෙහි අගය කිරීමක් මතය. (රෝම 10:2; කොලොස්සි 1:9, 10, 12ආ; 1 තිමෝති 2:3) යෙහෝවඃවහන්සේ ඉශ්‍රායෙලිතයන්ට තම කැපවීම ස්වේච්ඡාවෙන් ප්‍රකාශ කිරීමට ප්‍රස්තාවක් දුන් සේම, අපවම ස්වේච්ඡාවෙන් කැපකිරීමටත්, එම කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමටත්, උන්වහන්සේ අපට අවස්ථාවක් දෙනසේක.—1 පේතෘස් 3:21.
11. අප විසින් කරන ලද බයිබල් අධ්‍යයනය, යෙහෝවඃවහන්සේ පිළිබඳව හෙළි කර ඇත්තේ කුමක්ද?
11 අපි බයිබල් පාඩමක් තුළින්, දෙවියන්වහන්සේ පුද්ගලයෙකු ලෙස දැනගැනීමට පැමිණෙන්නෙමු. මැවිල්ල තුළ පිළිබිඹු වන්නාවූ ස්වකීය ගුණාංග වටහාගැනීමට උන්වහන්සේගේ වචනය අපට උපකාර කරයි. (ගීතාවලිය 19:1-4) උන්වහන්සේ වනාහි තේරුම්ගත නොහැකි ත්‍රිත්වයක් නොවන බව උන්වහන්සේගේ වචනයෙන් අපට දැකිය හැක. යුද්ධවලින් පරාජය නොවන උන්වහන්සේට එමනිසා, ස්වකීය දෙවිකම අත්හැරීමට සිදුවන්නේ නැත. (නික්මයාම 15:11; 1 කොරින්ති 8:5, 6; එළිදරව් 11:17, 18) උන්වහන්සේ ස්වකීය පොරොන්දු ඉටු කර තිබෙන නිසා, උන්වහන්සේගේ අලංකාර නාමය වන යෙහෝවඃවහන්සේ යන්නෙන් අදහස් කරන දෙය ගැන අපට සිහිගන්වනු ලැබේ. උන්වහන්සේ වනාහි උත්තරීතර අරමුණුකරුවාණෝය. (උත්පත්ති 2:4, පාද සටහන, NW; ගීතාවලිය 83:17; යෙසායා 46:9-11) බයිබලය අධ්‍යයනය කිරීම මගින්, උන්වහන්සේ කොතරම් විශ්වාසවන්තද සහ විශ්වාසය තැබිය හැකිසුලු දෙවිකෙනෙක්ද කියා අපි පැහැදිලිව තේරුම්ගනිමු.—ද්විතීය කථාව 7:9; ගීතාවලිය 19:7, 9; 111:7.
12. (අ) අපව යෙහෝවඃවහන්සේ වෙතට ආකර්ෂණය කරන්නේ කුමක්ද? (ආ) බයිබලයේ වාර්තා වී ඇති සැබෑ ජීවිත අද්දැකීම්, යෙහෝවඃවහන්සේට සේවය කිරීමට වුවමනා වීමට යමෙකුව පොලඹවන්නේ කෙසේද? (ඇ) යෙහෝවඃවහන්සේට සේවය කිරීම ගැන ඔබට හැඟෙන්නේ කෙසේද?
12 විශේෂයෙන් අපව යෙහෝවඃවහන්සේ වෙතට ඇදී යෑමට සලස්වන්නේ උන්වහන්සේගේ ප්‍රේමනීය පෞද්ගලිකත්වයයි. උන්වහන්සේ මිනිසුන් සමඟ කටයුතු කරන විට, මොනතරම් ප්‍රේමනීයද, සමාවදෙනසුලුද, එමෙන්ම මොනතරම් දයාබරිතද කියා බයිබලය පෙන්වාදෙයි. යෝබ් විශ්වාසවන්ත ලෙස සිය අඛණ්ඩතාව රැකගත් පසු, උන්වහන්සේ ඔහුව මොනතරම් සමෘද්ධිමත් කළාද කියා සිතා බලන්න. “යෙහෝවඃවහන්සේ ස්නේහයෙන් හා දයාබරකමින් ඉතා මුදු මොළොක්ය” යන්න යෝබ්ගේ අද්දැකීමෙන් ඉස්මතු වෙයි. (යාකොබ් 5:11, NW; යෝබ් 42:12-17) දාවිත් කාමමිථ්‍යාචාරය කර මිනීමැරූ අවස්ථාවේ යෙහෝවඃවහන්සේ ඔහු සමඟ කටයුතු කළ ආකාරය ගැන සිතා බලන්න. එසේය, පව්කාරයා, “බිඳුණාවූ තැලුණාවූ සිතකින්” යෙහෝවඃවහන්සේ වෙතට එළඹෙන විට, උන්වහන්සේ බරපතළ පව්වලට පවා සමාව දීමට සූදානම්ව සිටිනසේක. (ගීතාවලිය 51:3-11, 17) මුලින් දෙවියන්වහන්සේගේ ජනයාට පීඩා කිරීමට අදිටන් කරගෙන සිටි තාර්සස්හි සාවුල් සමඟ යෙහෝවඃවහන්සේ කටයුතු කළ ආකාරය ගැන සිතන්න. මෙම උදාහරණවලින් කැපී පෙනෙන්නේ, දෙවියන්වහන්සේගේ දයාවත් පසුතැවිලි වෙන්නන්ව යොදාගැනීමට උන්වහන්සේගේ ඇති අව්‍යාජ කැමැත්තත්ය. (1 කොරින්ති 15:9; 1 තිමෝති 1:15, 16) මෙම ප්‍රේමනීය දෙවියන්වහන්සේට සේවය කිරීම කෙරෙහි තම මුළු ජීවිතය පරදුවට තැබිය හැකි බව ඔහුට හැඟිණි. (රෝම 14:8) ඔබටත් ඒ ආකාරයෙන්ම හැඟෙනවාද?
13. හරි හදවත් ඇති අය, තමන්වම යෙහෝවඃවහන්සේට කැපකිරීමට පෙලඹෙන්නේ උන්වහන්සේගේ පැත්තෙන් වූ ප්‍රේමයේ කිනම් මහත් ප්‍රකාශය නිසාද?
13 ඉශ්රායෙල්වරුන් සඳහා, යෙහෝවඃවහන්සේ මිසරයේ වහල් බැම්මෙන් ගැළවීම සැපයූ අතර, පාපයේ හා මරණයේ වහල් බැම්මෙන් අපව මුදවාගැනීම පිණිස උන්වහන්සේ අප සඳහා මාර්ගයක් පිළියෙළ කර තිබෙනසේක—එය නම්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාවයි. (යොහන් 3:16) පාවුල් මෙසේ පවසයි: “දෙවියන්වහන්සේ අප කෙරෙහි ඇති තමන්වහන්සේගේ ප්‍රේමය පෙන්වන්නේ අප පව්කාරයන්ව සිටියදීම අප වෙනුවට ක්‍රිස්තුස්වහන්සේ මරණය විඳීමෙන්ය.” (රෝම 5:8) මෙම ප්‍රේමනීය විධිවිධානය, හරිහෘද ඇති අයව පොලඹවන්නේ, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් යෙහෝවඃවහන්සේට තමන්වම කැපකිරීමටය. “ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේමය අප කෙරෙහි බලපවත්වන්නේය; එසේය, එක් කෙනෙක් සියල්ලන් වෙනුවට මැරුණේය කියාත්, එබැවින් සියල්ලෝම මැරුණෝය කියාත්, උන්වහන්සේ සියල්ලන් වෙනුවට මැරුණේ, ජීවත්වන්නන් තවත් තමුන් උදෙසා ජීවත් නොවී, ඔවුන් වෙනුවට මැරී නැවත නැගුටුණාවූ තැනැන්වහන්සේ උදෙසා ජීවත්වන පිණිසය කියාත්, අපි නිශ්චයකොට කියමු.”—2 කොරින්ති 5:14, 15; රෝම 8:35-39.
14. අපගේ ජීවිත යෙහෝවඃවහන්සේ වෙනුවෙන් කැපකිරීමට පෙලඹවීම සඳහා උන්වහන්සේ කටයුතු කර ඇති ආකාරය පිළිබඳ නිකම්ම දැනුම පමණක් සෑහේද?
14 එහෙත්, යෙහෝවඃවහන්සේගේ පෞද්ගලිකත්වය හා උන්වහන්සේ මිනිස්වර්ගයා සමඟ කටයුතු කරන ආකාරය පිළිබඳ දැනුම ඇතුව සිටීම ප්‍රමාණවත් නොවේ. යෙහෝවඃවහන්සේ කෙරෙහි පෞද්ගලික අගය කිරීම වගා කළ යුතුය. එය කළ හැක්කේ කෙසේද? අපගේ ජීවිත තුළ දේව වචනය අදාළ කිරීමෙන් හා ඒ තුළ හමුවන ප්‍රතිපත්ති සැබෑවට අප තුළම ක්‍රියාත්මක වන බව දැකීමෙනි. (යෙසායා 48:17) සාතන්ගේ පාලනය යටතේ ඇති මෙම දුෂ්ට ලෝකයේ මඩවගුරෙන් යෙහෝවඃවහන්සේ අපව ගළවාගෙන ඇති බව අපට දැනී යා යුතුය. (1 කොරින්ති 6:11 සසඳන්න.) හරි දේ කිරීමට අප කරන පොරබැදීමේදී, අප යෙහෝවඃවහන්සේ මත රඳා සිටීමට ඉගෙනගන්නා අතර, යෙහෝවඃවහන්සේ වනාහි ජීවමාන දෙවියන්වහන්සේ බවත්, “යාච්ඤා අසන තැනැන්වහන්[සේ]” බවත්, අපිම අද්දකින්නෙමු. (ගීතාවලිය 62:8; 65:2) ඉක්මනින් අප උන්වහන්සේට ඉතා සමීපව සිටින බව හැඟෙන විට, අපගේ ගැඹුරු අභ්‍යන්තර හැඟීම් උන්වහන්සේට විශ්වාසයෙන් වැගිරවීමට හැකිවෙයි. යෙහෝවඃවහන්සේ කෙරෙහි ප්‍රේමයේ උණුසුම් හැඟීම අප තුළ වැඩෙයි. මෙය අපගේ ජීවිත උන්වහන්සේට අපවම කැපකිරීමට මඟ පෙන්වන බවට කිසිදු සැකයක් නැත.
15. කලින් ලෞකික රැකියාවකට කැපවී සිටි එක් මිනිසෙකුව යෙහෝවඃවහන්සේට සේවය කිරීමට පෙලඹවූයේ කුමක්ද?
15 බොහෝදෙනෙකු මෙම ප්‍රේමනීය දෙවියන්වහන්සේව දැනගැනීමට පැමිණ, උන්වහන්සේට සේවය කිරීම සඳහා තම ජීවිත කැපකොට තිබේ. දියුණු වෙමින් තිබූ ව්‍යාපාරයක් සතුව තිබූ එක් විදුලි කාර්මික ශිල්පියෙකුගේ ආදර්ශය සලකාබලන්න. ඇතැම් අවස්ථාවල, ඔහු උදෑසනින් ආරම්භ කොට දවස මුළුල්ලේම සහ රාත්‍රිය දක්වා වැඩ කර, තම නිවසට පැමිණෙන්නේ පසුදින අලුයම පහටය. පැයක් පමණ වේලාවක් විවේක ගැනීමෙන් පසු, ඔහු ඊළඟ රැකියාවට යයි. “මා මාගේ වැඩේට කැපවී සිටියා,” යයි ඔහු සිහිකරයි. ඔහුගේ බිරිඳ බයිබලය අධ්‍යයනය කිරීමට පටන්ගත් විට, ඔහු ඇය සමඟ ඊට එක්විය. ඔහු මෙසේ පවසයි: “එම කාලය තෙක් මා දැනගෙන සිටි දෙවිවරුන් සියල්ලන්ම, අපට කිසිම ප්‍රයෝජනයක් පිරිනමන්නේ නැතුව, සේවය කරනු ලබන තෙක් බලා සිටි අයයි. එහෙත් මහත් පෞද්ගලික පරිත්‍යාගයක් කරමින් යෙහෝවඃවහන්සේම මුලපුරා තම ඒක-ජාතක පුත්‍රයාණන්ව පොළොවට එව්වා.” (1 යොහන් 4:10, 19) මෙම මිනිසා, මාස දහයක් ඇතුළත යෙහෝවඃවහන්සේට කැපවිය. ඉන්පසුව, හේ ජීවමාන දෙවියන්වහන්සේට සේවය කිරීම සම්බන්ධව මෙනෙහි කරන්ට විය. පූර්ණ-කාලීන සේවය ආරම්භ කළ ඔහු, අවශ්‍යතාව වැඩි වූ ප්‍රදේශයක සේවය කිරීම සඳහා පදිංචිය මාරු කළේය. ප්‍රේරිතයන් මෙන්, හේ, ‘සියල්ල අත්හැර යේසුස්වහන්සේ අනුව ගියේය.’ (මතෙව් 19:27) මාස දෙකකට පසුව, ඔහු සහ ඔහුගේ භාර්යාව ජීවත්වූ රටේ වොච් ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටිහි ශාඛාවේ සේවය කිරීමට කැඳවන ලදි, ඒ ඔහුට එහි විදුලි කාර්මික වැඩවලට උදව් කිරීමට හැකිවන පිණිසය. ඔහු එම ශාඛාවේ වසර 20කට වඩා සේවය කරමින් සිටින අතර, තමා ප්‍රේම කරන වැඩය කරමින් සිටී—ඒ තමා උදෙසා නොවේ, නමුත් යෙහෝවඃවහන්සේ උදෙසාය.
ඔබගේ කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්න
16. යමෙකු යෙහෝවඃවහන්සේට කැපවීමේදී ගනු ඇති ඇතැම් පියවර මොනවාද?
16 යම් කලකට බයිබලය අධ්‍යයනය කිරීමෙන් පසු, බාල මහලු දෙකොට්ඨාසයම යෙහෝවඃවහන්සේව සහ උන්වහන්සේ ඔවුන් සඳහා කර ඇති දේවල් අගය කිරීමට පැමිණෙනු ඇත. මෙය දෙවියන්වහන්සේට තමන්වම කැපකිරීමට ඔවුන්ව පෙලඹවිය යුතුය. ඔබ මේ අයගෙන් කෙනෙකු විය හැකිය. ඔබවම යෙහෝවඃවහන්සේට කැපකිරීමට ඔබට හැක්කේ කෙසේද? බයිබලයෙන් ඒකාන්ත දැනුම ලැබුවායින් පසු, ඔබ එම දැනුමට අනුව ක්‍රියා කර, යෙහෝවඃවහන්සේ සහ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ල දැක්විය යුතුය. (යොහන් 17:3) අතීතයේ යම් පව්කාර ක්‍රියාමාර්ගයක නිරත වී නම්, පසුතැවිලි වී හැරෙන්න. (ක්‍රියා 3:19, 20ආ) අනතුරුව ඔබ කැපවීමේ පියවර කරා පැමිණෙන අතර, එය ඉතා සන්සුන් වචනවලින් යෙහෝවඃවහන්සේට යාච්ඤාව තුළින් ප්‍රකාශ කරනු ඇත. මෙම යාච්ඤාව ඔබගේ මනස තුළ දිගු කාලීනව රැඳෙනවාට කිසිදු සැකයක් නැත, මන්දයත් මෙය යෙහෝවඃවහන්සේ සමඟ නව සබඳතාවක ආරම්භය වනු ඇති හෙයිනි.
17. (අ) වැඩිමහල්ලන් අලුත කැපවූ අය සමඟ සූදානම් කරගත් ප්‍රශ්න පුනරීක්ෂණය කරන්නේ මන්ද? (ආ) යමෙකුගේ කැපවීමට පසු, විගස ගත යුතු වැදගත් පියවර කුමක්ද, කිනම් අරමුණක් සඳහාද?
17 මෝසෙස්, ඉශ්රායෙල්වරුන්ට යෙහෝවඃවහන්සේ සමඟ ගිවිසුම් සබඳතාවකට ඇතුල්වීමට අවශ්‍ය කොන්දේසි පැහැදිලි කළාක් මෙන්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවල වැඩිමහල්ලෝ, මෑතකදී කැපවීමක් කර ඇති අයට, මීට ඇතුළත් වන දේ හරියටම කුමක්ද කියා පරීක්ෂා කර බැලීමට උපකාර කරති. මේ එක් එක් තැනැත්තා බයිබලයේ මූලික ඉගැන්වීම් මුළුමනින්ම අවබෝධ කරගෙන තිබෙනවාද යන්න ගැනත්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු වීමට ඇතුළත් දේ සම්බන්ධව මුළුමනින්ම දැනුම් තේරුම් ඇතුව සිටිනවාද යන්න ගැනත්, සහතික කරගැනීමට ඔවුහු සූදානම් කරන ලද ප්‍රශ්න යොදාගනිති. අනතුරුව, කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට යම් පිළිවෙතක් අනුගමනය කිරීම වඩාත් යෝග්‍යයය. තමා යෙහෝවඃවහන්සේ සමඟ මෙම වරප්‍රසාද ලත් සබඳතාවකට පැමිණ තිබෙන බව, අන්‍යයන්ට දැනගැනීමට සැලැස්වීමට අලුතෙන් කැපවූ තැනැත්තා ඉතා ආශාවෙන් සිටීම ස්වාභාවිකය. (යෙරෙමියා 9:24 සසඳන්න.) මෙය නිසි පරිදි කරනු ලබන්නේ වතුර බව්තීස්මයෙන් කැපවීම සංකේතවත් කිරීමෙනි. වතුර තුළට ගිලී අනතුරුව ඉන් ඔසවනු ලැබීම සංකේතවත් කරන්නේ, පුද්ගලයා තමාගේම ආත්මාර්ථකාමී මාර්ගය තුළට මියගොස්, නව ජීවිත මාර්ගයකට, එනම් දෙවියන්වහන්සේගේ කැමැත්ත කිරීමට නැවත ඔසවනු ලබනවාය යන්නයි. එය වනාහි සක්‍රමේන්තුවක් නොවේ, එමෙන්ම එය පුද්ගලයෙකුව වතුරෙන් පිරිසිදු කරනු ලබන මිසෝගි යනුවෙන් හැඳින්වෙන ෂින්ටෝ චාරිත්‍රය වැනි චාරිත්‍රයක්ද නොවේ.a ඒ වෙනුවට, බව්තීස්මය වූ කලි, එවිටමත් යාච්ඤාවෙන් කරනු ලැබ ඇති කැපවීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමකි.
18. අපගේ කැපවීම නිෂ්ඵල එකක් නොවනු ඇති බවට අපට නිසැක විය හැක්කේ මන්ද?
18 මෙම උදාර අවස්ථාව වනාහි, දෙවියන්වහන්සේගේ මෙම නව සේවකයාට, දැන් යෙහෝවඃවහන්සේ සමඟ තමාට තිබෙන කල්පවතින සබඳතාව සිහිගන්වන, අමතක නොවන අද්දැකීමකි. කමිකාසේ ගුවන් නියමුවා තම රටට සහ අධිරාජ්‍යයාට කළ කැපවීම මෙන් නොව, යෙහෝවඃවහන්සේට කරනු ලබන මෙම කැපවීම නිෂ්ඵල නොවනු ඇත, මන්ද, උන්වහන්සේ වනාහි කිරීමට තමන් අභිප්‍රාය කරගෙන සිටින සියල්ල සාක්ෂාත් කරගන්නා සදාකාලික සර්වබලධාරී දෙවියන්වහන්සේ වනසේක. අපගේ මුළු-ආත්මයෙන්වූ කැපවීම ලැබීමට වටින්නේ උන්වහන්සේය, උන්වහන්සේ පමණකි.—යෙසායා 55:9-11.
19. ඊළඟ ලිපියේ සාකච්ඡා වනු ඇත්තේ කුමක්ද?
19 කෙසේවුවද, කැපවීම තුළ මීට වඩා බොහෝ දේ තිබේ. නිදසුනක් වශයෙන්, කැපවීම අපගේ එදිනෙදා ජීවිතයට බලපාන්නේ කෙසේද? මෙය ඊළඟ ලිපියේ සාකච්ඡා කරනු ලබනවා ඇත.
[පාදසටහන්වල]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යොර්ක්, ඉන්ක්., මගින් ප්‍රකාශිත මෑන්කයින්ඩ්’ස් ස්ර්ච් ෆෝර් ගෝඩ්, පිටු 194-5 බලන්න.
ඔබට මතකද?
◻ ලෞකික කැපවීම් අපේක්ෂා භංගත්වයට පත්වී ඇත්තේ මන්ද?
◻ තමන්වම යෙහෝවඃවහන්සේට කැපකිරීමට ඉශ්‍රායෙලිතයන්ව පෙලඹවූයේ කුමක්ද?
◻ අදදින අපවම යෙහෝවඃවහන්සේට කැපකිරීමට අපව පොලඹවන්නේ කුමක්ද?
◻ අප අපවම දෙවියන්වහන්සේට කැප කරන්නේ කෙසේද?
◻ වතුර බව්තීස්මයේ ඇති වැදගත්කම කුමක්ද?
[10වන පිටුවේ පින්තූරය]
ඉශ්රායෙල් ජාතිය සීනයිහිදී තමන්වම යෙහෝවඃවහන්සේට කැප කළෝය