මගේ ජීවිතයේ කළ හැකි හොඳම දේ කිරීම
බොබ් ඇන්ඩර්සන් පැවසූ පරිදි
අවුරුදු දහයකට පමණ උඩදී, මිත්‍රයෝ කිහිපදෙනෙක් මගෙන් මෙසේ ඇසුවා: “බොබ්, පුරෝගාමියෙකු ලෙස ඔබ මෙතරම් කාලයක් ගත කර තිබෙන්නේ ඇයි?” මද සිනහවක් පාමින් මා මෙසේ පැවසුවා, “හොඳයි, පුරෝගාමියෙකු වීමට වඩා හොඳ දෙයක් ගැන ඔබට සිතිය හැකිද?”
වර්ෂ 1931දී මා පුරෝගාමි සේවය ආරම්භ කළ විට, මට අවුරුදු 23යි. මා දැන් සිටින්නේ මගේ 87වන අවුරුද්දේ, එමෙන්ම තවමත් පුරෝගාමි සේවයේ නිරත වෙමින්. මගේ ජීවිතයේ මට මීට වඩා හොඳ දෙයක් කළ නොහැකිව තිබුණ බව මම දන්නවා. ඊට හේතුව මම පැහැදිලි කරන්නම්.
වර්ෂ 1914දී අපගේ නිවසෙහි පත්‍රිකාවක් තබා ගොස් තිබුණා. එවකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව හැඳින්වූ පරිදි, ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍යයන් විසින් එය ප්‍රකාශයට පත් කර තිබුණා. එම සාක්ෂිකරුවා නැවත පැමිණි විට, මගේ මව නිරාගින්න ගැන ඔහුගෙන් බොහෝ විස්තර විමසුවා. ඇය ඇති දැඩි වී සිටියේ, තද වෙස්ලියන් මෙතෝදිස්තයෙකු හැටියට වුවත්, සදාකාල වධවිඳීමේ මෙම ඉගැන්වීම ප්‍රේමයේ දෙවිකෙනෙකු සමඟ එකඟ කිරීමට ඇයට කිසිවිටකත් හැකිවුණේ නැහැ. කාරණය පිළිබඳ සත්‍යය ඉගෙනගත් වහාම, ඈ මෙසේ පැවසුවා: “මෙතරම් සන්තෝෂයක් මට ජීවිතයටවත් දැනිලා නැහැ!”
මගේ මව මෙතෝදිස්ත ඉරිදා පාසැලේ ඉගැන්වීම විගස නැවැත්වූ අතර, කුඩා බයිබල් ශිෂ්‍ය කණ්ඩායමට එකතු වුණා. ඇය අපගේ ගම වන බර්කන්හෙඩ්හි දේශනා කිරීමට පටන්ගත්තා, මෙය පිහිටා තිබෙන්නේ මර්සි ගඟෙන් එගොඩ ලිවර්පූල් වරාය ඉදිරිපිටය. එමෙන්ම වැඩි කල් නොගොස් ඈ නිතිපතා ළඟපාත නගරවලට බයිසිකලයෙන් ගමන් කරමින් සිටියා. ඇගේ ජීවිතයේ කෙළවර දක්වා ඈ මෙම පුළුල් බලප්‍රදේශයෙහි සාක්ෂි දැරූ අතර, ඇගේ දරුවන්ට කදිම ආදර්ශයක් සපයමින් හොඳ ප්‍රසිද්ධියක් ලැබුවා. ඈ 1971දී අවුරුදු 97ක ඉතා පූර්ණ ආයු කාලයක් ලබා මිය ගියා, අවසානය දක්වා ඈ ක්‍රියාශීලී සාක්ෂිකාරියක ලෙස සේවය කළා.
අම්මාත් සමඟ බයිබල් ශිෂ්‍යයන්ගේ රැස්වීම්වලට යෑම සඳහා, මගේ සොහොයුරි කැත්ලින් සහ මාව මෙතෝදිස්ත ඉරිදා පාසැලෙන් ඉවත් කරනු ලැබුවා. පසුව, මගේ පියාත් අප සමඟ පැමිණි විට, ද හාප් ඔෆ් ගෝඩ් යන පොතෙන් නිතිපතා බයිබල් පාඩමක් කිරීමට මගේ දෙමාපියෝ විධිවිධාන යෙදුවා. එදා එවැනි පාඩමක් කිරීම නුහුරු නුපුරුදු දෙයක් වුවත්, කල්යත්ම මගේ සොහොයුරියත් මාත් පුරෝගාමි සේවයට ඇතුල් වූ හෙයින්, මූලික බයිබල් සත්‍යය තුළ මෙම මුල් මූලික පුහුණුව බොහෝ සෙයින් ප්‍රයෝජනවත් වුණා.
වර්ෂ 1920දී ලිවර්පූල්හි “ෆොටෝ-ඩ්‍රාමා ඔෆ් ක්‍රියේෂන්” (මැවීම පිළිබඳ චිත්‍රපටි නාට්‍යය) නැරඹීම දරුවන් වූ අප ආත්මික කාරණාවලට නැඹුරුවීමට දායක වූවා යන අදහස අම්මාට තිබුණා, ඒ සම්බන්ධයෙන් ඈ නිවැරදි වුණා. එදා මා කොතරම් ළාබාලව සිටියත්, එම ප්‍රදර්ශනය කිරීම මගේ මනසට විචිත්‍ර ලෙස කාවැදුණා. මගේ මතකයේ කැපී පෙනෙන කොටස නම්, යේසුස්වහන්සේගේ ජීවිතය දැක්වූ එකයි, විශේෂයෙන්ම උන්වහන්සේ සිය මරණය දක්වා ගමන්ගත් ආකාරය පෙන්නුම් කළ කොටස මට බලපෑවා. මේ මුළුමහත් අද්දැකීම මට උපකාරවත් කළේ ජීවිතයේ වඩාත්ම වැදගත් වැඩය කෙරෙහි මාගේ අවධානය යොමු කිරීමටයි—එනම් දේශනාකිරීම!
එක්දහස් නවසිය විසිගණන්වල මුල් භාගයේ, ඉරිදා අපරභාගවලදී, මගේ මව සමඟ පත්‍රිකා බෙදා දීමට මම පටන්ගත්තා. මුලින්ම අපට උපදෙස් දෙනු ලැබුවේ ඒවා නිවාසවල තබා යෑමටයි; පසුව අපට කිව්වේ ඒවා නිවැසියන්ගේ අතටම දී, උනන්දුව දැක්වූ අය නැවත බැහැදැකීමට කියායි. මම මෙය සලකන්නේ, අදදින මෙතරම් ඵලදායක වන අපගේ නැවත බැලීම් සහ බයිබල් පාඩම් ක්‍රියාකාරකම සඳහා මුල් අත්තිවාරම හැටියටයි.
පුරෝගාමි සේවය තුළට!
කැත්ලින් සහ මම බව්තීස්ම ලැබුවේ 1927දියි. වර්ෂ 1931දී, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන නාමය වැලඳගැනීමට වූ අධිෂ්ඨානය ගැන මට ආරංචි වූ විට, මා ලිවර්පූල්හි, විග්රහාත්මක රසායනඥයෙකු ලෙස වැඩ කරමින් සිටියා. සමිතියේ කෝල්පෝටර්වරුන් විසින් ලිවර්පූල්හි ව්‍යාපාර ප්‍රදේශ වැඩ කරනු ලැබීම මා නිතර දැක තිබුණු අතර, ඔවුන්ගේ ආදර්ශය මගේ සිතට හොඳින් කාවැදුණා. යෙහෝවඃවහන්සේගේ සේවය තුළ මගේ ජීවිතය වැය කරමින්, ලෞකික ආශ්රයෙන් නිදහස් වීමට මා තුළ තිබූ ආශාව මොනතරම්ද!
එම අවුරුද්දේම ගිම්හානයේදී, මගේ මිත්‍ර ගෙරි ගැරාඩ් මට කියා සිටියේ, ඔහු ඉන්දියාවේ දේශනා කිරීමට වූ පැවරුමක් වොච් ටවර් සමිතියේ දෙවන සභාපති වූ ජෝසෆ් එෆ්. රදෆර්ඩ්ගෙන් පිළිගෙන තිබූ බවයි. නැවෙන් පිටත්ව යෑමට කලින්, ඔහු මාව බැහැදැකීමට පැමිණි අතර, පූර්ණ-කාලීන සේවය නමැති වරප්‍රසාදය ගැන කතා කළා. ඔහු මගෙන් සමුගත් විට, “බොබ්, වැඩි කලක් යන්ට පෙර ඔබත් පුරෝගාමියෙකු වන බව මට නම් ස්ථිර” යයි පැවසීමෙන් ඔහු මා තවත් දිරිමත් කළා. ඇත්තෙන්ම එය සිදුවුණා. එම ඔක්තෝබර් මාසයේදීම මම සම්බන්ධ වුණා. පිටිසරබද පළාත්වල පටු පාරවල් ඔස්සේ බයිසිකලයෙන් ගමන් කරමින්, හුදකලාවේ සිටි ප්‍රජාවන්ට දේශනා කිරීම මොනතරම් ප්‍රීතියක්ද, මොනතරම් නිදහසක්ද! මට කවදා හෝ කළ හැකි වඩාත්ම වැදගත් වැඩයට මා පා තබමින් සිටි බව මා දැනසිටියා.
මගේ පළමු පුරෝගාමි පැවරුම දකුණු වේල්ස් වූ අතර, එහි සිටි සිරිල් ස්ටෙන්ටිෆර්ඩ් හා එක් වුණා. පසුව සිරිල් කැත්ලින් හා විවාහ වූ අතර, ඔවුන් එකට වර්ෂ කිහිපයකට පුරෝගාමි සේවයේ යෙදුණා. ඔවුන්ගේ දියණිය, රූත් පසුකාලයකදී පුරෝගාමි සේවයට ඇතුළත් වුණා. වර්ෂ 1937 වූ විට, මා සිටියේ ලැන්කර්ෂයර්හි ෆ්ලීට්වුඩ්වලය—එරික් කුක්ගේ සහකරුවා හැටියටයි. ඒ තාක් කල්, පුරෝගාමීන් බ්‍රිතාන්‍යයේ පිටිසරබද ප්‍රදේශවල පමණක්, එනම් සභා බලප්‍රදේශයෙන් පිටස්තරව සේවය කළා. එහෙත් සමිතියේ ලන්ඩන් ශාඛා කාර්යාලයේ වැඩ භාරව සිටි ඇල්බර්ට් ඩී. ෂ්රෝඩර් තීරණය කළා අපව යෝර්ක්ෂයර්හි බ්‍රැඩ්ෆර්ඩ් නගරය වෙතට මාරු කිරීමට. බ්‍රිතාන්‍යයේ පුරෝගාමීන් යම් නිශ්චිත සභාවකට උපකාර කිරීමට පැවරුම් ලැබූ පළමු අවස්ථාව මෙය වුණා.
වර්ෂ 1946දී, එරික් වොච්ටවර් බයිබල් ස්කූල් ඔෆ් ගිලියඩ් වෙතට ගිය අතර, අනතුරුව දැන් සිම්බාබ්වේ ලෙස හඳුන්වනු ලබන දකුණුදිග රොඩීෂියාවට පැවරුම් ලැබුවා, එමෙන්ම ඔහුද ඔහුගේ භාර්යාවද දකුණු අප්‍රිකාවේ ඩර්බන්හි තවමත් මිෂනාරිවරුන් හැටියට විශ්වාසවන්තව සේවය කරමින් සිටිනවා.
වර්ෂ 1938දී මට තවත් පැවරුමක් ලැබුණා, මෙවර වයඹදිග ලැන්කර්ෂයර් සහ රමණීය විල් දිස්ත්‍රික්කයේ කලාපීය සේවක වීමට (දැන් චාරිකා අවේක්ෂක ලෙස හැඳින්වේ) මට අවස්ථාව ලැබුණා. එහිදී මට ඔලිව් ඩකට් හමුවූ අතර, අප විවාහ වූවායින් පසු, ඈ විගස චාරිකා වැඩවලදී මා හා එක්වුණා.
යුද්ධ සමයේදී අයර්ලන්තය
වර්ෂ 1939 සැප්තැම්බර්හිදී බ්‍රිතාන්‍ය ජර්මනියට එරෙහිව සටන් වදින බව ප්‍රකාශ කළ විගස, මගේ පැවරුම අයර්ලන්තය දක්වා මාරු කෙරුණා. බ්‍රිතාන්‍යයේ යුද හමුදාවට බලෙන් බඳවාගැනීම ආරම්භ වී තිබුණත්, යුද්ධය පැවති මුළු කාලය පුරාම මධ්‍යස්ථ රටක් ලෙස පැවති දකුණුදිග අයර්ලන්ත ජනරජයේ එවැන්නක් සිදුවූයේ නැහැ. අයර්ලන්ත ජනරජය සහ උතුරු අයර්ලන්තය එක චාරිකාවක් බවට පත් කරනු ලැබීමට නියමිත වුණා. කෙසේවෙතත්, සීමා තහංචි පනවා තිබූ බැවින්, අයර්ලන්තයේ ඕනෑම ප්‍රදේශයක් බලා බ්‍රිතාන්‍යයෙන් පිටත්වීම සඳහා ගමන් කිරීමේ බලපත්‍ර ලබාගැනීම අත්‍යවශ්‍ය වුණා. මට යෑමට හැකි බව බලධාරීන් පැවසුවත්, මගේ වයස් සීමාවේ කණ්ඩායම කැඳවනු ලබන අවස්ථාවේදී, ආපසු වහාම එංගලන්තයට ඒම සඳහා එකඟ වීමට මට සිදුවුණා. මා වාචිකව එකඟතාව පළ කළත්, මගේ බලපත්‍රය ලැබූ විට, එහි කිසිදු කොන්දේසියක් සඳහන්ව නොතිබීම මගේ පුදුමයට හේතුවක් වුණා!
ඒ කාලයේදී, මුළු අයර්ලන්තය පුරාම සිටියේ සාක්ෂිකරුවන් 100දෙනෙකුට මදක් වැඩි සංඛ්‍යාවක් පමණයි. වර්ෂ 1939 නොවැම්බර්හිදී අප ඩබ්ලින් කරා ළඟා වූ විට, බොහෝ කලක් පුරෝගාමි සේවයේ සිටි ජැක් කෝර් අපව පිළිගත්තා. ළඟපාත නගරයක තවත් පුරෝගාමීන් දෙදෙනෙකුද, ඩබ්ලින්හි උනන්දුව දක්වන ස්වල්පදෙනෙකුද, මුළුමනින්ම 20දෙනෙකු පමණද සිටින බව ඔහු අපට පැවසුවා. රැස්වීමක් සඳහා ජැක්, ඩබ්ලින්හි කාමරයක් කුලියට ගත් අතර, එහිදී සෑම ඉරුදිනකම නිතිපතා රැස්වීමට සියලුදෙනාම එකඟ වුණා. වර්ෂ 1940දී සභාව පිහිටුවනු ලැබූ දා පටන් මේ දක්වා මෙම විධිවිධානය දිගටම ගෙනයනු ලැබුවා.
එක්සත් රාජධානියේ කොටසක් වශයෙන් උතුරු අයර්ලන්තය, ජර්මනියත් සමඟ සටන් වදිමින් සිටියා, එබැවින් අප උතුරට බෙල්ෆාස්ට් වෙත ගිය විට, ආහාර සලාක පොත් ලබාගැනීමටත් රාත්‍රිය අඳුරෙහි ගත කිරීමටත් අපට සිදුවුණා. බෙල්ෆාස්ට් කරා ළඟා වීමටත්, ආපසු යුරෝපයේ සිය ප්‍රධාන කඳවුරු දක්වා යෑමටත්, නාට්සි අහස්යාත්රාවලට සැතපුම් 1,000කටත් වඩා බෙහෙවින් වැඩි දුරක් පියාසර කිරීමට සිදුවුවත්, නගරය මත සාර්ථකව බෝම්බ හෙළීමට ඔවුන් සමත් වුණා. පළමු ප්‍රහාරයේදී අපගේ රාජ්‍යය ශාලාවට අලාභහානි සිදුවූ අතර, නගරයේ වෙනත් ප්‍රදේශයක අප සහෝදරයන් බැහැදකිමින් සිටි අවස්ථාවේදී අපගේ වාසස්ථානය විනාශ වුණා, එනිසා අපි පුදුම විදිහට බේරුණා. එම රාත්‍රියේදීම, සාක්ෂිකාර පවුලක් බෝම්බ ප්‍රහාරවලින් රැකවරණ සපයන ප්‍රජා රක්ෂස්ථානයක් දක්වා දිව ගියා. ඔවුන් එහි පැමිණි විට, එය පිරී තිබුණු බව පෙනී ගිය නිසා, ඔවුන්ට ආපසු සිය නිවස බලා යෑමට සිදුවුණා. එම රක්ෂස්ථානය මත කෙළින්ම බෝම්බයක් වැටීම නිසා, එහි සිටි සියලුදෙනාම මරණයට පත්වුණා, නමුත් අපගේ සහෝදරයන් තුවාල සහ තැළුම් ස්වල්පයක් ලැබුවත් බේරී ජීවත්වුණා. එම දුෂ්කර යුද්ධ කාලය තුළදී, අපගේ එක් සහෝදරයෙකුටවත් බරපතළ තුවාල සිදුවුණේ නැහැ, ඒ සඳහා අපි යෙහෝවඃවහන්සේට ස්තුති කළා.
ආත්මික ආහාර සැපයුම්
යුද්ධය තවදුරටත් දිගටම වර්ධනය වූවාත් සමඟම, සීමා තහංචි වඩාත් දැඩි වූ අතර, අවසානයේදී, ලිපි හුවමාරුව මත තහංචි පනවනු ලැබුවා. මින් අදහස් කළේ මුරටැඹ සඟරාව මත තහංචි පමුණුවනු ලැබූ බවත්, එය රට තුළට ඇතුල්වීම තහනම් කරනු ලැබූ බවත්. අපට කළ හැක්කේ කුමක්ද කියා අප කල්පනා කළත්, යෙහෝවඃවහන්සේගේ අත කොටවෙලා තිබුණේ නැහැ. එක් උදෑසනක කැනඩාවේ සිටින “ඥාති සහෝදරයෙකුගෙන්” මට ලිපියක් ලැබුණු අතර, ඔහු පවුලේ සාමාජිකයන් ගැන මට ලියමින් සිටියා. ඔහු කවරෙක්ද කියා මට කිසිදු අදහසක් නොතිබුණත්, ලියුමේ පහළ සටහනක ඔහු පවසා සිටියේ මාහට කියවීම සඳහා තමා “ඉතා සිත්ගන්නාසුලු බයිබල් ලිපියක්” මේ සමඟ එවා තිබෙන බවයි. එය මුරටැඹ පිටපතක්, නමුත් එහි කවරයෙහි කිසිවක් මුද්‍රණය කර නොතිබුණු නිසා, තහංචි නිරීක්ෂක විසින් එය ඉවත් කර තිබුණේ නැහැ.
විගස මගේ භාර්යාවත් මමත්, “ෆොටෝ-ඩ්‍රාමා” වැඩයෙහි යෙදී තිබුණු මැගි කූපර් ඇතුළුව ප්‍රදේශයේ සාක්ෂිකරුවන්ගේ උපකාරය ඇතුව, ලිපිවල පිටපත් සෑදීමට පටන්ගත්තා. කිසිවක් මුද්‍රණය නොකරන ලද කවර සහිත මුරටැඹ සඟරා කැනඩාව, ඕස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදවලින් අලුත් මිත්‍රයන් බොහෝදෙනෙකුගෙන් නිතිපතාම පැමිණීමත් සමඟ, පිටපත් 120ක් රට පුරා බෙදා හැරීමට අපි සංවිධානය වුණා. ඔවුන්ගේ උත්සාහවන්තකම සහ කරුණාවන්තකමට අප ස්තුතිවන්ත විය යුතුයි, ඇයි කිව්වොත්, මුළු යුද්ධ සමය පුරා අපට සෑම කලාපයක්ම අතපසු නොවී ලබාගන්ට හැකි වුණ නිසයි.
අපට එක්රැස්වීම් පවත්වන්ටත් හැකියාව ලැබුණා. චිල්ඩ්රන් (දරුවෝ) යන නව ප්‍රකාශය මුදාහරිනු ලැබූ 1941 සමුළුව මින් කැපීපෙනෙන එකක්. දරුවන් පිළිබඳ පොතක් හැටියට ගණන්ගත් පොතක් ගැන තහංචි නිරීක්ෂක, විරෝධතා දැක්වූයේ නැති බවක් පෙනෙන්ට තිබුණු අතර, අපගේ පොත් සැපයුම් කිසිදු කරදරයක් නැතිව රට තුළට ගෙන්වාගැනීමට අපට හැකි වුණා! තවත් අවස්ථාවකදී, පීස්—කැන් ඉට් ලාස්ට්? (සාමය—ඊට පැවතිය හැකිද?) යන පොත් පිංචය අප දේශීය ලෙස මුද්‍රණය කළේ, ලන්ඩනය සිට පිටපත් ආනයනය කිරීම කළ නොහැක්කක් වූ නිසයි. අප මත කොතරම් තහංචි පනවනු ලැබුවත්, අපගේ ආත්මික අවශ්‍යතා හොඳින් පිරිමහනු ලැබුවා.
විරුද්ධවාදීකම් මැඩපැවැත්වීම
යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු විසින් බලාගන්නා ලද බෙල්ෆාස්ට් සාත්තු නිවසක සිටි පූජකයෙක්, එංගලන්තයේ සිටි තම භාර්යාවට රිචස් (ධනය) යන පොතේ පිටපතක් එව්වා. ඈ සත්‍යයට විරුද්ධව සිටි අතර, ඇගේ පිළිතුරේදී ඈ එම කාරණය පැහැදිලි කළා. අප “දේශානුරාගී නොවන සංවිධානයක්” බවද ඈ තරයේ කියා සිටියා. තහංචි නිරීක්ෂකගේ අවධානයට මෙය හසු වූ අතර, ඔහු මෙම කාරණය අපරාධ විමර්ශන අංශයට වාර්තා කළා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, යම් පැහැදිලි කිරීමක් දීමට මගෙන් පොලිස් බැරැක්කවලට යෑමට ඉල්ලා සිටිනු ලැබුවා, එමෙන්ම රිචස් නමැති පොතේ පිටපතක් ගෙන ඒමට ඉල්ලා සිටිනු ලැබුවා. එම පොත අවසානයේදී ආපසු ලබාගත් විට, එහි ඉරි ගසා තිබුණු කොටස් සියල්ලම රෝමානු කතෝලික සභාව ගැන බව මගේ සැලකිල්ලට භාජන වුණා, මෙය සිත්ගන්නාසුලු දෙයක්. පොලිසිය IRAහි (අයර්ලන්ත ජනරජ හමුදාවෙහි) ක්‍රියාකාරකම් ගැන විමසිල්ලෙන් සිටි නිසා, මෙය වැදගත් යමක් වූ බව මට හැඟුණා.
පොලිසියට අපගේ ස්ථාවරය තේරුම්ගැනීම දුෂ්කර වූ නිසා, යුද්ධ සමය තුළදී අපගේ මධ්‍යස්ථභාවය පිළිබඳව මගෙන් හොඳටම ප්‍රශ්න අසනු ලැබුවා. එහෙත් බලධාරීන් අපට විරුද්ධව කිසිදාක යම් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. පසුව, එක්රැස්වීමක් පැවැත්වීමට මා අවසර ඉල්ලූ අවස්ථාවේදී, පොලිස් වාර්තාකරුවන් දෙදෙනෙකු එවීමට පොලිසිය බලකර සිටියා. මම මෙසේ පැවසුවා, “අපි ඔවුන්ව සාදරයෙන් පිළිගන්නවා!” එනිසා ඔවුන් පැමිණ අපරභාගයේ පැවති රැස්වීමට සහභාගි වෙමින්, ලඝුලේඛන සටහන් ගනිමින් සිටියා. සැසිවාරය අවසානයේදී, ඔවුන් මෙසේ ඇසුවා, “අපව මෙහි එව්වේ ඇයි? අපි සෑම දෙයකින්ම මහත් ආස්වාදයක් ලැබුවා!” ඊළඟ දවසේදී ඔවුන් ආපසු පැමිණි අතර, පීස්—කැන් ඉට් ලාස්ට්? යන අපගේ පොත් පිංචයේ පිටපතක් ඔවුන් නොමිලයේ සතුටින් පිළිගත්තා. එක්රැස්වීමේ ඉතිරි කොටස කිසිදු අනවශ්‍ය දෙයක් සිදුවන්නේ නැතිව නිමාවකට පත්වුණා.
යුද්ධය අවසන් වූ විගස ගමන් කිරීමේ තහංචි ලිහිල් කරනු ලැබූ අතර, ලන්ඩනයේ බෙතෙල් සිට ප්‍රයිස් හියූස් බෙල්ෆාස්ට් වෙත පැමිණියා. ඔහු සමඟ පැමිණි හැරල්ඩ් කිං, පසුව චීනයේ මිෂනාරිවරයෙකු හැටියට පැවරුම් ලැබුවා. ලන්ඩන්හි ශාඛා කාර්යාලය සමඟ අවුරුදු හයකට කිසිදු සම්බන්ධයක් නොමැතිව සිටීමෙන් පසුව, මෙම සහෝදරයන් දුන් කතාවලින් අපට මහත් දිරියක් ලැබුණා. බෙල්ෆාස්ට්හි රාජ්‍යය සේවය ශක්තිමත් කිරීම සඳහා එංගලන්තයේ සිට තවත් විශ්වාසවන්ත පුරෝගාමි සේවකයෙකුව, එනම් හැරල්ඩ් ඩියූර්ඩන්ව යවනු ලැබුවා.
නැවතත් එංගලන්තයට
අයර්ලන්තයේ සහෝදරයන් සඳහා අපගේ ප්‍රේමය වර්ධනය වී තිබුණු බැවින්, එංගලන්තය බලා ආපසු යෑම දුෂ්කර දෙයක් වුණා. එහෙත් මගේ භාර්යාවත් මාත් ආපසු මැන්චෙස්ටර් වෙත පවරනු ලැබුවා, එමෙන්ම අවශ්‍යතාව වැඩි තැනක් වූ තවත් ලැන්කර්ෂයර් නගරයක් වූ නියූටන් ල විලෝස් වෙතට අපි ඉන්පසු මාරු වුණා. අපගේ දියණිය වූ ලොයිස්, 1953දී උපත ලැබූ අතර, වයස අවුරුදු 16දී ඇය පුරෝගාමි සේවයට ඇතුල්වනවා දැකීම හද උණුසම් කරවන දෙයක් වුණා. ඇය පුරෝගාමියෙකු වූ ඩේවිඩ් පාර්කින්සන් හා විවාහ වීමෙන් පසු, ඔවුන් දෙදෙනා උතුරු අයර්ලන්තයේ සිය පූර්ණ-කාලීන සේවය දිගටම ගෙන ගියා, එය හරියටම ඔලිව් සහ මා තබා ගිය පියසටහන්වල ඔවුන් ගමන් කළා හා සමානයි. දැන්, දරුවන් සිටින ඔවුන් නැවතත් එංගලන්තයේ, එමෙන්ම අපි සියලුදෙනාම එකම සභාවේ සේවය කරමින් සිටිනවා.
අපගේ තත්වයන්හිදී වෙනස්කම් සිදුවුවත්, මම කවදාවත් පුරෝගාමි සේවය නතර කළේ නැහැ—ඔලිව්ටත් මටත් එසේ කිරීමට කිසිදාක වුවමනා වුණේ නැහැ. මගේ පුරෝගාමි සේවා වාර්තාව මගේ භාර්යාව සමඟ හවුලේ භුක්තිවිඳිය යුතු බවට මට සැමවිටම හැඟී ගොස් තිබෙනවා, මන්දයත් ඇගේ නිරන්තර, ප්‍රේමනීය ආධාරය තිබුණේ නැත්නම්, මට පූර්ණ-කාලීන සේවයේ දිගටම යෙදීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඇත්තවශයෙන්ම, දැන් නම්, අපට වෙහෙස මහන්සිය වඩාත් ඉක්මනින් දැනුණත්, සාක්ෂිදැරීම තවමත් ප්‍රීතිය ගෙනදෙන දෙයක්, අපගේ අසල්වැසියන් සමඟ බයිබල් පාඩම් පවත්වමින් සිටින විට මෙය විශේෂයෙන්ම සැබෑවක්. පසුගිය අවුරුදු ගණනාව පුරා අපට හැකි වී තිබෙනවා පුද්ගලයන් සියදෙනෙකුට පමණ යෙහෝවඃවහන්සේගේ කැපවූ බව්තීස්ම ලත් සේවකයන් බවට පත්වීම සඳහා උපකාර කිරීමේ වරප්‍රසාදය ලබන්ට. එය මොනතරම් ප්‍රීතියක් වී තිබෙනවාද! ඇරත් තුන්වන සතරවන පරම්පරා දක්වා විහිදෙන පවුල්ද සාක්ෂිකරුවන් බවට පත්වී සිටින බැවින්, මෙම සංඛ්‍යාව දෙගුණ තෙගුණ වී ඇති බව මම සිතනවා.
ගතවී තිබෙන අවුරුදු ගණනාව පුරා අප ලැබූ වරප්‍රසාද හා අද්දැකීම් සම්භාරය ගැන ඔලිව් සහ මම නිතර කතා කරනවා. ඒවා මොනතරම් සන්තෝෂය ගෙනදෙන අවුරුදු වී තිබේද, එමෙන්ම ඒවා මොනතරම් වේගයෙන් ගමන් කර ඇත්ද! මේ සෑම අවුරුද්දක් තුළ මගේ දෙවිවූ යෙහෝවඃවහන්සේට, පුරෝගාමියෙකු ලෙස සේවය කිරීමට වඩා මට වෙනත් කිසිදු දෙයක් කිරීමට සොයාගත නොහැකි බව මම දන්නවා. දැන් අතීතය දෙස කෘතඥතාවෙන් යුතුව බැලුවත්, ඉදිරිය දෙස අපේක්ෂාවෙන් බැලුවත්, යෙරෙමියාගේ මෙම වදන්වලට ඉමහත් අර්ථයක් තිබෙන බව මට තේරුම් ගොස් තිබෙනවා: “අප විනාශ නූණේ ස්වාමීන්වහන්සේගේ කරුණාවල් නිසාත් උන්වහන්සේගේ අනුකම්පාවල් නොනවතින නිසාත්ය. ඒවා උදයෙන් උදය අලුත්ව තිබේ; . . . එබැවින් උන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවන්නෙමි.”—විලාප ගී 3:22-24.
[26වන පිටුවේ පින්තූරය]
බොබ් සහ ඔලිව් ඇන්ඩර්සන්