බයිබලයේ යාච්ඤා දෙස සමීප බැල්මක් හෙළීම වටී
සිත් තැවුලෙන් සිටි ස්ත්‍රියක, රජ කෙනෙකු සහ දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් විසින් පවසන ලද යාච්ඤාවලට දැන් අපි සමීප බැල්මක් හෙළමු. මේ එක් එක් යාච්ඤා කීමට පොලඹවනු ලැබුවේ වෙන වෙනස් තත්වයන් යටතේය. එහෙත්, එවැනි තත්වයන් අදදින අපටත් බලපෑම් කළ හැකිය. මෙම ආදර්ශවලින් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
“ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා”
දිගටම පවතින ගැටලුවක් සමඟ ඔබ පොරබදමින් සිටින්නෙහිද? නැතහොත් ඔබ සිත්තැවුල්වලින් බරවී සිටින්නෙහිද? එසේනම්, හන්නා සිය පළමු දරුවා වූ සාමුවෙල්ව බිහි කිරීමට පෙර ඇය සිටි තත්වයට බොහෝ සමාන තත්වයක ඔබ සිටින්නෙහිය. ඈ දරුවෙකු නොමැතිව සිටි අතර, තවත් ස්ත්‍රියකගේ නින්දා අපහාසවලට ලක්වෙමින් සිටියාය. ඇත්තවශයෙන්ම, හන්නා කොතරම් ලසෝ තැවුල් මැද සිටියාද කියතොත්, ඇය කෑම කෑවේද නැත. (1 සාමුවෙල් 1:2-8, 15, 16) යෙහෝවඃවහන්සේට කන්නලව් කළ ඈ, පහත සඳහන් ආයාචනය උන්වහන්සේට ඉදිරිපත් කළාය:
“සේනාවල ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], ඔබගේ මෙහෙකාරීගේ දුක සැබවින් බලා මා සිහිකර, ඔබගේ මෙහෙකාරී මතක නැතිනොකර, ඔබගේ මෙහෙකාරීට පිරිමි දරුවෙක් දෙනසේක් නම්, ඔහුගේ ජීවිතයේ සෑමදාටම ඔහු ස්වාමීන්වහන්සේට [යෙහෝවඃවහන්සේට, NW] දෙන්නෙමි, දැළිපිහියක්ද ඔහුගේ හිස පිටට නොපැමිණෙන්නේය.”—1 සාමුවෙල් 1:11.
හන්නා සාමාන්‍යයෙන් අවිනිශ්චිත ලෙස කතා නොකළ බව සැලකිල්ලටගන්න. ඈ (පිරිමි දරුවෙකු සඳහා) විශේෂ ඉල්ලීමක් සමඟින් යෙහෝවඃවහන්සේව ඇමතූ අතර, එය කළේ ස්ථිර අධිෂ්ඨානයක්ද සමඟය (දරුවාව දෙවියන්වහන්සේගේ සේවයට භාර දීම). මෙය අපට පවසන්නේ කුමක්ද?
විපත්තිවලට මුහුණ දෙන විට, යාච්ඤාවලදී විශේෂයෙන් එම කාරණය ගැන සඳහන් කරන්න. ඔබගේ ගැටලුව, නිවසේ තත්වයක් ගැන වේවා, තනිකම වේවා හෝ අසනීපයක් වේවා, එය කුමක් වුවත්, ඒ ගැන යෙහෝවඃවහන්සේට යාච්ඤා කරන්න. ඔබගේ දුෂ්කරතාවේ නියම ස්වභාවය ගැනද, ඒ සම්බන්ධයෙන් ඔබට හැඟෙන ආකාරයද උන්වහන්සේට විස්තර කරන්න. “සෑම සැන්දෑවකම මම මගේ සෑම කරදරයක් ගැන යෙහෝවඃවහන්සේට විශ්වාසයෙන් භාර දෙනවා” යයි ලුයිස් නමැති එක් වැන්දඹුවක් පවසන්නීය. “ඇතැම් අවස්ථාවලදී එවැනි දුෂ්කරතා ගණනාවක් තිබෙනවා, නමුත් මම මේ එකිනෙක පැහැදිලිව සඳහන් කරනවා.”
නිශ්චිතාකාරයෙන් යෙහෝවඃවහන්සේට කතා කිරීමද ප්‍රයෝජන ගෙන එයි. එසේ කිරීම, අපගේ ගැටලු පැහැදිලිව ප්‍රකාශ කිරීමට අපට උපකාර කරයි, එවිට ඒවා එතරම්ම බැරෑරුම් ලෙස නොපෙනෙනවා විය හැක. සුවිශේෂී යාච්ඤා පැවසීම අපව කනස්සලුභාවයෙන් නිදහස් කරයි. හන්නාගේ යාච්ඤාවලට පිළිතුරු ලැබීමට පෙර පවා, ඈට සැනසිල්ලක් දැනුණු අතර, “ඇගේ මුහුණද තවත් මලානිකව නොතිබුණේය.” (1 සාමුවෙල් 1:18) එපමණක්ද නොව, කිව යුතු දේ හරියටම කීමෙන්, අපගේ යාච්ඤාවට ලැබෙන පිළිතුර හඳුනාගැනීමට පහසු කරයි. ජර්මනියේ ක්‍රිස්තියානියෙකු වන බෙර්න්හාට් මෙසේ පවසයි: “මා මගේ යාච්ඤාවලදී කිව යුතු දේ හරියට කියන විට, පිළිතුරු වඩාත් පැහැදිලිව දැකගත හැකියි.”
“මම වනාහි කුඩා ළමයෙක්මි”
කෙසේවෙතත්, යම් පුද්ගලයෙකුට යම් පැවරුමක් ලැබෙන විට, තමන් එය ලැබීමට නොවටින්නේ යයි හැඟී යනවා නම්, වෙනත් ආකාරයේ හැඟීමක් ඇතිවන්ට පුළුවන. යෙහෝවඃවහන්සේ ඔබට පවරන වගකීම්වලින් ඔබ යටපත්ව යන බවක් ඇතැම් විට ඔබට දැනෙනවාද? නැතහොත්, ඔබේ පැවරුමට ඔබ නුසුදුස්සෙකු ලෙස වෙනත් අය ඔබව සලකනවාද? යෞවන සාලමොන් ඉශ්රායෙලයේ රජ ලෙස පත් කරනු ලැබූ විට, ඔහු සිටියේ එම තත්වයේය. වෙනත් කෙනෙකුව සිංහාසනයේ තැබීමට ප්‍රධාන පෙළේ ඇතමෙක් කැමති වූහ. (1 රාජාවලිය 1:5-7, 41-46; 2:13-22) තම පාලනයේ මුල් වකවානුවේ, සාලමොන් යාච්ඤාවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කළේය:
“දැනුදු මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස [යෙහෝවඃවහන්ස, NW], ඔබ . . . ඔබගේ මෙහෙකරුවා රජකොට පත්කළසේක. මම වනාහි කුඩා ළමයෙක්මි; පිටතට යන්ටත් ඇතුළට එන්ටත් නොදනිමි. . . . ඔබගේ මේ සෙනඟ විනිශ්චය කරන පිණිස යහපත හා නපුර දැනගන්ට පුළුවන්වන ලෙස නුවණැති සිතක් [කීකරු හෘදයක්, NW] ඔබගේ මෙහෙකරුවාට දුන මැනව.”—1 රාජාවලිය 3:7-9.
සාලමොන් සිය යාච්ඤාව කේන්ද්‍රගත කළේ, යෙහෝවඃවහන්සේ සමඟ වූ සිය සම්බන්ධතාව, තමා දී තිබූ වරප්‍රසාදය සහ එය කරගෙන යෑමට වූ තම හැකියාව මතය. මේ හා සමාන අයුරින්, අපගේ හැකියාවෙන් ඔබ්බට තිබේ යයි අපට හැඟෙන යම් පැවරුමක් අපට දෙනු ලබන ඕනෑම අවස්ථාවක, එය කිරීම සඳහා අපව සන්නද්ධ කරන මෙන් අප දෙවියන්වහන්සේට කන්නලව් කළ යුතුය. පහත දැක්වෙන අද්දැකීම සලකා බලන්න:
“වොච් ටවර් සමිතියේ ශාඛා කාර්යාලයේ වඩාත් මහත් වගකීම් උසුලන ලෙසට මගෙන් ඉල්ලා සිටි විට, මා එයට කොහෙත්ම ප්‍රමාණවත් නැති බවක් මට හැඟුණා. මට වඩා හොඳින් සුදුසුකම් ලැබූ වඩාත් අද්දැකීම් ලත් අය සිටියා. මා ඊළඟ රාත්‍රි දෙකේම බොහෝ වේලාවක් යාච්ඤාවේ නියැලෙමින් නිදාගත්තේ මඳ වශයෙන්, අවශ්‍ය කරන ධෛර්යය ලැබීමට මෙය මට ශක්තිය ලබා දුන්නා” යයි යූජීන් පැහැදිලි කරයි.
ඉතා ජනප්‍රියව සිටි තම යෞවන මිත්‍රයෙකුගේ හදිසි ඛේදජනක මරණයෙන් පසු, එම අවමංගල්‍ය උත්සවයේදී අවමංගල්‍ය කතාවක් ඉදිරිපත් කරන ලෙසට රෝයිගෙන් ඉල්ලා සිටිනු ලැබිණ. සිය ගණනක් එයට පැමිණෙනවා ස්ථිරය. රෝයි කළේ කුමක්ද? “ගොඩනංවනසුලු අදහස් සුදුසු වචනවලින් ප්‍රකාශ කිරීමට හා සහනය දීමට හැකියාව ලැබීම සඳහා අවශ්‍ය ශක්තිය දෙන මෙන් මා එතරම්ම යාච්ඤා කර ඇත්තේ කලාතුරකින්.”
මැවුම්කරුවාණන් ‘දේවල් වේගවත් කර’ ස්වකීය සංවිධානය පුළුල් කරත්ම, මෙහි නිතැතින්ම ඇතිවන ප්‍රතිඵලය වනුයේ, උන්වහන්සේගේ සේවකයන් වැඩිදෙනෙකුට වගකීම් පවරනු ලැබීමයි. (යෙසායා 60:22) වැඩිමනත් හවුල්කාරත්වයක් ඔබෙන් ඉල්ලා සිටිනු ලැබුවහොත්, ඔබගේ පැත්තෙන් අද්දැකීම්වලින්, පුහුණුවෙන් හෝ හැකියාවෙන් යම් ඌනතාවක් තිබේ නම්, ඕනෑම අඩු තැනක් පිරවීමට යෙහෝවඃවහන්සේට හැකි බවට සහතික වන්න. සාලමොන් කළ ආකාරයටම දෙවියන්වහන්සේ වෙතට එළඹෙන්න, තවද එම පැවරුම ඉටු කිරීමට උන්වහන්සේ ඔබව සන්නද්ධ කරනවා ඇත.
“ඔවුන්ද ඒකත්වයක් වන පිණිස”
අදදින උද්ගත වන තුන්වන තත්වයක් නම්, කණ්ඩායමක් යාච්ඤාවෙන් නියෝජනය කිරීමේ අවශ්‍යතාවයි. අනික් අය වෙනුවෙන් යාච්ඤාවක් කීමට ඉල්ලා සිටිනු ලැබූ විට, අප යාච්ඤා කළ යුත්තේ කුමකටද? යොහන් 17වන පරිච්ඡේදයේ වාර්තා වී ඇති යේසුස්වහන්සේගේ යාච්ඤාව සලකා බලන්න. උන්වහන්සේ මෙම යාච්ඤාව පැවසුවේ, මනුෂ්‍යයෙකු වශයෙන් උන්වහන්සේ ගත කළ අන්තිම සන්ධ්‍යාවේ සිය ගෝලයන් සමඟ සිටි විටය. සිය ස්වර්ගීය පියාණන් වෙත උන්වහන්සේ යොමු කළේ කුමන ආකාරයේ ඉල්ලීම්ද?
පොදු ඉලක්ක අවධාරණය කළ යේසුස්වහන්සේ, එහි සිටියවුන්ගේ බලාපොරොත්තුව බෙදාගත්සේක. යෙහෝවඃ දෙවියන්වහන්සේගේ නාමය මහිමවත් කිරීම සහ රාජ්‍යය දැනගැනීමට සැලැස්වීම ගැන උන්වහන්සේ සඳහන් කළසේක. ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම මත පදනම් වූ, පියාණන් සහ පුත්‍රයාණන් සමඟ පෞද්ගලික සබඳතාවක් ඇතුව සිටීමේ වටිනාකම උන්වහන්සේ කාවැද්දවූසේක. ලෝකයෙන් වෙන්වී සිටීම ගැනත්, එනයින් සිය ගෝලයන් විරුද්ධවාදිකම්වලට සූදානම්ව සිටීම ගැනත්, උන්වහන්සේ කතා කළසේක. තම ගෝලයන්ව ආරක්ෂා කර ඔවුන්ව සැබෑ නමස්කාරය තුළ එක්සත් කරන ලෙසද ක්‍රිස්තුස්වහන්සේ සිය පියාණන්ගෙන් ඉල්ලා සිටිසේක.
එසේය, යේසුස්වහන්සේ එක්සත්කම අවධාරණය කළසේක. (යොහන් 17:20, 21) එම සැන්දෑවේ මුල්භාගයේදී, ගෝලයන් යම් නොමේරූ, සුළු දබරයක නියැලී සිට තිබිණ. (ලූක් 22:24-27) කෙසේවෙතත්, ක්‍රිස්තුස්වහන්සේ උත්සාහ කළේ යාච්ඤාව තුළින් දෝෂාරෝපණය කිරීමට නොව, නමුත් එක්සත් කිරීම සඳහාය. ඒ ආකාරයෙන්ම, පවුලේ සහ සභාවල යාච්ඤා, ප්‍රේමය වැඩිදියුණු කර, පුද්ගලයන් අතර යම් සුළු සුළු ආරවුල්වලින් ජයගැනීමට උනන්දු කළ යුතුය. යාච්ඤාවෙන් නියෝජනය වන අයව එක්සත්කමින් එකට සමීප කරගත යුතුය.—ගීතාවලිය 133:1-3.
යාච්ඤාවට සවන්දෙන අය, “ආමෙන්” එනම් “එසේම වේවා” කියා අවසානයේදී පවසන විට මෙම එක්සත්කම පිළිබිඹු වෙයි. මෙය කිරීමට හැකි වන පිණිස, පවසනු ලබන දේවල් ඔවුන්ට තේරුම් යා යුතු අතර, ඊට එකඟ වීමට හැකි විය යුතුය. එබැවින්, පැමිණ සිටින ඇතමෙක් නොදන්නා යම් විෂයක් යාච්ඤාවේදී සඳහන් කිරීම සුදුසු නොවනු ඇත. නිදසුනක් වශයෙන්, යාච්ඤාවෙන් සභාවක් නියෝජනය කරන වැඩිමහල්ලෙක්, බරපතළ ලෙස අසනීප වී සිටින ආත්මික සහෝදරයෙකු හෝ සහෝදරියක කෙරෙහි යෙහෝවඃවහන්සේගේ ආශීර්වාද ඉල්ලා සිටිනවා විය හැක. එහෙත්, පැමිණ සිටින අයගෙන් වැඩිදෙනෙකු ඔහු නියෝජනය කරන පුද්ගලයාව හා ඔහුගේ අසනීපය ගැන දැන සිටිනවා නම් පමණක්, එසේ කිරීම සාමාන්‍යයෙන් හොඳම දෙය වනු ඇත.
යේසුස්වහන්සේ එම කණ්ඩායමේ සිටි එක් එක් සාමාජිකයාගේ පෞද්ගලික අවශ්‍යතාවන් වෙන් වෙන් වශයෙන් ප්‍රකාශ නොකළ බවද සැලකිල්ලටගන්න. එසේ කිරීම, පුද්ගලයන් කිහිපදෙනෙකු පමණක් දන්නා පෞද්ගලික කාරණා සඳහන් කිරීමක් වනු ඇත. පෞද්ගලික කාරණා වනාහි, තනිවම කරන යාච්ඤාවලට සුදුසු විෂයක් වන අතර, මෙය හැකිතරම් සවිස්තර සහිතව කැමති තරම් සමීප ලෙස ප්‍රකාශ කළ හැකිය.
යම් පුද්ගලයෙක්, නමස්කාරකයන්ගේ විශාල එක්රැස්වීමක් නියෝජනය කිරීමට තමන්වම සූදානම් කරගන්නේ කෙසේද? එක් අද්දැකීම් ලත් ක්‍රිස්තියානියෙක් මෙසේ පැහැදිලි කරයි: “ස්තුති දිය යුත්තේ කුමක් සඳහාද, සහෝදරයන්ට කිනම් ඉල්ලීම් තිබිය හැකිද, ඔවුන් වෙනුවෙන් මා කළ යුත්තේ කිනම් අයදීම්ද කියා මම කලින්ම සලකා බලනවා. මා මගේ අදහස් ප්රශංසාවේ ප්‍රකාශ සමඟ ඇතුළත් කර, මගේ මනසේ හරි පිළිවෙළට තබාගන්නවා. ප්‍රසිද්ධ යාච්ඤාවක් කීමට පෙර, මා නිශ්ශබ්ද යාච්ඤාවක් කර, සහෝදරයන්ව ගෞරවනීය ආකාරයකින් නියෝජනය කිරීමට උපකාර කරන මෙන් ඉල්ලා සිටිනවා.”
ඔබගේ තත්වයන් කුමක් වුවත්, ඔබ සිටින තත්වයේම සිටි යමෙකු පැවසූ යාච්ඤාවක් ඔබට බයිබලයෙන් සොයාගත හැකිවන්ට පිළිවන. විවිධාකාරයේ පුළුල් යාච්ඤා ශුද්ධ ලියවිල්ල තුළ සොයාගැනීමට ලැබීම දෙවියන්වහන්සේගේ ප්‍රේමනීය-කරුණාවේ සාක්ෂියකි. මෙම යාච්ඤා කියවීම සහ ඒ මත මෙනෙහි කිරීම ඔබගේ යාච්ඤාවල ගුණය වැඩිදියුණු කිරීමට ඔබට උපකාරවත් වෙනවා නොඅනුමානය.
[5වන පිටුවේ කොටුව]
බයිබලයේ කැපීපෙනෙන යාච්ඤා
යෙහෝවඃවහන්සේගේ සේවකයෝ තත්වයන් ගණනාවක් යටතේ යාච්ඤා ඉදිරිපත් කළහ. පහත සඳහන් තත්වයන් එකක් හෝ ඊට වැඩි ගණනක් ඔබටම අදාළ කරගත හැකිද?
එලියේසර්ට මෙන් ඔබටත් දෙවියන්වහන්සේගේ මඟ පෙන්වීම අවශ්‍යද?—උත්පත්ති 24:12-14.
ඔබත් යාකොබ් මෙන් හදිසි අන්තරායක සිටින්නෙහිද?—උත්පත්ති 32:9-12.
මෝසෙස්ට මෙන් ඔබටත්, දෙවියන්වහන්සේව වඩාත් හොඳින් දැනගැනීමට වුවමනා වේද?—නික්මයාම 33:12-17.
ඔබත් එලියා මෙන් විරුද්ධවාදීන්ට මුහුණ දෙන්නෙහිද?—1 රාජාවලිය 18:36, 37.
යෙරෙමියාට මෙන් ඔබටත්, දේශනා කිරීම දුෂ්කර කාර්යයක්ද?—යෙරෙමියා 20:7-12.
දානියෙල් මෙන් පව් කියාදී සමාව ඉල්ලීමට ඔබටත් අවශ්‍යද?—දානියෙල් 9:3-19.
ඔබත් යේසුස්වහන්සේගේ ගෝලයන් මෙන් පීඩාවලට මුහුණ දෙන්නෙහිද?—ක්‍රියා 4:24-31.
මතෙව් 6:9-13; යොහන් 17:1-26; පිලිප්පි 4:6, 7; යාකොබ් 5:16ද බලන්න.
[6වන පිටුවේ කොටුව]
අත්හැරීමට අමාරු පුරුද්දක් සමඟ සටන් කරන විට යාච්ඤා කළ යුතු දෙය
නැවත නැවත මතුවන දුර්වලකමක් සමඟ ඔබ පොරබදමින් සිටින්නෙහිද? බයිබලයේ වාර්තා වී ඇති යාච්ඤා ඔබට ප්‍රයෝජනවත් විය හැක්කේ කෙසේද? තමාගේම දුර්වලකම් ගැන විවිධ අවස්ථාවලදී යාච්ඤා කළ දාවිත්ගෙන් ඉගෙනගන්න.
දාවිත් මෙසේ යාච්ඤා කළේය: “දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරීක්ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව.” (ගීතාවලිය 139:23) නුසුදුසු තෘෂ්ණා, චිත්තවේග හෝ චේතනා යෙහෝවඃ දෙවියන්වහන්සේ විසින් විමසා බලනු ලැබීම දාවිත්ගේ ආශාව වූයේය. වෙනත් වචනවලින් කිවහොත්, පව්වලින් වැළකී සිටීම සඳහා දාවිත් යෙහෝවඃවහන්සේගේ උපකාරය පතා දැඩි සේ කන්නලව් කළේය.
එහෙත්, දාවිත්ගේ දුර්වලකම් ඔහුව යටපත් කළ අතර, හේ මහත් සේ පව් කළේය. නැවතත් ඔහුට උපකාර කළේ යාච්ඤාවය—මේ වතාවේ දෙවියන්වහන්සේ සමඟ සිය සම්බන්ධතාව යළි පිහිටුවීමටය. ගීතාවලිය 51:2ට අනුව, දාවිත් මෙසේ ආයාචනා කර සිටියේය: “මාගේ අයුතුකමින් මා සම්පූර්ණයෙන්ම සේදුව මැනව, මාගේ පාපයෙන් මා පිරිසිදුකළ මැනව.”
වැරදි නැඹුරුවාවන් මුලින් උදුරා දැමීම පිණිස යෙහෝවඃවහන්සේගේ සහය පතා අපටද නිහතමානීව යාච්ඤා කළ හැකිය. අත්හැරීමට අමාරු දුර්වලකමකින් ගොඩඒමට මෙය අපව ශක්තිමත් කරන අතර, පාපයෙන් වැළකීම සඳහා අපට උපකාර කිරීමට එයට හැකිය. යළිත් වතාවක් දුර්වලකමට වැටුණහොත්, ඊට එරෙහිව දිගටම සටන් කිරීමට අපට උපකාර කරන මෙන්, උදක්ම ඉල්ලා සිටිමින්, අප යළිත් වතාවක් යෙහෝවඃවහන්සේ වෙතට එළඹිය යුතුය.
[7වන පිටුවේ පින්තූර]
කණ්ඩායමක් වෙනුවෙන් කරන යාච්ඤාවලින් ශුද්ධ ලියවිලිමය බලාපොරොත්තු සහ පොදු ආත්මික ඉලක්ක අවධාරණය විය යුතුය