ඔබ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරනු ඇත්ද?
“දෙවියන්වහන්ස, ඔබගේ නාමය ලෙසම ඔබගේ ප්‍රශංසාවත් පොළොවේ සීමා දක්වා වේ.” මේ වනාහි කෝරාගේ පුත්‍රයන්ගේ අනාවැකිමය ගීතිකාවල වදන්ය. (ගීතාවලිය 48:10) අදදින, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මිලියන ගණනකගේ මහත් සමූහ ගායනය දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්, උන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කිරීම මගින්, උන්වහන්සේගේ නාමය දැනගැනීමට සලස්වමින් තිබේ. භාෂා 300කට වැඩි ගණනකින් රටවල් හා දූපත් 232ක මෙය කිරීම මගින්, ඔවුහු පදගතාර්ථයෙන්ම “පොළොවේ සීමා දක්වා” යමින් සිටිති.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට විවිධ සංස්කෘතික, සමාජීය හා භාෂාමය පසුතලයන්ගෙන් යුත් ජනයාව පොලඹවන්නේ කුමක්ද? දෙවියන්වහන්සේගේ වචනය වන බයිබලයේ ඒකාන්ත දැනුම පිළිබඳ කෘතඥතාව ඊට ප්‍රධාන හේතුවයි. ශුද්ධ ලියවිලි පිළිබඳ දැනුම මිථ්‍යා ලබ්ධීන්ගෙන්ද සදාකාලික නිරාගින්න වැනි වහල් කරවන ආගමික විශ්වාසවලින්ද ඔවුන්ව මුදවා ඇත. (යොහන් 8:32) ප්‍රේමය, බලය, ප්‍රඥාව එමෙන්ම, දයාවෙන් පන්නර වී ඇති යුක්තිය වැනි උන්වහන්සේගේ මවිතාකාර ගුණාංග අගය කිරීමටද සත්‍යය ඔවුන්ට උපකාර කරයි. දෙවියන්වහන්සේ ස්වකීය ඒක-ජාතක පුත්‍රයාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේව මිනිස්වර්ගයා උදෙසා මිදීමේ මිලයක් වශයෙන් පූජා කිරීම පිළිබඳ අවබෝධය ලැබීමද, හරි දෙයට ඍජුව සිටින ජනයාව, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට හා සේවය කිරීමට පොලඹවයි.
බයිබලයේ එළිදරව් නමැති පොතට අනුව, එක් ස්වර්ගික සමූහ ගායනයක මෙසේ ප්‍රකාශ වේ: “අපගේ ස්වාමීන්වහන්ස, අපගේ දෙවියන්වහන්ස, ඔබ ප්‍රශංසාවත් ගෞරවයත් බලයත් ලබන්ට වටින තැනැන්වහන්සේය. මක්නිසාද ඔබ සියලු දේ මැවූසේක, ඔබගේ කැමැත්ත නිසා ඒවා තිබුණේය, ඒවා මවනලද්දේය.” (එළිදරව් 4:11) එවැනි ප්‍රශංසාවක් නිකම්ම යුතුකමක හැඟීමකින් නික්මෙන්නේ නැත. ඒ වෙනුවට, එය නික්මෙන්නේ යෙහෝවඃවහන්සේ කෙරෙහි ඇති ප්‍රණාමයෙනි.
ශුභාරංචිය ප්‍රකාශ කිරීමෙන් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්න
පුද්ගලයෙක්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමෙන්, දෙවියන්වහන්සේගේ ප්‍රධාන ප්රශංසාකරුවාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ උදාර ආදර්ශය අනුකරණය කරමින් සිටී. යේසුස්වහන්සේගේ අඩිපාර අනුගමනය කිරීමට, දෙවියන්වහන්සේගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයේ හවුල්වීම ඇතුළත් වෙයි. (මතෙව් 4:17, 23; 24:14) මෙම දේශනා වැඩය, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමෙහිලා මහත්ම ලෝක ව්‍යාප්ත ප්රයත්නය බවට පත්වී තිබේ.
මෙම දේශනා කර්තව්‍ය මොනතරම් වැදගත්ද කිවහොත්, බයිබලය එය පැහැදිලිවම ගැළවීම සමඟ සම්බන්ධ කරයි. රෝම 10:13-15හි මෙසේ කියවීමට තිබේ: “ස්වාමීන්වහන්සේගේ [යෙහෝවඃවහන්සේගේ, NW] නාමයට යාච්ඤාකරන කවුරු නුමුත් ගළවනු ලබන්නේය. එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තාවූ කෙනෙකුට යාච්ඤාකරන්නේ කොහොමද? තමුන් නොඇසුවාවූ කෙනෙකු කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනාකරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? (සමහරු) යවනු ලැබුවොත් මිස දේශනාකරන්නේ කොහොමද? මේ සම්බන්ධව: යහපත්දේ ගැන ශුභ ආරංචිය ගෙනෙන්නාවූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද! කියා ලියා තිබේ.”
පසුගිය වසරේ පමණක්, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ පැය බිලියනයකට වඩා වැඩි ගණනක් දේශනා වැඩය සඳහා වැය කළහ. තවද දෙවියන්වහන්සේට කරන ලද මෙම ප්‍රශංසාවෙන් මොනතරම් යහපත් ප්‍රතිඵල පැමිණුණිද! මේ නිසා 3,14,000ක් පමණ යෙහෝවඃවහන්සේට වූ තම කැපවීම වතුර බව්තීස්මයෙන් සංකේතවත් කරමින් ප්‍රශංසා කරන්නන්ගේ මෙම සමූහ ගායනයට හවුල්වූහ.
එහෙත්, පසුගිය 1994 වසරේ ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සිහිකිරීමට පැමිණි 1,22,88,917දෙනා ගැන කුමක් කිව හැකිද? මේ අය අතර, ශුභාරංචියේ දේශනාකරුවන් ලෙස තවමත් යෙහෝවඃවහන්සේට ප්‍රශංසා නොකරන අය, 70,00,000ක් පමණ සිටිති. එහෙත්, ඔවුන් මෙම වැදගත් අවස්ථාවට පැමිණ සිටීම, ප්රශංසාකරන්නන්ගේ සමූහ ගායනයට තවත් මිලියන ගණනාවක් එකතු කිරීමට අවසානයේදී තුඩු දිය හැක. යෙහෝවඃවහන්සේව ප්‍රශංසා කරන්නන් බවට පත්වීම සඳහා මෙම උනන්දුමත් අයට උපකාර කිරීමට කුමක් කළ හැකිද?
ලබාගත හැකි උපකාර
මිලියන ගණනකට යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට ආශාව තිබිය හැකි නමුත්, ඒ සඳහා අවශ්‍යතා සපුරාගැනීමට තමන්ට නොහැකි යයි ඔවුන්ට හැඟෙන්ට පිළිවන. ඔවුන් විසින් ගීතිකාකරුගේ මෙම වචන මතකතබාගැනීම හොඳය: “කඳු දෙසට මාගේ ඇස් ඔසවන්නෙමි. මට උපකාර පැමිණෙන්නේ කොතැනින්ද? මට උපකාර පැමිණෙන්නේ අහස පොළොව මැවූ ස්වාමීන්ගෙන්මය [යෙහෝවඃවහන්සේගෙන්මය, NW].” (ගීතාවලිය 121:1, 2) මෙම ගීතිකාකරු තම ඇස් ඉහළට ඔසවා යෙහෝවඃවහන්සේගේ මාළිගාව සහ දිව්‍යාණ්ඩු පාලනයේ භූමික ආසනය පිහිටා තිබූ යෙරුසලමේ කඳු දෙස බලා සිටි බවක් පෙනෙන්ට තිබේ. දෙවියන්වහන්සේට ප්‍රශංසා කිරීමට සහ රාජ්‍යයේ පණිවුඩය ප්‍රකාශ කිරීමට අවශ්‍ය උපකාරය පැමිණෙන්නේ යෙහෝවඃවහන්සේගෙන් සහ උන්වහන්සේගේ සංවිධානයෙන් බව අපට හරි ලෙස මෙහිදී නිගමනය කළ හැකිය.—ගීතාවලිය 3:4; දානියෙල් 6:10.
අදදින, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට ආශා කරන අයට, උන්වහන්සේගේ භූමික සංවිධානයෙන් ප්‍රේමනීය සහය අපේක්ෂා කළ හැකිය. නිදසුනක් වශයෙන්, උනන්දුමත් අය සමඟ නොමිලයේ බයිබල් පාඩම් පැවැත්වීමෙන් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ උපකාරය සපයති. මෙම අධ්‍යාපනික වැඩසටහනට නිකම්ම බයිබල් මූලධර්ම ඉගෙනගැනීමට වඩා වැඩි යමක් ඇතුළත් වෙයි. තමා ඉගෙනගන්නා දෙය කෙරෙහි සහ යෙහෝවඃවහන්සේ යොදාගනිමින් සිටින සංවිධානය කෙරෙහි අගය කිරීමක් ගොඩනැංවීමට එය ශිෂ්‍යයාට උපකාර කරයි.
මීට අනුකූලව, අලුතෙන් සොයාගත් සත්‍යය හුදෙක් මනසට පමණක් නොව, නමුත් හෘදයට කිඳා බැස්සවීමට බයිබල් පාඩම මෙහෙයවන සාක්ෂිකරුවා වගබලා ගනී. යෙහෝවඃවහන්සේ ස්වකීය අරමුණ පොළොව මත ඉටු කිරීම සඳහා, ස්වකීය සංවිධානය යොදාගනිමින් සිටින ආකාරය පෙන්වීමට ගුරුවරයා පසුබට නොවේ. මෙය සාක්ෂාත් කරගැනීම සඳහා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ලොව පුරා එක්සත්ව දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති යන විවරණිකාව සහ ජෙහෝවා’ස් විට්නසස්—දි ඕගනයිසේෂන් බිහයින්ඩ් ද නේම් නම් වූ වීඩියෝ පටය බොහෝවිට උපකාර වන බවට ඔප්පු වී ඇත.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපේක්ෂා කරන්නන්ට සහය වීම සඳහා ක්‍රිස්තියානි රැස්වීම්ද අතිවැදගත් කාර්යභාරයක් ඉටු කරයි. බයිබල් පාඩමේ ඉතා මුල් අවදියේ, ක්‍රිස්තියානි රැස්වීම්වලට සහභාගි වන ලෙසට ශිෂ්‍යයාට ආරාධනා කළ හැකිය. කල් යත්ම, සියලුම ක්‍රිස්තියානි රැස්වීම්වලට නිතිපතා පැමිණ සහභාගි වීමේ වැදගත්කම ඔහු ඉගෙනගනු ඇත. (හෙබ්‍රෙව් 10:24, 25) ආත්මිකව ගොඩනංවනසුලු හා ප්‍රායෝගික රැස්වීම් සූදානම් කිරීම මගින්, තම සෙසු නමස්කාරකයන්ට හා යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට අපේක්ෂා කරන්නන්ට මිල කළ නොහැකි උපකාර සැපයීමට අවේක්ෂකයන්ට හැක.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට දරුවන්ට උපකාර කරන්න
නුදුරු අනාගතයේදී ශුභාරංචියේ ප්‍රචාරකයන් බවට පත්වීමට සිටින බොහෝදෙනා අතර දරුවෝද වෙත්. විශේෂයෙන් තම දරුවන්ව “හික්මවීමෙන්ද යෙහෝවඃවහන්සේගේ මානසික ශික්ෂණයෙන්ද” හදාවඩාගැනීමට පියවරුන්ට බයිබලය මත පදනම් වගකීමක් තිබේ. (එපීස 6:4, NW) දේව භක්තික දෙමාපියන් විසින් නිසි ලෙස පුහුණු කරනු ලැබූ විට, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට ආශාව වැඩිදියුණු කිරීමට ඉතා කුඩා බාලයන්ට පවා හැකිය.
ආජෙන්ටිනාවේ එක් කුඩා දැරියක්, මාස ගණනාවක්ම සභාවේ වැඩිමහල්ලන් වෙතට එළඹ, තමාට රාජ්‍යය ප්‍රචාරිකාවක් බවට පත්වීමට සුදුසුකම් ලැබීමට ඔවුන්ගෙන් උපකාර ඉල්ලා සිටියාය. කල් යත්ම, ඇගේ දෙමාපියෝ සහ වැඩිමහල්ලෝ ඇයට බව්තීස්ම නොලත් ප්‍රචාරිකාවක් බවට පත්වීමට ඉඩහැරීමට එකඟ වූහ. ඈ දැනටමත් නිවෙස්වලදී රාජ්‍යය පණිවුඩය බලපෑමෙන් යුක්තව ඉදිරිපත් කරන්නීය. මෙම දැරිය තවමත් වයස අවුරුදු පහක් වියැති කුඩා දැරියකව සිටියද, එමෙන්ම කියවීමට නොදැන සිටියද, බයිබලයේ පද තිබෙන තැන් ඈ මතක තබාගෙන සිටින්නීය. ශුද්ධ ලියවිලි පාඨය සොයාගැනීමෙන් පසුව, එම පාඨය කියවීමට ගෙවැසියාගෙන් ඉල්ලා සිටින ඈ, අනතුරුව එය පැහැදිලි කරන්නීය.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරන්නන් බවට පත්වීම කරා ප්‍රගතිය ලබමින් සිටින අයට දිරිගන්වා උපකාර කිරීම මගින්, වැඩිමහල්ලන්ට හා දෙමාපියන්ට ඉමහත් යහපතක් ඉටු කළ හැකි බව පැහැදිලිය.—හිතෝපදේශ 3:27.
යෙහෝවඃවහන්සේ සමඟ සදාකාලික සබඳතාවක්
එහෙත්, ඔබ යම් කාලයකට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ ආශ්‍රය කරමින් සිටින නමුත්, ඔවුන්ගේ දේශනා වැඩයට තවමත් හවුල් වී නොමැති නම්, කුමක් කිව හැකිද? පහත දැක්වෙන ප්‍රශ්න ඔබෙන්ම අසා බැලීම ප්‍රයෝජනදායක විය හැක, ‘මා සත්‍යය සොයාගෙන ඇති බවත්, යෙහෝවඃවහන්සේ එකම සැබෑ දෙවියන්වහන්සේ බවත්, මා විශ්වාස කරනවාද? මිනිස්වර්ගයාගේ ගැටලුවලට එකම විසඳුම දෙවියන්වහන්සේගේ රාජ්‍යය බව මට ඒත්තු ගොස් තිබෙනවාද? මා සියලු බොරු ආගම් සහ යෙහෝවඃවහන්සේව අමනාප කරන ලෞකික චාරිත්‍ර මෙන්ම, පුරුදු අත්හැර තිබෙනවාද? මට දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ ධර්මිෂ්ඨ අවශ්‍යතාවන් සඳහා ගැඹුරු ප්‍රේමයක් තිබෙනවාද?’ (ගීතාවලිය 97:10) ඔබට අවංකවම මෙම ප්‍රශ්නවලට එසේය කියා පිළිතුරු දීමට හැකි නම්, යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමෙන් ඔබව වළක්වන්නේ කුමක්ද?—ක්‍රියා 8:36 සසඳන්න.
යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කිරීමට, ශුභාරංචිය දේශනා කිරීමට වඩා වැඩි යමක් ඇතුළත්ය. ඔබ ඒකාන්ත දැනුම අත්කරගෙන තිබේ නම්, ඔබට සැබෑ ඇදහිල්ල තිබේ නම්, ඔබගේ ජීවිතය දිව්‍ය අවශ්‍යතාවන්ට එකඟකරමින් සිටින්නේ නම්, දෙවියන්වහන්සේ සමඟ ඇති ඔබගේ පෞද්ගලික සබඳතාව ශක්තිමත් කිරීමට ඔබට අවශ්‍යය. කෙසේද? යාච්ඤාවෙන් උන්වහන්සේට කැපවී, අනතුරුව වතුර බව්තීස්මයෙන් එය සංකේතවත් කිරීමෙනි. සදාකාල ජීවිතය තිබෙන්නේ අනතුරේය. එමනිසා, යේසුස්වහන්සේගේ මෙම උපදෙසට අනුව දැන් ක්‍රියාත්මකවන්න: “පටු දොරටුවෙන් ඇතුල්වෙයල්ලා. මක්නිසාද විනාශයට යන දොරටුව විශාලය, පාරත් පළලය, එයින් ඇතුල්වන්නෝද බොහෝය. මක්නිසාද ජීවනයට යන දොරටුව පටුය, පාර අවහිරය, ඒක සම්බවන්නේ ස්වල්ප දෙනෙකුටය.”—මතෙව් 7:13, 14.
මෙම වත්මන් දේවල පිළිවෙළ එහි ව්‍යසනකාරි අවසානය කරා එළඹෙත්ම, මේ වනාහි අදිමදි කරමින් සිටීමට කාලයක් නොවේ. යෙහෝවඃවහන්සේ සමඟ සදාකාලික සබඳතාවක් සඳහා ක්ෂණික පියවර ගන්න. ඇත්තවශයෙන්ම, ඔබ යෙහෝවඃවහන්සේට ප්‍රශංසා කරනු ඇත්ද යන ප්‍රශ්නයට ඒකාන්ත ලෙස ප්‍රතිචාර දැක්වීමට කාලය දැන්ය.