ක්‍රිස්තියානීන් මහජන නින්දාවට මුහුණ දෙන අයුරු
යම් කෙනෙක් ඔබට නින්දා කරන විට හෝ ඔබ ගැන බොරු පතුරන විට ඔබට හැඟෙන්නේ කෙසේද? ඔබ බලවත් සිත් වේදනාවට පත්වීම ස්වාභාවිකය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ජනමාධ්‍යවල වැරදිසහගත හෝ විකෘති තොරතුරුවල ඉලක්ක බවට පත්වන විට ඔවුහුද මේ හා සමාන යමක් අද්දකිති. එහෙත්, මතෙව් 5:11, 12හි යේසුස්වහන්සේ පැවසුවාක් මෙන්, ඔවුන්ට තවමත් ප්‍රීතිවීමට හේතු තිබේ.
නිදසුනක් වශයෙන්, “සෑම සාක්ෂිකරුවෙකුම, මෙම නිකායේ මූලස්ථානය වෙත, තම ආදායමෙන් සියයට 17 සිට 28 දක්වා ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට බැඳී සිටින” බව ජර්මනියේ එක් කතෝලික ප්රකාශනයක් කියා සිටියේය. කෙසේවුවද, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරයන් නිකායකට අයත් නොවන අතර, ඔවුන්ගේ වැඩකටයුතුවලට මූල්‍යමය සහයෝගය ලැබෙන්නේ මුළුමනින්ම ස්වේච්ඡා සම්මාදම් මගිනි. මෙම බොරු තොරතුරුවලින් බොහෝ පාඨකයන් නොමඟ ගිය අතර, මේ ගැන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ කනගාටු වෙති. එහෙත්, ජනමාධ්‍ය තුළින් ඇති කරනු ලබන නින්දාවට සැබෑ ක්‍රිස්තියානීන් ප්‍රතික්‍රියා කළ යුත්තේ කෙසේද?
අනුගමනය කිරීම සඳහා ක්‍රිස්තියානීන්හට ආදර්ශයක්
යේසුස්වහන්සේ, සිය ආගමික විරුද්ධවාදීන්ව, ඔවුන්ගේ කුහකකම හා වංචාව හේතුවෙන් හෙළාදුටු ආකාරය මතෙව් 23 පරිච්ඡේදය විචිත්‍ර ලෙස විස්තර කරයි. අදදින ක්‍රිස්තියානීන් විවේචනය කරන්නන් සමඟ කටයුතු කළ යුතු ආකාරය ගැන මේ මගින් යම් රටාවක් සපයයිද? ඇත්තෙන්ම නැත. දෙවියන්වහන්සේගේ පුත්‍රයාණන් සිය ආගමික විරුද්ධවාදීන්ව ප්‍රසිද්ධියේ විවේචනය කළේ, තමාට තිබූ අසහාය අධිකාරය හා තමා සතුව තිබූ තීක්ෂ්ණ බුද්ධිය නිසා වන අතර, එසේ කිරීම, උන්වහන්සේට සවන්දෙමින් සිටි සමූහයාගේ ප්‍රයෝජනයට හේතු විය.
යේසුස්වහන්සේගේ ගෝලයන් යුදෙව් සම්ප්‍රදායන් ඉක්මවා ගිය බවට කියා සිටි බැවින්, උන්වහන්සේව විවේචනය කරනු ලැබූ බව මතෙව් 15:1-11 විස්තර කරයි. යේසුස්වහන්සේ ප්‍රතික්‍රියා කළේ කෙසේද? උන්වහන්සේ තම ස්ථාවරයේම රැඳී සිටිසේක. එක් අවස්ථාවකදී, තම විවේචකයන් සමඟ නොවළහා කථා කරමින් ඔවුන් සමඟ ගැටුණු යේසුස්වහන්සේ, ඔවුන්ගේ වැරදි මත හෙළාදුටුසේක. සාමාන්‍යයෙන් කියතොත්, අදදින ක්‍රිස්තියානීන්, සත්‍යවාදී සහ තර්කානුකූල ආකාරයකින් තත්ත්වය නිවැරදි කිරීමට යත්න දරමින්, තමන්ගේ වැඩය හෝ ඉගැන්වීම් ගැන වැරදි තොරතුරු නිවැරදි කිරීමට උත්සාහ කිරීම වැරදි නැත. ඔවුන් මෙය කරන්නේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට එරෙහිව කරනු ලබන විවේචන අසාධාරණ මෙන්ම නිග්‍රහාත්මක බවට හඳුනාගැනීමට අවංක ජනයාට උපකාර කිරීමටය.
එහෙත්, මීට ටික මොහොතකට පසු යේසුස්වහන්සේගේ ගෝලයන්, “ඵරිසිවරුන් ඒ වචන අසා බාධාවූ බව දන්නාසේක්දැයි” උන්වහන්සේගෙන් ඇසූ විට, යේසුස්වහන්සේ ප්‍රතික්‍රියා කළ ආකාරය සලකා බලන්න. මෙම ඵරිසිවරු ‘බාධා වී’ සිටියහ—එනම්, ඔවුහු නිකම්ම කලබලයට පත් වී තිබුණා නොව, නමුත් යේසුස්වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ ඉතා මුරණ්ඩු විරුද්ධවාදීන් බවට පත්වී සිටියහ. මෙබැවින්, “ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය” යයි යේසුස්වහන්සේ පිළිතුරු දුන්සේක. එවැනි එදිරිවාදී අන්තගාමීන් සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම නිෂ්ඵල වූ, කිසිවෙකුට ප්‍රයෝජනයක් නැති වූ, යමක් වූ අතර, එය යමෙකුව මඟ පෙන්වනු ඇත්තේ නිෂ්ඵල විවාදවලට පමණක් විය. (මතෙව් 7:6; 15:12-14; සසඳන්න 27:11-14.) යේසුස්වහන්සේ දුන් පිළිතුරෙන් පෙන්වන්නේ, “නිශ්ශබ්දව සිටින්ට කාලයක් සහ කථාකරන්ට කාලයක්” තිබෙන බවයි.—දේශනාකාරයා 3:7.
තමන් සම්බන්ධයෙන් සෑම කෙනෙකුම හිතවාදීව කථා කරයි කියා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ අපේක්ෂා නොකරති. ඔවුහු යේසුස්වහන්සේගේ මෙම වචන මතකයේ තබාගනිති: “සියලු මනුෂ්‍යයන් නුඹලා ගැන හොඳ කියන කල නුඹලාට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ පියවරු බොරු අනාගතවක්තෲන්ටත් එසේම කළෝය.” (ලූක් 6:26) වොච් ටවර් සමිතියේ පළමු සභාපති වූ සී. ටී. රසල්ගෙන්, තමාට එරෙහිව කරන ලද නින්දාවලට තමා පිළිතුරු දුන්නේ නැත්තේ මන්දැයි වරෙක අසන ලදි. ඔහු මෙසේ පිළිතුරු දුන්නේය: “ඔබට බුරන සෑම බල්ලෙකුටම පයින් පහර දීමට ඔබ නැවතුණහොත්, ඔබ එතරම් දුර යන්නේ නැත.”
එමනිසා, දැඩි විරුද්ධවාදීන් අප වෙතට එල්ල කරන ප්රහාරයන් නිසා දෙවියන්වහන්සේට අප කරන සේවයට ඉන් බාධා ඇතිවීමට අප ඉඩ නොදිය යුතුය. (ගීතාවලිය 119:69) සැබෑ ක්‍රිස්තියානීන්ගේ වැඩය ගැන, එනම් ශුභාරංචිය දේශනා කිරීම ගැන අපි සමාහරණය කරමු. මෙහි නිතැතින්ම ලැබෙන ප්‍රතිඵලය වනුයේ, පුද්ගලයෙකුගේ සදාචාරයන් වැඩිදියුණු කොට, ඔහුට දේව වචනයෙන් උපදෙස් දෙන විට, ප්‍රශ්නවලට පිළිතුරු දීමටත් අපගේ වැඩයේ සාරය ගැන පැහැදිලි කිරීමටත් ප්‍රස්තාවන් උදාවීමයි.—මතෙව් 24:14; 28:19, 20.
විවේචනවලට ප්‍රතිචාර දැක්විය යුතුද?
යේසුස්වහන්සේ සිය අනුගාමිකයන් පිළිබඳව මෙසේ කීසේක: “නුඹලා ලෝකයාගෙන් නොවන නිසා . . . ලෝකයා නුඹලාට වෛරවෙති.” (යොහන් 15:19) ජනමාධ්‍ය වාර්තා බොහොමයක, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් මත ගෙනා නින්දා අපහාස, මෙම වෛරයේ ප්‍රකාශ කිරීමක් වන අතර, එවැනි දෑ ගණන් නොගත යුතුය. කෙසේවෙතත්, සාක්ෂිකරුවන් ගැන දැනුමේ ඌනතාවක් පිළිබිඹු කරන හෝ එක්තරා සත්‍ය කරුණු විකෘති කරන සහ වැරදි ලෙස අර්ථ කථනය කරන තොරතුරු ඇතැම් අවස්ථාවලදී ජනමාධ්‍යවලින් ඉදිරිපත් වෙන්නට පිළිවන. ඇතැම් පුවත්පත් කලාවේදීන්, අගති සහගත මූලාශ්‍රවලින් කරුණු උකහාගන්නවා විය හැක. ජනමාධ්‍යවල බොරු තොරතුරු අප විසින් නොසලකා හරිනවාද යන්න හෝ සුදුසු ක්‍රියාමාර්ග මගින් සත්‍යය වෙනුවෙන් කථා කරනවාද යන්න රඳාපවතින්නේ, ඊට අදාළ තත්වයත් විවේචකයාගේ චේතනාව සහ ඔහුගේ ඉලක්කයත් මතය.
ඇතැම් විට, පුවත්පතක කර්තෘට නිවැරදිව ලියන ලද ලිපියක් පළවන්නේ නම්, එවැනි ලිපියක් මගින් තොරතුරු නිවැරදි කළ හැකිය. එහෙත්, එවැනි ලිපියකින් අදහස් කරනු ලබන දෙයට හාත්පසින්ම විරුද්ධ දෙය සිදුවන්ට පිළිවන. කෙසේද? මෙසේ, මුලින්ම පළ කරන ලද සත්‍ය නොවන දෙයට වඩාත් ප්‍රසිද්ධියක් ලැබිය හැක, නැතහොත් බොරු හා නින්දා අපවාද තවත් පළ කිරීමට මේ මගින් විරුද්ධවාදීන්හට තවත් අවස්ථාවක් උදා කරන්නට පිළිවන. බොහොමයක් අවස්ථාවලදී, පුවත්පතේ කර්තෘට ලිපියක් ලියනවාද යන්න පිළිබඳව කටයුතු කිරීමට වැඩිමහල්ලන්හට පැවරීම ඥානවන්තය. පුවත්පතක පළවන නිෂේධාත්මක ලිපියක් නිසා අගතිය ඇතිවීමට ඉඩ සැලසේ නම්, වොච්ටවර් සමිතියේ ශාඛා කාර්යාලයට මේ ගැන එම රටේ සභාවන් දැනුවත් කළ හැකි අතර, මෙසේ මේ ගැන විමසන්නන්ට සෑහීමකට පත්විය හැකි පැහැදිලි කිරීම් දීම සඳහා සියලුම ප්‍රචාරකයන්ට මේ මගින් හැකිකම ලබා දෙයි.
එවැනි විකෘති සියලු චෝදනා අපහාස සමඟ පෞද්ගලිකව සම්බන්ධ වීමට ඔබට වුවමනාද? “ඔව්හු නිකම් සිටිත්වා” එනම්, ඔවුන්ව ගණන් නොගෙන සිටින්න යනුවෙන් යේසුස්වහන්සේ දුන් උපදෙස, මෙම විරෝධී කණ්ඩායමට පැහැදිලිවම අදාළ වෙයි. ඇදහිල්ල අතහැර ගියවුන් සහ ඔවුන්ගේ මත එපා කිරීමට පක්ෂපාතී ක්‍රිස්තියානීන්හට බයිබලය මත පදනම් හේතු තිබේ. (1 කොරින්ති 5:11-13; තීතස් 3:10, 11; 1 යොහන් 2:19; 2 යොහන් 10, 11) සාක්ෂිකරුවන් පිළිබඳව කරනු ලැබ ඇති විවේචන, සැබෑ කරුණු මත පදනම්ව තිබේද නැතහොත් ඒවා නිකම්ම ගොතන ලද ඒවාද කියා දැනගැනීමට යමෙක් අවංකවම උනන්දුවක් දක්වයි නම්, පිළිතුරක් සැපයීම සඳහා හොඳින් පදනම්ව ඇති ඔබගේම දැනුම සාමාන්‍යයෙන් ප්‍රමාණවත් වේ.—1986 නොවැම්බර් 1දා මුරටැඹ පිටු 13 සහ 14 බලන්න.
පුවත්පත්වල පළ වී ඇති විකෘති තොරතුරුවලට ඔබට මුහුණ දීමට සිදුවේ නම්, හිතෝපදේශ 14:15හි සඳහන් උපදෙස සිතට ගන්න: “නුවණ නැත්තා හැම වචනම විශ්වාස කරයි; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා තමාගේ පියවර හොඳට බලාගනියි.” එක් සාක්ෂිකාර කාන්තාවකගේ ඥාතීන්, ඇයහට රුධිර ප්‍රවේශනයක් දීමට වෛද්‍ය කාර්ය මණ්ඩලයට අවසර නොදුන් බැවින්, ඇය මියගිය බවට පුවත්පතක පළවූයෙන් ඒ මගින් චිත්තවේගී කැළඹීමට පත් බොහෝදෙනා කුපිතවූහ. එහෙත් ඒවා සැබෑ තොරතුරුද? නැත. රෝගියා ආගමික හේතු මත රුධිර ප්‍රවේශනය ප්‍රතික්ෂේප කළාය, නමුත් ඈ රුධිරමය නොවන වෙනත් විකල්ප වෛද්‍ය ප්‍රතිකාරයකට එකඟ වී සිටියාය. මෙය කිසියම් කරදරයකින් තොරව කළ හැකිව තිබුණු අතර, ඇගේ ජීවිතය බේරාගත හැකිව තිබිණි. කෙසේවෙතත්, රෝහල් අධිකාරීන්, කාරණා සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස ප්‍රමාද වූ බැවින්, රෝගියා මියගියාය. පුවත්පතේ පළවූ වාර්තාවේ මෙම තොරතුරු සඳහන් වී තිබුණේ නැත.
මෙබැවින්, එවැනි වාර්තාවල කොතරම් දුරට සත්‍යය අඩංගු වෙනවාදැයි පරෙස්සමින් කිරා මැන බලන්න. එවැනි කාරණාවලට ප්‍රාදේශීය වැඩිමහල්ලන් ප්‍රේමනීය ආකාරයකින් සහ බයිබලීය මඟ පෙන්වීම්වලට එකඟව කටයුතු කරන බව ඒ පිළිබඳව විමසන්නන්ට පැහැදිලි කිරීමට අපට හැකිය. පිළිතුරු දෙන විට ප්‍රතිපත්තිවලට ඇලී සිටීමෙන් නිගමනවලට පැනීමෙන් අපව වළක්වාලයි.—හිතෝපදේශ 18:13.
ඍජු තොරතුරු අති වැදගත්ය
පළමු සියවසේදී, ජනයා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කීර්තිය පළුදු කිරීමට බොරු ප්‍රචාරය කළ අතර, ඇතැම්හු උන්වහන්සේව රාජද්‍රෝහියෙකු ලෙස හඳුන්වාදුන්හ. (ලූක් 7:34; 23:2; සසඳන්න මතෙව් 22:21) පසුව, යෞවන ක්‍රිස්තියානි සභාවට ආගමික සහ ලෞකික යන දෙපැත්තෙන්ම පුළුල් විරෝධතාවලට මුහුණ දීමට සිදුවිය. “දෙවියන්වහන්සේ . . . ලෝකයේ මෝඩ දේවල් තෝරාගත්” නිසා, බොහෝදෙනා උන්වහන්සේගේ සේවකයන්ව පහත් කොට සැලකූහ. (1 කොරින්ති 1:22-29) අදදින සැබෑ ක්‍රිස්තියානීන් මෙම නින්දාව සැලකිය යුත්තේ යම් ආකාර පීඩාවක් ලෙසටයි.—යොහන් 15:20.
කෙසේවෙතත්, තමන් සමඟ කතා කරන පුද්ගලයන් සාධාරණ මනසක් ඇතිව, රෝමයේදී පාවුල් කථා කළ ඇතමුන්ගේ ආකල්පය විදහා දක්වන විට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ එය අගය කරති. පාවුල් කතා කළ එවැනි අය ප්‍රකාශ කළේ මෙලෙසය: “නුමුත් මේ ලබ්ධිය ගැන සියලු තැන්හි විරුද්ධව කථාකරන බව අපි දනිමුව. එබැවින් නුඹ සිතන්නේ මොකද කියා නුඹෙන් අසන්ට කැමැත්තෙමු.”—ක්‍රියා 28:22.
වැරදි තොරතුරු ලැබී ඇති අයට මෘදුකමින් යුතුව කරුණු පැහැදිලි කරන්න. (රෝම 12:14; සසඳන්න 2 තිමෝති 2:25, 26ආ.) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් ගැන තොරතුරු කෙළින්ම ඔවුන්ගෙන්ම අසන ලෙස ඔවුන්ට ආරාධනා කරන්න, එවිට බොරු චෝදනාවලින් මුළා නොවී සිටීමට ඔවුන්ට ඒ මගින් හැකියාව ලබා දේ. සංවිධානය, එහි ඉතිහාසය සහ එහි ඉගැන්වීම් ගැන විස්තර දී ඇති, වෝච් ටවර් සමිතිය මගින් ප්‍රකාශිත පැහැදිලි කිරීම් යොදාගැනීමටද ඔබට හැක.a වරක් පිලිප් නතානියෙල්ට පිළිතුරු දුන්නේ, “ඇවිත් බලන්න” යයි සරලව පැවසීමෙනි. (යොහන් 1:46, NW) අපටත් එසේ කළ හැක. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් කොයි ආකාර අයද හා ඔවුන් විශ්වාස කරන්නේ මොනවාදැයි තමා විසින්ම නිරීක්ෂණය කිරීමට කැමති ඕනෑම අයෙකුට ප්‍රාදේශීය රාජ්‍යය ශාලාවට පැමිණෙන ලෙස උණුසුම්ව ඇරයුම් කරනු ලැබේ.
විරුද්ධවාදීන්ට භය නොවන්න
ජනයා සාක්ෂිකරුවන් බවට පත්වීම, නින්දාවෙන් නවත්වන්නේ නැති බව දැනගැනීම කොතරම් දිරිගන්වනසුලුද! ජර්මනියේ රූපවාහිනී පිළිසඳරක, ඇදහිල්ල අත්හැර ගියාහු, සාක්ෂිකරුවන් ගැන බොහෝ බොරු ගොතා ඉදිරිපත් කළහ. මෙම ඇදහිල්ල අත්හැර ගියවුන්ගේ අමුණා ගොතන ලද දේ මනඃකල්පිත විකාර බව හඳුනාගත් එක් නරඹන්නෙක්, සාක්ෂිකරුවන් සමඟ යළිත් බයිබලය පාඩම් කිරීමට පෙලඹුණේය. එසේය, ඇතැම්විට මහජන නින්දාව ඒකාන්ත ප්‍රතිඵලවලට තුඩුදෙයි!—සසඳන්න පිලිප්පි 1:12, 13 සසඳන්න.
ඇතැම් අය සත්‍යයට වඩා ‘බොරු ප්රබන්ධවලට’ වැඩි අවධානයක් දෙනු ඇතැයි ප්‍රේරිත පාවුල් දැන සිටියේය. එහෙත් ඔහු මෙසේ ලීවේය: “නුමුත් නුඹ සියලු කාරණාවලදී සිහි ඇතුව සිටපන්න, දුක් ඉවසාපන්න, ශුභාරංචිය ප්‍රකාශකරන්නෙකුගේ වැඩේ කරපන්න, නුඹේ සේවය සම්පූර්ණකරපන්න.” (2 තිමෝති 4:3-5) එබැවින්, ඔබගේ අවධානය වෙනතකට යෑමට ඉඩ නොදෙන්න, එමෙන්ම ඔබේ විරුද්ධවාදීන් විසින් ගෙනෙන “කිසිවක් ගැන භීත නොවී” සිටින්න. (පිලිප්පි 1:27ආ, 28) සන්සුන්ව සහ සාමකාමීව සිට, ශුභාරංචිය ප්‍රීතියෙන් දේශනා කරන්න, එවිට ඔබ මහජන නින්දාව සමඟ ස්ථිර ලෙස සාර්ථකව කටයුතු කරනවා ඇත. එසේය, යේසුස්වහන්සේගේ පොරොන්දුව මතක තබාගන්න: “මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්හුය, NW]. ප්රීතිවෙයල්ලා, ඉතා සන්තෝෂවෙයල්ලා; මක්නිසාද ස්වර්ගයෙහි නුඹලාගේ විපාකය මහත්ය. නුඹලාට පළමුවෙන් සිටි අනාගතවක්තෘවරුන්ටත් ඔව්හු එලෙසම පීඩාකළෝය.”—මතෙව් 5:11, 12.
[පාදසටහන්වල]
a යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ලොව පුරා එක්සත් ව දෙවියන්වහන්සේගේ කැමැත්ත කරමින් සිටිති, ජෙහෝවාස් විට්නසස් ඉන් ද ට්වෙන්ටියත් සෙන්චරි සහ ජෙහෝවාස් විට්නසස්—ප්රෝක්ලේමර්ස් ඔෆ් ගෝඩ්ස් කිංඩම් යන ප්‍රකාශන බලන්න.
[27වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
සිය විරුද්ධවාදීන්ට මුහුණ දෙන විට, යේසුස්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ පැවසූසේක: “ඔව්හු නිකම් සිටිත්වා.” උන්වහන්සේ ඉන් අදහස් කළේ කුමක්ද?
[29වන පිටුවේ වාක්‍ය කණ්ඩය]
“මනුෂ්‍යයන් මා නිසා නුඹලාට නින්දා පීඩාකොට නුඹලාට විරුද්ධව සියලු ආකාර අගුණ බොරුවෙන් කියන කල නුඹලා ආශීර්වාදලද්දෝය [සන්තෝෂවත්හුය, NW].”—මතෙව් 5:11.