පාඨකයන්ගෙන් ප්‍රශ්න
පාරිභාෂිකව ගත් කල, “වෙනත් බැටළුවෝ” සහ “මහත් සමූහය” යන බයිබල් යෙදුම්වල වෙනසක් තිබේද?
එසේය, එහෙත්, යමෙකු මෙම යෙදුම් මාරුවෙන් මාරුවට භාවිත කළහොත්, අප වචන ගැන අනවශ්‍ය ලෙස සංවේදී හෝ කලබල නොවිය යුතුයි.
අපට මෙම යෙදුම් හමුවන බයිබල් ඡේදයන් සමඟ ක්‍රිස්තියානීහු වැඩිදෙනෙක් හොඳින් හුරුපුරුදුව සිටිති. එකක් නම්, යොහන් 10:16ය. එහි යේසුස්වහන්සේ මෙසේ පැවසූසේක: “තවද මේ ගාලට අයිති නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය. ඔව්හු මාගේ හඬ අසන්නෝය; එසේ එක රැළක්ද එක එඬේරෙක්ද වන්නාහ.” “මහත් සමූහය” නමැති අනික් යෙදුම එළිදරව් 7:9හි දකින්ට තිබේ. අපට එහි මෙසේ කියවීමට තිබේ: “ඉන්පසු සියලු ජාතීන්ගෙනුත් ගෝත්‍රවලිනුත් සෙනඟගෙනුත් භාෂාවන්ගෙනුත් කිසිවෙකුට ගණන්කළ නොහැකි මහත් සමූහයක් සුදු සළු පැළඳ, තමුන්ගේ අත්වල තාලපත්‍ර ඇතුව, සිංහාසනය ඉදිරියෙහිත් බැටළුපැටවාණන් ඉදිරියෙහිත් සිටිනවා දුටිමි.”
අපි දැන් පළමුව යොහන් 10:16 සලකා බලමු. බැටළුවන් යනු කවුරුන්ද? හොඳයි, යේසුස්වහන්සේගේ පක්ෂපාත අනුගාමිකයන් සියල්ලන්ම බැටළුවන් ලෙස යොමු දක්වා ඇති බව මතක තබාගැනීම යහපති. ලූක් 12:32හි, යේසුස්වහන්සේ, ස්වර්ගයට යනු ඇති සිය ගෝලයන් “කුඩා රැළ” යනුවෙන් හැඳින්වූසේක. කුමක රැළක්ද? බැටළුවන්ගේ රැළක්ය. මෙම ‘කුඩා රැළේ’ ‘බැටළුවන්’ ස්වර්ග රාජ්‍යයේ කොටසක් වනු ඇත. කෙසේවුවද, යේසුස්වහන්සේ විසින් බැටළුවන් ලෙස සලකනු ලබන, වෙනස් බලාපොරොත්තුවක් ඇති තවත් අයද සිටිති.
මේ අය අපට යොහන් 10වන පරිච්ඡේදයේ දැකිය හැක. තමන්වහන්සේ විසින් ස්වර්ගික ජීවනයට කැඳවනු ලබන සිය ප්‍රේරිතයන් වැනි බැටළුවන් ගැන කතා කිරීමෙන් පසු, යේසුස්වහන්සේ 16වන පදයේ තවදුරටත් මෙසේ පැවසූසේක: “තවද මේ ගාලට අයත් නොවූ වෙනත් බැටළුවෝ මට ඇත්තාහ. ඔවුන්ද මා විසින් ගෙනෙන්ට ඕනෑය.” යේසුස්වහන්සේ මේ පදය තුළ කතා කරමින් සිටියේ පොළොව මත ජීවත්වීමේ අපේක්ෂාවක් ඇති ජනයා සම්බන්ධව බව යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ බොහෝ කලක් තිස්සේ වටහාගෙන සිටිති. ආබ්‍රහම්, සාරා, නෝවා සහ මලාකී වැනි පූර්ව ක්‍රිස්තියානි යුගවල විසූ බොහෝ ඇදහිලිවන්තයන්ට එවන් අපේක්ෂාවක් තිබිණි. එබැවින් ඔවුන් වනාහි යොහන් 10:16හි සඳහන් ‘වෙනත් බැටළුවන්ගේ’ කොටසක් බවට අපට යුක්තිසහගත ලෙස නිගමනය කළ හැක. දහස් අවුරුදු පාලනය අතරතුරේදී, එවන් ඇදහිලිවන්ත පූර්ව-ක්‍රිස්තියානි සාක්ෂිකරුවන් නැවත නැගිටුවනු ලැබ, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ගැන ඉගෙනගෙන, උන්වහන්සේව පිළිගෙන, මාහැඟි එඬේරාණන්ගේ “වෙනත් බැටළුවන්” බවට පත්වනු ඇත.
ස්වර්ගික පංතියට කරන ලද සාමාන්‍ය කැඳවීම අවසන් වූ දා පටන්, මිලියන ගණනක් සැබෑ ක්‍රිස්තියානීන් බවට පත්වී ඇති බවද අපි දනිමු. මේ අයද ‘කුඩා රැළේ’ කොටසක් නොවන බැවින්, ඔවුන්ව ‘වෙනත් බැටළුවන්’ සේ හරි ලෙස හඳුන්වා තිබේ. ඊටත් වඩා, අදදින වෙනත් බැටළුවෝ පාරාදීස පොළොවකට කෙළින්ම ඇතුල්වී ජීවත්වීමට ඉදිරිය බලා සිටිති.
දැන්, එළිදරව් 7:9හි සඳහන් “මහත් සමූහය” හඳුනාගැනීම ගැන අපට කුමක් කිව හැකිද? හොඳයි, එළි 7:13වන පදයේ “මොව්හු කවුරුද? කොතැනින් ආවෝද?” යන ප්‍රශ්නය දෙස බලන්න. අපට ඊට පිළිතුර එළිදරව් 7:14හි දැකිය හැක: “මොව්හු මහත් පීඩා [පීඩාව, NW] මැදින් එන්නෝය.” එසේනම්, “මහත් සමූහය” සමන්විත වන්නේ, මහත් පීඩාවෙන් පිටතට පැමිණෙන, හෙවත් බේරී ජීවත්වන අයගෙන්ය. දහහත්වන පදයේ පවසන්නාක් මෙන්, ඔවුන්ව පොළොව මත ‘ජීවන දිය උල්පත්වලට ගෙනයනු ලබනවා’ ඇත.
එසේනම්, මේ අය එළඹෙමින් තිබෙන මහත් පීඩාවෙන් ගැළවීමට නම්, ඔවුන් ඊට කලින් බැටළුපැටවාණන්ගේ රුධිරයෙන් තම සළු සෝදාගෙන සැබෑ නමස්කාරකයන් බවට පත්විය යුතුය. මෙබැවින්, එළිදරව් 7:9 මෙම සමූහයව විස්තර කරන්නේ පීඩාවෙන් පසුවට වුවද, බොරු ආගම මත ජාතීන්ගේ ප්‍රහාරය සමඟ පැනනඟින මහත් පීඩාවට පෙර දැන් යෙහෝවඃවහන්සේට පරිශුද්ධ සේවය පිරිනමමින් සිටින භූමික බලාපොරොත්තුව ඇති සියල්ලන්ටම මෙම “මහත් සමූහය” යන යෙදුම අපට අදාළ කළ හැකිය.
සමාලෝචනයක් සේ ගත් කල, අප මෙම ‘වෙනත් බැටළුවන්’ යන යෙදුම, පොළොව මත සදාකල් ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති, දෙවියන්වහන්සේගේ සේවකයන් සියල්ලන්ම ඇතුළත් වන පරිද්දෙන් පුළුල් අර්ථයෙන් මතක තබාගත හැකිය. පැමිණෙමින් තිබෙන මහත් පීඩාවෙන් කෙළින්ම බේරී ජීවත්වීමේ බලාපොරොත්තුව ඇති “මහත් සමූහයක්” හැටියට දැන් එක්රැස් කරනු ලබමින් සිටින අදදින බැටළුවන්ගේ වඩාත් සීමිත ප්‍රභේදය මීට ඇතුළත් වෙයි. අදදින ජීවත්වන පක්ෂපාත ක්‍රිස්තියානීන්ගෙන් වැඩිදෙනෙක් “වෙනත් බැටළුවෝ” වන අතර, ඔවුහු ‘මහත් සමූහයේද’ කොටසක් වෙති.
මෙම විශේෂ යෙදුම් ගැන පැහැදිලි අවබෝධයක් ඇතුව සිටීම හොඳය, නමුත් මෙම වචන ගැන ඕනෑවට වඩා විපරමින් සිටීමට කිසිදු ක්‍රිස්තියානියෙකුට අවශ්‍ය නැත—මෙය වචන ගැන විවේචනශීලී වීම යයි හැඳින්විය හැක. ඇතැම් අය “වචන ගැන . . . වාදකිරීමෙන් . . . අංහකාරව” සිටි බව පාවුල් අනතුරු ඇඟවූයේය. (1 තිමෝති 6:4) යෙදුම් අතර එක්තරා වෙනසක් අපි පෞද්ගලිකව වටහාගෙන සිටින්නෙමු නම්, එය කදිමයි. එහෙත්, බයිබලයේ යෙදුම් හරියටම නිවැරදි ලෙස භාවිත නොකරන වෙනත් කෙනෙකු ගැන අප ප්‍රසිද්ධියේ හෝ තමා තුළම විවේචනය නොකළ යුතුය.