පාඨකයන්ගෙන් ප්‍රශ්න
පළමු යොහන් 4:18 අපට මෙසේ කියයි: “ප්‍රේමයෙහි භය ඇත්තේ නැත. සම්පූර්ණ ප්‍රේමය භය දුරුකරයි.” එහෙත් පේතෘස් මෙසේ ලීවේය: “මුළු “සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා. දෙවියන්වහන්සේට භයවෙයල්ලා.” (1 පේතෘස් 2:17) අපට මෙම පද දෙක සම්බන්ධයෙන් එකඟතාවකට එළඹිය හැක්කේ කෙසේද?
පේතෘස් සහ යොහන් යන දෙදෙනාම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ම කෙළින්ම ඉගෙන තිබූ ප්‍රේරිතවරු වූහ. මෙසේ ඔවුන් ලියූ දේ අනුකූල වන බවට අපට නිසැක විය හැක. ඉහත උපුටනය ගත් කල, ඊට රහස වනාහි ප්‍රේරිතවරු දෙදෙනා කතා කරමින් සිටියේ භයෙහි වෙනස් ආකාර දෙකක් වීමයි.
පළමුව අපි පේතෘස්ගේ උපදෙස් සලකා බලමු. පාඨ සම්බන්ධය පෙන්වන පරිදි, පේතෘස් සෙසු ක්‍රිස්තියානීන්ට අධිකාරයක් දරන අය කෙරෙහි ඔවුන්ගේ ආකල්පය පිළිබඳ ආනුභාවය ලත් උපදෙස් දෙමින් සිටියේය. වෙනත් වචනවලින් කිවහොත්, ඇතැම් අංශවලදී යටත්කම දැක්වීම පිළිබඳ නිසියාකාර දෘෂ්ටියක් දැරීම ගැන ඔහු අදහස් දක්වමින් සිටියේය. මෙසේ, රජවරුන් හෝ ආණ්ඩුකාරයන් වැනි, මිනිස් ආණ්ඩුවල අධිකාරය ලත් තත්වයන්හි සිටි මිනිසුන්ට යටත්ව සිටින මෙන් ඔහු ක්‍රිස්තියානීන්ට උපදෙස් දුන්නේය. (1 පේතෘස් 2:13, 14) පේතෘස් තවදුරටත් මෙසේ ලීවේය: “සියල්ලන්ටම ගෞරවකරපල්ලා. සහෝදර සමාගමට ප්‍රේමකරපල්ලා. දෙවියන්වහන්සේට භයවෙයල්ලා. රජ්ජුරුවන්ට ගෞරවකරපල්ලා.”—1 පේතෘස් 2:16ආ, 17.
අවට පාඨ සම්බන්ධය අනුව ගත් කල, පේතෘස් ක්‍රිස්තියානීන්ට “දෙවියන්වහන්සේට භයවෙයල්ලා” කියා පැවසූ විට, අපට දෙවියන්වහන්සේ සඳහා ගැඹුරු, ගරුබිය සහිත ගෞරවයක්, එනම්, පරම අධිකාරය අසතුටු කිරීමට භයක් අප තුළ තිබිය යුතු බව ඔහු අදහස් කළේය.—හෙබ්‍රෙව් 11:7 සසඳන්න.
ප්‍රේරිත යොහන්ගේ අදහස ගැන කුමක් කිව හැකිද? මීට කලින් 1 යොහන් 4වන පරිච්ඡේදයේදී, ප්‍රේරිතවරයා, බොරු අනාගතවක්තෲන්ගෙන් පැමිණෙන ඒවා වැනි “ආනුභාවය ලත් ප්‍රකාශන” [NW] පරීක්ෂා කර බැලීමේ අවශ්‍යතාව ගැන සාකච්ඡා කළේය. එම ප්‍රකාශන යෙහෝවඃ දෙවියන්වහන්සේගෙන් නොපැමිණි බවට සහතිකය; ඒවා පැමිණෙන්නේ දුෂ්ට ලෝකයෙන්ය, නැතහොත් ඉන් පිළිබිඹු වන්නේ දුෂ්ට ලෝකයයි.
ඊට වෙනස්ව අභිෂේක ලත් ක්‍රිස්තියානීහු ‘දෙවියන්වහන්සේගෙන් වෙති.’ (1 යොහන් 4:1-6) එමනිසා, යොහන් මෙසේ උදක්ම ඉල්ලා සිටියේය: “ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේමකරමු. මක්නිසාද ප්‍රේමය දෙවියන්වහන්සේගෙන්ය.” ප්‍රේමය දැක්වීමෙහිලා දෙවියන්වහන්සේ මුල පිරූසේක—උන්වහන්සේ “අපේ පව් උදෙසා ශාන්තිකර පූජාව වන පිණිස තමන්ගේ පුත්‍රයා එවු[සේක].” (1 යොහන් 4:7-10) අප කෙසේ ප්‍රතිචාරය දැක්විය යුතුද?
අපේ ප්‍රේමනීය දෙවියන්වහන්සේ සමඟ අප සමඟියෙන් සිටිය යුතු බව පැහැදිලිය. අප උන්වහන්සේ ගැන භීතියෙන් පසුවීම හෝ උන්වහන්සේ වෙත යාච්ඤාව තුළින් එළඹීම ගැන භයින් වෙවුලීම අවශ්‍ය නැත. මීට කලින් යොහන් මෙසේ උපදෙස් දුන්නේය: “අපේ සිත අපට දෝෂාරෝපණය නොකරනවානම්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි නිර්භීතකම අපට ඇත්තේය; තවද අපි උන්වහන්සේගේ ආඥා රක්ෂාකරමින් උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්නදේ කරන බැවින් අපි උන්වහන්සේගෙන් ඉල්ලන සියල්ල ලබමු.” (1 යොහන් 3:21, 22) එසේය, හොඳ හෘදය සාක්ෂියක්, දුබල කරවන හෝ යටපත් කරවන භයක් නොමැතිව දෙවියන්වහන්සේ වෙත එළඹීමට නිදහස අපට ලබා දෙයි. යාච්ඤාව තුළින් යෙහෝවඃවහන්සේ ඇමතීමට හෝ උන්වහන්සේ වෙත එළඹීමට නිදහස අපට දැනෙන්නේ ප්‍රේමය මාර්ගයෙනි. මේ අර්ථයෙන් ගත් කල, “ප්‍රේමයෙහි භය ඇත්තේ නැත.”
එසේනම්, අපි අදහස් දෙක සම්බන්ධ කරමු. ක්‍රිස්තියානි භක්තිකයෙකු හැමවිටම යෙහෝවඃවහන්සේගේ තනතුරට, බලයට හා යුක්තියට ගැඹුරු ගෞරවයක් දැක්වීමෙන් උත්පාදනය වන උන්වහන්සේ කෙරෙහි ගෞරවාන්විත භයක් තිබිය යුතුය. එහෙත් අපේ පියාණන් වශයෙන් අප දෙවියන්වහන්සේට ප්‍රේම කරන අතර, උන්වහන්සේ කෙරෙහි සමීප හැඟීමක්ද, උන්වහන්සේ වෙත එළඹීමට නිදහසක්ද අපට හැඟේ. උන්වහන්සේ කෙරෙහි යම් භීතියකින් අවහිර වනවා වෙනුවට, ප්‍රේමනීය මාපියෙකු වෙත එළඹීමට දරුවෙකුට නිදහසක් හැඟෙනවා හා සමානව, අපට උන්වහන්සේ වෙත එළඹිය හැකි බව අපි දැඩි ලෙස විශ්වාස කරමු.—යාකොබ් 4:8.