“මාගේ වියගහ පහසුය, මාගේ බරද සැහැල්ලුය”
“මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා”—මතෙව් 11:29.
1, 2. (අ) ජීවිතයේ ඔබට ප්රබෝධය ගෙනෙන බවට ඔබ අද්දැක ඇත්තේ කුමක්ද? (ආ) යේසුස්වහන්සේ පොරොන්දු වූ ප්රබෝධය ලබාගැනීමට යමෙක් කුමක් කළ යුතුද?
තද අව් රශ්මියෙන් යුත් උණුසුම් දවසක අවසානයේ, සිසිල් ජලය ටිකක් නාගැනීම හෝ දිගු වෙහෙසකාරි ගමනක නිමාවෙන් පසු, රාත්‍රියේ සුව නින්දක් ලැබීම—ඇත්තෙන්ම, කොතරම් ප්රබෝධජනකද! එලෙසම දැඩි බරකින් නිදහස් වන විට හෝ පව් සහ අත්වැරදිවලට සමාව ලැබෙන විටද එය එසේමය. (හිතෝපදේශ 25:25; ක්‍රියා 3:19) එවන් ප්‍රබෝධවත් අද්දැකීම්වලින් අප යළි ප්‍රාණවත් වී, ඉදිරියට ඇදී යෑමට අපි ශක්තිය ලබමු.
2 බර පැටවී සහ වෙහෙසට පත්වී සිටින බවක් දැනෙන සියල්ලන්ටම යේසුස්වහන්සේ වෙතට පැමිණිය හැකිය, මන්ද, උන්වහන්සේ ඔවුන්ට පොරොන්දු වූයේද එයයි—එනම්, ප්‍රබෝධයයි. කෙසේවෙතත්, එතරම්ම ප්‍රියජනක ප්රබෝධය සොයාගැනීම පිණිස, යමෙක් යම් දෙයක් කිරීමට කැමති විය යුතුය. “මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා. එවිට නුඹලාගේ ආත්මවලට සහනය ලැබෙන්නේය” යයි යේසුස්වහන්සේ පැවසූසේක. (මතෙව් 11:29) මෙම වියගහ කුමක්ද? එය ප්රබෝධය ගෙනෙන්නේ කෙසේද?
කාරුණික වියගහක්
3. (අ) බයිබල් කාලවල කිනම් ආකාරයේ වියගස් භාවිත කරන ලද්දේද? (ආ) වියගහක් සමඟ සම්බන්ධ වී ඇති සංකේතාත්මක අර්ථය කුමක්ද?
3 කෘෂිකාර්මික සමාජයක ජීවත් වූ යේසුස්වහන්සේ සහ උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, වියගහ යනු කුමක්ද කියා හොඳින් දැන සිටියහ. මූලිකව ගත් කල, වියගහක් යනු, නඟුලක්, කරත්තයක් හෝ වෙනත් යම් බරක් ඇදගෙන යෑම සඳහා තෝරාගත් සතුන් දෙදෙනෙකුගේ, සාමාන්‍යයෙන් ගවයන් දෙදෙනෙකුගේ ගෙලට සරිලන සේ යටි පැත්තෙන් ඇතුළට වකගැසුණු දිග ලී කොටයකි. (1 සාමුවෙල් 6:7) වියගස් මිනිසුන් සඳහාද භාවිත කරන ලදි. මේවා වනාහි දෙකෙළවරට බර එල්ලාගෙන උරහිස හරහා දමාගෙන ගිය ලී කඳන් හෝ පොලු වූයේය. මෙසේ එල්ලාගෙන යෑම මගින්, විශාල බරවල් රැගෙන යෑමට කම්කරුවන්ට හැකි විණ. (යෙරෙමියා 27:2; 28:10, 13) පීඩාකාරි බරවල් හා වෙහෙසකර වැඩ අතර ඇති සම්බන්ධතාව තුළින් ගත් කළ, වියගහ බොහෝවිට බයිබලයේ සංකේතාත්මකව භාවිත කර ඇත්තේ, පීඩිත ආධිපත්‍යය සහ පාලනය සංකේතවත් කිරීමටය.—ද්විතීය කථාව 28:48; 1 රාජාවලිය 12:4; ක්‍රියා 15:10.
4. යේසුස්වහන්සේ වෙතට පැමිණෙන අයහට ඉදිරිපත් කරනු ලබන වියගසෙන් සංකේතවත් වන්නේ කුමක්ද?
4 එසේනම් යේසුස්වහන්සේ, ප්රබෝධය ලැබීම සඳහා තමන් වෙතට එන අයට තමාගෙන් ගන්නා මෙන් ආරාධනා කරන ලද වියගහ කුමක්ද? උන්වහන්සේ පැවසූ දෙය මතක් කරන්න: “මාගේ වියගහ නුඹලා පිටට ගෙන, මාගෙන් ඉගෙනගනිල්ලා.” (මතෙව් 11:29) ඉගෙනගන්නෙක් යනු ගෝලයෙකි. මෙබැවින්, යේසුස්වහන්සේගේ වියගහ ගැනීම කීමෙන් සරල ලෙස අදහස් කරන්නේ උන්වහන්සේගේ ගෝලයෙකු බවට පත්වීමයි. (පිලිප්පි 4:3) කෙසේවෙතත්, උන්වහන්සේගේ ඉගැන්වීම් නිකම්ම මනසින් පිළිගැනීමට වඩා වැඩි යමක් මීට අවශ්‍ය වේ. ඊට අනුකූල වූ ක්‍රියාවන්ද අවශ්‍ය කෙරේ—එනම් උන්වහන්සේ කළ දේ කිරීම සහ උන්වහන්සේ ජීවත් වූ ආකාරයට ජීවත් වීමය. (1 කොරින්ති 11:1; 1 පේතෘස් 2:21) උන්වහන්සේගේ අධිකාරයට සහ උන්වහන්සේ විසින් අධිකාරය පවරන අයට කැමැත්තෙන්ම යටත් වීම ඊට අවශ්‍ය කරයි. (එපීස 5:21; හෙබ්‍රෙව් 13:17) ඉන් අදහස් කරන්නේ, කැපවූ බව්තීස්ම ලත් ක්‍රිස්තියානියෙකු බවට පත්වෙමින්, එවන් කැපවීමක් සමඟ එන සියලුම වරප්‍රසාද සහ වගකීම් පිළිගැනීමයි. සහනය සහ ප්රබෝධය සොයා එන සියල්ලන්ට යේසුස්වහන්සේ ඉදිරිපත් කරන වියගහ එයයි. එය භාරගැනීමට ඔබ කැමතිද?—යොහන් 8:31, 32.
5. යේසුස්වහන්සේගේ වියගහ ගැනීම කටුක අද්දැකීමක් නොවනු ඇත්තේ මන්ද?
5 වියගහක් ගැනීමෙන් ප්රබෝධය ලැබීම—එය එකිනෙකට පරස්පර විරෝධී යමක් ලෙස නොපෙනේද? ඇත්තෙන්ම නැත, මන්ද, මාගේ වියගහ ‘කාරුණිකය’ කියා යේසුස්වහන්සේ පැවසූ බැවිනි. මෘදු, ප්‍රසන්න, එකඟ විය හැකිය යන අදහස මෙම වචනයට ඇත. (මතෙව් 11:30; ලූක් 5:39; රෝම 2:4; 1 පේතෘස් 2:3) වෘත්තීයමය වඩු කාර්මිකයෙකු වූ බැවින්, යේසුස්වහන්සේ විසින් නඟුල් සහ වියගස් සෑදීමට බොහෝ ඉඩ කඩ තිබූ අතර, හැකි තරම් පහසු අන්දමින් උපරිම වැඩක් කිරීමට හැකි වන පිණිස, වියගහක හැඩය ගන්නා ආකාරය උන්වහන්සේ දැන සිටින්ට ඇත. උන්වහන්සේ ඒවාට රෙදි සහ සම් ඇතුරුවා විය හැක. බොහෝ වියගස්වලට එසේ ඇතිරිලි කරන්නේ, ගෙල වියගහට ඕනෑවට වඩා ඇතිල්ලීමෙන් හෝ සීරීමෙන් වළක්වාලනු පිණිසය. ඒ ආකාරයෙන්ම, යේසුස්වහන්සේ අප වෙත ඉදිරිපත් කරන සංකේතාත්මක වියගහ ‘කාරුණිකය.’ උන්වහන්සේගේ ගෝලයෙකු බවට පත්වීමේදී යම් බැඳීම් සහ වගකීම් ඇතුළත් වුවද, එය කර්කශ හෝ පීඩාකාරි නොව, ප්රබෝධජනක අද්දැකීමකි. උන්වහන්සේගේ ස්වර්ගික පියාණන් වන යෙහෝවඃවහන්සේගේ ආඥාද පීඩාකාරි ඒවා නොවේ.—ද්විතීය කථාව 30:11; 1 යොහන් 5:3.
6. “මාගේ වියගහ නුඹලා පිටට ගෙන” යනුවෙන් පැවසූ විට, යේසුස්වහන්සේ කුමක් අදහස් කළා විය හැකිද?
6 යේසුස්වහන්සේගේ වියගහ ‘කාරුණික’ හෙවත් දැරීමට පහසු කරවන තවත් යම් දෙයක් තිබේ. “මාගේ වියගහ නුඹලා පිටට ගෙන” යයි උන්වහන්සේ පැවසූ විට, දේවල් දෙකින් එකක් උන්වහන්සේ විසින් අදහස් කළා විය හැකිය. උන්වහන්සේගේ මනසේ තිබුණේ, ජෝඩු වියගහක් නම්, එනම් බර ඇදගෙන යෑම සඳහා සතුන් දෙදෙනෙකුව එකට බැඳි ආකාරයේ එකක් නම්, උන්වහන්සේ ආරාධනා කරමින් සිටියේ, උන්වහන්සේ සමඟ එකම වියගහ යටට පැමිණෙන ලෙසටය. යේසුස්වහන්සේ අපගේ එක් පැත්තක සිට අප සමඟ බර ඇදගෙන යෑම—මොනතරම් ආශීර්වාදයක් වේවිද! අනික් අතට, උන්වහන්සේගේ මනසේ තිබුණේ, සාමාන්‍ය කම්කරුවෙකු විසින් යොදාගන්නා ලද වියගස් පොල්ලක් නම්, අප රැගෙන යන ඕනෑම බරක් වඩාත් පහසු කරවිය හැකි හෝ පාලනය කරගත හැකි යම් ක්‍රමයක් අපහට ඉදිරිපත් කරමින් සිටිසේක. මේ කොයියම් විදිහකින් හෝ වේවා, උන්වහන්සේගේ වියගහ වනාහි නියම ප්රබෝධයේ උල්පතක් වූයේය, මන්ද උන්වහන්සේ අපට මෙසේ සහතික කරනසේක: “මම සිතින් මෘදුව යටත්ව සිටි[මි].”
7, 8. තමන්ට මානසික පීඩනය දැනෙන විට, ඇතමුන් කරන වරද කුමක්ද?
7 එසේනම්, ජීවිතයේ ගැටලු සහිත අප රැගෙන යන බර දරන්ට අමාරු බවක් අපට දැනේ නම්, එමෙන්ම අප මානසික පීඩාවට ලක්වී දරන්ට බැරි තරම් උච්ච තත්වකට පත්වී තිබේ නම් තත්වය කුමක්ද? එදිනෙදා ජීවිතයේ කාරණා කටයුතුවලින් තමන් බර වී සිටියද, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ගෝලයෙකු වීම ඉතා අසීරු හෝ දරාගැනීමට අමාරු දෙයක්යයි ඇතමෙකුට වැරදිසහගත ලෙස හැඟී යනවා විය හැක. එම තත්වයේ සිටින ඇතැම් පුද්ගලයෝ ක්‍රිස්තියානි රැස්වීම්වලට පැමිණීම නවත්වති, නැතහොත්, සමහරවිට තමන්ට යම් සහනයක් දැනෙනු ඇතැයි සිතා දේවසේවයේ හවුල් වීමෙන් වැළකෙති. කෙසේවෙතත්, එය බරපතළ වරදකි.
8 යේසුස්වහන්සේ ඉදිරිපත් කරන වියගහ ‘කාරුණික’ වීම අපි අගය කරමු. අප එය නිසි ලෙස දමා නොගන්නේ නම්, එය අපට යම් අපහසුතාවක් ගෙනෙන්ට පුළුවන. එය එසේනම්, අපගේ උරහිස් මත තිබෙන වියගහ දෙස අප සමීප බැල්මක් හෙළිය යුතුය. යම් හේතුවක් නිසා, වියගහ අලුත්වැඩියා නොකරන ලද තත්වයක තිබේ නම්, නැතහොත්, එය නිසි ලෙස උස්සා නොතිබේ නම්, එය පාවිච්චි කිරීමට අපේ පැත්තෙන් එයට වඩා වැඩි ප්රයත්නයක් අවශ්‍ය කරනවා පමණක් නොව, ප්‍රතිඵලයක් වශයෙන් අපට යම් වේදනාවක්ද ඇතිකරලන්ට පුළුවන. වෙනත් වචනවලින් කියතොත්, දිව්‍යාණ්ඩු ක්‍රියාකාරකම් අපහට පීඩාකාරි බරක් ලෙස පෙනෙන්ට පටන්ගෙන තිබේ නම්, අප ඒවා හරි අන්දමින් හසුරුවනවාද කියා අප පරීක්ෂා කර බැලිය යුතුය. අප කරන දෙය සඳහා අපගේ චේතනාව කුමක්ද? අප රැස්වීම්වලට යන විට, අපි ප්‍රමාණවත් ලෙස සූදානම් වී සිටින්නෙමුද? අප ක්ෂේත්‍ර සේවයේ යෙදෙන විට, අපි කායිකව හා මානසිකව ඊට සැදී පැහැදී සිටින්නෙමුද? අපි සභාවේ අනික් අය සමඟ හොඳ සමීප සම්බන්ධයක් භුක්තිවිඳින්නෙමුද? තවද, සියල්ලටම වඩා ඉහළින්, යෙහෝවඃ දෙවියන්වහන්සේ සහ උන්වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සමඟ අපගේ පෞද්ගලික සම්බන්ධතාව කෙබඳුද?
9. ක්‍රිස්තියානි වියගහ කිසිවිටකත් දැරිය නොහැකි බරක් නොවිය යුත්තේ මන්ද?
9 අප යේසුස්වහන්සේ ඉදිරිපත් කරන වියගහ මුළු හෘදයාංගයෙන්ම භාරගෙන, එය නිසි ලෙස රැගෙන යෑමට ඉගෙනගන්නේ නම්, එය කිසිවිටකත් දැරිය නොහැකි පීඩාකාරි බරක් ලෙස දැනෙන්ට කිසිදු හේතුවක් නොමැත. ඇත්තවශයෙන්ම, අපට තත්වය මනසින් දැකීමට හැකි නම්—එනම්, යේසුස්වහන්සේ අප සමඟ එකම වියගහක් යට සිටීම—පීඩාකාරි බරෙන් වැඩි ප්‍රමාණයක් ඇත්තටම රැගෙන යන්නේ කවුද කියා දැකගැනීම අපට අමාරු දෙයක් නොවේ. එය හරියට තම කුඩා කරත්තයේ හේත්තු වී සිටින කුඩා දරුවෙකු වැන්න, එහි අල්ලාගෙන යන පොල්ලේ හේත්තු වන දරුවා සිතන්නේ, එය තමා විසින්ම ඉදිරියට තල්ලු කරගෙන යනවා කියාය, නමුත් ඇත්තටම කරත්තය තල්ලු කරන්නේ දෙමාපියාය. ප්‍රේමනීය පියෙකු වශයෙන්, යෙහෝවඃ දෙවියන්වහන්සේ අපේ සීමාවන් හා දුර්වලකම් ගැන හොඳින් සාවධානව සිටිනසේක, තවද උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් අපගේ අවශ්‍යතාවන්ට ප්‍රතිචාර දක්වනසේක. “දෙවියන්වහන්සේ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තමන්ගේ තේජස් සම්පතේ ප්‍රකාරයට නුඹලාගේ සියලු හිඟකම් සම්පූර්ණකරනසේක” යයි පාවුල් පැවසීය. —පිලිප්පි 4:19; සසඳන්න යෙසායා 65:24.
10. තම ගෝලකම බරපතළ ලෙස සැලකිල්ලට ගන්නා එක් තැනැත්තියකගේ අද්දැකීම වී ඇත්තේ කුමක්ද?
10 කැපවූ ක්‍රිස්තියානීහු බොහෝදෙනෙක්, තම පෞද්ගලික අද්දැකීම තුළින් මෙය අගය කිරීමට පැමිණ සිටිත්. නිදසුනක් වශයෙන්, සෑම මසකම උපකාරික පුරෝගාමියක ලෙස සේවය කරමින්, පූර්ණ-කාලීනව ඉතා අධික වැඩ සහිත බාහිර රැකියාවක් කරන ජෙනීට තමා මහත් පීඩනයකට යට වී සිටින බවක් හැඟෙන බව තේරුම්ගනී. එහෙත්, පුරෝගාමී සේවය තම සමබරතාව පවත්වාගැනීමට තමාට සැබවින්ම උපකාරවත් වන බව ඈට දැනේ. බයිබල් සත්‍යය ඉගෙනගැනීමට ජනයාට ආධාර කිරීම සහ දෙවියන්වහන්සේගේ අනුමැතිය දිනාගැනීම පිණිස ඔවුන් තම ජීවිත වෙනස් කරගන්නවා දැකීම—මෙයයි ඇගේ කාර්යබහුල ජීවිතය තුළ ඉමහත් ප්‍රීතියක් ලබා දෙන්නේ. මෙසේ පවසන හිතෝපදේශයේ වචනවලට ඈ මුළු හදින්ම එකඟ වන්නීය: “ස්වාමීන්වහන්සේගේ ආශීර්වාදය පොහොසත්කම ලබාදෙන්නේය. උන්වහන්සේ ඊට දුක එකතු නොකරනසේක.”—හිතෝපදේශ 10:22.
සැහැල්ලු බරක්
11, 12. “මාගේ බරද සැහැල්ලුය” කියා පැවසූ විට, යේසුස්වහන්සේ අදහස් කළේ කුමක්ද?
11 අපහට ‘කාරුණික’ වියගහක් පොරොන්දු වෙනවාට අමතරව, යේසුස්වහන්සේ අපට මෙසේ සහතික කරනසේක: “මාගේ බරද සැහැල්ලුය.” ‘කාරුණික’ වියගහක් දැනටමත් වැඩය පහසු කරයි; පීඩාකාරි බර සැහැල්ලු කරනු ලැබේ නම්, වැඩ කිරීම සැබවින්ම සතුටකි. එහෙත්, එම ප්‍රකාශය මගින් යේසුස්වහන්සේ අදහස් කළේ කුමක්ද?
12 යම් ගොවියෙකුට, තමාගේ සතුන් කරන වැඩ වෙනස් කිරීමට වුවමනා වූ විට, උදාහරණයක් හැටියට, කෙතක් හෑමේ සිට කරත්තයක් ඇදගෙන යෑමට මාරු කිරීමට වුවමනා වූ විට, කුමක් කරනු ඇද්ද? ඔහු පළමුව, නඟුල ඉවත් කර, අනතුරුව සතුන්ව කරත්තයට බැඳ ගනී. සතුන්හට නඟුලද, කරත්තයද දෙකම බැඳීම විකාරයකි. ඒ හා සමානව, යේසුස්වහන්සේ ජනයාට පවසමින් සිටියේ, ඔවුන් එවිටමත් රැගෙන යමින් සිටි බර මතට තමාගේ බර තබන ලෙස නොවේ. උන්වහන්සේ සිය ගෝලයන්ට මෙසේ කීසේක: “ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවයකරන්ට කිසි වැඩකාරයෙකුට නුපුළුවන.” (ලූක් 16:13) මෙසේ, යේසුස්වහන්සේ ජනයාට තෝරාගැනීමක් ඉදිරිපත් කරමින් සිටිසේක. ඔවුන් තමන් සතුව තිබූ මහා බර දිගටම රැගෙන යනවාද, නැතහොත්, ඔවුන් එය බිම තබා, උන්වහන්සේ ඉදිරිපත් කරමින් සිටි දෙය භාරගන්නවාද? යේසුස්වහන්සේ ඔවුන්ට ප්‍රේමනීය සහතිකයක් දුන්සේක: “මාගේ බරද සැහැල්ලුය.”
13. යේසුස්වහන්සේගේ දවසේ විසූ ජනයා ඉසිලූ පීඩාකාරි බර වූයේ කුමක්ද, තවද කිනම් ප්‍රතිඵල ඇතුවද?
13 යේසුස්වහන්සේගේ දවසේදී, පීඩාකාරි රෝම පාලකයන් සහ චාරිත්‍රවලට වහල් වී සිටි කුහක ආගමික නායකයන් විසින් පටවන ලද අතිපීඩාකාරි බර යටතේ ජනයා පොරබදමින් සිටියහ. (මතෙව් 23:23) රෝමවරුන්ගේ බර ඉවත ලෑමට ප්රයත්න දරමින්, ඇතැම් ජනයා උත්සාහ කළේ, කාරණා තමන්ගේම අතට ගැනීමටයි. ඔවුහු දේශපාලන අරගලවල යෙදුණාහ, නමුත් ඉන් සිදුවූයේ, විනාශකාරි අවසානයක් පමණි. (ක්‍රියා 5:36, 37) තවත් අය, ද්‍රව්‍යමය දේවල් අත්කරගැනීම්වල දැඩි ලෙස ඇලී ගැලී සිටීම මගින් තමන්ගේ ජීවන තත්වය දියුණු කිරීමට නැඹුරුවූහ. (මතෙව් 19:21, 22; ලූක් 14:18-20) යේසුස්වහන්සේ ඔවුන්ට තම ගෝලයන් වීමට ආරාධනා කිරීමෙන් සහනය ලබන මාර්ගය ඔවුන්ට ඉදිරිපත් කළ අවස්ථාවේ, එය භාරගැනීමට සියල්ලන්ම සූදානමින් සිටියේ නැත. තමන් උසුලාගෙන යමින් සිටි වෙහෙසකාරි බර බිම තබා යේසුස්වහන්සේගේ බර ගැනීමට ඔවුහු පසුබට වූහ. (ලූක් 9:59-62) මොනතරම් ඛේදනීය වරදක්ද!
14. ජීවිතයේ කාන්සාවන් සහ ද්‍රව්‍යමය තෘෂ්ණාවන් අපව බරින් යටපත් කළ හැක්කේ කෙසේද?
14 අප පරෙස්සම් නොවුණහොත්, එම වරදම අදත් අප අතින් සිදුවිය හැකිය. යේසුස්වහන්සේගේ ගෝලයන් බවට පත්වීම, ලෝකයේ මිනිසුන්ගේ එම ඉලක්ක හා සාරධර්ම පසුපස හඹා යෑමෙන් අපව නිදහස් කරයි. එදිනෙදා අවශ්‍යතාවන් ලබාගැනීමට අපට තවමත් වෙහෙස මහන්සි වී වැඩ කිරීමට සිදුවුවත්, අප මේවා අපගේ ජීවිතයේ ප්‍රධාන දෙය කරගන්ට යන්නේ නැත. එහෙත්, ජීවිතයේ කාන්සාවන් සහ ද්‍රව්‍යමය සැපපහසුකම් නමැති මලපත, අප මත ප්‍රබල ග්‍රහණයක් ඇතිකරලන්ට පුළුවන. අපි ඒවාට ඉඩ දෙන්නෙමු නම්, අප ඉතා උනන්දුවෙන් පිළිගත් සත්‍යය මුළුමනින්ම යටපත් කර දැමීමට එවන් තෘෂ්ණාවන්ට හැක. (මතෙව් 13:22) අප එවන් තෘෂ්ණාවන් ඉටු කිරීම සඳහා කෙතරම් ඇලී ගැලී කටයුතු කරන තත්වයට පත්වේද යත්, අපගේ ක්‍රිස්තියානි වගකීම් වෙහෙසකාරි ඒවා බවට පත්වී, ඒවා හුදෙක් හැකි ඉක්මනින් යාන්ත්‍රිකව ඉටු කරගැනීමට වුවමනා තත්වයට අප පත්විය හැක. අප එවැනි ස්වභාවයකින් කටයුතු කරන්නේ නම්, දෙවියන්වහන්සේට අප කරන සේවයෙන් කිසිදු ප්රබෝධයක් ලැබේය කියා අපට අපේක්ෂා කළ නොහැකි බව සහතිකය.
15. ද්‍රව්‍යමය තෘෂ්ණාවන් සම්බන්ධයෙන් යේසුස්වහන්සේ දුන් අනතුරු ඇඟවීම කුමක්ද?
15 ජීවිතයේ තෘප්තිය පැමිණෙන්නේ, අපට වුවමනා වී ඇති දේවල් ලබාගැනීමට උත්සුක වීමෙන් නොව, නමුත් ජීවිතයේ වඩාත් වැදගත් දේවල් ගැන සහතික වීමෙන් බව යේසුස්වහන්සේ පැහැදිලි කළසේක. “කුමක් කමුද කුමක් බොමුද කියා ජීවිතය ගැනවත්, කුමක් අඳිමුද කියා ශරීරය ගැනවත් කනස්සලු නොවෙල්ලා,” යයි උන්වහන්සේ අවවාද කළසේක. “කෑමට වඩා ජීවිතයද ඇඳුමට වඩා ශරීරයද උතුම් නොවේද?” අනතුරුව අහසේ කුරුල්ලන් දෙසට අවධානය යොමු කළ උන්වහන්සේ, මෙසේ පැවසූසේක: “උන් වපුරන්නේවත් කපාගන්නේවත් අටුවල රැස්කරගන්නේවත් නැත; නුඹලාගේ ස්වර්ගීය පියාණන්වහන්සේද උන් පෝෂණය කරනසේක.” කෙතේ මානෙල් මල්වලට යොමු දැක්වූ උන්වහන්සේ, මෙසේද පැවසූසේක: “ඒවා වෙහෙසෙන්නේවත් නූල් කටින්නේවත් නැත. එහෙත් සාලමොන් පවා ස්වකීය සියලු ඓශ්චර්යෙහිදී ඒවායින් එකක් ලෙස පැළඳී නොසිටියේයයි නුඹලාට කියමි.”—මතෙව් 6:25-29.
16. ද්‍රව්‍යමය ලුහුබැඳීම්වල බලපෑම සම්බන්ධයෙන් අද්දැකීමෙන් කුමක් පෙන්වා තිබේද?
16 මෙම සරල ආදර්ශ පාඩම්වලින් අපට යම් පාඩමක් ඉගෙනගත හැකිද? යම් පුද්ගලයෙක් තම ජීවිතයේ ද්‍රව්‍යමය පැත්ත වැඩිදියුණු කරගැනීමට වඩ වඩාත් උත්සාහ දරන විට, ඔහු ලෞකික ලුහුබැඳීම්වල ඇලී ගැලී පැටලී, ඔහුගේ උරහිස් මත තව තවත් බර කඩා වැටීම සාමාන්‍යයෙන් පොදු අද්දැකීමයි. ද්‍රව්‍යමය වත් පොහොසත්කම් ලුහුබැඳ යෑම නිසා, බෙදුණු පවුල්, විනාශ වූ විවාහ, සෞඛ්‍ය හානි සහ තවත් දේ විඳගෙන ඇති අයගෙන් ලෝකය පිරී තිබේ. (ලූක් 9:25; 1 තිමෝති 6:9, 10) නෝබල් ත්‍යාගලාභී ඇල්බර්ට් අයින්ස්ටයින් වරක් මෙසේ කීවේය: “වත් පොහොසත්කම්, බාහිර සාර්ථකත්වය, ප්‍රසිද්ධිය, සුඛෝපභෝගීබව—මේවා මාහට සෑමවිටම කිසිම වැදගැම්මකට නැති ඒවා වී තිබේ. සරල විනීත ජීවන රටාවක් සෑම කෙනෙකුටම ඉතා හොඳම දේයයි මම විශ්වාස කරමි.” මෙම ප්‍රකාශය ප්‍රේරිත පාවුල්ගේ මෙම සරල වදන් ප්රතිනාද කරයි: “ලත් පමණින් [තමාට ප්‍රමාණවත් තරමින්, NW] සතුටුවීම සමග භක්තිවන්තකම මහත් ලාභයක්මය.”—1 තිමෝති 6:6.
17. බයිබලය නිර්දේශ කරන්නේ කිනම් ජීවන රටාවක්ද?
17 අප විසින් අමතක නොකළ යුතු වැදගත් සාධකයක් තිබේ. ‘සරල විනීත ජීවන රටාවකට’ වාසි ගණනාවක් තිබුණද, ඒ තුළින්ම සෑහීම පැමිණෙනවා නොවේ. මෙම තත්වයේ බලපෑමට හසුවීම නිසා, සරල ජීවිතයක් ගත කරන බොහෝදෙනෙක් සිටිති, එහෙත් ඔවුහු කොහෙත්ම සෑහීමට පත්වන හෝ සන්තෝෂවත් අය නොවෙති. බයිබලය අපට උනන්දු කරන්නේ, ද්‍රව්‍යමය දේවල් භුක්තිවිඳීම එපා කොට, තාපස ජීවිතයක් ගත කිරීමටද නොවේ. මෙහි අවධාරණය දී ඇත්තේ, දේවභක්තියට මිස, තමන් ප්‍රමාණවත් දේ ඇතුව සිටීමට නොවේ. අපට ‘මහත් ලාභයක්’ ලැබෙන්නේ අප මේ දෙක සම්බන්ධ කළ විට පමණි. කිනම් ලාභයක්ද? එම ලිපියේම තව දුරටත් කරුණු දක්වමින්, පාවුල් ගෙනහැර දක්වන්නේ, “වස්තුවේ අස්ථිරකම කෙරෙහි නොව, . . . දෙවියන්වහන්සේ කෙරෙහි බලාපොරොත්තුවී සිටි[න]” අය, “සැබවින් ජීවනයවූ ඒ ජීවනය අල්ලාගන්නා පිණිස මතු කාලයට යහපත් අත්තිවාරමක් තබාග[නු]” ඇති බවය.—1 තිමෝති 6:17-19.
18. (අ) යමෙකුට සැබෑ ප්රබෝධය කෙසේ ලැබිය හැකිද? (ආ) අප විසින් කිරීමට සිදුවිය හැකි වෙනස්කම් දෙස අප බැලිය යුත්තේ කෙසේද?
18 අපට ප්රබෝධය පැමිණෙනු ඇත්තේ, අප උසුලාගෙන යමින් සිටිනවා විය හැකි අපගේ පෞද්ගලික බර බිම තබා, යේසුස්වහන්සේ ඉදිරිපත් කරන බර ගැනීමට අප ඉගෙනගතහොත් පමණි. තමන්ට රාජ්‍ය සේවය තුළ වැඩියෙන් කිරීමට හැකි වන පරිදි තමන්ගේ කටයුතු යළි සංවිධානය කරගෙන තිබෙන බොහෝදෙනෙක්, සන්තෝෂවත් හා තෘප්තිමත් ජීවිතයකට මාර්ගය සොයාගෙන සිටිති. ඇත්තවශයෙන්ම, යමෙකුට එවන් වෙනසක් කිරීමට ඇදහිල්ල සහ ධෛර්යය අවශ්‍ය කරන අතර, ඊට මාර්ග බාධක තිබෙන්ට පිළිවන. එහෙත් බයිබලය අපට මෙසේ සිහිගන්වයි: “හුළඟ බලාසිටින්නා නොවපුරන්නේය; වලාකුල් බලන්නා කපා නොගන්නේය.” (දේශනාකාරයා 11:4) අප බොහෝ දේවල් කිරීමට එක වරක් අපගේ මනස සකස් කරගන්නේ නම්, ඒවා කිරීම ඇත්තටම එතරම් දුෂ්කර නොවේ. පෙනෙන විදිහට අමාරුම කොටස නම්, අපගේ මනස සකස් කරගැනීමයි. එම අදහස සමඟ පොරබැදීමෙන් හෝ ඊට එරෙහි වීමෙන් අප, අපවම වෙහෙසට පත් කරගන්නවා විය හැකිය. අපි අපගේ මනස සකස් කරගෙන, අභියෝගය භාරගන්නෙමු නම්, එය මොනතරම් ආශීර්වාදයක්ද කියා අපට දැනීමෙන් අප පුදුමයට පත්වන්ට පිළිවන. ගීතිකාකරු උදක්ම ඉල්ලා සිටියේ මෙසේය: “ස්වාමීන් යහපත් බව රස බලා දැනගනිව්.—ගීතාවලිය 34:8; 1 පේතෘස් 1:13.
“නුඹලාගේ ආත්මවලට ප්රබෝධය”
19. (අ) ලෝක තත්වයන් දිගටම පිරිහෙනවාත් සමඟම, අපට අපේක්ෂා කළ හැක්කේ කුමක්ද? (ආ) යේසුස්වහන්සේගේ වියගහ යට සිටින අතර, අපට කුමක් ගැන සහතික විය හැකිද?
19 ප්‍රේරිත පාවුල් පළමු-සියවසේ ගෝලයන්ට මෙසේ මතක් කළේය: “අප විසින් දෙවියන්වහන්සේගේ රාජ්‍යයට බොහෝ දුක් විඳිමින් ඇතුල්වෙන්ට ඕනෑය.” (ක්‍රියා 14:22) මෙය අදදිනත් සැබෑවකි. ලෝක තත්වයන් එන්ට එන්ටම පිරිහෙනවාත් සමඟම, ධර්මිෂ්ඨ සහ දේවභක්තික ජීවිතයක් ගත කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින සියල්ලන් මතට පැමිණෙන පීඩන වඩාත් වැඩි වෙයි. (2 තිමෝති 3:12; එළිදරව් 13:16, 17) එහෙත්, පාවුල් මෙසේ පැවසූ විට හැඟුණාක් මෙන් අපටත් හැඟේ: “අපි හැම අතින්ම මඩිනු ලබමුව. එහෙත් හිර නොවී සිටිමුව; වියවුල්ව සිටිමුව, එහෙත් බලාපොරොත්තුවක් නැතුව නොවේය; ලුහුබඳිනු ලබමුව, එහෙත් අත්හරිනු නොලබමුව; හෙළා දමනු ලබමුව, එහෙත් විනාශ නොවී සිටිමුව.” හේතුව නම්, සාමාන්‍යයට වඩා ඉක්මවූ ශක්තිය දීම සම්බන්ධයෙන් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි රඳා සිටීමට අපට හැකි වීමයි. (2 කොරින්ති 4:7-9) ගෝලකම නමැති වියගහ භාරගැනීමෙන්, අප යේසුස්වහන්සේගේ මෙම පොරොන්දුවේ ඉටුවීම භුක්තිවිඳිනවා ඇත: “ඔබ ඔබගේ ආත්මවලට ප්රබෝධය ලබාගන්නවා ඇත.”—මතෙව් 11:29, NW.
ඔබට පැහැදිලි කළ හැකිද?
◻යේසුස්වහන්සේ ඉදිරිපත් කළ කාරුණික වියගහ කුමක්ද?
◻අපගේ වියගහ එන්ට එන්ටම පීඩාකාරි බරක් වන බව අපට දැනෙනවා නම්, අප කුමක් කළ යුතුද?
◻“මාගේ බරද සැහැල්ලුය” කියා යේසුස්වහන්සේ පැවසූ විට, උන්වහන්සේ ඉන් අදහස් කළේ කුමක්ද?
◻අපගේ බර දිගටම සැහැල්ලුව තිබෙන බවට අපට සහතික විය හැක්කේ කෙසේද?