යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා වූ ඊර්ෂ්‍යාව
“ස්වයම් ගෞරව රක්ෂක නම්වූ [ඊර්ෂ්‍යාව නම් වූ, NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ [ඊර්ෂ්යාවන්ත, NW] දෙවිකෙනෙ[කි].—නික්මයාම 34:14.
1. දෙවියන්වහන්සේගේ ප්‍රධානතම ගුණාංගය කුමක්ද, තවද එය උන්වහන්සේගේ ඊර්ෂ්‍යාවට සම්බන්ධ වන්නේ කෙසේද?
යෙහෝවඃවහන්සේ තමන්වහන්සේවම විස්තර කරන්නේ “ඊර්ෂ්යාවන්ත” [NW] දෙවිකෙනෙකු ලෙසය. “ඊර්ෂ්‍යාව” යන වචනයට නිෂේධාත්මක ඇඟවීම් ඇති හෙයින්, මෙය මෙසේ වන්නේ මන්ද කියා ඔබ කල්පනා කරනවා වන්ට පුළුවන. ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේගේ ප්‍රධානතම ගුණාංගය ප්‍රේමයය. (1 යොහන් 4:8) එමනිසා, උන්වහන්සේගේ පැත්තෙන් වූ මොනයම් හෝ ඊර්ෂ්යාවන්ත හැඟීමක් වේ නම්, එය මිනිස්වර්ගයාගේ යහපත උදෙසා විය යුතුය. ඇත්තෙන්ම, විශ්වයේ සාමය හා සමඟිය උදෙසා දෙවියන්වහන්සේගේ ඊර්ෂ්‍යාව අතිවැදගත් බව අප දකිනවා ඇත.
2. ඊර්ෂ්‍යාව සඳහා වූ හෙබ්‍රෙව් වචනය පරිවර්තනය කිරීමේ ඇතැම් විධි මොනවාද?
2 “ඊර්ෂ්‍යාව” හා සම්බන්ධිත හෙබ්‍රෙව් වචන හෙබ්‍රෙව් ලියවිල්ලේ 80කට වඩා වැඩි වාර ගණනක් දක්නට ලැබේ. මෙම යොමු දැක්වීම්වලින් අඩක්ම පාහේ යෙහෝවඃ දෙවියන්වහන්සේට කර ඇති යොමු දැක්වීම්ය. “දෙවියන්වහන්සේට අදාළ කරන විට, ඊර්ෂ්‍යාව යන සංකල්පය, අගති සහිත චිත්තවේගයක් පිළිබඳ අදහසක් අඟවන්නේ නැත, එහෙත් ඒ වෙනුවට, එය යෙහෝවඃවහන්සේට කරන නමස්කාරය තුළ තනිභක්තිය ඉල්ලා සිටීමකි” යනුවෙන් ජී. එච්. ලිවිංස්ටන් පැහැදිලි කරයි. (ද පෙන්ටට්යුක් ඉන් ඉට්ස් කල්චරල් එන්වයරන්මන්ට්) මේ අනුව, නිව් වර්ල්ඩ් ට්‍රාන්ස්ලේෂන් පරිවර්තනය, සමහර අවස්ථාවලදී එම නාම පදය “තනි භක්තිය ඉල්ලා සිටීම” ලෙස පරිවර්තනය කරයි. (එසකියෙල් 5:13) “බලවත් උනන්දුව” හා “ජ්වලිතය” වනාහි එය යෝග්‍ය ලෙස ගෙනහැර දැක්වීමට තවත් වචන වේ.—ගීතාවලිය 79:5, NW; යෙසායා 9:7.
3. ඇතැම්විට, ඊර්ෂ්‍යාව යහපත් අරමුණකට පාදක වන්නේ කිනම් මාර්ගවලින්ද?
3 මිනිසාව මවනු ලැබුවේ ඊර්ෂ්‍යාව හැඟීමේ ධාරිතාවකින් යුතුවය, නමුත් මිනිසා පාපයට වැටීම නිසා, ඊර්ෂ්‍යාව විකෘති තත්වයකට පත්විණ. කෙසේවෙතත්, මිනිස් ඊර්ෂ්‍යාව යහපත උදෙසා බලවේගයක් විය හැකිය. තමන් ප්‍රේම කරන කෙනෙකුව නරක බලපෑමකින් ආරක්ෂා කරගැනීම සඳහා එය පුද්ගලයෙකුව පොලඹවන්ට පුළුවන. එපමණක්ද නොව, යෙහෝවඃවහන්සේ සහ උන්වහන්සේගේ නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව නිසි අන්දමින් පෙන්නුම් කිරීමට මිනිසුන්ට හැකිය. (1 රාජාවලිය 19:10) යෙහෝවඃවහන්සේ උදෙසා වූ එවන් ඊර්ෂ්‍යාවක් පිළිබඳව නිවැරදි අවබෝධයක් දීම සඳහා, මෙම හෙබ්‍රෙව් නාම පදය, උන්වහන්සේ උදෙසා “එදිරිවාදීකම් නොඉවසීම” ලෙසද පරිවර්තනය කළ හැකිය.—2 රාජාවලිය 10:16, NW.
රන් වස්සා
4. ඉශ්රායෙල්ට දෙන ලද දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාව තුළ, ධර්මිෂ්ඨ ඊර්ෂ්‍යාව සම්බන්ධව ප්‍රධාන තැනක් ගත්තේ කිනම් ආඥාවද?
4 ඉශ්‍රායෙලිතයන් සීනයි කන්දේදී ව්‍යවස්ථාව ලබාගත් පසුව සිදුවූ දෙය, ධර්මිෂ්ඨ ඊර්ෂ්‍යාව පිළිබඳ උදාහරණයකි. මිනිසුන් විසින් සාදන ලද දෙවිවරුන්ට නමස්කාර නොකරන ලෙස ඔවුන්ට නිතර නිතර අවවාද කර තිබිණ. යෙහෝවඃවහන්සේ ඔවුන්ට මෙසේ පැවසූසේක: “තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය භක්ති නොඉවසන්නාවූ . . . දෙවිකෙනෙ[කි] [නැතහොත් ඊර්ෂ්යාවන්ත (ජ්වලිත) දෙවිකෙනෙකි; එදිරිවාදීකම් නොඉවසන දෙවිකෙනෙකි].” (නික්මයාම 20:5, පාදසටහන, NW; සසඳන්න නික්මයාම 20:22, 23; 22:20; 23:13, 24, 32, 33.) ඉශ්‍රායෙලිතයන්ට ආශීර්වාද කිරීමටත්, ඔවුන්ව පොරොන්දු දේශයට ගෙන ඒමටත් පොරොන්දු වෙමින්, යෙහෝවඃවහන්සේ ඔවුන් සමඟ ගිවිසුමකට ඇතුල්වූසේක. (නික්මයාම 23:22, 31) තවද ජනයා මෙසේ පැවසූහ: “ස්වාමීන්වහන්සේ කී සියල්ල කරමින් කීකරුවන්නෙමු.”—නික්මයාම 24:7.
5, 6. (අ) සීනයි කන්ද අසල කඳවුරු ගසා සිටි විට, ඉශ්‍රායෙලිතයන් බරපතළ ලෙස පව් කළේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේ සහ ස්වකීය පක්ෂපාත නමස්කාරකයන් සීනයි කන්ද අසලදී ධර්මිෂ්ඨ ඊර්ෂ්‍යාව පෙන්වූයේ කෙසේද?
5 කෙසේවෙතත්, වැඩිකල් යෑමට මත්තෙන්, ඉශ්රායෙල්වරු දෙවියන්වහන්සේට විරුද්ධව පව් කළහ. ඔවුන් තවමත් සිටියේ සීනයි කන්ද පාමුල කඳවුරු බැඳගෙනය. මෝසෙස්, දෙවියන්වහන්සේගෙන් තවදුරටත් උපදෙස් ලබමින් සිටින අතර, තමන් සඳහා දෙවිකෙනෙකු සාදන ලෙස ජනයා මෝසෙස්ගේ සහෝදරයා වූ ආරොන්ව පීඩනයට පත්කළෝය. ඊට එකඟ වූ ආරොන්, ජනයා සැපයූ රන්වලින් වස්සෙකුව සෑදුවේය. මෙම පිළිමය යෙහෝවඃවහන්සේව නියෝජනය කළේයයි කියනු ලැබීය. (ගීතාවලිය 106:20) ඊළඟ දවසේ ඔවුහු පූජා ඔප්පු කර, දිගටම “ඊට නමස්කාරකර” සිටියෝය. අනතුරුව, ඔවුහු “සෙල්ලම් කරන්ට නැගුටුණෝය.”—නික්මයාම 32:1, 4, 6, 8, 17-19.
6 ඉශ්‍රායෙලිතයන් උත්සව පවත්වමින් සිටි විට, මෝසෙස් කන්දෙන් බැස්සේය. ඔවුන්ගේ පිළිකුල්සහගත හැසිරීම දුටු හේ, “ස්වාමීන්වහන්සේගේ පක්ෂයට සිටින්නේ කවරෙක්ද?” යයි මහ හඬින් කෑගැසුවේය. (නික්මයාම 32:25, 26) ලෙවීගේ පුත්‍රයන් මෝසෙස් ළඟට රැස්වූ අතර, තම කඩු ගෙන, පිළිම වන්දනා කළ උත්සව පවත්වන්නන්ව මරාදැමීමට ඔහු ඔවුන්ට උපදෙස් දුන්නේය. දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා තම ජ්වලිතය නිරූපනය කරමින්, ලෙවීවරු තමන්ගේ වැරදිසහගත සහෝදරයන් 3,000ක් පමණ මරාදැමූහ. බේරුණු අය මතට වසංගතයක් එවීම මගින්, යෙහෝවඃවහන්සේ මෙම ක්‍රියාව තහවුරු කළසේක. (නික්මයාම 32:28, 35) අනතුරුව, දෙවියන්වහන්සේ යළිත් මෙම අණ පැනවූසේක: “ස්වයම් ගෞරව රක්ෂක නම්වූ [ඊර්ෂ්‍යාව නම් වූ, NW] ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ [ඊර්ෂ්යාවන්ත, NW] දෙවිකෙනෙක් බැවින් නුඹ අන් දෙවිකෙනෙකුට නමස්කාර නොකළ යුතුය.”—නික්මයාම 34:14.
බාල්පෙයෝර්
7, 8. (අ) බොහෝ ඉශ්‍රායෙලිතයන් බාල්පෙයෝර් සම්බන්ධයෙන් මහත් සේ පිළිම වන්දනාවට වැටුණේ කෙසේද? (ආ) යෙහෝවඃවහන්සේ වෙතින් පැමිණි වසංගතය නිමාවකට පැමිණියේ කෙසේද?
7 වසර හතළිහකට පසුව, එනම් ඉශ්රායෙල්වරුන් පොරොන්දු දේශයට ඇතුල්වීමට ඉතා ආසන්නව තිබියදී, වශීකරවනසුලු මෝවබීය සහ මිදියන් ජාතික ස්ත්‍රීහු පැමිණ, තම ආගන්තුක සත්කාරය භුක්තිවිඳින මෙන් ඉල්ලමින් ඉශ්‍රායෙලිතයන් බොහෝදෙනෙකුව උගුලට හසුකරගත්හ. මෙම පුරුෂයන්, බොරු දෙවිවරුන්ට නමස්කාරකරන්නන් සමඟ කිට්ටුවෙන් ආශ්‍රය කිරීම ප්‍රතික්ෂේප කළ යුතුව තිබිණ. (නික්මයාම 34:12, 15) ඒ වෙනුවට, ‘ගොනුන් මරණයට යන්නාක් මෙන්’ ඔවුහු මෙම ස්ත්‍රීන් සමඟ වේශ්‍යාකම් කරමින්, බාල්පෙයෝර්ට දණින් වැටීමෙහිලා ඔවුන්ට යුහුසුලුව හවුල්වූහ.—හිතෝපදේශ 7:21, 22; ගණන් කථාව 25:1-3.
8 මෙම ලජ්ජාසහගත ලිංගික නමස්කාරයේ නියැලී සිටියවුන්ව මරා දැමීමට, යෙහෝවඃවහන්සේ වසංගතයක් එවූසේක. තම වැරදිකාර සහෝදරයන්ව මරා දමන ලෙසටද යෙහෝවඃවහන්සේ නිර්දෝෂී ඉශ්‍රායෙලිතයන්ට අණ කළසේක. ඉශ්රායෙලයේ සිම්රී නමැති එක් ප්‍රධානියෙක්, මුරණ්ඩු ස්වභාවයකින් යුතුව, සම්බන්ධකම් පැවැත්වීම පිණිස, මිදියන් ජාතික කාන්තාවක් රැගෙනැවිත් තම කඳවුර තුළට ඇතුල්වූයේය. මෙය දුටු, දේවභයැති පූජකයෙකු වූ පීනෙහාස් මෙම දුරාචාර යුවළව මරාදැම්මේය. එවිට වසංගතය නැවතුණ අතර, දෙවියන්වහන්සේ මෙසේ ප්‍රකාශ කළසේක: “පීනෙහාස් . . . ඉශ්රායෙල් වෙතින් මාගේ උදහස ඉවත් කළේය; මා පෙලඹූ එම ඊර්ෂ්‍යාසහගත කෝපයම ඔහුත් ඔවුන් අතර විදහාපෙන්වූයේය, තවද එමනිසා මම මාගේ ඊර්ෂ්‍යාවෙන් ඉශ්‍රායෙලිතයන්ව සහමුලින් වනසා නොදැමුවෙමි.” (ගණන් කථාව 25:11, ද නිව් ඉංග්ලිෂ් බයිබල්) ජාතිය විනාශ වීමෙන් ආරක්ෂා වුවද, අඩු තරමින් ඉශ්‍රායෙලිතයෝ 23,000ක් මරුමුවට පත්වූහ. (1 කොරින්ති 10:8) පොරොන්දු දේශයට ඇතුල්වීමට බොහෝකලක් තිස්සේ ඔවුන් තබාගෙන තිබූ බලාපොරොත්තුව ඔවුහු අහිමි කරගත්තෝය.
අනතුරු අඟවන පාඩමක්
9. යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාසහගත නොවූ නිසා, ඉශ්රායෙල් සහ යුදා ජනයා කුමකට ලක්වීද?
9 කනගාටුදායක ලෙස, ඉශ්රායෙල්වරු ඉක්මනින්ම මෙම පාඩම් අමතක කර දැමූහ. ඔවුන් යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්යාවන්තබවක් ඔප්පු කළේ නැත. “ඔව්හු . . . තමුන්ගේ කැපූ රූපවලින් [දෙවියන්වහන්සේගේ] ජ්වලිතය [ඊර්ෂ්‍යාව, NW] ඇවිස්සුවෝය.” (ගීතාවලිය 78:58) ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේ ඉශ්රායෙල්හි ගෝත්‍ර දසයක්, පො.යු.පෙ. 740දී අෂූරිවරුන් විසින් වහල්භාවයට රැගෙන යනු ලැබීමට ඉඩහැරියසේක. ඔවුන්ගේ අගනගරය වූ යෙරුසලම පො.යු.පෙ. 607දී විනාශ වූ අවස්ථාවේ, ඉතිරි ගෝත්‍ර දෙකේ යුදා රාජ්‍යය ඒ හා සමාන දඬුවමක් වින්දෝය. බොහෝදෙනෙකුව මරණයට පත්කරනු ලැබූ අතර, බේරුණු අය බබිලෝනියෙහි වහල්භාවයට ගෙන යන ලදි. අදදින සියලු ක්‍රිස්තියානීන් සඳහා මොනතරම් අනතුරු අඟවන ආදර්ශයක්ද!—1 කොරින්ති 10:6, 11.
10. පසුතැවිලි නොවන පිළිම වන්දනාකරුවන්ට කුමක් සිදුවනු ඇද්ද?
10 වර්තමානයේ පොළොවේ ජනගහනයෙන් තුනෙන් එකක්—එනම් මිලියන 1,900ක් පමණ—තමුන් ක්‍රිස්තියානීන්යයි කියා සිටිති. (1994 බ්‍රිටැනිකා බුක් ඔෆ් ද යියර්) මොවුන්ගෙන් වැඩිදෙනෙක්, තම නමස්කාරයේදී සුරුවම්, රූප සහ කුරුස භාවිත කරන පල්ලිවලට අයත් වෙති. තමන් කළ පිළිම වන්දනාව තුළින් යෙහෝවඃවහන්සේව ඊර්ෂ්‍යාවට පෙලඹූ ජනයාව උන්වහන්සේ ඉතිරි නොකළසේක. ද්‍රව්‍යමය වස්තූන්ගේ ආධාරයෙන් නමස්කාර කරන, ක්‍රිස්තියානීන්යයි කියා සිටින අයවද උන්වහන්සේ ඉතිරි කරන්ට යන්නේ නැත. “දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි” යේසුස් ක්‍රිස්තුස්වහන්සේ පැවසූසේක. (යොහන් 4:24) එපමණක්ද නොව, පිළිම වන්දනාවට එරෙහිව ආරක්ෂා වන ලෙස බයිබලය ක්‍රිස්තියානීන්ට අනතුරු අඟවයි. (1 යොහන් 5:21) පසුතැවිලි නොවන පිළිම වඳින්නෝ, දෙවියන්වහන්සේගේ රාජ්‍යය උරුම කරගන්නේ නැති අය අතර සිටිති.—ගලාති 5:20, 21.
11. පිළිමයක් ඉදිරියේ වැඳ වැටීමකින් තොරව, යම් ක්‍රිස්තියානියෙකු පිළිම වැඳීමේ වරදට හසුවිය හැක්කේ කෙසේද, තවද එවන් පිළිම වන්දනාවකින් වැළකීමට යමෙකුට උපකාර වනු ඇත්තේ කුමක්ද? (එපීස 5:5)
11 සැබෑ ක්‍රිස්තියානියෙකු කිසිවිටක පිළිමයකට වැඳ නමස්කාර නොකරනු ඇති වුවත්, පිළිම වන්දනාවක් ලෙස, අපිරිසිදු හා පව්කාර ලෙස දෙවියන්වහන්සේ සලකන ඕනෑම දෙයකින් ඔහු වැළකී සිටිය යුතුය. නිදසුනක් වශයෙන්, බයිබලය මෙසේ අනතුරු අඟවයි: “පොළොවේ තිබෙන නුඹලාගේ අවයවයන්, එනම් වේශ්‍යාකමත්, අපිරිසිදුකමත්, කාමරාගයත්, නපුරු තෘෂ්ණාවත්, රූපවැඳීමවූ තණ්හාවත් නසාපල්ලා. මේ දේවල් නිසා දෙවියන්වහන්සේගේ උදහස . . . පැමිණෙන්නේය.” (කොලොස්සි 3:5, 6) මෙම වචනවලට කීකරුවීමට, දුරාචාර හැසිරීම ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය කරයි. අපිරිසිදු ලිංගික රුචිය ඇවිස්සීම සඳහා සැලසුම් කර ඇති විනෝදාස්වාදයෙන් වැළකී සිටීමද මීට අවශ්‍ය කෙරේ. එවන් රුචියක් පිනවනවා වෙනුවට, සැබෑ ක්‍රිස්තියානීහු, දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්යාවන්ත වෙති.
දේවභක්තික ඊර්ෂ්‍යාවේ පසු ආදර්ශ
12, 13. දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාවක් විදහාපෑමෙහිලා යේසුස්වහන්සේ කැපීපෙනෙන ආදර්ශයක් තැබුවේ කෙසේද?
12 දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාවක් පෙන්වූ වඩාත් කැපීපෙනෙන ආදර්ශයකි, යේසුස් ක්‍රිස්තුස්වහන්සේ. සිය දේවසේවයේ පළමු අවුරුද්දේදී, ගිජු වෙළෙන්දන් දේවමාළිගාවේ මළුවේ වෙළඳාම් කරමින් සිටිනවා උන්වහන්සේ දුටුසේක. ආගන්තුක යුදෙව්වන්ට, දේවමාළිගා බදු වශයෙන් පිළිගත හැකි ගෙවීමක් කිරීම සඳහා තම විදේශීය මුදල් මාරු කරගැනීමට මෙම මිල මාරුකරන්නන්ගේ සේවාවන් අවශ්‍ය වූවා වන්ට ඇත. තවද දෙවියන්වහන්සේගේ නීතියෙන් අවශ්‍ය කර තිබූ පූජා ඔප්පු කිරීම පිණිස, සත්වයන් සහ කුරුල්ලන් මිල දී ගැනීමටද ඔවුන්ට අවශ්‍ය විණ. එවන් ව්‍යාපාර ගනුදෙනු කළ යුතුව තිබුණේ දේවමාළිගා මළුවෙන් පිටතය. මෙහි වඩාත්ම නරක දෙය වූයේ, පෙනෙන විදිහට, මෙම වෙළෙන්දන් අධික ගාස්තු අය කිරීමෙන් තම සහෝදරයන්ගේ ආගමික අවශ්‍යතාවලින් අයුතු වාසිගැනීමයි. දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාවෙන් ඇවිළී ගිය යේසුස්වහන්සේ, බැටළුවන් හා ගවයන් ඉවතට පලවාහැරීමට කසයක් භාවිත කළසේක. තවද, උන්වහන්සේ “මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳාම් ගෙයක් නොකරල්ලා” යයි පවසමින් මිල මාරුකරන්නන්ගේ මේස පෙරළාදැමූසේක. (යොහන් 2:14-16) මෙසේ යේසුස්වහන්සේ ගීතාවලිය 69:9හි වචන ඉටු කළසේක: “ඔබගේ ගෘහය සඳහා ඇති ජ්වලිතය [හෙවත්, “ඊර්ෂ්‍යාව” බයිංටන්] මා දැවුවේය.”
13 වසර තුනකට පසු, මෙම ගිජු වෙළෙන්දෝ යෙහෝවඃවහන්සේගේ දේවමාළිගාවේ යළිත් තම ව්‍යාපාර කටයුතු කරමින් සිටිනවා යේසුස්වහන්සේ නිරීක්ෂණය කළසේක. උන්වහන්සේ දෙවන වතාවටත් එය පිරිසිදු කරනු ඇද්ද? දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය සඳහා වූ උන්වහන්සේගේ ඊර්ෂ්‍යාව, දේවසේවය ආරම්භ කරන විට තිබූ තත්වයෙන්ම ශක්තිමත්ව තිබිණ. උන්වහන්සේ විකුණන්නන් හා මිලේට ගන්නන් යන දෙපාර්ශ්වයම එළවාදැමූසේක. තවද උන්වහන්සේ තම ක්‍රියාවන් සඳහා ඊටත් වඩා ප්‍රබල හේතුවක් දුන්නේ මෙසේ පවසමිනි: “මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤා ගෘහයකැයි කියනු ලබන්නේයයි ලියා තිබෙනවා නොවේද? නුමුත් නුඹලා ඒක සොරුන්ගේ ගුහාවක් කළහුය.” (මාර්ක් 11:17) දේවභක්තික ඊර්ෂ්‍යාව නිරතුරුවම පෙන්වීමෙහිලා මොනතරම් පුදුමාකාර ආදර්ශයක්ද!
14. නිර්මල නමස්කාරය උදෙසා වූ යේසුස්වහන්සේගේ ඊර්ෂ්‍යාව අපට බලපෑ යුත්තේ කෙසේද?
14 දැන් මහිමයට පත්කරනු ලැබ සිටින ස්වාමි වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ පෞද්ගලිකත්වය වෙනස් වී නොමැත. (හෙබ්‍රෙව් 13:8) උන්වහන්සේ පොළොව මත සිටියදී මෙන්ම, මෙම 20වන සියවසේදී පවා උන්වහන්සේ සිය පියාණන්ගේ නිර්මල නමස්කාරය සඳහා ඊර්ෂ්යාවන්තව සිටිනසේක. මෙය, එළිදරව් පොතේ වාර්තා වී තිබෙන සභා සතට දෙන යේසුස්වහන්සේගේ පණිවුඩ තුළ දැකිය හැක. මේවායේ ප්‍රධාන ඉටුවීම් තිබෙන්නේ, “ස්වාමීන්වහන්සේගේ දව[ස]” තුළය, එනම් දැන්ය. (එළිදරව් 1:10; 2:1–3:22) ප්‍රේරිත යොහන් දර්ශනයකදී මහිමාන්විත යේසුස් ක්‍රිස්තුස්වහන්සේව දුටුවේ, “උන්වහන්සේගේ ඇස් ගිනිදැල්ලක් හා සමාන[ව]ය.” (එළිදරව් 1:14) මින් අඟවන්නේ, සභාවන් පිරිසිදු, යෙහෝවඃවහන්සේගේ නමස්කාරයට පිළිගත හැකි පරිද්දෙන් තිබෙන බවට සහතික වනු වස්, උන්වහන්සේ සභාවන් පරීක්ෂා කරන විට, කිසිම දෙයක් උන්වහන්සේගේ අවධානයෙන් ඉවතට නොයන බවය. ස්වාමිවරුන් දෙදෙනෙකුට—එනම්, දෙවියන්වහන්සේට හා වස්තුවට සේවය කිරීමට එරෙහිව යේසුස්වහන්සේ දුන් අනතුරු ඇඟවීම අදදින ක්‍රිස්තියානීන් මනසේ තබාගැනීම අවශ්‍යය. (මතෙව් 6:24) ලවොදික සභාවේ ද්‍රව්‍යවාදී සාමාජිකයන්ට යේසුස්වහන්සේ මෙසේ කීසේක: “නුඹ උෂ්ණව හෝ ශීතලව හෝ නොසිට ඇල්මැරී සිටින බැවින් මාගේ මුඛයෙන් නුඹ වමාරන්නෙමි. . . . නුඹ ජ්වලිතව සිට පශ්චාත්තාපවෙයන්න.” (එළිදරව් 3:14-19) ද්‍රව්‍යවාදය නමැති උගුලෙන් වැළකීමට, පත්කරන ලද වැඩිමහල්ලන්, වචනයෙන් හා ක්‍රියාවෙන් සෙසු ඇදහිලිවන්තයන්ට උපකාර කළ යුතුය. තවද වැඩිමහල්ලන්, ලිංගිකත්වයෙන් වියරු වැටී සිටින මෙම ලෝකයේ සදාචාර දූෂිතබවින් රැළ ආරක්ෂා කළ යුතුය; එපමණක්ද නොව, දෙවියන්වහන්සේගේ ජනයා සභාව තුළ කිසිම යෙශබෙල් බලපෑමක් ඉවසා සිටින්නේ නැත.—හෙබ්‍රෙව් 12:14, 15; එළිදරව් 2:20.
15. යෙහෝවඃවහන්සේගේ නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව පෙන්වීමෙහිලා ප්‍රේරිත පාවුල් යේසුස්වහන්සේව අනුකරණය කළේ කෙසේද?
15 ප්‍රේරිත පාවුල් ක්‍රිස්තුස්වහන්සේව අනුකරණයකරන්නෙක් වූයේය. ආත්මිකව සුවදායී නොවන බලපෑම්වලින් අලුත බව්තීස්ම වූ ක්‍රිස්තියානීන්ව ආරක්ෂා කරගැනීම පිණිස, ඔහු මෙසේ පැවසීය: “දිව්‍යවූ ජ්වලිතයකින් [ඊර්ෂ්‍යාවකින්, NW] නුඹලා ගැන මම ජ්වලිතව [ඊර්ෂ්යාවන්තව, NW] සිටිමි.” (2 කොරින්ති 11:2) මීට පෙර, දූෂිත කරවන බලපෑමක් වූ, පසුතැවිලි නොවූ වේශ්යාකම්කරන්නෙකුව සභා ඇසුරෙන් ඉවත් කිරීමට මෙම සභාවටම උපදෙස් දීමට, නිර්මල නමස්කාරය සඳහා වූ පාවුල්ගේ ඊර්ෂ්‍යාව ඔහුව පෙලඹවීය. අදදින 75,500කට වඩා වැඩිවූ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ සභාවන් පිරිසිදුව තබාගැනීම සඳහා අදදින වැඩිමහල්ලන් දැඩි උත්සාහයක් දරනවාත් සමඟම, එම අවස්ථාවේ දෙනු ලැබූ දේවානුභාව ලත් උපදෙස්, ඔවුන්හට මහත් උපකාරයක් වී තිබේ.—1 කොරින්ති 5:1, 9-13.
දෙවියන්වහන්සේගේ ඊර්ෂ්‍යාව ස්වකීය ජනයාට ප්‍රයෝජන සලසයි
16, 17. (අ) දෙවියන්වහන්සේ ඉපැරණි යුදා රාජ්‍යයට දඬුවම් කළ විට, එම ජාතිය පෙන්වූයේ කිනම් ආකල්පයක්ද? (ආ) වසර 70ක වහල්භාවයේ සිටීමෙන් පසු, යෙහෝවඃවහන්සේ යෙරුසලම සඳහා ස්වකීය ඊර්ෂ්‍යාව විදහාපෙන්වූයේ කෙසේද?
16 බබිලෝනියේ වහල්භාවයට ගෙන යෑමට ඉඩහැරීම මගින් දෙවියන්වහන්සේ ස්වකීය ජනයාට දඬුවම් කළ විට, ඔවුන්ට සරදම් කරන ලදි. (ගීතාවලිය 137:3) ඊර්ෂ්‍යාසහගත වෛරයෙන් යුතුව ඒදොම්වරුන්, දෙවියන්වහන්සේගේ ජනයා මතට විපත්ති ගෙන ඒම සඳහා බබිලෝනීයයන්ට උදව් පවා කළ අතර, යෙහෝවඃවහන්සේ මෙය සැලකිල්ලට ගත්සේක. (එසකියෙල් 35:11; 36:15) බේරුණු අය වහල්භාවයේදී පසුතැවිලි වූ අතර, වසර 70කට පසුව, යෙහෝවඃවහන්සේ ඔවුන්ව තම දේශයට නැවත ගෙන ආසේක.
17 පළමුව, යුදා ජනයා අසරණව දුක්ඛිත තත්වයක සිටියහ. යෙරුසලම් නගරය සහ එහි දේවමාළිගාව නටඹුන් වී තිබේ. එහෙත්, අවට සිටි ජාතීහු දේවමාළිගාව ගොඩනැඟීමේ සියලු ප්‍රයත්නවලට විරුද්ධ වූහ. (එස්රා 4:4, 23, 24) යෙහෝවඃවහන්සේට මේ පිළිබඳව හැඟුණේ කෙසේද? දේවානුභාව ලත් වාර්තාව මෙසේ ප්‍රකාශ කරයි: “සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම යෙරුසලම සහ සියොන් ගැන මහත් ජ්වලිතයකින් [ඊර්ෂ්‍යාවකින්, NW] ජ්වලිතව [ඊර්ෂ්යාවන්තව, NW] සිටිමි. නොසැලකිලි ජාතීන් කෙරෙහි මහත් අප්‍රසන්නකමකින් අප්‍රසන්නව සිටිමි. මක්නිසාද මා ස්වල්ප වශයෙන් අප්‍රසන්නව සිටි විට ඔව්හු පීඩාව වැඩිකළෝය. එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම අනුකම්පා ඇතුව යෙරුසලම වෙතට හැරී සිටිමි; මාගේ ගෘහය එහි ගොඩනගනු ලැබේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.” (සෙකරියා 1:14-16) මෙම පොරොන්දුව සැබෑ කරවමින්, දේවමාළිගාව සහ යෙරුසලම සාර්ථක ලෙස නැවත ගොඩනඟන ලදි.
18. පළමු ලෝක යුද්ධය අතරතුරේදී, සැබෑ ක්‍රිස්තියානීන් අද්දුටුවේ කුමක්ද?
18 සැබෑ ක්‍රිස්තියානි සභාවටද ඒ හා සමාන අද්දැකීමක් 20වන සියවසේදී තිබිණ. පළමු ලෝක මහා යුද්ධයේදී, යෙහෝවඃවහන්සේ ස්වකීය ජනයාව හික්මවූසේක, මන්දයත් එම ලෝක ගැටුමේදී ඔවුන් දැඩි මධ්‍යස්ථභාවයක් ඇතුව නොසිටි බැවින්ය. (යොහන් 17:16) ඔවුන්ට පීඩා කිරීම සඳහා දෙවියන්වහන්සේ ලෝක බලවේගයන්ට ඉඩහැරිය අතර, මෙම විපත්තිය සම්බන්ධයෙන් ක්‍රිස්තියානි ලෝකයේ පූජකයෝ සතුටු වූහ. ඇත්තවශයෙන්ම, එවකට බයිබල් ශිෂ්‍යයන් වශයෙන් හඳුන්වනු ලැබූ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ වැඩ තහනම් කිරීම සඳහා දේශපාලකයන්ව යොදවා ගැනීමෙහිලා පෙරමුණේ සිටියේ පූජකයන්ය.—එළිදරව් 11:7, 10.
19. වර්ෂ 1919 පටන් යෙහෝවඃවහන්සේ ස්වකීය නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව පෙන්වා ඇත්තේ කෙසේද?
19 කෙසේවෙතත්, යෙහෝවඃවහන්සේ ස්වකීය නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව පෙන්වූ අතර, 1919වන අවුරුද්දේ යුද්ධයෙන් පසු අවසාන කාලයේදී, පසුතැවිලි වූ ස්වකීය ජනයාව නැවත පිහිටෙවූසේක. (එළිදරව් 11:11, 12) ප්‍රතිඵලයක් වශයෙන්, යෙහෝවඃවහන්සේට ප්රශංසාකරන්නන්ගේ සංඛ්‍යාව 1918දී 4,000ක සිට, අදදින මිලියන 5ක් පමණ සංඛ්‍යාවක් දක්වා වැඩිවර්ධනය වී තිබේ. (යෙසායා 60:22) ඉතා ඉක්මනින්, ස්වකීය නිර්මල නමස්කාරය උදෙසා වූ යෙහෝවඃවහන්සේගේ ඊර්ෂ්‍යාව වඩාත් චමත්කාරජනක අන්දමින් පිළිබිඹු කරනු ලබනවා ඇත.
දිව්‍ය ඊර්ෂ්‍යාවේ අනාගතික ක්‍රියා
20. නිර්මල නමස්කාරය උදෙසා ස්වකීය ඊර්ෂ්‍යාව පෙන්වීමට දෙවියන්වහන්සේ ඉතා ඉක්මනින් කරනු ඇත්තේ කුමක්ද?
20 සියවස් ගණනාවක් පුරා, ක්‍රිස්තියානි ලෝකයේ පල්ලි, යෙහෝවඃවහන්සේව ඊර්ෂ්‍යාවට පෙලඹවූ, ඇදහිල්ල අත්හැර ගිය යුදෙව්වන්ගේ ක්‍රියාමාර්ගය අනුගමනය කර තිබේ. (එසකියෙල් 8:3, 17, 18) එක්සත් ජාතීන්ගේ සාමාජිකයන්ගේ හෘදවලට අතිප්රබල සිතිවිල්ලක් දැමීම මගින් යෙහෝවඃවහන්සේ ඉතා ඉක්මනින් ක්‍රියා කරනවා ඇත. ක්‍රිස්තියානි ලෝකය සහ බොරු ආගමේ ඉතිරිය පාළු කිරීමට, දේශපාලන බලවේගයන් මේ මගින් පෙලඹෙනවා ඇත. (එළිදරව් 17:16, 17) සැබෑ නමස්කාරකයන් එම භයංකර විනිශ්චයේදී බේරී ජීවත්වනවා ඇත. ඔවුහු මෙසේ පවසන ස්වර්ගික මැවිලිවල වචනවලට ප්‍රතිචාර දක්වනවා ඇත: “හලෙලූයා! . . . මක්නිසාද ඇගේ වේශ්‍යාකමින් [ඇගේ බොරු ඉගැන්වීම් සහ දූෂිත දේශපාලනයට ඇගේ සහයෝගයෙන්] පොළොව කිලුටුකළ මහත් වේශ්‍යාව [බොරු ආගම] උන්වහන්සේ විනිශ්චයකළසේක, තමන්ගේ මෙහෙකරුවන්ගේ ලේ ගැන ඈට විපාක දුන්සේක.”—එළිදරව් 19:1, 2.
21. (අ) බොරු ආගම විනාශ කරනු ලැබීමෙන් පසු, සාතන් සහ ඔහුගේ පිළිවෙළ කුමක් කරනු ඇද්ද? (ආ) දෙවියන්වහන්සේ කෙසේ ප්‍රතිචාරය දක්වනසේක්ද?
21 බොරු ආගමේ ලෝක අධිරාජ්‍යය විනාශ වීමෙන් පසු, කුමක් සිදුවනු ඇද්ද? යෙහෝවඃවහන්සේගේ ජනයා මතට සමස්ත ලෝක ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා සාතන් දේශපාලන බලවේගයන්ව පොලඹවනවා ඇත. පොළොවෙන් සැබෑ නමස්කාරය අතුගා දැමීම සඳහා සාතන් විසින් දරන මෙම වෑයමට සැබෑ දෙවියන්වහන්සේ කෙසේ ප්‍රතිචාර දක්වනු ඇද්ද? එසකියෙල් 38:19-23 අපට මෙසේ පවසයි: “මාගේ කෝපයෙන්ද [නැතහොත් ඊර්ෂ්‍යාවෙන්ද] මාගේ උදහස් ගින්නෙන්ද [යෙහෝවඃවහන්සේ වන මම] මෙසේ කියමි . . . මම වසංගතයෙන්ද ලෙයින්ද ඔහු [සාතන්] සමඟ විනිශ්චයට පැමිණ, ඔහු සහ ඔහුගේ සමුදාවන්ද ඔහු සමඟ සිටින බොහෝ ජනයන්ද පිටට ජලධාරාවන් සහ මහත් ගල් වර්ෂාවක්ද ගිනිද ගෙන්දගම්ද වස්වන්නෙමි. මෙසේ මා උතුම්ව ශුද්ධව සිටින බව පෙන්වා, මා ස්වාමීන්වහන්සේ [යෙහෝවඃවහන්සේ, NW] බව බොහෝ ජාතීන් දැනගන්න පිණිස ඔවුන් ඉදිරියෙහි ප්‍රකාශවන්නෙමි.”—ශෙපනියා 1:18; 3:8ද බලන්න.
22. අප යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්යාවන්තව සිටින බව පෙන්වීමට අපට හැක්කේ කෙසේද?
22 විශ්වයේ පරමාධිපතියාණන් ස්වකීය සැබෑ නමස්කාරකයන්ව ඊර්ෂ්‍යාසහගත ලෙස රැකබලාගන්නා බව දැනගැනීම කෙතරම් සහනදායකද! ලබන්ට නොවටිනා තරම් වූ උන්වහන්සේගේ කරුණාව කෙරෙහි ගැඹුරු අගය කිරීමක් හේතුකොටගෙන, යෙහෝවඃ දෙවියන්වහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්යාවන්ත වෙමු. අපි දිගටම ජ්වලිතයෙන් ශුභාරංචිය දේශනා කර, යෙහෝවඃවහන්සේ ස්වකීය ශ්‍රේෂ්ඨ නාමය මහිමවත් කරන හා විශුද්ධ කරන උදාර දවස දෙස නිසැකකමින් යුතුව බලා සිටිමු.—මතෙව් 24:14.
මෙනෙහි කිරීම සඳහා කරුණු
◻ යෙහෝවඃවහන්සේ උදෙසා ඊර්ෂ්යාවන්ත වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද?
◻ ඉපැරණි ඉශ්‍රායෙලිතයන් විසින් තබන ලද ආදර්ශයෙන් අපට කුමක් උගත හැකිද?
◻ යෙහෝවඃවහන්සේව ඊර්ෂ්‍යාවට පෙලඹවීමෙන් වැළකීමට අපට හැක්කේ කෙසේද?
◻ දෙවියන්වහන්සේ සහ ක්‍රිස්තුස්වහන්සේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්‍යාව පෙන්වා ඇත්තේ කෙසේද?
[12වන පිටුවේ කොටුව]
ප්‍රේමය ඊර්ෂ්යාවන්නේ නැත
කුඩුකේඩුකම (envy) සම්බන්ධයෙන්, 19වන සියවසේ බයිබල් විශාරද ඇල්බර්ට් බාර්න්ස් මෙසේ ලීවේය: “එය වනාහි දුෂ්ටකමේ වඩාත් පොදු පිළිබිඹු කිරීම්වලින් එකක් වන අතර, මිනිසාගේ ගැඹුරු දූෂිතභාවය පැහැදිලිව පෙන්නුම් කරයි.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සියලු යුද්ධවලද, ගැටුම්වල සහ ලෞකික සැලසුම්වලද, තම ආගම පලුදු කරන හා ඔවුන්ව වඩාත් ලෝකයට බර කල්පනාවන් ඇති අය බවට තමන්ව පත්කිරීමට බොහෝසෙයින් දායක වන සියල්ලෙහිද මූල හේතුව සොයාගැනීමට හැකිවූ තැනැත්තා—එය කුඩුකේඩුකමට කොතරම් සම්බන්ධව තිබේදැයි දැක මවිතයට පත්වනු ඇත. අපට වඩා වෙනත් අය සමෘද්ධිමත් තත්වයක සිටින විට, අපට වේදනාවක් ඇතිවේ; ලබාගැනීමට අපට අයිතියක් නැති වුණත්, අන්‍යයන්ට තිබෙන දේ ලබාගැනීමට අපි ආශා කරන්නෙමු; තවද ඔවුන් විසින් ඒවා භුක්තිවිඳීම අවම කිරීමට, නැතහොත් ඒවා අපටම ලබාගැනීමට, එසේත් නැතහොත් පොදුවේ සිතා සිටින තරමටම ඒවා ඔවුන්ට හිමි නැති බව පෙන්වීමට ලුහුබඳිනු ලබන වැරදිසහගත උපක්‍රම යෙදීමට මෙය තුඩුදෙයි . . . අපගේ අභ්‍යන්තරයේ තිබෙන කුඩුකේඩුකමේ ස්වභාවය පිනවනු ලබන්නේ මේ අන්දමටය.”—රෝම 1:29; යාකොබ් 4:5.
මීට පටහැනිව, “කුඩුකේඩුකම් නොකරන” ප්‍රේමය සම්බන්ධව උනන්දුමත් ප්‍රකාශයක් බාර්න්ස් ඉදිරිපත් කළේය. (1 කොරින්ති 13:4, කිං ජේම්ස් වර්ෂන්) ඔහු මෙසේ ලීවේය: “ප්‍රේමය, අන්‍යයන් භුක්තිවිඳින සන්තෝෂය නිසා ඔවුන්ට කුඩුකේඩුකම් නොකරයි; එය ඔවුන්ගේ සුභසාධනය කෙරෙහි සතුටු වෙයි; . . . ඔවුන්ගේ සන්තෝෂය වර්ධනය වන විට, ප්‍රේමයේ බලපෑමට ලක්වී සිටින අය තම සන්තෝෂය හීන කරගන්නේ නැත; ඔවුන් මේ දේවල් හිමිකරගෙන සිටින නිසා ඔවුන්ව අපහසුතාවට පත්කරන්නේද නැත; තමන්ට ඒ හා සමාන උසස් තත්වයක් ලැබී නැත කියා කෙඳිරිගාන්නේ හෝ ඒ ගැන කලකිරීමෙන් යුතුව කතා කරන්නේ හෝ නැත. . . . අප අන්‍යයන්ට ප්‍රේම කළේ නම්—අප ඔවුන්ගේ සන්තෝෂයේදී ප්රීතිවූයේ නම්, අප ඔවුන්ට කුඩුකේඩුකම් නොකළ යුතුය.”
[10වන පිටුවේ පින්තූරය]
පීනෙහාස් යෙහෝවඃවහන්සේගේ නිර්මල නමස්කාරය උදෙසා ඊර්ෂ්යාවන්ත වූයේය