මගේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කිරීම
හිල්ඩා පැජෙට් පැවසූ පරිදි
“මගේ ජීවිතය මහෝත්තමයාණන්ට කැප කොට තිබෙන අතර, මට ස්වාමිවරුන් දෙදෙනෙකුට සේවය කළ නොහැක,” යයි පුවත් වාර්තාවේ කියවිණ. කම්කරු හා ජාතික සේවය පිළිබඳ බ්‍රිතාන්‍ය අමාත්‍යාංශයේ බලධාරීන්ට මා 1941දී කළ එම ප්‍රකාශයේ වචන, IIවන ලෝක යුද්ධයේදී රෝහල් සේවය කරන්න යන ඔවුන්ගේ නියෝගය ප්‍රතික්ෂේප කිරීම සඳහා මගේ හේතුව ඉදිරිපත් කළා. මගේ ප්‍රතික්ෂේප කිරීම නිසා, ඉන් ටික කලකට පසු මා වරදකාරියක බවට තීන්දු කර, මට මාස තුනක සිරදඬුවමක් නියම කළා.
මෙම අසීරු තත්වයට මා ඇද දැමුවේ කුමක්ද? නැත, එසේ සිදුවුණේ යම් නොමේරූ හදිසිවීමක් හෝ කැරලිකාර හැසිරීමක් නිසා නොවේ. ඒ වෙනුවට, මීට හේතු වූ කාරණා මා ළමයෙක්ව සිටි කාලය වෙත ගෙනයනවා.
රාජ්‍යය සඳහා තාත්තාගේ ජ්වලිතය
මා ඉපදුණේ උතුරු එංගලන්තයේ ලීඩ්ස් අසල හෝර්ස්ෆර්ත්හි 1914, ජූනි 5දායි. මගේ දෙමව්පියන් වන ඇට්කින්සන් සහ පැටී පැජෙට්, ප්‍රාග්තන මෙතෝදිස්ත පල්ලියේ, ඉරිදා-ඉස්කෝලේ ගුරුවරුන් හා ගීතිකා කණ්ඩායමේ සාමාජිකයන්ව සිටිය අතර, තාත්තා ඕගන් එක වාදනය කළා. මා ළදරුවෙකුව සිටියදී, එක දෙයක් හැරෙන්න අපේ නිවස සන්තෝෂවත් එකක්ව තිබුණා. ලෝකයේ තත්වයන් තාත්තව කනස්සල්ලට පත් කළා. ඔහු යුද්ධයටත්, ප්‍රචණ්ඩත්වයටත් ද්වේෂ කළ අතර, “මිනීනොමරව” යන බයිබල් ආඥාව විශ්වාස කළා.—නික්මයාම 20:13.
වර්ෂ 1915දී ස්වේච්ඡාවෙන් යුද හමුදාවට බැඳෙන ලෙසටත්, මෙසේ බලෙන් බන්දවාගැනීම වළක්වන ලෙසටත්, රජය සියලු යෞවන පුරුෂයන්ගෙන් බලවත් ඉල්ලීමක් කළා. සොල්දාදුවෙකු වශයෙන් තාත්තා තමාගේ නම ලියාපදිංචි කිරීමට වාරය පැමිණෙන තෙක් යම් සැකයන්ද සහිතව වැස්සේ මුළු දවසෙම සිටගෙන සිටියා. පසුදිනයේදීම, ඔහුගේ මුළු ජීවිතයම වෙනස්වුණා!
විශාල නිවසක ජල නළ කාර්මිකයෙකු වශයෙන් වැඩ කරන අතරේදී, ඔහු වෙනත් වැඩකරුවන් සමඟ ලෝක සිද්ධීන් ගැන කතා කළා. උයන්පල්ලා විසින් ගැදරිං ද ලෝර්ඩ්’ස් ජුවල්ස් (ස්වාමීන්ගේ මැණික් එකතු කිරීම) යන කුඩා පත්‍රිකාවක් ඔහු අත තැබුවා. තාත්තා එය ගෙදර ගෙන ගොස් කියෙව්වා, නැවතත් කියෙව්වා. “සත්‍යය ඒක නම් අනිත් හැම එකක්ම වැරදියි,” කියා ඔහු පැවසුවා. පසුදා, ඔහු වැඩි විස්තර සොයා දැනගත් අතර, සති තුනක් තුළ පාන්දර යාමය දක්වා, ඔහු බයිබලය පාඩම් කළා. ඔහුට සත්‍යය ලැබී තිබුණු බව ඔහු දැන සිටියා! වර්ෂ 1916, ජනවාරි 2 ඉරිදා, ඔහුගේ දිනපොතේ මෙසේ පවසනවා: “උදෑසන පල්ලියට ගියා, රාත්‍රියේ අයි.බී.එස්.ඒ. [එවකට එංගලන්තයේ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව ප්‍රසිද්ධ වුණේ ජාත්‍යන්තර බයිබල් ශිෂ්‍ය සමාගම ලෙසිනි] වෙත ගියා—හෙබ්‍රෙව් 6:9-20 පාඩම් කළා—මා සහෝදරයන්ව බැහැදැක්ක පළමු වතාව.”
වැඩි කල් නොගොස් විරුද්ධවාදීකම් හටගත්තා. අපේ නෑදෑයන් හා පල්ලියේ මිතුරන් තාත්තාගේ සිහිවිකල් වෙලායයි සිතුවා. එහෙත් ඔහු තීරණයක් ගෙන තිබුණා. ඔහු ජීවත්වුණේ රැස්වීම් සහ පාඩම් සඳහායි, එමෙන්ම මාර්තු මාසයේදී ඔහු වතුර බව්තීස්මය මගින් යෙහෝවඃවහන්සේට ඔහුගේ කැපවීම සංකේතවත් කර තිබුණා. සති කීපයක් තාත්තා රැස්වීම්වලට ගියායින් පසු, අම්මා ඇගේ විරුද්ධත්වය නවතා දැමුවා. ඇය මගේ ළදරු රථයේ මාව දමා ලීඩ්ස් දක්වා කිලෝමීටර 8ක් ඇවිද, රැස්වීම අවසන් වන වෙලාවටම පැමිණුණා. තාත්තාගේ ප්‍රීතිය ඔබට සිතාගත හැකියි. එදා පටන්, අපේ පවුල යෙහෝවඃවහන්සේගේ නමස්කාරය තුළ එකමුතුව සිටියා.
තාත්තාගේ තත්වය ඉතා දුෂ්කර එකක් වුණා—යුද හමුදාවේ ස්වේච්ඡා සේවකයෙක්, ඉන්පසු සති කීපයකදී හෘදය සාක්ෂියට එකඟව විරෝධය පාන්නෙක්. කැඳවූ විට ඔහු තුවක්කුව පාවිච්චි කිරීමට ප්‍රතික්ෂේප කළ අතර, 1916 ජූලි වන විට ඔහු පළමු යුද්ධාධිකරණ පහට මුහුණදී, දින 90කට සිරදඬුවමක් නියම වුණා. පළමු සිරදඬුවමින් පසු, තාත්තාට සති දෙකක නිවාඩුවක් ලැබුණ අතර, ඉන්පසු තවත් යුද්ධාධිකරණයක් සහ තව දින 90ක සිරදඬුවමක් තිබුණා. ඔහුගේ දෙවන සිරදඬුවමේ කාලයෙන් පසු, ඔහුව රාජකීය යුධ හමුදා වෛද්‍ය බලමණ්ඩල වෙත මාරු කර, 1917 පෙබරවාරි 12දා යුධ සේනා ගෙන යන නැවකින් ඔහුව ප්‍රංශයේ රුවාන්වලට ගෙන ගියා. එහිදී දිනෙන් දිනම ඔහුට ඔහුගේ තත්වය ගැන තවත් කලකිරුණු බව ඔහුගේ දිනපොතේ සඳහන් වෙනවා. තමා සොල්දාදුවන්ට සාත්තු කරන්නේ ඔවුන්ව නැවත සටනට යැවීමට බව ඔහුට වැටහුණා.
යළිත් ඔහු සහාය දැක්වීමට ප්‍රතික්ෂේප කළා. මේ අවස්ථාවේදී යුද්ධාධිකරණය, රුවාන්වල බ්‍රිතාන්‍ය හමුදා සිරකඳවුරේ වසර පහක සිරදඬුවමකට ඔහුව නියම කරනු ලැබුවා. හෘදය සාක්ෂියට එකඟව විරෝධය පාන්නෙකු වශයෙන් සිවිල් බන්ධනාගාරයට මාරු කරන්නයයි තාත්තා නිතර ඉල්ලා සිටි විට, මාස තුනකට ඔහුට පාන් සහ වතුර පමණක් දී දඬුවම් කළා, ඉන්පසු ඔහුගේ බර වැඩිවන තුරු සාමාන්‍ය ආහාර වේල් දෙනු ලැබුවා; අනතුරුව මුළු ක්‍රියාවලියම නැවත සිදු කරනු ලැබුවා. දවල් කාලයේදී ඔහුගේ අත් පිටුපසට කර, මෙන්ම රාත්‍රි කාලයේදී සහ කෑම ගන්නා අවස්ථාවලදී ඔහුගේ අත් ඉදිරිපසට කර මාංචු දමා තිබුණා. ඉතා කුඩා මාංචු දමා තිබූ ඔහුගේ මැණික්කටුවල සම සිදුරු වීමෙන් හා තුවාල පැසවීමෙන් ඔහුගේ මුළු ජීවිතයේදීම තුවාල කැලැල් තිබුණා. ඔහුගේ පාදවලටද මාංචු දමා, එය ඉණට සම්බන්ධ කර තිබුණා.
යුද හමුදා බලධාරීන් ඔහුගේ ස්ථිර ස්වභාවය බිඳීමට ඔවුන්ගේ බලයෙන් කළ හැකි සෑම දෙයක්ම කළ නමුත්, ඉන් ඵලක් වුණේ නෑ. ඔහුගේ බයිබලය සහ පොත් ඔහුගෙන් ඉවත් කර තිබුණා. ඔහුට නිවසෙන් ලිපි ලැබුණේවත්, එකක්වත් යවන්ට හෝ හැකි වුණේ නෑ. වසර දෙකකට පසු උපවාසයක යෙදීම මගින් ඔහු තම අවංකත්වය පෙන්වීමට තීරණය කළා. කන්නේ හෝ බොන්නේ නැතුව, දින හතකට ඔහු සිය අධිෂ්ඨානය දිගටම පවත්වාගැනීමෙන් බරපතළ ලෙස රෝගී වී බන්ධනාගාර රෝහල වෙත මාරු කරනු ලැබුවා. ඔහු ඔහුගේ අවංකත්වය ඔප්පු කළ නමුත්, ප්‍රතිඵලයක් වශයෙන් ඔහුගේ ජීවිතය නැති වෙන්න ඔන්න මෙන්න තිබුණා. මේ ආකාරයට ඔහුගේ ජීවිතය උපද්‍රවයට පත් කරගැනීමෙන් ඔහු වරදක් කළ බවත්, ඔහු එවැනි ක්‍රියාමාර්ගයක් නැවත කිසිදා නොගන්නා බවත් ඔහු පසු කාලයේදී පිළිගත්තා.
රුවාන්හි බන්ධනාගාරයේ තාත්තා තවමත් සිටියදී, 1918 නොවැම්බර් මාසයේදී යුද්ධය අවසන් වූ නමුත්, ඊළඟ වර්ෂයේ මුල්භාගයේදී ඔහුව එංගලන්තයේ සිවිල් බන්ධනාගාරය වෙත ගෙන යනු ලැබුවා. ගොඩගැසී තිබූ මවගේ සියලු ලිපි සහ පාර්සල් මෙන්ම ඔහුගේ වටිනා බයිබලය සහ පොත් ලැබෙන විට, ඔහුට ඇතිවුණු ප්‍රීතිය ගැන සිතා බලන්න! ඔහුව වින්චෙස්ටර් බන්ධනාගාරයට ගෙන යනු ලැබුවා, එහිදී ඔහුට යුද සමයේදී තමන් හා සමාන අද්දැකීම් ලත් යෞවන සහෝදරයෙකු මුණගැසුණා. පසු කලක බොහෝ වර්ෂ ගණනකට ලන්ඩන් බෙතෙල්හි සේවය කළ ඔහුගේ නම ෆ්රෑන්ක් ප්ලැට්ය. ඊළඟ දවසේ හමුවීමට ඔවුන් පිළියෙළ කරගත් නමුත්, ඒ වන විට ෆ්‍රෑන්ක්ව වෙනත් තැනකට මාරු කර තිබුණා.
වර්ෂ 1919 අප්‍රියෙල් 12දා අම්මාට විදුලිපණිවුඩයක් ලැබුණා: “හලෙලූයා! ගෙදර එනවා—ලන්ඩන්වලට දන්වනවා.” අවුරුදු තුනක පරීක්ෂණයකින්, පරීක්ෂාවකින් හා වෙන්වී සිටීමකින් පසු කෙතරම් ප්‍රීතිමත් කාලයක්ද! තාත්තාගේ මුල් අදහස වී තිබුණේ, දුරකථනයෙන් අමතා ලන්ඩන්හි බෙතෙල් සහෝදරයන්ව මුණගැසීමටයි. අංක 34 දරන ක්‍රේවන් ටෙරස්හිදී ඔහුව ප්‍රේමයෙන් පිළිගනු ලැබුවා. නාලා, රැවුල කපලා, ණයට ඉල්ලාගත් ඇඳුම් කට්ටලයකින් හා තොප්පියකින් සැරසී, තාත්තා ගෙදර ආවා. අපේ යළි එකතුවීම ගැන ඔබට සිතාගත හැකිද? මට එවිට වයස පහක් පමණ වූ අතර, ඔහුව මතක තිබුණේ නෑ.
තාත්තාට නිදහස ලැබුණායින් පසු ඔහු ප්‍රථමයෙන්ම ගිය රැස්වීම වුණේ සිහිකිරීමේ උත්සවයයි. ශාලාවට යන පඩි නඟිද්දී, වෙන කවුරුත් නොව, නමුත් ලීඩ්ස්හි හමුදා රෝහලකට මාරු වී සිටි ෆ්රෑන්ක් ප්ලැට්ව ඔහුට මුණගැසුණා. ඔවුන්ගේ අද්දැකීම් හවුලේ බෙදාගැනීමේදී ඔවුන්ට කොතරම් ප්‍රීතියක් තිබුණාද! එදා පටන් ෆ්රෑන්ක් නිදහස් වන තුරුම, අපේ නිවස ඔහුගේ දෙවන නිවස කරගත්තා.
අම්මාගේ විශ්වාසවන්ත සේවය
ඇයට රජයෙන් ලැබෙන ප්‍රමාණවත් නොවන ආදායමේ මදිපාඩුව පිරිමසාගැනීමට අම්මා අන් අයගේ ඇඳුම් සේදීමට පටන්ගත්තා. සහෝදරයන් අපට ඉතා කරුණාවන්ත වුණා. සභා වැඩිමහල්ලෙකු සෑම සතියකම නිර්නාමික ත්‍යාගයක් සහිත කුඩා ලියුම් කවරයක් ඇය අත තැබුවා. අම්මාව යෙහෝවඃවහන්සේ වෙත කිට්ටු කළේත්, එම දුෂ්කර කාලවල විඳදරාගැනීමට ඇයට උපකාර කළේත්, සහෝදරයන්ගේ ප්‍රේමය බව ඈ සැමවිටම පැවසුවා. තාත්තා නොසිටි මුළු කාලය තුළදී ඇය නොකඩවා සභා රැස්වීම්වලට ගියා. ඇයගේ දරුණුතම පරීක්ෂණය වුණේ, වර්ෂයක් පුරා තාත්තා ජීවතුන් අතර සිටිනවාද නැද්ද යන්න ගැන ඇය නොදැන සිටීමයි. අමතර පීඩාවක් ලෙස, 1918දී අම්මාට මෙන්ම මටත් ස්පාඤ්ඤ සෙම්ප්‍රතිශ්‍යාව වැළඳුණා. අප අවට ජනයා මියයමින් සිටියා. අසල්වාසීන්ට උදව් කරන්න ගිය අසල්වාසීන්ට රෝගය වැළඳී මියගියා. ඒ අවදියේදී කෑම හිඟය, ජනයාගේ රෝග බෝවීම වැළැක්වීමේ මට්ටම පහත දැමීමට උපකාර වූ බවට සැකයක් නැත.
ප්‍රේරිත පේතෘස්ගේ වචන අපේ පවුල උදෙසා බොහෝ සෙයින් සැබෑ වුණා: “දෙවියන්වහන්සේම, නුඹලා ස්වල්ප කලක් දුක්වින්ද පසු, නුඹලා සම්පූර්ණකර, ස්ථිරකර, ශක්තිමත්කර පිහිටුවනසේක”! (1 පේතෘස් 5:10) ඔවුන්ට යෙහෝවඃවහන්සේ තුළ නොසැලෙන විශ්වාසයක් තැබීමටත්, උන්වහන්සේ අප ගැන බලන අතර දෙවියන්වහන්සේගේ ප්‍රේමයෙන් අපව වෙන් කිරීමට කිසිවකට නොහැකි බවට ස්ථිර විශ්වාසයක් තබාගැනීමටත් මගේ දෙමව්පියන්ගේ දුක් විඳීම ඉවහල් වුණා. ඇදහිල්ල තුළ එවැනි හදාවඩාගැනීමක් ඇතුව සිටීමට මා විශේෂයෙන්ම ආශීර්වාද ලබා සිටියා.—රෝම 8:38, 39; 1 පේතෘස් 5:7.
යෞවන කාලයේ සේවය
තාත්තාගේ නිදහස් වීමෙන් පසු, රාජ්‍ය සේවය අපේ ජීවිතවල කේන්ද්‍රය වුණා. අසනීපයකදී හැරුණු කොට, එකම රැස්වීමක්වත් අතපසු වූ බවක් මට මතක් කරගත නොහැකියි. තාත්තා යළි ගෙදර ආ විගස, සමුළුවකට සහභාගි වීමට මුදල් සොයාගැනීම සඳහා, ඔහු සිය ප්ලේට් කැමරාව සහ අම්මාගේ රන් වළල්ල විකුණුවා. නිවාඩු ගත කිරීමට අපට මුදල් නොතිබුණා වුවත්, අප කිසිදා ලන්ඩනයේ තිබුණු ඒවා ඇතුළුව මෙම එක්රැස්වීම් අතපසු කළේ නෑ.
යුද්ධයෙන් පසු පළමු වර්ෂ දෙක හෝ තුන ප්‍රබෝධවත් කාලවල් වුණා. මිත්‍රත්වය සහ ඇසුර සඳහා තාත්තා සහ අම්මා සෑම අවස්ථාවකින්ම සම්පූර්ණ ප්‍රයෝජන ගත්තා. අපි අනිත් සහෝදර සහෝදරියන්ව බලන්න ගිය ආකාරයත්, මට වඩා වැඩිමහල් වූ අය සත්‍යය පිළිබඳ අලුත් තේරුම්ගැනීම් ගැන පැය ගණන් එකට කතා කර කර සිටි අතරතුරේ, මා කුඩා දැරියක ලෙස පාට කරමින් හා පින්තූර අඳිමින් සිටින ආකාරයත් මට මතකයට නඟාගන්න පුළුවන්. එක්වී කතා කිරීමෙන්, ඕගනය වටේ සිට එහි සංගීතයට අනුව සිංදු කීමෙන්, ප්‍රසන්න මිත්‍රත්වය භුක්තිවිඳීමෙන්, ඔවුන්ව ඉතා සන්තෝෂවත් මෙන්ම ප්‍රබෝධවත් කළා.
මගේ පුහුණුව සම්බන්ධයෙන් මගේ දෙමව්පියන් ඉතා තදින් සිටියා. කතෝලික ධර්මය උගන්වන කාලයේදී කියවීමට මගේ “අලුත් ගිවිසුම” රැගෙන යෑමෙන්, වයස අවුරුදු පහේදී පවා මා පාසැලේදී වෙනස් කෙනෙකු ලෙස කැපීපෙනුණා. අනුස්මරණ දින උත්සවයන්හි මා කොටස්කරුවෙකු නොවන නිසා, පසුව මට “හෘදය සාක්ෂියට එකඟව විරෝධය පාන්නෙකු” වශයෙන් මුළු පාසැලම ඉදිරියේ ගමන් කරන්ට සිද්ධවුණා.a මම හැදුණු වැඩුණු ආකාරය ගැන මා පසුතැවෙන්නේ නෑ. ඇත්තෙන්ම, එය ආරක්ෂාවක් වුණු අතර ‘පටු පාරේ’ සිටීමට එය වඩා පහසු කළා. මගේ දෙමව්පියන් ගිය කොතැනකට වුවත්, එනම් රැස්වීම්වලටද නැතහොත් සේවයේද, මා එහි සිටියා.—මතෙව් 7:13, 14.
මා ප්‍රථමයෙන්ම තනියෙන් දේශනා සේවය පටන්ගත් ඉරිදා උදෑසන මට විශේෂයෙන්ම මතකයි. මට එතකොට වයස 12ක් පමණයි. මා යොවුන්වියේ සිටියදී, එක් ඉරිදා උදෑසනක මා ගෙදර නවතින බව පවසනවා මට මතකයි. කිසිකෙනෙක් මාව විවේචනය කළේ හෝ මට බල කර සිටියේ හෝ නැති නිසා, වත්තේ ඉඳ බයිබලය පාඩම් කළ අතර ඉමහත් නොසන්සුන්බවක් දැනුණා. මෙයින් සතියකට හෝ දෙකකට පසු, මා තාත්තාට මෙසේ පැවසුවා: “අද උදෑසන තාත්තා සමඟ එන්න මා කල්පනා කරනවා!” එදා පටන් මා කවදාවත් පසුබැස්සේ නෑ.
වර්ෂ 1931 කොතරම් චමත්කාර වර්ෂයක් වුණාද! අපට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් යන අලුත් නම ලැබුණා පමණක් නොවේ නමුත්, ලන්ඩන්වල ඇලෙක්සැන්ඩ්රා පැලස්හි පැවති ජාතික සමුළුවකදී මා ජලයේ ගිල්වා බව්තීස්ම ලැබුවා. මට ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ. අප දිග කළු ඇඳුම් ඇන්ද අතර, මගේ එක ඒ වන විටත් වෙනත් බව්තීස්ම අපේක්ෂකයෙක් ඇඳ තිබූ තෙත එකක්!
ළමයෙකු වශයෙන් මගේ සැමවිටම අභිලාෂය වුණේ එවකට පූර්ණ-කාලීන දේශනාකරුවෙකු වශයෙන් ප්‍රසිද්ධ කෝල්පෝටර්වරියක වීමය. මා වයසින් වැඩුණු විට, මා යෙහෝවඃවහන්සේගේ සේවයේ වැඩියෙන් කළ යුතුයයි මට හැඟුණා. එබැවින් 1933 මාර්තු මාසයේදී, එනම් වයස 18දී, මා පූර්ණ-කාලීන සේවිකාවක වශයෙන් හවුල්වුණා.
පූර්ණ-කාලීන සේවකයන් දුසිමකට ආසන්න සංඛ්‍යාවක් එකතු වී, සභාවල සහෝදරයන් සමඟ සිට, එක්තරා විශාල නගරවල ගත කළ “පුරෝගාමී සති තුළ” කණ්ඩායමක් වශයෙන් වැඩ කිරීම අපට විශේෂ ප්‍රීතියක් වුණා. අප ආගමික නායකයන්ට සහ වෙනත් ප්‍රධාන පෙළේ මිනිසුන්ට පොත් පිංච බෙදා දුන්නා. ඔවුන් වෙත ළඟාවීමට ධෛර්යය අවශ්‍ය වුණා. අපට බොහෝවිට නින්දා විඳින්ට සිදුවුණ අතර අපෙන් වැඩිදෙනෙකුට දොරවල් තදින් වැසුණා. මෙය අපව කනස්සල්ලට පත් කළේ නෑ, මන්ද අපේ උද්යෝගය කොයි තරම්ව තිබුණාද කියතොත්, ක්‍රිස්තුස්වහන්සේගේ නාමය උදෙසා ලජ්ජාව විඳින්ට ලැබීම අපට ප්‍රීතියක් වුණා.—මතෙව් 5:11, 12.
ලීඩ්ස්වලදී අප ළදරු රථයක්, ත්‍රිරෝද සයිකලයක් සහ තාත්තාගේ යතුරුපැදිය සහ ඊට යා කළ රථය සහ පසුව ඔහුගේ මෝටර් රථය, ශබ්දවිකාසන සහිත පිටපත් කිරීමේ යන්ත්‍ර රැගෙන යෑම සඳහා සකසාගත්තා. සහෝදරයන් දෙදෙනෙකු යන්ත්‍රය රැගෙන වීදියකට ගොස්, ජනයාගේ අවධානය ගැනීමට සංගීත තැටියක් වාදනය කර, ඔවුන්ව ඔවුන්ගේ දොරවල් ළඟට ඒමට සලස්වා, ඉන්පසු සහෝදර රදර්ෆඩ්ගේ තැටිගත කළ විනාඩි-පහේ කතාවක් වාදනය කළා. ඉන්පසු ඔවුන් ඊළඟ වීදියට යන අතර, අපද ගොස් බයිබල් පොත් පත් ඉදිරිපත් කරන්ට වුණා.
වර්ෂ ගණනාවකට, සෑම ඉරිදා සවසකම රැස්වීමෙන් පසු, අප නගරශාලා චතුරස්රයට යන අතර එහි කථිකයා සඳහා වෙන් කර තිබූ ස්ථානයේ සහෝදර රදර්ෆඩ්ගේ පැයක දිග කතාවකට සවන්දීමෙන්, අපේ පත්‍රිකා බෙදා දීමෙන් හා උනන්දුව දක්වන අයව හමුවීමෙන් අප සහයෝගය දැක්වූවා. අපව එහි ඉතා-ප්‍රසිද්ධ වුණා. පොලිසිය පවා අපට ගරු කළා. එක් සැඳෑවක අප සාමාන්‍ය ලෙස එක්රැස් වුණු අතර, ඈතින් අපට බෙර වාදනයක හා සංගීත කණ්ඩායමක හඬක් ඇසුණා. වැඩි වේලාවක් යෑමට පෙර ෆැසිස්ට්වාදීන් සියදෙනෙක් පමණ පෙළපාළියකින් පාර දිගේ පැමිණියා. ඉහළට ඔසවාගත් කොඩි ඇතුව ඔවුන් අප පිටුපසින් ගමන් කර නැවතුණා. සහෝදර රදර්ෆඩ්ගේ ගම්භීර කටහඬ මෙසේ ඇසෙනවාත් සමඟම, සංගීත කණ්ඩායම නැවැත්වූ අතර නිහඬතාව රජයන්ට පටන්ගත්තා: “ඔවුන් කැමති නම් ඔවුන්ට තම කොඩිවලට හා මිනිසුන්ට ආචාර කිරීමට ඉඩහරින්න. අප නමස්කාර කරන්නෙත්, ආචාර කරන්නෙත් අපේ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට පමණයි!” ඊළඟට මොනවා වෙයිද කියලා අපි කල්පනා කරන්ට වුණා! ඔවුන්ට හොඳ සාක්ෂියක් ලැබෙනවා හැරෙන්න වෙන කිසිවක් සිදුවුණේ නෑ, එමෙන්ම පොලිසිය ඔවුන්ව නිහඬ කළ බැවින්, අපට ප්‍රසිද්ධ දේශනයේ ඉතිරි කොටසට සවන්දෙන්ට හැකිවුණා.
මේ වන විට ශබ්දවාහිනිය මහත් සාක්ෂියක් දීමට අපට උපකාරවත් වෙමින් තිබුණා. පටිගත කළ බයිබල් දේශනයට සම්පූර්ණ විනාඩි පහකට සවන්දීමට ජනයාට දිරිගැන්වීම සඳහා නිවාසවලදී අප පරෙස්සමින් අපේ නෙත්, තැටිය වෙත යොමු කර තබාගත්තා. බොහෝ අවස්ථාවලදී නිවැසියන් අපට ඇතුළට ආරාධනා කළ අතර, අප නැවත ඇවිත් තවත් තැටි වාදනය කරනවාට කැමැත්ත පළ කළා.
විරුද්ධවාදීකම් සහ ප්රචණ්ඩත්වය හදිසියේ පැන නැඟීමත් සමඟම 1939 ඉතා කාර්යබහුල හා දුෂ්කර එකක් වුණා. අපේ සමුළුවකට පෙර, සහෝදරයන් වීදිවලදී සරදමට හා බැණවැදීම්වලට සෑහෙන දුරට ලක්වුණා. එබැවින් එක්රැස්වීම තුළදී, මෝටර් රථ සහිත විශේෂ සහෝදර කණ්ඩායමකට කලබලකාරි ප්රදේශවලද, සහෝදරියන් සහ වෙනත් සහෝදරයන් වඩා ආරක්ෂිත ප්‍රදේශවලට ගොස් දේශනා කිරීමටද ඔවුන් සැලසුම් කළා. එක වීදියක කණ්ඩායමක් සමඟ වැඩ කරමින් මා පිටුපස ඇති නිවාසවලට යෑමට පටු මාර්ගයක් ඔස්සේ ගියා. එක ගෙදරක සිටින විට, කෝලාහලයක් හටගන්නා හඬක් මට ඇසුණා—වීදියේ කෑමොරගසන හඬක් තිබුණා. නිහඬතාවක් ඇති වෙලායයි දැනෙන තුරු සාකච්ඡාව දිග්ගස්සවමින් නිවැසියාට මා දිගටම කතා කරන්ට වුණා. ඉන්පසු මා පටු මාර්ගයෙන් ඉවතට ඇවිත් වීදියට පැමිණි විට, මා නොසිටි බව අනිත් සහෝදරයන් සහ සහෝදරියන් දැනගත් විට භය වී සිටි බව දැනගන්ට ලැබුණා! එහෙත්, පසුව සන්ධ්‍යා භාගයේදී, කලහාකාරීන් අපේ රැස්වීම කඩාකප්පල් කිරීමට වෑයම් කළ නමුත්, සහෝදරයන් ඔවුන්ව පිටතට කැඳවාගෙන ගියා.
දෙවන ලෝක යුද්ධය පහර දෙයි
මේ වන විට බලෙන් හමුදාවට බඳවාගැනීම ක්‍රියාත්මක වෙමින් තිබුණ අතර, බොහෝ යෞවන සහෝදරයන්ව මාස 3 සිට 12 දක්වා අත්අඩංගුවට ගත්තා. එවිට තාත්තාට සිරකරුවන් බැහැදකින්නා වශයෙන් අමතර වරප්‍රසාදයක් ලැබුණා. සෑම ඉරිදාවකම ඔහු ප්‍රාදේශීය බන්ධනාගාරයෙහි මුරටැඹ පාඩම පැවැත්තුවා. බදාදා සවස්වරුවල ඔහු සිරකුටිවල සිටි සහෝදරයන්ව බැහැදැකීමට ගියා. පළමු ලෝක යුද්ධයේදී සිරභාරයේ දීර්ඝ මෙන්ම දුෂ්කර අද්දැකීමක් පෞද්ගලිකවම ලබා සිටි ඔහු, එවැනිම පරීක්ෂණයන් අද්දකිමින් සිටින අයට සේවය කිරීමට විශේෂයෙන්ම සතුටු වුණා. වසර 20ක් පුරා, 1959දී ඔහුගේ මරණය දක්වාම ඔහු මෙසේ කරමින් සිටියා.
අපේ මධ්‍යස්ථභාවය සම්බන්ධයෙන් බොහෝදෙනා දැක්වූ අප්‍රසාදයට සහ වෛරයට 1941වන විට අප හුරුවෙමින් සිටියා. වීදිවල සිටගෙන සඟරා අතැතිව, මේවාට මුහුණදීම පහසු වුණේ නෑ. ඒ සමඟම, අපේ ප්‍රදේශයේ සිටි සරණාගතයන්ට උපකාර කිරීමට අප සතුටු වුණා. ලැට්වියන් ජාතිකයන්, පෝලන්ත ජාතිකයන්, එස්ටෝනිවරුන්, ජර්මන් ජාතිකයන්—තමන්ගේම භාෂාවෙන් මුරටැඹ හෝ කොන්සලේෂන් (දැන් පිබිදෙව්!) දුටු විට, ඔවුන්ගේ නෙත්වල කෙතරම් ප්‍රීතියක් තිබුණද!
අනතුරුව දෙවන ලෝක යුද්ධයේදී මා ගත් මධ්‍යස්ථ ස්ථාවරය සඳහා මගේ නඩුව තිබුණා. සෑම පැය 24කට පැය 19ක් මගේ කුටියේ සිරවී සිටි මට, සිර ජීවිතය දුෂ්කර බව දැනුණා. මා තනියෙන් සිටි නිසා පළමුදින තුන දුෂ්කරම දවස් වුණා. හතරවෙනිදා, මාව ආණ්ඩුකාරයාගේ කාර්යාලයට කැඳවූ අතර, එහි තවත් ගැහැනු ළමයින් දෙදෙනෙක් හිටගෙන හිටියා. එක ගැහැනු ළමයෙක් කනට කොඳුරා මට යමක් කිව්වා: “ඔයා මොකක් නිසාද මෙහෙ ඉන්නේ?” මා මෙසේ පැවසුවා: “ඔබ දන්නවා නම් ඔබ පුදුම වෙයි.” නොඉවසුම් ගතියකට පත්වූ විලසකින් ඇය මෙසේ ඇසුවා: “ඔබ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියක්ද?” අනිත් ගැහැනු ළමයාට ඇය කියන දේ ඇසී අපෙන් මෙසේ ඇසුවා: “ඔබලා යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකාරියන්ද?” එවිට අප තුන්දෙනාම එකිනෙකා වැලඳගත්තා. අප තවදුරටත් තනිවී සිටියේ නෑ!
ප්රීතිජනක පූර්ණ-කාලීන සේවය
සිරභාරයෙන් නිදහස් වූ මා, දිගටම පූර්ණ-කාලීන සේවයේ යෙදුණු අතර, මෑතකදී පාසැලෙන් අස්වූ 16හැවිරිදි ගැහැනු ළමයෙක් මාත් එක්ක හවුල්වුණා. අප යෝර්ක්ෂයර් මිටියාවතේ මායිමේ, මනහර නගරයක් වන ඉල්ක්ලි වෙත මාරුවුණා. පූර්ණ මාස හයකට, අපේ රැස්වීම් සඳහා සුදුසු තැනක් ලබාගැනීමට අප දැඩි උත්සාහයක් ගත්තා. අවසානයේදී අප කුඩා ගරාජයක් කුලියට ගෙන, එය රාජ්‍ය ශාලාවක් බවට පත් කළා. ආලෝකය සහ උෂ්ණත්වය සපයමින් තාත්තා අපට උපකාර කළා. ඔහු අප සඳහා ගොඩනැඟිල්ලද සරසා දුන්නා. වසර ගණනකට සෑම සතියකම ප්‍රසිද්ධ කථා දීම සඳහා සහෝදරයන්ට පැවරුම් දෙමින් අසල සභාව අපට උපකාර කළා. යෙහෝවඃවහන්සේගේ ආශීර්වාදය ඇතුව අප ගණනින් වැඩිවෙමින්, සඵල වී, අවසානයේදී සභාවක් ගොඩනැඟුණා.
වර්ෂ 1959 ජනවාරියේදී තාත්තා හදිසියේම අසනීප වුණා. මට ගෙදර එන්න කිව්වා, ඔහු අප්‍රියෙල් මාසයේදී මියගියා. ඉන්පසු ගතවූ අවුරුදු දුෂ්කර ඒවා වුණා. මට තවත් දුෂ්කරත්වය වැඩි කරවමින්, අම්මාගේ සෞඛ්‍ය තත්වය හා මතකය දුර්වල වුණා. නමුත් යෙහෝවඃවහන්සේගේ ආත්මය මාව උසුලා තබාගත් අතර, 1963දී ඇගේ මරණය දක්වා ඇයට සත්කාර කිරීමට මට හැකිවුණා.
පසුගිය වර්ෂ පුරා මට යෙහෝවඃවහන්සේගෙන් බොහෝ ආශීර්වාද ලැබිලා තියෙනවා. විස්තර කරන්න බැරි තරමට දේවල් තියෙනවා. මගේ මුල් සභාව වැඩිදියුණු වී, සභා හතරක් වී, බොලීවියාව, ලාඕස් සහ උගන්ඩාව වැනි ඉතා දුර රටවලට සමහරු මිෂනාරිවරුන් වශයෙන්ද, ප්‍රචාරකයන් හා පුරෝගාමීන් ලෙසද යවනවා මට දැකගන්න හැකි වී තිබෙනවා. විවාහ වී, එකලසක් වීමට තිබූ මගේ අපේක්ෂාව ඉටුවුණේ නෑ. එයින් මා දුකට පත්වෙලා නෑ; මා ඉඳල තියෙන්නේ ඉතා කාර්යබහුලවයි. මගේම මාංශික ඥාතීන් මට නොසිටියත්, මට ස්වාමීන්වහන්සේ බොහෝ දරුවන් සහ මුනුපුරන් ලබා දී තිබෙනවා, සිය ගුණයක් වුණත් සිටිනවා.—මාර්ක් 10:29, 30.
ක්‍රිස්තියානි ඇසුර භුක්තිවිඳීමට මා යෞවන පුරෝගාමීන්ට හා වෙනත් යෞවනයන්ට බොහෝවිට මගේ නිවසට ආරාධනා කරනවා. අප එකතු වී මුරටැඹ සඟරාව සූදානම් කරනවා. මගේ දෙමව්පියන් කරමින් සිටි ආකාරයටම, අප අද්දැකීම් බෙදාගන්නා අතර රාජ්‍ය ගීතිකාද ගායනා කරනවා. ප්‍රීතිමත් යෞවනයන් කණ්ඩායමක් අතර සිටින මට, යෞවන මෙන්ම සන්තෝෂවත් හැඟීමක් තියෙනවා. පුරෝගාමී සේවයට වඩා මට වෙනත් හොඳ ජීවිතයක් නැහැ. මගේ දෙමව්පියන්ගේ අඩිපාරේ ගමන් කිරීමට මට වරප්‍රසාදය තිබීම ගැන මා යෙහෝවඃවහන්සේට කෘතඥ වෙනවා. මගේ ප්‍රාර්ථනාව සදහටම යෙහෝවඃවහන්සේට සේවය කිරීමටයි.
[පාදසටහන්වල]
a වර්ෂ 1918දී එමෙන්ම පසුව, 1945දී විරෝධයේ අවසානය පිළිබඳව අනුස්මරණය.
[23වන පිටුවේ පින්තූරය]
සත්‍යය කෙරෙහි තාත්තාගේ උනන්දුව දැල්වූ පත්‍රිකාව
[23වන පිටුවේ පින්තූරය]
හිල්ඩා පැජෙට් ඇගේ දෙමව්පියන් වන ඇට්කින්සන් සහ පැටී සමඟ