වඩාත් හොඳ ජීවිතයක් පොරොන්දු වී ඇත
ජීවිතය අසීරු කරවන ගැටලුවලින් නිදහස් වීමට ඔබ කැමතිද? මෙම සඟරාවේ, ඉදිරි හා පිටුපස කවරවල චිත්රයෙන් දැක්වෙන දර්ශනයෙහි තිබෙන අයුරින්ම ප්‍රිය උපදවන ලෝකයක ජීවත්වීමට ඔබට වුවමනාද? එම චිත්‍රය දෙස හොඳින් බලන්න. ජනයාට බහුලව ආහාර ඇත. ඔවුහු සැබවින්ම එම ප්‍රණීත ආහාර භුක්තිවිඳින්නෝය. සැවොම සතුටින් සිටිත්. විවිධ ජාතිවලට අයත් ජනයා එකිනෙකා සමඟ සාමයෙන් වෙසෙති. සත්වයන් පවා සිටින්නේ සාමයෙනි! කිසිවෙක් සටන් නොකරති. දුගී කිසිවෙකු නැත. කිසිවෙක් අසනීප නොවෙති. රමණීය වටපිටාවද, මනහර ගස්ද, පවිත්‍ර, පැහැදිලි ජලයද තිබේ. මොනතරම් සිත්කලු දර්ශනයක්ද!
මෙම පොළොව කෙදිනක හෝ එවැනි තත්වයකට පත්වනු ඇද්ද? ඇත්තෙන්ම, එය පාරාදීසයක් වනු ඇත. (ලූක් 23:43) පොළොව මැවූ දෙවියන්වහන්සේ, මිනිසාට පාරාදීස පොළොවක වඩාත් හොඳ ජීවිතයක් භුක්තිවිඳීමට අරමුණු කර ඇත. තවද ඔබට එහි සිටිය හැක!
ඔබ වඩාත් කැමති කුමන ජීවිතයටද?
අප දැන් ජීවත්වන පොළොවට වඩා අනාගත පාරාදීස පොළොව වෙනස් වනු ඇත්තේ කෙසේද? දැනට, සෑම දිනකම බිලියනයකට වඩා පිරිසක් කුසගින්නෙන් පෙළෙති. එහෙත් පොළොව සඳහා දෙවියන්වහන්සේ අරමුණු කර ඇති පාරාදීසයෙහි, සියලුදෙනාටම ආහාර බහුලව තිබෙනු ඇත. බයිබලය මෙසේ පොරොන්දු වේ: “සේනාවල ස්වාමීන්වහන්සේ . . . සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.” (යෙසායා 25:6) ආහාර හිඟය නොතිබෙනු ඇත, මන්ද බයිබලය මෙසේ පවසයි: “පොළොවේ කඳු මුදුන්හි බොහෝ ශස්‍ය වන්නේය.”—ගීතාවලිය 72:16.
අදදින බොහෝදෙනා ජීවත්වන්නේ පැල්පත්වල හා මුඩුක්කුවලය, නැතහොත් ඔවුහු තම කුලිය ගෙවාගත නොහැකිව වෙහෙසෙති. නිවාස නැති වෙනත් අය වීදිවල නිදති. ජගත් සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි, ලෝකයෙහි ළමුන් මිලියන 100කට පමණ නිවාස නැත. එහෙත් පැමිණෙන පාරාදීසයෙහි සෑම කෙනෙකුටම තමාගේම නිවසක් තිබෙනු ඇත. දේවවචනය මෙසේ පවසයි: “ඔව්හු ගෙවල් ගොඩනගාගන එහි වාසයකරන්නෝය; මිදිවතු වවා එහි ඵල කන්නෝය.”—යෙසායා 65:21.
බොහෝදෙනෙක් තමන් අකමැති රැකියාවල වෙහෙසෙති. බොහෝවිට ඔවුන් වෙහෙස මහන්සි වී පැය ගණන් වැඩ කළත් ලැබෙන්නේ සුළු මුදලකි. ලෝකයේ සෑම පස්දෙනෙක්ගෙන් එක්කෙනෙක් පමණ, වසරකට රුපියල් 25,000කට වඩා අඩු ආදායමකින් ජීවත්වෙති. කෙසේවුවද, පැමිණෙන පාරාදීසයෙහි ජනයා තම වැඩය භුක්තිවිඳිනු ඇති අතර, එයින් හොඳ ප්‍රතිඵල දකිනු ඇත. දෙවියන්වහන්සේ මෙසේ පොරොන්දු වනසේක: “මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය. ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේ . . . නැත.”—යෙසායා 65:22, 23.
දැන් සෑම තැනකම අසනීප හා රෝග තිබේ. බොහෝදෙනෙකු අන්ධය. සමහරෙකු බිහිරිය. වෙනත් අයට ඇවිදින්ට නොහැක. එහෙත් පාරාදීසයෙහි, ජනයා අසනීප හා රෝගවලින් නිදහස් වනු ඇත. යෙහෝවඃවහන්සේ මෙසේ පවසනසේක: “තමා ලෙඩින්යයි කිසි වැසියෙක් නොකියන්නේය.” (යෙසායා 33:24) දැනටමත් ආබාධිතව සිටින්නන් සඳහා හද උණුසුම් කරන මෙම පොරොන්දුව ඇත: “එකල අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය, බිහිරන්ගේ කන්ද ඇරෙන්නේය. එකල කොරා මුවෙකු මෙන් පැන යන්නේය. ගොළුවාගේ දිව ගී කියන්නේය.”—යෙසායා 35:5, 6.
වර්තමානයේදී, දුක්විඳීම හා වේදනාවද, සංවේගය හා මරණයද තිබේ. එහෙත් පාරාදීස පොළොවෙහි, මෙම සියලු දේ නොතිබෙනු ඇත. ඔව්, මරණය පවා පහව ගොස් තිබෙනු ඇත! බයිබලය මෙසේ පවසයි: “දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:3, 4.
එසේනම්, යෙහෝවඃවහන්සේ පොරොන්දු වූ පාරාදීස පොළොව, මිනිස්වර්ගයා සඳහා වඩාත් හොඳ ජීවිතයක් අදහස් කරනු ඇති බවට පැහැදිලිය. එහෙත් එය පැමිණෙන බවට සහතික වීමට අපට හැක්කේ කෙසේද? එය පැමිණෙනු ඇත්තේ කවදාද, තවද කෙසේද? එහි සිටීමට ඔබ කළ යුතු වන්නේ කුමක්ද?