පාඨකයන්ගෙන් ප්‍රශ්න
පිලිප්පි 2:9හි, පාවුල් යේසුස්වහන්සේ පිළිබඳව මෙසේ පැවසුවේය: “දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, [අන්, NW] සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.” මෙම අලුත් නාමය කුමක්ද? තවද යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේට වඩා පහත් නම්, යේසුස්වහන්සේගේ නාමය අන් සියලු නාමවලට වඩා උසස් වන්නේ කෙසේද?
පිලිප්පි 2:8, 9හි මෙසේ කියවීමට තිබේ: “මනුෂ්‍යාකාරයෙන් සිටිය කලත්, [යේසුස්වහන්සේ] මරණය, එසේය, කුරුසියේ මරණය දක්වා කීකරුවූසේක. එබැවින් දෙවියන්වහන්සේ උන්වහන්සේව ඉතා උසස්කොට, [අන්, NW] සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක.”
අන් සියලුම නාමවලට වඩා උසස් නාමයක් යෙහෝවඃවහන්සේට පමණක් තිබෙන බැවින්, යේසුස්වහන්සේ යෙහෝවඃවහන්සේට සමාන වන බව මෙම පාඨයෙන් අදහස් නොකෙරේ. පිලිප්පි 2වන පරිච්ඡේදයේ පාඨ සම්බන්ධයෙන් දැක්වෙන පරිදි, යේසුස්වහන්සේට මෙම උසස් නාමය ලැබුණේ තම නැවත නැඟිටුවීමෙන් පසුවය. ඊට පෙර උන්වහන්සේට එය නොතිබිණ. අනික් අතට, යෙහෝවඃවහන්සේ සෑමවිටම උත්තරීතර වී තිබෙන අතර, උන්වහන්සේගේ තත්වය කිසිදා වෙනස් වී නැත. යේසුස්වහන්සේට තම භූමික සේවයට පෙර තිබුණා වූ නාමයට වඩා උසස් නාමයක් ලැබීමෙන් ඔප්පු වන්නේ, උන්වහන්සේ යෙහෝවඃවහන්සේට සමාන නැති බවය. යේසුස්වහන්සේට අන් සියලු නාමවලට වඩා උසස් නාමයක් දී තිබුණු බව පාවුල් පැවසූ විට, ඔහු ඉන් අදහස් කළේ යේසුස්වහන්සේට දැන් දෙවියන්වහන්සේගේ සියලු මැවිලි අතුරින් උසස්ම නාමය ඇති බවයි.
යේසුස්වහන්සේගේ උසස් නාමය කුමක්ද? යෙසායා 9:6 මෙයට පිළිතුරු දීම සඳහා අපට උපකාර කරයි. පැමිණෙන්නාවූ මෙසියස් වන යේසුස්වහන්සේ පිළිබඳව අනාවැකි කීමේදී, එම පදය මෙසේ කියයි: “ආණ්ඩුවද උන්වහන්සේගේ කර පිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රීවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායයි කියනු ලබන්නේය.” මෙහිදී යේසුස්වහන්සේගේ “නාමය” උන්වහන්සේගේ උසස් තත්වය සහ අධිකාරිත්වය හා සම්බන්ධව පවතින අතර, පිලිප්පි 2:9හි සඳහන් කර ඇති “[අන්, NW] සියලු නාමවලට වඩා උසස් නාමය” යන්නෙහි අර්ථයද අප වටහාගන්නේ මෙයාකාරයෙනි. යෙහෝවඃවහන්සේ යේසුස්වහන්සේට දී තිබෙන අධිකාරිත්වයේ උසස් තත්වය පිළිගැනීමක් වශයෙන් සියල්ලන්ටම යේසුස් යන නාමයට දණනැමීමට අණ කර තිබේ—මෙය වෙනත් කිසිම මැවිල්ලකට වඩා දී තිබෙන උසස් අධිකාරිමය තත්වයකි. මෙම පරිවර්තනයේ “අන්” [NW] යන වදන, ග්‍රීක් පාඨයේ කෙළින්ම නියෝජනය කර නැති නමුත්, එය එම පදයේ අර්ථයෙන්ම අඟවනු ලැබේ. යේසුස්වහන්සේගේ “නාමය” සිය නාමයටම වඩා උසස් නොවන නමුත්, වෙනත් මැවිලිවල නාමවලට වඩා උසස්ය.
විශ්වාසවන්ත දේවදූතයන් සියලුදෙනා සහ මනුෂ්‍යයන් සමඟ, යේසුස්වහන්සේගේ නාමය දණ නමා පිළිගැනීමෙහි හවුල්වීමට ලැබීම පිළිබඳව අපි කොතරම් සන්තෝෂ වන්නෙමුද! “පියවූ දෙවියන්වහන්සේගේ ගෞරවය සඳහා,” යේසුස්වහන්සේට යෙහෝවඃවහන්සේ විසින් දී තිබෙන උසස් සහ බලසම්පන්න තත්වයට යටත්වීමෙන් අපි මෙය ඉටු කරන්නෙමු.—පිලිප්පි 2:11; මතෙව් 28:18.