ධර්මිෂ්ඨකමින් ජාතියක් උත්කෘෂ්ට වෙයි
දින ගණනාවක් පැවති වර්ෂාවෙන් පසුව, පිබිද, වලාකුළුවලින් තොර අහසෙහි දීප්තිමත්ව ඉර බැබළෙනවා දැකීම කොතරම් සන්තෝෂයක්ද! පොළොව ප්‍රාණවත් වී ඇති අතර, දැන් වෘක්ෂලතාදියට සමෘද්ධිමත් ලෙස වැඩිය හැක. ධර්මිෂ්ඨ පාලනයක ඇති ආශීර්වාද නිදර්ශනය කර පෙන්වීමට යෙහෝවඃ දෙවියන්වහන්සේ වරෙක එවන් පින්තූරයක් පාවිච්චි කළසේක. දාවිත් රජුට උන්වහන්සේ මෙසේ පැවසූසේක: “දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය. ඒ තෙමේ වලාකුල් නැතුව ඉර උදාවන කල්හි තිබෙන උදය ආලෝකයද වැස්සෙන් පසුව බබළන දීප්තිය කරණකොටගෙන පොළොවෙන් හටගන්න ළපටි තෘණද මෙන් වන්නේය.”—2 සාමුවෙල් 23:3, 4.
දාවිත්ගේ පුත්‍ර, සාලමොන් රජුගේ ධර්මිෂ්ඨ පාලනය අතරතුර දෙවියන්වහන්සේගේ වචන සැබෑ බව ඔප්පු විය. බයිබලය මෙසේ වාර්තා කරයි: “සාලමොන්ගේ සියලු දවස්වල දාන් පටන් බෙයර්-ෂෙබා දක්වා යූදාවරුද ඉශ්‍රායෙල්වරුද එකිනෙකා තම තමාගේ මුද්‍රිකවැල යටද අත්තික්කා ගස යටද සුවසේ වාසයකළෝය.”—1 රාජාවලිය 4:25.
පුරාණ ඉශ්රායෙලය දෙවියන්වහන්සේගේ තෝරාගත් ජාතිය විය. උන්වහන්සේ ඔවුන්ට ස්වකීය ව්‍යවස්ථාව දී, උන්වහන්සේගේ හඬට කීකරු වුවහොත් ‘පොළොවේ සියලු ජාතීන්ට වඩා ඔවුන් උසස් කොට’ තබන බව පැවසූසේක. (ද්විතීය කථාව 28:1) ඔවුන්ව උසස් කරනු ලැබූයේ ඉශ්රායෙලයේ ධර්මිෂ්ඨකම නොව, එහෙත් යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකමය. දෙවියන්වහන්සේ ඔවුන්ට දුන් ආඥා අවට සිටි ජාතීන්ගේ ව්‍යවස්ථාවලට වඩා බොහෝ සෙයින් උත්තරීතර විය. මනුෂ්‍යයන් ලෙස, එම සියලු ජාතීන් මෙන් ඔවුහුද අසම්පූර්ණ වූහ. එහෙයින්, ඔවුන්ව ජාතීන්ට වඩා උසස් ලෙස නඟා සිටුවීම සඳහා කීර්තිය හිමි විය යුතුව තිබුණේ, යෙහෝවඃවහන්සේගේ උත්තරීතර ව්‍යවස්ථාවට සහ එයට ඔවුන්ගේ දැඩි ඇලී සිටීමටය. යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථාවට කීකරු වූ විට, ඔවුහු උන්වහන්සේගේ අනුග්‍රහය සහ ආශීර්වාද භුක්තිවින්දාහ. සාලමොන් රජ ඔහුගේ පාලනය අතරතුර මෙය අද්දැකීය. ඔහුට මෙසේ පැවසීමෙන් අනතුරු ඇඟවීමට හැකි විය: “ධර්මිෂ්ඨකම ජාතියක් උසස්කරයි; එහෙත් කවර සෙනගකට වුවත් පාපය නින්දාවක්ය.”—හිතෝපදේශ 14:34.
නිතර නිතර අකීකරුකමේ ක්‍රියා හේතුකොටගෙන, ඉශ්රායෙල් ජාතිය පහත් තත්වයකට පත්වීම කනගාටුවට කරුණකි. ඔවුහු ජාතික අපකීර්තියෙන් පීඩා වින්දාහ. අවසානයේදී මෙය ඔවුන්ව නිත්‍ය ලෙස ප්‍රතික්ෂේප කිරීමට මඟ පෑදූ අතර, නව ආත්මික ජාතියක් ඔවුන් වෙනුවට අනුග්‍රහය ලැබූහ.—මතෙව් 21:43.
ආත්මික ඉශ්රායෙලය
යුදෙව්වෙකු ලෙස උපත ලැබූ යාකොබ්, යෙරුසලමේ ක්‍රිස්තියානි පාලක මණ්ඩලයේ රැස්වීමකදී දෙවියන්වහන්සේ “තමන්ගේ නාමයට අන්‍යජාතීන්ගෙන් සෙනඟක් ගන්නා පිණිස පළමුවෙන් ඔවුන් දෙස බැලූ” බව දේවානුභාවය යටතේ පැවසීය. (ක්‍රියා 15:14) මෙම නව ක්‍රිස්තියානි ජාතිය ප්‍රේරිත පාවුල් “දෙවියන්වහන්සේගේ ඉශ්රායෙල්” යනුවෙන් හැඳින්වීය. (ගලාති 6:16) ඔවුන්ගේ කැඳවීමේ අරමුණ සම්බන්ධයෙන්, පාවුල් මෙසේ ලීවේය: “අන්ධකාරයෙන් තමන්ගේ විස්මපත් ආලෝකයට නුඹලා කැඳවාගත් තැනැන්වහන්සේගේ උත්කෘෂ්ටතාවන් දක්වන පිණිස නුඹලා වනාහි තෝරාගත් වංශයක්ද රාජකීය පූජකයෝද ශුද්ධවූ ජාතියක්ද දෙවියන්වහන්සේ සන්තක සෙනගක්ද වන්නහුය.” (1 පේතෘස් 2:9) දෙවියන්වහන්සේගේ තෝරාගත් ජනයා ලෙස ඔවුන්ට ලෝකයේ ආලෝක දරන්නන් මෙන් බැබළිය යුතු විය. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම ඔවුන්ව උසස් කරනු ඇත.—පිලිප්පි 2:15.
මෙම ආත්මික ඉශ්‍රායෙලිතයන්ව තෝරාගැනීම දියමන්ති ආකරයක් හා සැසඳිය හැක. බහුල ලෙස දියමන්ති දරන ලෝපස්, ගොඩබිමට ගෙනා විට, එහි පස් ටොන් 3ක අඩංගු විය හැක්කේ කැරට් 1ක් (මිලිග්‍රෑම් 200ක්) පමණි. වරක් දියමන්ති වෙන් කිරීම සඳහා පාවිච්චි කරන ලද ක්‍රමයකට, ලෝපස් ජලය සමඟ මිශ්‍ර කිරීම සහ මිශ්‍රණය ග්‍රීස් තැවරූ මේස මත ගලා යෑමට සැලැස්වීම සම්බන්ධ විය. දියමන්ති ජලය විකර්ෂණය කරන අතර, අනවශ්‍ය ද්‍රව්‍ය සෝදා යන අතරතුර ඒවා ග්‍රීස් මත ඇලී සිටී. මෙම අවස්ථාවේදී දියමන්ති රළුව පවතී. කෙසේවෙතත්, කපා ඔප දමනු ලැබූ විට, ඒවා සෑම දිශාවකින්ම ආලෝකය පරාවර්තනය කළේය.
ඒ අවට තිබෙන්නාවූ පදාර්ථවල කොටසක් නොවන ජලය විකර්ෂණය කරන දියමන්ති මෙන්, යෙහෝවඃවහන්සේගේ ජනයාද ලෝකයෙන් වෙන් කරනු ලැබ සිටිති. (යොහන් 17:16) පළමු වරට ආලෝකයට නිරාවරණය වූ විට, ඔවුන් දීප්තියෙන් ඌනව සිටින්ට ඇත. එහෙත් යෙහෝවඃවහන්සේගේ වචනය සහ ආත්මය ඔවුන් තුළ අලුත් පෞද්ගලිකත්වයක් මවන අතර, ඔවුහු මේ ලෝකයේ ආලෝක දරන්නන් මෙන් බබලති. ඔවුන් උසස් කරනු ලැබ, සෑම දිශාවකින්ම රාජ්‍ය සත්‍යය පිළිබඳ කීර්තිමත් ආලෝකය පරාවර්තනය කරන්නේ තමුන්ගේ ධර්මිෂ්ඨකම නිසා නොව, යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම නිසාය.
එහෙත්, පො.යු. පළමු ශතවර්ෂයේ අවසානභාගයේදී, බොහෝදෙනෙකුට බලපාමින් ඇදහිල්ල අත්හැරයෑම සභාවලට සෙමින් ඇතුල් විය. ක්‍රිස්තියානියයි හඳුන්වනු ලැබූ අය ලෝකයේ ජාතීන් සමඟ සම්පූර්ණ ලෙස සංකලනය වීමෙන්, ඔවුන් අවට ලෝකයෙන් වෙන් කර හඳුනාගැනීමට නොහැකි විය.
අදදින ආත්මික ඉශ්රායෙල්හි විශ්වාසවන්ත ඉතිරි කොටසක් යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහයට යළිත් පාත්‍ර වී තිබේ. ඔවුන් තමුන්ව ලෝකයෙන් වෙන් කරගෙන ඇති අතර, ඔවුහු “මාංසයේද ආත්මයේද සියලු කිලුටුකම්වලින්” තමුන්ව පිරිසිදු කර ඇත්තාහ. (2 කොරින්ති 7:1) යෙහෝවඃවහන්සේ ඉදිරියේ පිරිසිදුව සහ අවංකව සිටින ඔවුහු, උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට අනුබල දෙති. මෙය ඔවුන්ව ලෝකයේ සියලුම ජාතීන්ට වඩා අනුග්‍රහ ලත් උසස් තත්වයකට පමුණුවා තිබේ. ඔවුන් රාජ්‍ය පිළිබඳ ශුභාරංචිය ජ්වලිත ලෙස දේශනා කිරීම තුළින්, විශාල ජාත්‍යන්තර සෙනඟක් යෙහෝවඃවහන්සේ වෙත සමීප වී ඇති අතර, උන්වහන්සේගේ ජනයාගෙන් කොටසක් බවටද ඔවුහු පත්ව සිටිති.—එළිදරව් 7:9, 10.
ලෝකයට වෙනස දැකගත හැක
ලෝකයේ අධිකාරීන් සමහර අවස්ථාවල දෙවියන්වහන්සේගේ සේවකයන්ගේ හැසිරීම පිළිබඳ ප්‍රශංසා කර තිබේ. යම් කලකට පෙර, ප්‍රෙටෝරියා ප්‍රදර්ශන පිටියේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා, එම පහසුකම් සිය වාර්ෂික සමුළු සඳහා භාවිත කරන සියලු ජාතීන්ගෙන් යුත් යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ගේ හැසිරීම ගැන අදහස් දැක්වීය. අනිකුත් කාරණා අතර ඔහු මෙසේ ලීවේය: “සියලුදෙනාම ශිෂ්ටසම්පන්නව සිටියා, එමෙන්ම දිගටම සිටී, එනම් එකිනෙකාට ප්‍රිය ආකාරයකින් කතා කරන ජනතාවක්, පසුගිය දවස් කිහිපය තුළ විදහාපෙන්වූ ආකල්පය මුළුමනින්ම ඔබලාගේ සමිතියේ සාමාජිකයන්ගේ විශිෂ්ටකම පෙන්නුම් කරන අතර, එක් සන්තෝෂවත් පවුලක් ලෙස සියලුදෙනාම එකට ජීවත්වීම තහවුරු කළා.”
එවන් විශාල රැස්වීම්වල පමණක් නොව, නමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලද යෙහෝවඃවහන්සේගේ ජනයාට උන්වහන්සේගේ ජාතියේ ධර්මිෂ්ඨකමට දායක විය හැක. එක් උදාහරණයකට, වොච් ටවර් සමිතියේ දකුණු අප්‍රිකානු ශාඛාවට ජොහැනිස්බර්ග්හි සිටි එක් කාන්තාවකගෙන් මෙසේ පවසන ලද ලිපියක් ලැබිණ: “පසුගිය සතියේ මගේ පසුම්බිය මෝටර් රථය උඩ තිබියදී මම එය පදවාගෙන ගියා. එය ජෑම් ස්මට්ස් මාවතේ වැටුණු අතර, එහි අඩංගු වූ සියල්ලම සමඟ ඔබලාගේ සභාවේ සාමාජිකයෙකු වන ආර්. — මහතා විසින් එය ඇහිඳ ගන්නා ලද අතර, දුරකථන ඇමතුමක් දී මට එය නැවත ලබා දුන්නා . . . වර්තමාන කාලයේ දුර්ලභ ගුණාංගයක් වන මෙම අවංකකම මම බොහෝ සෙයින් අගය කරන අතර, ඔබගේ සාමාජිකයන් ඇලී සිටින මෙම ප්‍රතිපත්ති පිහිටුවීම පිළිබඳව මම ඔබගේ සභාවට ප්‍රශංසා කරනවා.”
ඔව්, යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රතිපත්තිවලට ඇලී සිටීමෙන්, උන්වහන්සේගේ ජනයාව ලෝකයෙන් වෙනස්ව පෙනී සිටීමට සලස්වා තිබේ. මොවුන් යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශනය කරන නිසා, අවංක සිත් ඇති අය ක්‍රිස්තියානි සභාව වෙත ඇදී තිබේ. පිරිසිදු සහ නිර්මල යමක් දෙසට ආකර්ෂණය වීම ස්වාභාවිකය. එක් උදාහරණයකට, ස්විට්සර්ලන්තයේ, සූරික් නගරයේ, වරක් රැස්වීමකට පැමිණි ආගන්තුකයෙක් සභාවේ සාමාජිකයෙකු වීමට ඔහුට අවශ්‍ය බව පැවසුවේය. ඔහුගේ සහෝදරිය දුරාචාරය හේතුවෙන් සභා ඇසුරෙන් ඉවත් කර තිබුණු බවට පැහැදිලි කළ ඔහු, “නරක ආශ්‍රය නොඉවසන” සංවිධානයක් සමඟ සම්බන්ධ වීමට අවශ්‍ය බවත් තවදුරටත් කියා සිටියේය. යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් “ලෝකයේ ඉතාම හොඳින් හැසිරෙන කණ්ඩායම්වලින් එකක්” ලෙස හඳුන්වා තිබෙන බව නිව් කැතලික් එන්සයික්ලොපීඩියා පවා පිළිගනී.
ධර්මිෂ්ඨකමින් නඟා සිටුවීමක් සිදු වන අතර, පාපය, විශේෂයෙන් බරපතළ වරදක් ප්‍රජාවේ අයහට දැනගන්ට ලැබෙන විට, එය යමෙකුගේ හොඳ නමට අපකීර්තියක් ගෙන දිය හැක. තනි සාමාජිකයෙකු විසින් සිදු කරන ලද බරපතළ පාපයක් හේතුවෙන් සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි සභාවට එය මත ගොඩගසන ලද ලජ්ජාව දරාගැනීමටද සිදු වී තිබේ. ශුද්ධ ලියවිලි ප්‍රතිපත්තිවලට එකඟව වරදකරු කාරුණික මාර්ගයකින් හික්මවා තිබෙන බව පෙන්වමින්, සභාවේ විශ්වාසවන්ත සාමාජිකයන්ට සභාවේ හොඳ නම ආරක්ෂා කරගැනීමට පුළුවන් වීම තේරුම්ගත හැකිය. යම් කෙනෙකු පාපය පුරුද්දක් ලෙස කරමින් පසුතැවිලි නොවන්නේ නම්, ඔහු සභාවෙන් පිට කරනු ලැබේ—එනම් සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබේ.—1 කොරින්ති 5:9-13.
සමහරු සභා ඇසුරෙන් ඉවත් කිරීමට හේතුව
සෑම වසරකම දහස් ගණන් අය සභා ඇසුරෙන් ඉවත් කරනු ලැබුවත්, ලෝකයේ ආසන්න වශයෙන් මිලියන පහක සාක්ෂිකරුවන්ගෙන් එය කුඩා ප්‍රතිශතයක් පමණි. එවන් ප්‍රබල පියවරක් ක්‍රිස්තියානි සභාවේ ඕනෑම කෙනෙකුට විරුද්ධව ගත යුත්තේ මන්ද? වැරැද්දේ ස්වභාවය තීන්දුවට බලපාන සාධකවලින් එකකි. එහෙත් වඩාත් වැදගත් සාධකය වන්නේ, වරදකරු කරන ලද බරපතළ පාපය පිළිබඳව අව්‍යාජ ලෙස පසුතැවිලි වෙනවාද යන්නයි. ඔහු සැබවින්ම එය සිතට ගෙන, හෘදයාංගම යාච්ඤාවකින් යෙහෝවඃවහන්සේ වෙත හැරී, උන්වහන්සේට විරුද්ධව සිදු කරන ලද පාපයට සමාව අයද, සභාවේ වගකිව යුතු පුද්ගලයන්ගෙන් උපකාරය පතන්නේ නම්, නැවත යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය ලැබීමටත් සභාවේ කොටසක් ලෙස තවදුරටත් සිටීමටත් ඔහුට උපකාර ලබාගත හැකිය.—හිතෝපදේශ 28:13; යාකොබ් 5:14, 15.
සිය පියා සමඟ හොඳ, ශක්තිමත් සබඳතාවක් ඇති දරුවෙක්, පියා ශෝකයට පමුණුවන යමක් කරන්නේ නම්, එම අනගි සබඳතාව ප්‍රකෘතිමත් තත්වයට ගෙන ඒම සඳහා දෙදෙනාම උත්සුක විය යුතුය. එලෙසම, අපගේ ජීවිත යෙහෝවඃවහන්සේට කැපකරන විට, උන්වහන්සේ සමඟ ඉතා අනගි සබඳතාවකට අපි ඇතුළත් වන්නෙමු. එබැවින්, උන්වහන්සේව ශෝකයට පත් කරන යමක් අප කළ විට, අපගේ ස්වර්ගික පියාණන් සමඟ එම සබඳතාව ප්‍රකෘතිමත් කරගැනීමට සොයමින් අපි ඉක්මනින් ක්‍රියා කළ යුත්තෙමු.
සභා ඇසුරෙන් ඉවත් කර දැමූ තත්වයේ සිටි සමහරුන් අකීකරු පුත්‍රයාගේ උපමාව සිතට ගෙන තිබීම සතුටට කරුණකි. එම පුද්ගලයා නැවත හැරී දෙවියන්වහන්සේගේ සමාව සොයන්නේ නම්, පසුතැවිලි වූ පව්කාරයා නැවත පිළිගැනීමට සූදානමින් සිටින ප්‍රේමනීය පියෙකුට එහිදී යෙහෝවඃවහන්සේව සමාන කර තිබේ. (ලූක් 15:11-24) යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහය නැවත ලැබීමට සහ ක්‍රිස්තියානි සභාව තුළට නැවත පැමිණීමට අව්‍යාජ, හෘදයාංගම යාච්ඤාව සහ නරක දෙයින් නැවත හැරීම මාර්ගයක් වී තිබේ. තම වරදසහිතභාවයේ බරින් පොඩි වී සිටි බව හැඟුණු ඇතැම් වරදකරුවන්, පසුතැවිලි වීමටත් ක්‍රිස්තියානි සභාවේ ප්‍රේමනීය වාතාවරණයට නැවත පැමිණීම සඳහා පියවර ගැනීමටත් පෙලඹී ඇත. මෙලෙස යෙසායා 57:15හි සඳහන් යෙහෝවඃවහන්සේගේ වචන අගය කිරීමට ඔවුහු පැමිණ ඇත්තාහ.
යෙහෝවඃවහන්සේගේ ප්‍රේමනීය සැලකිල්ලට නැවත පැමිණීමෙන් පුද්ගලයන් වළක්වා ගැනීමට, සිදු කරන ලද පව්වලට සමාවක් නොමැති බව බොරුවට හැඟවීමට සාතන් කැමති වනු ඇත. එහෙත් පසුතැවිලි වන්නාවූ ඕනෑම කෙනෙකුගේ පව් රාශියක් වැසීමට—එසේය, ‘මුළු ලෝකයාගේ’ උරුම කරගත් පාපතරභාවය වැසීමට පවා යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ මිදීමේ මිල පූජාව ප්‍රමාණවත් වේ. (1 යොහන් 2:1, 2) යූදස් ඉස්කාරියොත්ගේ සහ බොහෝ ලියන්නන් හා ඵරිසිවරුන්ගේ දරුණු පාප ආදිය දෙවියන්වහන්සේගේ ආත්මයේ ක්‍රියාකාරිත්වයට විරුද්ධව හිතා මතාම කරන ලද කැරලි ගැසීම් වන බැවින්, මිදීමේ මිලයෙන් වැසිය නොහැකි වන්නේ දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයට විරුද්ධව කරන එවැනි පාප පමණි.—මතෙව් 12:24, 31, 32; 23:13, 33; යොහන් 17:12.
යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම තහවුරු කිරීම
ආත්මික ඉශ්රායෙලයේ ඉතිරි කොටස 1919දී යෙහෝවඃවහන්සේගේ අනුග්‍රහයට යළි පැමිණි දා පටන්, අවට ලෝකයෙන් ඔවුහු වඩ වඩාත් උසස් බවට පමුණුවනු ලැබූහ. මෙය සිදු වූයේ ඔවුන්ගේ පැත්තෙන් වූ යම් යහපත්කමක් නිසා නොව, නමුත් යෙහෝවඃවහන්සේගේ ව්‍යවස්ථා සහ ප්‍රමිතිවලට ඔවුන් කැමැත්තෙන්ම යටත් වූ බැවිනි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මිලියන ගණන් “වෙනත් බැටළුවෝ” ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මික ඉශ්රායෙලයේ පක්ෂපාත සහකාරයන් ලෙස ආශ්‍රය සඳහා ආකර්ෂණය වී ඇත්තාහ. (යොහන් 10:16) දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලින් බොහෝ ඈත් වූ ලෝකයක මෙම ජනයා යෙහෝවඃවහන්සේට කීර්තිය සහ ගෞරවය ගෙනෙති. හරියටම දකුණු අප්‍රිකානු සඟරාවක් වන පර්සනැලිටි වරක් සඳහන් කළ පරිදිය: “යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් පෙනෙන ලෙසට යහපත් ගුණාංගවලින් පිරී ඉතිරෙන අතර, නරක දෙයින් සම්පූර්ණයෙන්ම වාගේ නිදහස්ය.”
අභක්තික ලෝකයක මෙම උසස් ස්ථාවරය පවත්වා ගැනීමට, ක්‍රිස්තියානි සභාවේ සෑම තනි පුද්ගලයෙකුම පිරිසිදුව ජීවත්වීම සහ යෙහෝවඃවහන්සේ ඉදිරියේ අවංක ජීවිතයක් ගත කිරීම අවශ්‍ය වේ. බයිබලයේ, යෙහෝවඃවහන්සේගේ ස්වර්ගික සංවිධානය පිරිසිදු දේවලින් නිරූපණය කර තිබේ. එය සූර්යයා පැළඳගෙන චන්ද්‍රයා ඇගේ පාදය යට තබාගත් රූමත් ස්ත්‍රියක ලෙස දිස්වේ. (එළිදරව් 12:1) නව යෙරුසලම පෙනුමෙන් අලංකාර වූ ශුද්ධ වූ නගරයක් ලෙස විස්තර කර තිබේ. (එළිදරව් 21:2) ක්‍රිස්තුස්වහන්සේගේ මණාලියගේ විශ්වාසවන්ත සාමාජිකයන්ට “දීප්තිමත්වූ පවිත්‍රවූ සිහින් වස්ත්‍ර” දෙනු ලැබේ. (එළිදරව් 19:8) මහත් සමූහයේ අය “සුදු සළු පැළඳ” සිටිනවා දක්නට ලැබේ. (එළිදරව් 7:9) පිරිසිදු සංවිධානයකට ධර්මිෂ්ඨකම වෙත නැඹුරු වන ජනයා ඇදී එති. මීට පටහැනිව, සාතන්ගේ සංවිධානය අපිරිසිදුය. ඔහුගේ ආගමික පිළිවෙළ වේශ්‍යාවක් ලෙස නිරූපණය කර ඇති අතර, ශුද්ධ නුවරින් පිටත අය කිලුටු, අපිරිසිදු අය ලෙස විස්තර කර තිබේ.—එළිදරව් 17:1; 22:15.
සදාකාල ජීවනය පොරොන්දු කර තිබෙන්නේ ධර්මිෂ්ඨ අයටය. යෙහෝවඃවහන්සේගේ ධර්මිෂ්ඨකම තහවුරු කරන රැස් කරන ලද ජනතාවට මෙම දුෂ්ට පිළිවෙළේ අවසානයෙන් ගැළවීමේ අපේක්ෂාව තිබේ. “මට ඇහුම්කන්දෙන තැනැත්තේ සුවසේ වාසයකොට, විපතට භයනොවී, නිශ්චලව සිටින්නේය,” යනුවෙන් දෙවියන්වහන්සේ හිතෝපදේශ 1:33හි පොරොන්දු වනසේක.
උතුම් සාලමොන් වන ක්‍රිස්තුස් යේසුස්වහන්සේ, යෙහෝවඃවහන්සේ කෙරෙහි භය ඇතුව එම ධර්මිෂ්ඨ නව ලෝකය පාලනය කරන විට තත්වය කොතරම් ප්රමෝදජනක වේද! (2 පේතෘස් 3:13) එය වලාකුළු නොමැති උදයක හිරු දීප්තිමත්ව බබළන අලුයම් ආලෝකය මෙන් වේ. වෙනත් ආකාරයකින් පවසනවා නම්, පොළොවේ සෑම පුරවැසියෙකුම එකිනෙකා තම තමාගේ මිදිවැල යට සහ අත්තික්කා ගස යට සුරක්ෂිතව වාසය කරනවා ඇත. අපගේ දෙවි වූ යෙහෝවඃවහන්සේගේ සදාකාලික ප්‍රශංසාව සඳහා ධර්මිෂ්ඨ මිනිස් සමාජය පොළොව අලංකාරවත් කර විශ්වයේ එහි නියමිත ස්ථානයට පිවිසෙනවා ඇත.—මීකා 4:3, 4; එමෙන්ම යෙසායා 65:17-19, 25ද බලන්න.
[26වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
Garo Nalbandian