වියවුල් ලොවක් තුළ ඔවුන්ට සාමය ලැබී
මෙම සඟරාවේ කවරයේ බොස්නියාවේ සහ හර්ට්ස්ගොවිනාවල ගින්නෙන් නැහැවුණු බිහිසුණු යුද්ධ දර්ශනයක් දක්වා තිබේ. එවැනි ස්ථානයක සාමය පැවතිය හැකිද? ඔව් කියා පිළිතුරු දීම, පුදුම එළවන දෙයක් වේ. රෝමානු කතෝලික, නැඟෙනහිර ඔර්තඩොක්ස් සහ මුස්ලිම් ප්‍රජා, භූමි ප්‍රදේශ සඳහා දේශය අල්ලාගැනීමේ ඛේදනීය සටනක යෙදී සිටින අතරතුර, බොහෝදෙනා සාමය සඳහා ආශාවෙන් සිටිත්, එමෙන්ම සමහරෙකුට එය ලැබී තිබේ.
ඩෝරෙම්ලා, සරයේවෝහි පදිංචිකරුවන් වන අතර ඔවුහු යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ වූහ. එම නගරයෙහි සියලු වියවුල් මධ්‍යයෙහි, ඔවුහු පුරුද්දක් ලෙස, අසල්වාසීන්ට දේවරාජ්‍යයේ ශුභාරංචිය ප්‍රකාශ කිරීමට ඔවුන් වෙත ගියහ. (මතෙව් 24:14) මන්ද? මෙම රාජ්‍යය සැබෑ බවත්, දැනටමත් එය ස්වර්ගයෙහි පිහිටුවා තිබෙන බවත්, එමෙන්ම එය මිනිස්වර්ගයාගේ යහපත හා සාමය සඳහා එකම බලාපොරොත්තුව බවත් ඩෝරෙම් පවුල දැන සිටි හෙයිනි. ප්‍රේරිත පාවුල් හැඳින්වූ ලෙස “සමාදානයේ ශුභාරංචිය” තුළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ට පූර්ණ විශ්වාසයක් තිබේ. (එපීස 2:17, NW) බෝසෝ සහ හෙනා ඩෝරෙම් වැනි අයට ස්තුතිවන්ත වෙන්න, බොස්නියාවේ හා හර්ට්ස්ගොවිනාවල බොහෝදෙනා සාමය ලබාගනිති.
සැබෑ සාමයක් මතුවට
ඩෝරෙම්ලා ගැන පැවසීමට තව බොහෝ දේ ඇත. එහෙත්, පළමුව, දේවරාජ්‍යය කෙරෙහි විශ්වාසය ඇති කරගත් තවත් යුවළක් ගැන අපි කතා කරමු. ඔවුන්ගේ නම් ආර්ටූර් සහ ආරිනාය. ඔවුහු සහ ඔවුන්ගේ ළා බාල පුත්‍රයෝ කලින් සෝවියට් සමූහාණ්ඩුවේ ප්‍රදේශයක, ජනරජයක ජීවත් වෙමින් සිටියහ. සිවිල් යුද්ධය හටගත් විට, ආර්ටූර් එක් පැත්තක් ගෙන සටන් කළේය. එහෙත්, වැඩි කල් යෑමට පෙර, ඔහු තමාගෙන්ම මෙසේ අසාගත්තේය, ‘මගේ අසල්වාසීන් වන මේ අයට විරුද්ධව මා සටන් කරන්නේ ඇයි?’ ඔහු රට අතහැර ගිය අතර බොහෝ කරදර විඳීමෙන් පසු, ළා බාල දරුවන්ගෙන් යුත් සිය පවුල සමඟ එස්ටෝනියාවට පැමිණියේය.
ශාන්ත පිටර්ස්බර්ග්වලට යන විට ආර්ටූර්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු අතර, දේවරාජ්‍යය පිළිබඳ ඔහු ඉගෙනගත් දෙයින් සිත පෙලඹිණ. ඉතා ළඟදීම මිනිස්වර්ගයා කෙරෙහි එකම පාලනතන්ත්‍රය වනු ඇත්තේ දේවරාජ්‍යය වීම යෙහෝවඃවහන්සේගේ කැමැත්තය. (දානියෙල් 2:44, 45) එවිට පොළොව තවදුරටත් සිවිල් යුද්ධ හෝ අන්තර්ජාතික ගැටුම් නොමැති සාමකාමී තැනක් වනු ඇත. යෙසායා එම කාලය ගැන පුරෝකථනය කළේය: “මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.”—යෙසායා 11:9.
සාක්ෂිකාරයෙකු තමාට පෙන්වූ බයිබල් අධ්‍යයන ආධාරයක තිබූ අනාගත සාමකාමී පොළොව පිළිබඳ චිත්රශිල්පියාගේ පින්තූරය දුටු විට, එයාකාර තැනක තමා ජීවත් වූ බව ආර්ටූර් ප්‍රකාශ කළේය. එහෙත් දැන්, එය සිවිල් යුද්ධය මගින් විනාශයට පත් වී ඇත. එස්ටෝනියාවේදී, ආර්ටූර් සහ ඔහුගේ පවුලේ අය යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සමඟ කරන බයිබල් පාඩමක් මගින් දේවරාජ්‍යය ගැන බොහෝ දේ උගනිමින් සිටිති.
වියවුල මැද සාමය
ගීතාවලිය 37:37 මෙසේ පවසයි: “නිර්දෝෂ තැනැත්තා කල්පනාකොට අවංක තැනැත්තා බලාගනුව. මක්නිසාද ඒ මනුෂ්‍යයාගේ අනාගතය සමාදානය වේ.” ඇත්තවශයෙන්ම, දෙවියන්වහන්සේගේ ඇස් හමුවේ නිර්දෝෂ හා අවංක තැනැත්තාගේ සාමය ඔහුගේ අනාගතයට සීමා වී නැත. ඔහු දැනුදු එය භුක්තිවිඳියි. එසේ විය හැක්කේ කෙසේද? පෝල් නම් මිනිසෙකුගේ අද්දැකීම සලකා බලන්න.
ඇත්තෙන්ම පෝල් අසල්වැසි රටක කෙනෙකු වුවත්, ඔහු ජීවත් වෙන්නේ නිරිතදිග ඉතියෝපියාවේ දුරබැහැර සරණාගත කඳවුරකය. තෙල් සංස්ථාවක් වෙනුවෙන් වැඩ කළ යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු ඔහුට සිය මව් රටේදී හමු වූ අතර, මෙම මිනිසා ඔහුට සදාකාල ජීවනයට මග පෙන්වන සත්‍යය යන බයිබල් අධ්‍යයන ආධාරකය දුන්නේය.a පෝල්ට යළි කිසිදා එම සාක්ෂිකරුවාව හමු නොවූ නමුත් ඔහු පරෙස්සමින් පොත අධ්‍යයනය කළේය. සිවිල් යුද්ධය නිසා ඔහුට ඉතියෝපියාවේ සරණාගතයන්ගේ කඳවුරකට යෑමට සිදු වූ අතර, එහිදී ඔහු අන් අයට තමා ඉගෙනගෙන තිබූ දේ ගැන කතා කළේය. කුඩා කණ්ඩායමක් මෙය සත්‍යයක් ලෙස පිළිගත්හ. ඔවුන් ඉගෙනගෙන තිබූ දේ පදනම් කරගෙන ඔවුහු නොබෝ කලකින් කඳවුරෙහි අනික් අයට දේශනා කරන්ට පටන්ගත්හ.
පෝල් උපකාරය ඉල්ලමින් වොච් ටවර් සමිතියේ මූලස්ථානයට ලිවීය. අඩිස් අබාබාවලින් එවූ දේවසේවකයෙක්, තමා එන තෙක් 35දෙනෙකු දේවරාජ්‍යය ගැන තවත් ඉගෙනීමට බලා සිටිනවා දැක පුදුමයට පත් වූයේය. නිතිපතා පදනමක් යටතේ උපකාරය දීම සඳහා විධිවිධාන යොදවන ලදි.
පෝල් වැනි අය සාමය භුක්තිවිඳිනවායයි පැවසිය හැක්කේ කෙසේද? ඔවුන් පහසු ජීවිත ගත නොකළත්, ඔවුන් තුළ දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ල තිබේ. මෙම ලෝකයෙහි වියවුලෙන් බලපෑම් ලැබූ විට, ඔවුහු බයිබලයේ අවවාදය අදාළ කරගත්හ: “නුඹලා කිසිවක් ගැන කනගාටු නොසිතා, සියල්ලෙහිදී ස්තුතිදීම සමඟ යාච්ඤාවෙන්ද කන්නලව්වෙන්ද නුඹලාගේ ඉල්ලීම් දෙවියන්වහන්සේට දන්වාපල්ලා.” ප්‍රතිඵලයක් වශයෙන්, අදදින සොයාගැනීමට අපහසුව තිබෙන තෘප්තිය ඔවුන්ට තිබේ. පිලිප්පි සභාවට ප්‍රේරිත පාවුල්ගෙන් ලැබූ වචන ඔවුන්ටද අදාළ වේ: “කිසි නුවණකින් දැනගත නොහැකිවූ දෙවියන්වහන්සේගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලාගේ සිත්ද සිතිවිලිද ආරක්ෂාකරනවා ඇත.” ඇත්තෙන්ම, ඔවුන්ට “සමාදානයේ දෙවියන්වහන්සේ” වන යෙහෝවඃවහන්සේ සමඟ කිට්ටු සබඳතාවක් තිබෙන බව හැඟේ.—පිලිප්පි 4:6, 7, 9.
වත්මන් සාමයක්
දේවරාජ්‍යයේ ඔටුනු පළන් රජ, බයිබලයෙහි “සමාදානයේ කුමාරයා” ලෙසින් හඳුන්වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේය. (යෙසායා 9:6) උන්වහන්සේ ගැන පුරාණ ප්‍රොපේතවරයා මෙසේ පැවසීය: “උන්වහන්සේද ජාතීන්ට සමාදානය ප්‍රකාශකරනසේක. උන්වහන්සේගේ ආණ්ඩුව මුහුදෙන් මුහුදටත් ගංගාවේ පටන් පොළොවේ සීමා දක්වාත් වන්නේය.” (සෙකරියා 9:10) හෝසේ නම් මිනිසෙකුගේ ජීවිතය මත මහත් බලපෑමක් ඇති කිරීමට ආනුභාවය ලත් මෙවැනි වචනවලට හැකි වී තිබිණ.
එක් කලක හෝසේ බන්ධනාගාරයේ සිටියේය. ත්‍රස්තවාදියෙකු වූ ඔහු පොලිස් බැරැක්ක පුපුරවාහැරීමට සැලසුම් යොදමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණ. තම රටේ තත්වයන් යථා තත්වයට හැරවීම සඳහා රජයට බල කරනු ඇත්තේ සාහසිකකම පමණක් බව ඔහු සිතුවේය. ඔහු බන්ධනාගාරයේ සිටින අතරතුරේ, යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ ඔහුගේ භාර්යාව සමඟ බයිබලය පාඩම් කිරීමට පටන්ගත්තෝය.
හෝසේ නිදහස් වී පැමිණි පසු, ඔහුද බයිබලය පාඩම් කළ අතර, නොබෝ කලකින් ගීතාවලිය 85:8 ඔහුට අදාළ වීමට පටන්ගැනිණ: “දෙවිවූ ස්වාමීන්වහන්සේ කුමක් කියනසේක්දැයි අසන්නෙමි. මක්නිසාද උන්වහන්සේ ස්වකීය සෙනඟටත් ශුද්ධවන්තයන්ටත් සමාදානය වදාරනසේක.” කෙසේවෙතත්, එම පදය අවසන් වන්නේ අවවාදයක් සමඟිනි: “නුමුත් ඔව්හු අඥානකමට නැවත නොහැරෙත්වා.” මෙබැවින්, යෙහෝවඃවහන්සේගේ සමාදානය සොයන තැනැත්තා ස්වාධීනව හෝ උන්වහන්සේගේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කිරීමට නිර්භීත නොවනු ඇත.
අදදින, හෝසේ සහ ඔහුගේ භාර්යාව ක්‍රිස්තියානි දේවසේවකයෝ වෙති. හෝසේ කලින් නිවසේදී තනන ලද බෝම්බ මගින් විසඳීමට වෑයම් කළ ගැටලුවලට විසඳුම ලැබෙන යෙහෝවඃවහන්සේගේ රාජ්‍යය වෙත ඔවුහු අන්‍යයන්ව යොමු කරති. ඔවුහු බයිබලය විශ්වාස කිරීමට කැමැත්තෙන් සිටිති, එහි මෙසේ පැවසේ: “ස්වාමීන්වහන්සේ යහපත්දේ දෙනසේක.” (ගීතාවලිය 85:12) ඇත්තෙන්ම, හෝසේ, තමා විසින් විනාශ කරනු ලැබීමට සැලසුම් කළ බැරැක්කවලට මෑතකදී ගියේය. මන්ද? දේවරාජ්‍යය පිළිබඳව එහි සිටින පවුල්වලට කතා කිරීම සඳහාය.
සාමකාමී සෙනඟක්
බයිබලයේ ගීතාවලිය 37:10, 11 මෙසේ පවසයි: “මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය. නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුමකරගන්නෝය; ඔව්හු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” මොනතරම් ශ්‍රේෂ්ඨ බලාපොරොත්තුවක්ද!
එහෙත්, යෙහෝවඃවහන්සේගේ සාමය ‘මොළොක් ගුණ ඇත්තන්’ සඳහා පමණක් බව සැලකිල්ලට ගන්න. සාමය සොයන අයට සාමකාමීව සිටීමට ඉගෙනීමට සිදු විය හැක. මෙය නවසීලන්තයේ ජීවත් වන කීත් සම්බන්ධයෙන් සැබෑවක් විය. කීත්ව විස්තර කර තිබුණේ “ශක්තියෙන් හා පෞද්ගලිකත්වයෙන් බලවත්, කලහකාරි හා වාදශීලී” කෙනෙකු වශයෙනි. ඔහු කල්ලියක සාමාජිකයෙකු වූ අතර, බලෙන් ඇතුල් වන්නන්ගෙන් ආරක්ෂා කරනු වස්, මුර සංචාරයේ යෙදෙන මුර බල්ලන් තුන්දෙනෙකුගෙන් සමන්විත වතුවලින් යුත් විශාල බලකොටුවක් වූ නිවසක ජීවත් වූයේය. සිය දරුවන් හයදෙනාගේ මව වන ඔහුගේ බිරිඳ, ඔහුව දික්කසාද කර තිබුණාය.
කීත්ට යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන්ව මුණගැසුණු විට, ශුභාරංචිය ඔහු කෙරෙහි ගැඹුරු බලපෑමක් ඇති කළේය. වැඩි කල් යෑමට මත්තෙන් ඔහු සහ ඔහුගේ දරුවෝ, සාක්ෂිකරුවන් සමඟ රැස්වීම්වලට යන්ට වූහ. ඔහු සිය ඉණ දක්වා දිගු කොණ්ඩය කපා, ඔහුගේ පෙර ආශ්‍රිතයන්ට දේවරාජ්‍යය පිළිබඳව කතා කිරීමට පටන්ගත්තේය. මොවුන්ගෙන් සමහරෙක්ද බයිබලය පාඩම් කිරීමට පටන්ගත්හ.
ලොව පුරා සිටින හරි හෘද ඇති මිලියන ගණනක් මෙන්, කීත් ප්‍රේරිත පේතෘස්ගේ මෙම වචන අදාළ කරගැනීමට පටන්ගෙන තිබිණ: “ජීවිතයට ඇලුම්වෙන්ටත් යහපත් දවස් දකින්ටත් කැමති තැනැත්තේ . . . නපුරෙන් ඉවත්ව යහපත කරාවා; සමාදානය සොයා, එය පස්සේ දුවාවා.” (1 පේතෘස් 3:10, 11) කීත්ගේ පෙර බිරිඳ ඔහුව යළි විවාහ කරගැනීමට කැමති වූ අතර, දැන් ඔහු ‘සමාදානය සොයා, එය පස්සේ දිවීමට’ උගනිමින් සිටියි.
පෙර එක්. සෝ. ස. ජන.හි උපන්, කලකට මලල ක්‍රීඩකයෙකු වූ තැනැත්තෙකුද ඇතුළු බොහෝදෙනා සඳහා යෙහෝවඃවහන්සේගේ සමාදානය ජීවිත ආරක්ෂකයෙකු වී ඇත. ඔලිම්පික් තරඟයේදී, මෙම තැනැත්තා පදක්කම් දිනාගත් නමුත්, ඔහු කිසි සතුටක් නැතුව, යළි මත්ද්‍රව්‍ය හා මත්පැන් ගන්ට පටන්ගත්තේය. සයිබීරියාවේ බර වැඩ සහිත කඳවුරක් තුළ වසර තුනක සිර දඬුවමක්, මුදල් නොගෙවා නැවෙන් කැනඩාවට ගිය ගමනක්, එමෙන්ම සිය මත්ද්‍රව්‍ය පුරුද්ද හේතුවෙන් මරණයට පත්වීමට ගිය අවස්ථා දෙකක් යන සිද්ධීන් ඇතුළත් වසර 19කට පසු, ඔහු ජීවිතයේ සැබෑ අරමුණ සෙවීමට උපකාරය පතා දෙවියන්වහන්සේට යාච්ඤා කළේය. රුසියානු භාෂාව කතා කරන යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෙකු සමඟ බයිබලය පාඩම් කිරීමෙන්, ඔහුගේ ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට උපකාරවත් විය. අදදින මෙම මිනිසාට, අනික් මිලියන ගණනකට මෙන් දෙවියන්වහන්සේ සමඟ මෙන්ම තමා තුළම සමාදානය ලැබී ඇත.
නැවත නැඟිටීමේ බලාපොරොත්තුව
අවසානයේදී, සරයේවෝහි බෝසෝ සහ හෙනා ඩෝරෙම් වෙත අපි යළි අවධානය යොමු කරමු. මේ යුවළට මාග්ඩාලේනා නම් පස්-හැවිරිදි දියණියක් සිටියාය. ඉකුත් ජූලිවලදී, ඔවුන් තිදෙනා නැවත වරක් සිය දේශනා කටයුතුවල යෙදීමට නිවසින් පිටව යද්දී, ෂෙල් වෙඩිල්ලකින් තිදෙනාම මරණයට පත් වූහ. ඔවුන් අන් අයට දේශනා කරමින් සිටි සාමය ගැන කුමක් කිව හැකිද? ඔවුන්ගේ ජීවිත බිලිගත් ෂෙල් වෙඩිල්ල, මෙය සැබෑ සාමය නොවන බව පෙන්වීද?
කිසිසේත් නැත! මේ දේවල පිළිවෙළෙහි, ඛේදජනක සිදුවීම් ඇති වේ. බෝම්බ හෝ ෂෙල් වෙඩි මගින් මිනිස්සු මියයති. වෙනත් අය අසනීප හෝ අනතුරුවලින් මියයති. බොහෝදෙනෙක් මහලු වයසින් මියයති. දෙවියන්වහන්සේගේ සාමය භුක්තිවිඳින්නන්ට ඒවායින් සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබෙන මුත්, එවන් සිදුවීම් ඇතිවීමට තිබෙන ඉඩ කඩ ඔවුන්ගේ බලාපොරොත්තු සුන් නොකරයි.
යේසුස්වහන්සේ සිය මිත්‍ර මාර්තාට මෙසේ පොරොන්දු වූසේක: “නැවත-නැගිටීමද ජීවනයද මමය. මා කෙරෙහි අදහාගන්නා මළ නුමුත් ජීවත්වන්නේය.” (යොහන් 11:25) යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවන් සියලුදෙනාම විශ්වාස කරන්නාක් මෙන්ම ඩෝරෙම්ලා මෙය විශ්වාස කළහ. තවද තමන් මියගියත්, සැබවින්ම සාමකාමී ස්ථානයක් වී තිබෙනු ඇති පොළොවකට තමන් නැවත නැඟිටිනු ඇති බවට විශ්වාසයක් ඩෝරෙම්ලා තුළ තිබිණ. යෙහෝවඃ දෙවියන්වහන්සේ “ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිසදමනසේක; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
යේසුස්වහන්සේ මියයෑමට ආසන්නයේදී, සිය අනුගාමිකයන්ට මෙසේ පැවසූසේක: “නුඹලා වෙත සමාදානය තබා යමි; . . . නුඹලාගේ සිත් කැලඹෙන්ට . . . නොදෙල්ලා.” (යොහන් 14:27) එම සාමය තිබූ මෙන්ම නැවත නැඟිටීමේදී වඩාත් වැඩියෙන් එය ස්ථිරයෙන්ම භුක්තිවිඳිනු ඇති ඩෝරෙම්ලා සමඟ අපි ප්‍රීති වන්නෙමු. සමාදානයේ දෙවියන්වහන්සේ වන යෙහෝවඃවහන්සේට නමස්කාර කරන සියල්ලන් වෙනුවෙන් අපි සතුටු වන්නෙමු. එවැනි අයට මනසේ සාමය තිබේ. ඔවුහු දෙවියන්වහන්සේ සමඟ සාමය භුක්තිවිඳිති. ඔවුහු අන්‍යයන් සමඟ සාමය වර්ධනය කරගනිති. තවද සාමකාමී අනාගතයක් කෙරෙහි ඔවුන් තුළ විශ්වාසයක්ද තිබේ. එසේය, ඔවුන් වියවුල් ලෝකයක ජීවත් වුවත්, ඔවුන්ට සාමය ලැබී තිබේ. ඇත්තෙන්ම, ආත්මයෙන් හා සැබෑකමින් දෙවියන්වහන්සේට නමස්කාර කරන සියලුදෙනාම සාමය භුක්තිවිඳිති. ඔබටත් එවැනි සාමය ලැබේවා!
[පාදසටහන]
a වොච්ටවර් බයිබල් ඇන්ඩ් ට්‍රැක්ට් සොසයටි ඔෆ් නිව් යෝර්ක්, ඉන්ක්., මගින් ප්රකාශිතය.
[7වන පිටුවේ පින්තූර]
වියවුල් ලෝකයක ජීවත් වුවත්, ඔවුන්ට සාමය ලැබී තිබේ